Main Logo

Wednesday 3 September 2014

අමරතුංග මහතාට ෆෙයරාබන්ඩ් ගේ පිහිටයි

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා කී පරිදි ම තමන්ට නො තේරෙන සුසමාදර්ශයක්‌ ගැන කීමට ගොස්‌ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම අනාගෙන ඇත. ඔහු කළ යුතු ව තිබුණේ කූන් ගේ පොතෙන් පාඨ උපුටා දක්‌වමින් ඒ වැරැදි බව පෙන්වා දීම ය. එහෙත් ඒ වෙනුවට ඔහු සුපුරුදු පරිදි කර ඇත්තේ තමා කූන් ගේ පොත හෝ ඔහු ගේ විවේචකයන් කූන් ගැන කියා ඇති දේ හෝ ඔහුට කවුරුන් කියා ඇති දෙයක්‌ හෝ ඔහු තේරුම්ගත් ආකාරයට ලියා දක්‌වා තමා ලියා දැක්‌වූ දේ නිවැරැදි යෑයි කීම ය. අමරතුංග මහතාට දර්ශනය (බටහිර හෝ පෙරදිග හෝ) වැනි විෂයයක්‌ තේරුම්ගැනීමට හැකියාවක්‌ නැති බව නම් ඔහු තම ලිපිවලින් නැවත නැවතත් පෙන්නුම් කරයි. 

අමරතුංග මහතා ගේ උපක්‍රමය වී ඇත්තේ ඔහු ගේ ඊනියා අභියෝගවලට මා කිහිප වතාවක්‌ ම පිළිතුරු දී ඇති නමුත් පිළිතුරු දී නොමැති බව පවසමින් මා නැවත පිළිතුරු දීම වළක්‌වා මගේ අවධානය වෙනත් අතකට යොමු කිරීම බව පෙනෙයි. කූන් ගේ සුසමාදර්ශය මේ සංවාදයට අදාළ නැති මුත් ඔහු ඒ ගැන තමන් නො දන්නා දේ ලියයි. එහෙත් ඒ මහතා තවමත් බටහිර වෛද්‍ය පීඨයක වකුගඩු රෝගය පිළිබඳ දේශනයක්‌ පැවැත්වීමට මට අවස්‌ථාව ලබා දී නැත. එය මා ඉල්ලූ දෙයක්‌ නො ව අමරතුංග මහතා ගේ ඊනියා අභියෝගයකට මා ප්‍රතිචාර දැක්‌වීමෙන් පැනනැ`ගුණකි. ඒ මහතාට බටහිර වෛද්‍ය පීඨයක හෝ දන්ත වෛද්‍ය පීඨයක හෝ එය සංවිධානය කිරීමට නොහැකි නම් ඒ මහතා පෞද්ගලික දන්ත වෛද්‍ය සායනයක්‌ පවත්වාගෙන යන මහනුවර පේරාදෙණිය පාරේ ආයතනයේ දේශනාගාරයේ එය සංවිධානය කළ හැකි ය. අමරතුංග මහතාට එහි කටයුතු සම්බන්ධයෙන් බලපෑමක්‌ කළ හැකි යෑයි සිතමි. මා දන්නා තරමට ම මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා අයින්ස්‌ටයින් ගේ ලංකාගමනය පිළිබඳ දේශනය මහනුවර දී පවත්වා ඇත්තේ එකී දේශනාගාරයේ දී ය. එමෙන් ම මට දැනගැනීමට ලැබුණු ආකාරයට විද්‍යා සංවාද කුලකයේ රැස්‌වීම ද එහි පැවැත්වීමට අවස්‌ථාව ලබා දිය හැකි බව අමරතුංග මහතා සංවිධායකයන්ට දැනුම් දී ඇත. 

