Wednesday, December 10, 2014

293. විමලෙගෙ වාංපතුල් කතා 24 - මහා අලිසන්දිරි, ජෙන්ගිස් ඛාන්, ආතර් සී. ක්ලාර්ක් සමඟ අලින්ගේ අපේ කතා.......


Arthur C. Clarke - සිතුවම - Denis Gonchar

පහුගිය විමලෙගෙ වාංපතුල් කතාවෙ වරහං ඇරගෙන ඇරගෙන ගියා මිසක්ක එව්ව වහන්ට බැරිඋනා නෙව..රායිට් අද ඔන්න වරහන් වහන දවස. විදින් බ්‍රැකට්ස් තුල....අපිට හතේ පංතියෙ වාණිජ්‍යය විෂය කරපු මැඩම් තමයි එහෙම කියන්නෙ. 

" ළමයි ලියාගන්ට පොත් අරගෙන........ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී අධ්‍යක්ෂ මණ්ඩලය නියමිත කාලසීමාවකට වරක් රැස්ව...... විදින් බ්‍රැකට්ස් තුල ලියාගන්ට.... තනි අයිතිකරුවකුගේ හිමිකාරත්වයෙන් යුත් ව්‍යාපාරයකදී මෙවන් තත්වයක් බල නොපායි වරහන් වහලා...සාමූහික තීරණ ගැනීම ව්‍යාපාරයෙහි අභිවෘද්ධියට හේතුවේ." 

දැං සූ එක ගැන දෙවෙනි කතන්දරේ..මේක කිව්වෙ අජිතය..අජිතය මතකයිනෙ නේද? අර පිළිස්සූ කුකුළකු නිසා ......කතාවෙ ඉන්නෙ..මගෙ අතිජාත මිත්තරය..අන්න ඒකා.. 

මේ අජිත් ඔය ගෙදර ගිහිල්ල ආයෙම ආපු දවසක හැන්දෑකරේ අපි කට්ටිය මිදුලෙ කොට්ටම්බ ගහ යට රවුමට පුටු තියාගෙන පොඩි සන්තර්පණයක නියැලෙමින් ඉන්දද්දි කියාපු කතාවක්..අජිතයගෙ වචන වලින්ම මෙහෙමයි.. 

" ඒයි අඩේ..මේක අහපල්ලකො මරු කතාවක් බං..අපෙ මාමගෙ හොඳම යාලුවෙක් වැඩ කරනව සූ එකේ.....මිනිහ තමයි මාම දැක්කිං මේ කතාව කියල තියෙන්නෙ. බොලාට මතකද දැනට මාස හතර පහකට ඉස්සෙල්ල සූ එකේ අර අලි සෙල්ලං වලදි ඇත් ගොව්වෙක් අලියගෙ කට ඇතුලට ඔලුව දාගෙන ඉන්දැද්දි එක පාරට අලිය ඔලුව හපල මිනිහ මලා..." 

ඇත්තටම එහෙම සීන් එකක් ඒ දවස්වල වුනානම් තමයි. අලිය ඔලුව හපල ඇත්ගොව්වෙක් මලා. 

ඉතිං අජිත කේසකම්බල කිව්ව විදිහට ඒ සූ එකේ අලි කතාව මෙහෙමයි, අජිත කේස කම්බල දන්නව නේද? බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටපු ෂඩ් ශාස්තෘ වරුන්ගෙන් එක්කෙනෙක්. ෂඩ් කියන්නෙ හය, තොටගමුවෙ ශ්‍රී රාහුල හාමුදුරුවන්ට කිව්වය කියන්නෙ ෂඩ් භාෂා පරමේෂ්වර . එහෙම විරුදාවලියක් දීල තියෙන්නෙ එතුමා භාෂා හයක් පරතෙරටම ඉගෙන ගත්තු හින්දය කියලයි කියන්නෙ.ඒ භාෂා හය ඇවිල්ල සංස්කෘත, ප්‍රාකෘත,මාගධි, පෛසාචි,සෞරසේනි සහ අපබ්‍රංස. 

" මේ යකා මොන අපබ්‍රංසයක් කියවනවද මංද...." එහෙම කියල මට පස් පඩංගුවෙ බණින්ට එහෙම ලෑස්ති වෙනවනං ඊට කලින් අපබ්‍රංස කියන්නෙ මොකක්ද කියල දැනගෙන ඉන්ට එපාය. අපබ්‍රංස කියන්නෙ ඒ දවස්වල උතුරු ඉන්දියාවෙ පැවතිච්ච ශාස්ත්‍රීය භාෂාවක් කියලයි කියන්නෙ. උගතුන් පඬිවරුන් අතර ශාස්ත්‍රීය කටයුතු සඳහාම භාවිතාවුනු වටහා ගැනීමට බොහොම අමාරු භාෂාවක් කියලයි කියවෙන්නෙ. තේරුංගන්ට අමාරු දෙයක් ඇහුණම ඒ මොන අපබ්‍රංසයක්ද ඒ? කියන්නෙ ආන්න ඒ හින්දයි. 

තේරුම් ගන්ට අපහසු දෙයකට උදාහරණ හැටියට අපි අතර තව භාවිතාවෙන වදනක් අංඩර දෙමළ.." මේ උඹේ අංඩර දෙමළ මට තේරෙන්නෙ නෑ. කියන දෙයක් සිංහලෙං කියපං " එහෙම අපි කියනවනෙ.ඒ වචනෙ ඇවිල්ල තියෙන්නෙ මෙහෙමයි. ඉන්දියාවෙ තමිල්නාඩුවට උතුරෙන් තියෙන්නෙ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තය. එහෙ භාෂාව ඇවිල්ල හිට තෙළිඟු. ආන්ද්‍ර ප්‍රදේශ් සහ තමිල්නාඩු මායිම කිට්ටුව වාසය කරන ආන්ද්‍ර ප්‍රදේශ් වැසියො කතාකරනවයි කියන්නෙ තෙළිඟු සහ දෙමළ මිශ්‍ර භාෂාවක්. ආන්ද්‍ර දෙමළ නොහොත් අපේ මුතුන් මිත්තන්ගෙ කටට හුරු විදිහට අංඩර දෙමළ වෙලා තියෙන්නෙ අන්න ඒ මිශ්‍ර භාෂාව. අපි අතරෙ ඒ වචනෙ පැතිරුණෙ කොහොමද කියල නම් ස්ථිර අදහසක් නෑ මම දන්න විදිහට. ඒත් ලංකාවට සුද්දංගෙ කාලෙ වෙලඳාමට හෝ තේ වතුවල වගෙ රැකියාවට එහෙම ආපු ඒ ආන්ද්‍ර දෙමළ කතාකරන මිනිස්සු හින්ද ඔය ව්‍යාවහාරය පැතිරුනයි කියල හිතන්ට ඉඩකඩ තියෙනව. නුපුරුදු දෙමළ භාෂාවක් කතා කරන මනුස්සයෙක් ගැන කියන්ට " ඒ මිනිහගෙ අංඩර දෙමළ මට තේරෙන්නෙ නෑ බොල " කියල කියන්ට ඇති මුලින්ම. 

හරි ආපහු යමු ෂඩ් ශාස්තෘ වරු ගාවට. පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල,කකුධ කච්ඡායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, නිගණ්ඨ නාතපුත්ත තමයි ඒ හය දෙනා.....හයේ හතේ වගෙ බුද්ධ ධර්මය විෂයට අපි ඔය නම් කට පාඩම් කලා. ඒ එක් එක්කෙනා දේශනා කල ධර්මය ගැන විස්තරේකුත් එක්ක. 

ෂඩ් ශාස්තෘවරු වගේම තමයි බුදු හාමුදුරුවන්ගෙ කාලෙ දඹදිව තිබුණු සොළොස්මහා ජනපදත් අපිට කටපාඩම්….අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේදි, වතස, කුරු, . පංචාල,, මච්ඡ, සුරසේන , අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ …… 

ෂඩ් ශාස්තෘ වරුන් අතර අවසානයට කියවුණු නිඝන්ඨනාත පුත්ත ඇවිල්ල ජෛනාගමේ නිර්මාතෘවරයා. වර්ධමාන මහාවීර කියලත් එතුමාට කියනවා. දිගම්බර නොහොත් නිර්වස්ත්‍ර සහ ශ්වේතාම්බර නොහොත් සුදු පැහැ වස්ත්‍ර පමණක් අඳින කියල පස්සෙ කාලෙක ජෛනාගම කොටස් දෙකකට බෙදුනා. 

හතේ අටේ පන්තියෙදි වගෙ මුලින්ම කියවපු දවසෙ ඉඳල තාමත් මම හරිම කැමති පොතක් ඇවිල්ල ජයසේන ජයකොඩි මහත්මයගෙ " අමාවැස්ස"..ඔය අමාවැස්ස පොතේ එක තැනක තියනව බුදුන් වහන්සෙයි, වර්ධමාන මහාවීර තුමායි මුහුණට මුහුණ හමුවුණු අවස්ථාවක්. 

ඇත්තටම එහෙම දෙයක් කවමදාකවත් නොවෙන්ට ඇති.ඒත් ලේඛකයාගේ වරප්‍රසාදය ( Writer's Privilege) කියන්නෙ ඒක. ඇත්තටම කිසිම දිනක නොවුනු දෙයක් උනත් කිසි ප්‍රශ්නයක් නැතුව ලියන්ට පුලුවනි. තම තමන්ගෙ පරිකල්පන ශක්තිය විහිදෙන පරාසය තමයි එකම සීමාව. 

ආතර් සී. ක්ලාර්ක් මහත්මයගෙ සුප්‍රසිද්ධ සිව් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධය මතකනෙ, 2001 A Space Odyssey, 2010 Odyssey Two 2061 Odyssey Three සහ 3001 The Final Odyssey. 

එස්. එම්. බන්දුසීල මහත්මයගෙ විශිෂ්ඨ පරිවර්තනය, 2001 අභ්‍යාවකාශ වීර චාරිකා, ඒ වගේම කිසිදවසක අමතක වෙන එකක් නැහැ. මිනිස් පරිණාමයේ අතරමඟ සංධිස්ථානයක සුවිශේෂී භූමිකාවවකට පණදුන් අර්ධ වානර අර්ධ මනුෂ්‍ය හඳයා ( මුල් නවකතාවෙ Moon Watcher ).... ඒ වගේම තම සිතට එකඟව කටයුතු කිරීමට නොහැකිවීමෙන් හටගත් අධික ආතතිය දරාගත නොහැකිව තම මිනිස් සගයින් මරාදැමීමට උත්සාහ කරන සවිඥාණික පරිගණකය HAL 9000...කවදාවත් අමතක වෙන එකක් නෑ. 

( සිතට එකඟව කටයුතු කල නොහැකිව ආතතියට පත්වූ තව කෙනෙක් ගැන මතකයි නේද? හෙට අනිද්දට ආයෙම ඒ ආතතිය එන්ට බොහෝ දුරට ඉඩ තියෙනව....හෙහ්,හෙහ්, ) 

ඒ මොනව වුනත් බන්දුසීල මහත්මයගෙ ගැඹුරු මුහුද පරිවර්තනයට මම වඩාත් කැමතියි. ආචාර්ය ඩෙස්මන්ඩ් මොරිස්ගෙ The Naked Ape සහ Human Zoo පොත් දෙක නිරුවත් වානරයා සහ මනුසත් උයන යන නම් වලින් පරිවර්තනය කලෙත් බන්දුසීල මහත්මය. 

2001 Space Odyssey කථා මාලාව වගෙ ජනප්‍රිය නොවුනත් ක්ලාර්ක් මහත්මය ඈත අභ්‍යාවකාශයෙන් පැමිණෙන අපට වඩා බොහෝ දියුණු ජීවීන් පිලිබඳව තවත් කථා මාලා දෙකක් ලිව්ව. Rendezvous With Rama කථාවෙන් ඇරඹුනු රාමා කථා මාලාව පොත් හතරක් පුරා දිවෙනවා. Rama ii, Garden Of Rama සහ Rama Revealed අනුයාත පොත් තුන.රාමා කථාමාලාවෙ අවසාන පොත් තුන ක්ලාක් ලිව්වෙ Gentry Lee එක්ක හවුලෙ. 

තම ජීවිතයේ අවසාන කාලයෙදි ක්ලාක් මහත්මය ස්ටීවන් බැක්ස්ටර් එක්ක එකතුවෙලා ලිව්ව Time's Eye තුන් ඈඳුතු කථාව ඔහු ලියපු අනෙක් විද්‍යා ප්‍රබන්ධ කථා මාලාව.Time's Eye : A Time Odyssey පළවෙනි එක. දෙවෙනි එක Time Odyssey Two : Sunstorm , අවසාන කොටස Time Odyssey Three : Firstborn 

ඉතිං ලේඛකයාගේ වරප්‍රසාද ( Writer's Privilege ) ගැන කිය කිය ඉඳල ආතර් සී. ක්ලාක් ගැන වැල්වටාරං කියවන්නෙ මොකද කියල ප්‍රශ්නයක් නම් මේකයි ඒකට හේතුව. ඔය අන්තිමට කියපු Time's Eye කථා මාලාවෙ තියනව අපූරු යුද්ධයක් ගැන. මහා අලෙක්සැන්ඩර් අධිරාජයා සහ ජෙන්ගිස් ඛාන් අතර මේ මහා සංග්‍රාමය සිද්ධ වෙන්නෙ බැබිලන් නගරය අසල. මහා අලිසන්දිරි අදිරාජයා හිටියයි කියන්නෙ ක්‍රි.පූ. 350 විතර. එතකොට ජෙංගිස් කාන් ගොයිය ක්‍රි.ව. 1200 වගෙ. ඒ අතර කාල පරතරය අවුරුදු 1500 වගෙ වෙනව. 

