Main Logo

Wednesday 20 August 2014

අමරතුංග මහතාට අනුව වුව ද බටහිර විද්‍යාව සත්‍ය නො වේ


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගෙන් විදුසර පුවත්පත මගින් මා ඉල්ලා සිටියේ මගේ ලිපිවලින් උපුටා දක්‌වමින් ඒ 

වැරැදි පෙන්වීමට ය. එහෙත් ඒ මහතා සුපුරුදු පරිදි තම අගෝස්‌තු 13 වැනි දින ලිපියෙන් කරන්නේ මා වැරැදි බව කීම පමණ ය. මා 

වැරැදි වන්නේ කිනම් හේතු නිසා දැයි ඒ මහතා නො පවසයි. කෙසේ වෙතත් මා අගෝස්‌තු 13 වැනි දින මගේ ලිපියෙන් ඇසූ ප්‍රශ්නවලට අමරතුංග මහතා මේ සතියේ පිළිතුරු දී ඇතැයි බලාපොරොත්තු වෙමි. ඒ පිළිතුරු ලැබුණු පසු ඇත්ත බොරුව පිළිබඳ සාකච්ඡා කිරීමට අපට හැකි වනු ඇත. අප සාකච්ඡා කරමින් සිටියේ ගුරුත්වාකර්ෂණය හා සාපේක්‍ෂතාවාදය පිළිබඳව ය. එය ඒ මහතා ගේ හතරවැනි ඊනියා අභියෝගය සම්බන්ධයෙනි. එයට අදාළ ව අමරතුංග මහතා තම අගෝස්‌තු 13 වැනි දා ලිපියෙහි විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ය යන්නට තමන් කරන ඊනියා පළමුවැනි අභියෝගය පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති කරුණුවලින් කිහිපයක්‌ හා ඒ මහතා ගේ පෙබරවාරි 26 වැනි දා ලිපියෙහි සඳහන් කොටසක්‌ උපුටා දක්‌වමින් ඒ මහතාට අනුව ද බටහිර විද්‍යාව සත්‍යයක්‌ නො වන බව පෙන්වා දිය හැකි ය. මේ උපුටා දැක්‌වීම් දීර්ඝ වශයෙන් කරන්නේ අමරතුංග මහතාට පැහැදිලි ව නිරවුල් ව සිතීමට (ඔහු සිතන්නේ නම්) ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඔහු යමක්‌ අවබෝධ කරගැනීම දුෂ්කර බවත් පෙන්වීම සඳහා ය. අප රටේ සිටින මහාචාර්යවරුන් ගේ තත්ත්වය මෙබඳු බව අවුරුදු පනහකට වැඩි කලක්‌ ඔවුන් ආශ්‍රය කර ඇති මම දනිමි. 

අමරතුංග මහතා තම පෙබරවාරි 26 දින ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "මුල් බුදුදහමේ දෘෂ්ටිකෝණයෙන් බලන කල හඳට යැම පිළිබඳව කිව හැක්‌කේ බුදුන් දේශනා කොට ඇති පරිදි සම්මුති සත්‍යයක්‌ වන ආම්ස්‌ට්‌රෝන්ග් නමැත්තා ගේ අනිත්‍ය වූ පංචස්‌කන්ධය නිමක්‌ නැති ආකාශය තරමක්‌ දුරට තරණය කොට සම්මුති සත්‍යයක්‌ වන හඳ නමැති අනිත්‍ය වූ වස්‌තුව මත පා තබා ආපසු පැමිණියේ ය යන්න ය." මෙහි අමරතුංග මහතා යොදාගන්නා වැදගත් වචන දෙකක්‌ ඇත. ඒ සම්මුති සත්‍යය යන්න ය. මා දන්නා තරමින් බුදුන් වහන්සේ සම්මුති සත්‍යය යන්න යොදා ගෙන නැත. එය සංවෘති සත්‍යය ලෙස මහායානිකයන් යොදාගෙන පසුව ථෙරවාදීන් සම්මුති සත්‍යය ලෙස යොදා ගන්නකි. ඒ කෙසේ වෙතත් සම්මුති සත්‍යය යනු සත්‍යය (නිරපේක්‍ෂ වාස්‌තවික) නො වන බව අමරතුංග මහතා පිළිගන්නේ යෑයි සිතමි. එහෙත් එයට පළමුව ඒ මහතා මගේ ප්‍රශ්නවලට දෙන පිළිතුරු විමසා බැලිය යුතු ය. අමරතුංග මහතා මහායානිකයන් ගෙන් ලබාගත් සම්මුති සත්‍යය වැනි සංකල්ප යොදාගැනීම බුදුදහම විකෘති කිරීමක්‌ දැයි අමරතුංග මහතා ම සඳහන් කරන්නේ නම් මැනවි. 

