විමල් වීරවංස ගේ උපවාස විහිළු රංගනය මේ වන විට හමාර වෙලා.
කොහොමත් බටහිර කන්සර්වේටිව් හෝ ලිබරල් ප්රජාතන්ත්රවාදී අර්ථයකින් ගත්තත් පාරාජිකා වී ඇති බෑන් කී මූන් නැමති රූකඩ චරිතයේ ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධය දැක්විය යුතු බව වෙනම කාරනයක්. මේ සම්බන්ධයෙන් වැඩි දුර ලීමට ලේඛකයාට වුවමනාවක් නැහැ; මේ වන විට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තරම් ලියවී තිබෙනවා; එජාපයත් මූනිච්චාවට හෝ මූන් ගේ ක්‍රියාවට විරුද්ධයි; වෙන කිරීමට දෙයක් නැති කමට එජාපයම කියන දේ කියමින් හෝ රාජපක්ෂට එරෙහි වීමට සිදුවී ඇති ජවිපෙත් එහෙමයි. (රාමචන්ද්‍ර නම් අඩු ගනනේ ජවිපෙ දේශපාලන ස්ථාවරයට වඩා තරමක් හෝ එලිපිට “ධනපති ආණ්ඩු විරෝධී” උත්සාහයක් දැරීම තුල අඩු ගණනේ ප්‍රායෝගිකව සංගත තැනක ඉන්නවා. මූලධාර්මිකව රාමචන්ද්‍ර පතුරු ගැසීමට හෝ අවශ්‍ය නම් කිසිවකුට පුලුවන් වී ඇත්තේ මේ අවංක කම නිසා; ලේඛකයා රාමචන්ද්‍රගේ ක්‍රියාව ඒ සම්බන්ධයෙන් අගය කරනව. ජවිපෙට මේ කරුණු හෝ ඒ වචන චන්ද රැස්වීම් වල කීමට බැරි වීම ම ජවිපෙ වර්තමාන දේශපාලන කුහක බවට සාක්කියක්.)
කෙසේ වෙතත්, වීරවංස ගේ සිල්ලර නාටකයෙන් ඇති වූ පලදායී ප්‍රතිඵලයක් නැති බවයි ලේඛකයා ගේ හැඟීම. ඕනෑ දෙයකට වීරවංසගේ මවත්, බිරිඳත්, දරුවන් බැරිනම් කුලය වත් ඇද ගන්නා ඊනියා ලිබරල්වාදී, තමා හරි පොෂ් බව තමා ම සිතා සිටින ගමන් කට ඇරියොත් ගොඩේ කම පෙන්නන පඩංගු උගතෙකු ගේ ලිපි වලට ප්‍රතිචාරයක් දැක්වීමට ඇති වූ පෙළඹවීමද එතරම් විශාල නොවුනේ ඒ නිසා. කෙසේ වෙතත්, මාලින්ද සෙනෙවිරත්න සහ නලින් ද සිල්වා වැනි උදවිය ද විමල් වීරවංස හේදීමට ඉදිරිපත් වීම තුල ,මේ පිලිබඳව ලේඛකයාට ඇති සරල ප්‍රශ්න කිහිපයක් කතා නොකරම බැහැ.
“සුද්දන් අප ගැන වරදවා සිතන නිසා අප මෙසේ මෙසේ නොකළ යුතුය” සිතන ආකාරයේ යූඇන්පී ලිබරල් හීන මානයක් ලේඛකයාට නැහැ. මේ තර්කය සැබෑ නම්, 2005 වන විට රනිල් යුද්ධය ගැන සිටි නපුංසක ස්ථාවරය මේ වන විටත් නිවැරදි වෙන්න ඕනා; මහින්ද රාජපක්ෂ කොටින්ට විරුද්ධව කළ යුද්ධය කිසි දිනෙක නොකළ යුතුව තිබුනා. පලක් ඇති සුද්දන් රටක් ගැන තීරන ගන්නේ රූපවාහිනී පුවත් බලා නොවේ. කෙසේ වෙතත්, ජාත්‍යන්තරව තමාගේ ඇති අල්පේශාක්‍ය (insignificant) බව, ප්‍රසිද්දියේ ඩෙඟා නැටීමට ලයිසමක් නොවේ. ඒ අතින්, යකුන් නැටවීමේ, දුම්මල ගැසීමේ, කාර් වලට ගිණි පිඹීමේ මෝඩ වැඩ වල තිබුනේ, රනිල් වික්‍රමසිංහ-රෝසි සේනානායක කල්ලියේ වලං පොලවේ ගසන, හෝන් ගහන උද්ඝෝෂන වල පන්නයේ බලාපොරොත්තු සුන් වූ අර්ථවිරහිත භාවයක්. උද්ඝෝෂනයක් කුමක් වුවත් එයට ඉලක්ක ශ්‍රාවක පන්තියක් (target audience) සිටිය යුතු යි; ඒ පන්තියට විකාරයක් ලෙස පෙනෙන්නට කරන උද්ඝෝෂනයක්, පටන් ගැන්මේදී ම අර්ථ විරහිතයි. සුද්දන්ට බය නොවිය යුතුව තිබුනත්, උද්ඝෝෂකයන් නිකන්ම සිල්ලර විකටයන් ලෙස පෙන්වා දීම ට විරුද්ධවාදීන්ට පහසු කිරීම තකතීරු කමක්.
