Tuesday 23 September 2014

ශිෂ්‍යභටයා




ශිෂ්‍යභටයෙක් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නෑනෙ. හැමෝම දන්න කාරණාවක්නෙ. ඉස්කෝලෙ පිට්ටනියෙ උදේ ඉඳන් මහා දවාල් ගිනි අව්වෙත් 'ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් රයිට්' කිය කිය එහාටත් මෙහාටත් ගිය ශිෂ්‍යභටයින්ව නොදන්නේ කවුද? ඒ වගේම ජීවිතේ යම් කාලයකදී ශිෂ්‍යභටයෙක්ව හිටපු අයත් මේ ලිපිය කියවන්නෙ නැතෑ. ඒ අයත් තම තමුන්ගෙ කතන්දර දිග අරිවී යැයි හිතනවා. ඒ වගේම මම මෙතන කියන්නේ මම ශිෂ්‍යභටයෙක් වෙලා හිටපු කාලෙ විස්තර හින්දා පස්සෙ ශිෂ්‍යභටයින් වෙච්ච නංගිලා මල්ලිලාත් ඉස්සෙල්ලා ශිෂ්‍යභටයන් වෙච්ච අයියලා අක්කලාත් මා කියන විස්තර මගේ කාලයට අදාළ ඒවා බව සිතට ගනිත්වා. (නැත්නම් කියයි මූ බොරු කියනවා කියලා)

"ශිෂ්‍යභටයන් තුළ චරිතවත් බව, චිත්ත ධෛර්‍යය, ක්‍රීඩාශීලී බව, ආත්ම විශ්වාසය, ස්වයං විනය, ප්‍රජා හැඟීම්, වික්‍රමාන්විත හැඟීම්, වගකීම් දැරීම, සුහදශීලී බව යන ගුණාංග වර්ධනය කර යහපත් වැඩදායී පුරවැසියන් බිහිකිරීම සහ ජාතියේ සේවය සඳහා යෙදවිය හැකි ඕනෑම ජීවන පැවැත්මකට නායකත්වය දියහැකි පුහුණු, දිරිගන්වන ලද යෞවන මානව සම්පතක් ගොඩනැංවීම ජාතික ශිෂ්‍යභට බලකායේ අරමුණ වේ." ඔය අරමුණින් තමයි ජාතික ශිෂ්‍යභට බලකාය ඇතිවෙලා තියෙන්නෙ. ඒ 1881 රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙදි. හැබැයි මුලින් ආරම්භ වුනේ වෙන නමකින් කියලත් මතක තියාගන්න පහුකාලීනව තමයි ඔය ශිෂ්‍යභට කියන නම ලැබුනෙ. එතනින් එහා නම් ඉතිහාසය ගැන කියන්න බලාපොරොත්තුවක් නෑ.
දැන් නම් ඔය කියන විදියේ අරමුණක් ඉටුවෙන බව පෙනෙන්න අහ අහන්න ලැබෙන දේවල් බැලුවම.

බලඇණි බෙදීයාම

මුලින්ම අපි බලමුකො ශිෂ්‍යභට බලකායේ පාලන ව්‍යූහය. ශිෂ්‍යභට බලකාය අනුයුක්තව වෙලා තියෙන්නෙ ජාතික ආරක්ෂක අමාත්‍යංශයට. එයින් පත්වන උසස් හමුදා නිලධාරීයෙක් බලකායේ අධ්‍යක්ෂක විදිහට පත්වෙනවා. ඊළඟ කාරණාව තමයි ප්‍රාදේශීය වශයෙන් බලකාය බල ඇණි වලට බෙදා තිබීම. ඊළඟට ඒ සෑම බලඇණියකටම අණදෙන නිලධාරීවරයෙක් ඉන්නවා. ඔහු යටතේ සේවය සඳහා සුදුසුකම්ලත් ශිෂ්‍යභට බලකායේ නිලදාරීන් මෙන්ම යුධ හමුදාවෙන් අනුයුක්ත කළ උපදේශකයින්ද සිටිනවා. ඊළඟට නිලධාරීන් ලෙස තෝරාගත් පාසල් ශිෂ්‍යභටයින් ඉන්නවා. ඊටත් පස්සෙ තමයි සාමාන්‍ය ශිෂ්‍යභටයින් ඉන්නෙ.

