Wednesday, January 7, 2015

මධු මේහය නොසළකා හැරි ඔහු...

මේක මට මුහුණ දෙන්න සිදුවුන අනුවේදනීය සිදුවීමක්... ඉරිදා දවස හැරෙන්න අනික් හැමදාම උදේම වාට්ටුවට යන අපි පැමිණිලා සිටින රෝගීන් ගෙන් රෝග විස්තර සටහන් කරගැනීමක් සිදු කරනවා. අපේ භාෂාවෙන් කියනවානම් history ගන්නවා.

ඉතින් මට මේ සිදුවීමට මුහුණ දෙන්න සිදුවුනෙත් history එකක් ගන්න එක්තරා රෝගියෙකු ළඟට ගියපු වෙලාවක. අවුරුදු 60ක් විතර වයස ඔහුගේ කකුලේ තිබුන තුවාලයක් ගෝස් වලින් වෙලා තිබුණා. නම, ගම එහෙම ලියාගත්තු මම එයාගේ රෝග විස්තර අහන්න පටන් ගත්ත. 

එහෙම විස්තර අහනකොට සාමාන්‍යයෙන් බොහෝ රෝගීන් අපිත් එක්ක ගොඩක් සුහදශීලි වෙනවා. එයාලගේ විස්තර බොහොම කැමැත්තෙන් අපිත් එක්ක කියනවා. ඒත් මේ රෝගියා නම් එහෙම කෙනෙක් වුනේ නෑ. 

කඳුළු පුරෝගත්තු අහිංසක ඇස් දෙකෙන් බොහොම අහිංසක විදියට මං දිහා බලපු මෙයා මං අහපු ප්‍රශ්න වලට යන්නේ කොහෙද මල්ලේ පොල් වාගේ උත්තර දුන්නා. මෙයාගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් මෙයාට වද දෙනවා කියන එක වැඩි වෙලාවක් යන්න කලින්ම මට තේරුණා. 

මොකක්ද මහත්තයා ප්‍රශ්නේ කියල හරිම ලෙන්ගතු විදියට ඇහුවත් මෙයා මට උත්තර දුන්නේ නම් නැහැ. ඉතින් බැරිම තැන මං මෙයාගේ ticket එක අතට අරන් කියවන්න පටන් ගත්තා.

ඒ වෙලාවේ තමයි එයාගෙම අත් අකුරින් ලියපු මේ සටහන මං දැක්කේ.
පහුවෙනිදා මෙයාගේ දණහිසට පහලින් වම කකුල ඉවත් කරලා තිබුණා...

ටික දවසකට පස්සේ ආයෙම දවසක මෙයා ළඟට ගියපු මම එයාව කතාවකට අල්ලගන්න හැදුවා... එදා නම් එයා මාත් එක්ක හොඳට කතා කලා.

මාස දෙකකට විතර කලින් මෙයාගේ වම් කකුලේ කට්ටක් ඇනිලා. දවස් දෙකතුනක් යනකොට එතැන තුවාලයක් හැදිලා. මෙයා වැඩිය එක ගණන් අරන් නැහැ. ටික දවසකින් තුවාලෙන් සැරව එන්නත් පටන් අරන්. ඒත් මාස දෙකක් යනකම් ම ඉස්පිරිතාලෙකට යන්න ඕනි කියල මෙයාට හිතිලා නෑ. 

කොහොමින් කොහොම හරි මෙයා ඉස්පිරිතාලෙට එනකොට දණහිස ළඟට එනකන්ම තුවාලේ ඔඩු දුවලා තිබුණා. සැරව පිරිලා තිබ්බ මේ තුවාලේ තවත් උඩට පැතිරිලා මෙයාගේ ජීවිතේට හානියක් කරන්න කලින් කරන්න පුළුවන් එකම දේ තමයි කකුල කපල ඉවත්කරලා දාන එක.

මේ වාගේ රෝගීන් සාමාන්‍යයෙන් දියවැඩියාවෙන් පීඩා විඳිනවා. ඉතින් මං මෙයාගෙනුත් ඒ ගැන අහල බැලුවා. 

මෙයාට අවුරුදු දෙකක ඉදන් දියවැඩියාව තිබිල. හැබැයි එයා එකට හරියට බෙහෙත් අරන් නැහැ. 

අද ඉඳන් දිගටම හරියට බෙහෙත් ගන්නවා කියල මාත් එක්ක කිව්වට එයාගේ කකුල නම් ආයේ ලබාගන්න විදියක් නම් නැහැ.

දියවැඩියාව, අත් සහ පාද වල ස්නායු පද්ධතියට හානි කරනවා. ඒ නිසයි තුවාලේ ඔඩු දුවනකන්ම මෙයාට එක දැනිල නැත්තේ. ඒවගේම රුධිරයේ වැඩිවන සීනි මට්ටම නිසා තුවාලය මත බැක්ටීරියා වර්ධනය සීග්‍රයෙන් සිදු වනවා. එම තත්වය පාලනය කිරීම කල් ගතවන විට ඉතා අපහසුයි.

දියවැඩියාව අද සමාජයේ හරිම සුලබ ලෙඩක්. නමුත් සමාජය තුල ඒගැන තියෙන දැනුවත් භාවයනම් හරිම අඩුයි. හැමදාම හරියට බෙහෙත් ටික අරන් හරි විදියට කෑම පාලනය කරගෙන හිටියොත් දියවැඩියා මාරයා පරදනවා කියන්නේ හරිම සුළු දෙයක්.

