Main Logo

Wednesday 7 May 2014

ලාඕතුමා, කුං ගුරුතුමා හා බටහිර විද්‍යාව


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පරස්‌පරවලින් පරස්‌පරවලට ගමන් කරයි. ඒ මහතා හැම දා ම හැම තැනක ම පැවතියේ එක ම විද්‍යාව බව පැවසීමට සිංහල වෙදකම, ආයුර්වේදය, චීන විද්‍යාව, අරාබි පරිවර්තන ආදිය යොදාගනියි. එහෙත් කිසි දවසක ඒ මහතා ගේ කියුම් සනාථ කිරීමට කිසිවක්‌ නිශ්චිත ව උපුටා නො දක්‌වයි. අර පොතේ මේ පොතේ මෙහෙම තිබෙනවා යනු කීම ප්‍රමාණවත් නො වේ. පොතේ අදාළ පිටුව ඡේදය උපුටා දැක්‌විය යුතු ය. ඒ ඇත්තේ සිංහල නො වන බසකින් නම් අදාළ ඡේදය එබසින් උපුටා දක්‌වා ඉන්පසු සිංහල පරිවර්තනයක්‌ දිය යුතු ය. නීඩ්හම් චීන විද්‍යාව ගැන ලියා ඇති වෙළුම් සියල්ල කියවීමට පාඨකයාට අවස්‌ථාවක්‌ නැත. මේ වෙළුම් ගැන උජාරුවෙන් කතා කළාට අමරතුංග මහතා ඒ සියල්ල කියවා තිබේ ද? බොහෝ උගතුන් යෑයි කියාගන්නන් මෙන් ම ඔහු ද කරන්නේ ඔහු ගේ ඊනියා උගත්කම පාඨකයා ඉදිරියේ දමාගැසීම පමණ ය. 

අපි මේ එක ම විද්‍යාව පිළිබඳ කතාවට පසුව විස්‌තරාත්මක ව සාධාරණ වශයෙන් එමු. දැනට අමරතුංග මහතාට තව තවත් පරස්‌පරවල එරීමට අවස්‌ථාව ලබා දිය යුතු ය. ඔහු අද සිංහල වෙදකම ගැන මුල දීට වඩා සානුකම්පිත ව කතා කරයි. ඒ සමහර විට බුදුන්වහන්සේ ගේ ගිරිමානන්ද සූත්‍රයෙහි වා පිත් සෙම් ගැන දේශනා කර ඇති බව පෙන්වා දීමෙන් පසුව විය හැකි ය. ඒ පරස්‌පර ඒ මහතා ගේ ලිපිවලින් ම උපුටා දැක්‌විය යුතු ය. ඒ මහතා ගේ ලිපි උපුටා දැක්‌වීම අවශ්‍ය වන්නේ එවැනි පරස්‌පර පෙන්වා දීමටත් ඒ මහතා කරන වැරැදි පෙන්වා දීමටත් ය. ඒ මහතා ඇතැම් විට බොරුවෙන් පාඨකයා නොම`ග යෑවීමට උත්සාහ කරයි. ඒ බව වියුක්‌තය පිළිබඳ ව ඒ මහතා කළ කී දෙයින් පැහැදිලි වෙයි. 