“කිතුල් ගහක් යට ඉඳන් කිරි බිව්වත් හිතන්නේ රා බොන බවයි” කියා උපමාවක් තියෙන්නේ කට කහනවට නොවෙයි. උද්ඝෝෂනය දකින අමුත්තෙකුට “මේක නම් පිස්සු විකාරයක්” කියා හිතෙනවා නම් උද්ඝෝෂනයට හේතු වූ ඇත්ත කාරනය මොකක් දැයි හිතන්න පෙළඹෙන්නේ නැහැ. විමල් ගේ උද්ඝෝෂනය තුල තිබූ විකාරරූපී ස්වභාවය උද්ඝෝෂනයටත් වඩා ලොකු වීම නිසා විරුද්ධ වාදීන්ට ඉඩක් ලැබුණා, ප්‍රධාන කරුණ අමතක කොට අර විකාර රූපයෙන් හදා ගත් පඹයකුට ගහන්නට.
විමල් ගේ වගාඩම්බර, නලින් ද සිල්වා මොනවා කීවත් කළ යුතුව තිබූ උද්ඝෝෂනයක තිබිය යුතුව තිබූ ලක්ෂන බව ලේඛකයා නම් හිතන්නේ නැහැ. “බන් කී මූන්, උඹ හිතන ඒව මෙහේ කරන්න හම්බ වෙන්නෙ නෑ” වගේ ගිරිය යටින් කළ කෑ කෝ ගැසීම් ලේඛකයාට මතක් කළේ, ෆොන්සේකා හිරේ දැමීමට එරෙහිව කළ හුදෙකලා ජවිපෙ උද්ඝෝෂනයේදී සෝමවංස අමරසිංහ කළ වියරු කතාව. උපදේශක කමිටුව හකුළා ගත්තොත් මිස ආයේ සක්කරයා ආවත් නොනැගිටින බවට දෙන සහතික, ප්රචාරක වශයෙන් වාසි සහගත ඒවා නොවෙයි: විශේෂයෙන්ම දින කිහිපයකින් තමාගේ “මාරාන්තික” උපවාසය අවසන් වන බව තමා ම දන්නවා නම්. ඒ නිසා නලින් ද සිල්වා ගේ “I am sure that Wimal Weerawansa by his fast attracted many young people to the national movement, and we in the movement should be thankful to him at least for that.” වගේ කියමන් වල ඇත්තක් තිබෙනවාද කියන එක ලේඛකයාට නම් සැකයි. ඒ කියන්නේ එතැන පිරී සිටි සෙනග ගැන නම්, වැඩක් නැතුවට සතියේ දවසක ඔහොම දේකට එකතු කරගන්න පුලුවන් උන් නම් යූඇන්පී රැස්වීම් වලටත් එනවා. (මේ ඊනියා ජාතික “ප්රබෝධය”, බෞද්ධ “ප්රබෝධය” ගැන ජාතිකවාදියකු වුවත් ලේඛකයාට නම් ඇත්තේ, —ලිබරලුන්ට සම්පූර්නයෙන් වෙනස් හේතු මත වුවත්— සංශයවාදී මතයක්. ඒක ගැන වෙනම කතා කළ යුතුයි)
දැන් වුනේ කුමක් ද? බැන් කී-මුන් ට මිස සක්කරයාටවත් නවත්තන්නට බැරි බව කී උපවාසය, අන්තිමට දුව අඬන බව කියා නැවැත්වීමයි. ඒක ලැජ්ජා නැතුව පලිප්පු දමමින් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේ පත්තර වලින්ම නිසා බොරුය කියන්නත් බැහැ. නලින් ද සිල්වා කියන්නේ මෙහෙම කතාවක්: “These commentators were telling us that everybody knew that Wimal was not going to die and was waiting for the President to come with orange juice or thambili water. I am not sure whether the act of the daughter of Wimal Weerawansa was also in the script as I have not been able to get a copy of it.” මේකෙන් කියන්නේ දුව ගේ ක්‍රියාව දරුවෙක් නිසා කපටි කමින් කළ දෙයක් නොවන බව දැයි පැහැදිලි නැහැ. කොහොම වෙතත්, තමා උපවාසයකින් මැරෙන්න යන විට දුවට දුක සිතෙනු ඇතැයි සිතීමට විමල් වීරවංස නොවෙයි ඕනෑම තාත්තා කෙනෙකුට මොළයක් තිබිය යුතුයි. ඒක නිසා දුවට දුක හිතුනු පලියට උපවාසය නැවැත්වූ බව කීම විහිළුවක්; දුවගේ පනිවිඩය පියාට ගෙන ගිය පියන් වැඩේ කළේ රටේ ජනාධිපති වීම වෙනම කතාවක්. (අනෙක් අතට, දුව නිසා නොව ජනාධිපති කී නිසා උපවාසය නැවතූ බව කීමත් සිල්ලර විහිළුවක් වන්නේ, විමල් ගෙන් රාජපක්ෂ එහෙම දෙයක් ඉල්ලා සිටීම මොන මොහොතේ හෝ අනිවාර්යයෙන් සිදු වන දෙයක් නිසා. එහෙම නම් විමල් කර ඇත්තේ, උපවාසයට හාන්සි වී, ගලවා ගැනීමට ජනාධිපති මොන වෙලේ හෝ එන තුරු ඔහේ බලාගෙන ඉඳීමයි.) ඒ නිසා, සිල්වා තුමා කියන විදියට නොමැරෙන බව දැන දැනම උපවාස කළා වුනත්, ඒ කළේ කුමක් හෝ මතවාදයක් තල්ලු කිරීමට වුනත්, ඔයිට වඩා හොඳ තිර රචකයෙකුට වැඩේ බාර දෙන්නට ඉඩ තිබුනා. හරය එකම වීම වෙනම කාරණයක්: “කොහොමත් අපේ ඇඳුම් වලට යටින් ඇත්තේ මේ මේ දේවල් බව ලෝකයම දන්නවා” කියන එක හෙළුවෙන් ඇවිදීමට නිදහසට කාරනයක් නොවෙයි.
