Main Logo

Sunday 28 September 2014

වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර නැද්ද?


කෘෂිරසායනික වකුගඩු රෝගය හේතුවෙන් තවමත් රෝගීහු විශාල වශයෙන් මියයති. සංඛ්‍යානය විෂයයක් ලෙස අප්‍රිය කරන මට ඒ සම්බන්ධ ගණන් හිලවු ඉදිරිපත්කළ නො හැකි ය. එහෙත් රෝගීන් මිය යෑම තවමත් දේශපාලන ප්‍රශ්නයක් කරගැනීමට, එසේත් නැත්නම් තමන්ට ලාභ දෙන ව්‍යාපාරයක් බවට පත්කරගැනීමට, නොහැකිවීම හේතුවෙන් දෝ බොහෝ දෙනාගේ අවධානය වෙනත් කරුණු වෙතට යොමු වී ඇත. නාථ දෙවියන් ද විකුණන් කෑමට සූදානම් අය සිටින රටක මානව හිතවාදය යනු බටහිර රාජ්‍ය සංවිධාන හෙවත් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලබාදෙන ඔවුන්ට ජීවත්වීමේ මගඩියක් අත්පත් කරදෙන ව්‍යාපෘතියක් බවගට එක් පැත්තකින් පත් වී ඇති අතර අනෙක් පැත්තෙන් ජනමාධ්‍ය හා වෙනත් විවිධ ආයතනවලට අනෙක් අයගේ මුදලෙන් මනුෂ්‍යත්වය වැපිරීමට උපකාරවන සංකල්පයක් බවට පත් වී ඇත. ඒ අතර බටහිර විද්‍යාඥයෝ වකුගඩු රෝගයට හේතුව සොයමින් තවමත් ඊනියා පර්යේෂණ පත්‍රිකා ලියති. ඔවුන්ගෙන් ඇතැමකුට ඒ හේතුවෙන් උසස්වීම් මහාචාර්ය පදවි ආදිය ලැබෙන නමුත්  රෝගීන් මියයෑම නම් අඩු වී නැත. ලෙඩා මළත් බඩ සුද්ද වේ නම් ඒ මදැයි යනුවෙන් කිසිවකුට කිව හැකි ය. අප සියළු දෙනාට ම පාහේ අවශ්‍ය රෝගීන් මතින් වුව ගොස් ලකුණු දා ගැනීම, සමාජ වැදගත්කමක් ලබාගැනීම ආදිය හා අවසානයේ දී හැකිනම් නිවන් අවබෝධය ද ලබාගැනීම බැවින් මේ තත්ත්වය පිළිබඳ පුදුම වීමට ද දෙයක් නැත. 

බටහිර විද්‍යාවට අනුව වකුගඩු රෝගයට හේතුව තවමත් “සොයාගෙන” නැත. විවිධ විද්‍යාඥයෝ තම තමන්ගේ මත ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරති. ඔවුහු ඒ පිළිබඳ තරගයක යෙදී සිටිති. ඒ තමන්ගේ මතය නිවැරදි බව තහවුරු කිරීමට ය. බොහෝ දෙනා තම මතය අලෙවි කරති. එය වෙනත් කරුණු සම්බන්ධයෙන් මෙන් ම මාකටිං ව්‍යාපෘතියකි. එහෙත් බටහිර විද්‍යාඥයන් (මෙරටින් හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි වී නැතත් අපි ඔවුන්ට විද්‍යාඥයන් යැයි කියමු) තමන් තම මතය අලෙවි කිරීමට උත්සාහ ගන්නා බව පිළිගනීවි යැයි සිතිය නො හැකි ය. මේ කසිකබල් විද්‍යාඥයෝ ඊනියා පර්යේෂණ පත්‍රිකා ලිවීමට අමතර ව මෙරට ජාතික පුවත්පත්වලට ද ලියති. එක් ඊනියා පර්යේෂණ පත්‍රිකාවක් ලියන විට ඒ සම්බන්ධ ලිපි රාශියක් මෙරට ජාතික පුවත්පත්වල පළකර ගැනීමට මේ කසිකබල්ලු අමතක නො කරති. මොවුන්ගෙන් ඇතමකු ජීවත්වන්නේ පිටරට වුවත් ඔවුන්ට ලිපි පළකරවා ගත හැක්කේ මෙරට ජාතික පුවත්පත්වල ය! කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව තවමත් “සොයාගැනීමට” බටහිර විද්‍යාවට නොහැකි නම් එයින් කියැවෙන්නේ බටහිර විද්‍යාවේ බංකොළොත් බව ය. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන සංසිද්ධිවලට ඊනියා හේතුව මේ යැයි පට්ටපල් බොරු කතන්දර ගෙතීම ය. මේ කතන්දර වියුක්ත වන අතර ඒ ගොතන්නෝ ආධ්‍යාත්මික දියුණුවක් ලබානොගත් පෘථග්ජනයෝ වෙති. 

