Main Logo

Wednesday 24 December 2014

අමරතුංග මහතා විවාදයෙන් පැන යැම


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවකි යන මැයෙන් කරගෙන ආ විවාදයෙන් පැන ගොස්‌ ඇත. ඒ මහතා පසුගිය දෙසැම්බර් 17 වැනි දා ලිපියෙන් ඒ බව පැහැදිලි ව ම කියයි. "විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පැවසූ ආචාර්ය නලින් ද සිල්වා මහතාට ඒ බව ඔප්පු කරන්නට බැරි බව මම පෙන්වා දුන්නෙමි. තව ද සාපේක්‍ෂතාවාදය පිළිබඳව පවා මූලික අවබෝධයක්‌ ඔහුට නැති බව ද පෙන්වා දුන්නෙමි. කරගන්නට දෙයක්‌ නො තිබුණු ඔහු අවසානයේ විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට තැත් කළේ බුදුදහමේ එන ද්වියතානුqපස්‌සනා සූත්‍රය විකෘති කොට දක්‌වමිනි. ඔහු එතැනට තල්ලු කිරීම ගැන මට ඇත්තේ ඉමහත් සතුටකි. ඒ, ඔහු වැනි බහුභූතවාදීන් ගෙන් විද්‍යාව බේරාගත යුතු නිසා ය. ඒ කාර්යය සිදු කිරීමෙන් පසු මම විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යන මාතෘකාව අළලා ලිපි ලිවීම නතර කළෙමි. එහෙත් ඔහු කටු අත්තක්‌ මෙන් එල්ලීගෙන මට අපහාස කිරීමේ කාර්යයේ යෙදී සිටින බව පෙනේ. මට කියන්නට ඇත්තේ පැරදීම භාරගෙන වෛරය අඩු කරගෙන වෙන අතක්‌ බලාගන්නට කියා ය. ඔහු ගැන වද නො වී මා ලියන්නට අදහස්‌ කළ ලිපි පෙළ ලියන්නේ විදුසර කර්තෘ මණ්‌ඩලය එසේ කිරීමට මට ආරාධනා කළ නිසා ය. ඔහුට පිළිතුරු සැපයීම නිශ්ඵල කාර්යයක්‌ වන්නේ නැවතත් බුදු දහම විකෘති කොට භාවිත කරන්නට අවසානයේ ඔහු පෙලඹෙන බැවිනි."

ඔහු බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ය යන මැයෙන් ලිපි ලිවීම නතර කළ බව පවසයි. එයට හේතුව ලෙස ඔහු දක්‌වන්නේ මට බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කිරීමට නොහැකි වූ බවත් මා බුදුදහම විකෘති කරන බවත් ය. එමෙන් ම මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ මූලික අවබෝධයක්‌ පවා නැති බව ඔහු කියයි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව මා කියන්නේ බුදුදහම මත පදනම් වෙමිනි. ඒ බුදුදහම විකෘති කිරීමක්‌ නො වේ. මා උපුටා දැක්‌වූ ද්වියතානුපස්‌සනා සූත්‍රයට අනුව පෘථග්ජනයන්ගේ සියලු සංකල්ප අසත්‍ය වෙයි. සාමාන්‍ය සිංහලෙන් කියන්නේ නම් බටහිර විද්‍යාඥයන් ද ඇතුළු සියලු පෘථග්ජනයන් නිර්මාණය කරන සංකල්ප බොරු ය. 

ලංකාවේ එකදු බටහිර විද්‍යාඥයකු වත් නැත. මෙහි ජීවත් වන හා පිටරට ජීවත් වන සියලු ලාංකික විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය පී. එච්. ඩී, ඩී. එස්‌. සී උපාධිධාරීන්, මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, සේවාර්ජිත මහාචාර්යවරුන් විය හැකි ය. එහෙත් ඒ එක්‌ අයකු වත් බටහිර විද්‍යාවට නව සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ එකතු කර නැත. වැඩි ම වුව හොත් ඔවුන් කර ඇත්තේ බටහිර විද්‍යාවේ ඇති ප්‍රවාදයක්‌ සංශෝධනය කිරීම ය. එහෙත් එසේ කර ඇති අය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ය. අති මහත් පිරිස කරන්නේ බටහිර විද්‍යාවේ ඇති දැනුම (ප්‍රවාද සංකල්ප ආදිය) යොදාගෙන පරිධියේ ඇති ඉතා ම සුළු ප්‍රශ්නයක්‌ විසඳීම ය. 

මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ මූලික අවබෝධයක්‌ පවා නැති බව ඔහු කියයි. ඒ බව ඔහු කියන්නේ සාපේක්‍ෂතාවාදය පිළිබඳ ඔහු ගේ නොදැනුම පදනම් කරගනිමිනි. ආතානකයක්‌ (tensor) යනු කුමක්‌ දැයි නො දන්නා අමරතුංග මහතා ඉදිරියේ ආතානක සමීකරණ ලිවීම කාලය නාස්‌ති කිරීමකි. එහෙත් අනෙක්‌ පාඨකයන් ගේ දැනගැනීම සඳහා පැවසිය යුත්තේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි දැක්‌වෙන මූලික ආතානක සමීකරණ අප විසින් සංශෝධනය කෙරී ඇති බවත් එහි ඇති ඛ යන සංකේතයෙන් නිරූපණය වන විශ්වවේදී නියත පදය යනුවෙන් හැඳින්වෙන පදය සමීකරණයේ අනෙක්‌ පැත්තට ගෙන ගොස්‌ එය විචල්‍යයක්‌ ලෙස සලකා එම පදයෙන් කියෑවෙන්නට නවතම අර්ථකථනයක්‌ දෙනු ලැබ ඇති බවත් ය. 

අප අර්ථකථනය අනුව එකී පදයෙන් නිරූපණය වනුයේ අවකාශ-කාලයේ ශක්‌තිය ය. ඒ ශක්‌තිය බටහිර විද්‍යාවේ අනෙක්‌ ශක්‌තීන් බවට පරිවර්තනය කළ හැකි ය. එමෙන් ම අනෙක්‌ ශක්‌තීන් අවකාශ-කාල ශක්‌තියට පරිවර්තනය කළ හැකි ය. මා ගේ ශිෂ්‍යයෙක්‌ ඒ සංශෝධිත සමීකරණය යොදාගනිමින් හා නව අර්ථකථනය පදනම් කරගනිමින් ඊනියා මහ පිපුරුම වෙනුවට සංවට්‌ට කප්ප විවට්‌ට කප්ප සංකල්පවලට අනුරූපව විශ්වය පිළිබඳ නව ආකෘතියක්‌ ගොඩනැගුවේ ය. ඒ සඳහා ඔහුට කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති (M.Phil.) උපාධියක්‌ පිරිනැමිණි. ඒ නිබන්ධනය පිළිබඳ පරීක්‍ෂකවරුන් වූයේ දන්ත වෛද්‍ය මහාචාර්යවරුන් නො ව භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් ය. ඔවුහු ආචාර්ය උපාධි සඳහා සාධාරණ සාපේක්‍ෂතාවාදය හැදෑරුවෝ වෙති. ඔවුහු අපේ අර්ථකථනයට අභියෝග නො කළ හ. ඔවුහු මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ දැනුමක්‌ නැතැයි නො කීවෝ ය. කැලණිය විශ්වවිද්‍යාලය විසින් පරීක්‍ෂකවරුන් ලෙස බටහිර විද්‍යාව පිළිබඳ ජනප්‍රිය පොතපත කියවා ඇති දන්ත විද්‍යා මහාචාර්යවරුන් පත් කළේ නම් ඒ ශිෂ්‍යයාට දර්ශනපති උපාධියක්‌ හිමි නො වනු ඇත. කැලණිය විශ්වවිද්‍යාලය පරීක්‌ෂකවරුන් පත් කිරීමේ දී දන්ත විද්‍යා මහාචාර්යවරුන් නො සලකා හැරීමෙන් වරදක්‌ කර ඇත් ද? 

මා ඉහත සඳහන් කරුණ ප්‍රකාශ කළේ මා බටහිර විද්‍යාවේ වැදගත් දැනුමක්‌ සංශෝධනය කර ඇති බවට පුරසාරම් දෙඩීමට නො වේ. එහි පුරසාරම් දෙඩීමට තරම් දෙයක්‌ නැත. මගේ ශිෂ්‍යයා ඒ මත පදනම් වී නිබන්ධනයක්‌ ඉදිරිපත් කළ ද ඒ පට්‌ටපල් බොරුවකි. පට්‌ටපල් බොරු නිර්මාණය කර ඇති බව කීම පුරසාරමක්‌ වන්නේ කෙසේ ද? මා ඒ බව සඳහන් කළේ මා සාපේක්‌ෂතාවාදය නො දන්නා බවට අමරතුංග නම් දන්ත විද්‍යාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්යවරයා කරන ඊනියා කරුණු ඉදිරිපත් කිරීමට පිළිතුරු ලෙස ය. සාපේක්‌ෂතාවාදයේ නො ව දන්ත විද්‍යාවේ වත් අමරතුංග මහතා නව ප්‍රවාදයක්‌ ඉදිරිපත් කළ බවක්‌ හෝ ප්‍රවාදයක්‌ සංශෝධනය කළ බවක්‌ හෝ දැනගැනීමට නැත. 

ගුරුත්වාකර්ෂණය සාධාරණ සාපේක්‌ෂතාවාදයෙන් ප්‍රතික්‍ෂේප වන්නේ කෙසේ දැයි අයින්ස්‌ටයින් විසින් ම පැහැදිලි කෙරී ඇත. ඒ බව මම දි අයිලන්ඩ් පත්‍රයෙන් කියා ඇත්තෙමි. අමරතුංග මහතා ඒ පුවත්පත කියවන බව මම දනිමි. එහෙත් ඔහු එය ප්‍රතික්‌ෂේප නො කළේ ය. මා ඒ පිළිබඳ අයින්ස්‌ටයින් ගේ රොකට්‌ටු චිත්ත පරීක්‌ෂණය මහනුවර දී පවත්වන ලද අදාළ සම්මන්ත්‍රණ දෙකක දී පැහැදිලි කර ඇත. ඒ කතා අන්තර්ජාලයේ ඇත. ඉන් එක්‌ කතාවක්‌ කළේ අමරතුංග මහතා විසින් මහත් ගෞරවයෙන් සලකනු ලබන මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ද සහභාගී වූ සම්මන්ත්‍රණයක දී ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් ඒ පරීක්‌ෂණය වහා ම විදුසර පත්‍රයෙන් ද ඉදිරිපත් කළ හැකි ය. ඒ නැතත් මේ විවාදයේ යම් අවස්‌ථාවක ඒ චිත්ත පරීක්‌ෂණය විස්‌තර කිරීමට මම බලාපොරොත්තු වෙමි. 

අමරතුංග මහතා මහනුවර දී පවත්වන ලද සම්මන්ත්‍රණවලට සහභාගි නො වී වාචික ව කෙරීමට තිබුණු විවාදයෙන් පලා ගියේ ය. දැන් ඔහු ලිත ව කෙරෙන විවාදයෙන් ද පැන ගොස්‌ ය. එහෙත් මම තවමත් ඒ විවාදයෙහි නිරත වෙමි. අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ඊනියා දර්ශනයක්‌ ගැන ලිපි පෙළක්‌ ලියයි. ඔහු එසේ කරන්නේ විදුසර කර්තෘ මණ්‌ඩලයේ ආරාධනයෙන් බව පවසයි. මට එය ප්‍රශ්නයක්‌ නො වේ. එහෙත් ඔහු ලියන දේ බටහිර විද්‍යාව වෙනුවෙනි. බටහිර විද්‍යාවේ සත්‍යතාව ගැන අමරතුංග මහතාට යම් යම් ප්‍රශ්න ඇත්තේ ඔහු ගේ ප්‍රබුද්ධ ඥනයකට එය වැටහෙන නිසා නො ව, ඒ බව ඇතැම් බටහිර දාර්ශනිකයන් කියා ඇති බව ඔහු වැරැදියට වුවත් තේරුම් ගෙන ඇති පොතක (පොත්වල) සඳහන් බැවිනි. 

ඔහු සමග මගේ ඇති වෛරයක්‌ නැත. ඔහු සමග කටු අත්තක්‌ හෝ වෙනත් ආකාරයකට හෝ එල්ලීමට මට අවශ්‍ය නත. එහෙත් ඔහු බටහිර විද්‍යාව පිළිබඳ ඉදිරිපත් කරන අන් අය ගේ මත අදහස්‌ විවේචනය කිරිම මේ විවාදයේ කොටසකි. ඔහුට අපහාස කිරීමට මට ඇති අවශ්‍යතාව කුමක්‌ ද? ඔහුට කෙරී ඇති අපහාසය කුමක්‌ ද? ඔහු බටහිර භෞතික විද්‍යාව හා බටහිර ගණිතය නො දන්නා බව පැවසීම ද? එය අපහාසයක්‌ වන්නේ කෙසේ දැයි ඔහු පැහැදිලි කරන්නේ ද? 