අමරතුංග මහතා අගෝස්‌තු 13 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "උදාහරණයක්‌ ලෙස විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔහු පුන පුනා පවසා ඇත. එය ඔප්පු කර පෙන්වන්නට පුළුවන් බවට ද පුරසාරම් දොඩවා ඇත. එහෙත් කිසි දාක ඔහු එය සිදු කොට නැත. එසේ නම් විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පැවසීම බහුභූතයක්‌ නො වන්නේ ද? අවසානයේ ඔහු විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන්නේ බුදුදහමේ එන ද්වියතානුපස්‌සනා සූත්‍රය විකෘති කොට දක්‌වමිනි. තව ද කච්චායනගොත්ත සූත්‍රය සහ පටිච්චසමුප්පාදය නො සලකා හරිමිනි. 

නලින් මහතා ඊට පෙර පැවසුවේ බටහිර විද්‍යාවේ සංකල්ප වියුක්‌ත නිසා එනම් ඒවා ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා බටහිර විද්‍යාව බොරු බව ය. උදාහරණ ලෙස ඔහු ඉදිරිපත් කළේ මූලික ව ගුරුත්වාකර්ෂණය විය. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වුණාට එවැනි බලයක්‌ පවතින බවට සාක්‌ෂි ඕනෑ තරම් ඇති බව මා පෙන්වා දුන් විට නලින් මහතා ගේ පිළිතුර වූයේ බුදුදහමේ ද්වියතානුපස්‌සනා සූත්‍රයට අනුව සැම නාමරූපයක්‌ ම මුසාවකි. එම නිසා විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි ද මුසාවකි. එම නිසා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවකි. නලින් මහතාට අප අනුකම්පා කළ යුතු ය. එහෙත් ඔහු ගෙන් සිදු විය හැකි විනාශය නිසා ඔහු කරන බොරුව ලොවට පෙන්වා දිය යුතු ය. නලින් මහතා මේ කරුණු පිළිබඳව විදුසර සඟරාවේ කළ ප්‍රකාශ පහත සඳහන් ලෙස අදාළ වාක්‍ය පමණක්‌ උපුටා දක්‌වමි. නලින් මහතා කරනවා මෙන් ඔහු ගේ ලිපියෙන් 3/4ක්‌ උපුටා දැක්‌වීමට මට අවශ්‍යතාවක්‌ නැත. 

අභියෝගය 1- විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කර පෙන්වන්න.

නලින් මහතා ද්වියතානුපස්‌සනා සූත්‍රයේ සැම නාමරූපයක්‌ ම රහතුන් වහන්සේ දකින්නේ මුසාවක්‌ ලෙස ය යන්න පවසන ගාථාව සඳහන් කොට ඊට පසු මෙසේ කියයි. බුදුන්වහන්සේට අනුව පෘථග්ජනයන් ගේ සියලු නාම රූප මුසා ය. සියලු යන්නට ඉන්ද්‍රිය ගෝචර මෙන්ම ඉන්ද්‍රිය ගෝචර නො වන්න ද ඇතුළත් ය. මා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර සංකල්ප බොරු බවත් ඉන්ද්‍රිය ගෝචර නො වන බටහිර විද්‍යා සංකල්ප හා ප්‍රවාද පට්‌ටපල් බොරු බවත් ය. 
(විදුසර 14.05.2014)

