නින්ද පිළිබඳව විද්යාත්මක ඇසින්….

Share

ඇත්තෙන්ම අපි ගොඩක් මහන්සි වෙලා ඉන්නකොට අපේ සිතට මෙන්ම කයට සුවයක් එහෙමත් නැත්තම් විවේකයක් ලබා ගැනීමට අපි සුව නින්දක් අපේක්ෂා කරනවා.ඇත්තෙන්ම අපි නිදා ගන්නේ ඇයි කියලා ඔයාල පොඩ්ඩක්වත් හොයලා බැලුවද ???

තෝමස් අල්වා එඩිසන් ගැන ඔයාල අසා තිබෙන බව මම හොදටම දන්නවා. ඔයාල දන්නවද ඔහු නින්ද කාලය නාස්ති කිරීමක් ලෙස සලකනු ලැබුවකු බව??? නැපෝලියන්, යකඩ ගැහැණිය ලෙස විරුදාවලිය ලත් මාග්‍රට් තැචර් ඒ වගේම ෆ්ලොරන්ස් නයිටින්ගේල් නින්ද ලබා ගත්තේ රාත්‍රියේ පැය හතරක් බව දැනන් හිටියාද ??

දැන් අපේ මාතෘකාව වෙතට අපි යමුකෝ … ඇත්තටම ඇයි අපි නිදාගන්නේ ??? ඇත්තෙන්ම එයට නියාමාකාර පිළිතුරක් විද්‍යාඥයින්ට ශතවර්ෂ ගණනාවක් තිස්සේත් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි කීම අතිශෝක්තියක් නොවෙයි.. කවුරුත් තහවුරු කරන ලද පිළිතුරක් ලබා දී නොමැත.මම මුලින්ම සදහන් කළා වගේ සමහර පුද්ගලයෙක්ට කියන්න පුළුවන් දවස තිස්සේ ඇති මහන්සිය සමනය කරගන්න තමයි නින්ද අවශ්‍ය වෙන්නේ කියලා… ඒ වගේම පැය අටක් නිදා ගන්නා පුද්ගලයෙකුගෙන් ශක්තිය ආරක්ෂා වෙන බවත් සොයා ගෙන තිබෙනවා..

අපිට සුවදායක නින්දක් ලබා ගැනීමට සිදුවෙනවා…මක් නිසාද යත් කථනය , නිර්මාණශීලී හැකියාවන් ,මතකය වැනි මොලයේ වැඩි දියුණුව කෙරෙහි බලපාන සාධක වලට සුවදායක නින්ද මගින් සුවිශේෂී කාර්යක් සිදුකරන නිසා…

නින්දක් ලබා නොගත්තොත් මොකද වෙන්නේ ????

අපි කතා කලානේ නින්දක් ලබා ගැනීම මගින් පුද්ගලයෙකුගේ මොලය සම්බන්ධ ක්‍රියාකාරකම් වැඩි දියුණු වෙනවා කියලා… එහෙනම් සාමාන්‍ය නින්දක්වත් ලබා නොගත්තොත් නැත්තම් නිදිමරණ පුද්ගලයින්ගේ මොලය සම්බන්ධ ක්‍රියාකාරකම් වලට තදබල බලපෑමක් එල්ල කරනවා.ඔබ එක දිගටම නිදි මරණ පුද්ගලයෙකු නම් ඔබ වහා කිපෙන , නිතර කේන්තියෙන් සිටින , වහා අමතක වන , දවස පුරාම අලසව සිටින පුද්ගලයෙකු විය හැකිය… එක රැයක් නිදි මරපු පුද්ගලයකුගේ මානසික ඒකාග්‍රතාවය (concentration ) අඩු වීමත් සිදුවිය හැකිය. එවැනි පසු ආබාධ සිදු වීමට මුලිකම හේතුව මොලයේ අකර්මන්‍ය ක්‍රියාකාරිත්වයයි.

ඔයාල මෙන්න මේකත් දැනන් ඉන්න එක හොදයි.ඒ මොකක්ද පුද්ගලයෙකුගේ ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම නිසි අයුරින් පවත්වා ගෙන යාමට වගේම වේගවත් ප්‍රතිචාර වලට ද නින්ද යම්කිසි බලපෑමක් කරන බව පර්යේෂණ මගින් සොයාගෙන තියෙන බව…

නින්දේදී මොකද වෙන්නේ ????

අපි නින්දේදී වෙන දේවල් කොටින්ම දන්නේ නැහැ කිව්වොත් එක නිවැරදියි 😀 නින්ද ඇති වන්නේ විනාඩි 90ක් 110ක් ඇතුලත ආවර්ථියව සිදුවන චක්‍රයක් (recurrence cycle ) නිසාවෙනි.. ඒ වගේම අපිට කොටස් දෙකකට නින්ද බෙදන්න පුළුවන්.

(1) REM sleep සහ

(2) NON -REM sleep ලෙසටයි

මම ඉතාමත් සරලව මේ කොටස් දෙක ඔයාලට කියල දෙන්නම්කො.

