අමෙරිකානු, රුසියානු අභ්‍යවකාශ මෙහෙයුම්වල මිත්‍යා විශ්වාස 2

ඉනිමඟ යටින් ගමන් කිරීම, කණ්‌ණාඩිය බිඳීම, නිවස ඇතුළත කුඩයක්‌ ඉහළා සිටීම ආදිය බොහොමයක්‌ දෙනා සලකන්නේ අපල ගෙනෙන කාරණයන් ලෙසටයි. ඒ වගේම නොදැනුවත්වම ඇඳුමක කනපිට ඇඳීම, හිස උඩට හැරී ඇති කාසියක්‌ හමුවීම සහ පිරිසිදු ජලය පිරුණ බඳුනක්‌ ඉදිරියට හමුවීම වාසනාව ගෙනෙන නිමිත්තක්‌ ලෙස විශ්වාසයේ පවතී. මේ නිසාම වැදගත් කටයුත්තක්‌ ආරම්භ කරන විට සහ සුබ ගමනක්‌ පිටත් වන විට බොහෝ දෙනකු එවැනි මිථ්‍යා විශ්වාස සැලකිල්ලට ගෙන නොයෙකුත් සිරිත්වලට යොමු වී තිබේ. ඈත එපිට ග්‍රහලෝකවලට රොබෝ වාහන යවා පර්යේෂණ කරන යුගයක පසුවන එක්‌සත් ජනපද සහ රුසියානු අභ්‍යවකාශ ආයතන පවා මිත්‍යා විශ්වාස පිළිබඳව සැලකිලිමත් වෙයි. අභ්‍යවකාශ යානා දියත් කරන විට සහ දූත ගමන් අතරතුරේදි සාර්ථකත්වය බලාපොරොත්තුවෙන් ඔවුන් අමුතු චාරිත්‍රයන් රාශියක්‌ අනුගමනය කරයි.

සබැඳි ලිපිය;
යූරී ගගාරින්ගේ පෞද්ගලික කාමරය වෙත ගොස් ඔහුගෙන් අභ්‍යවකාශ ගමනට ආශීර්වාද පතන රුසියානු අභ්‍යවකාශගාමීන්!! [හා අභ්‍යවකාශ මෙහෙයුම් හා සබැඳුනු වෙනත් අපූරු චාරිත්‍ර...]

අංක 13 ප්‍රසිද්ධ වී ඇත්තේ අවාසනාවන්ත අංකයක්‌ ලෙසටයි. ඒ සම්බන්ධයෙන් නාසා ආයතනයේ හැඟීම කොතරම්දැයි කිවහොත් ඇපලෝ 13 දූත ගමනින් පසුව ඔවුන් මෙහෙයුම් නම් කිරීමේදී අංක 13 යොදා ගැනිමට සිදුවන අවස්‌ථා හැකිතාක්‌ මඟහැර ඇති බවක්‌ පෙනෙන්න තිබේ. විශේෂයෙන්ම එම ආයතනයේ පරිපාලක ෙ-ම්ස්‌ බෙග්ස්‌ අංක 13 නොමැති අංක ක්‍රමයක්‌ යොදා ගැනීමට බොහෝ උනන්දු වී තිබේ. 1970 අප්‍රේල් 11 දින ඇපලෝ 13 දියත් කෙරුණේ තුන්වන වරටත් හඳ මත පා තැබීමේ දූත ගමනකටයි. නමුත් අතරමඟදි ඔක්‌සිජන් ටැංකියක්‌ පුපුරා යාම නිසා සඳ මත ගොඩ බැසීමේ කාර්යය නවතා අජටාකාශගාමීන් ආරක්‌ෂිතව ගෙන්වා ගැනීමට කටයුතු කෙරුණි. 1981 සිට 2011 දක්‌වා වූ අභ්‍යවකාශ ෂටල ගමන්වලදී ඒවා නම් කිරීම STS-1 isg STS-9 දක්‌වා කර 13 පැමිණීම වැළැක්‌වීම සඳහා 10 වන ගමනේ පටන් STS-41B, STS-41C ආදි වශයෙන් සංකීර්ණ අංකන ක්‍රමයකට ගොස්‌ තිබේ.

අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා සෝවියට්‌ අජටාකාශගාමියකු වන යූරි ගගාරීන් මහතායි. ඔහු ගෙනගිය වොස්‌ටොක්‌ 1 යානාව 1961 අප්‍රේල් 12 දින පෘථිවි කක්‌ෂය වටා වටයක්‌ සම්පූර්ණ කළේය. එම ගමන ආරම්භ කිරීම සඳහා කසකස්‌ථානයේ බයිකනෝර් කොස්‌මොෙඩ්‍රාම්හි දියත් කිරීමේ වේදිකාවට යමින් සිටියදි අතරමඟදි ඇති වූ අවශ්‍යතාවක්‌ නිසා ඔහු බසය නවතා එහි ටයර මතට මූත්‍රා කර තිබේ. අජටාකාශගාමීන්ගේ නූතන ඇඳුම් කට්‌ටලවල එවැනි ක්‍රියාවන් වළකාලමින් ඒවා උරාගන්නා ඉණකඩක්‌ ඇතුළත් කර තිබේ. එසේ වූවත් එම අභ්‍යවකාශ ගමන් මෙහෙයුම් තොටෙන් අභ්‍යවකාශගත වීමට යන ඕනෑම විටක යූරි ගගාරීන් මහතා කළ ආකාරයටම මූත්‍රා කිරීම අජටාකාශගාමීන්ගේ සම්ප්‍රදායක්‌ වී තිබේ. එම කාර්යයට සම්බන්ධ වීමට කාන්තා අජටාකාශගාමින් බැඳී නොසිටියත් ඔවුන් තමන්ගේ මූත්‍රා කෝප්පයක රැගෙන විත් ටයරයට දමන බවට දැනගන්නට තිබේ.

කශක්‌ස්‌ථානයේ අභ්‍යවකාශ තොටෙන් අභ්‍යවකාශගත වන අජටාකාශගාමීන් ගමන් ආරම්භ කිරීමට පෙර යූරි ගගාරීන් මහතාගේ පරණ කාර්යාලයේ ඇති ආගන්තුකයින්ගේ පොතේ අත්සන් තැබීම සිරිතක්‌ කර ගෙන තිබේ. එදා මෙදාතුර බයිකනෝර් කොස්‌මොෙඩ්‍රාම් සිට අභ්‍යවකාශ ගමන් ඇරඹූ සියලුම අජටාකාශගාමීන්ගේ අත්සන් එහි වේ.

එක්‌සත් ජනපදයේ අභ්‍යවකාශ ෂටල වැඩසටහන 2011 දී විශ්‍රාම ගැන්වූ නිසා පසුගිය කාලයේ ඇමෙරිකානු අජටාකාශගාමීන් අභ්‍යවකාශගත වූයේ වෙනත් දේශයක ප්‍රවාහන ක්‍රමයක්‌ ඔස්‌සේය. ඔවුන් තම දේශයේ සිට අභ්‍යවකාශ ගමන් ඇරඹූ කාලයේ පිටත්වීමට පෙර උදෑසන ආහාරය ලෙස මස්‌ පෙත්තක්‌ කිරි හා බටර් මිශ්‍ර කර තැම්බූ බිත්තර (scrambled eggs) ආහාරයට ගැනීම සිරිතක්‌ වී ඇත. ගගාරීන් මහතාගේ අභ්‍යවකාශ ගමනින් සති කීපයකට පසුව එනම් 1961 මැයි 5 ඇලන් ෂෙපර්ඩ් මහතා අභ්‍යවකාශ ගත විය. ඔහු සැලකෙන්නේ අභ්‍යවකාශගත වූ පළමු ඇමෙරිකානු අජටාකාශගාමියා ලෙසටය. ඇමෙරිකානු අජටාකාශගාමීන් අනුගමනය කළේ ඇලන් ෂෙපර්ඩ් මහතාගේ උදෑසන ආහාරයයි. වර්තමානයේ නාසා ආයතනය නැවතත් අභ්‍යවකාශ ෂටල වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටී. එය ඇරඹූ විට එම ආහාර චාරිත්‍රය සමහරවිට නැවතත් දකින්නට ලැබෙනු ඇත.

අභ්‍යවකාශ ගමන්වලදී රටකජු වාසනාව ගෙනෙන දෙයක්‌ ලෙස විශ්වාසයට පැමිණ තිබේ. 2012 අගෝස්‌තු 5 දින කියුරියොසිටි රෝවරය අඟහරු මත ගොඩබසින විට නාසා පාලන මැදිරියේ මේස කීපයකම රටකජු බෝතල් දකින්නට ලැබී තිබේ. එම සිරිත පටන්ගෙන ඇත්තේ 1960 ගණන්වල ක්‍රියාත්මක කෙරුණු නාසා ආයතනයේ JPL මධ්‍යස්‌ථානය සඳ වෙත යැවූ Ranger නම් මෙහෙයුම් මාලාවක්‌ අතරතුරේදිය. සඳ වටා ගොස්‌ සඳේ ඡායාරූප ගැනීමට එම මෙහෙයුම්වලදී බලාපොරොත්තු වූවත් දියත් කරන හෝ කක්‌ෂයේ ඇති අතරතුරේ පළමු අභ්‍යවකාශා 6 ම අසාර්ථක වී ඇත. අවසානයේ 7 වන ගමන සාර්ථක විය. පුදුමයකට මෙන් එදින කිසිවෙකු හෝ විසින් පාලන මැදිරියට රටකජු රැගෙන විත් තිබුණි. එතැන් පටන් JPL මඟින් පාලනය කෙරෙන දියත් කිරීමේ හෝ ගොඩබැස්‌සවීමේ කටයුත්තකදී අභ්‍යවකාශ ගමනේ නම සඳහන් රටකජු බෝතල් පාලන මැදිරියේ මේසවලට ගෙන ඒම සිරිතක්‌ වී තිබේ. 