ද්වියතානුපස්‌සනා සූත්‍රයට අනුව සැම නාමරූප මුසාවක්‌ වන්නේ රහතුන් වහන්සේ දකින අන්දමට ය. අප ද රහත් වූවා නම් සැම නාම රූප මුසාවක්‌ කියා ඉවත දැමිය හැකි ය. පෘථග්ජන අප ගේ ජීවිත සුවදායක සැපදායක කළ හැක්‌කේ කරන්නේ සත්‍ය ගවේෂණයක්‌ විය යුතු විද්‍යාව විසිනි. අපට නාමරූප මුසාවක්‌ කියා ඉවත දැමිය හැක්‌කේ රහත් වූවාට පසුව ය. රහත් වූවාට පසු කාම සම්පත්වල ඇති මුසාව දැකිය හැකි ය. ඇත්තෙන් ම කාම සම්පත්වල ඇති මුසාව නො දැක රහත් බවට පත් විය නො හැකි ය. රහත් වූවාට පසු විද්‍යාව අවශ්‍ය වන්නේ නැත. රහත් බවට පත් තැනැත්තා සත්‍ය ගවේෂණයෙන් පරතෙරට ගොස්‌ ඇති නිසා ය. එතෙක්‌ පාථග්ජන අප විද්‍යාව භාවිත කළ යුතු ය. රහතුන් දකින මුසාව අපට දැකිය නොහැකි ය. අප ජීවත් වන තෙක්‌ විද්‍යාව අවශ්‍ය ය. නිරෝගී ව සිටීමට අපට විද්‍යාව අවශ්‍ය ය. නලින් මහතාට පවා විද්‍යාව අවශ්‍ය ය. බටහිර විද්‍යාව කියා දෙයක්‌ නැත. කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව ය. අප සත්‍ය ගවේෂණයේ යෙදී ඉන්නේ මිනිසා බිහි වූ දා පටන් ය. විද්‍යාව සත්‍ය ගවේෂණය නම් එය මුසාවක්‌ විය නො හැකිය. නිවන් මඟට දෙවැනි වූ විද්‍යාව අපට අත්හැරිය නොහැකි වන්නේ මේ නිසා ය. විද්‍යාව මුසාවක්‌ හෝ පට්‌ටපල් බොරුවක්‌ හෝ නො වන්නේ මේ නිසා ය. නිවන් මඟ නොයන්නේ නම් අපට ඇත්තේ විද්‍යා මඟ පමණි. බිහි වූ දා පටන් අප පැමිණියේ ඒ මඟ ය. 

අපට ඉන්ද්‍රිය පද්ධතියක්‌ ඇත. එය නැති ව අපට ජීවත් විය නොහැකි ය. ඉන් ලබාගන්නා දැනුම ගැන යම්කිසි විශ්වාසයක්‌ තබාගත යුතු ය. අපට දැනුම ලබාගැනීමට වෙන ක්‍රමයක්‌ නැත. වෙන ක්‍රම ගැන නලින් මහතා බහුභූත දොඩවා ඇතත් එවැනි ක්‍රම ඇති බවට සාක්‌ෂි නැත. ඇතොත් පෙන්වා දෙන මෙන් කළ අභියෝගයට පිළිතුරු නැත. ඉන්ද්‍රිය පද්ධතිය ගැන විශ්වාසයක්‌ නැති ව අපට ජීවත් විය නොහැකි ය. ඉන්ද්‍රිය ගෝචර නාමරූප මුසාවක්‌ නම් අපට ජීවත් විය නොහැකි ය. අපි බිහි වූ දා පටන් මුහුණ දෙන්නට වූ නොයෙකුත් ස්‌වාභාවික මෙන්ම වෙනත් ප්‍රශ්න නිරාකරණය කර ගත්තේ ඉන්ද්‍රිය පද්ධතියේ පිහිටෙනි. ඉන්ද්‍රිය පද්ධතිය ගැන විශ්වාසයක්‌ නැතිනම් අප ජීවිතයෙන් සමු ගත යුතු ය. නැතිනම් නිවන් මඟට අවතීර්ණ විය යුතු ය. බුදුන් නිවන් මඟ තෝරාගත්තේ දුකට හේතුව වන ලෝභ, මෝහ, ද්වේෂ යන කෙළෙස්‌ නැති කරගැනීමට ය. උන්වහන්සේ දැනුම ලබාගත්තේ අනුභූතිය (ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම්) මඟින් බව පවසා ඇත. (සංග්‍රාව සූත්‍රය). අනුභූතිය සහ ඉන්ද්‍රිය පද්ධතිය අපට ඉවත දැමිය නොහැකි ය. නිවන් ම`ග සොයාගැනීමට බුදුන් නොයෙකුත් පර්යේෂණ කළේ අනුභූතිය සහ ඉන්ද්‍රිය පද්ධතිය භාවිත කරමිනි."

