මුරුගන් හිරබාරයට ගැනීම

නන්දි කොඩිය බිම වැටිලා ඇත   දෙයියෝ
කෝවිල් බිමත් අද පාලූයි නැත    දෙයියෝ
වැන්ද බිමේ හිමි  කොහි නුඹ      සැගවීදෝ
කාකි අදුරු ඇදුමට       හිමි         බිය වීදෝ

මුරුගන් සිටී  හිරබාරේ කෑම්ප්  එකේ
කම්බි කඩා හිමි නිදහස් කරව්     සකී
කහ වතුරෙන් බිම නහවා හිදිව්   සකී
කපුරු පහන් දල්වාපන්   නිවා    ගිනී

ඉරණමඩු වැවේ දිය වුණු        කදුලු කැටී
කනකාඅම්බි අම්මන් දෙවි  නොදුටු   සැටී
විමානයත් අහිමිව ගිය කදුලු             වැටී
උපන් බිමේ අපි අසරණ වෙලා          සිටී

මල්ටි බැරල් ෂෙල් වෙඩි හඩ     මැද්දේ
උපන් ගෙයි හීන කවුදෝ ගිනි     තිබ්බේ
නොඇසුණත් එළියට  වැලපිලි    සද්දේ
හදවත හඩයි මර හඩ දී හිත       පත්ලේ

සහසක් වසක් සිටියත් නෑ       යළි එන්නේ
මදහස් නගන්නට බෑ තවමත්   සැනසීමෙන්
උදහස් වෙන්න කළියෙන් හිමි   ඉවසීමෙන්
නිදහස් කරව් අපෙ මුරුගන්      හිරබාරෙන්

නිමිත්ත: පසුගිය දිනෙක කිළිනොච්චියේ කෝවිලක පැවති ආගමික උත්සවයකට කඩාවැදුණ රජයේ හමුදාව ඔවුන්ගේ ආගමික සංකේතය වූ නන්දි කොඩිය ගලවා ගෙන ගොස් තිබුණි. එමෙන්ම දෙමළ ජනතාවගේ උරුමයක් වූ ඉරණමඩු වැවේ බාරකාර කනකාඅම්බි අම්මන් දෙවියන් වෙනුවට රජයේ හමුදාව එහි බුදු පිළිමයක් ගෙන ගොස් තබා ඇත. මේ කවි සිය හඩ අහිමි වූ උතුරේ ඒ දෙමළ ජනතාව වෙනුවෙනි.

  1. No trackbacks yet.

Leave a comment