අර කලින් කිව්ව විදිහට ශිෂ්‍යභටයින් තුළ ගුණාංග ඇති කරන්න ශිෂ්‍යභට බලකාය මොනවද කරන්නෙ? අපි බලමු. මූලිකවම වෙන්නෙ විවිධ ක්‍රියාකාරකම් වලට ශිෂ්‍යභටයින්ව යොමුකරවීම. අපි බලමු මේ ක්‍රියාකාරකම් මොනවද කියලා. ප්‍රධානම දේ තමයි ශිෂ්‍ය භටයින්ගේ වාර්ෂික ඇගයීම් කඳවුරු පැවැත්වීම. ඇගයීමක් කරනකොටනෙ කෙනෙක් වර්ධනය වෙන්නෙ. ඒක නිකන් විභාගයක් පාස් වෙන්න ඕනෙ නිසා පාඩම් කරනකොට දැනුම වර්ධනය වෙනවා වගේ වැඩක්. හුඟාක් ශිෂ්‍යභටයොත් ශිෂ්‍යභට බලකාය කිව්වාම හිතන් ඉන්නෙත් මේ ටිකම තමා. ඊට අමතරව වාර්ෂිකව පැවැත්වෙන ක්‍රීඩා උත්සව, ශ්‍රමදාන, ප්‍රජා සත්කාර, ආචාර පෙළපාලි ආදියත් ශිෂ්‍යභට ක්‍රියාකාරකම් වලට එකතු කරන්න පුළුවන්. ඇගයීම් කඳවුරු හැර අනික් ක්‍රියාකාරකම් ජාතික මට්ටමින් හෝ බලඇණි මට්ටමින් හෝ පාසල් මට්ටමින් සංවිධානය වෙන්ඩ පුළුවන්.
අනිත් ඔක්කොම ක්‍රියාකාරකම් පැත්තකින් තියලා අපි ශිෂ්‍යභට ඇගයීම කඳවුරු ගැන කතා කරමුකො. මොකද අනික් එක එක ක්‍රියාකාරකම් බල ඇණියෙන් ඇණියටත් විදුහලෙන් විදුහලටත් වෙනස් වෙන නිසා පොදුවේ කතාකරන්න බෑනෙ. ශිෂ්‍යභටයින්ව වාර්ෂිකව ඇගයීම සිදුවෙන්නෙ බාලක, බාලිකා හා තූර්‍යවාදන යන අංශ තුනක් යටතේ. වාර්ෂික ඇගයීම අවසානයේ හොඳම ශිෂ්‍යභට බාලක ඛණ්ඩයට 'හර්මන් ලෝස් කුසලානය'ත් හොඳම ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩයට 'ද සොයිසා කුසලානය'ත් දක්ෂතම ශිෂ්‍යභට තූර්‍යයවාදක ඛණ්ඩයට ඊට අදාළ සම්මානයත් හිමිවෙනවා.

ඛණ්ඩය? අලුත් වචනයක් නේද? ඛණ්ඩයක් කියන්නෙ අවම වශයෙන් ශිෂ්‍යභටයින් විසිපස්දෙනෙකුගේ එකමුතුවක්. විදුහලක් නියෝජනය කරන්නෙ ශිෂ්‍යභට ඛණ්ඩයක්. මේ ඛණ්ඩය ඇතුලෙ කොමිශන් නොලත් නිලධාරීන් වශයෙන් 7දෙනෙක් සිටින අතර ඉතිරි 18දෙනාම සාමාන්‍ය ශිෂ්‍යභටයන්. නිලධාරීන් වන්නේ ඛණ්ඩයේ ප්‍රධානියාවූ සැරයනුත්, ඊට පහළ ජ්‍යෙෂ්ඨ කෝප්‍රලුත්, ඉතිරි කෝප්‍රල්ලා දෙදෙනාත් ඊට පහළ ලාන්ස් කෝප්‍රල්ලා තිදෙනාත් පමණයි. මීට ඉහළ නිලයන්ට යන ශිෂ්‍යභටයින් විදුහල නියෝජනය කිරීමකින් තොරව අදාළ බලඇණිය නියෝජනය කරනවා. ඔවුන් හැඳින්වෙන්නෙ ජ්‍යෙෂ්ඨ කොමිශන් නොලත් නිලධාරීන් විදිහට. අපි යන කාලෙ CQ, CSM, RQ, RSM විදිහටයි මේ ගොල්ලන්ව හැඳින්වූවෙ. දැන් නම් නිලතල පොඩ්ඩක් වෙනස්ලු. ඒවගේම ආමි, නේවි, එයාර්ෆෝස්, පොලිස් විදිහටත් බෙදිලා කියන්නෙ. අනේ ඔව්වා නම් මම දන්නෙ නෑ. දන්නෙ නංගියෙක් මල්ලියෙක් කියන්නකො.