වියුක්‌තය යන්න ඔක්‌ස්‌ෆර්ඩ් ශබ්ද කෝෂයෙන් උපුටා දැක්‌වූ ආකාරය සලකමු. අමරතුංග මහතා අප්‍රියෙල් 02 වැනි දා ලිපියෙහි මෙසේ කියා තිබිණි. "ඔක්‌ස්‌ෆර්ඩ් ඉංගිරිසි ශබ්ද කෝෂයේ abstract යන වචනයේ තේරුම හැටියට forming general concepts from specific instances යන්න සඳහන් වේ. නලින් මහතා අදහස්‌ කරන අරුත මෙය දැයි නො දනිමි. ඉහත සඳහන් ඉංගිරිසි වාක්‍යයේ අර්ථය ද වෙන් වූ, ඈත් වූ යන්නෙන් උපන් බව පෙනේ". අමරතුංග මහතා ඉංගිරිසි නොදන්නේ යෑයි කිව නො හැකි ය. එසේ නම් ඔහු forming general concepts from specific instances ඉංගිරිසි "වාක්‍යයේ" අර්ථය ද වෙන් වූ, ඈත් වූ යන්නෙන් උපන් බව පෙනේ යෑයි කියන්නේ බොරු කියා පාඨකයා නොම`ග යෑවීමට විය යුතු ය. අප පසුගිය වතාවක පෙන්වා දී ඇති ආකාරයට එහි අර්ථය (මෙය වාක්‍යයක්‌ නො වන බව ද ඒ සමග පැවසිය යුතු ය. එහි උක්‌තය හා ආඛ්‍යාතය කුමක්‌ දැයි අමරතුංග මහතාට පැවසිය හැකි ද?) විශේෂ අවස්‌ථාවලින් සාධාරණ සංකල්ප තැනීම මිස වෙනත් දෙයක්‌ නො වේ. අමරතුංග මහතා ඉංගිරිසි කියමන උපුටා දක්‌වා එය සිංහලෙන් කීමේ දී ද (එසේ කළ එක ම අවස්‌ථාව) තම නොදැනුම වසං කිරීම සඳහා එවැනි බොරු කියන්නේ නම් උපුටා දැක්‌වීම නැති ව වචන ගසා දැමීමේ දී මොන බොරු කියන්නේ දැයි අප දැනගන්නේ කෙසේ ද?

අපි දැන් නීඩ්හම් වෙතට ආපසු යමු. එහි දී ප්‍රශ්නය වනුයේ චීනයේ පැවැති විද්‍යාව බටහිර විද්‍යාව ද යන්න ය. අමරතුංග මහතා මැයි 07 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "මිනිසාට සෑදෙන රෝග බොහෝ සෙයින් සමාන ය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පිහිටා මේ රෝග පිළිබඳ පර්යේෂණ කළ විට ලැබෙන දැනුම ද සමකාලීන ව එක හා සමාන ප්‍රගතියක්‌ පෙන්නුම් කළේ මේ නිසා ය. නොයෙකුත් හේතූන් නිසා මේ විද්‍යාවන් වර්තමානයේ බටහිර දක්‌නට ලැබෙන තත්ත්වය තෙක්‌ දියුණුq වූයේ නැත. එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ අධිරාජ්‍යවාදීන් ගේ යටතට මේ රටවල් පත් වීම ය. චීනයේ ටාඔස්‌ සහ කොන්ෆියුසියස්‌ ධර්මයන් නිසා ඒ රටේ විද්‍යාව දියුණු වූයේ නැති බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වන විද්වත් ජෝශප් නිඩ්හම් පවසා ඇත. මේ ගැන නියම තතු පැහැදිලි කරන බවට කටමැත දෙඩෙව්ව ද නලින් මහතා එය තවමත් සිදු කොට නැත."

මිනිසාට සෑදෙන රෝග බොහෝ සෙයින් සමාන යෑයි අමරතුංග මහතා පවසන්නේ ඒ ඒ සංස්‌කෘතියෙහි රෝග එලෙස සමාන යෑයි කියෑවෙන බව උපකල්පනය කරමිනි. රෝග හෝ රෝහලේ දී ඊනියා ප්‍රතිකාර කළ යුතු යෑයි කියෑවෙන සංසිද්ධි සියලු සංස්‌කෘතීන්හි රෝග ලෙස හඳුනාගෙන තිබිණි ද? යම් සංසිද්ධියක්‌ රෝගයක්‌ ලෙස හඳුනාගැනීම වාස්‌තවික වූවක්‌ නො වේ. රෝග, රෝග ලෙස හඳුනා ගැනෙන්නේ සංස්‌කෘතියට සාපේක්‍ෂව ය. එපමණක්‌ නො ව වල් පැළෑටි එලෙස හඳුනාගැනෙන්නේ ද සංස්‌කෘතියට සාපේක්‍ෂ ව ය. බටහිර කෘෂිකර්මයෙහි වල්පැළෑටි ලෙස හඳුනාගන්නා පැළ සිංහල ගොවිකමෙහි වල්පැළෑටි නො වේ. පැළෑටියක්‌ වල් පැළෑටියක්‌ වන්නේ සංස්‌කෘතියට සාපේක්‍ෂව ය. අද ප්‍රශ්නය වී ඇත්තේ අප බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි ආධිපත්‍යයෙන් පෙළනු ලැබීම ය. අපේ රෝග ද, වල්පැළෑටි ද, ඖෂධ ද, වල්පැළෑටි නාශක ද ආදී සියල්ල තීරණය කෙරෙන්නේ බටහිරයන් විසිනි. 