1860 ගණන් වල ඉන්දියාවෙ හිටපු බ්‍රිතාන්‍ය යුද සේනාංකයක් සහ 2037 වසරෙ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට අනුයුක්තව රාජකාරි කරන බ්‍රිතාන්‍ය හමුදාවෙ ලුතිනන්වරියක් මහා ඇලෙක්සැන්ඩර්ට මේ සටනෙදි උදව් කරනව.මේ අභූත සිද්ධීන් මාලාව වෙන්නෙ අර මම කියපු බොහොම පැරණි සහ ඉතා දියුණු පිටසක්වල ජීවීන් ( ඔවුන් හැඳින්වෙන්නෙ Firstborn යන නමින් ) කාලය සහ අවකාශය එකිනෙක උඩ යට හරවල පෘථිවියෙ එකම අවස්ථාවෙ මිනිස් වර්ගයාගෙ ඉතිහාසයෙ විවිධ අවස්ථා නැවත නිරූපණය කරනව වගෙ දෙයක් කරන නිසා. ඒ අනුව පෘථියේ එකම විට සමාන්තරව ඕස්ට්‍රලෝපිතකස් මානවයින්, බැබිලෝනියානුවන්, ඇසිරියන් වරුන්, 19 වන සියවසේ ඉන්දියාවෙ සිටි බ්‍රිතාන්‍ය සේනාංකයක්, 2037 එක්සත් ජාතීන්ගෙ සාම හමුදාවට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් වගේම මහා ඇලෙක්සැන්ඩර් සහ ජෙන්ගිස් ඛානුත් උරෙන් උර ගැටී වාසය කරනව. 

මේ අද්භූත තත්වය හැඳින්වෙන්නෙ කාල ඛණ්ඩතාවය නැත්නම් Time Discontinuity හැටියට. අර ඉතාමත් දියුණු පිටසක්වල ජීවින් නැත්නම් Firstborn කට්ටිය මෙහෙම කරන්නෙ මිනිස් වර්ගයාගෙ පරිණාමයේ විවිධ අවස්ථා එකමවර නරඹල ඔවුන්ගෙ හැසිරීම අධ්‍යයනය කරල සුරක්ෂිතව ගබඩා කරල තබා ගන්ට. එහෙම කරන්නෙ ඔවුන් තීරණය කරල තියනව මිනිස් වර්ගයා සහමුලින්ම සමූලඝාතනය කොට දැමිය යුතුයි කියල. 

අප්පටසිරි ගජ නැන්දට කජුමද...නරකම නෑ නේද අජිතය සූ එක ගැන කියපු කතාව කියන්ට ඇවිල්ල තලපු පඳුරු තැලිල්ල. ඔහෙල ඔය පස් පඩංගුවෙ බැන්නට ඒකටත් තියෙන්ට ඕන පොඩි මෙව්ව එකක්...ඒ කිව්වෙ උපන්ගෙයි හැකියාවක් වගෙ එකක්...හෙහ්,හෙහ්, ...නැතිය කියනවද? 

රයිට් පහුගිය කතන්දරේ වරහං තියනව වහන්ට තුනක්..ඒ මෙහෙමයි...එක කොණ්ඩ කුරුල්ලන්ගෙ කතාව ..දෙක ...ඔළු කන අලියගෙ කතාව...තුන සූ එකේ ඇත් ගොව්වගෙ ඔලුව හපපු අලියගෙ කතාව. 

හරි ඉස්සෙල්ලම කොණ්ඩ කුරුල්ලංගෙ කතාව. 

හේ කුරුල්ලයි කොණ්ඩ කුරුල්ලයි අලිගැට පේර ගහේ කොල අතු අස්සෙ ඉඳගෙන කා කොටා ගන්නව. ඔය අස්සට කිරිල්ලියෝ දෙන්නත් ආපි. මෙවුං හතර දෙනාම පොල් පොදියට කොටා ගන්ට ලෑස්ති උනේ නැද්ද? එක පාරටම ගේ කුරුළු පිහාටු, කොණ්ඩ කුරුළු පිහාටු දසත විසිරුවාගෙන මුං හතර දෙනා එක පොදියට කඩා වැටිච්චි අප්පච්චිගෙ උකුල උඩට...උන්දැ කලබොල වෙච්චි පාර දනිපනි ගාල නැඟිටිච්චි. ඒ නැඟිටිල්ලට ඉඳගෙන උන්නු පුටුව විසික්ක වෙලා ගියා එතනම පිටිපස්සෙ තිබ්බ කෝප්ප කොල පඳුරගාවට. 

අප්පච්චිට තරහ ගිය පාර එහෙම්මම ගෙට ගියා පොතත් අරගෙන මොනවදෝ තොල මතුර මතුර, 

අපෙ අත්තම්මට හිතට හරිම නෑ මේ වෙච්චි දේ...ඔය අපෙ අත්තම්ම ඉන්නව නේද? අහ්..ඉන්නව නේද කියල නෙවෙයිනෙ කියන්ට ඕන..හිටිය නේද කියලයි..හරි ඔය අපෙ අත්තම්ම හිටිය නේද? අප්පච්චිට පුදුම ආදරයක් තිබ්බෙ.උන්දැගෙ බෑණා තමයි. ඒත් පුතෙකුට නැති ආදරයක් තිබ්බෙ. 

අම්ම ඔය හිටපු ගමං හිනා වෙවි කියනව " මෙයාට අම්මගෙ ආදරේ බලාපල්ලකො. අද මේ ගෙදරට ආපු මනුස්සයෙක් නං එකත් එකටම හිතන්නෙ ඔහේ පුතා මම ලේළි කියල..." අප්පච්චියි අත්තම්මයි දෙන්නම ඒ කතාව අහල හිනාවෙනව. 

හැබැයි අපරාදේ කියල කියන්ට බෑ මයෙ නැන්දම්මත් මට පුදුම ආදරයක් තිබ්බෙ. .ඔය අපෙ උන්දැ බොහොම වෙලාවට මගෙ කරේනෙ ඉන්නෙ. එව්වට අම්මා කැමතිම නෑ. පරණ උදවියනෙ ඉතිං ....ඒ එයාලගෙ ආකල්ප, එයාල හැදිච්චි විදිහ...අපි දෙන්න ඉතිං ඔය කුස්සියෙ බංකුවෙ ඉඳගෙන හවස තේ බොද්දි එහෙම අරුන්ද නිකමටවත් මගෙ කරට එහෙම හේත්තු උනොත් අම්ම රවනව.. 

" චුට්ටි දුව.ව.ව.. ....මොකද ඔය? ඔය පුතාගෙ කරේ නඟින්ට හදන්නෙ? ඔය බංකුවෙ ඉඩ මදිනං මේං මෙහෙට එන්ට " එහෙම කියල එයා ඉන්න පොඩි බංකුවෙ පැත්තකට වෙලා ඉඩ දෙනව. 

" අනේ අම්ම ඉන්ට ඕං ඔහොම.... බොරුවට කෑ නොගහ " එහම කියල අපේ උන්දැ තවත් මගෙ කරේ නඟිනව. 

දවල්ට කාල අපි දෙන්න ඔන්න යනව පොඩි ඇලට් එකක් දාන්ට. ඇඳට ගියාට මට එසැණින් නින්ද යන්නෙ නෑ. පොතක් හරි පත්තරයක් හරි සුට්ටක් කියවන්ටම ඕන. මම ඉතිං ඔව්ව කරනවට එයයි කැමති නෑ. 

" මොකද අනේ කරන්නෙ? මෙතනත් පොතක් ගත්තද? " කියල මගෙ උරෙස්ස දිහාට තුරුළු වෙනව. අම්ම කාල දවල්ට බුදියන්නෙ නෑ. ඔය වෙලාවට සාලෙ ඉඳගෙන අප්පච්චිගෙ ඉරිච්චි සරමක්, කමිසයක් එළලනව වගෙ මොකක් හරි කරනව. 

අම්ම සාලෙ ඉන්නව කියල මම දන්නවනෙ. අම්මට ඇහෙන්ටත් එක්ක මම කාමරේ ඉඳලම කෑගහනව " මොකක්ද අනේ මේ කරේ නඟින්ට එන්නෙ? පොඩ්ඩක් ඉන්නකො පැත්තකට වෙලා..." ඕක ඇහිල අම්ම සාලෙ ඉඳලම බණිනව අපෙ උන්දැට " චුට්ටි දුව..අනේ හැබෑට මොකද වෙලා තියෙන්නෙ?..එක විදිහකට ඉන්ට බැරි හැටියක් මම කියන්නෙ " 

" බොරු අම්මෙ ඔය...මම නැඟපු කරක් නෑ..අම්මටත් මෙයා කියන ඔක්කොම ඇත්ත. හරි ඉන්ටකො මම යනව එහා කාමරේට. එතකොට බැරිය නිදහසේ ඉන්ට ඕන විදිහට.." අපෙ උන්දැ මට රවාගෙනම ඇඳෙන් බහින්ට හදනව එයයිගෙ කොට්ට දෙකත් දෑතට අරගෙන...

" හරි හරි ඔහොම ඉන්ට ඔහොම ඉන්ට ..ආය ඔච්චර තරහ ගන්ට ඕනය ඕකට " මම එහෙම කියල එයාගෙ අතිං අල්ලල නතර කර ගන්නව. 

ඉතිං ආයෙම චුට්ටි කාලෙට යමු...අප්පච්චිට නිදහසේ පොත පොත බලාගන්ට හැටියක් නැතිවීම ගැන ඔන්න අත්තම්මට හරිම හිතට විස්සෝපයි. පහුවදා මම ඉස්කෝලෙ ඇරිල ඇවිදිල්ල කාල බත් ඇට හරහ වැටෙනටත් ඉස්සර ඔන්න උන්දැ මට කතා කරනව. 

" සුට්ටි පුතේ කාල ඉවරනං එන්ටකො අපි දෙන්න පොඩි වැඩක් කරන්ට.." 

" මොකක්ද අත්තම්මෙ? " 

" එන්ටකො මම කියඤ්ඤං..." 

" අර අනෝද ගහට හේත්තු කරල තියන ඉණි මඟ ගන්ටකො. ....පුතාට පුලුවනිද? මාත් පැත්තකිං අල්ලන්ටද? " 

" නෑ අත්තම්මෙ මට පුලුවනි. " 

ඔය ඉතිං අවුරුදු දොළහ දහතුන වගෙ වයසනෙ. වැඩිහිටියො වෙන්නෙ කොයි වෙලාවෙද කියල හීන මව මව ඉන්න කිසිම දෙයක් බෑ කියන්නෙ නැති කාලෙ නෙව. රට අඹ පිටපළු දෙහෙකට හරහට පටි ගහල හදල තිබ්බ ඒ ඉණිමඟ සෑහෙන බරක්. ඒත් කොහොම හරි කොට කළිසම එහෙම උස්සල ඇඳගෙන මම ඔය ඉණිමඟ උහාගෙන ගියා අත්තම්ම පිටිපස්සෙ. 

" මෙතනට හේත්තු කරන්ට...." උන්දැ අපේ ගරාජ් එකේ පිට බිත්තිය පෙන්නල කිව්ව. එහෙම කියල මගෙ අතට පරාළ ඇනේකුයි මිටියකුයි දුන්න. 

" දැන් බොහොම පරිස්සමට ඉණිමග දිගේ නැඟල අර බිත්තියෙ මැද හරියෙන් වගෙ වහලෙට වැහෙන තැනක් බලල මේ ඇණේ ගහන්ට බාගයක් විතර යටට බහින්ට. " 

" මොකටද අත්තම්මෙ? " 

" ඇණේ ගහන්ටකො ...ඊට පස්සෙ මම කියන්නං.." 

ඇණේ ගැහුවට පස්සෙ උන්දැ මගෙ අතට දුන්න මුදවපු කිරි ගෙනාපු සාමාන්‍ය තරමෙ වගෙ මුට්ටියක්. අම්මගෙ එක අයිය කෙනෙක් හිටියෙ ත්‍රිකුණාමලේ. වැඩකලේ දුම්රිය දෙපාර්තමේන්තුවෙ. ඉස්කොලෙ නිවාඩු කාලෙ එහෙම එයාල අපෙ ගෙදර එනකොට මුදවපු කිරි මුට්ටි හතර පහක් ගේනව. ඒ එයිං එකක් ඔය. 

" මේ මුට්ටිය එල්ලන්ටකො ඔය ඇණේ.." 

මම මුට්ටිය එල්ලල බැස්ස. මුට්ටිය පතුලෙ තිබ්බ හිලක් හදල... 

" මේ කාටද අත්තම්මෙ? කොණ්ඩ කුරුල්ලන්ටද? ගේ කුරුල්ලන්ටද? " 

" කාට හරි කමක් නෑ. දෙගොල්ලටම තියෙන්නෙ එක ගෙදරක් හින්දනෙ උං කා කොටා ගන්නෙ..දැං ගෙවල් දෙකක් තියන හින්ද දෙගොල්ල සමාදානෙං ඉඳීවි…" 

හැබෑටම එදායිං පස්සෙ ගේ කුරුළු - කොණ්ඩ කුරුළු යුද්දෙ සදහටම ඉවරයක් වුනා. අළුත් ගෙදරට කොණ්ඩයො ජෝඩුව ආව. ගේ කුරුල්ලො පරණ ගෙදර තනි අයිති කාරයො වුනා ආයෙමත්.අප්පච්චි නිවී සැනසිල්ලෙ අලිපේර ගහ යට පුටුව තියාගෙන පොත් පත්තර බැලුව. 

අප්පච්චිට කෑගල්ලෙන් අනුරාධපුරේට මාරුවක් හම්බවෙලා අපි ගෙවල් ඇරල යනකලුත් කොණ්ඩයො ජෝඩුව ගරාජ් එකේ බිත්තියෙ පරාල ඇණෙං මං එල්ලපු ගෙදර පදිංචි වෙලා හිටිය. 