දීර්ඝ වශයෙන් උපුටා දැක්‌වීම අවශ්‍ය වන්නේ මා කලින් සඳහන් කර ඇති පරිදි අමරතුංග මහතාගේ අනවබෝධය හා අසත්‍ය ප්‍රකාශන පැහැදිලි කිරීම සඳහා ය. මා ද්වියතානුපස්‌සනා සූත්‍රය විකෘති කර ඇත්තේ කෙසේ ද? අමරතුංග මහතා හුදු ප්‍රකාශන නිකුත් නො කර කළ යුත්තේ එම සූත්‍රය උපුටා දක්‌වා මගේ ලිපිවලින් ද කරුණු උපුටා දක්‌වමින් එසේ විකෘති කර ඇති තැන් පෙන්වා දීම ය. එසේ නොමැති ව හුදු ප්‍රකාශන නිකුත් කිරීමෙන් මා අදාළ සූත්‍රය විකෘති කර ඇති බව පෙන්වා දිය නො හැකි ය. අනෙක්‌ අතට කච්චායනගොත්ත සූත්‍රය හා පටිච්චසමුප්පාදය මා නො සලකා ඇත්තේ යෑයි කියන්නේ කෙසේ ද? කච්චායනගොත්ත සූත්‍රය අනුව සියල්ල පවතී යනුවෙන් ගැනීම ද එක්‌ අන්තයකි. අමරතුංග මහතා හඳ, පොළොව, මනස ආදිය පවතී යනුවෙන් ගැනීම එක්‌ අන්තයක්‌ නො වන්නේ ද? අමරතුංග මහතා ගෙන් පසුගිය සතියේ මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඒ මහතා කියන්නේ කුමක්‌ දැයි දැනගැනීමට බලා සිටිමි. 

බටහිර විද්‍යාවේ සංකල්ප වියුක්‌ත නිසා, එනම් ඒවා ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා බටහිර විද්‍යාව බොරු යෑයි මා කියා ඇත්තේ කොතැනක ද? මා කිසිවක්‌ සන්දර්භයකින් තොර ව නිරපේක්‌ෂව සඳහන් කර නැත. කරුණාකර එසේ කියා ඇති තැනක්‌ නිවැරැදි ව දිනය සඳහන් කරමින් උපුටා දක්‌වන්න. අමරතුංග මහතාට කෙසේ වෙතත් බොහෝ දෙනාට මා කියන දෙය ඉතා පැහැදිලි විය යුතු ය. මා කියන්නේ සියලු සංකල්ප මුසා බව ය. ඉන්ද්‍රිය ගෝචර (පංචෙන්ද්‍රිය ගෝචර හා මනසට පමණක්‌ ගෝචර) සංකල්ප ද මුසා ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් සම්මුති සත්‍යය යන්න යොදාගත හැකි ය. එහෙත් යමක්‌ සමුම්ති සත්‍යය යන්නෙන් එය සත්‍ය වන බවක්‌ ගම්‍ය නො වේ. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර, (එනම් පංචෙන්ද්‍රිය ගෝචර- බටහිර විද්‍යාවෙහි මනසට පමණක්‌ ගෝචර දේ නො සැලකෙයි. එහි ඒ සංසිද්ධි නො වේ.) සංසිද්ධි තේරුම් කර දීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නො වන කතන්දර (ඒවාට ඊනියා ප්‍රවාද යෑයි කියෑවෙන්නේ වැදගත්කමක්‌ ලබා දීමට ය) ගෙතීම ය. මේ කතන්දර පට්‌ටපල් බොරු වෙයි. අප මතක තබාගත යුත්තක්‌ නම් ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප ද අපේ කතන්දර පමණක්‌ බව ය. ඒවා ද මුසා ය. ඒ සියල්ල මනසෙහි නිර්මාණ පමණ ය. ඒවා මුසා වන්නේ, ඊනියා සම්මුති සත්‍ය වන්නේ, ඒ අර්ථයෙනි. 