අමරතුංග මහතා කියන්නේ කලක දී රෝග පිළිබඳ ව එක්‌ එක්‌ සංස්‌කෘතියෙහි ප්‍රගතිය සමකාලීන ව සමානත්වයක්‌ පෙන්නුව ද පසුව යම් යම් හේතූන් නිසා වර්තමානයේ බටහිර දක්‌නට ලැබෙන දියුණුව ලැබී නැති බව ය. ඒ හේතු අතර අධිරාජ්‍යවාදීන් යටතට අනෙක්‌ රටවල් පත් වීම ද දැක්‌වෙයි. අමරතුංග මහතා ඒ ඒ සංස්‌කෘතියෙහි ලබාගත් ප්‍රගතිය සලකා බලා ඇත්තේ දළ වශයෙන් වත් පහළොස්‌වැනි සියවස වන විට ද? පහළොස්‌වැනි සියවස වන විට ලෝකයේ බටහිර නො වන රටවල් ඒ ඒ ක්‍ෂෙත්‍රවල දළ වශයෙන් වත් සමාන මට්‌ටම්වල දැනුම් ලබාගෙන තිබුණේ ද?

අද ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි හා චීනයෙහි තිබූ ගණිත දැනුම් එක සමාන වී ද? ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි පහළොස්‌වැනි සියවසේ තිබූ ගණිත දැනුමට කිසි ලෙසකින් සමාන ගණිත දැනුමක්‌ එකල චීනයෙහි නො වී ය. චීනයෙහි තිබූ වෙදකම අනෙක්‌ බොහෝ දේ මෙන් ම යින් යං සංකල්පය මත පදනම් විය. එහෙත් ආයුර්වේදය පදනම් වූයේ වා පිත් සෙම් සංකල්ප මත ය. චීන විද්‍යාව හා ඉන්දීය විද්‍යාව යෑයි කිව හැකි විද්‍යා දළ වශයෙන් වත් සමාන බව අමරතුංග මහතාට පෙන්වා දිය හැකි ද? ඒ අතර අප්‍රිකානු දැනුම් පිළිබඳ ව අමරතුංග මහතා කර ඇති හැදෑරීම් කවරේ ද? 

යින් යං හා වා පිත් සෙම් සංකල්ප සියල්ල මිථ්‍යා යෑයි අමරතුංග මහතාට කීමට හැකි ය. එහෙත් කිව යුතු කරුණක්‌ වෙයි. අමරතුංග මහතා මිථ්‍යාව හා සත්‍යය වෙන් කර හඳුනාගැනීමට මෙතෙක්‌ නිර්ණායක ඉදිරිපත් කර නැත. අප පසුගිය සතියේ සඳහන් කළ පරිදි බටහිර කිසි ම ප්‍රවාදයක්‌ සත්‍ය යෑයි පෙන්වා දිය නො හැකි ය. සත්‍යය යනු කුමක්‌ දැයි නිර්වචනය කර ඒ නිර්වචනය යොදාගනිමින් බටහිර විද්‍යාවේ වියුක්‌ත (අමරතුංග මහතා වියුක්‌ත යනු කුමක්‌ දැයි දැන් වත් දන්නේ නම්) ප්‍රවාදයක්‌ සත්‍ය බව පෙන්නුම් කරන මෙන් අමරතුංග මහතාට අභියෝග කරමි. අභියෝගය පිළිගැනීමට ඉක්‌මන් නො වී පසුගිය සතියේ මා ලියූ ලිපිය කියවා තේරුම්ගන්නා ලෙස මම ඒ මහතාට ආරාධනය කරමි. 

