ඉන්දියාව අප මිතුරකුද, සතුරකුද? (2)

පසුබිම: මේ වසරේ (2012) මුල් භාගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විමසුමකදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය. ඉන් පසුව උතුරේ අවතැන් වුවන් පිළිබඳව සොයා බැලීම සඳහා මන්ත්‍රී පිරිසක්ද ශ්‍රී ලංකාවට එවීය. මෙය හා උතුරේ යුද්ධය අවසන් වූ පසු ඉන්දියාවේ ක්‍රියාකලාපයට එරෙහිව මෙරට ජන මතයක් ගොඩනැඟෙමින් පවතී.

නූතන ඉන්දියාව ශ්‍රී ලංකාවේ දිගු කාලින යහපත සළකා බලා කටයුතු කළ බව මෙම ලිපියේ තර්කයයි. මෙහි විරුද්ධ මතය මෙම ලිපියෙන් කියවන්න.

ප්‍රථමයෙන් කිවයුතු වන්නේ ලොව කිසිම රටක විදෙස් ප්‍රතිපත්තිය ස්වකීය යහපත පිණිස මිස විදෙස් රටවල යහපත වෙනුවෙන් සකස්කොට නොමැති බවයි. කිමද එරට රජයට බදු ගෙවන්නේ, ඡන්දය ලබාදෙන්නේ එම රටේ ජනතාව මිස පිටරැටියන් නොවන නිසාය. පරාර්ථකාමී මිනිසුන් සිටියද පරාර්ථකාමී රජයන් නැත. එනිසා යම් රටකින් බලාපොරොත්තු විය හැකි හොඳම විදෙස් ප්‍රතිපත්තිය නම් අන් රටවල් සමග හැකිතාක් දුරට ගැටුම වළක්වා ගනිමින් තම අභිවෘද්ධිය සළසා ගැනීමයි. නූතන ඉන්දියාව නිරන්තරයෙන්ම අනුගමනය කළේ මෙවන් ප්‍රතිපත්තියකි.

ඇතැම් විට ඉන්දියාව ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින් වෙනුවෙන් විශේෂයෙන් පෙනී සිටියි. තමිල්නාඩු දේශපාලකයින්ගෙන් ඉන්දීය මධ්‍යම රජයට ඇති බලපෑම් නිසා මෙය සිදුවන බව නොරහසකි. අවාසනාවකට මෙය නොවැලැක්වියහැකි දේශපාලන යථාර්ථයකි. පෙර ලිපියෙන් කර්තෘ පවසන් පරිදි ඉන්දියාව “තරහ කරගැනීම” යථාර්ථවාදී විදෙස් පිළිවෙතක් නොවේ. එහෙත් එම ලිපියේ හා මෙම ලිපියේ එකඟතාවයන් එතනින් අවසන්වෙයි.

මෑතක වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවෙන් සම්මත වුයේ ශ්‍රී ලංකා රජයේම අනුමැතිය මත නිකුත් කළ උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ලංකාව උත්සුක කිරීම මිස ලංකාවට විරුද්ධ ක්‍රියාමාර්ග ගැනීම නොවේ. ඉන්දියාවේ යටි අරමුණු කුමක් හෝ වේවා එම යෝජනා වලින් නැවතත් මෙරට වාර්ගික අර්බුදයක් ඇතිවීමේ ඉඩකඩ අවම වේ. එය රටට යහපතකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න