අනෙක්‌ අතට අමරතුංග මහතා භෞතික විද්‍යාව සාධාරණ සාපේක්‌ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක්‌ පැවැත්වීමට ඉදිරිපත් නො වෙයි. එය කළ නොහැකි නම් බටහිර විද්‍යාවේ දර්ශනයක්‌ නැත යනුවෙන් හෝ අදාළ වෙනත් මාතෘකාවක්‌ යටතේ හෝ දේශනයක්‌ පැවැත්වීමට ඒ මහතා ඉදිරිපත් වන්නේ ද? කවදත් කොතැනත් පැවතියේ එක ම විද්‍යාවක්‌ යෑයි අමරතුංග මහතා කියන බැවින් ඒ මහතාට අනුව බටහිර විද්‍යාවට වෙන ම දර්ශනයක්‌ තිබිය නො හැකි ය. එසේ වන්නේ ඒ මහතාට අනුව බටහිර විද්‍යාව යනුවෙන් දැනුම් පද්ධතියක්‌ නොමැති බැවිනි. නොමැති දැනුම් පද්ධතියකට දර්ශනයක්‌ තිබිය නො හැකි ය. එහෙත් මේ ලිපියෙහි මා පසුව පෙන්වා දෙන ආකාරයට ඔහු බටහිර විද්‍යාවේ දර්ශනය සම්බන්ධයෙන් කූන්ට එරෙහි ව පොපර් ගේ පැත්ත ගනියිෘ අවශ්‍ය නම් අමරතුංග මහතාට කවදත් කොතැනත් පැවතියේ එක ම විද්‍යාවක්‌ ය යන මාතෘකාව යටතේ දේශනය පැවැත්විය හැකි ය. දේශනයක දී ඒ මහතා ගෙන් දිගින් දිගටම එක තැන තබාගෙන ප්‍රශ්න ඇසීමට අසන්නන්ට අවස්‌ථාව ලැබේ. එවිට ප්‍රශ්නවලින් පැන යැමට ඒ මහතාට නොහැකි වනු ඇත. මහනුවර දී විද්‍යා සංවාද කුලකය සංවිධානය කළ රැස්‌වීමේ දී කීර්ති තෙන්නකෝන් මහතා නිව්ටෝනීය සංකල්ප හා අයින්ස්‌ටයිනීය සංකල්ප අතර වෙනසක්‌ ඇති බව ප්‍රකාශ කFළ් ඒ මහතා ගෙන් ප්‍රශ්න ඇසීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. ගුරුත්වාකර්ෂණ සංකල්පය හා අවකාශ කාල වක්‍රතා සංකල්පය වෙනස්‌ බවත් දෙවැන්න පළමුවැන්නෙහි වර්ධනයක්‌ (අවශ්‍ය නම් රේ‚ය දිගුවක්‌) නො වන බවත් තෙන්නකෝන් මහතා පිළිගත්තේ ය. 