අනෙක්‌ අතට එකොළොස්‌ වැනි සියවසේ පමණ සිට පහළොස්‌ වැනි සියවස දක්‌වා ඒ ඒ රටවල දැනුම වර්ධනය වී ඇති ආකාරය අමරතුංග මහතා හදාරා ඇත් ද? අඩු ම තරමෙන් අප රටේ දැනුම ඒ වකවානුවෙහි (එනම් අනුරාධපුර රාජධානියේ අවසාන කාලයේ සිටි පෘතුගීසීන් මෙරටට පැමිණීමට ආසන්න කාලය වන තෙක්‌) වර්ධනය වී ඇත්තේ කෙසේ දැයි ඒ මහතා හදාරා ඇත් ද? ඒ වර්ධනය දහ සය වැනි සියවසේ සිට විසි වැනි සිය වස අවසානය දක්‌වා බටහිර ඇති වූ දැනුම් වර්ධනයත් සමග සැස`දීමෙන් අමරතුංග මහතාට කිනම් නිගමනවලට පැමිණිය හැකි ද?

අප රටවල් අධිරාජ්‍යවාදීන්ට යටත් වීමෙන් පසුව අපේ දැනුම මිථ්‍යා බවට පත් කෙරිණි. අපේ දැනුම වෙනුවට අපට ආගන්තුක වූ බටහිර දැනුම අප මත බලයෙන් පැටවිණි. අපට එහි වර්ධනයට දායක වීමට නො හැකි විය. එහෙත් අමරතුංග මහතා කියන ආකාරයට නම් සිදු වී ඇත්තේ අපේ ම දැනුමක්‌ වූ බටහිර දැනුම, විශේෂිත ව ගත හොත් අපේ ම විද්‍යාවක්‌ වූ බටහිර විද්‍යාව, අපට හදාරන්නට ලැබීම ය. දැන් ප්‍රශ්නය වන්නේ මෙය ය. බටහිර විද්‍යාව අපේ විද්‍යාව නම් අපේ විද්‍යාව වූ බටහිර විද්‍යාව අපේ අටේ වර්තමානයෙහි වර්ධනය නො වූයේ ඇයි? එයට ප්‍රධාන හේතුවක්‌ වන්නේ අධිරාජ්‍යවාදයට අප යට වීම යෑයි කිව හැකි ද? අපේ ම වූ බටහිර විද්‍යාව අප රටේ වර්ධනය කරගැනීමට අධිරාජ්‍යවාදීහු අපට බාධා කළෝ ද?

අධිරාජ්‍යවාදීන් අපට බාධා කළේ කිනම් ආකාරයට ද? අපට නියම බටහිර අධ්‍යාපනයක්‌ දීමට ඔවුහු කටයුතු නො කළෝ ද? අපට අවශ්‍ය පහසුකම් සපයනු නො ලැබිණි ද? ලංකා විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨය බවට පත් වීමට පළමු ඉංගිරිසින් ලංකාවෙහි පිහිටුවූයේ වෛද්‍ය විද්‍යාලය ය. (අමරතුංග මහතාට නම් තවමත් ඇත්තේ වෛද්‍ය විද්‍යාල යෘ) එය 1870 දී පමණ සිදු විණි යෑයි සිතමි. එදා කෙසේ වෙතත් පසුව වෛද්‍ය පීඨවල ඊනියා පර්යේෂණ ද ඇරඹිණි. බටහිර වෛද්‍ය විද්‍යාව අපේ විද්‍යාවක්‌ නම් ඊනියා පර්යේෂණවලින් හරිහමන් සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ බටහිර වෛද්‍ය විද්‍යාවට එකතු කිරීමට අපට නොහැකි වී ඇත්තේ ඇයි? එයට හේතුව අපට ඊනියා පහසුකම් නැතිකම ද? එසේත් නැත්නම් මෙරට බටහිර වෛද්‍යවරුන්ට බුද්ධිය නොමැති වීම ද? එසේත් නැත්නම් වෙනත් හේතුවක්‌ ද?