" දුවේ අපි යන දිහාකට මෙවුනුත් අරගෙන යමුද? " 

ගෙවල් අතෑරල යන්ට කලින් දවසෙ රෑ පිඟං බඩු, වීදුරු එහෙම පිදුරු අතුරල පකිස් පෙට්ටිවල පරිස්සමට අඩුක්කරමින් උන්නු අම්මගෙන් එහෙම ඇහුවෙ අත්තම්ම. 

" උං ගෙනියල බෑ අම්මෙ. ඔය නුපුරුදු දිහාස් වලට ඔය සත්තු අරං යනවට වඩා හොඳයි උංට පුරුදු තැනම මෙහෙ හිටියාවෙ. " අම්ම කිව්ව. " පුතා තව පිදුරු ටිකක් අර අතන රම්පෙ ගහ ගාව තියෙන පිදුරු ගොඩෙන් අරං එන්ට. ඇඟේ ගාගන්ට එහෙම එපා ඔන්න. ඔව්ව කහන්ට ඇල්ලුවම ඉන්ට බෑ ආය…" 

ගේ කුරුළු වරහන ඔන්න හරි හොඳද? 

රායිට් වරහන්ස් නම්බර් ටූ..ඔළු කන අලියගෙ කතාව.... 

ඔය ඔළු කන අලියා නොහොත් a.k.a. ඔළු කන්නාගෙ කතාව මෙහෙමයි. වියළි කලාපෙ හේංවල පඹයි හදනවනෙ සකලයො අඹවන්ට. ( සකලයො අඹවනවා = කුරුල්ලො එළවනවා ) ඔය සකලයො අඹවන වැඩේ පොඩි කාලෙ මගෙ රාජකාරිවල ප්‍රධාන අංගයක් වෙලා තිබ්බෙ. 

ඒ කාලෙ හාල් ප්‍රවාහනය තහනම් උනාට වී ප්‍රවාහනය තහනම්ද නැද්ද කියල මට හරියට මතකයක් නෑ. හාල් පොල්ල කියල පාර හරහට පොල්ලක් දාල හාල් නිෂ්පාදනය කරන ප්‍රදේශවල ඉඳල එන බස් නවත්තල පරීක්ෂා කලාය කියල කියනව ඒ දවස්වල. මම එහෙම එකක් දැකල නෑ කවමදාවත්. හාල් හොරෙං අරං ආවය කියන්නෙ වට්ටක්ක ගෙඩියක පොඩි කූඤ්ඤයක් වගෙ කෑල්ලක් කපල අයිං කරල එතනිං වට්ටක්කෙට හාල් පුරවනව. ආයෙම අර කූඤ්ඤෙ ගහල සිදුර වහලලු හාල් අරගෙන ආවය කියන්නෙ. 

අපිට අම්මලගෙ කුඹුරු වලින් එහෙම වී ගේනව අවුරුද්දකට පාරක්. ඔය වී තම්බන ව්‍යාපෘතිය කෙරුනෙ අත්තම්මගෙ ප්‍රධානත්වයෙන්. ඒ වගේම තමායි මාස හයකට වගෙ වරක් කෙරෙන පොල්තෙල් හිඳීමේ කර්තව්‍යය. රයිට් වී තැම්බිල්ල සහ එතනිං ගිහාම පොල්තෙල් හිඳිල්ල ගැන දෙවනුව කියන්නං නැත්තං අර සෙසු වරහන් දෙක වහන්ට අද බැරිවෙන සයිස් එකක් තියෙන්නෙ.දැනටම ඔන්න වදන් දෙදහ පැනල....හෙහ්,හෙහ්, 

රයිට් බෑක් ටු ට්‍රැක්... ස්ටෝරි අබවුට් ද හෙඩ් ඊටර්..... 

රයිට් දැන් මේ ඔළු කන්නගෙ කතාව මෙහෙමයි. මේ අලිය මනුස්සයෙක් මැරුවම ඔලුව හපනවලු. ඒ තිරිසනා ඔහොම පුරුදු වෙලා තියෙන්නෙ කොහොමද දන්නවද? හේන්වල පඹයින්ගෙ ඔලුවට දාන්නෙ පරණ මුට්ටියක්නෙ. එක හේනක ඔය මුට්ටියෙ තිබ්බලු මීයක් බැඳල. මේ අල්ලිස් උන්නැහැ දවසක් රෑ ඔය හේනට කඩා වැදිල මිනිහෙක්ය කියල හිතාගෙන අර පඹය බිම දාල පෑගුව. ඒ කරල ඔලුව වගෙ තියන මුට්ටිය හපල බැලුවම අම්මටසිරි මූට මීපැණි කැවුන...අල්ලිසාට නේද මාර ආතල්..ඉතිං මේ සතා හිතුවෙ මිනිස්සුංගෙ ඔලු ඇතුලෙ පැණි පුරවල තියෙනවය කියල. එදා ඉඳල මේ යස්සය මනුස්ස පරාණයක් දැක්කද නාලාගිරිය බුදු හාමුදුරුවො පස්ස පාරෙ එලෙව්ව වගෙ දුවගෙන ඇවිල්ල මනුස්සය මරල ඔලුව හපල බලනව. ඒත් එහෙම දෙතුන් පාරයි උන්දැට කරන්ට හම්බ උනේ. ආමි එකෙන් වෙඩි තියල ඒකා මරල දැම්ම. වෙන මොනව කරන්ටද? 

රායිට් දෙවන වරහන්ද එලෙස වසා දමනු ලැබිණ. ඔන්න දැන් තුන්වන නොහොත් අවසාන වරහන...අජිතය කියාපු සත්තෝද්දියානෙ අර සර්කස් පෙන්නද්දි ඇත් ගොව්වගෙ ඔලුව හපපු අලියගෙ කතාව... 

හරි අජිතය කතාව කිව්වෙ මෙහෙමයි.. 

" ඒයි උඹල දන්නවනෙ අර මාසෙකට වගෙ ඉස්සර අලි සර්කස් එකේදි ඇත් ගොව්ව ඔලුව කට ඇතුලෙ දාගෙන ඉද්දි අලිය හපල ඒ මනුස්සය මලා…" 

" ඔව් බං ඔය සීන්ස් එක ගියානෙ පත්තරවල එහෙම මුල පිටුවෙම්න වගෙ..ඉතිං?.." 

" පස්සෙ බං සූ එකේ කට්ටිය කරල තියෙන්නෙ අර අලියව කකුල් හතරටම දම්වැල දාල පැත්තක බැඳල දාල. කාටවත්ම හරි අයිඩියා එකක් තිබිල නෑ මේ වගෙ වෙලාවක මොකද කරන්ට ඕන කියල...ඉතිං ඔහොම සතියක් දවස් දහයක් විතර ගියාට පස්සෙ කලින් සත්තු වත්තෙ අධ්‍යක්ෂ වෙලා ඉඳල දැං විශ්‍රාම ගිහිල්ල සිංගප්පූරුවෙද කොහෙද සත්තුවත්තෙ උපදේශක විදිහට වැඩකරන පොරක් ආවලු සත්තුවත්තට. මනුස්සය මේ නිවාඩුවට ලංකාවට ආපු ගමන. " 

" ඉතිං? ඉතිං?..ඊට පස්සෙ? විශ්‍රාමලත් අධ්‍යක්ෂ මොකද කියල තියෙන්නෙ? " අපි කේසකම්බලයව කුල්මත් කලා. 

" ඉඳපංකො කියන්න හෙහ්,හෙහ්, පොර ආවම කට්ටිය වටවෙලා මේ සීන් එක කියල..අනේ සර් බලන්ටකො වෙච්චි වැඩේ කොමළි විල්බට් අයියගෙ ඔලුව හපල උන්දැ මලානෙ..මෙන්න මෙහෙමයි..අන්න අරමයි…" 

" ඒ පාර පරණ ලොක්ක කිව්වලු ඇයි ළමයිනේ එහෙම සතෙක් වැරැද්දක් කලාම කරන්ට ඕන දේ දන්නෙ නැද්ද? සතාට තේරුම් කරල දෙන්ට ඕන ඒ කරපු වැඩේ වැරදියි කියල..... ඒ කොහොමද සර් ඒක කරන්නෙ? කට්ටියම වටවෙලා ඇහුවලු.....ඒකට කරන්ට තියෙන්නෙ ඒ වෙලාවෙම ඒ සතාට රිදෙන්ට දඬුවම් කරන එක. එතකොට ඌ තේරුම් ගන්නව මේ වැඩේ ආයම කරන්ට හොඳ නෑ කියල. සත්තුන්ගෙ මනස වැඩකරන්නෙ එහෙමයි." 

සත්ව මනෝ විද්‍යාව හදාරල නැතිවුනාට අපෙ අත්තම්ම ඔය තියරි එක අපූරුවට දන්නව.අපෙ ගෙදර කාලෙන් කාලෙට බල්ලො හිටිය සෑහෙන්ට. හොඳ වර්ගයෙ කියල සම්මත ඇල්සේෂන්, ජර්මන් ෂෙපර්ඩ්ලගෙ ඉඳල වල්සේෂන්, දඩෝරි ෂෙපර්ඩ්ල දක්වා. මුලින්ම චුට්ටි එවුන් කාලෙ හේ ඇතුලෙ එවුන් ජරා කලාම අත්තම්ම කරන්නෙ එතනටම ඌව අරගෙන ගිහිල්ල පොඩි කෝටුවකින් රිදෙන්ට පාරක් දෙකක් ගහන එක. හැබෑටම ඒ දඬුවමෙන් පස්සෙ ඌ ඒ වැඩේ කරන්නෙම නෑ ගේ ඇතුලෙ. දුවනව මිදුලට....හෙහ්,හෙහ්, 

රයිට් බෑක් ටු අජිත කේසකම්බලස් ස්ටෝරි.. 

" ඉතිං බං අරම උපදෙස් දීල අර පරණ ලොක්ක ගියාලු යන්ට. පස්සෙ ඇත්ගොව්වො ටික එකතුවෙලා සාකච්ඡාවක් පැවැත්තුවලු. ඒ කරල තීරණය කලාලු සති දෙකක් වගෙ පහුවුනාට කමක් නැත. පරණ ලොක්ක කියපු විදිහට ඒ ප්‍රතිකර්මය අදම ක්‍රියාත්මක කරමුය කියල. බෙටර් ලේට් දෑන් නෙවර් කියන කතාවත් සම් ටයිම්ස් ඔය ඇත් ගොව්වො අහල එහෙම තියෙන්ට ඇති. " 

" ඉතින්? මොකෝ එවුං කොරල තියෙන්නෙ? " මම නොඉවසිල්ලෙං ඇහුව.... 

" මෙවුං හතර පස් දෙනෙක් එකතුවෙලා කරල තියෙන්නෙ දෙකේ දෙකේ පොළු අරගෙන ගිහිල්ල ඒ වෙලාවෙම අර අලියට හොඳටම ගහල." 

" මාර බඩුනෙ ..වැරැද්ද කරල සති දෙකකට පස්සෙ ගහල හරියනවය? අර ලොක්කගෙ තියරියෙන් කිසි වැඩක් වෙලා නෑ එතකොට අන්තිමට " මම එහෙම කිව්ව... 

" නෑ බං ලොක්කගෙ තියරිය අකුරට වැඩ කරල…" අජිතය කියපි. 

" ඈ..ඒ කොහොමද? " 

" අර අලියට තඩිබාන වෙලාවෙ ඌ උක්ගස් වගයක් කකා ඉඳල තියෙන්නෙ. එදා ඉඳල උක්ගහක් දැක්කත් ඌ පණ කඩාගෙන දුවනවලු වලිගෙත් උස්සගෙන රටෙත් නොහිට…" 

65 comments:

  1. සමාවෙන්න මේක අදමයි හමුවුනේ. හරියට අටපට්ටම නැත්නම් පංච තන්ත්‍රය වගේ. කොයිතරම් දිග වුණත් එක හුස්මට කියවන්න පුලුවන්. ලිවිල්ල ඒ තරම් සුපිරියි. අනික්වත් කියවන්නම්කො. අර බල්ලන්ට විදින් බ්‍රැකට්ස් වගේම පූසන්ට වරහන් වහලා දඬුවම් කරන ක්‍රමය මාත් පුංචි කාලෙ දැකල තියෙනවා. ඒක සාර්ථකයි ඇත්තටම.
    ලොකු දැනුමක් එකතු වුණා. ස්තුතියි. ජයවේව!!!

    ReplyDelete
    Replies
    1. මධුමාධවී,

      ස්තූතියි මැඩම්....මමත් ගියා ඒ පැත්තෙ..කවිකාරියක් නෙවද? වෙරිගුඩ්.. වෙරිගුඩ්...:)

      Delete
  2. දැන් රවියෝ ළමයින්ට ඔය වරහන් අරින වහන එක ගැන ටීචර් කියන්නේ නැහැ නේද? සටහන් දෙන්නේ නැහැ කියලයි අහල තියෙන්නේ. අපරාදේ, ඔය සටහන් දෙන එකේ තියෙන ජොලිය....
    සමහර ටීචර් ලා ඉන්නවා සටහන් පොත නැති උනොත් උගන්නගන්න බැහැ. එතකොට කරන්නේ එන්නේ නැතුව ඉන්න එක. ඕක දැනගන්න උන් කරන්නේ සටහන් පොත අතිරුදහන් කරන එක..

    ඉස්කෝලේ කාලේ පාඩම් කරපු සමහර දේවල් ඇත්තටම පුදුමයි මතකේ තියෙන විදිය. මට නම් ඉස්සර පාඩම් කරපු ගාථා මතකයි දැන් තටම තටම අලුතෙන් පාඩම් කරන්න හදන ඒවාට වඩා.