බටහිර විද්‍යාව පිළිබඳ මා ගොතා ඇති කතාවට කූන් හෝ ෆෙයරාබන්ඩ් හෝ අවශ්‍ය නො වේ. එහෙත් අමරතුංග මහතා එසේ සිතා සිටින බවත් කූන් ද ෆෙයරාබන්ඩ් ද පශ්චාත්නූතනවාදීන් බවත් මා ද එසේ ම පශ්චාත්නූතනවාදියකු බවත් අමරතුංග මහතා විශ්වාස කරන බවත් දනිමි. එය එසේ නො වන බව පෙන්වීම සඳහා පමණක්‌ මම ෆෙයරාබන්ඩ් හා කූන් ගැන ලියා ඇත්තෙමි. ඔවුන් පශ්චාත්නූතනවාදීන් නො වන බව මා මුල් ම ලිපිවල පෙන්වා දී ඇත. ඒ ලිපිවලට කිසි ම ප්‍රතිචාරයක්‌ නො දක්‌වන අමරතුංග මහතා කූන් ගැන නැවත ලියන්නේ යමක්‌ අවබෝධ කරගැනීමට තමන්ට ඇති නො හැකියාව විදහා දක්‌වමිනි. කූන් හා ෆෙයරාබන්ඩ් ගැන ලිවීම මගේ කතාවට අදාළ නැති නමුත් අමරතුංග මහතා ගේ අසන්තතික බව හා අනවබෝධය පෙන්වා දීම සඳහා පමණක්‌ කරුණු කිහිපයක්‌ කිව යුතු ය. බටහිර විද්‍යාව පිළිබඳ මගේ කතාව ගෙතෙන්නේ කූන් ගේ හෝ ෆෙයරාබන්ඩ් ගේ අදහස්‌ මත නො ව මා පිළිගන්නා බුදුදහම මත ය. එහි අමරතුංග, ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ වැනි අය ගේ බුදුදහමෙහි මෙන් නො ව පටිච්ච සමුප්පාදය ද එබැවින් භව ජාති ජරා මරණ ද ඇත. මම විභඡ්ජවාදය, ධර්මවාදය හා ක්‍ෂණවාදය ප්‍රතික්‌ෂේප කරන නමුත් පුනබ්භවය ප්‍රතික්‍ෂේප කරන මිසදිටුවෙක්‌ නො වෙමි. බුදුන් වහන්සේ කිසි ම වාදියකු නො වූ බව ඉතා පැහැදිලි ය. ඉහත කී වාද ථෙරවාදයට ඇතුළත් වී ඇත්තේ තුන්වැනි සංගායනාවත් සමග බව පැහැදිලි ය. 

පසුගිය අගෝස්‌තු 27 වැනි දා පළ වූ අමරතුංග මහතා ගේ ලිපියෙහි වැකි කිහිපයක්‌ උපුටා දක්‌වමි. ඒ ලිපියෙහි තුන්වැනි ඡේදයෙහි අමරතුංග මහතා මෙසේ සඳහන් කරයි. "තෝමස්‌ කූන්ට මෙවැනි අදහස්‌ ලැබුණේ ඔහු ගේ සමකාලීන චින්තකයකු වූ පෝල් ෆෙයරාබෙන්ඩ් ගේ ආභාසය නිසා බව පෙනේ. පෝල් ෆෙයරාබෙන්ඩ් වනාහි මානසික ස්‌ථාවරත්වයක්‌ පෙන්වූ පුද්ගලයෙක්‌ නො වී ය. හෙතෙම කලින් කලට එක්‌ එක්‌ මතවාදවල එල්බගෙන අදහස්‌ පළ කළ පුද්ගලයෙක්‌ විය. විද්‍යා දාර්ශනිකයන් ඔහු හෝ ඔහු ගේ අදහස්‌ හෝ වැදගත් යෑයි සැලකුවේ නැත. කූන් සහ ෆෙයරාබන්ඩ් ගේ අදහස්‌ පිළිගත්තේ විද්‍යාවේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කළ මිථ්‍යා මතවල එල්බගෙන සිටි ව්‍යාජ විද්‍යාඥයන් සහ පශ්චාත්නූතනවාදීන් පමණි" 

අමරතුංග මහතා මේ සියල්ල කියන්නේ කිසි ම සාධකයක්‌ ඉදිරිපත් නො කර ය. ඔහුට අනුව වුව ද ෆෙයරාබන්ඩ් චින්තකයෙකි. එහෙත් ඒ සමග ෆෙයරාබන්ඩ් මානසික ස්‌ථාවරත්වයක්‌ පෙන්වූ පුද්ගලයෙක්‌ නො වී ය. මානසික ස්‌ථාවරත්වයක්‌ නැති පුද්ගලයෙකු චින්තකයකු වූයේ කෙසේ දැයි අමරතුංග මහතා පැහැදිලි කරන්නේ ද? ෆෙයරාබන්ඩ් කලින් කලට එක්‌ එක්‌ මතවාදවල එල්බගෙන සිටි බවට අමරතුංග මහතා පවසන්නේ කිනම් සාධක මත පදනම් වී ද? මේ එක්‌ එක්‌ මතවාද කවරේ ද? අනෙක්‌ අතට ගුණදාස අමරසේකර මහතා තරම් කලින් කලට තම අදහස්‌ වෙනස්‌ කර ගන්නා අයකු සිටී දැයි සැක සහිත ය. අමරසේකර මහතා ශ්‍රී ල නි පක්‌ෂය සම්බන්ධයෙන් තම අදහස්‌ කී වරක්‌ වෙනස්‌ කරගෙන ඇත් ද? එපමණින් අමරතුංග මහතා ගුණදාස අමරසේකර මහතා ගේ දොසක්‌ දකින්නේ ද? 

