Saturday, August 2, 2014

මොටෝ නැති කවියක රස


මෑතක ෆේස්බුක් එකේ රස්තියාදු වෙවී ඉන්නකොට මං දැක්කා ලංකාවෙ වෛද්‍යවරයෙක් විසින් ලියපු ලිපියක්. පත්තරේක ගිහින් ඊට පස්සෙ වැඩි චූන් එකට ෆේස් බුක් එකෙත් ෂෙයාර් කරලා. ඒක තිබුනෙ අජිනොමොටෝ ගැන. අජිනොමොටෝ කියපු ගමන් මේ කාලෙ සෞඛ්‍යය ගැන උනන්දු හැමෝම උඩ පනින කාරණයක්. ඒක හින්දම රසකාරක වලින් තොරයි කියල වෙනම මාර්කට් එකක් පවා හැදිලා තියෙනවා. 


සමහර කඩ තමන් රසකාරක වලින් තොරයි කියන එක එකම සුදුසුකම කරගෙනත් කෑම ටික විකුණගෙන යනවා. කාටවත් ඇත්තටම හොයන්න උවමනාවක් නෑ ඇත්තටම අජිනොමොටෝ අවුල්ද කියන එක. 


විශේෂයෙන් ලංකාව වගේ රටවල තදටම තියෙන කාරණයක්නෙ රසායනික නම් ඒක අවුල් කියන එක. කිසි හේතුවක්  ඕන නෑ ඒ වගේ දේවල් තහවුරු කරන්න. ඒත් වෛද්‍යවරු වගේ වගකීමක් ඇති අයත් මේ පරණ ප‍්‍රබන්දම නැවත නැවත ප‍්‍රචාරය කරන එකෙන් ඔප්පු වෙන වෙන කතාවක් තියෙනවා. ඒ තමයි අපේ රටේ විද්‍යාව විතරක් නෙමෙයි විද්‍යාව පාවිච්චි කරන අයගෙ දැනුම පවා කොයිතරං පරණද කියන එක. හාල් වල ආසනික් තියෙනවා කියලා විෂ්නු දෙවියන්ගෙන් අහගන්න මහාචාර්යවරු ඉන්න රටක මේක එච්චර අවුල් කාරණයකුත් නෙමෙයි. 

ඇමරිකාවෙ එම්එස්ජී, (ඒ කියන්නෙ අජිනොමොටෝ වලට කියන රසායනික කෙටි නම) මේ තරං භීතියට තුඩුදෙන කාරණයක් වුනේ ඇයි කියල බ්ලොග් එකක ටිකක් නිදහසේ හොයලා තිබුණ. මේ කාරණා වල ඇත්ත නැත්ත ගැන හොයන එක හීනයක් වුණත් අඩුම තරමෙ ඒ වගේ අදහසකුත් ලෝකෙ තියෙනවා කියල කියන්න මං ඒ කරුණු පරිවර්තනය කරනවා.

ඇයි මේ එම්එස්ජී අහිතකරයි කියන නාගරික මිත්‍යාවට ඇමරිකාවෙ ඇතැම් උගතුන් කියන අය පවා තාම ගොදුරු වෙලා ඉන්නෙ? එම්එස්ජී කොහොමවත් ලූණු වලට වඩා අහිතකර නොවෙන වග මේ වෙද්දි පර්යේෂණ වලින් ඔප්පු කරලා තිබුණත් මේ මිත්‍යාව තවදුරටත් ජීවත් වෙනවා. අලෙවි වෙනවා. 

ඒකට ගොඩක් හේතුව මේ රසායනික නම වෙන්න පුළුවන්. මොනෝසෝඩියම් ග්ලූටාමේට් වගේ නමක් ඇහුවම කන්න බය හිතෙන එක ස්වභාවිකයි. ලූණු වෙනුවට සෝඩියම් ක්ලෝරයිඞ් කියල කිව්වත් අනිවාර්යෙන් මේක මේ විදිහටම වෙනවා. 