    ළමය හොඳයි. මතක් කර කර වරහන් වහල තියෙනවා. පෝස්ටුවේ මූලික අරමුණම ඒක වෙන්න ඕනේ.. හෙහ්..
    කොණ්ඩ කුරුල්ලන් දැන් අපේ ගෙවල් අස්සටම ඇවිත් chandelier වල ගෙවල් හදනවා බේරන්න බැහැ. උන් එහෙම ඉන්න ඇරියොත් ටික දවසකින් හමේ කැසිල්ලක් හැදෙනවා අපේ ගෙදර අයට. මම හිතන්නේ ඒ කුරුල්ලන්ගේ ඉන්න මොකුන් හරි සත්තු ජාතියක් හින්ද වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,අපේ ගෙදරත් චැන්ඩලියර් එකේ ඔහොමම කුඩු හැදුවා කුරුල්ලෝ කට්ටියක්.මම ඒ ගැන පෝස්ට් එකකුත් ලිව්වා මෙන්න බලන්න.
      http://helapakade.blogspot.com/2014/02/115.html

      Delete
    2. උපේක්ෂා,

      / සටහන් දෙන්නේ නැහැ කියලයි අහල තියෙන්නේ../

      අම්මප එහෙමත් එකක්ද? ඉඳහං අපෙ උන්දැගෙන් අහල කියන්නං...ඇත්තද අනේ මේ දැං ඉස්කෝලවල සටහන් දෙන්නෙ නෑ කියන්නෙ ? ඔහොම අහන්ට ඕන හෙට...

      / ඔය සටහන් දෙන එකේ තියෙන ජොලිය..../

      ආයෙත් අහල...ඒ වගෙ ආතල් එකක් වෙන කොයින්දා....ඔය සටහන් දීමේ ආතල් ගැන මම මේ ලඟදි ලිව්ව ..මට හරියට මතක නෑ..පෝස්ට් එකක්ද කමෙන්ට් එකක්ද කියල...ඉඳහං ..හොයල දාන්නං...

      / ස්කෝලේ කාලේ පාඩම් කරපු සමහර දේවල් ඇත්තටම පුදුමයි මතකේ තියෙන විදිය…/

      ඒකනං ඇත්තටම පුදුම වැඩක් තමයි..මගෙත් ලෝං ටර්ම් මෙමරි වෙරි එෆිෂන්ට්...ෂෝට් ටර්ම් බොහෝවිට හෝප්ලස්..ඊයෙ දවල්ට කාපුව මතක් කරගන්ට සමහරවිට අර ව්‍යාඝ්‍රා ටැබ්ලට් එකක් ගන්ට වෙනව...:)

      / උන් එහෙම ඉන්න ඇරියොත් ටික දවසකින් හමේ කැසිල්ලක් හැදෙනවා අපේ ගෙදර අයට. මම හිතන්නේ ඒ කුරුල්ලන්ගේ ඉන්න මොකුන් හරි සත්තු ජාතියක් හින්ද වෙන්න ඕනේ./

      ඔව්..කුරුල්ලන්ගෙ ඉන්නව ඇහැට පේන්නෙ නැති සත්තු ජාතියක් මයිටයො කියල ( Bird Mites) කුරුල්ලො ගෙවල් ඇතුලෙ කූඩු හැදුවම මයිටයො මාරු වෙනව මිනිස්සුංගෙ ඇඟට. උං විදිනකොට තමයි අර කහනව වගෙ දැනෙන්නෙ. පල්ලෙහා බලාපං පොඩි විස්තරයක් තියනව.

      Symptoms of bird mite infestation may include intense itching or crawling sensations and sudden isolated pricks. Even though bird mites don’t tend to live on human bodies for extended periods of time, an infestation can feel like an eternity when new mites in a victim’s surroundings return to bite again. Bird mites from abandoned nests can invade homes by the thousands. They will quickly gravitate to areas where humans sleep or relax. Red poultry mites can live up to nine months without a blood meal. If a red poultry mite gets into your ears or nostrils, it can continue to live for long periods without proper nourishment. Bird mites find hosts through receptors that detect moisture, heat and carbon dioxide. This is why they are often perceived as crawling near the eyes, nose and nostrils of human hosts.

      හොඳම වැඩේ තමයි වහාම කොණ්ඩ කුරුළු කූඩුව ෂැනලියර් එකෙන් අයින් කරල වත්තෙ කොහෙහරි ගහක වගෙ තියාපං තෙමෙන්නෙ නැති තැනක. පව් තමයි ඒත් වට් ටු ඩූ?

      Delete
    3. //ඔය සටහන් දීමේ ආතල් ගැන මම මේ ලඟදි ලිව්ව ..මට හරියට මතක නෑ..පෝස්ට් එකක්ද කමෙන්ට් එකක්ද කියල...//

      ඈ රවී.... ඔබතුමා කොහෙවත් කොමෙන්ටු දානවද? මම නම් දැකල නැහැ. ඔක්කොම දාන්නේ පෝස්ටු නේ... හි.. හි..

      Delete
  3. ඔයාගේ පදුරැ තලලා ලියන එකේ අමුතු ගතියක් තියනවා..
    එල ද බ්‍රා

    ReplyDelete
  4. මට නං නැගලම ගියෙ අලියගෙ උග්ගස් කතාව හිහි පව් අප්ප අලි මෑන්...
    පොරත් අර මුට්ටි හපපු ඩෑල් එකේ පරම්පරාවෙද දන්නෑ නේහ්...

    ගැඹුරු මුහුද පරිවර්තනය සිරිල් සී පෙරේරා ගෙ නේද....

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      හපොයි ඇත්තම නෙවෙන්නං...බරපතල වැරදීමක්..ගැඹුරු මුහුද පරිවර්තනය සිරිල් සී. පෙරේරා මහත්මයගෙ තමයි. ස්තූතියි මල්ලි වැරැද්ද පෙන්නල දුන්නට.

      Delete
  5. Time's Eye ගන්න ලිස්ට් එකට දාගත්තා ...Rendezvous With Rama එක නම් බන්දුසිල මහත්මය සිංහලට පරිවර්තනය කළා . ඉතිරි දෙක නම් කලේ නැද්ද කොහෙද .. ඒ දෙකත් අරන් බලන්න ඕනේ ..

    මම මේ දවස් වල මයිකල් ක්‍රයිටන් ගේ Micro කියවනවා ... බලල තියෙනවද ඒක ..

    2001 නම් මම කියවපු හොඳම විද්‍යා ප්‍රබන්ධයක් ... මට කාලයක් එකේ ඩේව් බෝමන් වගේ විශ්වයේ අනාථ වෙන්න මාර ආසාවක් තිබුණ ..

    රවී අයියා Interstellar බැලුවද ? එකෙත් තියෙනවා මරු ටයිම් ට්‍රැවලින් කන්සෙප්ට් එකක් .. මාර ක්‍රියේටිව් විදියට ෆිල්ම් එකේ තිබුණා ...

    කතාව ඉතිරි කොටස් ටික ගැන කොමෙන්ට් දාල වැඩක් නෑ වගේ .. මොකද අපිට කමෙන්ට් වල වරහන් ඇරලා වහල පුරුදු නෑනේ ... හෙහ් හෙහ්

    මම නිඝන්ටයෙක්‌ ඇස් දෙකටම දැක්ක ඉන්දියාවේ වන්දනාවේ ගිය වෙලාවේ .. මල්ල හොලෝ හොලෝ එනවා කිසි ගානක් නැතුව .. හැබැයි ඉහට මුතු කුඩ පයට පාවඩ දාල හෙන ගරු සරු ඇතුව තමයි නේද පාරවල් වල යන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පැතුම්, ඔය විද්‍යා ප්‍රබන්ධ කොටස කියෝනකොටම මතක් උනේ ඔබතුමාව. හෙහ්... ඇයි අනේ ආසාවට විතරක් අතරමං වෙන්නේ... දැන්ම බැරිය අතරමන් වෙන්න?? එතකොට බට්ටිනගා නේද? හ්ම්ම්.. හ්ම්ම්... ඒකනේ... රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං ... හිහ්

      එක්කෝ ඒ කාලෙම අතරමං උනානම් අහවරයි... හි.. හි..

      Delete
    2. නිඝන්ට කතාව කිව්වම කට කහනවා මේක නොකියා ගොහින්. අන්තිමට හිතුවා කියලම දානවා කියල, ආයේ මොකටද?

      මෙහෙත් එහෙම උන් ඉන්නවා පැතුම්. වෙලාවට උන් යන්නේ ලම්බෝගිනි වල. ගානක් නැතුව අර විදියටම යනවා. අපිත් පයට පාවඩ දාල, බෙර ගහල තමයි පිළිගන්නේ. ඇයි අහල නැද්ද? උන් මේ දවස්වල ගෙඹි වෘතයක් සමාදන් වෙලා. පනිනවා. බක බක ගානවා...

      කට කැසීම අවසන්...

      Delete
    3. Pathum,

      / මම මේ දවස් වල මයිකල් ක්‍රයිටන් ගේ Micro කියවනවා ... බලල තියෙනවද ඒක ../

      Micro මම ගත්ත ආපු ගමන්ම. ඒක පබ්ලිෂ් කලේ මයිකල් ක්‍රයිටන් මලාට පස්සෙ. මිනිහගෙ කම්පියුටර් එකේ තිබිල බාගෙට ලියපු ඩ්‍රාෆ්ට්් එක හොයාගෙන පස්සෙ රිචඩ් ප්‍රෙස්ටන් තමයි කතාව ඉවර කරල තියෙන්නෙ ක්‍රයිටන් කතාව ඉවර කරන්න ඕන කොහොමද කියල ලියා තිබ්බ නෝට්ස් ආශ්‍රයෙන්. Pirate Latitudes කතාවත් එහෙම මියයාමෙන් අනතුරුව ( Posthumously ) පබ්ලිෂ් කරපු එකක්. මේ ගැන අපි කලිනුත් කතාවුනා නේද බං මේ බ්ලොග් එකේම නැත්තං අරූගෙ හරි හෙන්රියගෙ හරි බ්ලොග් එකකදි?

      / රවී අයියා Interstellar බැලුවද ? එකෙත් තියෙනවා මරු ටයිම් ට්‍රැවලින් කන්සෙප්ට් එකක් .. මාර ක්‍රියේටිව් විදියට ෆිල්ම් එකේ තිබුණා /

      නෑ බං ..ඒක මේ ඔක්තෝබර් වල ආපු ෆිල්ම් එකක් නේද? තාම බලන්ට බැරිවුනා...මම මේ දවස්වල සමාන්තර ලෝක සංකල්පය ( Parallel Worlds Theory ) ගැන හොයල බලනව.පැරලල් වර්ල්ඩ් එහෙක ඉන්න තවත් රවී කෙනෙක් හම්බ වෙන්ට තිබ්බනම් නියමයි නේද?

      Spellbinder Season 2 එකේ එහෙම සින් එකක් තිබ්බ. අර මම කියපු Time Odyssey Series එකෙත් එහෙම කේස් එකක් තියනව. හිමාලයෙ ආරාමයක ඉන්නව අවුරුදු අසූවක විතර ලාමාවරයෙක්. එයාගෙ තනි නොතනියට ඉන්නෙ අවුරුදු අටක දහයක් වගෙ පොඩි පිරිමි ලමයෙක් විතරයි. ඒ ඇත්තටම අර මහළු ලානාගෙම ළමා කාලය. Time Discontinuity එක හින්ද එකම මනුස්සයගෙ ළමා කාලයයි මහළු කාලයයි එකම මොහොතක දකින්න පුලුවන්.

      / මම නිඝන්ටයෙක්‌ ඇස් දෙකටම දැක්ක ඉන්දියාවේ වන්දනාවේ ගිය වෙලාවේ /

      මම ඉන්දියාවෙ ගියාට නිඝන්ඨයෙක් දකින්ට හම්බ උනේ නෑ. ඒත් බබලත් නිඝන්ඨයො ඉන්න දිහාවට ගිහිල්ල එයාලට වැඳ නමස්කාර කරල ආශීර්වාද ලබාගන්ට තිබ්බ නම් බොහොම අගෙයි කියල අපෙ උන්දැගෙන් අහගත්ත කං දෙක සෝ සෝ ගානකල්.

      Delete
    4. // හොයල බලනව.පැරලල් වර්ල්ඩ් එහෙක ඉන්න තවත් රවී කෙනෙක් හම්බ වෙන්ට තිබ්බනම් නියමයි නේද? //

      මේ එක රවියෙක් ඉඳලා අපේ මොළේ හොල්මං වෙලා තියෙන ටික මදිවට පැරලල් යුනිවර්ස් එකකිනුත් තව එකෙක් ගෙනෙංකො.. :-P

      Delete
    5. උපේක්ෂා,
      දැන් මම ශරීරෙන් හිර වෙලා මනසින් අතරමං වෙලා ඉන්නේ .. බන්ධනය මානසිකයි නේ .. හෙහ් හෙහ්

      ලම්බෝගිනි වල යන ගෙම්බෝ නම් මරු අප්පා ... හරි ආතල් එකක් දෙන්නේ මේ දවස් ටිකේ ... ඉස්සර ඔෆිස් එකේ ෆ්‍රී වෙලාවේදී මේ බ්ලොග් බලල කොමෙන්ට් දාපු මම දැන් පැනපු එවුන් සහ උන්ගේ ආතල් ගැන චැට් කර කර කාලේ කනවා .. හෙහ් හෙහ් ..

      Delete
    6. ඔය මයිකල් ක්‍රයිටන් ගේ සින් එක දැන් සති දෙකතුනකට කලින් මේ බොගේ ම තමයි අපි කතා වුනේ ... හෙහ් හෙහ්

      මම කියනවට Interstellar බලන්න .. හොඳ පෝස්ට් එකක් ලියන්න පුළුවන් දේවල් එකේ තියෙනවා ..

