Main Logo

Sunday 5 October 2014

වකුගඩු රෝගය ගැන තවදුරටත්



මේ සතියේත් කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ ව ලිවීමට මට මුල දී අදහසක් නො වී ය. මේ ලිපිය ලිවීමට හේතු වූයේ බටහිර වෛද්‍යවරුන්ගෙ අසත්‍ය ප්‍රකාශ ය.  කුහක, නිවට හා අදක්‍ෂ, මෙරට හා පිටරට බටහිර විද්‍යාඥයන් ලෙස පෙනී සිටින ලාංකිකයන් උසස් පෙළ පරීක්‍ෂණයෙහි දී ලබාගත් ලකුණු කිහිපයක් හේතුවෙන් මහා ප්‍රාඥයන් ලෙස පෙනී සිටිය ද, ඔවුන්ගෙන් බටහිර විද්‍යාවට වී ඇති සේවයක් නැත. ඔවුන් කිසිවකුටවත් නොබෙල් තෑග්ග තබා ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්වත් සෛද්ධාන්තික විෂයකින් ලබාගැනීමට නොහැකි වී ඇත. මේ අධිසාමාජිකත්වය යනු මෙරට බටහිර වෛද්‍යවරුන් ලබාගන්නා එෆ් ආර් සී එස්, වැනි අධිසාමාජිකත්ව නො වේ. එවැනි අධිසාමාජකත්ව ලබාගත්තවූන් නම් සිය ගණනින් රටපුරා දැකිය හැකි ය. මෙරට බටහිර වෛද්‍යවරු හා ඊනියා විද්‍යාඥයෝ තමන් උසස් පෙළ පරීක්‍ෂණයෙහි දී ලබාගත් ලකුණු ගැන අවුරුදු හතළිහකට පනහකට පමණ පසුවත්  ඉහළින් කතාකරති. එහෙත් ඔවුන් බොහෝ අයගේ තර්ක ඥානය, විශ්ලේෂණාත්මක ව නිරවුල් ව සිතීමට ඇති හැකියාව ඉතාම අඩු මට්ටමක පවතින බව මා දන්නේ අවුරුදු පනගකට වැඩි අත්දැකීමෙනි.  ලංකාවේ බටහිර වෛද්‍ය පීඨයක මහාචාර්යවරියක පසුගිය දා අධිකරණයෙහි දී පහත සඳහන් ප්‍රකාශය කළේ තම නෙදැනුවත්කම මොණර සෙය්‍යාවෙන් ප්‍රදර්ශනය කරමිනි. මේ වාර්තාව උපුටාගෙන ඇත්තේ දිවයින පුවත්පතෙනි. අවශ්‍ය නම් දිනය කිව හැකි ය. 

“ශ්‍රී ලංකාවේ එකම ඩී. එන්. ඒ. රටාවන් ඇති දෙදෙනකු කිසිසේත් සිටිය නොහැකි බව….. මහත්මිය ….. කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියාය.

කොළඹ මහාධිකරණ විනිසුරු ….. හමුවේ විභාග වන …..නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙසින් රජයේ ජ්යෙෂ්ඨ නීතිඥ……මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් එසේ කියා සිටි මහාචාර්යවරිය අහඹු ලෙස ගත් දෙදෙනකුගේ ඩී. එන්. ඒ. රටා එකක් වීමේ හැකියාවේ සම්භාවිතාව බිලියන තුනකට එකක් වන බවත් ලංකාවේ ජනගහනය මිලියන 20 ක් පමණ වන බැවින් එවැනි සම්භාවිතාවක් නොමැති නිසා එකම ඩී. එන්. ඒ. රටාවන් ඇති දෙදෙනකු කිසිසේත් සිටිය නොහැකි බව අවධාරණය කළාය. ශ්රී ලංකාවේ එකම ඩී. එන්. ඒ. රටාවන් ඇති දෙදෙනකු කිසිසේත් සිටිය නොහැකි බව …… විශ්වවිද්යාලයේ … වෛද්ය පීඨයේ මහාචාර්ය ……මහත්මිය ……. කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියාය.”

පුවත්පතෙහි සඳහන් වූ පරිදි ඇය බටහිර වෛද්‍ය පීඨයක මහචාර්යවරියක ද යන්න මම නො දනිමි. ඒ කෙසේ වෙතත් ඇගේ මුග්ධ තර්කය මුල්කරගෙන නඩුවේ තීන්දූව දී ඇත්නම් එයින් විත්තිකරුවා (වනට) සිදු වී ඇත්තේ විශාල අසාධාරණයකි. මේ සාක්‍ෂිකාරියට බටහිර සංඛ්‍යානයෙහි සම්භාවිතාව පිළිබඳ ව මූලික දැනුමවත්  නැති බව පැහැදිලි ය. මිලියන විස්සක නොව දෙදෙනකුගේ නියැදියක වුව ද ඒ දෙදෙනාට ම එක ම ඩී එන් ඒ රටාවක් තිබිය හැකි ය. එසේ තිබිය නොහැක්කේ අදාළ සම්භාවිතාව ශූන්‍යය නම් පමණකි. 

බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට හා විශේෂයෙන් ම බටහිර වෛද්‍යවරුන් ට මූලික කරුණු පිළිබඳ නිරවුල් අවබෝධයක් නැත. මෙරට විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරු වෛද්‍ය හා වෛද්‍ය නොවන යනුවෙන් වර්ගීකරණය කෙරෙති. දේශීය වෛද්‍ය ආයතනවල වෛද්‍ය විද්‍යාව උගන්වන ආචාර්යවරු ද  වර්ගීකරණය යටතේ වෛද්‍යවරු නො වෙති. මෙය වහාම වෙනස් කළ යුතුව ඇත. ඉදිරි මාසවල දී මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට අපට සිදුවනු ඇත. එහි දී වර්ගීකරණය හා මහන්තත්ත්වය රැකගැනීම සඳහා බටහිර වෛද්‍යවරුන් ඉදිරිපත්කරන මුග්ධ තර්ක ඔවුන්ගේ රෝගීන්ට ද දැනගත හැකි වනු ඇත. බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට හා බටහිර වෛද්‍යවරුන්ට මෙරට හිමි වී ඇති සමාජ ආධිපත්‍යය බිඳ දැමිය යුතු ය. අද කෘෂිරසායනික වකුගඩු රෝගීන් මියයන්නේ බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අයගේ හා බටහිර වෛද්‍යවරුන්ගේ කුහකත්වය උද්ධච්ඡත්වය හේතුකොටගෙන ය. ඔවුන්ගේ ආධිපත්‍යය රැකීමට රෝගීහු මිය යති. මෙරට පාරම්පරික වෙදමහතුනට කෘෂිරසායනික වකුගඩු රෝගය සුවකර හැකිව තිබිය දී බටහිර වෛද්‍යවරු එයට අකුල් හෙළති. 

බටහිර වෛද්‍යවරයකු වූ ද විශේෂ ව්‍යාපෘති අමාත්‍යංශයේ යම් ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයකු වූ ද චන්න ජයසුමන මහතාට අනුව චන්ද්‍රසේන අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය රෝගයට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් නොවන්නේ එයට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන් ම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ද විරුද්ධ බැවිනි. තමන්ගේ වැඩවලට අන් අමාත්‍යාංශ අතදාන්නේ ඇයි ද යන ප්‍රශ්නයක් එහි ඇති බව පෙනෙයි. එහෙත් ඒ අමාත්‍යාංශ ඇමතීතුමා රෝගය වැළැක්වීමට කටයුතුකිරීමට විරුද්ධ බවක් නො පෙනෙයි. කෙසේ වෙතත් මේ කතාව ඇත්ත ද නැත් ද යන්න මෛත්‍රිපාල සිරිසේන හා සාලින්ද දිසානායක ඇමතිවරුන් පැහැදිලි කරන්නේ නම් මැනවි. චන්ද්‍රසේන ඇමතිතුමාගේ අමාත්‍යාංශයෙන් මේ දිනවල බිත්තර වී දේශීය පොහොර ආදිය ගොවීනට බෙදාදෙන බව වාර්තා වෙයි. එතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ කරට ගැනීම පිළිබඳ ව කෘෂිකර්ම ඇමතිතුමා විරුද්ධ නැද්ද? චන්ද්‍රසේන ඇමතිතුමාගේ අමාත්‍යාංශයට නියමිත වැඩ මොනවාදැයි ජනතාවට කියන්නේ නම් අපට කාලය නාස්තිකිරීමේ ක්‍රියාවලියකින් ඈත්වීමට හැකි ය.

ඉරිදා දිවයින පුවත්පතෙහි පළවන ලිපිවලට අනුව දේශීය වෛද්‍ය අමාත්‍යාංභයෙන් කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා සායනයක් පවත්වයි. එය යහපත් ය. අපට අවශ්‍ය පාරම්පරික වෙදමහතුන් ද වෙනත් බටහිර  නොවන වෙදමහතුන් ද (දෙයියන්ගේ නාමයට ඩොක්ටර්ලා නො වේ) සහභාගිවන වෙදගෙවල් (ජංගම) අදාළ ප්‍රදේශවල ඇතිකිරීම ය. මේ සම්බන්ධ අත්දැකීම් අප සතුවෙයි. චන්ද්‍රසේන ඇමතිතුමා ඒ බව දනියි. එහෙත් ඔහු අප විශ්වාස නො කරයි. ඔහු සිතන්නේ අප වෙදමහත්වරුන් බොරුකාරයන් බව ය. බටහිර වෛද්‍යවරු ද එසේ කියති. එහෙත් අපට ඔවුන්ගේ ක්‍රමයට අනුව ද අප වෙදමහතුන් සතුව අදාළ රෝගයට ප්‍රතිකාර ඇති බව පෙන්වා දිය හැකි ය. ඒ එසේ නො වේ යැයි චන්න ජයසුමන මහතාට පෙන්විය හැකි ද? එසේත් නැත්නම් වෙනත් බටහිර වෛද්‍යවරයකුට පෙන්වා දිය හැකි ද? 


නලින් ද සිල්වා

2014-10-05