ෆෙයරාබන්ඩ් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ධුරයක්‌ දැරූවෙකි. මට කැලිෆෝනියා විශ්වවිද්‍යාලය වැදගත් නො වූවත් අමරතුංග මහතා ඇතුළු මෙරට උගතුන් යෑයි කියාගන්නා අයට එය ලෝකයේ ඉහළ විශ්වවිද්‍යාලයකි. එවැනි විශ්වවිද්‍යාලයක්‌ මානසික ස්‌ථාවරත්වයක්‌ නැති පුද්ගලයකු එහි මහාචාර්ය ධුරයකට පත් කරගනී වි ද ? එසේත් නැත හොත් ඒ විශ්වවිද්‍යාලයයේ ඇත්තේ විද්‍යාවේ දියුණුවට ඊර්ෂ්‍යා කළ ව්‍යාජ විද්‍යාඥයන් හා පශ්චාත්නූතනවාදීන් ද? කූන් බොස්‌ටන්හි මැසචුසෙට්‌ස්‌ තාක්‌ෂණික ආයතනයේ (MIT) මහාචාර්ය ධුරයක්‌ ලැබ එහි යැමට පළමු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ ද සේවය කර ඇත. මැසචුසෙට්‌ස්‌ තාක්‌ෂණික ආයතනයේ ද ඇත්තේ ව්‍යාජ විද්‍යාඥයන් හා පශ්චාත්නූතනවාදීන් ද? 

තම අගෝස්‌තු 27 වැනි දා ලිපියෙහි තුන්වැනි වගන්තියෙන් ඉහත සඳහන් රුවන් වැකි පළ කළ අමරතුංග මහතා එම ලිපියෙහි ම අවසාන ඡේදයට කලින් ඡේදයෙහි මෙසේ කියයි. "තෝමස්‌ කූන් ගෙන් ආභාසය ලද පෝල් ෆෙයරාබෙන්ඩ් ගෙන් නම් සිදු වූයේ අවැඩක්‌ මිස යහපතක්‌ නො වේ" අමරතුංග මහතාට අනුව ෆෙයරාබන්ඩ් කූන් ගෙන් ද, කූන් ෆෙයරාබන්ඩ් ගෙන් ද අභාසය ලබා ඇත. මෙය නො සිදු විය හැක්‌කක්‌ නො වේ. එහෙත් අමරතුංග මහතා ලියන්නේ ඒ දෙදෙනා එකිනෙකා ගෙන් ආභාසය ලැබූ බව කීමට නො වේ. ඔහුට තමා තුන්වැනි ඡේදයෙහි කී දෙය ලිපිය අවසානයට එන විට අමතක වී ඇත. අමරතුංග මහතා තමා දරන අදහස්‌ සනාථ කිරිම සඳහා ඕනෑ ම බොරුවක්‌ කීමට සූදානම් ය. අමරතුංග මහතා කියන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව ය. අපට කියන්නට ඇත්තේ අමරතුංග මහතා කවදත් කොතැනත් කීවේ, කියන්නේ බොරු බව ය. එමෙන් ම කවදත් කොතැනත් ඔහුට යමක්‌ සංගත ව කීමට බැරි බවත් බටහිර දර්ශනය බටහිර භෞතික විද්‍යාව වැනි වියුක්‌ත බවින් වැඩි විෂය අවබෝධ කරගැනීමට නොහැකි බවත් ය. ඒ මහතා ඉගෙන ඇති ජෛවීය විද්‍යාවන් එතරම් වියුක්‌ත නැත. 