      [හිමාලයෙ ආරාමයක ඉන්නව අවුරුදු අසූවක විතර ලාමාවරයෙක්. එයාගෙ තනි නොතනියට ඉන්නෙ අවුරුදු අටක දහයක් වගෙ පොඩි පිරිමි ලමයෙක් විතරයි. ඒ ඇත්තටම අර මහළු ලානාගෙම ළමා කාලය. ]

      මේ කන්සෙප්ට් එක තියෙන ෆිල්ම් එකක් තියෙනවා Predestination.
      http://www.imdb.com/title/tt2397535/ එකත් බලන්න ..



      Delete
  6. උඩරට රාජ්යයට නායක්කාර් රජවරුන් සමග ආ අය (සමහරෙක් වෙන්න ඇති )අණ්ඩර දෙමළ භාවිතා කලයි කියනව නේද?

    ReplyDelete
    Replies
    1. අන්න අරෙහෙ අනෙක් විමළෙ චම්පිකව ඇහැළෙපොළටයි මෛත්‍රීව පිළිමතලව්වෙටයි සමාන කරල ඡන්දෙ උඩරට 1815 කුමන්ත්‍රනේට සමාන කරල. හැබැයි ඌට අමතකවෙලා එහෙම වෙත්දි බේබදු, ප්‍රතිපත්තියක් නැති, නායක්කාර් දෙමළ රජා තමා මහින්දයට සමාන වෙන්නෙ කියල.

      Delete
    2. ප්‍රා,

      / උඩරට රාජ්යයට නායක්කාර් රජවරුන් සමග ආ අය (සමහරෙක් වෙන්න ඇති ) අණ්ඩර දෙමළ භාවිතා කලයි කියනව නේද? /

      අඩේ ඇත්තටම එහෙම වෙන්ඩ ඇති ඔය අංඩර දෙමළ කතාව ආවෙ. ආන්ද්‍ර ප්‍රදේශ් වලින් සෙංකඩගල රාජ සභාවට ආපු නිලමක්කාරයො කතාකරන්ට ඇත්තෙ ආන්ද්‍ර දෙමළ නොහොත් අංඩර දෙමළ නේන්නම්...මට ඒ ගැන අමතකම උනානෙ. ස්තූතියි ප්‍රා...:)

      Delete
  7. ඒත් සමහරු බල්ලන්ට දඬුවම් කරනකොට වරද්දනව. ඒගොල්ල හිතනව ලමයින්ටවගේ මතකයක් හෝ ගිල්ට් එකක් බල්ලන්ට තියනව කියල. සමහර විට පැයබාගයක් හෝ ඊට ඉතා වැඩිකාලයක් ගිහිල්ල ජරා කරපු තැන පෙන්නල බල්ලට දඬුවම් කරනව. ඌ දන්නෙ නෑ මේ මොන විකාරයක්ද කියල. එවලේම දඬුවම් කරන්න ඕන හැදෙන්න නම්.(අලි ගැන නම් අත්දැකීමක් නෑ.)

    ReplyDelete
    Replies
    1. ප්‍රා, මෙහේ කියමනක් තියෙනවා ඉන්දියන්ලා අලියෝ වගේ කියලා.

      ඒ කියන්නේ මොකක් හරි කේස් එකකදි ඒ වෙලාවේ අදහස පෙන්නන්නේ නෑ. මීයා වගේ මතක තියාගෙන ඉඳලා කාලයක් ගිහින් පලිගන්නවා කියලා.
      කවුරු හරි යුරෝප් මනුස්සයෙක් උඹ ඉන්දියන්ද කියල අහන්නේ මේ තේරුමත් එක්ක වෙන අවශ්තා අනන්තයි.

      Delete
    2. Rangi & Pra,

      Elephants Have Long Memories කියන කතාව ඇත්තක්ද නම් මන්ද..කොහොමහරි ඒ ගැන බොහොම රසවත් කතා තියනව.

      ආර්.එල්.ස්පිට්ල් මහත්මයගෙ සුදුගෝනා කතාවෙ දෙවෙනි රාජසිංග රජ්ජුරුවො හෑන්ස්ව මරණයට නියම කරනව.කණුවක බැඳල වධක ඇතකු ලවා අතපය ගලවලා මරණයට පත්කිරීම තමයි දඬුවම් ක්‍රමය. ඒත් ඒ වැඩේට යොදවන්න ඇතා හෑන්ස්ගෙ පරණ යාලුවෙක්.නම දිකුද්...ඌ හෑන්ස්ව අඳුරගෙන අර හෑන්ස් බැඳල උන්නු කොටේ උදුරල වීසිකරල හෑන්ස්වත් පිට උඩ තියාගෙන සෙංකඩගලින් පිටත් වෙලා ආපහු කැළේටම යනව.

      තව කතාවක් තියනව දුටුගැනුණු රජ්ජුරුවන්ගෙ ඇතා කණ්ඩුල ගැන.දුටුගැමුණු රජවෙන්ට ඉස්සර මාගම්පුරේ ඉන්දැද්දි දස මහා යෝධයො එක්ක යුද සරඹ ක්‍රීඩා කරනව.ඒවට කණ්ඩුලත් සහභාගි වෙනවලු. ඔය එක වෙලාවක සුරනිමල යෝධය කණ්ඩුලගෙ දළ දෙකෙන් අල්ලල පස්ස බිම ඇනෙන්ට තල්ලු කලාලු. ඕකෙ වෛරය පිරිමහගන්ට එදා ඉඳල අවුරුදු තුනක් කණ්ඩුල හැමදාම උදේට පොල් ගෙඩියක් හක්කෙ තියාගන්නවලු. අවස්ථාවක් ආපු ගමං දීල අදින්ට සුරනිමලගෙ පැණි බේරෙන්ට. ඒත් එහෙම අවස්ථාවක් හම්බවෙලාම නෑ. පස්සෙ ඔන්න එළාර එක්ක යුද්දෙ පටන්ගත්ත. විජිතපුර සටනෙදි බලකොටුව බිඳින්ට කණ්ඩුලත් එකතුවෙලා තියනව. ඔලුව තියල බලකොටුවෙ පවුර තල්ලු කරද්දි පවුර එක පාරට පාත්වෙලා ආවලු කණ්ඩුලගෙ ඇඟ උඩට.සුරනිමල පැන්න ගමං ගැහුවලු ඒ පාත්වේගන ආපු කොටස පැත්තකට වීසි වෙලායන්ට.කණ්ඩුල ඊට පස්සෙ හක්කෙ තිබ්බ පොලේ බිමට දාල සුරනිමල එක්ක තිබ්බ වෛරය අතැරල සමාදාන උනාලු.

      Delete
    3. Ravi:
      සුදු ගෝනා ගේ ඔය කියන කතාව කිව්වා ගමන් රවියෝ මට මේක නොකියම බැරුව ගියා...

      ඔන්න ඉතින් අපේ කාලේ උසාවියක නඩුවක් අහලා, වැරදි කාරයා හොයලා දඬුවමක් දෙනවා. දඬුවම තමයි එල්ලා මැරීම. ඔන්න එල්ලලා මරන්න කියල අලුගෝසුවාට කියනවා. බලනකොට ඌ අර මැරයාගේ ගජයෙක්. උන් දෙන්නා කතාවෙලා පැනල යනවා. කොහොමද වැඩේ? ඕක කොහොමද ප්‍රබන්ධයක් වෙන්නේ.. හෙහ්.. දැන් තියෙන සාමාන්‍ය ක්‍රමය මිසක්!

      Delete
    4. Upeksha,

      අලුගෝසුවා කියලනෙ කියන්නෙ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන මනුස්සයට. කවුද මන්ද කියල තිබ්බ ( අහුබුදුවෝ වෙන්ටඇති බොහෝවිට ) අලුගෝසුවා කියන වචනෙ හැදුනෙ අලුයම ගෝසා කරන්නා කියන තේරුමෙන්ය කියල. රජ කාලෙ වැරදිකාරයො මරණ දවසට උදෙන්ම එක්කං යනවලු නගරයෙ වීදි දිගේ අඬබෙර ගගහ " අසව් අසව් ( සරනේරු එහෙම නෙවෙයි හොඳද? ) අද දින අහවලා අහවල් වැරැද්ද නිසා රජතුමා විසින් මරණයට නියම කරනු ලැබ අහවල් අයුරින් මරණයට පත් කරනු ලැබේ " කියල ඝෝෂා කරනවලු හැමෝටම ඇහෙන්ට. ඒකෙන්ය කියනව ඔය අලුගෝසුවා කියල නම වැටුනෙ.

      දැන් ඒ අලුගෝසු නම වෙනස් කරල..දැන් කියන්නෙ " ජීව හරණ " කියල.එල්ලුං ගහට කියන්නෙ " ජීව හරණ වෘක්ෂය" කියල.

      Delete
  8. හැක්, අදනං කිසි කතාවක් නැතුව ඉතාම උවමනාකමෙන් වරහන් ටික වහල තියෙනව.
    මම හිතුවෙ සූ එකෙන් ඉන්දියාවෙ ගිහිල්ල, එතනිං ග්‍රහ ලෝක අතර විශ්වයේ සැරිසරල, පිටසක්වල ගිහිල්ල බ්ලැක් හෝල් එකකවත් නතරවෙයිද දන්නෑ කියලයි.
    ඔය 2000 ස් සීරීස් එක මගෙත් සිත් ගත්ම පොත් ටිකක් තමයි. දහ පහලොස් වතාවකට වැඩිය ඒ පොත් කියවල තියෙනව මම.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      කතා ඉවරකරන්නෙ නෑ කියල බේරුමක් නෑනෙ මල්ලි...ඒකයි මතක ඇතුව සහ කලින් කියලම බාගෙට නවත්තපු කතන්දර ටික ඉවර කරල දැම්මෙ...:)

      2001 සීරීස් එක කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ නේද? අසනීපයක් එහෙම හැදිල දවස් හතර පහක් එක දිගට ඇඳේ ඉන්ට උනොත් මම කරන්නෙ ඔය පොත් හතර පිළිවෙලට කියවන එක.එක පාරක් සරම්ප හැදිල ඉන්දැද්දි මම ඉස්සෙල්ලම කියෙව්වෙ ඔය සීරීස් එක...:)

      Delete
  9. \\විදින් බ්‍රැකට්ස් තුල.... \\ හැක් හැක්.. පස්සට රිවර්ස් කරන්නෙත් ඔහොම තමයි..

    රවි අයියගේ පඳුරු තැලිල්ල දැක්කම මට ප්‍රොෆෙසර් සුනන්ද මහේන්ද්‍රව මතක් උනා.. 96 දි වගේ මං මීඩියා ඩිප් එකක් කරනකොට අපිට ලෙක්චර්ස් වලට එනවා.. ආයි මොනවද ඉතින් උදේ කථා කරන්න ගන්න මාතෘකාව ආයි මතක් වෙන්නේ ලෙක්චර් එක ඉවර කරන්න යනකොට තමයි.. දන්න දේවල් කියන්න දේවල් ගොඩාක් වැඩි උනාම හා ඒවා රස කර කර කියන්න පුළුවන් උනාම ඕක වෙනවා.. හැක් හැක්..

    අද 'විතින් බ්‍රැකට් තුළ' තිබ්බ ටිකේ වරහන් වහල දාපු එක හොඳයි.. නැත්නම් අපිටත් මේව එකිනෙක ගැට ගහ ගන්න \\ Time Discontinuity \\ එකකට යන්න වෙනවා.. හැක් හැක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ ,

      ස්තූතියි මල්ලි....කාලයක් තිස්සෙ ගෙදරින් පිට රටේ විවිධ ප්‍රදේශවල රාජකාරි කරල, නොයෙක් මාදිලියෙ ගැහැණු, පිරිමි ආශ්‍රය කලාම හොඩගැහෙන ජීවිත අත්දැකීම් සම්භාරට අනන්තයි අප්‍රමාණයි.ඉතිං වෙන්නෙ ලියන්ට / කතා කරන්ට ගිහාම නවත්තගන්ට බැරි එක. අපෙ උන්දැ වෙලාවකට මට කියනව මම ඔය යාලුවො එක්ක එහෙම සෙට් උනහම " මේ ඔයාම විතරක් කතා කරන්ට ලෑස්ති වෙන්ට එපා හොඳද? අනික් අයටත් කතා කරන්ට දෙන්ට " කියල. ඒ කතාවත් ඇත්තනෙ, ඒ නිසා මම බොහෝවිට මුනිවත රකින්ට උත්සාහ කරනව.

      මුනිවත කියන එක දන්නවද? මෞන වෘතය....මුවින් නොබැණ නැත්නම් වචනයක්වත් කතා නොකර භාවනාවෙහි යෙදීම...

      හඬවන්න මා වැසි වසින අහස සේ,
      රිදවන්න මා පෙති සිඳින කුසුම සේ,
      මට සැපතකි ඒ,ඉවසන්න බෑ මේ,
      මුනිවත ඔබේ........


      ඒ ගීතය ගයන්නෙ කවුද කියල දන්නවනෙ නේද? නිරංජලා සරෝජිනී පීරිස්..නිරංජලා ගායිකාවක් විදිහට හඳුනාගන්ට ඉස්සෙල්ල ඇය මට සමීපවුනේ ගුවන් විදුලි හඬ නළුවලින්. ඉස්සෙල්ලම 75 වගෙ ප්‍රචාරය වුනු හන්දියේ ගෙදර...ඊට පස්සෙ ගජමුතු කතාවෙ මොරපාතොට අප්පොට පෙම්බඳින කුලහීන නැටුම් ශිල්පිණිය මුතූ...

      හෙහ්,හෙහ්..ඔන්න ඔහොම තමයි බං කතන්දර එකින් එක ඇමිණිලා අර මල් මාලෙ ඇමිණුවා වගෙ එකින් එක එකින් එක පැටලිලා එන්නෙ...මල් මාල කියනකොට අසෝකමාලා සිහියට එන්නෙ ඉබේටම..අසෝකමල් මාල ගොතාලා, අසෝකමල් උයනට වැදිලා සෝකනිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා..එහෙම කිව්වෙ සාලිය...ඒ ඇවිල්ල සාලිය-අසෝකමාලා පෙම් පුවත...