රුසියානු දියත් කිරීම්වලදී රුසියානුවන් ඔක්‌තෝබර් 24 දිනය අවාසනාවන්ත දිනයක්‌ ලෙස සලකයි. 1960 ඔක්‌තෝබර් 24 දින පරීක්‌ෂණ ගමනක්‌ සඳහා සූදානම් කළ ඔවුන්ගේ R -16 මිසයිලය දියත් කිරීමේ වේදිකාව මතදි පුපරා යැමට ලක්‌විය. R -16 ( NATO reporting name SS-7 Saddler) යනු සෝවියට්‌ රුසියාවේ පළමු සාර්ථක මහද්වීප අතර ප්‍රක්‌ෂේප මිසයිලයකි. මෙයට කිලෝමීටර් 11,000ක පියාසර පරාසයක් තිබුණි. 

Chief Marshal Nedelin
පිපිරුමෙන් R-16 සංවර්ධන වැඩසටහනේ ප්‍රධානියා වූ චීෆ් මාෂල් මිට්‍රොෆෑන් නෙඩෙලින් ඇතුළුව හමුදාමය සහ කාර්මික ශිල්පීන් 100 දෙනකුට වඩා මරණයට පත්විය. මරණයට පත් වූ වැඩසටහන් ප්‍රධානියාගේ නමින් නෙඩෙලින් ව්‍යසනය ලෙසින් (Nedellin Disaster) එය හැඳින්විණි. එම සිදුවීම වසර ගණනාවක්‌ම සඟවන්නට උත්සාහ කළ අතර 1989 වන තෙක්‌ම සෝවියට්‌ රජය එය පිළිනොගත්තේය. නැවතත් 1963 ඔක්‌තෝබර් 24 දින R-9 මිසයිලය පිපිරීමට ලක්‌විය. මේ නිසා දියත් කිරීම් සඳහා නැවත ඔක්‌තෝබර් 24 දිනය කිසිම දිනක යොදා නොගනී. 

තවත් රුසියානු දියත් කිරීමේ සිරිතක්‌ වනුයේ මිනිසුන් රැගත් රුසියානු යානා දියත් කිරීම්වලදී දියත්කිරීමේ වේදිකාව වෙතට රොකට්‌ටුව රැගෙන ඒම, බැලීම අජටාකාශගාමීන්ට තහනම් වූවක්‌ වීමයි. දියත් කිරීමට පෙර පැය 48 කට කලින් දුම්රිය මඟිsන් රොකට්‌ටුව වේදිකාව වෙත ගෙන ඒම කෙරේ. ඒ වෙලාවේ අජටාකාශගාමීන් සිරිතක්‌ ලෙස කොණ්‌ඩය කපා ගැනීම කරයි. දියත් කිරීමට දිනයකට පෙර ඕතොඩොක්‌ස්‌ පූජකතුමකු විසින් ශුද්ධ වූ ජලය අජටාකාශගාමින්ට ඉස ආශිර්වාද කෙරේ. රාත්‍රියේදී අජටාකාශගාමීන් 1969 චිත්‍රපටියක්‌ වන වයිට්‌ සන් ඔෆ් ද ඩෙසර්ට්‌ බැලීමට එකතු වේ. එය ඇමෙරිකානු බටහිර චිත්‍රපටයක නැවත නිෂ්පාදනයකි.