අමරතුංග මහතා ගේ අනවබෝධය නිසා නොම`ග නො ගොස්‌ අපි සුසමාදර්ශය යනුවෙන් කූන් කියන්නේ කුමක්‌ ද යන්න පැහැදිලි කරගැනීමට උත්සාහ කරමු. එසේ කිරීමේ දී අමරතුංග මහතා ගේ ඊනියා අභියෝගවලට නැවත පිළිතුරු දීම ද පමා වන නමුත් මේ වැදගත් කරුණ පැහැදිලි කරගත යුතු ය. අමරතුංග මහතා කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව ය යන්න අදහන නමුත් බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන බව පුන පුනා කීවෝ ය. එය බේකන් ගේ කාලයේ සිට අද දක්‌වා ම බටහිර විද්‍යාඥයන් හා බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් අතිමහත් බහුතරයක ගේ මතය වෙයි. එයට පටහැනි මතයක්‌ දරන සුළුතරයක්‌ ද බටහිර වෙයි. 

මා මෙහි දී බහුතරයේ මතයක්‌ ගැන සඳහන් කරන්නේ අප බහුතරයක්‌ දරන අදහස නිසා එය පිළිගත යුතු යෑයි කීමට නො ව හුදෙක්‌ පාඨකයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ය. අපි අමරතුංග මහතාට ම සවන් දෙමු. ඔහු තම අගෝස්‌තු 27 වැනි දින ලිපියෙහි මෙසේ කියයි. "කාල් පොපර් නමැති අග්‍ර ගණයේ විද්‍යා දාර්ශනිකයා ගේ මතවාදයක්‌ වූ අසත්‍යකරණය (Theory of Falsification)
තෝමස්‌ කූන් ගේ විවේචනයට ලක්‌ විය. පොපර් ගේ අදහස වූයේ විද්‍යාත්මක මතවාද හා සොයාගැනීම් ආගමන ශාස්‌ත්‍රය (Iduction) මඟින් ඔප්පු කරනවාට වඩා සුදුසු වන්නේ එම මතවාදය හෝ සොයාගැනීම අසත්‍යයක්‌ බව විද්‍යාත්මක ක්‍රම එනම් ප්‍රධාන වශයෙන් ආනුභූතික ක්‍රම (Empirical) මඟින් පෙන්වා දිය හැකි වීම බව ය. මින් අදහස්‌ වන්නේ මතවාද හෝ සොයාගැනීම් අසත්‍යයක්‌ බව ඔප්පු කිරීම නො ව අසත්‍යයක්‌ බව ඔප්පු කිරීමට විද්‍යාවට හැකි බව පෙන්වා දීම ය. කාල් පොපර් ගේ මේ අදහසට විරුද්ධ වූ තෝමස්‌ කූන් පැවසුවේ විද්‍යාඥයන් තම පර්යේෂණවල සිදු කරන්නේ අසත්‍යකරණය නො වන බව ය. විද්‍යාඥයන්ට අසත්‍යකරණයක නිරත විය නොහැකි බව කූන් පැවසුවේ ය. සුසමාදර්ශය තුළ අසත්‍යකරණය සිදු වන්නේ නැති බව ඔහු පැවසුවේ ය. වැදගත් වන්නේ එය සිදු වනවා ද නො වනවා ද නො ව සිදු විය යුතු බව ය. කාල් පොපර් ගේ අදහස වූයේ එය ය."

ඉහත සඳහන් ඡේදයෙහි අමරතුංග මහතා ගේ සුපුරුදු අනවබෝධය අවුල් බව වෙයි. අපට එයට වඩා වැදගත් වන්නේ අමරතුංග මහතා කාල් පොපර් ගේ අදහස්‌ තමන්ට තේරෙන අයුරෙන් වුවත් පිළිගැනීම ය. අමරතුංග මහතා පටලැවිලි සහගත ව වුවත් කියන්නේ කූන් සුසමාදර්ශය තුළ අසත්‍යකරණය සිදු වන්නේ නැති බව පැවසුවත් පොපර් ගේ අදහස වූයේ වැදගත් වන්නේ එසේ සිදු වන්නේ ද නැත් ද යන්න නො ව එය සිදු විය යුතු බව ය. 