ඊනියා “මාරාන්තික උපවාස” කරන්නේ ඇත්තටම මැරෙන්නට නොව යම් කිසි දේශපාලන මතයකට ප්‍රචාරය ලබා ගැනීමට බව, මතුපිටින් විහිළුවක් වුනත් දේශපාලන ලෝකයේ සාමාන්‍ය සත්‍යයක්. පඩංගු උගතුන් මේ ගැන කතා කරන්නේ නිකම් තමා හොයා ගත් රහසක් ගානටයි. අනෙක, වීරවංස හෝ මර්වින් සිල්වා වැන්නෙකුට මඩ ගැසීමට නම් කුල මල, අතීත කතා, පවුල් විත්ති ඔක්කොම අදින්න පුලුවන් මේ උගතුන්ට, අඩු ගනනේ කොටි සංවිධානයේ තිලීපන් ගේ “මාරාන්තික” උපවාසය ස්වේච්චාවෙන් කරන ලද්දක් නොවන බවට ඇතැමුන් තුල ඇති මතය හෝ සඳහන් කිරීමට හැදියාවක් නැහැ. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සිය ගණනක් පසුව ඇති කරගත් ත්‍රස්තවාදී සංවිධානයකට නිකම් ම මැරෙන එක් උපවාස කරුවෙක් වියදම් කිරීම ලොකු දෙයක් නොවන බව මේ උගතා ට පේන්නේ නැහැ. තිලීපන් ගේ උපවාසය ප්රභාකරන්ගේ අණ නිසා සිදු වූවක් බවත්, තිලීපන් මිය යාම ඉන්දියන් හමුදාවටත් වඩා වුවමනා උනේ ප්‍රභාකරනට බවත් කියන්නේ ඊනියා සිංහල ජාතිවාදීන් ම පමණක් නොවන බව මේ උගතාගේ විශ්ලේෂක මොළයට නොපෙනුනත්, විමල් වීරවංස වැසිකිලියට ගිහින් “සෙබළුන් සඳහා පිළියෙළ කරන ලද අධිපෝෂණීය චොකලට් බාර්” කෑ හැටි නම් මේ උගතාට බලා හිටියාක් වැනි ප්රත්යක්ෂ සත්‍යයක්. තවත් ඊනියා විශ්ලේෂකයන් ලෙමන් පෆ් පෙට්ටියක් අල්ලාගෙන කෑ ගැසුවේ නිකම් වීරවංසට කන්නට කඩ වලට දමන අන්දමේ මහා පරිමානයෙන් පැකට් ගනන් ලෙමන් පෆ් අරන් ඇවිත් ඇති ගානටයි. හොරෙන් කන්න උවමනා එකෙක් ඒ වගේ දෙයක් කරාවි දැයි හිතන්න වත් මේ පින්තූර විශ්ලේෂකයන්ට මොළයක් නැහැ — එතකොට නම් විවිධ අන්දමේ දේ ප්‍රවාහනයට එවැනි අපතේ යන පෙට්ටි යොදා ගන්නා බව නොදැනීමට තරම් තොත්ත බබා ලා.
මේ කියන්නේ නිකමට වත් විමල් ඇත්තටම බඩගින්නේ හිටි බව කීමට නොවෙයි. ඇත්තටම කළා වුවත්, පරමාර්ථය සලකන විට ඔතරම් කෙටි කලක් බඩගින්නේ හිඳීම එතරම් අමාරු දෙයක් නොවෙයි. අද බැරි නම් හෙට ශල්‍යකර්මය කරාවි යයි සිතමින්, ඒ නිසා දවසට වේලක් පමණ ආහාරයට ගනිමින් (ඇතැම් විට වෛද්‍යවරයාගේ/හෙදියන්ගේ නොසැලකිල්ල/අත පසුවීම් නිසා නිකරුණේ ද බඩගින්නේ හිඳිමින්) දින ගනන් ගත කරන රෝගීන් කොළඹ ජාතික ආරෝග්‍ය ශාලාවේ ඉන්නවා. හොඳ හයිය හත්තිය ඇති වීරවංසට ඔතරම් ලොකු කරුණක් සහ ප්‍රචාරයක් වෙනුවෙන් දින කිහිපයක් ඉඳීම, තරමක් අමාරු දෙයක් වුවත් මහා විශාල පරිත්‍යාගයක් නොවේ — විශේෂයෙන්ම එයින් ලැබෙන පුද්ගලික දේශපාලන වාසිත් සලකා බැළූ විට. ඒ නිසා “වෙන කවුරුවත් හිටියද” හෝ “උඹට ඉන්න පුළුවන් ද” වගේ සිල්ලර තර්ක වලිනුත් ඒ හැටි පලක් නැහැ.
