Thursday, February 12, 2015

ශ්‍රීලනීපය රට බෙදන්න සුදානම් ද?

"දෙමළ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට බලය බෙදා හැරීමට තමන් එකඟ නමුත් බෙදුම්වාදය ශක්‌තිමත් කෙරෙන කිසිදු යෝජනාවක්‌ පිළිගැනීමට තමන් සූදානම් නැතැයි විපක්‍ෂ නායකවරයා කියා සිටී." නිමල් ද සිරිපාල ද සිල්වා (දිවයින 15/02/13)

සිල්වා බලය බෙදීමට පක්ෂය. බෙදුම්වාදය ශක්තිමත් කිරීමට විරුද්ධය. බෙදුම්වාදය ශක්තිමත් නොවන අයුරින් බලය බෙදන්නේ කෙසේද? මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය බෙදීමට පක්ෂ බව මින් කියවේ. මේ වනාහි උගුරට හොරා බෙහෙත් කෑමට දරන අතිශය වංචා සහගත ප්‍රකාශයකි. ප්‍රදේශ මුල් කර ගෙන සිදු කරනු ලබන සියලු ම ආකාරයේ බලය බෙදීම්වලින් රටේ ඒකීයභාවය දියවීමට සාපේක්ෂව බෙදුම්වාදය ශක්තිමත් වන බව ඕනෑ ම අත දරුවෙකුට වටහා ගැනීම අපහසු නැත. එහි කෙළවර ඊළම බව තරයේ සිහි කටයුතු ය. 

අනෙක් අතට 50%ක් පමණ දෙමළ ජනතාව දකුණේ සෙසු ජන කොටස් සමඟ ජීවත් වන පසුබිමක, 2009 පසු එය තව තවත් තීව්‍ර වන පසුබිමක මෙම බලය බෙදීම හරහා දෙමළ ජනතාවට විශේෂයෙන් ඇතැයි කියන ඊනියා ප්‍රශ්නවලට කිසිදු පිළිතුරක් නොලැබේ. එහෙයින් බෙදුම්වාදය ශක්තිමත් වීමට සිරිසේන ලා සිරිපාල ලා එකඟ නොමැති නම් කළ යුත්තේ රටේ ඒකීයත්වය තහවුරු කරන අතර පරිපාලනය විමධ්‍යගත කිරීමය. 

එහෙත් මේ සැරසෙන්නේ යහ පාලන බෝඩ් ලෑල්ල ඉදිරියට දමා ස්වයං පාලන බෝඩ් ලෑල්ල කරළියට ගත්තා සේ බෙදුම්වාදයට විරුද්ධයි, බලය බෙදීමට එකඟයි කියා රටේ ඒකීයත්වය විනාශ කිරීමටය. එක්සත් රාජ්‍යය, ෆෙඩරල් රාජ්‍යය ඔස්සේ ඊළම වෙත යෑමටය. 26 000ක් ජීවිත පූජා කොට එක්සේසත් කළ රට බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පූජා කිරීමට ය. 

මහින්ද රාජපක්ෂ යටතේ එක්සේසත් කළ රට නැවත බෙදුම්වාදීන්ට බිලි දීමට සිරිසේන ජනාධිපතිවරයාට ජනතාව කිසිම බලයත් ලබා දී නැත. ඌව ඡන්දයේ දී තම ආසනය ද පරාජය වූ නිමල් ද සිරිපාල ද සිල්වා අද ජනාධිපතිගේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන්නේ ඊළම අබිමුව පැවති රට 2009 එක්සේසත් කළ විට ජනතාව ලබා දුන් ජන වරමින් බව ඔහු සිහියේ තබාගත යුතුය. 

සිරිසේන ජනාධිපතිවරයාගේ වගකීම සිංහල දෙමළ සියලු දෙනාට මේ රටේ ඕනෑම තැනක ජීවත් විය හැකි එක නීතියක් ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කර තබා ගෙදර යෑම ය. මහින්ද රාජපක්ෂ නතර කළ තැනින් ඉදිරියට රට ගෙන ගොස් සැබෑ යහ පාලනයක් උදා කළ හැක්කේ එලෙසය. ඔහු කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය තහවුරු කළ හැක්කේ එලෙසිනි.

එහෙත් රනිල් වික්‍රමසිංහ හෝ නිමල් ද සිරිලා ද සිල්වා කිසි දිනක එම බලාපොරොත්තු ඉටු වන ගමනක් සඳහා පෙරමුණ ගනු ඇතැයි කිසිවෙකු සිහිනයකින් වුව ද නො සිතිය යුතු ය. ඒ සඳහා මේ රටට ආදරය කරන ඒකීයත්වය ආරක්ෂා කරන එය තව දුරටත් ශක්තිමත් කරන නායකයෙකු වෙත නැවත රට භාර දිය යුතු ය. ලාභෙට ලැබෙන පාන් පිටි ගිලමින් තම දරුවන්ට මව්බිම ලෙස තවත් පලස්තීනයක් ද උතුරින් ඊශ්‍රායලයක් ද ලබා නොදීම සිය පරම වගකීම බව මතක තබා ගත යුතු ය.   

1 comment:

Unknown said...

අවශ්‍ය වෙන්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම් ගැනීම සහ ඔවුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීම මිස ඒකිනෙකාගේ අවශ්‍යතා වෙනුවෙන් කඩේ යැම නොව.........

 
සිය රට දේ සිරි සැප දේ !