අමරතුංග මහතා කිසි විටෙකත් "ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වුණාට එවැනි බලයක්‌ පවතින බවට සාක්‌ෂි ඕනෑ තරම් ඇති බව" පෙන්වා දී නැත. ඔහු කර ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලයක්‌ ඇතැයි විශ්වාස කරමින්, (උපකල්පනය කරමින්) ඉන් ලැබෙන නිගමන කිහිපයක්‌ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග එක`ග වන බව කීම ය. එහෙත් ඔහු ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරමින් ගිළුහුණු පොල්ගෙඩි පොළොවට වැටීම තේරුම්ගත හැකි යෑයි කීවත් බුධ ග්‍රහවස්‌තුව ද ඇතුළත් ව කිසි ම ග්‍රහ වස්‌තුවක්‌ හිරු වටා අචල ඉලිප්සවල චලනය නො වන්නේ ඇයි ද යන්න සාකච්ඡා නො කරයි. ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කළ හොත් ඉන් ලබාගත හැකි නිගමනය නම් සියලු ග්‍රහවස්‌තු හිරු වටා අචල ඉලිප්සවල චලනය විය යුතු බව ය. එහෙත් කිසි ම ග්‍රහ වස්‌තුවක්‌ හිරු වටා එසේ අචල ඉලිප්සයක චලනය නො වෙයි. අමරතුංග මහතා ඒ ගැන කියන්නේ කුමක්‌ ද?

ඒ සම්බන්ධයෙන් අප්‍රියෙල් 17 වැනි දා ලිපියෙන් මා කියා ඇත්තේ මෙයයි. " බටහිර විද්‍යාවට තම ප්‍රවාද සත්‍ය බව පෙන්වා දිය නොහැක්‌කේ ඒවා වියුක්‌ත බැවිනි. බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ ප්‍රවාද සත්‍ය බව පෙන්වා දීම නො වේ. ඒ වෙනුවට එහි කෙරෙන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය (Logic) යොදාගනිමින් යම් නිගමනවලට (අපෝහනවලට - Deductions) පැමිණ ඒ අපෝහන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කිරීම ය. එලෙස සංසන්දනය කිරිමෙන් පසු යම් එක`ගතාවක්‌ වේ නම් එවිට අදාළ ප්‍රවාදය සත්‍ය ලෙස පිළිගැනෙයි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන කරුණු දෙකක්‌ වෙයි. පළමුව බටහිර විද්‍යාවේ ප්‍රවාද කිසි දිනෙක සෘජු ව සත්‍ය බව පෙන්වා නො දෙන බව ය. එසේ පෙන්වා දෙන්නේ කෙසේ ද? බටහිර විද්‍යා ප්‍රවාද සම්මුති ආකාරයකින් වුවත් බටහිර අර්ථයකින් සත්‍ය බව පෙන්වීමට නම් ඒවා පංචෙන්ද්‍රියන්ට ගෝචර විය යුතු ය. එහෙත් වියුක්‌ත වූ බටහිර විද්‍යා ප්‍රවාද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. දෙවනුව බටහිර විද්‍යාවේ වක්‍රව පෙන්වා දෙන්නේ වියුක්‌ත ප්‍රවාදයකින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගැනීමෙන් ලබාගන්නා නිගමන යම් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග යම් එක`ගතාවකට පැමිණෙන බව ය. එහෙත් කිසිදු අවස්‌ථාවක එහි සියයට සියයක්‌ එක`ග වීමක්‌ නැත. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය යොදාගනිමින් ග්‍රහ වස්‌තු සූර්යයා වටා අචල ඉලිප්සවල ගමන් කරන බව පෙන්විය හැකි ය. එහෙත් ග්‍රහ වස්‌තු එසේ අචල ඉලිප්සවල ගමන් කරන්නේ ඉතා සන්නිකර්ෂණව ය. එය සන්නිකර්ෂණයක්‌ පමණකි. 

අනෙක්‌ අතට එය සියයට සියයක්‌ ම එකඟ වී යෑයි සිතමු. එවිට වුව ද බටහිර විද්‍යා ප්‍රවාදය සත්‍ය යෑයි කිව නො හැකි ය. මම මෙය වියුක්‌ත ව පවසමි. ඒ අමරතුංග මහතා තේරුම් නො ගන්නා බව හොඳින් ම දැනගෙන ය. p යනු වියුක්‌ත ප්‍රවාදයක්‌ යෑයි සිතමු. ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් p->q යෑයි පෙන්විය හැකි බව ද q සත්‍ය යෑයි ද සිතමු. එහෙත් එයින් p සත්‍ය යෑයි ගම්‍ය නො වේ. p->q යන්නෙන් p සත්‍යයක්‌ නම් q සත්‍ය යෑයි කිව හැකි ය. එහෙත් q සත්‍ය නම් ච සත්‍ය යෑයි නිගමනය කළ නො හැකි ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් විද්‍යා පීඨයේ භෞතික විද්‍යා සිසුවකු ගෙන් මෙය පැහැදිලි කරගත හැකි ය. අමරතුංග මහතා ගේ ඊනියා අභියෝගවලට මා පිළිතුරු දී ඇත. එහෙත් ඔහුට ඒ ගැන කිසි ම වැටහීමක්‌ නැත. එබැවින් ඔහු ඒ නො සලකා මා පිළිතුරු දී නොමැති බව කියමින් තමාට ඇතැයි සිතෙන කරුණු පුනරුච්චාරණය කරයි. 