මේ සංදර්ශනය, අර්ථ විරහිත භාවය දැන දැනම කළා නම්, ඒ සඳහා බලපෑ හේතු මොනවා වන්නට ඇති ද? සමහර විට, යුද්ධයෙන් පසු එන්න එන්නම තමාට තිබූ ප්රගතිශීලී භූමිකාවේ සීමාවන් ඇති වී ඇති බව විමල්ට වැටහීම හේතු වුනා වෙන්නට පුළුවන්. තල්ලු ස්ටාට් එක කෙසේ වෙතත් ඇන්ජිම දිවීම පටන් ගත් පසු රාජපක්ෂගේ ධනවාදී රෙජීමයට වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ජාතික හෙළ උරුමයේ පන්නයේ ධනවාදය නියෝජනය කරන විධායක පැලැන්තියේ ජාතිකවාදීන් බව පෙනී, වාගාලංකාර (rhetorical) දේශපාලනයේ වටිනා කම නැවත ලබා ගැනීමට කළ දෙයක් වීමටත් බැරි නැහැ. (මෙයින් කියන්නේ වාගාලංකාර වලින් දේශපාලනයට කොහෙත්තම වැඩක් නැති බව නොවෙයි. එකඟ නොවන පඩංගු උගත් හු ශේක්ස්පියර් ගේ ජුලියස් සීසර් බැරි නම් චර්චිල් ගේ කතාවක් දෙකක් කියවත්වා) බෑන් කී මූන් කමිටුව කොහොමත් හකුළා ගන්නට යන බවට කළ වැරදි ගනනය කිරීමක් හේතුව වන්නට බැරි කමක් ම නැහැ. අනෙක් අතට, ඉතා දැනුවත්වම, වේදිකාලෝකය වඩා වැදගත් කරුණු වලින් ඉවතට ඇදීමට ඇමක් වශයෙන් වීමටත් බැරි නැහැ. මේ අන්තිම කරුණ සැබෑ හේතුව නම් පමණක්, සටන සර්වප්‍රකාරයෙන්ම සාර්ථකයි. තැලෙන යකඩය දැක ආචාරියා මොකක් දෝ උඩ දමමින් තලනවා කීවාක් මෙන්, තව තව පඩංගු උගතුන්ට තව තව සති ගනන් වැල් වටාරම් ලිවීමට දැන් පුළුවන්. ශෂී වීරවංස ගේ අම්ම තාත්ත ගැන තවම මොකුත් කීවෙත් නැහැ නොවැ.
හතරවටේටම නෙලන්න යෑම නිසා ටිකක් අවුට් ඔfප් fපෝකස් වෙලා තිබුනත් හොඳ සටහනක්. ඔබේ අදහස් සියල්ලටම එකඟ නොවුනත් අන් බොහෝ බ්ලොග් දේශප්‍රේමීන්ට නැති සංයමයක් මෙම සටහනේ තියෙනවා.
මට නම් out of focus වගේ හිතෙන්නේ, වීරවංස පැත්තක තියා වීරවංසගේ ගෑනිගේ පියයුරු වල තරම ගැන, මහින්ද රාජපක්ෂ වීරවංසගේ ගෑනිට හිමිකම් කීමේ අයිතිය, මර්වින් සිල්වා විවේචනය පැත්තක තියා ඒ වෙනුවට දුවත් සමග නිදා ගන්නා බවට කතා පබැඳීම වැනි දේ දකින විටය. මේ වැනි දෑ බ්ලොග් සටහනක දුටුවොත්, ඇටමැස්සා බය නැතිව වරද පෙන්වා දෙනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. රචකයන්ගේ සංයමය ගැන හොඳ අවධානයකින් සිටින ඔබ වැන්නන් දැකීම සතුටට කරුණකි.
සබ්ට්ල්.එස්.එල්,
කරුණු කිහිපයක් සම්බන්ධයෙන් හැරුණු කොට පුක්කුසාතී සබ්ට්ල්ගේ මතය සමග බොහෝ දුරට එකඟය. “බැලු බැලූ වුන් කව් ගී ලී හෙයින්” එසේ නොලී ‘බුදල්’ මෙන් එකඟ විය නොහැකි කරුණු පමණක් මෙසේ සටහන් කරමු.