වාර්ෂික ඇගයීම කෙරෙන ආකාරය මෙහෙමයි. කොටස් වලට කඩලා විස්තර කෙරුවොත් ලේසියි වගේ.
1. පුහුණු කාලය
2. වාර්ෂික ඇගයීම් කඳවුර
3. හර්මන්ලොස්/ ද සොයිසා කඳවුර


1. පුහුණු කාලය

වාර්ෂිකව පැවැත්වෙන හර්මන්ලෝස් කඳවුරෙන් ජයග්‍රාහී ඛණ්ඩයක් තේරුනාට පස්සෙ තමයි ඊළඟ අවුරුද්දෙ රාජකාරී ඇරඹෙන්නෙ. ශිෂ්‍යභට බලකාය, මූලික වශයෙන් සෑම ඛණ්ඩයකින්ම ඊළඟ වසරේ සැරයන් තනතුර ලබාගැනීමට සුදුසු දෙදෙනෙක් කැඳවලා ඔවුන් සියල්ලම කඳවුරු ගත කරලා උපදෙස් දෙනු ලබනවා. ලබන වසරේදී ඇගයීම් කෙරෙන ආකාරය මෙන්ම ශිෂ්‍යභටය්න් පුහුණු කළයුත්තේ කෙසේද ඔවුන් ඉගැන්විය යුත්තේ මොනවාද ආදී වශයෙන් උපදෙස් ලැබෙනවා. මේ කඳවුර හැඳින්වෙන්නෙ කොනොනි (කොමිෂන් නොලත් නිලධාරී, NCO) කඳවුර නමින්. ඉතින් මේ ශිෂ්‍යභටයො දෙන්නා ආයෙත් විදුහලට එන්නෙ ඊළඟ අවුරුද්දෙ හර්මන්ලොස් කුසලාන තම විදුහලේ ඛණ්ඩයට ලබාගන්නා බලාපොරොත්තුවෙන්.
ඔවුන් කොනොනි කඳවුරේදි ලබාගත් දැනුමත්, ඊටපෙර වසර ගණනක ශිෂ්‍යභට අත්දැකීමුත්, විදුහලේ ඛණ්ඩභාර ආචාර්‍යයවරයාගේ මඟපෙන්වීමත් ඇතිව තම සහෝදර ශිෂ්‍යභටයින්ව පුහුණුකිරීම අරඹනවා. ශිෂ්‍යභට පුහුණු කිරීමක් දැකලා ඇතිනෙ. 'ඛණ්ඩයප්... පහසුවෙන් සිටින්' 'ඛණ්ඩයප්... සීරුවෙන් සිටින්' 'ඛණ්ඩයප්.... තුන්පෙළින් දකුණ බලා දකුණටප්... හැරෙන්' 'ඛණ්ඩයප්..... වමින් පෙළ ගමනේප්... යා'
දේශන පැවැත්වීම
නොදන්නා බොහෝදෙනා ශිෂ්‍යභටයෙක් කියන්නෙ අවි සරඹ, පා සරඹ පමණක් දන්නා සිසුවෙක් කියා හිතුවාට, ඊටත් එහා දැනුම් සම්භාරයක් ශිෂ්‍යභටයින්ට ලැබෙනවා. යුධ හමුදාවේදී භාවිතයට ගන්නා භූමි උපක්‍රම හා ගිනි අවි පුහුණුව, ප්‍රථමාධාර, ගිනි නිවීම, රටේ සිවිල් නීතිය, පොලිස් රාජකාරි, රෙජිමේන්තු රාජකාරි, සිතියම් කියවීම, ශිෂ්‍යභට ඉතිහාසය, පරිසරය ආදී පුද්ගලයෙක් දැනසිටිය යුතු බොහෝදේවල් ශිෂ්‍යභටයින්ට ඉගැන්වෙනවා. මීට අමතරව නායකත්ව පුහුණු පාඨමාලාද පැවැත්වෙනවා.
මේ සියලුම පුහුණුවීම් සඳහා නිලධාරීන්ද අදාළ බලඇණියෙන් අනුයුක්ත කරලා තියෙනවා. ඔවුන්ගේ සහයත් ලබාගන්ඩ පුළුවන්. ඒ වගේම එක්දින දෙදින කෙටි පුහුණු කඳවුරුවලින් අමතර අත්දැකීම් එකතුකරගැනීමේ අවස්ථාවක්ද ශිෂ්‍යභටයින්ට ලැබෙනවා. ඒ වගේම මේ පුහුණුකාලය තුළදී ප්‍රජා සත්කාර සේවාවල යෙදීමත් ශිෂ්‍යභටයින්ට අනිවාර්‍යයි.
මෙතනින් ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන්
පුහුණුවීම් කෙරීගෙන යන අතර තුර තේරීම් කඳවුරට දින නියමවීමත් එක්කම ශිෂ්‍යභටයින්ට උදාවෙන්නෙ ඉතාමත් වැඩ අධික කාලයක්. මොකද තේරීම් කඳවුරෙන් එළියට විසි උනොත් මෙතෙක් කල් හිතේ මෝදු වෙවී තිබ්බ බලාපොරොත්තු ඔක්කොම වතුරෙ යනවා. හැබැයි තේරීම් කඳවුරකින් තේරෙනවා කියන එක ඒ හැටි අමාරු දේකුත් නෙවෙයි. මොකද එක බලඇණියකින් පාසල් විසිපහකට විතර අවස්ථාව ලැබෙනවානෙ.
ශාරීරික අභ්‍යාස, සරඹ වගේම මම කලින් කියපු අනෙකුත් දේවල් කෙරෙහිත් දක්වන හැකියාවලට ලැබෙන ලකුණු මත තමයි ඊළඟ කඳවුරට යාමට සුදුසුකම් ලබනවාද නැද්ද යන්න තීරණය වෙන්නෙ. තේරීම් කඳවුරකදී සෙසු ශිෂ්‍යභටයින්ට ගිරවාගෙන් ගොඩ යා හැකි වුවත් බොහෝ වෙලාවට සැරයන්ගේ තත්වය ටිකක් බරපතලයි. ඔහුට සිදුවෙනවා යම් උපකල්පිත සිද්ධියකදී ඔහුගේ තීරණගැනීමේ හැකියාව පෙන්වන්න. කොටින්ම කිව්වොත් දැනුම කටපාඩමින් කියනවාට වඩා ප්‍රායෝගිකව යොදන හැටි පෙන්වන්න.
හරි දැන් ඔන්න අපි තේරීම කඳවුරෙන් පැනගත්තා කියමුකො. දැන් අපි ලෑස්ති වෙන්නෙ 'කෑම්ප්' යන්න හෙවත් වාර්ෂික ඇගයීම් කඳවුරට යන්න.

