Friday, June 20, 2014

වහා බොරදිය මාලු බෑම නතර කරනු!

අප වසර 30ක් තිස්සේ යුද්ධ කළේ කොටි ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනතාව සමඟ නොවේ. එකල අපි සාමාන්‍ය දෙමළ ජනතාව ආරක්ෂා කරන අතර කොටි ත්‍රස්තවාදයට එරෙහි වීමු. 1983 සිදු වූ අවාසනාවන්ත සිද්ධියට පසු සිංහලයින් කුපිත කර ඔවුන් ලවා දකුණේ අහිංසක දෙමළ ජනතාවට ප්‍රහාරයක් එල්ල කොට ජාත්‍යන්තර අනුකම්පාව ඩොලර් කඳුවලට හැරවීමේ සහ මධ්‍යස්ථ දෙමළ ජනතාව ඊළම වෙත තල්ලු කිරීමේ අරමුණින් සිංහල ජනතාවට එල්ල කළ සියලු ත්‍රස්ත ප්‍රහාරවල නියම අරමුණ හඳුනා ගැනීමට සිංහල ජනතාව සමත් විය. ඒ නිසා දකුණේ කිසිඳු දෙමළ අයෙකුට කිසිදු හාකියත් සිදුවූයේ නැත. ඒ අවබෝධය සහ ඉවසීම නිසා අවසානයේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට අපට හැකි විය. දැන් ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහි වූ අපට මෙන් ම ඒ ත්‍රස්තවාදය උඩ ගෙඩි දුන් රහූෆ් හකීම් වැන්නන්ට ද මර බියෙන් තොරව නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් උදාවී තිබේ. 

මේ මොහොතේ අප විරුද්ධ වන්නේ රට වටා ලියලා වැඩෙන සුළු සුළු අන්තවාදී මුස්ලිම් කල්ලිවලට මිස අප සමඟ සමගියෙන් සිය වස් ගණනාවක් මෙරට ජීවත් වූ මුස්ලිම් ජනතාවට නොවේ. මේ තත්ත්වය ජනතාව වහා අවබෝධ කරගත යුතුය. එදා දෙමළ ජනතාව සහ කොටියා වෙන වෙන ම හඳුනා ගත්තා සේ අද සාමාන්‍ය මුස්ලිම් ජනතාව සහ ජිහාඩ් සහ වහාබ්වාදී කල්ලි එකක් නොව දෙකක් බව වහා අවබෝධ කරගත යුතුය. ඒ අවබෝධයෙන් යුතුය ඉවසීමෙන් කටයුතු කළ යුතුය. එදා එක දිගට කොටි ත්‍රස්තවාදීන් අරන්තලාවට, ශ්‍රී මහා බෝධියට, දළඳා මැදුරට, මහා බැංකුවට ප්‍රහාර එල්ල කරන විට මෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. තවමත් ඉතා ම සුළුතරයක් වන මුස්ලිම් අන්තවාදී කල්ලිවල අරමුණ සිංහලයා කුපිත කර ඔවුන් ලවා අහිංසක මුස්ලිම් ජනතාවට ප්‍රහාරයක් එල්ල කරවා, ඒ මධ්‍යස්ථ මුස්ලිම් ජනතා ඔවුන් වෙත දිනාගැනීමය. ඒ අතර පිට රටවල සිටින අන්තවාදී මුස්ලිම් කල්ලිවල ආධාර ලබා ගැනීමය. මේ රටේ ජනතාව මේ අරමුණ අවබෝධ කරගෙන ඉවසීමෙන් කටයුතු කළ යුතුය. 

එසේ නොමැතිව මේ මුස්ලිම් අන්තවාදී කල්ලිවල කුපිත කිරීම සහ බොරදියේ මාලු බාන විවිධ ජාතිවාදී කල්ලිවල උසිගැන්වීම හමුවේ ඔබේ අසල්වැසි මුස්ලිම් මිනිසුන්ට හෝ ඔවුන්ගේ දේපළවලට හානි කිරීමට කිසිසේත් කටයුතු නොකළ යුතුය. ඒ සඳහා මේ මොහොතේ ඔබ උසිගන්වන සියලුදෙනා දේශදෝහීන් වන අතර මිතුරු වෙසින් ඔබ අසල සිට ඔබ ඊට පොළඹවන්නේ ඔබේ ද ඔබේ ජාතියේ ද සතුරෝය. ඔවුන්ට සිංහල නම් ඇත්නම් ඒ නමට පමණක් සිංහල වන අමනයෝය. මෙවැනි අයට කරුණු පහදා දී නිහඬ කිරීම ඔබේ යුතුකමය. ඔබ මුස්ලිම් මිනිසෙකුගේ නිවසට ගහන එක ගලක් පවා මුස්ලිම් අන්තවාදීන්ට මහා ආශිර්වාදයකි. එයින් ඔබ උදව් කරන්නේ මේ රට ගිල ගැනීමට මාන බලන මුස්ලිම් අන්තවාදයටයි. ඔබේ ම ජාතියේ වළ කැපීමටයි. 

කලබලයට කොරොස් කටේ පවා අතදැමිය නොහැකියය. අප හමුවේ ඇති ප්‍රශ්නවලට ඉවසීමෙන් බුද්ධිමත්ව පිළිතුරු සෙවිය යුතුය. එහෙයින් කලබල නොවන්න. ඔබේ අසල්වැසි මුස්ලිම් නිවැසියන්ට පහරදීමට මැර කල්ලි පැමිණියහොත් වහා ඊට මැදිහත් වන්න. ඔවුන් ආරක්ෂා කරන්න. ඒ අහිංසක මුස්ලිම් ජනතාව අන්තවාදී කල්ලි තුරුලට තල්ලු කිරීමට ක්‍රියාකිරීම තරම් මේ මොහොතේ ඔබට මව්බිමට කළ හැකි තවත් ද්‍රෝහීකමක් නැත. ඉන් සිදුවන්නේ ප්‍රශ්නය තව තවත් උග්‍රවීම පමණි. එහෙයින් මේ මුස්ලිම් අන්තවාදයේ භයානක බව ඔබ දන්නේ නම් එහි අනාගත අවධානම ඔබ අවබෝධ කරගෙන ඇත්නම් ඉවසීමෙන් කටයුතු කරන්න. කිසිදු මැරක්‍රියාවකට සම්බන්ධ නොවන්න. ඊට අනුබල නොදෙන්න. 

එසේ සිංහල හෝ මුස්ලිම් දේපළවලට හෝ ජීවිතවලට හානි කරන සියලු ත්‍රස්තවාදීන් ජාති භේදයකින් තොරව අත් අඩංගුවට ගත යුතු අතර නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන් කිසිදු ජාතියකට අයත් නැති ත්‍රස්තයෝය. මව්බිමේ හතුරෝය. ජාතිය සිංහල වුව ද ඔවුහු දැන හෝ නොදැන මුස්ලිම් අන්තවාදී අරමුණු ජය ගැනීමට උදව් කරති. මේ රට දැය සමය විනාශය කරා ගෙන යති.    

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !