ඈනුමක උපත – අප උපදින්නටත් පෙරම…

Share

ඈනුමක උපත – අප උපදින්නටත් පෙරම…
දිනක් දේශනයකට සහභාගි වෙමින් සිටි මා හට එක දිගටම ඈනුම් අරිමින් සිටින්නට වුනා. ඉතාමත් නීරස වූ දේශනය අසා සිටීමට අවශ්‍ය වුවත් එක දිගටම ඈනුම් යාම ඊට බාධාවක් වුනා. මා පමණක් නොව අසල සිටි සියල්ලටම “ ඈනුම බෝ වන්නට” වුණා. අපට පමණක් නොව කොයි කාටත් ඈනුම් යාම සාමාන්‍ය දෙයක්. මේ නිසාම මට ඈනුම් යාම ගැන ටිකක් සොයා බලන්නට සිතුණා.
අන්තර්ජාලයෙන් මේ පිළිබඳව විපරම් කිරීමේදී අරුම පුදුම කරුණු රාශියක් මට දැන ගන්නට ලැබුනා. ඔබත් කැමැතිද ඒ පිළිබඳව දැන ගන්න?
මුලින්ම අප ඈනුම් ඇරීමට පටන් ගන්නේ මවගේ ගර්භාෂයේ සති 11ක් පමණ කලලය වැඩුණු පසු බවයි රොබට් ප්‍රෝවයින් නම් විද්‍යාඥයා  පවසන්නේ. ඔවුන් සිදු කල පරීක්ෂණ මගින් හෙළි වී ඇත්තේ සිරුර ලිහිල් කර ගැනීමටත්, කම්මැලිකම මග හරවා ගැනීමටත් ඈනුම් ඇරීම සිදු කරන බවයි.

වීඩියෝ පටයක්:-  www.telegraph.co.uk
ඈනුමක් ඇරීමේදී විශාල ලෙස මුඛය පුළුල් කර ගැඹුරු හුස්මක් අප සිරුර තුලට ගැනීම සිදු කරනවා. මෙහිදී අප සිරුරේ බොහෝ කොටස් ක්‍රියාකාරී වීම සිදු වෙනවා. මුලින්ම මුඛය විශාල ලෙස ඇරීම නිසා හනු වල චලනය සිදු වෙනවා. එවිට වැඩි වායු ප්‍රමාණයක් පෙනහලු තුලට ගැනීමට හැකි වීම තුලින් පෙනහලු හොඳින්ම වාතනය වීම සිදු වෙනවා. එක් ඈනුමක් මගින් අපගේ හෘද ස්පන්දන සීග්‍රතාව 30% කින් පමණ වැඩි වන අතර රුධිර සංසරණය වේගවත් වී වායු හුවමාරුවද වැඩි වී සිරුර සිසිල් කිරීම සිදු කරනවා.
ඇයි අපි ඈනුම් අරින්නේ?
විද්‍යාඥයන්මේ සඳහා කල්පිත 4ක් ඉදිරිපත් කර තිබෙනවා.
(1) The physiological theory
සිරුර තුලට වැඩි O2 ප්‍රමාණයක් ඇතුළු කර ගැනීමටත්, සිරුර තුල නිපද වී ඇති CO2 වැඩි ප්‍රමාණයක් එකවර බාහිර පරිසරයට නිකුත් කිරීමටත් ඈනුම් ඇරීම සිදු කරන බව මෙම කල්පිතයෙන් පැහැදිලි කරනවා. “ඈනුම් බෝ වීම” සිදු වන්නේ මේ නිසා බව පරීක්ෂණ වලින්ද හෙලි වී තිබෙනවා. “ බෝ වීමක්” ලෙස හඳුන්වනු ලබන්නේ විශාල පිරිසක් සිටින ස්ථානයක එක් පුද්ගලයකු ඈනුමක් ඇරිය පසු අනෙක් අය තුලද ඈනුම් ඇරීමට පෙළඹීමක් ඉබේටම ඇති වීමයි. මෙහිදී සිදු වන්නේ විශාල පිරිසක් ගැවසෙන ස්ථානයක වාතයේ CO2 ප්‍රමාණය ඉහළ යාම නිසා පෙනහලු තුලට වැඩි O2 ප්‍රමාණයක් ලබා ගැනීමට ඈනුම් ඇරීම සිදු කිරීමයි.

(2) The evolution theory
අපගේ ආදි මුතුන්මිත්තන් තම සතුරන්ට දත් විලිස්සා තැති ගැන්වීම තුලින් ඈනුමේ උපත සිදු වූ බව මෙම කල්පිතයෙන් පෙන්වා දෙනවා.

(3) The boredom theory
කම්මැලිකම, නිදිමත, මහන්සිය නිසා ඈනුම් ඇරීම සිදුවන බව මෙම කල්පිතයෙන් පැහැදිලි කරනවා.

(4) The brain cooling theory
නවීනතම සොයා ගැනීම වන්නේ ඈනුම් ඇරීම සිදු වන්නේ මොළය උණුසුම්ව තිබෙන විටදී බවය. ඈනුම් ඇරීම මගින් මොළය සිසිල් වන බවත් එමගින් පැහැදිලිව සිතීමේ ශක්තිය වැඩි වන බවත් ඔවුන් අනුමාන කරනවා.

අන්තර්ජාලයෙන් මා කියවූ එක් ලිපියක සඳහන් වූයේ ලිපිය කියවා අවසන් වන විට අවම වශයෙන් එක් වරක්වත් ඈනුමක් ගියොත් පුදුම නොවන ලෙසයි. කිවූ ලෙසම මට ද ඒ දෙය සිදු වුණි. මගේ ලිපිය අවසානයේ ඔබට ද එලෙස වුවහොත් පුදුම නොවන්න. ඈනුමක් දැකීම, ඇසීම මඟින් ද “බෝ විය හැක”.

බල්ලෙක්, සතුරකුට පහර දීමට පෙර ඈනුම් ඇරීමත්, ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට පෙර ඈනුම් ඇරීමත් විශ්මයජනක ය. සතුන් ඈනුම් අරින්නේ අනතුරු හැඟවීමට බව සඳහන් වේ. මෙමඟින් ඔවුන්ගේ රදනක දත් (canie teeth) පෙන්වා සතුරාව බිය වැද්දීම සිදු කරයි.

ක්‍රීඩකයන් ක්‍රීඩාව ආරම්භයට පෙර ඈනුම් අරින්නේ වැඩිපුර 02 දේහයට ලබා දී වැඩි ශක්තියක් නිපදවා ජවයෙන් ක්‍රීඩා කිරීමටයි.

නොදැනුවත්ව සිදු වුවත් ඈනුමත් හරි පුදුම සිදුවීමක් නේද?

පින්තූරය:- ඈනුමක් අරින කළලයක scan පින්තූරයක් – www.sunflowerhospi

විස්තර:- science.howstuffworks.com