කාල් පොපර් නම් ඊනියා අග්‍රගණ්‍ය බටහිර විද්‍යාවේ දාර්ශනිකයා හා කූන් නම් ඊනියා පශ්චාත්නූතනවාදියා අතර මේ විවාදය බටහිර විද්‍යාව සම්බන්ධයෙනි. ඒ සිංහල පාරම්පරික වෙදකම ගැන නො වේ. සිංහල පාරම්පරික වෙදමහත්වරු තම වෙදකමේ අසත්‍යකරණයක්‌ ගැන නො සිතුවෝ ය. එසේ ම එය ආයුර්වේදයේ හෝ චීන සාම්ප්‍රදායික වෙදකමේ දර්ශනය ගැන නො වේ. පොපර් ද කූන් ද බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන්ගෙන් වෙන් කර සැලකුවෝ ය. ඔවුන්ට ප්‍රශ්නය වූයේ බටහිර විද්‍යාව වර්ධනය වන්නේ කෙසේ ද යන්න ය. එහි දී පොපර් එක්‌ මතයක්‌ ඉදිරිපත් කළ අතර කූන් වෙනත් මතයක්‌ ඉදිරිපත් කළේ ය. අමරතුංග මහතා එහි දී කූන්ට පහර ගැසීමට පොපර් ගේ පැත්ත ගනියි. කිනම් පැත්තක්‌ ගත්තත් ඉන් කියෑවෙන්නේ අමරතුංග මහතාට අනුව වුව ද බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙන් වන බව ය. අර කවදත් කොතැනත් පැවතුණේ එක ම විද්‍යාව බව කියන මන්ත්‍රය අමරතුංග මහතාට මෙහි දී අමතක වීම ගැන ඒ මහතාට කීමට ඇත්තේ කුමක්‌ ද? අමරතුංග මහතාට සංගත ව කරුණු ඉදිරිපත් කළ නො හැකි ය. ඔහු මෙහි දී බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන බව පිළිගන්නවා පමණක්‌ නො ව ඊනියා අග්‍රගණ්‍ය පොපර් කූන්ට එරෙහි ව ආරක්‌ෂා කරයි. 

බටහිර විද්‍යාවේ පැරණි දාර්ශනිකයෝ එය වර්ධනය වන්නේ උද්ගමනය (Induction) පදනම් කරගෙන යෑයි කීවෝ ය. එයට ආගමන ශාස්‌ත්‍රය යෑයි අමරතුංග මහතා කියයි. අමරතුංග මහතාට හදිසියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මතක්‌ වී ද? අමරතුංග මහතා වචන ගැන සැලකිල්ලක්‌ නො දක්‌වන්නේ ඔහු ගේ අවුල් මනසට නිරවුල් අදහස්‌ ගෝචර නො වන නිසා ය. අමරතුංග මහතාට උද්ගමනය කිම, ආගමනය කිම, ගමනය තිබී නම් ඒ හොඳට ම ප්‍රමාණවත් ය. කෙසේ වුවත් ආගමන ශාස්‌ත්‍රය වැදගත් වන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මිස බටහිර විද්‍යාවට හෝ එහි දර්ශනයට හෝ නො වේ. 