අප රටේ පහසුකම් නැතැයි සිතමු. එහෙත් පසුගිය අවුරුදු පනහක පමණ කාලයක මෙරටින් බටහිර රටවල විශ්වවිද්‍යාලවලට ගොස්‌ බටහිර වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත පර්යේෂණවල නිරත වන්නෝ බොහෝ වෙති. ඒ රටවල ඔවුන්ට පහසුකම් නැතැයි කිව නොහැකි ය. එහෙත් ඔවුන් අතින් වුව බටහිර වෛද්‍ය විද්‍යාවේ සංකල්පීය හෝ ප්‍රවාදාත්මක හෝ වර්ධනයට සිදු වී ඇති දායකත්වය කවරේ ද? ඔවුන් ගේ දරුවන් හෝ විශේෂයෙන් ම මුණුබුරන් හෝ පසු කලෙක එවැනි වර්ධනයකට දායක වීමට හැකි වුවත් මෙරටින් ඒ රටවලට ගොස්‌ ඇති අය ගෙන් සිදු වන දායකත්වයක්‌ නැත. 

මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙහි ශල්‍යවෛද්‍ය මහාචාර්යවරයා ලෙස කටයුතු කර ඇත. එහෙත් මා ඒ මහතා හඳුනන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සභාපතිවරයා ලෙස ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වැටුප් ප්‍රශ්නයේ දී ප්‍රතිපාදන කොමිසම සමග පැවැත්වූ සාකච්ඡාවල දී ආචාර්යවරුන් ගේ නියෝජිත කණ්‌ඩායම මා විසින් මෙහෙයවනු ලැබිණි. ඇතැම් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ඒ සටන අතරතුර දී අපට බාධා ඇති කළ මුත් අළුවිහාරේ මහතා අපට හිතවත් විය. ඔහු ආචාර්ය සමිති සම්මේලනයේ රැස්‌වීම් පැවැත්වීමට ප්‍රතිපාදන කොමිසමේ මාණ්‌ඩලික රැස්‌වීම් ශාලාව අපට ලබා දුන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි එවකට සිටි උපකුලපතිවරයා ආචාර්ය සමිති සම්මේලනයට විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් කර තිබිය දී ය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා අස්‌ කරනු ලැබීමෙන් පසුව ද ඇතැම් ආචාර්යවරුන් ගේ විරෝධතා මධ්‍යයෙහි ඒ මහතා මට සමිති සම්මේලනයෙහි සභාපති ලෙස දිගට ම කටයුතු කිරීමට අවසර දුනනේ ඉංගිරිසි උපදේශකවරුන් ගේ සංගමයේ බාහිර නියෝජිතයකු ලෙස කටයුතු කිරීමට වෘත්තීය සමිති පනතෙන් මට ලැබී තිබුණු නෛතික තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. 

වෘත්තීය සමිති සාකච්ඡා පවත්වන අතර අපි සුහද ව ආළාහන (අමරතුංග මහතා මේ පිරිවෙනේ නම වත් හරිහැටි දැන සිටියේ නැත) පිරිවනෙන් ලැබුණු උපකරණ ගැන ද අළුවිහාරේ මහතා ගේ මඟපෙන්වීම මත ආයුර්වේද වෛද්‍ය උපාලි පිලපිටිය මහතා කළ ඇතැම් පරීක්‌ෂණ ගැන ද කතා කළෙමු. අළුවිහාරේ මහතා සමග සියලු කරුණු වල දී මා එකඟ නො වුණත් ඒ මහතා පිළිබඳ ව මගේ ඇත්තේ ගෞරවයකි. ඒ මහතා කලක්‌ බටහිර රටවල සේවය කර ඇති බව ද මම දනිමි. ඒ මහතා මා දන්නා බොහෝ ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා බොහෝ බුද්ධිමත් ය. එහෙත් ඒ මහතාට වුව ද බටහිර වෛද්‍ය විද්‍යාවට සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ එකතු කිරීමට නොහැකි විය. මා එසේ පවසන්නේ ඒ මහතාට කරන අගෞරවයක්‌ ලෙස නො වේ. 

