අරුණි ශපීරෝ‍ වෙතින්

අනගි හැඟීම් පමණක් සෑහේ ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 30, 2014

දුප්පතුන් නැති සමාජයක් යන්න අනගි හැඟීමකි. එහෙත් තමන් සිතන සෑම සිතුවිල්ලකින්ම හා තමන් කරන සෑම ක්‍රියාවකින්ම සිද්ධ වෙන්නේ දුප්පතුන් වැඩි කරන්නට සහාය දීමක් නම්?

උපන් ගම, තමන්ව හැදූ වැඩූ දෙමව්පියන් හා තම රට ගැන ආදරයක් ආඩම්බරයක් සමඟින් පවතින අනගි හැඟීම් නිසා තමන්ගේ ගමේ දියුණුව, දෙමව්පියන්ගේ සුව පහසුව සහ රටේ ආරක්ෂාව අදට වඩා හොඳින් ලැබෙන හෙට දවසක් උදාවේවි ද?

ලෝකයේ ස්වභාවය සහ මිනිසාගේ ස්වභාවය පසෙකට දමා අනගි හැඟීම් උලුප්පා පෙන්වමින් තමන්ගේ පටු අරමුණ වෙතට කල්පනා ශක්තියෙන් හීන වූවන්ව දක්කා ගෙන යන්නට “නායකයන්” වෙන්නට කැමති අය වෙහෙසෙති.

රැළේ යන්නවුන් අරමුණු හැටියට දකින්නේ ඇහෙද්දී සිත සතුටින් පුරවන අනගි හැඟීම්.

නායකයා අනුගමනයෙන් තමන්ට ඒවා සාක්ෂාත් වෙන්නේ කෙසේදැයි විමසා බලන හුරැවක් නැත.

ඒ හෙයින් නායකත්වයට බලය ලැබුණාම ඒ අනගි හැඟීම් නිසැකයෙන්ම ඵල දරනු ඇතැයි විශ්වාස කරති.

නායකයාගේ අරමුණ “අනුන් සඳහා තීරණය කරන බලයේ” රැඳී සිටීමයි නොහොත් බලලෝභයයි. සමහර තීරණ ගැනීමේ බලය වෙනත් අයට පැවරැව ද, අවසන් හා ප්‍රධාන තීරණය හැම විටම තමන් සතුව තබා ගැනීම නායකයාගේ කැමැත්තයි.

බලලෝභයෙන් පිරී ඉන්නා අයෙක් පවුලකට, සමාජයකට හා රටකට හිතකර නැතැයි යන්න ද මිනිසුන් තුල පවතින හැඟීමකි. ඒත් ඒ අය බලලෝභියා යනු කවුදැයි විචාර බුද්ධියෙන් දකින්නට උත්සාහයක් ගන්නේ නැත.

බලලෝභියා තම අරමුණ වූ “අනුන් සඳහා තීරණය කරන බලය” තමා සතුව තබා ගැනීමට නිති වෙහෙසෙන්නේ “මේ ඔක්කොම කරන්නෙ ඔයා (පවුල, ගම, රට, ජාතිය) වෙනුවෙන්” යැයි කියමිනි. ඉතින්, බලලෝභීන්ට අකමැති අය පවා මෙසේ තමන් ‘අනුන් වෙනුවෙන් වෙහෙසෙනවා’ කියන අයට කැමති වෙති.

තමන් වෙනුවෙන් වෙහෙස වීම වෙන අයෙකුට පැවරිය නොහැකියි. අරමුණු, ඉලක්ක, යා යුතු මාර්ග තීරණය තමන් විසින් බාරගත යුතු වූ දේවල්. ඒවා ජයගැනීමේ මාර්ගයේ ද යා යුත්තේ තමන් විසින්මයි.

කාලයෙන් කාලයට මේ නායකයා පළවා හැර වෙන නායකයෙක් ගෙන්වා ගන්නට සිද්ධ වෙන්නේ තම අරමුණු, තම ඉලක්ක හා තමන් යා යුතු මාර්ග තීරණය කිරීමේ භාර දූර වගකීම අනුන්ට පවරද්දී.

පවුලේ මූලිකයා බලලෝභියෙක් වෙද්දී බලයෙන් නෙරපන්නට නොහැකි නිසා සමහරැ දික්කසාද වෙති. නැත්නම් පවුලෙන් ඈත් වෙති. අනුන්ගේ තීරණ යටතේ ජීවත් වීම රිසි නොවූ කළ ගම රට හැර දමා යති.

