මිස් අරථනායක

Share

රෑ 12.30 ට විතර ඇති. මට හොඳට මතකයි ඔරලෝසුවේ රෑ 12.00 වැදුනා .හරියට ඔලුවට උඩින් හෙනයක් අත ඇරිය වගේ .

නින්ද නොයන්න ඇත්තෙ අලුත් ගෙදරක අලුත් කාමරේක තිබුණ අලුත් සුවඳ මට නුහුරු නිසා වෙන්න ඇති. අපේ ගෙදර නම් මේ වෙලාවට ඇහැරිලා ඉන්නෙ ඉතින් වත්ත පහල කොස් ගහේ පෙම් කරන බකමූණු ජෝඩුව විතරයි.අනිත් ඔක්කොම නිදි.

මැටි ගාපු බිම තිබුණ ඇඟ හිරිගඩු පිපෙන සීතලට ගුලි වෙලා මම නිදා ගත්තෙ රත් වෙච්ච ආත්මයට අමුතුම සීතලක් දැණුන නිසා වෙන්නැති.මගේ දුප්පත් කම මට කවදාවත්ම ගැටලුවක් උනේ නෑ. මොකද සෙරෙප්පු දෙකක් නැතිව මම මහ පොළවෙ ඇවිදින්න හැමදාම ආස කලා. ඒ තියන තියන අඩියක් ගානෙ මට හිතුන මම ජීවත් වෙනව කියල .

වෙලාවකට උල් ගල් ඇණුනාම කඳුලු ගැලුවෙ ඇස් දෙකෙන් නෙමෙයි. හිතෙන් .මොනා කරන්නද ? ගල් කැට අත් ඇරලා කොහොමද මම පාරෙ ඇවිදින්නෙ . ඒ ගල් උඩින් ඇවිදගෙන යන එක මගෙ ජීවිතේ කොටසක් වුනා. තාර පාරට ආවම මගේ කකුල් දෙක පිච්චුණා. ඒ ගෙවිලා තිබුන සෙරෙප්පු දෙක රස්නෙට උණු වෙච්ච නිසා වෙන්නැති.

ඒත් හවසට ඒ පාර උඩින්ම ඇවිදගෙන යද්දි මට දැණුනෙ පුදුම සැණසීමක් . ඒ සීතල මගෙ කකුල් දෙක අඳුර ගත්තෙ ඒ කකුල් දෙක රස්නෙට පිච්චිලා තිබුන නිසා කියලයි මගෙ කල්පනාව .

පොල් අතු ගෙදර වහලෙ කොයි මොහොතෙ කඩාගෙන වැටේද කියල මම දැනගෙන උන්නෙ නෑ. එත් ඒ පුංචි ගෙදර අපි හතර දෙනා හරිම ආදරයෙන් හිටියා ආසාවටවත් අපි රණ්ඩු වුනේ නෑ.

හැම පුර පෝය දවසකටම අපේ අම්මා පන්සලට ගිහින් ලස්සන බේබි රෝස මල් වට්ටි දෙකක් බුදු හාමුදුරුවන්ට පූජා කරලා හිමින් සැරේ අප්පච්චි දිහා බැලුවා. අප්පච්චි නොදැක්ක වගේ අහක බැලුවා එත් අප්පච්චිගෙ ඇස් දෙක දිලිසුණා මම දැක්කා . අම්මා කියන විදිහට අම්මයි අප්පච්චියි හැම උප්පත්තියකදි ම හම්බෙනවලු.අප්පච්චි කිව්ව විදිහට නම් ඒ අම්මගෙ විකාර . අම්මා බුදු ගෙයින් එළියට ගියාම අප්පච්චිත් ඒ මල් වට්ටි දෙකටම අත තියල බුදුන් වැඳල හොරෙන් බැලුව ඈතට ගිය අම්මා දිහා. අම්මා එක කවදාවත්ම දැක්කෙ නෑ.

මම නම් ඒක හැම දාම දැක්කා. මොකද ඒ දෙනන ම එලියට ගියාම මම මගෙ අරලිය මල් වට්ටි දෙක පූජා කරලා අහසෙ පායල තිබුන හඳ දිහා බැලුවා. අම්මගෙ සාත්තරේට හැටියට මම උපදින හැම ආත්මෙකම ඔය හඳත් පායනවා ඇති. වෙසක් දා ට නම් මල් වට්ටි හතරක්ම පූජ කරන්න මට හිතුන .මහ ලොකු ආසවල් නැති මට තිබුනෙ නෑ මට කවදාවත්ම . ඒ තමයි මම.

