Monday, December 22, 2014

කළගුණ අමතක නොකරමු!


අපේ රට වසර තිහක් තිබූ යුද්ධයෙන් රට මිදුනේ මහින්ද රාජපක්ෂ යුගයේය. ජාතික ප්‍රශ්නය අවසන් කල යුතුව තිබූ විදිහ ගැන යුද්ධයේ ගෞරවය බෙදී යාම ගැන විවිධ මතිමතාන්තර තිබුනත් යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කල කාර්ය භාරය ගැන පිලිනොගන්නන් අල්පය. උදේ ගෙදරින් ගිය දරුවා යලි නිවසට එනතුරු බියෙන් සිටින තමන් අසල බසයේ වාඩිවී සිටින මිනිසා මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුදැයි මරබියෙන් සිතන රටට වැඩක් කළහැකි තරුණයන් සීල් තැබූ මිනී පෙට්ටි වලින් ගෙදර එන යුගය අවසන් කිරීමට රාජ්‍ය නායකයා ලෙස විශාල කාර්යයක් කල එතුමාට අප කළගුණ දැක්විය යුතුමය. ඒ සඳහා පහත කටයුතු කිරීමට මම යෝජනා කරමි.

ගෝල්පේස් පිට්ටනියේ එතුමාගේ දැවැන්ත ප්‍රතිමාවක් ඉදිකළ යුතුය. එතුමාට ජීවත් වීම සඳහා රජයේ වියදමින් සියලු පහසුකම් සහිත මන්දිරයක් ඉදිකර දියයුතුය. රටේ සම්මානනීය පුරවැසියෙකු ලෙස ජීවත්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජයේ වියදමින් සැලසිය යුතුය. රජය මැදිහත්වී යුධ අපරාධ චෝදනා සම්බන්ධව එතුමාට එල්ලවන චෝදනා වලින් නිදොස් කොට නිදහස්කර ගත යුතුය. තිස් වසරක යුද්ධය අවසන් කල රාජ්‍ය නායකයා වශයෙන් ජාත්‍යන්තරව එම අත්දැකීම් බෙදාගැනීමට රාජ්‍ය අනුග්‍රහය දැක්විය යුතුය. එතුමාගේ උපන්දිනය දවස, යුද්ධය නිම වූ දවස වැනි විශේෂ දිනවලදී සියලු දෙනාම එතුමා වෙතට ගොස් යුද්ධය අවසන් කිරීම ගැන එතුමාට කෘතගුණ දැක්විය යුතුය.

මේ සියල්ලටම වඩා එතුමාට කළගුණ සැළකිය යුතු හොඳම විදිහ නම්: එතුමාට එල්ලවන යුධ අපරාධ චෝදනාවලින් ගලවා ගැනීමට ක්‍රියාකරන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පහරදීමට ඔවුන්ව ඉවත් කිරීමට කිසිවෙකුට ඉඩ නොදීමය. එතුමා විසින් එක් සේසත් කල රට ණය උගුලක් හරහා චීනයට පාවා දීමට කිසිවෙකුට ඉඩ නොදීමය. එතුමා විසින් නිදහස් කරගත් ජනතාව වැඩිවන ජීවන බර හමුවේ යලි පීඩාවට පත්කිරීමට කිසිවෙකුට ඉඩ නොදීමය. යුද්ධය නැවැත්වීමෙන් එතුමා රටට ඉතිරිකරදුන් බිලියන ගණනක මුදල වංචනික ලෙස ගසා කෑමට කිසිවෙකුට ඉඩ නොදීමය. රටේ එක් එක් කොටසේ වෙන වෙන නීති ක්‍රියාත්මක කිරීම අවසන් කරමින් මුළු රටටම එකම නීතියක් යටතට ගෙන ඒමට එතුමා කල කටයුත්ත යලි අවුල් කර නීතිය අතට ගැනීමට අධිකරණය බාල්දු කිරීමට කිසිවෙකුට ඉඩ නොදීමය. බෝම්බ වලින් ළමා සොල්දාදුවන් බවට පත්කිරීමෙන් එතුමා ගලවාගත් අපේ ළමා පරපුර කුඩු එතනෝල් වලින් විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොදීමය. කෙටියෙන් කිවහොත් එතුමා රාජ්‍ය නායකයා වශයෙන් කොටි ග්‍රහණයෙන් ගලවාගත් අපේ රට සහ රටේ අනාගතය විනාශ කිරීම සඳහා කිසිම කල්ලියකට පවුලකට ඉඩ නොදීමය.

කළගුණ සලකන්නේ කෙසේද? තීරණය ඔබ සතුයි...

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

6 comments:

  1. කරුමේ කියන්නේ හරකුන්ට ඕවා නොතේරෙන එක නේ...

    ReplyDelete
  2. සමාරවිට වෙලාවට පැන්ෂන් ගියානම් ලොක්කට ඕව ලැබෙනව.

    ReplyDelete
  3. පට්ට පින්තූරෙ!

    සළකන්න ඕනෙ ලංසටයි එතකොට!!

    ප/ලි,

    කළගුණ සලකන එක නෙමේ බං මේ වෙන්නෙ සලකගන්න ට්‍රයි කරන එක, ඔය ඇච්චො බැච්චොන්ටම.

    ReplyDelete
  4. සලකමු............... සලකමු................. අපිත් බලාගෙන ඉන්නේ සලකන්න

    ReplyDelete
  5. Brilliant as usual !!!!

    මේ ලිපියේ පළමු සහ දෙවන ඡේදයන් සමග සම්පූර්ණයෙන් එකඟ වෙන නමුත්, තුන්වන ඡේදයෙන් කියවෙන දෙයට කිසිසේත්ම ඉඩදිය නොහැකිය.

    ඔබ ඉල්ලා තිබෙන දේ අනුව, ඔබද ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ කොටස් කරුවකු බව පෙනේ. නම වෙනිදාට හම්බ වෙමු.

    ReplyDelete
  6. උදේ ගෙදරින් ගිය දරුවා යලි නිවසට එනතුරු බියෙන් සිටින තමන් අසල බසයේ වාඩිවී සිටින මිනිසා මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුදැයි මරබියෙන්

    අපිනම් හැදුනෙ වැඩුනෙ කොලඹ ඒත් මෙහෙම බයක් නම් තිබ්බෙ නෑ..... හැබැයි යුද්දෙ නැතිඋන එකනම් 1000% හොදයි

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.