නායකත්වයට බර පැටෙව්වාම තමන්ට පහසුවෙන් ගමන යා හැකි වේ යැයි සිතමින් සතුටින් එතැනම ලැග සිටින අය වෙති. ඔවුන්ගේ ගමන නායකත්වය විසින් තීරණය කරන ලද සීමිත නිදහසක් තුල හිර වී තිබීම ඔවුන් ප්‍රිය කරති. ඔවුන් එය ප්‍රිය කරන නිසා අනුන්ට එය අප්‍රිය ඇයිදැයි වටහා ගැනීමට ඔවුන් අසමත් වෙති.

තීරණ ගැනීමට සහ ඒ ගන්නා තීරණ වල විපාක අත්විඳීමට බියක් හෝ ඈලි මෑලි ගතියක් දක්වන්නා යනු තමන් වෙනුවෙන් තීරණ ගැනීම අනුන්ට පවරන්නට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නෙකි.

“දවල්ට කන්නෙ මොනව ද?”

“ඔය තියෙන දෙයක් කමු.”

තියෙන දෙයක් කන තෝරාගැනීමට මෙවැනි අයෙකුට ඉඩක් ලැබෙන්නේ නැති දේවල් කන්නට වෙහෙසෙන පිරිසක් ලොව සිටින නිසා බව කියා දෙන්නට නම් අර්ථ ශාස්ත්‍රයේ සහ තර්ක ශාස්ත්‍රයේ සහාය අවශ්‍යයයි.

නමුත් තම වගකීම නායකත්වයට බාර දෙන්නට එක පයින් කැමති රැළේ යන පිරිස අර්ථ ශාස්ත්‍රයක් හෝ තර්ක ශාස්ත්‍රයක් සඳහා විචාර බුද්ධිය වෙහෙසන්නට ද අලස වෙති.

අනගි හැඟීම් වලින් පිරී සෑහීමකට පත් වී සිටීම තමන්ගේ කැමැත්තෙන් කරන තෝරාගැනීමයි. එම තෝරාගැනීමෙන් සාක්ෂාත් වෙන්නේ තමන්ගේ පටු ඉලක්කය හෙවත් තමන් වෙනුවෙන් තෝරාගැනීම් කිරීම අනුන්ට බාර දීම පමණි.

තම තීරණ ගැනීම අනුන්ට පැවරීම හේතුවෙන් තියෙන දෙයක් කන තෝරාගැනීම පවා අහිමි වී යද්දී, විචාර බුද්ධියට ඉඩක් නොදෙන මිනිසුන් තව තවත් වෙහෙසෙන්නේ මේ නායකයාට බැරි වුනාට වෙන නායකයෙකුට හැකි යැයි කියමින් මෙතෙක් කාලයක් කියූ ලෙසකින්ම එවැනිම අනගි හැඟීම් වලින් පාරට්ටු බාන තවත් නායකත්වයක් සෙවීමයි.

තමන් වෙනුවෙන් අනුන් තීරණය කරන සීමාවේ හිර වී සිටිය දී තියෙන දෙයක් කන්නට ලැබෙන අවස්ථාව පවා අහිමි වී යයි. අදට වඩා යහතින් හෙට ජීවත්වෙන්නට කැමති නම් සහ අදට වඩා අගතියෙන් හෙට ජීවත් නොවෙන්නට කැමති නම්, එහෙම නම් අනගි හැඟීම් සෑහෙන්නේ නැත. එය තමන්ගේ අරමුණ විය යුතුයි. ඒ කරා යන මාර්ග තෝරාගැනීම තමන්ගේ වගකීම විය යුතුයි.

රට ගැන හැඟීම් වූ පමණින් රටක් සෞභාග්‍යමත් වෙන්නේ නැත.

ජීවිතය පවත්වා ගන්නට මෙසේ කළ යුතු යැයි හැඟීම් පහළ වෙන සහජ ඉවක් මිනිසාට නැත. එය භාග්‍යයකි. වයසට ගිහින් සුව පහසුවෙන් ජීවත්වෙන තිරිසනුන් වනාන්තර වල දී දැක ඇත්ද? නැත්නම් දකින්නට ලැබෙන්නේ රෝගාබාධ නිසා මිය ගිය, දුර්වල නිසා අනුන්ගේ දඩයම වූ, රැළේ දිව ගිය නිසා ප්‍රපාතයට ඇද වැටී එසැණින් මිය ගිය සහ අඬු කැඩී පසුව මිය ගිය යන තිරිසනුන් ද?