චයිනීස් කෑවම ඇතිවෙන නිදිමත, බර වැඩි ගතිය ඉස්සරහට දාගෙන එම්එස්ජී වලට මුල් කාලෙ චයිනීස් සින්ඩ්‍රෝම් කියල නමකුත් එල්ලූවා. ඒත් තෙල් සහිත  ඕනම බර ආහාර වේලකින් පස්සෙ මේ තත්වෙ දැනෙනවා තමයි. ප‍්‍රංශ වගේ කෑමක එහෙම දැනෙන්න කන්න තරමට අපිට අතේ සල්ලි නෑ. ඒක හින්ද ගොඩක් කැවෙන ඉන්දියානු චීන වගේ කෑම වලින් පස්සෙ මේ නිදිමත දැනෙනවා. ඒක අපි එම්එස්ජී ප‍්‍රශ්නෙක ගැටගහනවා.

ඒ වගේම ඇමරිකාවෙ මේ චයිනීස් සින්ඩ්‍රෝම් කතාව පැතිරෙන්න ‘එක්සනොෆෝබියා’ තත්වෙකුත් බලපෑවා. ඒ කියන්නෙ කිසි තාර්කක හේතුවක් නැතුව විදේශික දේවල් වලට, තත්වයන්ට දක්වන බය. මේක එන්නෙ චීනෙන්නෙ. චීනෙ කියන්නෙ ඇමරිකාවට කොහොමත් අවුල් රටක්. ඒකත් එක්ක එම්එස්ජී චීන ලෙඩක් විදිහට නැගලා ගියා. 

ඒත් ඇත්තටම එම්එස්ජී එන්නෙ ජපානෙන්. චීනෙට වඩා ගොඩක් ජපානෙ එම්එස්ජී කනවා. ඒත් අපිට එම්එස්ජී දැනෙන්නෙ චීන කෑම එක්ක. ශතවර්ෂ ගානක ඉඳන් ජපන්නු දිනපතා එම්එස්ජී පාවිච්චියට ගන්නවා. ඒත් ඇමරිකානුවෙකුට වඩා ජපනෙකුගෙ සෞඛ්‍ය තත්වය හොඳයි. ආයු කාලය වැඩියි. සෝඩියම් පාවිච්චිය අඩු කරන්න  ඕනි කියල ජපානෙත් ලොකු සාකච්ඡුාවක් යනවා. ඒත් කවුරුවත් එම්එස්ජී නවත්තන එකක් ගැන කතා කරන්නෙ නෑ.

මුලින්ම අජිනොමොටෝ හොයාගන්නෙ ‘කිකුනෙ ඉකේඩා’ කියල ජපන් විද ්‍යාඥයෙක්. එයාගෙ බිරිඳ උයන අසීමිත රස ආහාර වලට එකතු කරන මුහුදු පැළෑටි විශේෂයක් ගැන එයා පර්යේෂණ කරනවා. ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට මොනෝසෝඩියම් ග්ලූටාමේට් සංයෝගය හොයාගන්නවා.

එම්එස්ජී පාවිච්චි කරලා උයන එක රස වංචා කිරීමක් තමයි. ඒත් ඒක සීනි සහ ලූණු සම්බන්ධයෙනුත් එහෙමමයි. ස්වභාවික කෑම බීම වල තියෙන ලූණු, සීනි රස අඩු වුනාම අපි ඒවා පිටින් එකතු කරනවා. ඒ වගේම එම්එස්ජීත් එකතු කරනවා. එම්එස්ජී කියන්නෙ ලොකු හානියක් නම් සීනි සහ ලූණු ඊට වඩා දෙවෙනි වෙන්නෙ නෑ. කොටින්ම මං කැමතියි කොත්තුවකට ලූණු අහුරක් දානවට වඩා එම්එස්ජී ටිකක් දානවට.

මේ අජිනමොටෝ කතාවෙ දිගට පැටලි පැටලි ඉන්න කොට අඳුරන්නෙ නැති නොම්මරේකින් ආවා කෝල් එකක්. ඒ දමිත් කතා කළේ ගෙදර ඇඩ‍්‍රස් එක ඉල්ලගන්න. එයා ලියපු කවි පොත මට තැපැල් කරන්න. ඒත් මං දමිත්ව දන්නෙ නෑ. 

පොතක් එවන්න ටිකක් පරණ විදිහක් කියල හිතුන හින්දමත් මං කවි පොත ගැන වැඩිය හිතන්න ගියේ නෑ. දවස් කීපෙකට පස්සෙ තැපෑලෙන් කවි පොත ආවා. ඒ පොතේ නම කියවන්න බෑ. කෙටි කෙටිම මම.... මං කියවගෙන ඊළ`ග පිටුවට පෙරළුවා. මං කියවලා තියෙනවා වැරදියි. ඒක තෙමි තෙමිම මම වෙන්න  ඕන. දමිත්ගෙ පොතේ  ඕනම කෙනෙක් පැටලෙන මුල්ම කවිය ඒක.

උඩින් පල්ලෙන් කවියක් දෙකක් බලද්දි ඒ කවි වලට ඇබ්බැහි වෙනවා. කාලෙකට පස්සෙ යන්න ලැබිච්ච මාර ටි‍්‍රප් එකක් කියල හිතෙනවා. මං හිටගෙනම ගහලා දැම්මා කවි පොතෙන් කාලක්ම. බයිට් සැන්ඩි මොකුත්  ඕන නෑ.

මීට ටික කාලෙකට කලින් බදියුගෙ පරිවර්තනයක් ආවා සිංහලෙන් පේ‍්‍රමය පසසනු වස් කියල. ඒත් ඒ නම හරියටම ගැලපෙන්නෙ දමිත්ගෙ කවි පොතට. ඒක තනිකරම පේ‍්‍ර්මය පසසනු වස් ලියවුණු කවි පෙළක්. ආදරේ හරිම සුසියුම්, සමහර විට කල්පිත මනක්කල්පිත, පැවතුණු නොපැවතුනු අත්දැකීම් දමිත් ස්පර්ශ කරනවා. ඒවා පපුව හීතල වෙලා යන විදිහෙ කවි.

ඇස් බැල්මක් දුන්නා හැබැයි
කොමල හ`ඩින් ඇමතුවා හැබැයි
සිනාවෙන් සිතම බැන්දා හැබැයි
හැබැයි,
නිකංවත් හිතුවෙ නැද්ද ඔබ
හදවතට හදවත බැඳෙන
අපි අපේම කරගන්න
සම්මතේ මාවතේ වෙලී ඇවිදින
ඒ ගමන හැර ගමනක්...

දමිත්ගේ කවි වල භාෂාව, අලංකාරෝක්ති හොයන්න මං යන්නෙ නෑ. ඒ අත්දැකීමේ සජීවී බව තියාගන්න ඒ වචන වලට පුළුවන් වෙලා තියෙනවා. ලියන්න වෙනත් දහසකුත් ආකාර කල්පනා වුණත්් සමහර කන්‍යාමය අත්දැකීම් චොර කරගන්නෙ නැතුව ලියවිලා තියෙන හැටි දැක්කම ඒ්ක තමයි ඒකට හොඳම විදිහ කියල හිතෙනවා. උදා විදිහට මේ ආදරේ මොහොතවල් කිසි විටෙක දේශපාලන හෝ දාර්ශනික මතවාද වලින් නොකෙළෙසන්න දමිත් පරිස්සං වෙනවා. මං කලින් කන්‍යාමය අත්දැකීම් කිව්වෙ ඒ හින්ද. බොහොම ලේසියෙන්් මේ කාරණා පසිඳලීම කියන තැනට ගිහින් බදියු වගේ නාගන්න තිබුණ. 
මේ මං ආසම කවිය.

වචනමත් නෙමෙයි ශැල්වින්
ඔබේ කටහ`ඩයි ඉංග‍්‍රීසි
කොයින්ද ආවෙ ඔයි මූණට
උවමක් හිතෙන්නෙම නැති අමුතු සුද
කවියන් කොයිතරම් පෙන්නුවත්
රෝස පාට විලූඹක්
දැක්කෙත් ඔබගෙන්....

මේ කවි වල තියෙනවා හොඳටම දැනෙන අව්‍යාජකමක්. ඒ රොමැන්තික් අවකාශයන් හරහා යන සොඳුරු ගමනක්. වෙන විදිහකින් කිව්වොත් හැම මොහොතක්ම ආදරේ මොහොතක් වෙන්න පුළුවන් තරමට දමිත් පේ‍්‍රම අවකාශය පුළුල් කරනවා. හැම අහම්බයක්ම රොමාන්තික කරනවා.