රුසියානු දියත් කිරීමේ දිනයේදී අජටාකාශගාමීන් ශැම්පේන් රස බලා දියත් කිරීමේ වේදිකාවට පිටත්ව යාමට පෙර තම හෝටල් කාමර දොරෙහි අත්සන් තබයි. දියත් වන විට අණ දෙන නිලධාරී විසින් තෝරා ගනු ලැබූ සුරතල් සෙල්ලම් බඩුවක්‌ සෝයුස්‌ කැප්සුලයේ එල්ලීම කෙරේ. 1911 නොවැම්බර් 14 දින දියත් කළ සෝයුස්‌ TM -22 හි වූයේ ඇන්ග්‍රි බර්ඩ් සෙල්ලම් බඩුවකි. එය කැප්සුලය තුළ පාවෙනු දකින විට භූමියේ සිටින පාලන කණ්‌ඩායම විසින් අජටාකාශගාමීන් කක්‌ෂය වෙත සේන්දු වී ඇති බව දැන ගනී. 

සබැඳි ලිපිය;අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රුසියානු සෝයුස් රොකට්ටුවක් ගුවන්ගත කිරීමේ ක්‍රියාදාමය : NASA ඡායාරූප

ඇමෙරිකානු බිමේ සිට දියත් කිරීම් සිදුකරන විටත් අනුගමනය කළ චාරිත්‍ර රාශියක්‌ තිබේ. දියත් කිරීමේ වේදිකාව වෙත යන ගමනේදි ඔවුන්ගේ සිරිත වන්නේ මඟ නැවතී කඩදාසි ක්‍රීඩාවක යෙදීමයි. අණදෙන නිලධාරී පරාජය වනතුරුම ක්‍රීඩාවේ යෙදීම සිරිතකි. දියත් කිරීමට පෙර අජටාකාශගාමීන් ගන්නා උදෑසන ආහාරයේදි ශීත කළ කේක්‌ පිළිගැන්වීමත් සිරිතකි. නමුත් එය කැපීමවත් ආහාරයට ගැනීමවත් නොකෙරේ. දූත ගමන පෙන්වන ආකාරයට සැරසිලි කළ කේක්‌ එක චාරිත්‍රානුකූල පිළිගැන්වීමක්‌ පමණි. සමහරවිට එය දූත ගමනකදි මුලින්ම කේක්‌ එකක්‌ පිළිගැනAවූ අවස්‌ථාවේ එම අජටාකාශගාමීන් එය ආහාරයට නොගෙන සිටීමේ සම්ප්‍රදාය ඉදිරියට ගෙනයාමක්‌ විය හැකිය. 

අභ්‍යවකාශයානයක්‌ දියත් කිරීමෙන් පසුව දියත් කිරීමේ කණ්‌ඩායම සහ අමුත්තන් ඉරිඟු පාන් සහ බෝංචිවලින් යුතු ආහාර වේලක්‌ බුක්‌ති විඳීමත් ඇමෙරිකානු බිමේ සිදු වේ. එය 1981 අප්‍රේල් 12 දින සිදුකළ නාසා ආයතනයේ පළමු අභ්‍යවකාශ ෂටල වැඩසටහනේ සිටම දකින්නට ලැබුණ චාරිත්‍රයක්‌ විය. දියත් කිරීමෙන් පසු දියත් කිරීමේ කණ්‌ඩායමේ සිටි ආධුනිකයන්ගේ කරපටි කපා දැමීමත් කෙරේ. අතීතයේ සමහර දූත ගමන්වලදී වාසනාවන්ත මංගල වස්‌තුවක්‌ යොදා ගැනීමක්‌ කර තිබේ. සඳ වෙත පරීක්‌ෂණ ගමනක යෙදුණු ඇපලෝ 10 ගමනේදි පීනට්‌ස්‌ කාටුන් චරිත වන චාලි බ්‍රවුන් සහ ස්‌නූපි බල්ලා නිල මංගල වස්‌තුව ලෙස යොදා ගෙන ඇත. 

බොහොමයක්‌ දෙනා මිථ්‍යා විශ්වාස මත පිහිටා අනුගමනය කරන පුරුදු දෙස අවඥාවෙන් බලන්න පුරුදු වී සිටියත් එක්‌සත් ජනපද සහ රුසියානු අභ්‍යවකාශ ආයතන නියුතු වී සිටින කාර්යයන්ගේ ස්‌වභාවය, පීඩනය සහ අවදානම් බව සලකා බලන විට වාසනාව ගෙනදෙන නිමිති ගැන සැලකිල්ලක්‌ දැක්‌වීම පුදුමයක්‌ නොවේ. කාලයත් සමඟ සම්මත වී ඇති සමහර චාරිත්‍ර පහසුවෙන් නැති වී යන බවක්‌ද නොපෙන්වයි. ඇතැම් විට මිනිසා අඟහරු මත පය තබන විට තව තවත් අමුතු චාරිත්‍ර එක්‌ වී තිබිය හැකිය.

අභ්‍යවකාශ ගවේෂණය පිලිබඳව ලියැවුනු තවත් ලිපි;












Comments