අපට බටහිර විද්‍යාවේ වර්ධනයට සාධක වශයෙන් ගත හොත් දායක වීමට නොහැක්‌කේ අපට බටහිර චින්තනය (එනම් බටහිර විද්‍යාවේ චින්තනය) ආගන්තුක බැවිනි. වියුක්‌ත ව සිතීමට නොහැකි වුවත් අපට බටහිර විද්‍යාව යම් අයුරකින් තේරුම්ගත හැකි ය. අප බටහිර විද්‍යාව හා බටහිර ගණිතය තේරුම් ගන්නේ වියුක්‌ත ව නො වේ. අප සරල රේඛා ගැන සිතන්නේ කඩදාසියක පැන්සලකින් ඇඳගත් රේඛා ලෙස ය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) පරීක්‌ෂණයේ දී ගණිතයෙන් විශිෂ්ට සාමර්ථ්‍යයක්‌ ලබා ගැනීමට ඒ ප්‍රමාණවත් ය. මා දන්නා ගණිතය (විශේෂ) උපාධිධාරීන්ටත් සරල රේඛාවක්‌ ගැන වියුක්‌ත ව සිතිය නොහැකි ය. දත ගැන වියුක්‌ත ව සිතන දන්ත වෛද්‍ය විද්‍යා මහාචාර්යවරු ලංකාවේ වෙත් ද? වියුක්‌ත ව සිතන්නට බැරි වුවත් ඔවුන්ට ප්‍රථම පංතියේ උපාධි ලබාගැනීමට හැකි ය. එහෙත් ඔවුන්ට බටහිර විද්‍යාවට හෝ බටහිර ගණිතයට සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ එකතු කිරීමට හෝ නොහැකි ය. 

බටහිර විද්‍යාව චීනයේ ඇති නො වීමට හේතු වශයෙන් නීඩ්හම් දක්‌වන දේ මම පසුව උපුටා දක්‌වමි. අපි දැනට අමරතුංග මහතා ඒ ගැන කියා ඇති දේ පමණක්‌ සලකමු. "චීනයේ ටාඔස්‌ සහ කොන්ෆියුසියස්‌ ධර්මයන් නිසා ඒ රටේ විද්‍යාව දියුණු වූයේ නැති බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වන විද්වත් ජෝශප් නිඩ්හම් පවසා ඇත." ටාඔස්‌ යනු කවුද? අමරතුංග මහතාට ඒ නම් ද ආගන්තුක බව පැහැදිලි ය. සාමාන්‍යයෙන් ඉංගිරිසියෙන් ලාඕ ට්‌සේ කෙනකු ගැන කියෑවෙයි. මේ ඔහු විය යුතු ය. ඒ ගුරුතුමා ගැන චීන බසින් කියෑවෙන්නේ ලාඕ තුමා යන අර්ථය ඇති ව ය. එහෙත් එතුමා ගේ නම ලී අර් යන්න ය. ඔහුට ගෞරවයෙන් ලාඕ තුමා යෑයි කියෑවෙයි. එතුමා ගේ දහම තාඕ (මාර්ගය) ලෙස හැඳින්වෙයි. කොන්ෆියුසියස්‌ යන්න ඉංගිරිසියෙන් අදාළ නම උච්චාරණය කෙරෙන්නේ එලෙස බැවින් අමරතුංග මහතාට මෙහි දී චෝදනාවක්‌ නැඟිය හැකි නො වේ. 

එහෙත් එතුමා ගේ නම උච්චාරණය කෙරෙන්නේ කුං ෆු- ත්ස ලෙස ය. ෆු - ත්ස යන්නෙහි තේරුම ගුරුතුමා යන්න ය. එබැවින් සුද්දන් කොන්ෆියුසියස්‌ යන්නෙන් කියන්නේ කුං ගුරුතුමා ගැන ය. මේ පිළිබඳ අමරතුංග මහතා ගේ දැනුම කෙසේ වෙතත් අපට මෙහි දී වැදගත් වන්නේ ඒ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් ගේ ඉගැන්වීම් නිසා බටහිර විද්‍යාව චීනයේ ඇති නො වූ බවට (අවශ්‍ය නම් වර්ධනය නො වූ බවට නීඩ්හම් කර ඇති ප්‍රකාශය ය. (නීඩ්හම් තවත් දේ ද කියා ඇත. අපි ඒ පසුව සලකා බලමු). මෙයින් කියෑවෙන්නේ චීනයේ තිබූ චින්තනය බටහිර විද්‍යාව බිහි වීමට විරුද්ධ ව ගිය බව මිස වෙනත් දෙයක්‌ නො වේ. සංස්‌කෘතිය දැනුමට බලපාන අයුරු අපට නීඩ්හම් ම`ගින් කියා දීම ගැන අමරතුංග මහතාට අපි කෘතඥ වෙමු.


නලින් ද සිල්වා

2014-05-07