September 16, 2014

පෝෂණ ගුණයෙන් සපිරි එළකිරි

කිරි අප ලබා ගන්නා ආහාර අතුරින් ශරීරය‍ට අවශ්‍ය පෝෂක සපයන උසස් පෝෂණ ගුණයෙන් පිරිපුන් දියරයකි. සමබර ආහාරයකි.
කිරි වලට ආවේණික පැහැයක් ,සුවක් හා රසයක් ඇත.භෞතික ලක්ෂණ සැලකීමේදි 96 ºC  හිදී උතුරයි. 100ºC ට වඩා රත් කිරීමේදි එහි පෝෂක විනාශ වේ. ආම්ලිකතාවය 6.5 කි. විශිෂ්ඨ ගුරුත්වය 1.027-1.035 ‍වේ.
කිරි වල සංයුතිය සැලකීමේදි ජලය 87.5% ක් හා ඝන ද්‍රව්‍ය 12.5% ක් අඩංගුය. අඩංගු ඝන ද්‍රව්‍ය අතර මේදය 3.5% ක් , ලැක්ටෝස් 4.8% ක්, ප්‍රෝටින 3.5% ක් හා ඛණිජ 0.7% කින් සමන්විත වේ. එළකිරි වල මෙම පෝෂක අනුපාතය ගව දෙනුන්ගේ වර්ගය ,පෝෂණ තත්වය හා පැටියාගේ වයස මත වෙනස් විය හැකිය.

මෙහි ප්‍රෝටින වර්ග තුනක් අඩංගුය. එනම් ලැක්ටොග්ලොබියුලීන් ,ලැක්ටොඇල්බියුමීන් හා කේසීන් වේ. මෙහි අන්තර් ගත කේසීන් ප්‍රෝටීනය ශරීරයට ඉතා වැදගත් වේ. හේතුව කේසින් ප්‍රෝටිනය සමග කැල්සියම් (Ca) බැදී තිබීමයි. කැල්සියම් (Ca) හෘදයේ ක්‍රියාකාරිත්වයට, හෝමෝන නිෂ්පාදනයට , අස්ථිවල අලුත්වැඩියාවට හා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට වැදගත් වන බැවින් කිරි පානය නිරෝගීකම රැක ගැනීමට ඉවහල් වේ. කැල්සියම් (Ca) වලට අමතරව කිරි වල පොස්පරස්(P) ද අඩංගුය. කිරි වල අඩංගු කැල්සියම් හා පොස්පරස් අනුපාතය කැල්සියම් ශරීරයට  අවශෝෂණයට හිතකර ලෙස බලපායි. කිරි ලීටරයක් මගින් Ca 1200 mg(මිලි ග්රෑම්) ද P 900 mg(මිලි ග්රෑම්) ක්ද ලබා දෙයි.
කිරි ඇතැම් පුද්ගලයින් හට ආසාත්මිකතාවයක් ඇති කරයි. ඒ කෙරෙහි කිරිවල ඇති ලැක්ටොග්ලොබියුලීන් බලපායි. ඉගුරු ,ගම්මිරිස් හෝ කලාදුරු ස්වල්පයක් තලා එක් කර කිරි රත්කිරීම මගින් එම ආසාත්මිකතාවය මග හරවා ගත හැක.

කිරි ඉතා ඉහළ පෝෂණ ගුණයක් ඇති දියරයක් බැවින් ක්ෂුද්‍ර  ජීවි වර්ධනය වැඩිය.එම නිසා කිරි ඉක්මනින් නරක්‍ වේ . එම නිසා පිරිසිදු නැවුම් කිරි භාවිතය ඉතා වැදගත්ය. ශිතකරණයක පැය 06 කට වඩා කිරි තබා ගත නොහැකි අතර ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදානාගාර වල ශීතකරණ ටැංකි තුළ (farm tank තුළ) 4ºC- 6 ºC උෂ්ණත්වයේ දිනක් තබා ගත හැකිය.

කිරි කල් තබා ගැනිම තාපය සැපයීමේ ක්‍රමය මගින් , ජලය ඉවත් කිරීම මගින් හා කිරි නිෂ්පාදන සැකසිම මගින් සිදු කරයි. තාපය සැපයීමේ ක්‍රම යටතේ පැස්චරීකරණය හා ජීවානුහරණයද දැකිය හැක. ජලය ඉවත් කිරීම මගින් පිටි කිරි නිෂ්පාදනයද  කිරි නිෂ්පාදන සැකසීම යටතේ යෝගට් , මුදවාපු කිරි , චීස්, බටර්, අයිස් ක්‍රීම් හා කිරි ටොෆි ආදි නිෂ්පාදන ද දැකිය හැක.

පැස්චරීකරණය කිරීමේදි කිරි සෙල්සියස් අංශක 63 දක්වා රත්කර එම උෂ්ණත්වයේම මිනිත්තු 30 ක් තබා ඉතා ඉක්මනින් සෙල්සියස් අංශක 4 දක්වා සිසිල් කරනු ලබයි. පැස්චරීතරණය කල කිරි කල් තබා ගැනීමේදි ශීතකරණ උෂ්ණත්වයේ තැබිය යුතුය. මෙය සෞඛ්‍ය ආරක්ෂිතය. පෝෂ්‍ය ගුණය ආරක්ෂා වී ඇත. රසය වෙනස් නොවී පවතී.

කිරි ජීවානුහරණයේදි සෙල්සියස් අංශක 120 දක්වා උණු කර සෙල්සියස් 60 – 70 දක්වා උෂ්ණත්වයේදි බෝතල් වල දමා සීල් කර නැවත සෙල්සියස් 120 දක්වා මිනිත්තු 20- 60 ක කාලයක් රත් කරනු ලැබේ. මෙහිදී සියලුම විෂබීජ විනාශකර ඇති නිසා වැඩි කාලයක්‍ සෞඛ්‍යාරක්ෂිතව කාමර උෂ්ණත්වයේ තබා ගත හැක. රසය වෙනස් වනුයේ සුලු වශයෙනි. කෘතිම රසායනික ද්‍රව්‍ය එකතු විමක් සිදු නොවේ. විවෘත කරන තුරු ශීතකරණයේ තැබිය යුතු නොවේ.

කිරි පිටි නිෂ්පාදනයේදි සාන්ද්‍ර කළ කිරි මීදුම් වලාවක් සේ රත්කරන ලද වාතය තුළින් විසුරුවා හරිනු ලැබේ. මෙහිදී කිරි තුනී පටලයක් සේ කැරකෙන සිලින්ඩර තුළින් යවන අතර වාෂ්ප මගින් රත් කරනු ලැබේ. මෙහිදී කිරිවල ඇති ජලය ,මේදය සමග විටමින් A, D ද ඉවත් වේ. සමහර අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ද අධික උෂ්ණත්වයේදි විනාශ වේ. වියළි කිරි පිටි වාතයට නිරාවරණය වු විට මේද ඔක්සිකරණය වී අප්‍රසන්න ගදක් ඇති කරන අතර  නරක් විමට තුඩු දෙයි.
වඩා පෝෂ්‍යදායි නැවුම් එළකිරි පරිභෝජනය මන්දපෝෂණය දුරු කර විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉවහල්  වේ.

සකස් කළේ: කේ. ඩී. පී. ඩී. සිරිවර්ධන, විද්‍යා හා තාක්ෂණ නිළධාරි- බලපිටිය(පුහුණු වීම් ඇසුරිනි)

2 comments:

Post a Comment