අපිට හමුවුනේ හරි අහම්බෙන්
දූවිලි වගේ විශ්වයක
විශ්මයට
එකම මන්දාකිනියක
අපි හමුවුනේ හරි අහම්බෙන්
පෘතුවියේ
සත්්සියකෝටියක් සෙනග අස්සේ
යුරෝපේ ඇමරිකාවේ මිලියන නගර පසුකර
ආසියාවේ එක තිතක
අපි හමුවුනේ හරි අහම්බෙන්...

මට හිතෙන්නෙ මේ කවි වල තියෙන සුන්දරත්වය අපිට කාලයක් පුරා මිස් වෙමින් තිබුණ කියල. ආලවට්ටම් නොදා තමන්ගේ අත්දැකීම කියන්න, භාවාතිෂය නොවී සොඳුරු පැවැත්මක් බෙදා හදා ගන්න, කවියක මං හොයන නිදහස, හුස්ම ගන්න ඉඩ තියෙන කවි ටිකක් ආයිමත් ලියවිලා තිබුණ. ඒ කවි තැපෑලෙන් මාව හොයාගෙන ඇවිල්ලත් තිබුණ.

අලූත් වෙන්නට
මා දැරූ හැම තැතම පැරනිය...

කවි වල පෙරේතකමට මං ආපහු ආපහු ඒ යෙදුම් උඩ ඇවිදිනවා. භාෂාවට වඩා අත්දැකීමට අවනත හැම මොහොතක්ම ලස්සනයි. වචන කොහොම ගැලපුණත් එතන කවිය හැදිලා ඉවරයි. 

ඔයා හරි හොඳ යැයි
ඔබ කියන හැම මොහොතකම
ඔබෙන් නොපෙනෙ ඈතකට
පලා යන්නට සිතෙයි මට...

දමිත් සමහර තැන් වල වචන පාවිච්චි කරන විදිහත් සමහර හැ`ගීම් වල නැවුම් ගතිය හොඳට රඳවන්න සමත් වෙනවා. තෙමි තෙමිම මම වගේ වචන හුරතල් කරන තැන් කීපයක්ම කවි අතර තිබුණ. 

ආදරේ ගැන තව ගොඩක් කවි ලියවෙන්න  ඕන. ඒකට ඇත්තටම ඉරිගහපු ආදරෙන් පිට පැන්න කවියො බිහිවෙන්න  ඕන. එකම  ඕලාරික පේ‍්‍රම කතා මැද්දෙ බෝරිං ජීවිතේ් පොඩි සාවධාන වීමක්, භාවනාවක්, ආදරය කිරීමක් වෙත කැඳවන්න දමිත්ගෙ කවි වලට පුළුවන්. 

කාලෙකට පස්සෙ තේ කෝප්පයක් අතරෙ විස්කෝතුවක් වෙනුවට හප හපා ඉන්න කවි පොතක් හම්බුණ. කෑම වලට රසකාරක දැම්මත් කමක් නැති වුණත් නිර්මාණ නම් රසකාරක වලින් තොර වෙන තරමටමයි රස.

4 comments:

  1. වචන තුළින් නව මානයක් හෙවු කවියාට හොඳ උත්තේජනයක් ලැබෙන්න ඇති ඉහත දැක්වෙන අදහස් වලට..

    ReplyDelete
  2. දමිත් උඹ හොදටම ‍තෙම්න්න අරන්
    පට්ට පට පට විදයට තෙමේනවා
    මම නම් අජිනමොටෝ කන්නයි තෙමේන්නයි දෙපාරක් හිතන්නේ නැ.. ඔන්න එකේන්ම.

    ReplyDelete
  3. අලංකාරවලින් හා ව්‍යාජ සැරසිලිවලින් තොර ගතිය දමිත්ගෙ කවි පුරාවටම තියෙනව.. චීන ජපන් කවිවල ගෑවිල යන ගතියක් එක්ක... දමිත්ගේ කවි කීපයක් බූන්දියෙ තිබුණා..

    ReplyDelete
  4. තෙමි තෙමිම යන්න හිතෙනවා
    ඔබේ පොත ගෙන එන්න දමිත්!

    ReplyDelete