තමන් ලද නොමිලේ බෙදූ අධ්‍යාපන ගැන ප්‍රශංසා සහගත හැඟීම් වලින් පිරී සිටීම අයෙක් කැමැත්තෙන් කරන තෝරාගැනීමයි. එහෙත් බුද්ධි විචාරය මොට කර දක්කාගෙන යන්නට සැකසුණ ඒ අධ්‍යාපනය නොමිලේ බෙදුවේ කාගේ යහපත පිණිස ද?

තවත් ජනාධිපතිවරයෙක් තෝරාගන්නට අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන දිනය වැඩි ඈතක නොවේ. තමන් වෙනුවෙන් තීරණ ගැනීම පවරන්නට නායකත්වයක් සොයා යෑමට වඩා වැඩියෙන් වෙහෙසක් අයෙක් යෙදවිය යුත්තේ තමන් වෙනුවෙන් (තම පවුල, තම ගම, තම රට වෙනුවෙන්) වැඩියෙන් හොඳ තීරණ ගැනීමට හැකියාව තමන්ට ලැබෙන්නේ කෙසේදැයි විමසීමටයි.

ඊට කැමති නම් (බුද්ධි විචාරයට අකමැති අලසයන් තමන් වෙනුවෙන් තීරණ ගැනීම පවරන්නට නායකත්වයක් සොයා යද්දී) මේ පැත්තේ නිතර ඇවිත් යන්න. 🙂

6 Responses

Subscribe to comments with RSS.

  1. Thilina Madhushankha said, on නොවැම්බර් 30, 2014 at 11:42 පෙ.ව.

    තමන් වෙනුවෙන් හෝ, ලිපියේ සඳහන් වෙලා තියෙන විදියට තමුන්ට අදාළව පවතින ඕනෑම දෙයක් ගැන වඩා හොඳ තීරණ ගන්න, ඔහුට හෝ ඇයට තමන් ජීවත්වන වටපිටාව, නිදහස, දිරි ගැන්වීම වගේ දේවල් සැළකිල්ලට ගන්න වෙන්නේ නැද්ද?. එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න වුනොත්, රටක නායකත්වය වගේ දේවල් ගැන පුද්ගලයෙක්ට හිතන්න වෙනව නේද?. කළින් මම සඳහන් කරපු ආකාරයේ සාධක ගැන වඩා හොඳ දැක්මක් තියෙන හෝ, තියෙන බවක් පෙන්නුම් කරන පාර්ශවයන් ගැන “රටක නායකත්වය” තීරණය කිරීම වගේ අවස්ථාවක හිතන්න අවශ්‍ය නැද්ද?. “තියෙන බවක් පෙන්නුම් කරන” කියල විශේෂයෙන් සඳහන් කළේ, හෙට වෙන්නේ මොකක්ද, කවුරු මොනව කරයිද කියල අපි කිසි කෙනෙකුට නිශ්චිතව කියන්න බැරි නිසා. ඒත්, මිනිස්සු ජීවත් වෙන්නෙ “බලාපොරොත්තු” එක්ක. අදට වඩා හොඳ හෙටක්, යම් කෙනෙකුගේ නායකත්වය යටතේ තමුන්ට සහ සෙස්සන්ට උදා කර ගන්න හැකි වෙයි කියල හිතලා.

    මේ කරුණු නිසා, තමන් ගැන වඩා හොඳ තීරණ ගන්න, වඩා හොඳ නායකත්වයක් තීරණය කිරීම වගේ දෙයක් අදාළ නැද්ද?.
    මේ සම්බන්ධයෙන් මැඩම්ගෙ අදහස් මොනවද කියල දැන ගන්න කැමතියි.

    • arunishapiro said, on දෙසැම්බර් 2, 2014 at 7:33 පෙ.ව.

      Thilina Madhushankha,

      තමන්ට අදාළ වූ වැඩියෙන්ම හොඳ තීරණ ගන්න හැකියාව තියෙන්නෙ තමන්ට. තමන් ඉන්න වටපිටාව, තමන්ට ඇති නිදහස, තමන්ට ලැබෙන දිරි ගැන්වීම ගැන වැඩියෙන්ම හොඳින් දන්නේ තමන් ද? නැත්නම් කොහෙවත් ඉන්න නායකයෙක් ද?

      තමන් ගැන වැඩියෙන්ම හොඳ තීරණය යැයි හිතලා තමයි මිනිස්සු තීරණ ගන්නෙ.

      නායකයා/දේශපාලනඥයා කරන්නේ ද එයයි. එකම වෙනස එයා කරන්නේ අනුන්ට තීරණය කරන බලය අල්ලාගෙන සිටීම සඳහා තීරණ ගැනීම වුවත් අනික් අයව රවටන්නේ රට හා රටවැසියන් උදෙසා බලයේ ඉන්නට තීරණ ගත්තා කියායි.