      එක පාරක් මම ලිව්ව සාලිය-අසෝකමාල පෙම් පුවතට නව අර්ථ කථනයක් දීල.....අඩේ මේක හරියන කෙලියක් නෙවෙයි...අරකෙන් මේකට මේකෙන් අරකට ඉවරයක් වෙන්නෙම නෑ නෙ මේක. අර මොකාගෙද බඩවැල වගෙ...බඩ වැල් කියනකොට මතක් වෙන්නෙ මොනවද? බාබත්..කාල තියද බාබත් සහ මනි පිට්ටු...ඒ දවස්වල නුවර කොටුගොඩැල්ල වීදියෙ රෑට රෑට ඔය එක එක කෑම ජාති විකුනන දුවනගිරියක් තිබ්බ....මුස්ලිම් මනුස්සයෙක් ඔය බිස්නස් එක කලේ..අප්පටසිරි ඒකෙ බාබත් එක තමයි බාබත් එක...

      Delete
    2. හැක් හැක්..

      රවී අයියට කියන්න.. අපිත් ඉස්සර බණ්ඩාරවෙල ක්ලාස් යනවා ඔය බාබත් කන්ඩම.. පරණ සුපර් මාකට් එක යටම තිබ්බ පුංචි සයිවර් කඩයක්.. ජීවිතේට කන්ඩ හම්බෙලා නෑ ඒ වගේ බාබත් පාරක් ඊට පස්සේ තවම.. සමහර දවසට බඩ පිරෙන්න කාල ආපහු කෝච්චියේ නැගල බදුලු එනවා.. ක්ලාස් යෑමක් නෑ. බදුල්ල බණ්ඩාරවෙල අතර කෝච්චියේ එනකොට හම්බෙනවා හීල් ඔය කියල පුංචි ස්ටේසමක්.. හීල් ඔය තමයි අපේ තාත්ත්ගේ ගම.. ඔය ගමට නම හැදිලා තියෙන්නේ ස්ටේශන් එක ලඟින්ම ගම හරහා ගලාගෙන ගිය සීතල වතුර පිරිච්ච පුන්චි ඔයක් නිසා.. බදුල්ල අවට හැම ගඟක්ම වගේ ඔය ඔයත් පටන් ගන්නේ නමුණුකුළ කන්දෙන්.. නමුණුකුලට අධිපති ඉන්දික දෙවියොන්ගේ ආරාධනාවකට තමයි බුදු හාමුදුරුවෝ කැලණි වඩින ගමන් මුතියංගණේට ගොඩ වෙලා තියෙන්නේ.. චෛත්‍යයක් කරවන්න කියල මොනව හරී ධාතුන් වහන්සේ නමක් දෙන්න කියල ඉන්දික දෙවියෝ ඉල්ලපු පාර බුදු හාමුදුරුවෝ දාඩිය බිඳු කිහිපයක් අතට අරන් දුන්නලු.. ඉන්දික දෙවියෝ ඒ ටික ගන්නකොට මුතු ඇට බවට පත් වෙලා.. ඒ මුතු නිදන් කරලා හදපු මුතු- අංගනය තමයි අද වෙනකොට මුතියංගනය වෙලා තියෙන්නේ.. ඔය ඉන්දික දෙවියොන්ට සමහරු ඉන්දක දෙවි කියලත් කියනවා.. මුතියන්ගනේටම අනුයුක්ත පත්තිනි දේවාලෙත් බොහෝ අනුහස් ඇති තැනක්.. ඒකෙ තියෙන පත්තිනි සළඹත් හරියට දන්ත දාතූන් වහන්සේ තියෙන් තැනින් වෙනස් කරනකොට මහා වැස්සක් එනවා වගේ දේවාලෙන් එලියට වඩම්මනකොට නා කපන වැස්සක් වැටෙනවා.. තද වැස්සක් වැටෙනකොට මිනිස්සු කියන්නේ නා කපන වැස්සක් කියලා..

      හැක්.. හැක්.. අපේ ගෙදර උන්දෑත් කියනවා ඔයාම විතරක් කතා කරන්නේ නැතිව අනිත් අයටත් මයික් එක දෙන්න කියලා.. මෙහෙව් කතා හරිම රසවත්.. ඒ එහෙව් රසය දන්න උන්ට තමයි ඉතින්.. ජය ශ්‍රී!

      Delete
    3. කළ්‍යාණ මිත්‍ර,

      / මුතියන්ගනේටම අනුයුක්ත පත්තිනි දේවාලෙත් බොහෝ අනුහස් ඇති තැනක්.. /

      මම සුට්ටිම සුට්ටි එකා කාලෙ මුතියංගනේ කියන්නෙ මට බොහොම හුරුපුරුදු තැනක්. මුතියංගනේ මහ දොරටුව දෙපැත්තෙ දත් විළිස්සාගත්ත සිංහ රූප දෙකක් අඹල තියනව නේද? අවුරුදු දෙක තුන වගෙ කාලෙ මුතියංගනේ වඳින්ට යද්දි මම ඔය රූප ඉස්සරහට ගිහිල්ල ඒ විදිහට කට ඇරල ගර්...ර්...ර්..ර් ගල ගොරවනවලු. ලු කිව්වෙ මට ඒ ගැන හාංකවිසියක්වත් මතක නෑ. අම්ම අත්තම්ම තමයි එහෙම කියන්නෙ.

      ආ..කලින් කියන්ට බැරිවුනානෙ...මම ඉපදුනෙ බදුල්ලෙ..තුමුල නමුණුකුල ගිරි හිස සෙවණේ...හෙහ්,හෙහ්,ජීවිතේ පළවෙනි අවුරුදු තුන මම හිටියෙ බදුල්ලෙ. අපෙ හිටපු ගෙදර තිබ්බෙ රිවර්සයිඩ්..උඹ දන්නවනෙ, බදුල්ලෙ ස්ටේෂන් එක පහුකරල සී.සී.සී. එකේ බිල්ඩිං එක ඉස්සරහ පාරෙන් ගිහිල්ල වමට හැරිල යන්ට තියෙන්නෙ රිවර්සයිඩ්. කොහොමහරි මට මතක ඒ වගෙ.අපෙ පොඩි අම්මල ඉන්නෙ කණුපැලැල්ලෙ. අපෙ තව අයිය කෙනෙක් ඉන්නව පිංඅරාවෙ. අපෙ උන්දැගෙ ලොකු අම්මෙක්ගෙ පුතෙක් ඉන්නව හාලි ඇළ.

      පස්සෙ මේ අවුරුදු දහයකට වගෙ ඉස්සර මම පොඩි වැඩක් කලා පස්සර. යාලුවෙක් ගත්තු කොන්ත්‍රාත් එකක මමයි වැඩ බැලුවෙ. තේ ෆැක්ටරි එකක් හදන එකක්. පස්සර කිව්වට පස්සර ඉඳල මොණරාගල පාරෙ යන්ට ඕන කිලෝ මීටර් අටක් වගෙ. මට ඒ හරියට කියන නම දැන් මතක නෑ.බොහොම අපූරු පලාත. පීලි වලින් නාල රා එහෙම පානය කරල බොහොම අපූරුවට හිටිය මම එහෙ උන්නු කාලෙ.

      / තද වැස්සක් වැටෙනකොට මිනිස්සු කියන්නේ නා කපන වැස්සක් කියලා../

      නා කපන වැස්ස කියන ව්‍යාවහාරය ආවෙ මෙහෙමයි කියලයි කියන්නෙ. කල්පය විනාශවෙන්නෙ මහ විසාල වැස්සක් වැහැලයි කියල විශ්වාසයක් තියනවනෙ. එතකොට ඒ වැස්සට කියන්නෙ කප නහන ( කල්ප විනාශ ) වැස්ස. කප නහම පද පෙරලියෙන් නහ කපන වුනාලු. ඊට පස්සෙ අන්තිමට නා කපන වැස්ස කියල හැදුනලු.

      සූසැට බරණින් සැරසීලා,
      නාකපනා වැහි වැටෙන වෙලේ ,
      විසාකා තොමෝ පැමිණි විලාසෙන්,
      මට ඉන්නට බෑ නිසංසලේ…


      එහෙම කිව්වෙ නීලා.....නීලා වික්‍රමසිංහ....

      " මේ විජහට පය ඉක්මන් කරල වරෙල්ල වී ටික ගෙට ගන්ට..අරෙහෙ පේන්නෙ නැද්ද වැහිකෝඩෙ පාත්වෙනව.උඹල කොහෙද විසාකාවට එහානෙ..."

      එහෙම කිව්වෙ අපෙ අත්තම්ම. තම්බල පැදුරුවල අතුරල වේලෙන්ට දාපු වී වැස්සට තෙමෙන්ට ඉස්සර ගෙට ගන්ට හදිස්සියෙ මිදුලට දුවන ගමං අත්තම්ම එහෙම කිව්වෙ අපෙ ලොකු අම්මගෙ දුවල දෙන්නට...හිහ්,හිහ්,

      Delete
    4. //අපෙ හිටපු ගෙදර තිබ්බෙ රිවර්සයිඩ්..උඹ දන්නවනෙ//
      රවී අයියා.. බලාගෙන ගියාම නිකම්ම පඳුරු තැලිල්ලකට වඩා ගොඩාක් ලඟ කිට්ටුවන්තකමක් තියෙනවනේ.. කොහොමද රිවර්සයිඩ් නොදැන ඉන්නේ.. මං පුංචිම කාලේ හිටියේ ඊට අල්ලපු ගමේ.. ගඟෙන් එගොඩ හිඟුරුගමුවේ.. සී.සී.සී. එක පහුකරල ගිහින් 'මෙට්ට ගෙදර' ගාවින් වමට හැරුනම 'අලුත් පාර' වෙල මැද්දෙන් හිඟුරුගමුවට.. ඕකට අලුත් පාර කිව්වේ 1979-80 වගේ කාලේ අලුතෙන් තාර දාල හදපු නිසා.. තාමත් ගොඩක් දෙනෙක් කියන්නේ එහෙමමයි..
      " රළු ගල් බොරළු මැද අපි ආ අඩි පාරේ
      යා වී දෙගොඩ මහ පාලම තැනුනානේ.."
      කියල කිව්වේ අපේ අම්මා.. පාරයි පාලමයි විවෘත කරන්න වින්සන්ට් ඩයස් මහත්තයත් එක්ක ආපු ප්‍රේමදාස මහත්තයව පිළිගන්න කවියෙන්.. ඉස්සරනම් මට ඕකෙ පද ඔක්කොම වගේ මතක තිබ්බ.. දැන් මතක් වෙන්නේ නැහැ.. ගඟෙන් එගොඩ ඒ කියන්නේ හිඟුරුගමුවට මායිම්ව තිබ්බ ගඟේ පිට්ටනියේ කණුපැලැල්ලේ කොල්ලොයි හිඟුරුගමුවේ කොල්ලොයි සේරම සෙල්ලම් කලා එකට.. ඔය ගඟේ පිට්ටනියෙන් ලංකාවේ පාපන්දු ජාතික පිළට එකතු වෙච්චි කොල්ලො කීප දෙනෙක්ම ඉන්නවා.. කොච්චර එකට සෙල්ලම් කරත් අපේ පොඩි මහන්තත්තෙකුත් තිබ්බ කණුපැලැල්ලේ කොල්ලොන්ට වඩා මොකද අපේනෙ පිට්ටනිය.. උදෙ ඉඳල සෙල්ලම් කරල කරල ගඟෙන් නාල ගෙදර යනකොට කිරි කොස් මාලුවෙයි හාල් මැස්සෝ හොද්දෙයි සුවඳ පාරට එනව.. ඉතින් යුද්දයක් තමයි..කෑමකට වඩා.. පාන් කනකොටනම් අපි ඒ දවස් වල කාළකන්ණියෝ.. අපේ අයියලා කාලයි අරික්කාල කන්ණියෝ.. හිඟුරුගමුවේ බෝධිය ලඟ වාඩි උනාම ඒ දවස් වල සී.සී.සී. එක ගාව වංගුවට එනකම් එක සීරුවට පේනව.. දැන් වගේ ගෙවල් තිබුණේ නෑනෙ.. දිගටම වෙල.. මට මතකයි අපි 83 'ජාති ආලෙ' වෙලාවේ බෝධිය ලඟ වාඩි වෙලා ටවුම ගිනි ගන්නව 'ආසාවෙන්' බලන් හිටිය.. අපි පොඩි නිසා කවුරුවත් අපිට යන්න දුන්නේ නෑ. අපේ ආච්චිනම් අම්මට බැන බැනම ටවුමට ගියා සුරුට්ටු කඩේ මුදලාලිගේ පවුලට මොකද වෙලා තියෙන්නෙ කියල බලල එන්න.. සීය ඉන්නකම්ම ආච්චිට බුලත් ගෙනත් දීල තියෙන්නේ ඔය සුරුට්ටු කඩෙං.. අනේ කවුද කිව්වලු ඒ මනුස්සයාගෙ මිනිය පිච්චෙනව කියල මීනම්බිකා රත්තරං බඩු සාප්පුව ලඟ මීනම්බිකා මුදලාලිගෙ පුතාගෙ මිනියත් එක්ක.. අපේ අම්මා බැඳල යන වෙලාවේ කාර් එක දීල තියෙන්නේ මීනම්බිකා මුදලාලි.. මාටිං අයියගේ ලොකු දුව කියල අපේ අම්මටත් හරි ආදරෙයි ලු ඒ මුදලාලි ඉස්සර.. ආච්චි අඬ අඬම ආපහු හැරිලා ඇවිත්.. එන ගමන් කඩේකින් එළියට අදල දාපු කිරි සුදු ලුණු ගෝනියක් දැකල තඩි බාල්දියකට ලුණු එකක් පුරවගෙන ඔළුවෙ තියාගෙන එනවා අපිට ඈතටම පෙනුනා.. ලුණු කියලනම් හිතුවේ නෑ මොනව හරි වටින දෙයක් නැත්නම් එවලෙම කන්න පුළුවන් කෑමක් කියල හිතා ගෙන ඉස්සරහට දුවල ගියාට ලුණු කියල දැක්කම ඔක්කොම හිනා වුනා.. කවුරු හරි එකෙක් අහුවා 'අයියෝ ආච්චි මේ මොකො මේ ලුණු බාල්දියක් උස්සන් එන්නේ' කියල.. මොකක් දන්නවද දීපු උත්තරේ..
      'තොපි මොනවද දන්නේ හිමිජ්ජෝ වගේ මේකටම වැදිල ඉඳල.. ටවුමේ මිනී මරා ගන්නවා.. කළබල කවදා ඉවර වෙයිද දන්නේ නෑ.. යකෝ.. මේව සංසිඳෙනකං තොපිට වල් ටිකක් හරි තම්බල දෙන්න ලුණු ටිකක් ගෙයි තියෙන්න ඕනි නේද?' කියල..
      එදා අපිට ඒක තේරුණේ නෑ.. උන්දෑ මැරෙනකම්ම අපි විහිළු කරා 'නේද ආච්චි.. වල් කන්ඩ හරි ලුණු එපැයි' කියල.. එතකොට හොඳ ටිකක් අහගන්න පුළුවන්.. ඒත් ඊට හුඟ කාලෙකට පස්සේ හදිසි අවස්ථාවලට සූදානම් වීම හා කළමණාකරනය ගැන ලෙක්චර් කරනකොට අදටත් මං මේ කතාව මතක් කරනවා..
      \\\පස්සර ඉඳල මොණරාගල පාරෙ යන්ට ඕන කිලෝ මීටර් අටක් වගෙ. මට ඒ හරියට කියන නම දැන් මතක නෑ\\\
      ඔය කියන්නේ ගමේවෙල හරිය වෙන්නෝනෙ.. අර පඬුරු දාන්න පොඩි දේවාලයක් හෙම තියෙන්නේ පාර අයිනේ.. ගිය මාසෙ ගිහින් ආවා මොණරාගල කුඹුක්කං ඔයෙන් නාල එහෙම.. අපේ ලොකු අක්ක දීග දීල ඉන්නේ නක්කලට නේ..
      ආ.. නගින්න නගින්න.. හොඳ එක.. දිග එක.. වේගෙන් යන එක.. පස්සර ගමේවෙල බඩල්කුඹුර මඩුකොටන් අරාව නක්කල මොණරාගල සියබලාණ්ඩුව අම්පාරම් අම්පාරම් අම්පා..රා.. අ.. අ.. ඔහොම තමයි ඉස්සර උදේ පහමාරට බදුල්ලෙන් යන සමරසිංහලාගේ අම්පාර බස් එකේ ගෝලයා කෑ ගහන්නේ..