1. “පාරාජිකා වී ඇති බෑන් කී මූන් නැමති රූකඩ චරිතයේ ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධය දැක්විය යුතු බව වෙනම කාරනයක්. මේ සම්බන්ධයෙන් වැඩි දුර ලීමට ලේඛකයාට වුවමනාවක් නැහැ; මේ වන විට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තරම් ලියවී තිබෙනවා”
බන් කී මූන් පරාජිකා වී නොමැත. ඒ එසේ නම් අප ගොඩය. උහු ඇත්ත වශයෙන්ම නම් ‘ලයිව් අන්ඩ් කිකින්’ය. එද සුළුවෙන් නොව අම්බානකටය. අවුල ඇත්තේ එතැනය. හැරත් ඔබ ‘බන් කී මූන්ගේ ගැන ඇවැසි තරම් ලියවී තිබෙනවා’යැයි කීවේ බ්ලොග් අවකාශය සම්බන්ධයෙන් නම් විය නොහැක. ඔබ හදිසියේ නින්දෙන් අවදි වුණා දැයි නොදනිමු. නමුත් බ්ලොග් අවකාශයේ නම් පට්ට ගැසුණේ විමල් වීරවංශ (සහ අඩු වැඩි වශයෙන් ශශී වීරවංශ) මිසක බන් කී මූන් හෝ යූ සූන්-තේක් (හෙවත් මිසිස් මූන්) නම් නොවේ. බ්ලොග් ඔස්තාද්ලාට බන් කී මූන්ගේ අත්තනෝමතික වැඩය ගැන වගේ වගක් නැත. ඔවුනට ගැටළුව විමල් වීරවංශ කළ දේය. තත්ත්වය කෙතරම් ප්රභසනයක් වීද යත් එක් මොහොතක විමල්ව බයිට් කිරීමේ තරඟයක් තිබුණා දැයි සිතෙන තරමටම බ්ලොග් ලියැවින. පසුගිය දෙසතිය තුළ විමල් අළලා Beyond Frame පමණක් ලියූ බ්ලොග ගණන දහයකි. ඇට මැස්ස ලියූ බ්ලොග් ගණන හතකි. Taboo Subject නැමැත්තා ලියූ බ්ලොග් ගණන හයකි. ඒ මොවුන් එකකුවත් බන් කී මූන්ගේ බටහිර ගැති ව්‍යවස්ථා විරෝධී වැඩ ගැන වචනයක්වත් නොලියන අතරතුරය. ඔබ ලියන්නේ නම් ලිය විය යුතුව තිබුණේ ඒ ගැනය. ඒ පුක්කුසාතීගේ හැඟීමය.
2. “කෙසේ වෙතත්, වීරවංස ගේ සිල්ලර නාටකයෙන් ඇති වූ පලදායී ප්‍රතිඵලයක් නැති බවයි ලේඛකයා ගේ හැඟීම.”
පුක්කුසාතී නම් සිතනුයේ අප තවම නරඹා ඇත්තේ මේ නාටකයේ මුල් ජවනිකා කිහිපය පමණක් බවයි. විමල් එහි කළ රංගනය දුර්වල වීම සැබැවි. එහෙත් නාටකය තවම අවසන් නැත. බන් කී-මූන් ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ගැනීමට විද්වත් කමිටුවක් පත් කොට ගත්තේ අසවල් තැන අමාරුවකට විය නොහැක. මේ කමිටුවෙන් නිර්දේශ කෙරෙනු ඇත්තේ මොනවාද කියා අපට අනුමාන කළ හැකි වුවද බන් කී-මූන් ඒව ක්‍රියාත්මක කරනු ඇත්තේ කෙසේද යන්න ගැන අප තවම නොදනී. ඊට ලංකාව රටක් සහ ජනතාවක් ලෙස කෙසේ ප්‍රතික්‍රියා කරාවිදැයිද අප නොදනී. විමල්ගේ මේ රංගනයේ සාර්ථකත්වය තීරණයකළ හැක්කේ එම ජවනිකාද නැරඹූ පසුය.
රජීව් ගාන්ධිට අසාර්ථක ලෙස රයිෆලයකින් පහර දීමට උත්සාහා කළ නාවික සෙබළ විජිතමුණි රෝහණද එදා පනපෙව්වේ මෙවැනිම ජවනිකාවකටය. එම සිල්ලර වැඩෙන්ද පලදායී ප්‍රතිඵලයක් ලද නොහැකිව තිබුණු බවත් රයිෆලයකින් පහරදී රජීව ගාන්ධිව නතර කළ නොහැකි බවත් උවමනා නම් කිව හැකිව තිබුණි. නමුත් එය එසේ නොවූ බව අප අද දනී. එදා එවන් සිල්ලර වැඩ ඔස්සේ ගොඩ නැගුණු විරෝධය අවසානයේ රජීව් ගාන්ධි හකුලා ගෙන යනතෙක් දිග් ගැසුණු බව අද අප දනී.