ඔයාලගේ පවුලේත් දියවැඩියාවෙන් පීඩා විඳින්නන් ඇති. ඔවුන් හරියට බෙහෙත් ගන්නේ නැතිනම් විය හැකි දේ ගැන ඔවුන් දැනුවත් කිරීමට පමා වෙන්න එපා...

හොඳ වෙන්නේ නැති තුවාල තියෙනවනම් කල් යවන්නේ නැතිවම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වන්න කියන එකත් කියන්න ඕනි...

මේ රෝගියා එක අතකින් වාසනාවන්තයි. රස්සා කරන මෙයාගෙම ළමයි මෙයාව හොඳට බලාගන්නවා. ඒත් ඔබේ නිවසේ මුදල් උපයන්නා ඔබ පමණක් වන්නට පුළුවන්. ඔබට මෙවන් දෙයක් වුවොත් ඔවුන්ට යන කල දසාව කුමක් ද... 

ඔබ වයස අවු : 25 ට වඩා වැඩිනම් ලේ වල සිනි (Fasting Blood Sugar) අගය වසරකට වතාවක් වත් පරික්ෂා කරගැනීම නුවනට හුරුයි. එසේම ඔබට නිතරම මුත්‍රා කරන්න අවශ්‍යනම් සහ අධික ලෙස පිපාසය දැනේනම් වහාම ඉහත පරික්ෂාව පැය 10ක් නිරාහාරව ගොස් සිදුකර ගන්න. ඔබ දැනටමත් දියවැඩියාවෙන් පීඩා විඳින්නෙකු විය හැකිය... 

7 comments:

  1. මේ වගේ රෝගීන්ගේ විස්තර පත්‍රිකා දමන්න එපා. රෝගීන්ගේ නම් ගම් සහ රෝග විනිශ්චය පත්‍රය දැමීම සදාචාරාත්මක නෑ. ඔබ එහෙම කරනවා නම් අපට සිදුවෙනවා වෛද්‍ය සභාවට ඔබගැන දැනුම් දෙන්න.

    ඒ නිසා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ තොරතුරු හෙළි කරන්න එපා කියා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. hoda wadak patan gannakota akul hellanna lankawe minissunta tiyennea puduma daksha kamak.karuna karala meakea anthima cheda thuna kywala balanna mea wadea kochchara watinawada kyla

      Delete
  2. ඇනෝ ඔය කොමෙන්ටුව දැම්මේ ඔක්කොම කියවැලෙයි.??? අනික කොහෙද බොලේ නං ගං තියන්නේ??? හොඳ වැඩකට අත දැම්මම ඒක නවත්තන්න හදන්න එපා යාළුවා...

    ReplyDelete
  3. පටන් ගත්තු ගමන්ම ඇනෝගෙන් සුන්දර පිළිගැනීමක් ලැබිල තියෙන්නේ.....ඔබේ දැනුමෙන් බිඳක් ලබල දෙන්න ගන්න උත්සහය අගය කරනවා.දිගටම ඒ දැනුම ලබල දෙන්න.
    ජය වේවා.....

    ReplyDelete
  4. පොඩි කලේ සිනී හොරෙන් කෑවා කියලා දියවැඩියාව හැදෙන්නේ නෑ නේ?
    එහෙමනම් අවුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. /* ඔබ වයස අවු : 25 ට වඩා වැඩිනම් ලේ වල සිනි (Fasting Blood Sugar) අගය වසරකට වතාවක් වත් පරික්ෂා කරගැනීම නුවනට හුරුයි. එසේම ඔබට නිතරම මුත්‍රා කරන්න අවශ්‍යනම් සහ අධික ලෙස පිපාසය දැනේනම් වහාම ඉහත පරික්ෂාව පැය 10ක් නිරාහාරව ගොස් සිදුකර ගන්න. ඔබ දැනටමත් දියවැඩියාවෙන් පීඩා විඳින්නෙකු විය හැකිය. */

      Delete
  5. මට සිංහල ටයිප් කරන්න අමාරු උනත් මේ ලියන්නේ ඔබ වෛද්‍යවරයෙක් නිසා ඔබට මේ ගැන කියන්නයි. මම දියවැඩියා රෝගියෙකු බව සොයාගත්තේ වයස 40 දී. නමුත් ඒ බව සොයාගන්න ප්‍රමාද වුනේ මට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා (පවුලේ වෙදදදුරු) Fasting Blood Sugar විතරක් බලපු නිසා. මම පවුලේ දියවැඩියා ඉතිහාසයක් නැති කෙනෙක්. පොඩි හරි සැකයක් තියෙනවානම් දියවැඩියාව කියලා HBA1c හා PPBS බලන්න. (මගේ Fasting Blood Sugar හැමදාම 100 ට වඩා අඩුයි එත් PPBS 250 ටත් වඩා වැඩියි) ඒ වගේම මට හිතෙනවා දියවැඩියාව කියන්නේ තව මොකක් හරි අන්තරාසර්ග රෝගයක් එක්ක බැඳුනු දෙයක් කියලා. මම හැමදාම දියවැඩියා සායනයට ගියාම ඔහේ පෙත්තක් දීලා එවනවා.

    ReplyDelete