වසර 50,000 පැරණි නියැන්ඩර්තාල් මිනිසාගේ මළද්‍රව්‍ය පවසන දෑ..

ස්පාඤ්ඤයේ එල් සෝල්ට් පෞරාණික කැණීම් ප්‍රදේශයේ ගුහාවක පුරාවිද්‍යාඥයින් වසර 50,000ක් පැරණි නියැන්ඩර්තාල් මානවයින්ගේ යයි සැළකෙන මළපහ සොයාගෙන ඇත. කෝප්‍රොලයිට්ස් (coprolite) ලෙස මෙම ෆොසිලබවට පත්වුනු මළපහ හඳුන්වයි.

මේ මළද්‍රව්‍ය මගින් නියැන්ඩර්තාල් වරුන්ගේ ආහාර රටා පිලිබඳ තොරතුරු රාශිය සොයාගත හැකිවූ බව ඒ පිලිබඳව විද්‍යාත්මක නිබන්ධනයක් ඉදිරිපත්කරන විද්‍යාඥයින් පවසති. නියැන්ඩර්තාලුන්ගේ ආහාර පුරුදු පිලිබඳව කලින් පැවති මතය වූයේ ඔවුන් දැඩි මාංශ භක්ශකයින් වූ බවත් විශාල සතුන් දඩයම්කල බවත්ය. නියැන්ඩර්තාලුන් ආහාරය සඳහා ශාක කොටස්, ධාන්‍ය හෝ මාළුන් ගත් බවට සාක්ශි එවකට හමුවී නොතිබුණි.

Gas chromatography-mass spectrometry විශ්ලේෂණ උපක්‍රම ආධාරයෙන් මෙම කෝපෝර්ලයිට් අධ්‍යයනය කල විද්‍යාඥයින්ට එම මළද්‍රව්‍යවල අඩංගු ස්ටැනෝල් හා ස්ටෙරෝල් (stanols & sterols) යන පිලිඩ වර්ග පිලිබඳව සොයා බැලූහ. මෙම ලිපිඩ නිපදවෙන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ වසන බැක්ටීරියා ආහාර මට ක්‍රියාත්මක වීමෙනි. මෙම ලිපිඩ වර්ග වල ප්‍රමාණයන් පිලිබඳව දත්ත ආධාරයෙන් නියැන්ඩර්තාල් වරුන් විශාල ලෙස මාංශ ආහාරයට ගත්තත් සැළකිය යුතු ප්‍රමාණයක් ශාකමය ආහාරද ලබාගෙන තිබූ බව හෙලිවිය.

දැනට ලැබෙමින් පවතින දත්ත පිලිබඳව සිය මත පලකරන එක් විද්‍යාඥයින් කොටසක් නියැන්ඩර්තාල් වරුන් කලින් විශ්වාසකල ආකාරයට නොදියුණු, වානර මානවකොටසක් නොව, ගින්දර යොදාගෙන ආහාර පිසගත්, බෙහෙත් පිණිස තෝරාගත් ශාක භාවිතාකල යම් ආකාරයක දියුණුවක් තිබූ මානව කොටසක් බව පවසති.

වසර 300,000ක පමණ කාළයක් මිහිපිට රජකල නියැන්ඩර්තාලුන්, මීට වසර 40,000කට පමණ පෙර අභාවයට ගියහ. ඔවුන් අභාවයට යෑමට හේතුන් ලෙස මෙතෙක් ඉදිරිපත් වුනු කල්පිතය වූයේ වඩාත් බුද්ධියෙන් වැඩි, නූතන මානවයා වේගයෙන් ව්‍යාප්තවීමත් සමග ආහර සොයාගැනීම සඳහා ඔවුන් සමග තරඟ කිරීමට නොහැකිවීමෙන් මොවුන් අභාවයට ගිය බවයි. එහෙත් දැන් දැන් හෙලිවන ආකාරයට නියැන්ඩර්තාල්වරුන් හා නූතන මානවයින් වසර දහස්ගණනක් අසල්වැසියන් ලෙස ජීවත්වූවා පමණක් නොව, නූතන මානවයින් හා නියැන්ඩර්තාල්වරුන් අතර ප්‍රජනනය සිදුවූ බවය.

මේ අනුව නියැන්ඩර්තාල් පුරුෂයින්ගේ වඳභාවය ඉහලයන්නට ඇති බවට අනුමානයක් ඇත. එයට හේතුව නියැන්ඩර් මානවයින් හා නූතන මානවයින් ජානමය වසයෙන් 100%ක සමානත්වයක් නොමැති වීමයි. එමෙන්ම විශාල ලෙස නූතන මානවයන් හා මිශ්‍රවීම නිසා නියැන්ඩර්තාල් වරුන්ට සිය ජානමය අනන්‍යතාවය අහිමිවූ බවටද මතයක් තිබෙනවා.නියැන්ඩර්වරුන් බුද්ධියෙන් හීන, සැළසුම් ශක්තියෙන් හා සන්නිවේදනය අතින් දුර්වලවූ බවට තිබෙන මතවාශ දැන් ක්‍රමයෙන් අහෝසිවෙමින් යනවා.

උදාහරනයක් ලෙස නියැන්ඩර් මානවයින් එකල ජීවත් වුනු යෝධ මැමත් ඇත් රංචු සැළසුමකට අනුව කඳුගැට වෙත පලවා හැර ඔවුන් එම කඳුගැට වලින් පහලට වැටෙන්නට සළස්වූ බවත්, ඒ අනුව මැමත් ඇතුන් දඩයම් කිරීමට යාමේදී සිදුවිය හැකි අණතුරු අවම කරගත් බවටත් සාක්ශි ලැබෙමින් තිබෙනවා. වල් හරකුන් හා ගෝනුන්ටද මෙසේ සිදුකල බවට දත්ත ලැබෙමින් පවතිනවා. මෙවැනි ක්‍රියාකාරකම් සිදු කිරීමට නියැන්ඩර්වරුන්ටද දියුණු, සැළසුම් කලහැකි මොළයක් මෙන්ම හොඳ අන්තර්පුදගල සන්නිවේදනයක් තිබිය යුතුයි.

http://www.latimes.com/science/sciencenow/la-sci-sn-neanderthal-poop-20140624-story.html

Comments