      Delete
    5. සික් ඉතරක්! මේ රවියා එතකොට බදුල්ලෙද ඉපදිලා තියෙන්නෙ!? මදැයි මාත් මෙච්චර කල් උපන්නේ-බදුල්ලේ කියලා ආඩම්බරෙන් කිය කියා හිටියා.. වහාම ඒකට . තියන්ට ඕන. :-O

      Delete
    6. කළ්‍යාණ මිත්‍ර,

      අම්මට උඩු නයා කිව්වලු. අඩේ ඔය කිව්ව ගඟ අයිනෙ පිට්ටනියෙ නේද අවුරුදු උත්සවයක් එහෙම තියන්නෙ? එක පාරක් පොඩි අම්මලගෙ ගෙදර අවුරුද්දට ගිය පාර එහෙ මල්ලිල එක්ක මාත් ගියා ඔය අවුරුදු උත්සවේට..ඉඳහං බලන්ට...81, 82 වගෙ වෙන්න ඕන. එගොඩ මෙගොඩ ගම් දෙක එල්ලෙ මැච් එකක්නං ගැහුව මට මතකයි ඒ අවුරුදු උත්සවේදි.

      ඔය පාරෙ යන බස් එක මොකක්ද බං? මට මතක ඉදල්ගස් හින්න වගෙ..එහෙම නැත්තං ඒකට කිට්ටුවෙන් යන වෙන නමක්...2004 මම පස්සර ඉන්දැද්දි ආයම නිතරම ඔය පාරෙ යැවුන අපෙ පොඩි අම්මලගෙ ගෙදර. ඒ වෙනකොට පාර ලොකු කරල බෝක්කු එහෙම අලුතෙන් දාල හදනව. Access International තමයි කන්ට්‍රෑක්ට් එක කලේ.

      පස්සර අපි අර වැඩ කරපුහරියට කියන්නෙ මල්ලි ගමේවෙල නෙවෙයි වෙන නමක්..කොළ මොකක් හරි..අන්න ඒවගෙ පටන්ගන්න නමක් තිබ්බෙ. ඒත් මට මතකයි ගමේවෙල තමයි තැපැල්. ගමේවෙල සබ් පෝස්ට් ඔෆිස් එක පහුකරල මීටර් 500 වගෙ ගිහාම තියනව දාර වංගුවක් ඒ වංගුවත් එක්කම පාරෙ උඩ අතට ( වම් පැත්තෙ ) තමයි ඔය ෆැක්ටරිය තිබ්බෙ. තේ ශක්ති එකෙන් කලේ.

      ඔතන වැඩ කරද්දි මම බඩල්කුඹුරට නම් දෙතුන්පාරක් ගිහිල්ල ආව නිකං ජොලියට වගෙ....:)

      ගමේවෙල තැපැල් කන්තෝරුවට ඉස්සෙල්ල හරියටම කන්ද උඩ තියනව ගෙස්ට් හවුස් එකක්. පාර අයිනෙ තියෙන්නෙ බෝඩ් එක විතරයි. පාරෙන් පොඩ්ඩක් ඇතුලට යන්ට ඕන ගෙස්ට් එකට. මාම් මුලින්ම සතියක් වගෙ ඕකෙ හිටිය. පස්සෙ ඔතන තනියම සීතලේ ඉන්නෙ අහවල් දේකටද කියල ෆැක්ටරියෙම උඩ තට්ටුවෙ හදල ඉවර කරපු කාමරේකට ආව. ගෝලයො මට කොහෙන්ද පරණ බූරුවෙක් ගෙනත් දුන්න.මං ඒකෙ බුදියනව. ගෝලයො බිම අර ට්‍රැවලිං මෙට්‍රස් තියෙන්නෙ..අන්න එව්ව දාගෙන බුදියනව.ඒ පැත්තෙ බාර්වල තිබ්බෙ හතරැස් එක නෙවෙයි රවුං ගල් එකක්. කණ හරහට වදින්නෙ. හැබැයි උදේට ඔළුව පුපුරන්ට වගෙ. ඒත් ඇරියෙ නෑ. උදේම ගිහිල්ල පීල්ලකට ඔළුව අල්ලහෙන හිටියම ටිකක් අඩුවෙනව. දවල් වෙනකොට ඔළුවට දාඩිය දාල එහෙම ආපුවම හරි ඊට පස්සෙ අවුලක් නැඇ.

      මීදුම එහෙම අඩු දවසට ෆැක්ටරියෙ උඩ තට්ටුවට පේනව බොහොම ඈත යාන්තමට ටෝච් එළියක් වගෙ මොකක්ද කැරකෙනව. තත්පර තිහකට වගෙ සැරයක්. ෆැක්ටරියත් එක්කම පහළ කඩේ කරගෙන හිටපු සුගතෙ මුදලාලි නම් කිව්වෙ මෙහෙම

      " ඔය මහත්තය කිරින්දෙ ලයිට් හවුස් එකේ එළියනෙ. කලින් ඔයිට වැඩිය බොහොම පැහැදිලිව පෙනුන. ඒත් දැන් මීදුම වැඩි හින්ද එච්චර පැහැදිලි නෑ. "

      ඒ කතාව ඇත්ත වෙන්නත් පුලුවන් කියල මට හිතෙනව. මොකද ඔය හරිය කියන්නෙ ඌව කඳුකරයෙ දකුණු බෑවුම. ඊට පස්සෙ නැහෙනහිරට සහ දකුණට ආය මුහුදට යනකල් විසාල කඳුවැටි හම්බ වෙන්නෙ නෑ. දිගටම තියෙන්නෙ වෙල්ලස්සෙ තැනිතලාව.ගෙදර තිබ්බ මගෙ මාලිමාව සහ ඇට්ලස් එකක් ගෙනල්ල හරියටම ඒ කිරින්ද දිහාද කියල හොයල බලන්ට හිතාගෙන හිටියට එතනින් එනකල්ම මට ඒ වැඩේ බැරි වුනා.

      Delete
    7. Bura,

      / සික් ඉතරක්! මේ රවියා එතකොට බදුල්ලෙද ඉපදිලා තියෙන්නෙ!? මදැයි මාත් මෙච්චර කල් උපන්නේ-බදුල්ලේ කියලා ආඩම්බරෙන් කිය කියා හිටියා.. වහාම ඒකට . තියන්ට ඕන. :-O /

      අඩේ මේ බොරු නොකිය ඉඳු බූර්..උඹ කවදාවත් කියල නෑ උඹ උපන්නෙ බදුල්ලෙය කියල..එහෙම කිව්වනං මම අනිවාර්යයෙන් කියනව අඩේ මාත් උපන්නෙ බදුල්ලෙනෙ කියල...උඹ දැන් ලැහැත්තිය මං වගෙ බහුස්රූත, අනබිබවනීය, සුකුමාල, වර්නනා විසයාත්‍රිකාන්ත, පරම රමනීය මනුස්සයෙක් උපන් තැනමයි උඹත් ඉපදුනෙ කියල කියන්ට...හෙහ්, එව්ව කොහෙද?

      Delete
    8. අනෙප් පලයං ඩෝ යන්ට.. උඹ මේ යාන්තං අවුරුදු තුනක් බදුල්ලෙ ඉඳලා කොහෙද ඩෝ බදුල්ලෙ අපිට තග දාන්නෙ? අපි ඇවිල්ලා බදුල්ලෙ ඉපදිලා, බදුල්ලෙ ඉස්කෝලෙ ගිහිල්ලා, බදුල්ල කාලා, බදුල්ලෙන් පිටමං කරපු එවුන්..

      උඹ ඔය කණුපැලැල්ලෙ පොඩි අම්මලාගෙ ගෙදර ආවෙ කොයි කාලෙය කිවුව? අපිත් එහෙ හිටියා කාලයක්, අසූවෙ මුල් කාලෙ.. ඒ කාලෙ උඹ මයෙ අතට අහුවුනා නම් එහෙම කණපිට හ‍රෝලා තමා පස්ස බලන්නෙ ආයෙ.. උඹේ හොඳ වෙලාවට මම ඒ කාලෙ හිච්චි එකා..

      Delete
  10. ඔය ෂඩ් ශාස්තෘ වරු සෙට් එකෙන් මම කැමතිම සංජය බෙල්ලට්ඨිපුත්ත ගොය්යට.. පොර නේද පරලොවක් ඇතැයිද නොකියමි, නැතැයිද නොකියමි කිව්වෙ.. දැන් හිටියනම් ලේසියෙන්ම ඇමති කමක් ගන්න තිබුන..

    ReplyDelete
    Replies
    1. අපූර්ව,

      අන්න හරි..ඔය පරලොවක් ඇතැයිද නොකියමි..නැතැයිද නොකියමි...එතනින් ගිහාම පින් පව් ඇතැයිද නොකියමි..නැතැයිද නොකියමි කියල කිව්වෙ සංජය බෙල්ලට්ඨිපුත්ත තමයි. ඒකට කියන්නෙ " අමරාවික්ඛේපවාදය.." ඒකෙ තේරුම ආඳාලිස්සල යනවවගෙ ලිස්සල යන තියරිය ...මමත් බොහොම වෙලාවට අසීරු අවස්ථාවලින් ගැලවෙන්ට භාවිතා කරනව ඔය අමරාවික්ඛේපවාදය...හෙහ්,හෙහ්,

      Delete
    2. ඇයි සන්නස්ගලත් එක පාරක් ඔය වාදෙන් වැඩක් ගත්තේ
      "බාරගත්තෙත් නෑ - ප්‍රතික්ෂේප කලෙත් නෑ "

      Delete
    3. උපේක්ෂා,

      අන්න එහෙමනෙ උගත්තු..ඔය තියරි දැනගෙන හිටියට මදි ..එව්වයින් පොරෝජං ගන්ට ඕමනයි...සන්නස්ගලයා එහෙම පොරක්....:)

      Delete
  11. 1. Arthur C. Clarke's Childhood's End කියවල තියනවද?

    2. රවි alternate history කියවන්න කැමති නැද්ද? උදා, If South won the American civil war, If Hitler won, If dinosaurs survived and ruled Earth වගේ themes, premise

    3. රවිට ඔය තරම් අලි ඔලු කෑම ෆැසිනේශන් එකක් ( :-D )තියනවනම් Elephants never forget by E.L. Walker පොත බලන්න ඒකෙ තියනව ඔය අලින් සමහරවිට මිනිසුන්ගේ ඔලු සපාකා පොඩිකිරීම මීඩියාකරයො විසින් මිනීකන අලියෙක් විදිහට sensationalize කල අවස්ථාවක්

    ReplyDelete
    Replies
    1. Pra,

      / 1. Arthur C. Clarke's Childhood's End කියවල තියනවද? /

      Childhood's End ඇවිල්ල මගෙ ප්‍රියතම කතාවක්....පුරාණ භාරත දර්ශනයෙ කියවෙනව අවසානයේදී මිනිස් වර්ගයා පරමාත්මය හා එක්වීම පිළිබඳව. Childhood's End කතාවෙ තියෙන්නෙත් ඒ සංකල්පයට බොහොම ආසන්න දෙයක් කියලයි මට හිතෙන්නෙ.