3. “මේ සංදර්ශනය, අර්ථ විරහිත භාවය දැන දැනම කළා නම්, ඒ සඳහා බලපෑ හේතු මොනවා වන්නට ඇති ද? සමහර විට, යුද්ධයෙන් පසු එන්න එන්නම තමාට තිබූ ප්රගතිශීලී භූමිකාවේ සීමාවන් ඇති වී ඇති බව විමල්ට වැටහීම හේතු වුනා වෙන්නට පුළුවන්. තල්ලු ස්ටාට් එක කෙසේ වෙතත් ඇන්ජිම දිවීම පටන් ගත් පසු රාජපක්ෂගේ ධනවාදී රෙජීමයට වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ජාතික හෙළ උරුමයේ පන්නයේ ධනවාදය නියෝජනය කරන විධායක පැලැන්තියේ ජාතිකවාදීන් බව පෙනී, වාගලංකාර (rhetorical) දේශපාලනයේ වටිනා කම නැවත ලබා ගැනීමට කළ දෙයක් වීමටත් බැරි නැහැ.”
මහ මැතිවරණය පැවැත්වූයේ යුද්ධය අවසන් වී වසරකට පමණ පසුය. එම මැතිවරණයේදී කොළඹින් වැඩිම මනාප ගෙන විමල් පාර්ලිමේන්තුවට පත්වී තවම දින සියයක්වත් නැත. එබැවින් විමල් මේ දෙය කළේ පිරිහී යන ජනප්‍රියතාවය නැවත ඇති කරගැනීමට යැයි සිතීම උගහටය. විමල් මෙය කළේ වැඩිවන බඩුමිළ සහ වෙනත් අර්බුධ වසා ගැනීමටය කියන කතාව පුක්කුසාතී පිළිනොගත්තද එය ඔබේ මේ මතයට වඩා තර්කානුකූලය. සංගතය. හැරත් බන් කී-මූන් මේ කමිටුව හකුළා ගනු ඇතැයි අනුමාන කිරීමටද විමල්ට හේතුවක් නොමැත. විමල් මීය කැඩුවේ අත ලෙව කෑමට පමණක් නොවන බව පූකුසාතීද පිළිගනී (මේ දිනවල විමල් තියා ඌරුවරිගේ වන්නියාවත් නිකම් මී කඩන්නේ නැත). පුක්කුගේ මතය (නමින් පුක්කුසාතී වුවද පුක්කු යැයි ඇමතෙනුයේ හුරතළයට බව සැළකුවමනාය) විමල් මෙය කළේ හේ විමල් නිසා බවය. සද්දයක් දැමීමට අවස්ථාවක ලද විට නිහඬව ඊට යන්නට ඇරීම විමල් වැන්නවුන්ගේ සිරිත නොවේ. එබැවින් උහු පෙරමුණ ගත්තේය. වෙන කවුරුවත් ඉදිරිපත් වීමට පෙර ඔහු වැඩ ඇල්ලුවේය. එමගින් ඔබද නිවැරදිව කියූ ලෙස මෙරට විරුද්ධවාදීන්ට පහර දීමට සිල්ලර විකටයකු සපයා දුන්නේය. එහෙත් විමල්ට තබන වෙඩි උහු නැතිනම් තබනුයේ අපට බව තේරුම් නොගැනීමට තරම් අප අඳබාල විය යුතු නැත. විමල්ගේ ගොංකම් පසෙක තිබියේවා, අප මේ මොහොතේ කළ යුත්තේ බන් කී-මූන්ගේ වියරුව හෙළදරව් කිරීමය. පශ්චාත් මරණ පරීක්ෂණ පසුව කළ හැක. මූලිකත්වය දිය යුත්තේ ඇස් පනාපිට අපරාධයක් කොට මාරු වීමට තතනන අපරාධකරු හෙළිදරව් කිරීමටය.
-පුක්කුසාතී.
පුක්කුසාති,
ඔබේ දීර්ඝ පිලිතුරට ස්තුතියි. හැකිතාක් කෙටියෙන් උත්තර දීමට තැත් කරමි:
1.
මා බෑන් කී මූන් පාරාජිකා වී ඇති බව කීවේ වික්‍රමබාහු ධනවාදය ට කෙළවී ඇති බව කියන අන්දමේ අර්ථයකින් නොවේ. (“බටහිර ඒජන්තයෙකු” වශයෙන් බෑන් කී මූන් ගේ ප්‍රයෝජනවත් කාලය අවසන් වුවහොත් ඒ වෙනුවට වෙනත් අයකු පත් වනු ඇත.) මා කීවේ පුද්ගලිකව මූන් යනු අසාර්ථක ඒජන්තයකු බවයි. තරමක් දුරට “සාම වෑයම” තුල ජී ඇල් පීරිස් මෙනි.