2. වාර්ෂික ඇගයීම් කඳවුර

ශිෂ්‍යභටයින්ගේ පිටත්වීම (ට්‍රන්ක පෙට්ටි පේනවනෙ)
වාර්ෂික තේරීම් කඳවුරකට සහභාගි වෙනවා කියන්නෙ ශිෂ්‍යභටයෙකුගේ සිහිනය බාගෙට සැබෑවීමක්. පාසල නියෝජනය කිරීමට කඳවුරට යන්ඩ වරම් ලැබිච්ච ශිෂ්‍යභටයො 25දෙනා අවශ්‍ය බඩුමුට්ටු පුරවාගත්තු ට්‍රන්කපෙට්ටිත් උස්සගෙන බලන් ඉන්නෙ තමුන්ට අදාළ බස් රථය එනකන්. බස් එක හතට කිව්වට පිටත් වෙද්දි අඩුමගානෙ දහයවත් වෙනවා. ට්‍රන්කපෙට්ටි ඔසවගෙන යාම නම් ඒකාලයේ ඉඳන් පැවතීගෙන එන සම්ප්‍රදායක්. දැන් ශිෂ්‍යභට ඛණ්ඩ මෝස්තරයටත් මේක කරනවා.
කඳවුර ළඟ බව කියන ගෝනා
ටයි කෝට් ගහලා බස් එකටත් නැග්ගා කියමුකො. දැන් ඉතින් පැය ගාණක් යන එකම තමයි තියෙන්නෙ. රන්දෙණිගලට යන්නත් ඕනනෙ. මේ ගමන නම් එපා වෙන්නෙ නෑ. බොහෝම ආසයි. දහ අට වංගුවේ කඳු අතර බස් අද්දන්නෙ නැතිව බඩ ගාපු හැටි තාම මතකයි. බස් එක සින්දු වලින් කුල්මත් වෙද්දි වටේ පිටේ පරිසරයත් ඇතිකරන්නෙ හරිම අමුතු හැඟීමක්.
හැන්දෑයාමෙ ඒ කිව්වෙ තුන විතර වෙනකොට බස් එකට කඳවුරේ ගේට්ටුව ගාවට එන්ඩ පුළුවන් වෙනවා. කට්ට කෑ යුතු ඒවගේම ජීවිතේට අත්දැකීම් එකතුකරන තවත් දවස් පහළොවක ආරම්භය. මුලින්ම කෙරෙන කාර්‍යය තමයි ශිෂ්‍යභටයින්ගේ ට්‍රන්ක පෙට්ටි පරීක්ෂා කිරීම. කඳවුර පිහිටලා තියෙන්නෙ රන්දෙණිගල-රන්ටැඹේ අභයභූමිය මැද නිසා වනයට පොලිතීන් එකතුවීම වළක්වන්න විශේෂයෙන් පොලිතීන් ඉවත්කරනු ලබනවා. ඊට අමතරව අනවශ්‍ය දේවල් ගෙනාවොත් මෙතනදී අතඩංගුවට පත්වෙනවා.
ඊටපස්සෙ අපි පෙට්ටි කරේ තියෙන් ලියාපදිංචි කිරීමේ පෝලිමේ. සමහර ශිෂ්‍යභටයින්ට මේ වෙලාවෙ තමුන්ගෙ නම ගමත් අමතක උනාලු. සමහර අවුරුදුවල එහෙම වෙච්ච අයව එවලෙම ආපහු පැටෙව්වා කියලත් ආරංචියි.
ලියාපදිංචි වීමෙන් පස්සේ තියෙන්නෙ ගබඩාවට ගිහින් කඳවුරේ සිටින කාලය තුළ අඳින පළඳින ඇඳුම් පැළඳුම්, නිල ලාංඡන ආදිය ලබාගැනීම. පිරිසක් ඒවා රැගෙන ඒමට යන අතර අනෙක් අය තමන්ට හිමිවූ භට නිවස්නය (බිලට් එක) සුද්ද පවිත්‍ර කිරීමේ නිරත වෙනවා. අඳින නිල ඇඳුම් පැළඳුම් සියල්ලම නොමිලයේ ලැබෙන්නෙ. ඒවායේ ඇති අඩුපාඩු තමුන්ට ගැළපෙන විදිහට හදාගැනීම ශිෂ්‍යභටයින්ගේ වගකීම. ගන්නකොට අඩුපාඩු නැතත් ඒවා ආපහු භාරගන්නකොට බලන්න ඕනෙ උන්දැගෙ ගෑස්. අඩුපාඩුවක් පෙන්නලා දඩයක් ගහනවාමයි. කඳවුර නිමවීමෙන් පස්සෙ මේ ඇඳුම් සියල්ල කඳවුරේම පිහිටා ඇති ලොන්ඩරියට යොමු කෙරෙනවා.
වර්තමානයේ ශිෂ්‍යභට පුහුණු කඳවුර වශයෙන් පාවිච්චි වෙන්නේ මහවැලි ව්‍යාපාරයේ සේවය කළ අයගේ නිල නිවාස වශයෙන් පාවිච්චි කළ නිවාස සංකීර්ණයයි. ලියාපදිංචි වීමත් සමඟ ඛණ්ඩයට එක නිවාසයක් හිමිවෙනවා. බිලට් එක පිළිවෙළට තබා ගැනීමත් ප්‍රධාන කාර්‍යයක්. මොකද ඒවාට ලකුණු ලැබෙනවානෙ.
භට නිවාසයන් පිරිසිදු කරලා බඩු මුට්ටු පිළියෙල කෙරෙන අතරේ කෙමෙන් කෙමෙන් කඳවුරට අඳුර ළඟාවෙනවා. රාත්‍රීකාලයට අලි මාමලා, දිවි මාමලා, කුළු හරක් මාමලා කඳවුර වටේටම. ඒක නිසා මොනම හේතුවකටවත් බිලට් එකෙන් එළියට නොබහින්න නියම කරලයි තියෙන්නෙ. සතුන් සර්පයන්ගෙන් අමතරව කඳවුරට තියෙන අනිත් තර්ජනය තමයි හොල්මන්. බුහ්හ් හාහ් හා
හොල්මන් කරන්නේ යන එවුන්ම ද? කියන්න දන්නෙත් නෑ. ඒත් මහවැලි ව්‍යාපාරයේ වැඩකළ විදේශික කාන්තාවක් හොල්මන් කරනවා කියන කටකතාව නම් කඳවුරට ගිය කෙනෙක් නොදැන ඉන්න විදිහක් නෑ. ඒ කාලෙ නිවාසයේ වැඩකරපු සේවක පිරිසක් විසින් දූෂණය කරලා මරාදාපු මේ කාන්තාව ඔවුන්ගෙන් පළිගන්න කඳවුර පුරා සැරිසරනවාලු. 'සුද්දිගෙ බිලට් එක' කියන නමෙන් තමයි ඇය වාසය කළ නිල නිවාසය හැඳින්වෙන්නෙ. ඒකෙ අංකය නම් දැන් මට මතක නෑ. කොහොමහරි ශිෂ්‍යභට පුරාවෘත්ත වල කියවෙන ආකාරයට මේ සුද්දිව දැකපු කීපදෙනෙක්ම ඉඳලා තියෙනවා. ඒවගේම සමහර කාලවල ඒ බිලට් එක අවට පිරිත් පවා කියලා තියෙනවාලු.
කඳවුරේ තියෙන රාජකාරි නම් රෑ දහයට ලයිට් නිව්වට පස්සෙත් ඉවර වෙන්නෙ නෑ. සමහරු ඇඳුම් පිළියෙළ කරන අතරෙ තව සමහරු බූට් පොලිශ් කරනවා. ඔය අස්සෙ ඉටිපන්දම් එළියෙන් පාඩම් කරන එවුන් මෙන්ම එහාට මෙහාට වෙලා ගෙවල් වලට වගේම තව තව අයට ලියුම් ලියන කට්ටියත් ඉන්නවා. ලියුම් ලියන කිව්වට හිනාවෙන්න දෙයක් නෑ. මොකද