      / 2. රවි alternate history කියවන්න කැමති නැද්ද? උදා, If South won the American civil war, If Hitler won, If dinosaurs survived and ruled Earth වගේ themes, premise /

      හපොයි ප්‍රා විකල්ප ඉතිහාසය නොහොත් Alternative History කියන්නෙ මගෙ ප්‍රියතම විෂයයක්..වෙනත් දහසකුත් එකක් ප්‍රියතම විෂයයන් අතර ...:)

      මේ අවුරුදු දෙකකට වගෙ ඉස්සෙල්ල මම ලියපු සටහනක්...

      පසුගිය දිනවල මා කියවූ ඉතාම චිත්තාකර්ෂණීය පොතක් පිළිබඳ සඳහන් කොට මේ සටහන නිමා කරන්නෙමි. Robert Cowley නම් ඉතිහාසඥයා විසින් සංස්කරණය කල එය '' What If? '' නම් වේ.

      ලෝකය වෙනස් කල ඓතිහාසික සිදුවීම් අප දන්නා අයුරු සිදුනොවී වෙනත් ආකාරයකට සිදුවිනි නම් ලෝකය කෙසේ වෙනස් වන්නට තිබුණුද?

      මනඃකල්පිත අනුමාන කිරීම් සහයකොටගෙන ලෝක ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් අලලා ලියැවුනු ඉතාම සිත් ඇදගන්නා සුලු සටහන් මාලාවකි ඒ.

      පොන්ටියස් පිලාත් ක්රිස්තුස් වහන්සේ කුරුසිය මත මරණයට නියම නොකොට නිදහස් කලේ නම්?

      15 වන සියවසේ දී චීන ගවේෂක Zheng He අද්මිරාල් වරයා විසින් උතුරු අමෙරිකාව සොයාගන්නා ලද්දේ නම්?

      හිට්ලර් දෙවන ලෝක සංග්රාමය ජයග්රහණය කලේ නම්?

      මේ එහි සාකච්ඡා කෙරෙන මාතෘකා කිහිපයකි.

      මේ පොත කියවද්දී මසිතට නැඟුනු එක් සිතිවිල්ලක් වූයේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව මෙවන් මනඃකල්පිත නිබන්ධනයක්  ගොනු කිරීමටට අපේ ඉතිහාසඥයින්ට නොහැකිවීම හෝ ඔවුන් ඒ පිළිබඳව උනන්දු නොවීම කොතරම් අභාග්යයක්ද යන්නයි. 

      දුටුගැමුණු පරදා එළාර ජයග්රහණය කලේ නම්?

      පෘතුගීසීන් ලංකාවට ගොඩ නොබැස්සේ නම්?

      1815 ඉංග්රීසීන්ට කන්ද උඩරට අල්ලාගත නොහැකි වූයේ නම්?

      1818 කැරැල්ලෙන් ඉංග්රීසීන් මුලුමනින්ම පරදවා කැප්පෙටිපොල ජයග්රහණය කලේ නම්?

      1959 දී අගමැති බණ්ඩාරනායක ඝාතනය නොවුනි නම්?

      1993 මැයි 1 වනදා ජනාධිපති ප්රේමදාස ඝාතනය නොවුනි නම්?

      1994 ඔක්තෝබර් 24 වනදා ගාමිණී ලයනල් දිසානායක තොටළඟ දී බෝම්බ ප්රහාරයකට ගොදුරුව ඝාතනය නොවිනි නම්?

      ලංකාවේ ඉරණම / ඉතිහාසය කෙතෙක් වෙනස් වීමට ඉඩ තිබිණිද?

      What might have been?...Oh What might have been?......Alas.....We can only speculate......

      එවන් මහා පුරුෂයින් බිහිවූ යුගය නිමා විය......They were giants who walked the earth like colossus

      / 3. රවිට ඔය තරම් අලි ඔලු කෑම ෆැසිනේශන් එකක් ( :-D )තියනවනම් Elephants never forget by E.L. Walker පොත බලන්න ඒකෙ තියනව ඔය අලින් සමහරවිට මිනිසුන්ගේ ඔලු සපාකා පොඩිකිරීම මීඩියාකරයො විසින් මිනීකන අලියෙක් විදිහට sensationalize කල අවස්ථාවක් /

      පොදුවේ අලි වල් සහ හීලෑ දෙකොට්ටාසෙ ගැනම මගෙ තියෙන්නෙ පුදුම ආසාවක්. මට හිතෙන්නෙ එහෙම වෙන්න ඇත්තෙ පොඩි කාලෙ කියවපු මගෙ ප්‍රියතම පොත්වල ප්‍රධාන භූමිකාවක් අලින් විසින් රඟදක්වපු නිසා වෙන්න ඕන. ආර්. එල්. ස්පිට්ල්ගෙ සුදු ගෝනා සහ සුදු වැද්දා, ඩෙනිස් ක්ලාක්ගෙ රන්දිව, මායා රංජන්ගෙ දිගා මඩුල්ලේ ආශ්චර්යය..ඔය පොත් හැම එකක්ම වගෙ අලි හිටිය...:)

      ස්තූතියි ප්‍රා..දැනුවත් කිරීමට..හොයාගෙන බලන්න ඕන...:)

      Delete
    2. නිදහස් සිතුවිලි ලියන්නට එක්වන්නැයි රන්දිකා රණවීර විසින් රවී වීරසිංහට ආරාධනා නොකලා නම්.......... :-D

      Delete
    3. ඔය විකල්ප ඉතිහාසෙ මාත් ආසම සබ්ජෙක්ට් එකක්. මම මේ දවස්වල ලියාන යනව ( දවසකට පේලි දෙක ගානෙ විතර වේගෙන්) 1815 සුද්ද උඩරට යටත් නොකර ගත්තානම් කියල, 2015 මාර්තු 2 පබ්ලිෂ් කරන්න කෙටි ලිපියක්.

      බුරා, මට හිතෙන්නෙ මෙහෙම, ටයනි නෝන උඹට පුටු කතාවක් ලියන්න ආරාධනා නොකලනම්!!

      Delete
    4. මමයි එයාට කිවුවෙ පුටු කතාව ලියමු කියලා... :-D

      Delete
    5. එහෙමනම් වෙන බ්ලොග්වල පිස්සු කෙලල රවි ඉන්දික මාතලන් වගේ අයගෙන් අපිට බැනුම් අහගන්න තිබුන. දැන් බනින්නෙ ආන්ටි විතරයි

      Delete
    6. මං දන්න කෙනෙක් රොමෙල් හිට්ලර්ට විරුද්දව කැරලි ගහල ආමි එක ඉන්දියාවට ගේන කතාවක් ලියන්න පටන් ගත්ත දැන් ඇන හිටල.

      බුර්ට තිබුනෙ පොත් 7 කින් 1ක් පර්වර්තනය කරනව වගේ (literary sadism against the readers if he stops at one and masochism if he does more ) නොකර නිර්මාණයක් කරන්න (බුර් ගෙනුත් බැනුම් අහන්න වෙයිද? )

      Delete
    7. නිර්මාණ කරාන්ට බැරි හන්දා නේන්නං බොලේ කරපු නිර්මාණයක් පරිවර්තනය කලේ... :-D

      ඒක නැවැත්තුවයි කියලා sadism against the readers වෙන්නෙ නෑ PJ.. අනික මෙච්චර කල් ඒ පොත් නොබලපු කීප දෙනෙක්ම දැන් පොත් ටිකට වහ වැටිලා ඉන්නවා(ලු).. ඒ හොඳටෝම ඇති.. ;-)

      Delete
    8. //නිර්මාණ කරාන්ට බැරි හන්දා නේන්නං//

      Why don't u give it a go before selling yourself short, Bur?
      Let us be the judges !

      Delete
    9. Bura,

      / නිදහස් සිතුවිලි ලියන්නට එක්වන්නැයි රන්දිකා රණවීර විසින් රවී වීරසිංහට ආරාධනා නොකලා නම්.......... /

      එසේ එතුමිය ආරාධනා නොකලේ නම් වියපත් මගේ මෑණියන් සෑම උදෑසනකම පාහේ පෙළෙනා තදින් කිවිසුම් යෑමේ අපහසුතාවයට ඇය කිසිසේත්ම ලක් නොවනා බව මට සහතික කොට පැවැසිය හැක.

      Delete
  12. රවී,
    ගැඹුරු මුහුද පරිවර්තනය කලේ සිරිල් සී පෙරේරා නේද?
    2000 සීරීස් එක මමත් ඒ කාලෙ හරි ආසාවෙන් කියෙව්වා.දැන් කියෙව්වට ඒ රසය එන්නේ නැතිවේවි.අර හල්ව කඩපු වෙලාවෙ දිගින් දිගටම කියවමින් අතීතෙට යන හැටි තාම මතකයි.
    දැන් වරහන් ටික ඔක්කොම වහපු නිසා ඊළඟට කොස් කපන්න යන්න පුළුවන් වේවි නේද?

    ReplyDelete
    Replies
    1. කොස් ගෙඩිය දැන් වැල වෙලා ඇති ... :)

      Delete
    2. Helapa,

      / ගැඹුරු මුහුද පරිවර්තනය කලේ සිරිල් සී පෙරේරා නේද? /

      යස් හැලප, බරපතල වැරදීමක්..ස්තූතියි නිවැරදි කිරීමට...:)

      / දැන් වරහන් ටික ඔක්කොම වහපු නිසා ඊළඟට කොස් කපන්න යන්න පුළුවන් වේවි නේද? /

      හරි. හරි. දැන් ගිහෑකි කොස් කපන්ට....:)

      Delete
  13. උඹ මේ බ්‍රැකට්ස් වහපු හින්දද කොහෙද මට මේකේ අගමුල හොයාගන්න අමාරුත් වුනා.

    ReplyDelete
    Replies
    1. රංගි,

      / උඹ මේ බ්‍රැකට්ස් වහපු හින්දද කොහෙද මට මේකේ අගමුල හොයාගන්න අමාරුත් වුනා. /

      යකෝ මේක මාර කෙළියක්නෙ..කතන්දර ඉවර කරන්නෙ නෑ කියල එක පාරක් බණිනව. දැන් අද ඉවර කලාම කියනව අග මුල හොයාගන්ට අමාරු උනයි කියල. අම්මාපල්ල බොලාටත් ඉර හඳ පායනව නෙව. වෙන කවුරුවත් ගැන නෙවෙයි මට දුක උඹලව කරගහගන්න අහිංසකයො ගැන..

      Delete
    2. ඇයි දැන් ඔහේට තේරුනේ නැතෙයි මේ කට වහගෙන යන්න බැරිව දාපු කොමන්ට් එකක් කියලා. නැතිව අපි ඔහේට එහෙම බනින්නේ නෑ. මොකද බොගේ පස්සෙන් වාංපතුල් කතා අහන්න තව ටික කාලයක් (අවුරුදු දහයක් පහලොවක්වත්) පස්සෙන් එන්න එපැයි. :)

      අපිට හඳ පායලා බං හොඳටම. ආයෙත් අණ්ඩක් කඩාගෙන ඉන්නේ... ;)

      Delete
  14. ඔලු කන්නාට වෙච්චි වැඩේ පව් නේ රවීයියේ.අලි කන්නා නම් මේ වංගියෙත් තුන්වෙනි පාරත් රට කන්න ඕනෙයි කියන්නේ.:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඒකනෙ කියන්නෙ බාං...ඒ ඔක්කොමත් හරි අලි කන්නටම දෙන්ට දත කට මැදගෙන බලා ඉන්න *කන්නලත් අනන්ත ඉන්න එක නෙව කාල ඉන්ට බැරි..( Can't eat and wait )

      උඹට මතකද ඔය වගෙ සිංහලෙන් ලියල ඒ වාක්‍යයම විතින් බ්‍රැකට්ස් තුල ඉංග්‍රීසියෙනුත් දාන පිස්සු හුටං ආරක්ෂක වාර්තාකාරයෙක් හිටිය....

      Delete
    2. //උඹට මතකද ඔය වගෙ සිංහලෙන් ලියල ඒ වාක්‍යයම විතින් බ්‍රැකට්ස් තුල ඉංග්‍රීසියෙනුත් දාන පිස්සු හුටං ආරක්ෂක වාර්තාකාරයෙක් හිටිය//

      කිර්ති වර්ණකුලසුරිය ??

      Delete
    3. මනොජ්,

      අන්න හරි මල්ලි..පොර තමයි බුවා..මට නම අමතක වෙල හිටියෙ ( Pora is the buwa. i name forgotten ) ඒ දවස්වල පොර ලියන ආරක්ෂක වාර්තා කිව්වම කොහොමද දන්නවද ආය නෑ කියල වැඩක් නෑ..එළකිරි සහ ජලය තමයි ( that days his security reports you know no work telling, cows milk and water ) කවුද ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් නියම කරල තිබ්බලු හයි බ්ලඩ් ප්‍රෙෂර් එක තියන ලෙඩ්ඩු අනිවාර්යයෙන් උදේම මිනිහගෙ ආරක්ෂක වාර්තාව කියවන්ටම ඕනය කියල.( specialist doctor commanding blood pressure patients early morning reading buwas security report )

      Delete
    4. හෙහේ..:D (haehae...:D)

      Delete
  15. රවී,

    අපේ මහ උන්දැගෙ අධ්‍යාපන වැඩකට මිඩ්ල් ඊස්ට් වල ඉන්න ෆීල්ඩ් එකේ අය ගොඩක් ඕනෙ කරනව, සර්වේ එකක් කරන්න. පුලුවන්කමක් තියෙනං අදම මේකට මේලක දාහන් සහභාගි කරවගන්න ( නෑ නෑ, සත පහක් යන්නෙ නෑ, සායම යන්නෙත් නෑ : )

    iupasanta@gmail.com

    ReplyDelete
  16. හොඳ ලිපියක්. බොහොම ආසාවෙන් කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...