අපේ සියලු පෘථග්ජන සංකල්ප හා ප්‍රවාද බොරු ය. ඒ අතරෙන් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු වන්නේ ඇයි? අනෙක්‌ සියලු බොරු එක්‌කෝ මනස විසින් පමණක්‌ නැත්නම් පංචෙන්ද්‍රිය සමග එක්‌ වී මනස විසින් නිර්මාණය කෙරෙන දැ ය. ඒ සෘජු දැනුමකි. එහි ප්‍රවාද ඇත්නම් ඒ සංයුක්‌ත ප්‍රවාද ය. ඒ ප්‍රවාද ද පංචෙන්ද්‍රිය ගෝචර ය. එහෙත් බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්‌ත ය. ඒවා මනස විසින් නිර්මාණය කෙරෙන්නේ හිතළු ලෙස ය. එහි ඇත්තේ අනුමිනිත (Guess) පමණකි. ඒ අනුමිනිත ඇතැම් විට සාර්ථක ප්‍රතිඵල ලබා දෙයි. එහෙත් එපමණින් ඒ සත්‍ය නො වේ. 

අනුමිනිතවලින් ඉතා වැඩි සංඛ්‍යාවක්‌ ඉවත දැමෙයි. එහෙත් යම් සාර්ථකත්වයක්‌ පෙන්වන හිතළු ඊනියා ප්‍රවාද ලෙස 

රැකගනු ලැබෙයි. එහෙත් එය ද තාවකාලික ව ය. කල් යැමේ දී වෙනත් හිතළුවක්‌ පළමු හිතළුව වෙනුවට ආදේශ කෙරෙයි. එය ද කල් යැමේ දී ප්‍රතික්‌ෂේප වෙයි. හිතළු හෙවත් අනුමිනිත පට්‌ටපල් බොරු ය. එය සෘජු ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ නො වේ. ප්‍රත්‍යක්‌ෂ යන්නෙහි තේරුම සෘජු ව ම ආයතන හය (මනස ප්‍රධාන ව) විසින් නිර්මාණය කෙරෙන දැනුම ය. එහෙත් බටහිර විද්‍යාවේ දැනුම එලෙස සෘජු දැනුමක්‌ නො වේ. 

බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කෙරෙන්නේ වක්‍ර ව හිතළු මාර්ගයෙනි. අද අමරතුංග මහතා විසින් උපුටා දැක්‌වෙන බටහිර දාර්ශනිකයන්ට ප්‍රශ්නයක්‌ වී ඇත්තේ මේ හිතළු සාර්ථක වී ඇත්තේ කෙසේ ද යන්න ය. වෙනත් වචනවලින් කිව හොත් පට්‌ටපල් බොරු සාර්ථක වන්නේ කෙසේ ද යන්න ය. අපි අමරතුංග මහතා ගේ ලිපිවලින් උපුටා දක්‌වමින් මෙය තවදුරටත් පසුව සාකච්ඡා කරමු. දැනට කිව යුත්තේ මම ආදී බොරු සංකල්ප ද සාර්ථක ව ඇති බව ය. මම යනුවෙන් පුද්ගලයකු නොමැති බව අපි දනිමු. එය බොරුවකි. එහෙත් ඒ බොරුව සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි. 

මෙහි දී සාර්ථක යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ ද යන්න ද පැහැදිලි කරගත යුතු ය. අමරතුංග මහතා ගේ බටහිර දාර්ශනිකයන් සාර්ථකත්වය පිළිබඳ කිසිවක්‌ කියා නැද්ද? අමරතුංග මහතා එවැනි ප්‍රශ්නවලට පිළිතුරු නො දී සිටීමට විශාල සම්භාවිතාවක්‌ ඇත. ඒ ඔහු විවාදයෙන් පැන ගොස්‌ ඇති බැවිනි.



නලින් ද සිල්වා

2014-12-24