බටහිර විද්‍යාවේ ප්‍රධාන ප්‍රශ්න වනුයේ දැනුම යනු කුමක්‌ ද යන්නත් ඒ දැනුම ලබාගන්නේ කෙසේ ද යන්නත් ය. අද වන තුරු බටහිර විද්‍යාවට හෝ බටහිර විද්‍යාවේ දර්ශනයට හෝ බටහිර දර්ශනයෙහි ප්‍රධාන කොටසක්‌ වූ ඥනවිභාගයට (Epistrmology) හෝ දැනුම යනු කුමක්‌ දැයි පැහැදිලි කර දීමට නොහැකි වී ඇත. එහෙත් ඥනවිභාගය යනු දැනුම පිළිබඳ දැනුම යෘ බටහිරයන් ගේ වැඩ කිඩ එබඳු ය. ඒක රේ‚ය චින්තනයක ගිලී සිටින බටහිරයන්ට දැනුම යනු කුමක්‌ ද යන ප්‍රශ්නයට කිසි දිනෙක සාර්ථක පිළිතුරක්‌ දීමට නොහැකි වනු ඇත. දැනුම යනු කුමක්‌ දැයි නො දැන දැනුම ලබාගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ දෙන්නේ කෙසේ ද? 

පැරැණි උද්ගමනවාදීහු ද පොපර් ද කූන් ද අතරමං වී ඇත්තේ දැනුම යනු කුමක්‌ දැයි නො දන්නා බැවිනි. ඔවුහු බටහිර විද්‍යාවට ආවේණික වූ විධික්‍රමයක්‌ ගැන සෙවූ හ. එහි දී අමරතුංග මහතා ගේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි යන මන්ත්‍රයට සමීප මතයක්‌ දරන්නේ "මානසික ස්‌ථාවරත්වයක්‌ පෙන්වූ පුද්ගලයකු ලෙස හැඳින්විය නොහැකි" ෆෙයරාබන්ඩ් යෘ ෆෙයරාබන්ඩ්ට අනුව බටහිර විද්‍යාවේ එයට විශේෂිත වූ ඊනියා විධික්‍රමයක්‌ නැත. ඔහු කියා සිටියේ බටහිර විද්‍යාව අනෙක්‌ විද්‍යාවන් ගෙන් වෙන් කර ගත නොහැකි බව ය. අමරතුංග මහතා තවමත් සත්‍යය මිථ්‍යාවෙන් වෙන් කරගන්නේ කෙසේ දැයි කියා නැත. ඉහත කී අය ගෙන් ෆෙයරාබන්ඩ් පමණක්‌ සාපේක්‌ෂතාවාදියෙක්‌ විය. එහෙත් ඔහු පශ්චාත්නූතනවාදියෙක්‌ නො වී ය. 

පැරැණි උද්ගමනවාදීන්ට අනුව දැනුම (එය කුමක්‌ වුවත්) ලැබෙන්නේ උද්ගමනයෙනි. බටහිර විද්‍යාවේ විධික්‍රමය ගැන ඉගෙන ගන්නා තර්ක ශාස්‌ත්‍රය හා විද්‍යාත්මක විධික්‍රමය හදාරන ශිෂ්‍යයෝ පරීක්‌ෂණ නිරීක්‌ෂණ නිගමන බටහිර විද්‍යාවේ ඇතැයි ගුරුවරුන් ගෙන් දැනගනිති. එමෙන් ම පැරැණි විද්‍යාවේ දර්ශනයට අනුව බටහිර විද්‍යාඥයෝ ඊනියා පිරිසිදු පුවරුවක්‌ (Tabularasa) සහිත ව දැනුම සොයා යති. ඔවුහු ප්‍රශ්නයක්‌ විසඳීම සඳහා ඊනියා විවෘත මනසකින් පර්යේෂණ කරති. ඒ ඇතැම් විට නිරීක්‌ෂණ හෝ සම්පරීක්‌ෂණ හෝ විය හැකි ය. ඒ ලැබෙන තොරතුරු (නිරීක්‌ෂණ, දත්ත) තේරුම්ගන්නේ කෙසේ ද යන්න ඊළ`ග ප්‍රශ්නයයි. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් බොහෝ විට එකිනෙකා ගෙන් වෙනස්‌ වන්නේ ඒ ප්‍රශ්නය සම්බන්ධයෙනි. අපි එය තවදුරටත් පසුව සාකච්ඡා කරමු.


නලින් ද සිල්වා

2014-09-03