2. බ්ලොග් අවකාශය ගැන:
ඇත්තටම Beyond Frame ගෙන් නම් ගෝසාවකට වඩා දෙයක් සිදු නොවන බව මගේ හැඟීමයි. (ටැබූ සබ්ජෙක්ට්ස් තර්ජනයක් බව මින් අදහස් නොවේ: මා ඔහු ගැන වැඩියෙන් ලියන්නේ (Beyond Frame සාමාන්‍යයෙන් තැත් නොකරන අන්දමේ) බොරු pretentious බැලුම් බෝල හිල් කිරීම විනෝදයට කරුනක් නිසාවෙනි.) කෙසේ වෙතත් මේ දෙදෙනාටම හුරේ දමන්නේ කොහොමත් කවදාවත් දේශපාලන වශයෙන් අනෙක් පැත්තේ සිටි අය බව මා සිතන්නේ නැත: එය නිකම් ගැලරි චූන් එකකට වැඩි දෙයක් වී නම්, ටැබූ සබ්ජෙක්ට්ස් ලියන වැල් වටාරම් වලදී මීට වඩා සීරියස් විවේචනයක් පාඨකයන් ගෙන් පළ විය යුතු ය. ඒ නිසා මේ අය විමල්ට හෝ වෙන කෙනෙකුට දිනපතා නොව පැයට එක බැගින් ගැසුවත් එදිනෙදා චූන් ඩෝස් එකෙන් එහා කාටවත් වන ඇත්ත හානියක් ඇති බව මා සිතන්නේ නැත: එනයින්, මේ සටන එක් අතකින් ගත් කල කෑම දිරවීමට බ්ලොග් අවකාශයේ කෙරෙන්නකට එහා යා යුතු / යා හැකි බවට මගේ අධි තක්සේරුවක් නැත. අනෙක ඒ අයගෙ පැත්තෙනුත් හිතන්න කො, දවසකට එක පෝස්ට් එකක් කොහොම හරි ලියන්න මාතෘකා හොයා ගන්න එක ලේසි ද?
නාටකය නෙවෙයි නම් ජවනිකාව කියන්න කෝ. “බෑන් කී මූන්ට එරෙහිව උද්ඝෝෂනය ප්‍රතිඵල දායී දෙයකි” යන්න පොදු (generic) කියමන කි. ඒ කියමණ ගැන ඔබ සමග මා එකඟය. මා කියන්නේ ඒ සර්වත්‍ර කුලකය තුල මිස ඊට විශේෂ වශයෙන් විමල් වීරවංස මෙහිදී කළ කිසිම දෙයක වැදගැම්මක් නැති බවය. කළ යුතුව තිබුනේ සංවිධානාත්මක සහ කරුණු වශයෙන් මග හැරිය නොහැකි උද්ඝෝෂනය කි. එසේ කළා නම් බියොන්ඩ් ෆ්‍රේම් ට වුවද ඔතරම් ලිපි ගනනක් ලීමේ දී “අපේ වැඩ අප බලා නොගන්නා විට පිට රට අය ඇඟිලි ගසති” යන සිල්ලර චෝදනාවේ හෝ විමල් ගේ උපවාසය අවසන් වෙන්නේ කවදා ද යන ගැටළුවේ comfort zone එකෙන් එලියට ඒමට සිදු වනු ඇත.
විමල් සාම්ප්‍රදායික ජවිපෙ ට වඩා එක් අතකින් ඉදිරිගාමී වූයේ අඩු ගණනේ තමා දකින විට අනෙක් අයට සිතෙන දෙය ගැන වත් සංවේදී වූ හෙයිනි. ඒ අතින් ටිල්වින් සිල්වා ගේ XXL කමීස වලට එරෙහිව විමල් ගේ පීරපු කොණ්ඩයේ සංකේතාත්මක දේශපාලනයක් තිබිණි. මෙහි ඇත්ත දේශපාලනය “නැත්ත වෙනුවට ඇත්ත” පොතෙන් තරමකට හෙළි දරව් වේ. ගිරිය යටින් කෑ ගැසීමෙන්, වාහන වල එලියට එන මිනිසුන් ට යකුන් නැටවීමෙන් සිදු වූයේ පරණ ජවිපෙ දේශපාලනයට නැවත යාමකි. මා හිතන හැටියට එයින් ජාතික ව්‍යාපාරයට වූ ලාභයක් නොමැත; උද්ඝෝෂනය කෙසේ වෙතත් උපවාසය අඩු ගණනේ හොඳින් සංවිධානය විය යුතුව තිබුනේ මෙය දින කිහිපයකින් අවසන් වන ගැටළුවක් නොවන නිසාමය. ඇත්තටම ඔබේ කෙටියෙන් කී ඔබේ අදහස විවේචනයක් හැටියට මටද යොදා ගත හැකිව තිබිණි. මා ඒ කීවේ ද විමල් වීරවංස චරිතයට පුරුදු වී ඇති තරම් අදාලත්වයක් නොලැබීමේ හේතුව උඩ වීරවංසද ආවේගශීලී ක්‍රියාවකට හදිසියෙන් පැන්නා විය හැකි බවයි. (චන්ද ප්‍රතිඵල මෙයට අදාළ නොවේ; අඩුම ගණනේ වැදගත් ඇමති කමක් හෝ ඉල්ලූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ගණන වත් ජාතික නිදහස් පෙරමුණ ට නොලැබිණි – ඒ මා හිතන හැටියට සෑහෙන තරම් සාධාරණ හේතු නිසා ය.)