ද්වයතානුපස්‌සනා සූත්‍රයට අනුව සැම නාමරූපයක්‌ ම මුසා වන්නේ රහතන් වහන්සේට බව අමරතුංග මහතා කියයි. අප රහත් වූ පසු අපට ද ඒ මුසාවක්‌ වනු ඇතැයි ද ඒ මහතා කියයි. එයින් කියෑවෙන්නේ රහත් නො වූ පෘථග්ජනයන් මුසාවක පැටළී ඇති බව නො වේ ද? රහතන් වහන්සේ සත්‍ය ගවේෂණය බටහිර විද්‍යාඥයන් ගේ ඊනියා සත්‍ය ගවේෂණය නො වේ. බුදුන් වහන්සේ ගේ පර්යේෂණ ආර්ය පර්යේෂණ විය. ඒ බටහිර විද්‍යාඥයන් ගේ ඊනියා පර්යේෂණ නො වේ. බටහිර විද්‍යාඥයන් ගේ ම`ග එකකි. බුදුන් වහන්සේ ගේ ම`ග ඉන් මුළුමනින් ම වෙනස්‌ විය. බටහිර විද්‍යාඥයන් ගේ ම`ග ගොස්‌ නිවන් අවබෝධ කරගත නො හැකි ය. අමරතුංග මහතා ඊනියා සත්‍ය ගවේෂණය යන වචනය රිංගවා බුදුන් වහන්සේ ගේ ගවේෂණය බටහිර විද්‍යාඥයන් ගේ ගවේෂණය සමග සංසන්දනය කිරීමට සූදානම් වෙයි. බුදුන් වහන්සේ පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත සංකල්ප, කතන්දර නො ගෙතූ හ. අප ජීවත් වන්නේ මේ සසර සැරිසරන්නේ අප මුසාවෙහි පැටළී ඇති බැවිනි. ඒ මෝහය හේතුවෙනි. අපේ සියලු සංකල්ප මෝහය නිසා ඇති වෙයි. බටහිර විද්‍යාව ද මෝහයෙහි ප්‍රතිඵලයකි. අපට ජීවත් වීමට බටහිර විද්‍යාව අවශ්‍ය වනවා නො ව බටහිර විද්‍යාව ද ඇතුළු මුසා නිසා අපි සංසාරයේ සැරිසරමු. 

විද්‍යාව, එනම් බටහිර විද්‍යාව සත්‍ය ගවේෂණයෙහි යෙදී ඇතැයි අමරතුංග මහතා කියන්නේ කෙසේ ද? එය ඔහු ගේ උපකල්පනයක්‌ පමණකි. විද්‍යාව සත්‍ය ගවේෂණය නම් එය මුසාවක්‌ විය නොහැකි යෑයි අමරතුංග මහතා කියයි. මෙහි නම් යන පදය යොදා ඇත්තේ බටහිර විද්‍යාව සත්‍ය ගවේෂණයක්‌ ය යන්න පිළිබඳ ව අමරතුංග මහතාටත් සැකයක්‌ ඇති බැවින් ද? නැත හොත් සුපුරුදු පරිදි වචන භාවිතයෙහි ඔහු ගේ නොසැලකිලිමත් බව එයින් පිළිබිඹු වන්නේ ද? ඔහු ගේ අවුල් ව්‍යවහාරය නිරවුල් කරගත් විට ඔහු කියන්නේ බටහිර විද්‍යාව සත්‍ය ගවේෂණයකි. එබැවින් එය මුසාවක්‌ විය නො හැකි ය. ඔහුට තර්කයක්‌ නැත. ඔහු යමක්‌ උපකල්පනය කර එය ම නිගමනය කරයි. බටහිර විද්‍යාව සත්‍ය ය එබැවින් එය මුසාවක්‌ නො වේ. මහාචාර්යවරුන් ගේ තර්ක මෙබඳු ය. ඔහු කළ යුතු ව තිබුණේ බටහිර විද්‍යාව සත්‍ය බව, සත්‍ය ගවේෂණයක්‌ බව පෙන්වීම ය. බටහිර විද්‍යාව නිවන් ම`ගට දෙවැනි යෑයි කියන විද්‍යාව එනම් බටහිර විද්‍යාව අපට අත්හැරිය නොහැක්‌කේ එහි ඇති සත්‍ය ගවේෂණයක්‌ නිසා නො ව එහි ආධිපත්‍යය නිසා ය. බටහිර විද්‍යාවෙන් නිවන් අවබෝධයට ලැබෙන රුකුළක්‌ නැත. එහි දෙවියන් වහන්සේ නැති වුවත් එහි ඇත්තේ යුදෙවු ක්‍රිස්‌තියානි සංකල්ප ය. එය එක්‌ තැනකින් පටන්ගෙන ක්‍රමයෙන් විකාශ වීමක්‌ ගැන කියයි. දෙවියන් වහන්සේ නැතත් එය ඒක රේ‚ය චින්තනය මත පදනම් වෙමින් ඊනියා මහා පිපිරුමකින් පටන්ගැනීමක්‌ ගැන කියයි. මෙය ද තවත් පට්‌ටපල් බොරුවක්‌ පමණකි. එය අග්ගඤ්ඤ සූත්‍රය සමග කෙසේ වත් එකඟ නො වෙයි. අමරතුංග මහතා පිළිගන්නේ අග්ගඤ්ඤ සූත්‍රය ද නැත්නම් මහා පිපිරුම හා ඩාවින් ගේ පරිණාමවාදය ද?