මෙහි දී නාථ දෙවියන් සමග සංනිවේදනය කළ අය ද උත්තරීතර පුද්ගලයන් නොවන බව ප්‍රසිද්ධියේ කිව යුතු ය. ඔවුන්ගේ ද අභිප්‍රාය රෝගීන් සුවපත් කිරීම නොව ඉපයීම හා වෙනත් දේ බව පැහැදිලි ය. මේ සම්බන්ධ විස්තර පසුව සඳහන් කරමි. අද බොහෝ දෙනාට අවශ්‍ය වී ඇත්තේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම නොව රෝගය වැළැක්වීම ය. එහි දී තම තමන්ට මැදිහත්වීමට හැකි අයුරෙන් ඊනියා පානීය ජලය බෙදාදීම, රසායනික පොහොර නොමැති ව ගොවිතැන් කිරීම, විශේෂයෙන් වී ගොවිතැන් කිරීම, වතුර ටැංකි බෙදාදීම ආදී කාර්යයන්හි ඔවුහු නිරත වෙති. මේ කිසිවක වරදක් ඇතැයි නො කියමි. එහෙත් ඒ සෑම අවස්ථාවක දී ම ලකුණු දාගැනීමක් ද සිදුවන බව පැහැදිලි ය. මේ කිසිවකු රෝගීන් සුවපත් කිරීමට, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් නොවන්නේ ඇයි? 

කෘෂිරසායනික වකගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව අපි නැවතත් කියමු. එහි දී ග්ලයිෆොසේට් ආසනික් සමග එකතු වී දැලිසක් සාදා ආසනික් වකුගඩුවලට ගෙන යන බව කිවහැකි ය. බටහිර වෛද්‍ය  විද්‍යාවට එය එසේ නොවේ යැයි කිසිම සැකයකින් තොරව කිව හැකි ද? කිසියම් දවසක කෘෂිරසායන නොමැති ගොවිතැනකට අපි සේන්දු විය යුතු වෙමු. එය සැලැස්මක් ඇතිව රටේ ආර්ථිකයට හානියක් නොවන අයුරෙන් කළ යුත්තකි. එය කෙසේ වුවත් වකුගඩු රෝගයට ප්‍රතිකාර මෙරට පාරම්පරික වෙදකමේ ඇත. මගේ ප්‍රශ්නය ආණ්ඩුව එයට අතහිත නොදෙන්නේ ඇයි ද යන්න ය. චනද්‍රසේන ඇමතිතුමා ද ඔහුගේ සොහොයුරු උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමතිතුමා ද ඒ බව නොදන්නේ යැයිි කිව නො හැකි ය. එහෙත් ඔවුන්ට අප වැන්නන් කියන දේ ගැන එතරම් විශ්වාසයක් නැති බව පැහැදිලි ය. ඔවුන්ට අනුව අප කියන්නේ බොරුවකි. වෙනත් වචනවලින් කියන්නේ නම් පාරම්පරික වෙදකමේ වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් නැත. අප යෝජනා කර සිටියේ අදාළ ප්‍රදේශවල ජංගම වෙදගෙවල් ඇතිකරන ලෙස ය. එයට විශාල මුදලක් වැය වනවා නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට වියදම් කරන මුදලින් ඉතා සුළු ප්‍රතිශතයක් වැය කිරීමෙන් ජංගම වෙදගෙවල් පිහිටුවිය හැකි ය. 

චනද්‍රසේන ඇමතිතුමා තවදුරටත් අප නොසළකා හරින්නේ නම් කළ හැක්කේ ජනාධිපතිතුමාට ඒ බව පැමිණිළි කිරීම හා මීළඟ මැතිවරණයේ දී චන්ද්‍රසේන ඇමතිතුමාට මනාප දීමට විරුද්ධව මැතිවරණ ව්‍යාපාරයේ යෙදීම ය. රෝගීන් මළත් බටහිර වෛද්‍යවරුන්ගේ බහට අවනත වී පාරම්පරික වෙදකමට අතහිත නොදෙන මෙවැනි ඇමතිවරුන් රජරටින් පාර්ලිමේන්තුවට එවිය යුතු නො වේ. වකුගඩු රෝගින් මරාගත් ඇමති ලෙස ඉතිහාසයට එක්වීමට චන්ද්‍රසේන ඇමතිතුමා කැමැත්තෙන් සිටින්නේ ද? එතුමාගේ අභිප්‍රාය එය නම් එයට අකුල් හෙළීමට අපි අකමැත්තෙමු.                         



නලින් ද සිල්වා

2014-09-28