මට වෙලාවකට හිතුනා මමත් පෝය දා වැව වගේ කියල . ඒ වැවේ වතුර හඳ කිණිති වල හෙවනැල්ල බොඳ වේ කියන බයට පුන්චි සුලං පාරකටවත් සෙලවෙන්නෙ නැතිව උන්න වගේ. ගෙදර අය කියන විදිහටනම් මම වේගෙන් ගලා ගෙන යන දිය ඇල්ලක් වගේ.එයාලට එහෙම හිතා ගන්න කියල මම සද්ද නැතුව උන්න. මොකෝ මම දැන්නව ඔක්කොම දිය ඇළි හිඳුන දාට ඔක්කොම වැව් ටික හිඳිල යනව කියන්න .

වෑ කණ්ඩිය උඩින් අපි හතර දෙනා ගෙදටර යනකල් ම පන්සලේ ගණ්ඨාරෙ සද්දෙ ඇහුණා. එ සද්දෙට මම ආසකලා මොකද කිව්වොත් අර රෝස මල් වට්ටියෙ සුවඳ මට ගෙදටර යනකල් ම මතක් උන නිසා වෙන්නැති.

පුංචි කාලෙ ඉඳලම මගෙ අතයි හිතයි තිබුනෙ මගෙ ගෙදරයි පොතෙයි කියල කිව්වොත් ඒක හරියටම හරි. අඟුරු කෑල්ලක් අරගෙන සුදු හුණු ගාපු බිතිත්යේ ලෝවැඩ සඟරාවෙ කවි ලිව්වා , ඇසේ ව්‍යුහය ඇන්දා. අපේ අම්මා කවදාවත් ම ඒ දේ මකලා දැම්මෙ නෑ. එත් අපප්ච්චි නම් හිනාවුණා. අලුත් තීන්ත බාසුසුනැහැ කෙනෙක් ඇවිත් කියලා.

මගේ වයසත් එක්කම පොතට තිබුණු ආදරයයි ගෞරවයයි තවත් වැඩිවුණා. ඒ කාලයත් එක්කම අප්පච්ච්ගෙ ඔලුවෙ කෙස් ගස් එක එක සුදු වෙන්න පටන්ගත්තා. අම්මගෙ ලස්සන මූණෙ රැලි ඇඳුණා. මල්ලිත් ඩින්ග ඩින්ග ගමේ කොලු රෑනට එකතු වෙන්න පටන්ගත්තා.මම තවතවත් මගෙ පොත-පතට ආදරේ කලා. ඒ කවද හරි ඉගෙන ගෙන සත් මහල් ප්‍රාසදයක් හදන්න නෙමේ. මම නොදන්න දේවල් ඉගෙන ගන්න . අලුත් විදිහට හිතන්න පුරුදුවෙන්න.මම නිසා තවත් කෙනෙක් හිනාවෙණවා බලන්න.

අවසානයේ මම ගුරුවරියක් වුණා. ලොකේ තියන වටිනාම රැකියාව මගේ කරගත්තා.

පෝසත් ගෙදරක පුන්චිම පුන්චි දූ ට අකුරු කියා දෙන්න අවා. අද තමා ඒ පළවෙනි දවස . එකයි මේ අලුත් සුවඳට මගේ හිතේ පුන්චි බයක් තියෙන්නේ.මහා විසාල ගෙදරක ලස්සන ලී බඩු, දොර ජනෙල් රෙදි, සිනිදු ඇතිරිළි., ලොකු ඇඳන්, සිනිදු පොරෝනා….. අරුමෝසම් ලෝකෙක තනි වෙලා වගේ. මට බය හිතුණා ඒ ලී බඩුවල හැප්පිලා මාව වැටෙයි කියලා.

