පොලියත් එක්ක ගෙවන්නට නියමිත තෑගි බෝග!


මේ නත්තල් සමය යි. තෑගි බෝග ලැබෙන සමය යි. නත්තලට ලැබෙන තෑගි බෝගවලට ජනපතිවරණය වෙනුවෙන් ලැබෙන තෑගි ද එක් කළ විට නම් පේන්නේ අපේ ග්‍රහයා උච්ඡස්ථානයේ පසුවන බවයි.  මේ ලැබෙන දේට ලබන්නා ගෙවන්නේ නැත. සියල්ල නොමිලේ ය.

මේ කතාව ඇත්ත ද? නත්තල් සීයා ගෙනෙන තෑගිවලට පවා කවුරු හෝ ගෙවන්නේ නැත් ද? ඒවා අයිස්ලන්තයේ සිට ගෙනෙන්නේ ද?

කවුරුවත් ගෙවන්නේ නැතිව කිසිවක් ලබා ගන්නට විදිහක් නැත.

ලැබෙන එක්කෙනාට ගෙවන්නේ කවුද යන්න අදාළ නොවන්නේ ය. ලැබුනහම ලැබෙන සතුට ඒ ප්‍රශ්නය කුණු මුල්ලටම විසිකරන්නේ ය.

කවුරු නැතත් කළමනාකරුවන් හැටියට අප ඒ ගැන සංවේදී විය යුතු ය. අප තේරුම් ගත යුතු දේ නම් නිකම් ලැබෙන ආහාර වේලක් නැති බව ය.

ආණ්ඩුව යනු නිකම් ගලන ධන උල්පතක් නොවේ. ආණ්ඩුවේ භාණ්ඩාගාරය සල්ලි හොයන්නේ රට තුළිනි. අපෙනි. රජයේ ආදායමෙන් 87% ක් ලැබෙන්නේ අපි පරිභෝජනය කරන දේට ආණ්ඩුව ගහන වක්‍ර බදු වලින්  ය.

අද ලැබෙන දේ අපට ගෙවන්න වෙන්නේ පොලියත් එක්ක ය. හේතුව රජය මේවන විට වියදම් පියවා ගන්නේ පොලියට ගන්නා ණය වලින් බැවිනි.

කළමනාකරුවෙකු හැටියට මෙයින් සිදු විය හැක්කේ කුමක් ද යන්න ගැන ඔබ විමසිලිමත් විය යුතු ය. ඔබේ ව්‍යාපාරය මේ පසුබිම තුළ කුමන අනාගතයකට උරුම කම් කියාවි ද යන්න ගැන ඔබ සංවේදී විය යුතු ය.

ජනතාවට ගහන බදු ජනතාවට ගෙවිය හැක්කේ රැකියාවලින් උපයන මුදලින් බැවිනි. එවිට සිදු වන ඊළග කාරණය නම් ඒ සඳහා ඔවුන්ගේ වැටුප් වැඩිකිරීමට සිදු වීම ය.

එවිට නිශ්පාදන වියදම ඉහළ යෑමට නියමිත අතර වෙන රටවල නිශ්පාදන හා තරග කරන්නට නොහැකියාව ඉන් ඇති වේ. අල ළූණු ගොවියන්ට මෙන්ම දේශීය නිශ්පාදන රකින්නට පිටරටින් තමන් නිපදවන දේ ද නොගෙන්වා සිටින ලෙස ආණ්ඩුවෙන් ඉල්ලන්නට එවිට සිදු වේ. එහි අවසාන ප්‍රතිඵලය බඩු මිල තවත් ඉහළ යෑම ය. නැවත වතාවක් වැටුප් වැඩි කිරීමට සිදු වීම ය. නැවත වතාවක් නිශ්පාදන මිල අනෙත් රටවලට සාපේක්ෂකව ඉහළ යෑම ය.

මේ සියල්ලෙන් කියන්නේ කළමනාකරුවෙකු අද ගැන විතරක් බලා සෑහීමකට පත් නොවිය යුතු බව ය. එසේ නොවුවහොත් වන්නේ අප ඉහත කී විෂම චක්‍රයට හසුව ජනතාව ද සමග වල පල්ලට ඇදී යෑම ය.

ළඟ නොබලා දුර බැලිය යුත්තේ ඒ නිසා ය.

බොහෝ අය අපට නිකම් දෙන්නේ පසුව ගන්නට ය. නිකම් දෙන විට ඒ පිටුපස ඇති ගෙවීම කුමක් දැයි සෙවිය යුත්තේ ඒ නිසා ය. එය ලැබුනාට වඩා බෙහෙවින් වැඩි වීමට ඉඩ තිබේ.

ආණ්ඩුව නොව ඕනෑම කෙනෙක් නිකම් දෙන දෙයක් දෙස අප සැකයෙන් බැලිය යුත්තේ ඒ නිසා ය. ගැහැණු ළමයෙකු තමන් වෙත ඕනෑවට වඩා සැළකිල්ලක් දක්වන අය ගැන පරිස්සම් විය යුත්තේ ද ඒ නිසා ය. අප අපගෙන් ඇසිය යුතු ප්‍රශ්නය නම් අපට මෙතරම් ආදරේ ඇයි ද යන්න නොව ගෙවන විට ගෙවන්නට සිදු වන පොලිය කීය ද යන්න ය.

Leave a comment