HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 2500 ක් පැරණි වනස්පති සොයා නැගෙනහිර ලෝකාන්තයට!

මල් කැකුළු සහෘදයන්ට 2015 වසර වාසනාවන්ත එකක් වේවායි පතමින් මෙසේ අප ඔබ අමතන්නේ නවසීලන්තයේ සිටයි. සෑම වසරකම අලූත් අවුරුද්දේ උදාව ජනවාරි පළමු වන දා හිරු උදාවත් සමග මුලින් ම අත් විඳින්නට ලැබෙන්නේ නවසීලන්ත වාසීන්ටයි. මේ වසරේ ඒ වාසනාව අත් විඳින්නට මටත් අවස්ථාව ලැබුණා. මේ අලූත් අවුරුදු උදාව නරඹන්නට නවසීලන්තයේ නැගෙනහිර වෙරළේ නිකේතන කරා යන්නට ඇතැම් අය පුරුදු වී සිටිනවා. මීට වසර 15කට පෙර 1999 වසර අවසාන දිනයේ දී ලෝකයේ නන් දෙසින් ජනයා නව සහස‍්‍රයේ උදාව සමරන්නට නවසීලන්තයට ඇදී ආවා අපට මතකයි. අපට ඔවුන් හා එක් වන්නට එදා නොලැබුණත් මෙවර අලූත් අවුරුද්දක උදාව මුලින් ම නරඹන පිරිස අතරට එක් වන්නට ලැබීම සතුටක්.

මෙවර නවසීලන්ත සංචාරයේ දී අප මුලින්ම ගියේ නවසීලන්තයේ සොබාදහමේ අසිරිය ලෙසින් සැලකිය හැකි වනස්පති දැක බලා ගන්නටයි.


මවුරි බසින් මේ යෝධ වාක්‍ෂ රාජයා හඳුන්වනු ලබන්නේ ‘ටානේ මහුටා’ කියායි. එහි අරුත ‘වනස්පති’ හෙවත් ‘වනරජා’ යන්නයි. ‘නවසීලන්තයේ උතුරු භූමි කලාපයේ පිහිටි වයිපෝවා (Waipoua) වනාන්තරයේ දී තමයි, මේ අසිරිමත් යෝධයා දැක ගත හැක්කේ.

උතුරු ඕක්ලන්ඞ් අර්ධද්වීපයේ ඈත අතීතයේ සිට පැවත එන උපනිවර්තන වැසි වනාන්තරවලින් ඉතිරිව ඇති වනාන්තර ප‍්‍රදේශයකයි මේ වනරාජයා විරාජමානව සිටින්නේ. මෙහි වයස නිශ්චිතව කිව නොහැකි නමුත් දැනට විශ්වාස කරන අන්දමට වසර 1250ත් 2500ත් අතර විය හැකියි. දැනට ලෝකයේ ඇති විශාලතම කෞරි වෘක්‍ෂය ලෙස මෙය හැඳින්වෙනවා. කෞරි ශාකය උද්භිද විද්‍යානු කූලව හැඳින්වෙන්නේ ‘ඇගතිස් ඔස්ට‍්‍රාලිස්‘ (Agathis australis) කියායි.


නවසීලන්තයේ උතුරු දූපතේ ප‍්‍රධාන නගරය වූ ඕක්ලන්ඞ්වල (Auckland) සිට කිලෝ මීටර 238 ක් දුරින් පිහිටි වයිපෝවා වනාන්තරයේ දී කෞරි වෘක්‍ෂ විශාල ප‍්‍රමාණයක් දැක ගන්න පුලූවන්. දැනට ජීවමානව ඇති කෞරි වෘක්‍ෂ අතරින් දෙවැනි තැන ගන්නා ‘ටානේ මහුටා න්ගාරේ‘ වෘක්‍ෂයත් පිහිටා ඇත්තේ ටානේ මහුටා යෝධයා ආසන්නයේමයි. එය නවසීලන්තයේ ස්වදේශිකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත‍්‍රව ඇති වෘක්‍ෂයයි.

මේ කලාපයේ මෙවැනි කෞරි යෝධයන් රැසක් අතීතයේ දී මේ වනාන්තරවල සිටින්නට ඇති. ඒවා අද බොහොමයක් දකින්නට නැහැ. කෞරි මැලියම් ලබා ගන්නත්, දැව සඳහාත් ඒ දැවැන්තයන් මිනිසා විසින් බිම හෙළන්නට ඇති. ඒ බව මේ යෝධයන් බලන්නට යන අතර මග දී හමුවන කෞරි කෞතුකාගාරයෙන් හෙළි වෙනවා.

