09 May 2014

දුම්වැටි විරෝධය

අද මම පුරුදු විදිහට කන්තෝරුවට එන්ඩ නුගේගොඩ බස් එකට ආමර් වීදියෙන් ගොඩ උනා. සෙනග ගොඩක් පුරෝගෙන බස් එක මරදාන බොරැල්ල පහු කරගෙන රාජගිරිය ආයුර්වේදය කිට්ටුවට ආවා. ඔන්න එතනින් එහාට්ට බස් එක අඩියක්වත් යන්නේ නෑ.

සෑහෙන ට්‍රැෆික් එකක්... !

වෙනදා නැති තරම් ලොකු ට්‍රැෆික් එකක් ඇති වෙන්ඩ නං මොකක් නමුත් හේතුවක් තියෙන්ඩ ඕන කියලා මම පොඩ්ඩක් විපරම් කලා.ඒත් හේතුව හොයන්ඩ නෑ. පෑ කාලක් විතර යන්කොට රාජගිරිය බෝධිය පේන හරියට ආවා.

එතකොට තමා කාරණය තේරුනේ.

අද දුම්වැටි විරෝධී පාගමනක් ලෑස්ති කරලා.ඒ පාගමන හන්දයි මේ තරම් ලොකු ට්‍රැෆික් එකක් ඇතිවෙලා තියෙන්නේ. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයත් මේ කිට්ටුවෙන් තියෙන නිසා ඒ ආයතනයෙන් සංවිධානය කරපු පාගමනක් වෙන්ඩ ඕන.

මේ පාගමන දැක්කහම මට හිතුනේ මේක බොරු වැඩක් කියලා.... !

පාරවලුත් බ්ලොක් කරගෙන මෙහෙම පාගමනක් ගිහින් දුම්වැටි විරෝධය ඇති කරන්ඩ බෑ.. ඒක දවල් හීනයක් විතරයි. ඒකට රජයේ ප්‍රතිපත්තියක් ගේන්ඩ ඕන. දුම්වැටි ගෙන්වන එක හරි නිශ්පාදනය කරන එක හරි සීමා කරන්ඩ ඕන. එහෙම නැත්නම් නවත්තලා දාන්ඩ ඕන.

දැනට තියෙන රජයට තුනෙන් දෙකක බලතල තියෙන එකේ ඒ වගේ ලොකු තීරණයකට යන්ඩ ලේසියෙන්ම පුලුවන්. දුම්වැටි වාරණයක් දැම්මා නම් ඉක්මනින්ම මේක නවත්ත ගත්තෑකි.

ඒ නැතුව මෙහෙම එක දවසක් පාගමන් ගිහින් දුම්වැටි වලට තිත තියන්ඩ අමාරුයි.  අපි බලාගෙන ඉමු මේ පාගමන ගිහින් ඊලඟට ගන්න තීරණය මොකද්ද කියලා.

මේ මගේ අදහස... !
ඔයගොල්ලන්ගේ අදහසුත් ඇති. මම හරි හෝ වැරදි හෝ පහදලා පහලින් කමෙන්ට් කරන්ඩ. එකතු කරන්න තව අදහස් තියෙනවා නං පහලින් කමෙන්ට් කරන්ඩ.

25 comments:

  1. දුම්වැටි වරනයක්නම් කොහොමත් වෙන්නේ නෑ.සිගරට් පෙට්ටියේ රූපමය අවවාද දාන්න ඕනේ කියලා නීති හදාගන්න බැරුව දගලපු ආණ්ඩුවකට ඔය වගේ දෙයක් කොහොමත් කරන්න බෑ.

    ReplyDelete
  2. අපේ රටේ තිත් තියපු තැන අනුව තමා දුම්වැටි හා මත්පැන් භාවිතය වැඩි වෙලා තියෙන්නෙ ....
    සිකරට් එකක් ගහන ගමන් මේ කරන උද්ගොෂණත් අර ගව ඝාතන නතර කරමු වගේ තමයි ,මොකක් හරි තියෙන්නත් එපැයි කතා කර කර ඉන්න ...

    ReplyDelete
  3. මතට තිත වගෙ තමයි ... ඔව්ව හදන අය තමයි ඉලැක්සොන් වලට සල්ලි වියදං කරන්නෙ.