අපට ඉන්ද්‍රිය පද්ධතියක්‌ ඇත. එය ද සම්මුතියක්‌ පමණකි. අප ඒ ගැන විශ්වාසය තැබිය යුතු නො වේ. අපට නිත්‍ය යෑයි පෙනෙන කිසිවක්‌ නිත්‍ය නො වේ. අපට වස්‌තු ලෙස පෙනෙන කිසිවක්‌ වස්‌තු ලෙස නො පවතියි. එනම් ආත්මීය ලෙස පෙනෙන්න (අපේ පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර වන) ආත්මීය නො වේ. බටහිර විද්‍යාවේ පදනම වන්නේ ආත්මීය වස්‌තු ලෝකයේ පවතින බව ය. එය යුදෙවු ක්‍රිස්‌තියානි සංකල්පයකි. බටහිර විද්‍යාවේ අහවල් අහවල් දේ සොයාගත්තේ ය යන්නෙන් කියෑවෙන්නේ ඒ අහවල් දේ නිරීක්‍ෂකයා නැති වත් ඊනියා වාස්‌තවික වශයෙන් පවතින බවත් බටහිර විද්‍යාඥයන් කරන්නේ ඒ පවතින දේ සොයාගැනීම බවත් ය. දැනුම ලබාගැනීමට බටහිර විද්‍යාවේ ම`ගහැරෙන්නට වෙනත් මං තිබේ දැයි අමරතුංග මහතා අසයි. දැනුම ලබාගැනීමට කියන විට ම ආත්මීය ව පවතින වස්‌තුවල දැනුම ලබාගැනීමක්‌ ගැන කියෑවෙයි. ඒ කෙසේ වෙතත් දැනුම නිර්මාණය කිරීමට වෙනත් මං ඇත. ඒ මං නිවන් අවබෝධයට, එනම් දැනුම නොදැනුම බවට පත් කිරීමට රුකුළකි. පැරැණි සිංහල විද්‍යාව එවැන්නකි. අග්ගඤ්ඤ සූත්‍රයෙහි දැනුම වෙනත් ආකාරයකින් නිර්මාණය කරගත් දැනුමකි. බුදුන් වහන්සේ ආනුභාවිකවාදියෙක්‌ (empiricist) නො වූ හ. උන්වහන්සේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුමට කොටු නො වූ හ. උන්වහන්සේ ආනුභාවික වූ බවට උදාහරණ සූත්‍ර පිටකයෙන් උපුටා දක්‌වන්න. සංග්‍රරාව සූත්‍රයක්‌ ඇත්තේ සූත්‍ර නිකායේ කිනම් පිටකයේ ද? සූත්‍රයකට නමක්‌ පමණක්‌ නොකියා ඉන් උපුටා දක්‌වන්න.

නලින් ද සිල්වා

2014-08-20