(1) REM sleep කියන්නේ rapid eye movement කියන එකටයි.මෙම අවස්තාව ඇති වන්නේ අපි නින්දට ගොස් විනාඩි 70ක් 90ක් අතරදියි. ඔයාල නොදන්නවා වුනාට සාමාන්‍යයෙන් නින්දකදී REM තුනේ සිට පහක් පමණ වෙනකන් ඇතිවෙන බව සොයා ගෙන තියෙනවා…ඔයාල ඒ වගේම නොදැනුවත්ව ඉන්නට ඇති පුද්ගලයෙකු අවදි වී සිටිනවාට වඩා මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි මේ අවස්ථාවේදී බව… ඒ වගේම ඔයාල හීන දකින්නෙත් මේ අවස්ථාවේදී බව. රසබර හීන වගේම දුක්බර හීනත් බලාපොරොත්තු ගෙන දෙන හීනත් දකින්න ඇති. සිහින දැකීම සම්බන්ධයෙන් කථා කරන්න වෙන්නේ මනෝ විද්‍යාවත් එක්කයි (Psychology) සිග්මන් ප්‍රොයිඩ් ගැන ඔයාල අහල ඇති. ඔහු තමයි මිනිසෙකුට සිත් දෙකක් එනම් උඩු සිත සහ යටි සිත යනුවෙන් ඇති බව සොයා ගෙන ඒ පිලිබදව පර්යේෂණ කරලා සිහින දැකීම සහ යටි සිත අතර සම්බන්ධයක් ඇති බව සොයා ගත්තේ. ඒ සම්බන්ධයෙන් නම් මම කථා කරන්න යන්නේ නැහැ මෙතැනදී මොකද එක වෙනම මාතෘකාවක් නිසා.

ඒ වගේම මිනිස් ශරීරය ඇතුලේ ඉතාම අපුරු ක්‍රියාවලියක් සිදු වෙනවා මේ අවස්ථාවේදී…. රුධිර පීඩනය වගේම ආශ්වාස ප්‍රශ්වාස වේගයත් ඉහල යනවා වගේම සිරුර තාවකාලිකව අකර්මන්‍ය කරනවා ඒ කියන්නේ paralyze තත්වෙට පත් කරනවා.. නැත්තම් අපි දකින සිහින වලට අපේ භෞතික ශරීරයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.

(2) NON – REM sleep කලින් මම REM sleep ගැන පැහැදිලි කලානේ එහෙනම් ඉතින් මේ අවස්තාව ගැන ඔයාලට වැටහීමක් ඇති කියලා මම හිතනවා… 😀 මෙහිත් තව අතුරු අවස්ථා හතරක් තිබෙනවා…

    • stage one – light sleep : මේ අවස්ථාවේදී තමයි පුද්ගලයෙකු නින්ද සහ නොනින්ද අතර ඉන්නේ… ඒ කියන්නේ බාගෙට නිදි පුද්ගලයෙකු ඉන්නේ මේ අවස්තාවෙදියි… පුද්ගලයෙකුට ඉක්මනින් අවදි වීමට හැකිවන්නේ මේ අවස්ථාවේදී තමයි ..
    • stage two – true sleep : light sleep එකෙන් විනාඩි 10කට පස්සේ පුද්ගලයෙක් එළඹෙන්නේ දෙවැනි අවස්තාව හෙවත් true sleep stage එකටයි. ආශ්වාස ප්‍රශ්වාස වේගය වගේම හදවතේ වේගයද ටික ටික අඩු වීමටද පටන් ගන්නවා. මෙම අවස්තාව සැලකෙන්නේ පුද්ගලයෙකුගේ නින්දේ වැඩිම වෙලාවක් සමන්විත කොටස හැටියටයි.
    • stage three and four – deep sleep : තුන්වෙනි අවස්ථාවේදී මොලයෙන් ඩෙල්ටා තරංග ( delta waves ) පිට වීමට පටන් ගන්නවා… එම තරංග විශාල විස්තාරයකින් වගේම කුඩා සංඛ්‍යාතයකින් සමන්විත වෙනවා… ඒ වගේම මෙම අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාස වේගය වගේම හදවතේ වේගයද ඉතාම අඩු ප්‍රමාණයකින් තමයි පවතින්නේ …

හතරවෙනි අවස්ථාවේදී යම්කිසි රිද්මයකට අනුව ආශ්වාස ප්‍රශ්වාසය සිදුවෙනවා වගේම සීමාසහිතව පේශි ක්‍රියාකාරිත්වයක් පවතිනවා… මෙවැනි අවස්තාවක ඔබ අවදි වුවහොත් එක් වරම පියවි ලොවට අනුගත වීමට නොහැකි වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට අලස ගතියක්, කෝප ගතියක් විනාඩි කිහිපයක් යනතුරු පවතිනවා. කුඩා ළමුන් නින්දෙන් ඇවිදීම වගේ කාර්යන් සිදු කරන්නේ මේ සිවුවෙනි අවස්තාවෙදියි….

අපට කොපමණ වෙලාවක් නින්ද අවශ්‍යද ?

අපට නින්ද සඳහා නිශ්චිත කාලයක් නීර්ණය කිරීමට නොහැකිය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. sleep profile   අනුකුලව පුද්ගලයින් පැය 5ක් 11ක් අතර ප්‍රමාණයක නින්දක් ලබා ගැනීමට රුචිකත්වයක් දක්වනවා. එය සාමාන්‍යයක් ලෙස ගත්තොත් පැය 7.75ක් වෙනවා.

මම ඔයාලට නින්ද ගැන තියෙන වාර්තා කිහිපයකුත් කියලා අවසාන කරන්නම්.මං හිතනවා ඔයාල කොච්චර නිදා ගත්තත් නොදන්නා කරුණු බොහොමයක් මේ මගින් දන ගත්ත බවට. දැන් එහෙනම් නිදා ගන්නකොට මේ කියපු කාරණා ටිකත් මතකයේ තියාගෙනම නිදා ගන්නකො.

දැනට එක දිගට නොනිදා ගෙන ලෝක වාර්ථාවක් තබා ඇත්තේ දින 11ක් එක දිගට නොනිදපු Randy Gardner 1965 වර්ෂයේදී. පුදුමයි නේද ? මට නම් එහෙම ඉන්න හිතන්න වත් බැහැ 😀

References http://www.bbc.co.uk/science/humanbody/sleep/articles/whatissleep.shtml

Image Source: docakilah.files.wordpress.com