කෞරි කෞතුකාගාරයේ දී කෞරි මැලියම්වලින් ගන්නා විවිධ ප‍්‍රයෝජන හා අත්කම් දැක ගන්න පුළුවන්. ලෝකයේ ඉතා විසිතුරු අත්කම් මා දුටුවේ එහිදියි. එසේම මේ කලාපයේ හමුවන දැවවලින් ගන්නා ප‍්‍රයෝජන හා ඒ දැව කර්මාන්තයේ ඉතිහාසයත් සවිස්තරාත්මකව, නිර්මාණාත්මකව එහි දී ඉදිරිපත් කර ඇති අයුරු සිත් ගන්නාසුලූයි.

මේ කෞරි කෞතුකාගාරයේ දී අතීතයේ විසූ වෘක්‍ෂ රාජයන් ගැන රූප සටහන් හා විස්තර දකින ඔබට ඊළඟට තවත් කිලෝ මීටර 107 ක් ගිය පසු දැනට ජීවමානව සිටින ‘ටානේ මහුටා’ හැබැහින් ම දැක ගන්න පුළුවන්. එහිදී අප ලද ආස්වාදය ඔබටත් නොඅඩුව ලද හැකියි.

නවසීලන්තයේ ස්වදේශිකයන් වූ මවුරිවරුන්ගේ ප‍්‍රවාදයකට අනුව මේ ‘ටානේ’ කියන්නේ අහස් පියා වූ රන්ගිනුයිගේත් පැපටුවානුකු නම් මිහි මවගේත් පුත‍්‍රයායි. ඔවුන් දෙදෙනා අහසත් පොළොවත් ලෙස වෙන්ව සිටින්නේ ටානේ නිසයි. ටානේ එයාගේ මවගේ සිරුර වනාවගාවෙන් සරසා අලංකාර කරනවා. මෙහි ඉන්නා කුරුල්ලන් හා හැදෙන ගහකොළ ටානේගේ දරුවන් ලෙසයි මවුරිවරුන් සලකන්නේ.


ලොව විශාලතම කෞරි වෘක්‍ෂය - ටානේ මහුටා (වනස්පති) අඩි 45ක් මහතයි. මුළු උස අඩි 168යි. මුළු පරිමාව ඝන අඩි 18250යි. 

මේ වනස්පති දෙස බලන ඔබට ඒ මත තවත් වන උයනක් ම දැක ගන්න පුළුවන්. ඒ මත මීවන, උඩවැඩියා ඇතුළු ශාක සියයකට අධික සංඛ්‍යාවක් වෙසෙනවා. අන්නාසි ගෙඩියට අප භාවිත කරන ‘ගහක් උඩ ගහක්’ යන තේරවිල්ල වෙනස් කර ‘ගහක් උඩ ගස් සීයක්’ කියා මේ යෝධයා වෙනුවෙන් යොදන්න පුළුවන්.


ලෝකයේ විශාලතම කෞරි වෘක්‍ෂ වූ ටානේ මහුටා ඉලක්කම්වලින් දැක්වතොත් මෙහෙමයි: වට ප‍්‍රමාණය - මීටර 13.77 (අඩි 45.2); තනි කඳෙහි උස - මීටර 17.68 (අඩි 58); ගසෙහි මුළු උස - මීටර 51.2 (අඩි 168); ප‍්‍රධාන කඳෙහි ඝනත්වය - ඝන මීටර 244.5 (ඝන අඩි 8630); මුළු ගසෙහි පරිමාව - ඝන මීටර 516.7 (ඝන අඩි 18250)

2013 වසරේ දී නවසීලන්තයේ ඇති වූ නියඟය නිසා විජලනයට ලක්ව මිය යන ලකුණු පළ කළා. ඒ මත ඇති ශාක මුලින් ම අනතුරක ලකුණු පෙන්නුවා. ඒ අනුව බලධාරින් වහාම කි‍්‍රයාත්මක වෙමින් මේ ගස බේරා ගන්න ළඟ ඇළකින් ජලය ලීටර් 10000ක් යොමු කළා. ඒ අනුව අද කිසි වෙනසක් නැතිව ඔබට මෙය දැක ගන්න පුළුවන්.

නවසීලන්තයේ සංචාරය කරන හැමකෙනකුම අනිවාර්යයෙන් ම නැරඹිය යුතු ආකර්ශනයක් ලෙසයි මෙය අප දකින්නේ.

- පර්සි ජයමාන්න


Post a Comment

2 Comments

  1. සුභම සුභ නව වසරක් වේවා................................

    කුගැගීප

    ReplyDelete
  2. අළුත් වාරේ අච්චු පොත් කියවනවා වාගේ ආස්වාදයක් ලබන බ්ලොග් එකක් මේක , මෙච්චර කල් ගන්න එපා සතියට එකක්වත් දාන්න ඉස්සර වාගේ

    ReplyDelete