      තමන් ගැන තීරණ ගැනීම බාර දෙන්න හැකි හොඳ නායකත්වයක් කවදාවත් තිබුනේ නැහැ තිබෙන්නේ ද නැහැ. මොකද, අනුන් වෙනුවෙන් තීරණ ගන්න හැකියාව කාටවත් නැති නිසා.

  2. nuwanprabhath said, on නොවැම්බර් 30, 2014 at 11:52 පෙ.ව.

    ඇරුනි ඇන්ට්ගෙ “රට ගැන හැඟීම් වූ පමණින් රටක් සෞභාග්‍යමත් වෙන්නේ නැත.” යන්නට මමත් ටිකක් එකතු කරන්නම්.

    “රට ගැන හැගීම් ඇති බව ප්‍රකාශ කල පමනින් රටක් සෞභාග්‍යමත් වෙන්නේද නැත.
    රට ගැන හැගීම් ඇති බව කියන අයට ඡන්දය දුන් පමනින් රටක් සෞභාග්‍යමත් වෙන්නේද නැත.
    එසේ කියන අයට උදව් කල පමනින් රටක් සෞභාග්‍යමත් වෙන්නේද නැත.”

    මේ දේවල් තෙරුම් නොගත්ත එක තමා රටක් සෞභාග්‍යමත් නොවීමට හේතු විදිහට මම නම් හිතන්නෙ!!

  3. විචාරක Wicharaka said, on දෙසැම්බර් 1, 2014 at 1:54 පෙ.ව.

    තවමත් අපේ සැහෙන පිරිසක් ඡන්දය දීම සඳහා තීරණයක් ගන්නේ අවසාන මොහොතේදී. ඡන්දය දවසේ උදේ පාන් මිල පහත දැම්මොත් කිසිවක් නොසිතා ආණ්ඩුවට ඡන්දය දෙනවා. මේ චින්තනය වෙනස් කරන්න පුලුව අය තමයි අද රටට අවශ්‍යවී තිබෙන්නේ.

    • arunishapiro said, on දෙසැම්බර් 2, 2014 at 7:54 පෙ.ව.

      විචාරක Wicharaka,

      මම දැක්කා Facebook එකේ share කරලා තියෙනවා මෙහෙම කතාවක්: “ජවිපෙ ඔච්චර ආදර්ශමත් වෙලත් ඇයි ජවිපෙට චන්ද පදනම නැත්තෙ?” උත්තරය එතැනම තිබ්බා: ජවිපෙට තියෙන්නෙ පොදු මනාප සටනක් නිසා. මිනිස්සුන්ට තියෙන්නෙ තනි තනි මනාප සටන්.

      ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය ඒ ඒ දේවල්. හැමෝටම නොමිලේ ඉන්ටනෙට් අවශ්‍ය නෑනේ!!!! 😀

      වැඩියෙන් චන්ද ලැබෙන්නෙ වැඩියෙන් දේවල් (එකම දෙයක් වැඩියෙන් නෙමෙයි, එක එක දේවල් වැඩිපුර අයට) බෙදලා දෙන්න පොරොන්දු වෙන අයට. මොකද වැඩියෙන් දේවල් බෙදලා දෙනවිට වැඩිපුර පිරිසක් අතර ඒ ඒ දෙයක් හොයන අයව සතුටු කරන්න පුළුවන්.

      ඒ පොරොන්දු ඉටු කරගන්න බැරිවෙද්දි පවතින ආණ්ඩුවක් පරදිනවා. ඊ ළඟ ආණ්ඩුව ලවා වෙන නායකත්වයකින් තමන්ගෙ බලාපොරොත්තු ඉටු කරවා ගන්න පුළුවන් යැයි මිනිස්සු හිතනවා. ආණ්ඩුවකට හෝ නායකයෙකුට ඒ ඒ මිනිස්සුන්ගේ ඒ ඒ බලාපොරොත්තු මොනවාදැයි දැනගන්නට නොහැකි බව අවබෝධ කරගන්නේ නැහැ.

      තම තමන්ට තමන් හොයන දේවල් ලබාගන්න හැකිවෙන්නෙ තමන් විසින් ඒ දේ ලබාගැනීමේ අරමුණින් ඒ දේ ලැබෙන මාර්ගය පාදා ගෙන ඒ සඳහා තමන් වෙහෙසීමෙන් පමණක්ම යැයි අවබෝධය ඇති වෙච්ච දාට නායකයෙක් පස්සෙ දෙකට තුනට නැවිලා වැඳගෙන යන එක නැවතේවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න