ඒ කාලෙ ජංගම තිබුනට එහෙ සිග්නල් නෑ. දත් මදින එව්වා නෙමෙයි අනික්වා. ඉතින් නෝකෝල්. ලියුම් වලින් තමයි ගණුදෙණු කෙරුනෙ. තාමත් එහෙමද මන්දා? ලියුම් කිව්වම හිනාකාලා මැරෙන කාරණාව තමයි කඳවුරට එන ලියුම් ඔක්කොම කඩලා බලන එක. ඒ ලියුම් ප්‍රසිද්ධියේ කියවලා අතට දෙනකොට ඉතින් ලියුම් අයිතිකාරයින්ට පොළව පලාගෙන යන්න හිතෙනවා ඇති.
ටිකෙන් ටික එළිය වැටීගෙන එද්දි පළාතම මාර ලස්සනයි. පේන පේන තැන් වටේම කඳු වගේම ඒවා මීදුමෙන් වැහිලා. ඒත් ඉතින් ඒ ලස්සන බල බල ඉන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ. ඉර එළිය වටින් ගොඩින් වැටෙද්දි ආයෙත් කඳවුර ක්‍රියාශීලී වෙනවා. උදේ පාන්දර පිරිසිදු වෙලා සුදු ෂෝටයි, බැනියමයි, කැන්වස් සපත්තු දෙකයි දාගෙන පෝලිම් ගැහෙන්න ඕනෙ ශාරීරික අභ්‍යාස වලට. උදේට නැගිටින්න කම්මැලියො නම් මේකට නියම උපායක් පාවිච්චි කරනවා. උන් නිදාගන්නෙම උදේට අඳින්න ඕනෙ ඇඳුම ඇඳගෙන. වෙන එකක් තියා සපත්තුත් දාගෙන. අනිත් එවුන් නාලා කරලා ඇඳුම් අඳිද්දී තමයි උන් නැගිටින්නෙ. උන් දුවලා මූණෙ වතුර ටිකක් ගාගෙන අනිත් උන්ටත් කලින් පෝලිමේ.
සුදෝ සුදු ඇඳුම් ඇඳගත්ත ශිෂ්‍යභටයෝ උදේට පිටියට එද්දි හරියට කිරි කොක්කු වගේ. මුලින්ම ජාතික ගීතයත් පස්සේ බලකා ගීතයත් කියලා තමයි දවසේ කාර්‍යයන් ඇරඹෙන්නෙ. ඔය පහළින් තියෙන්නෙ බලකා ගීය. කටපාඩමෙන් ලිව්වේ. වැරදි තියෙනවානම් කියන්ඩ මල්ලිලා.
සරඹ පිටියට
සෑම කල් රැඳී සිටින්නෙ සූදානමින්
මාතෘ භූමියේ උදාරවූ නාමයෙන්
පා ලයේ නැඟී තෙදින්- ජාතිකාභිමානයෙන්
ජීවිතේ වුවත් පුදා රටත් දැයත් රකිම්
මේ අපේ දේශයයි - ධීර වීරයන් උපන්
වීරයන් තැනූ මඟේ පෙරට පා තබම්
දේශ භක්තියෙන් වෙලී - දෑනුරාගයෙන්
ජීවිතේ වුවත් පුදා රටත් දැයත් රකිම්