මා හිතන හැටියට දෙකම කළ යුතු ය. නැති නම් අපද නවතින්නේ, අද බියොන්ඩ් ෆ්‍රේම් නැවතී ඇති, මහින්දට කෙලවීමට අරින අධෝවාතයත් සුවඳ ස්ථාවරයට වෙනස් තැනක නොවේ. ඇත්තටම බියොන්ඩ් ෆ්‍රේම් ට උත්තර දෙන වේලාවේ බ්ලොග් එකක් අළුතෙන් පටන් ගන්නේ නැත්තේ ඇයි? (සරළව ලීවොත් “maxa”, “පට්ට” වැනි ප්‍රතිචාර ගොඩක් ලැබීමට ද බැරි නැත. 😉 කාටද ආඩම්බර.)
බෑන් ගේ වියරුව හෙළි දරව් කිරීම මාලින්ද හෝ නලින් ද සිල්වාට වඩා හොඳින් මට කළ හැකි යයි මා සිතන්නේ නැත. අනෙක මා ලියන්නේ බියොන්ඩ් ෆ්‍රේම් හෝ මිගාර දොස්තර හෝ කතන්දර කාරයා වැනි පුළුල් පාඨක පිරිසක් සඳහා වත්, අපේක්ෂාවෙන් වත් නොවේ. මෙතරම් දිගු ලිපි කියවන්නකු වේ නම්, මොන පක්ෂයේ වුවද ඔවුන් මූන්ට එරෙහිව ඇති කේස් එක මේ වන විට හදාරා තිබිය යුතු ය.
විමල්ගේ උපවාසය ගැන මා තුලද ඇත්තේ මේ ලිපියේ ඇති අදහසට කිට්ටුවෙන් යන අදහස් පෙළකි. කරුණු දෙකක් කිව යුතුයි:
අඩුම ගනනේ “උපදේශණ කමිටුව ඉල්ලා අස් කරගත්තෙ නැත්නම් මං මැරෙනවා” වැනි හුදු ඉල්ලීමකට වඩා, විමල්ට පැහැදිලිව ඉස්මතු කළ හැකි (specific) කරුණු කිහිපයක් තිබුනා.
1. ආරක්ෂක මණ්ඩලය, general assembly යන ආයතන වල සාකච්ඡාවට නොගැනුන, මානව අයිතිවාසිකම් කවුන්සලයේ ප්‍රතික්ශේප වුනු දෙයක් ගැන තීරණ ගන්නේ කෙසේද කියා කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලීම.
2. “දෙපාර්ශවයේම” වැරදි සෙවීමට එක් පාර්ශවයක් නැති වෙන තුරු සිටිමේ කරුණු පැහැදිලි කිරීම. (එවිට වැරදි ඇතොත් දඩුවම් කළ යුත්තේ එක් පාර්ශවයකට පමණි).
කෙසේ වෙතත්, මේ කරුණු කාරණා නිසා, අපේ රටේ ඇති වැදගත් දෙයක් ඉස්මතු කිරීම බොහෝ දේශප්‍රේමී බ්ලොග් කරුවන්ට අතපසු වී ඇති බව පෙනෙනවා. ඒ, ඔය දෙමළ ජනයාට තිබෙනවායි කියන ගැටළු (grievances), ඔවුන්ට පමණක් ඇති ඒවා නොව රටේ සියලුම දෙනාට පොදු ඒවා බව පෙන්වීමයි.
කොටින්ම, දෙමළ ජනයාට පමණක් සීමාවූ ගැටළු මොනවාද (මුර කපොළු වල වැඩිපුර පරීක්ෂා වීමට අමතරව) කියා පෙන්වීමට NGO ඔස්තාද්ලාට බල කරමින්, ඒ කතාව යොදාගෙන, එක් ජන කොටසකගේ ප්‍රශ්ණ විසඳීම පමණක් කඩිනම් කිරීම (fast track) අනිත් අයට කරන අසාධාරණයක් බවට රටේ ප්‍රබල ජනමතයක් ගොඩ නැගීම මේ වේලාවේ අවශ්‍යම දේ බවයි මගේ හැඟීම.
“ඇත්තටම බියොන්ඩ් ෆ්‍රේම් ට උත්තර දෙන වේලාවේ බ්ලොග් එකක් අළුතෙන් පටන් ගන්නේ නැත්තේ ඇයි?”
|Storm Crow|,
බ්ලොග් ලියන්නේ තෙළ බෙදීමටය. පුක්කුසාතී තෙළ බෙදීමට වඩා අනෙකුන්ට ඇන්න වීමට ප්‍රියය. රට ජාතියට කෙළවීමට වළිකන උන්ට ඇන්නවීමට ඊටත් වඩා ප්‍රියය. එබැවින් බ්ලොගයක් පටන් ගැනීමට පුක්කුසාතීට වැඩි උනන්දුවක් නැත. හැරත් බ්ලොගයක් ලිවීමට තරම් ඇවැසි සම්පත් සහ සන්යමයද පුක්කුට නැත.
-පුක්කුසාතී.
Wimal Weeraawansa is a shameless con artists and that’s the ultimate truth. If Wimal has any love for this country he should be against this kleptocracy. How can he , when he is also a part of that
Do you know any major party in Sri Lanka that isn’t made of thieves? Or are you suggesting that the country must be ruled by NSSP and SEP?