විද්‍යාවේ නවතම පෙරළිය: රූපරාමු තුළින් ශබ්දය ලබා ගැනීම හෙවත් visual mic

Share

මේ 21 වන සියවසයි. විද්‍යාව ඉතාම සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින වකවානුවක් ය. ඇතැම් සොයා ගැනීම් සිතා ගැනීමට පවා අසීරු ය. මිනිස් මොළය ඒ තරම්ම ප්‍රබලය. හොඳ දේ මෙන්ම නරක දේ ද විද්‍යාවේ දියුණුව තුළින් ලැබේ. ඒවායේ හොඳ නරක වෙන් කරගෙන තෝරා බේරා ගෙන කටයුතු කිරීමේ වගකීම ඇත්තේ අපටය. මේ කියන්නට යන සොයා ගැනීමත් සිතා ගැනීමට පවා අසීරු එමෙන්ම යහපතට මෙන්ම අයහපතට ද එක ලෙස භාවිතා කර හැකි නවතම තාක්ෂණයකි. ඔබ Eagle Eye නැමැති හොලිවුඩ් සිනමා පටය නරඹා ඇත්තේ ද? එහි තේමාව වන්නේ ARIIA නැමැති කෘත්‍රිම බුද්ධියක් විසින් ඇමෙරිකාවේ පාලනය අතට ගැනීමට දරන උත්සාහයකි. එයට විරුද්ධව Jerry හා Ethan Shaw යන නිවුන් සොහොයුරන් සටන් කරයි. මෙහිදී එක් අවස්ථාවක කෘත්‍රිම බුද්ධිය විසින් ජෙරී සහ ඔහුගේ හිතවතුන්ගේ කථාවලට සවන් දෙන නිසා එම පිරිස ශබ්දය ගමන් නොකරන කාමරයක් තුළට වී සාකච්ඡා කරයි. නමුත් එහිදී කෘත්‍රිම බුද්ධිය විසින් ඔවුන්ගේ කාමරයේ තබා ඇති කෝපි වීදුරුවක මිනිස් කට හඬ නිසා ඇති වන දෙදරීම විශ්ලේශණය කර එමඟින් නැවත හඬ ලබා ගැනීම සිදු කරයි. මෙය එකල විද්‍යා ප්‍රබන්ධයක වුවද ඇඩොබි, මයික්‍රොසොෆ්ට් හා MIT යන ආයතන වල විද්‍යාඥයන් පිරිසක් එකතු වී එම තාක්ෂණය සොයා ගැනීම පසු ගිය දා සිදු කර ඇත.

visual mic යන නමින් නම් කර ඇති මෙම තාක්ෂණය ඔස්සේ ඉතා වේගවත් රූපරාමුවක් යොදා ගෙන එය පටි ගත කර ඇති පරිසරයේ ශබ්දය නැවත ලබා ගැනීම සිදු කරයි. ශබ්දය යම් වස්තුවක වැදුණු විට එම වස්තුව මිනිස් ඇසට නොපෙනෙන නමුත් සිහින් දෙදරීමකට ලක් වෙයි. මේ දෙදරීම අති ප්‍රබල කැමරාවක් මඟින් සටහන් කර ගැනීමෙන් අනතුරුව විශේෂ ඇල්ගොරිදමයක් මඟින් එම රූප රාමු ශබ්දය බවට පරිවර්තනය කිරීමට මෙම පර්යේෂකයින් පිරිස සමත් වී ඇත. ඔවුන් Potato Chips පැකට්ටුවක්, ඇලුමිනියම් පත්‍ර හා ශාකයක පත්‍ර තුළින් එසේ ශබ්දය නිස්සාරණය කර ගැනීමට සමත් වී ඇත. යොදා ගන්නා කැමරාවේ ප්‍රබලත්වය මත ලැබෙන හඬ පටයේ ගුණාත්මක භාවය තීරණය වන බව ද ඔවුන් විසින් තවදුරටත් සොයා ගෙන ඇත. ඉතා වේගවත් නැතිනම් තප්පරයකට වැඩි රාමු ගණනක් ලබා දෙන කැමරාවකින් හොඳ ප්‍රතිපල ලබා ගත හැකි වේ. මේ අනුව අප සතුව ඉතා ප්‍රබල කැමරාවක් තිබේ නම් ඕනෑම දුර ප්‍රමාණයක සිදුවන ශබ්දයක් පහසුවෙන් ශ්‍රවණය කිරීමේ සුවිශේෂී හැකියාව අපට ලැබෙනු ඇත. එසේ නම් බිත්ති වලටද කන් තිබෙනු යන මතය සත්‍ය වීමට තව වැඩි කලක් නොමැති බව පසක් වනු ඇත.

මේ සොයා ගැනීමට පේටන්ට් බලපත්‍රය තවමත් ලැබී නොමැති අතර ඉදිරි කාලයේ දී එය යම් උපාංගයක් ලෙස වෙළඳ පොළට පැමිණීමට ඉඩ කඩ ඇත. මේ සම්බන්ධ වැඩි දුර තොරතුරු සහ එම සොයා ගැනීම සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය ඔස්සේ බාගත හැකි වෙයි.

මේ සම්බන්ධ වීඩියෝව පහතින් ඔබට නැරඹිය හැක. එය නැරඹීමෙන් මේ තාක්ෂණය පිළිබඳ වැඩිදුර අවබෝධ කර ගත හැකිය.

References:

www.sciencealert.com.au ,Image : www.sciencealert.com.au