මේක කියද්දි නම් නියම ගටක් එන්නෙ. ශාරීරීක අභ්‍යාස කළායින් පස්සේ තමයි උදේට කන්න තියෙන්නෙ. කඳවුරේ කෑම ගැන කියනවා නම් බාලද්ක්ෂයින්ට මෙන් කෑම හැදීම පිළිබඳ පුහුණුවීමක් නම් ශිෂ්‍යභටයින්ට ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට කඳවුරේ සේවකයන් පිළියෙල කළ කෑම ලැබෙනවා. හැබැයි පිළිවෙලකට ඉඳගෙන හැඳි ගෑරුප්පු වලින් තමයි කන්න ඕනෙ. රාත්‍රී ආහාර වේලෙදි ටයි කෝට් වලින් සැරසීම අනිවාර්‍යයි. කෑම ගැනීමේදී තියෙන විශේෂත්වය තමා මුළු ඛණ්ඩයම ආහාර ගැනීමට වාඩිවෙන්නේත් නැගිටින්නේත් සැරයන්ගේ අණ අනුවයි. "පුටු සද්ද කරන්ඩ එපා" කියලා ගිරිය පුප්පන සද්දෙත් ඇහෙනවාමයි.
කෑමෙන් පස්සෙ හවස් කාලය වෙනකන් සරඹ හෝ දේශන පැවැත්වෙනවා. සරඹ වෙලාවලදී සරඹ වරද්දලා බැනුම් අහලා, දේශන වෙලාවෙදි නිදාගෙන බැනුම් අහලා, හවස් කාලයේ අන්තිමට තමයි ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන්නෙ.
ඔය මං කිව්වෙ කඳවුරේ සාමාන්‍ය දින චරියාව. ඔය අතර විටින් විට පරීක්ෂණ වගේම සමහර දිනවලදී විශේෂ දේවලුත් තියෙනවා. එයින් පළමුවෙනි එක තමයි ධීර අභ්‍යාසය. මෙහිදී ශිෂ්‍යභටයින්ට සිදුවෙනවා බාධක තරණය කරන්න. විස්තර නෑ බලන්ඩකො පින්තූරු ටිකක්.
බෝක්කුවෙන් රිංගීම (හරි නම මතක නෑ)
අතුරේ යාම
අහස් ඉණිමඟ
නම මතක නෑ
ටාර්සන් වගේ යන්න ටාර්සන් රෝප්
ඊළඟට අවි පුහුණුව හා වෙඩි තැබීම. අවියක් පාවිච්චි කරන්නේ, ගළවන්නේ, පිරිසිදු කරන්නේ කොහොමද කියන තැන ඉඳන් උණ්ඩ පහකින් වෙඩි තියන්න ලැබෙනකන් මේ අවි පුහුණුව යනවා. අපි ඉන්න කාලෙ නම් පාවිච්චි කළේ .22 අවිය. මට මතකයි මට එකක්වත් ඉලක්කෙට තියාගන්ඩ බැරිවෙද්දි එහා පැත්තෙ එකා තමුන්ට දීපු උණ්ඩ පහෙන් හිල් නමයක් හිටින්ඩ වෙඩි තියපු හැටි.
.22 
ආසාම එක තමයි 'කොම්පස් මාර්ච්' එක. මාලිමාවත් සිතියමුත් ඒ ආශ්‍රිත දැනුමත් පාවිච්චි කරලා නොදන්නා කැලෑවක පාරක් හොයාගෙන එන එක කොච්චර විනෝදජනක වැඩක්ද? සමහර කාලවලදී නම් දිවියයි අරුයි මූයි ඉන්නවා කියලා කොම්පස් මාර්ච් එක කෙරුනේ නෑ.
මීට අමතර අවසාන දවසේ රාත්‍රියේ විවිධ ප්‍රසංගයක්ද පැවැත්වෙනවා. ඔය විදිහට එක් එක් අංශවලින් ලැබුණු ලකුණු අනුව තමයි ජයග්‍රාහකයා තේරෙන්නෙ. වාර්ෂික ඇගයීම් කඳවුරෙන් වැඩිම ලකුණුගත් ඛණ්ඩය හර්මන්ලොස් කඳවුර/ ද සොයිසා කඳවුර සඳහා සුදුසුකම් ලබනවා.

