Thursday, January 1, 2015

දේශප්‍රේමී ප්‍රබන්ධ

මධ්‍යස්තව ලියමි.
විදේශ කුමන්ත්‍රණ වලට අනුබල දෙන උදවිය සහ රට අස්ථාවර කිරීමට කිරීමට මාන බලන පුද්ගලයින් රටට පිළිලයකි. ඔවුන් කෙවිටෙන් තලා පිටමං කල යුතු බවට දෙකක් නැත. ඇමෙරිකාව සහ බටහිර රටවල් තමන්ට අනුබල නොදෙන දේශයන්හි පාලන පෙරලා දැමීමට කටයුතු කරන බැව් අසත්‍යයක්ද නොවේ. ලතින් ඇමෙරිකානු රටවල පාලනයන් පෙරලා දමා ඒ රටවල තෙල් නිධි ඇතුළු ස්වභාවික සම්පත් සිය මඩිය තුලට අද ගැනීමට ඇමෙරිකාව දත කෑ ආකාරය, John Perkins රචිත, "Confessions of an economic Hitman" කෘතියේ සඳහන් වේ. වර්තමානයේ එවන් බටහිර අතපෙවීම් වලට ලක්වූ ඉරාකය, ලිබියාව, ඊජිප්තුව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල තත්වය ඉතා සෝචනීයය. මේවා දත්තය! අපට ලංකාව තවත් ලිබියාවක් හෝ ඉරාකයක් වනු දැකීමට අවශ්‍ය නැත. 

මෛත්‍රී හෝ මහින්ද වේවා, විදේශ කුමන්ත්‍රණ වලට අනුබල දෙන්නේ නම් හෝ රට අස්ථාවර කිරීමට කිරීමට මාන බලන්නේ නම් එම පාලනය පිටු දැකිය යුතුය.

සංක්ෂිප්තය මෙයයි. විදේශ කුමන්ත්‍රණ යනු භයානක පිළිලයකි. ඒවා සොයා ගත් තැන විනාශ කර දැමිය යුතුමය. ඒවා නොසලකා හැර සිටීම දේශප්‍රේමියෙකුට තරම් නොවේ. විදේශ කුමත්‍රණ දැක දැකත් නොසලකා හැර සිටින්නෝ වෙත් නම් ඔවුන්ද පිටිතල හයා බැඳ කුමන්ත්‍රණකරුවන් සමග නෙරපිය යුතුය!
ප්‍රශ්නය මෙයයි. මේ රටේ ආණ්ඩුවේ නායකයන්ට, මේ සා භයානක, ම්ලේච්ඡ විදේශ කුමන්ත්‍රණ සතියකින් අමතක වීමයි! ඒවා මතක් වන්නේද මැතිවරණ කාලයට පමණක් වීමයි! රටේ විපක්ෂ නායකවරයා කොටි ඩයස්පෝරාව සමග කතා කරේ නම් එය ඉතා භයානක තත්වයකි. යුරෝපා සංගමය තුල කොටි තහනම ඉවත් කිරීමට එතුමාගේ සාකච්ඡා බලපෑවේ නම් (එතුමාට යුරෝපා අධිකරණයට කල හැකි බලපෑම පිලිබඳ අව්‍යාජව ආඩම්බර වන අතරම) ඒ පිලිබඳ අන්තර්ජාතික පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයෙන් පරීක්ෂණ පවත්වා එසේ සාකච්ඡා කරේ නම්, සාකච්ඡා කරේ කුමක්ද, කින්ද මන්ද රටට අනාවරණය කල යුතුය. එසේ පරීක්ෂණයක්ද නොපවත්වා, එතුමා පොදු අපේක්ෂකයා නොවන බව අනාවරණය වූ විගස එම කුමන්ත්‍රණය අමතක වන්නේ නම් එය බරපතල තත්වයකි. එම මුළු සිදුවීමම අමතක කර මැතිවරණයට ලඝු කල පුද්ගලයන්ද දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසිය යුතුය!
එලෙසම සති තුනක් ගතවීත්, රනිල්-මෛත්‍රී අතර ඇති කර ගත්තායැයි පවසන දේශද්‍රෝහී ගිවිසුමේ එකදු වගන්තියක්වත් හරියාකාරව ඔප්පු කිරීමට තිස්ස අත්තනායකට නොහැකිවී ඇත. ව්‍යාජ ලියවිලි මගින් ලබා ගන්නා ඡන්ද වාසිය නීතිය මගින් අහෝසි කල හැකි බවට සරත් සිල්වා, හිටපු අගවිනිසුරු වරයා පැවසීමත් සමගම මහින්දගේ මැතිවරණ වේදිකාවේ එම ගිවිසුම යල් පැනපු වදනක් බවට පත්ව ඇත. දැන් තිස්ස අත්තනායකටවත් එය මතකදැයි සැක සහිතය!
සංක්ෂිප්තය මෙයයි. මෙවැනි ගිවිසුම්, සාකච්ඡා පිලිබඳ විධිමත් පරීක්ෂණ පවත්වා රටට අනාවරණය කිරීම ඒ පිලිබඳ හඬගෑ දැන් බලය අතැති උදවියගේ වගකීමයි. එසේ නොකරන්නේ නම් ඔවුන්ගේ දේශප්‍රේමීත්වය පිළිබඳ බරපතල සැකයක් ඇතිවන අතරම දේශද්‍රෝහීන් යැයි හංවඩු නොගැසීමට හේතුවක් ඉදිරිපත් කල යුතුය.

0 comments:

Post a Comment