දූගෙ අම්මා ඔසරිය ඇන්ද උස මහත කෙනෙක්. ඒ ඔසරිය හරිම මටිනා රෙද්දකින් මහපු නූතන පන්නයේ එකක් . මම ඇන්ද උඩරට ඔසරිය නම් නෙමේ. බෝරිච්චි අත් සාරි හැට්ටෙවත් නෙමේ. අනේ මන්දා ඒ ලස්සන මට නුහුරුයි වගේ හිතුණා. මම උඩරට ඔසරියට ගරු කලේ මල් වට්ටියකට වගේ.

කල්පනා කරල ඉද්දි මට නිනද යන්න ඇති. මටත් නොදැනීම.

පහුවදා දවසම දූ ගේ අම්මා මගෙත් එක්ක කතා කළේ දරුවගෙ ඉගෙනීම ගැන. මිසිස් අරථනායක, මට කතා කලේ මිස් කියලා. ගෙදර උන්න පුන්චි දූ මගේ ලඟට දුවගෙන ඇවිදින් මගෙ ඔසරි පොටෙන් අදින ගමන් හිනාවෙල ඇහුවා ,, මම ඔයාට මිස් කියන්නම් ද කියල. මමත් එය එක්ක හින වෙන ගමන් කිව්ව හා හොඳයි කියලා.

දූ මගේ අතින් අල්ලාගෙන මාව ඇදගෙන ගියේ ලස්සන කාමරේකට . ඒ කාමරරේ ලස්සනට හදපු කුඩුවක ලස්සන ගිරා පැටියෙක් උන්නා. පැටියෙක් කිව්වට පැටියෙක් නෙමෙයි. වයසට පැහිච්ච ගිරවෙක් . පළතුරු ගොඩාක් මැද රජෙක් විදිහට උන්නා. පුංචි දරුවගේ හිත පුරාවට පිරිලා ඉතිරිලා තිබුනේ ඉවරයක් නැති ආදරයක් කියල හිතාගන්න මට කාලයක් ගත උනේ නෑ .
මගේ දිහා බලල මගෙන් එකම එක දෙයක් ඇහුවා . ” මිස් අපෙ අම්මා කියන විදිහට මේ ගිරා පැටියා ඉන්නේ සතුටින් නෙමෙයි . දුකින්ලු . එත් එහෙම වෙන්නේ කොහොමද මම මෙයාට කන්න දෙනවා බලාගන්නවා . මොකෝ අම්ම ඉතින් එහෙම කියන්නේ .

දූගේ හිත රිද්දන්නත් මට බැහැ . ඒත් බොරු කියන්නත් බැහැ . මම උත්තර නොදී ඉන්න තිරණය කලේ ඒ නිසා. ඒත් පුංචි හිත් වලට ගටලුවක් ආවම ඒ ගොල්ල ඉවරක නැතිව ප්‍රශ්න අහනවා . මට අවසානයේ කියාදෙන්න වුණා අම්මා කියන දේ හරි කියලා.
මම ඒ නිසාම දුට කිව්වා
පුතේ අපි කුඩුවේ දොර අරිමු. යන්න දෙමු. ඉන්නේ සතුටින් නම් ඔයා ගාවම ඉදී . නැත්නම් පියබලා යාවි ඈතකට . ලොකු ඇස කරකවා මගේ දිහා බලල කිව ” හා ” කියල . දූ නොදන්නා දෙයක් මම දැනගෙන හිටියා. ඔය ගිරවා ආයේ කවදාවත්ම නොඑන වග .

පුංචි හිතේ හිනාවක් මතු වෙද්දී මම බයෙන් බයෙන් කුඩුවේ දොර ඇරියා ……………
එලියට ආව ගිරවා දකුණු අත පැත්තෙන් කුඩුව වටේට කැරකිලා අයෙමත් උගේ කුඩුවට රිංගා ගත්තා…………… බේබි අර්ථනායක ඒ කිව්වේ පුංචි දුව මගේ දිහා බලල හිනා වුනේ නිකම් ඔච්චටමට වගේ…………………
මට පොරොන්දු වුනා යේ කවදාවත්ම ඔය කුඩුවේ දොර වහන්නේ නෑ කියලා. ………….
දවසක මිස් අරථනායකට, තේරේවි . එයාගේ ගුරුතුමී කියා දුන්න පළමුවෙනි පාඩම සත්ව අවිහිංසාව නෙමේ කියන එක ……………