3. හර්මන්ලොස්/ ද සොයිසා කඳවුර

ශිෂ්‍යභටයෙකුට ලැබියහැකි ලොකුම සම්මානය එයයි
එක් එක් බල ඇණි මඟින් පැවැත්වූ වාර්ෂික ඇගයීම් කඳවුරේ ජයග්‍රාහකයින් තමයි හර්මන්ලොස් කුසලාන තරඟ බිමට එකතු වෙන්නෙ. කලින් කිව්ව බොහෝ දේවල්වලටම සමාන තරඟයකින් පස්සෙ වැඩිම ලකුණු ලබාගත් ඛණ්ඩය හර්මන්ලොස් කුසලාන ජයග්‍රහණය කරනවා. ශිෂ්‍යභටයෙකුට ලැබියහැකි ලොකුම සම්මානය එයයි.

ඔය ටික තමයි ඉතින් බොහෝම කෙටියෙන් කියන්ඩ තියෙන්නෙ. ඉස්සර නම් ශිෂ්‍යභට බලකායට යන ළමයි හමුදාවට යනවා කියන මතය නිසාම දෙමාපියන් ළමයින්ව ශිෂ්‍යභට බලකායට යොමු නොකරවීමේ නැඹුරුවක් තිබුනා ඒත් දැන් නම් ඒ නැඹුරුව නැති වෙලා. ඒත් ඊටත් වඩා දරුණු විදිහට පන්තියි විභාගයි ළමයින්ව ආක්‍රමණය කරලා. විශේෂයෙන් මධ්‍යම පන්තියේ ළමුන් ඉගෙනගන්නා පාසල්වල තත්වය බොහෝම දරුණුයි.
එහෙනම් "සූදානම් නොවී නොසිටිනු"

උපුටාගැනීම Facebook පොස්ටුවක් ඇසුරෙනි. මුල් කතෘට තුති.

No comments:

Post a Comment