    ReplyDelete
  4. දුම්වැටියට තිත තියන්නවත්, එහෙම නැතිව වෙනත් ඒ වගේ දෙයක් සමාජෙන් ඉවත් කරන්නවත් කවදාවත් මේ වගේ දේවල් වලින් බෑ. ආණ්ඩුවකට පුලුවන් "එක ෂොට් එකෙන්" මේව ඔක්කොම නවත්තල දාන්න. ඒ නිසා මේ වගේ දේවල් වලට පාරවල් බ්ලොක් කරගෙන වේලි වේලි අර පොඩි කාලෙ ඉස්කෝලෙදි බෝඩ් උස්සගෙන පෙලපාලි යන්න ඕනි නෑ. සැබෑ උවමනාවක් තියෙනවනම් කරන්න තියෙන ලේසිම හොඳම දේ ඒවගේ කෙලින් තීරණයක් ගන්න පුලුවන් කොන්ද පණ තියෙන හොඳ ආණ්ඩුවක් පිහිටවගන්නෙකයි. ඒකට හැමෝම එකතුවෙන එකයි.

    ReplyDelete
  5. මේවට එරෙහිව අධිකරණ නියෝග ගන්න කෙනෙක් නැතුව ඇති නේද?

    ReplyDelete
  6. තිත කියන වචනෙටත් මම කැමති නෑ...

    ReplyDelete
  7. ලෝකෙ තිබුණු බලවත්ම ත්‍රස්තවාදය විනාශ කරන්ඩ පුළවන් වුණානම් මත්ද්‍රව්‍ය කියන ත්‍රස්තවාදය නැති කරන්ඩ බැහැයි කියනවනම් ඒක මහම මහ බොරුවක්.

    ReplyDelete
  8. දුම් වැටි මත් ද්‍රවය සදහටම ඉවර කරන්න නම් බැරි වෙයි හැබැයි පාලනය කරන්නනම් පුලුවන් වෙයි. ඒත් බොන අය බොනවාමයි කඩදාසි දුන්කොලයි ඔතලා හරි. වෙනස් වෙන්න ඔන මිණිසුන්ගෙ මනස. ඒත කොට ඔය කෝකටත් නිකම්ම තිත වැටෙයි. මානව ශිෂ්ඨාඡාරය අවුරුදු දහස් ගණනක් තිබිලත් අද වෙන කම් මොන රටේද ඔවට තිත තිබ්බේ.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  9. ආන්ඩුව මේක කවදාවත් කරන්නේ නැහැ. මම දන්න විදිහට එක සිගරට් එකකින් කම්පැනි එකට එන ලාබයට වඩා ප්‍රමාණයක් බදු වලින් ආන්ඩුවට ලැබෙනවා. අරක්කු වුනත් එහෙම තමයි.

    ReplyDelete
  10. මතට තිත තිබ්බේ ඉතින් පොඩි පොඩි මිනිස්සුන්ගෙන් කරදරයක් නැති නිසානේ. අනික සිගර‍ටුත් නවත්වන්න පුලුවන් ඔනෙනම්, එහෙම නැතිව කට්ටිය කරන්නේ තව එක එක එවා ගෙන එකනේ. නිකමට බලන්න සිකරට් නිසා කොච්චර සල්ලියක් නස්ති වෙනවද කියල.

    ReplyDelete
  11. අයියෝ ධුම දන මකරෝ නං ඕනෑම නෑ :P

    ReplyDelete
  12. සිගරට් මොකද බලෙන් නවත්තන්නේ , එක නීති දාලා නවත්තන්න ඕනේ නෑ. ඉක්මනට මැරෙන්න කැමති අය බොයි ,අනිත් අය නොබී ඉඳියි, මිනිස්සු පෞද්ගලිකව ගන්න ඕන තීරණ ඒවා ,මං හිතන හැටියට

    ReplyDelete
  13. හ්ම්ම් මෙහෙමයි ඔය ගැන දැන් මගේ අදහස…

    1. මම මත් වෙන කිසිම දෙයක් බාවිත කරන්නෑ
    2. ඒත් බාවිත කරන කිසිම එකෙක්ට එපා කියලා උපදෙස් දෙන්නෙත් නෑ. (මගෙ බාල සහෝදරයෙකුට හෝ කවදාහෝ මගෙ දරුවෙකුට හැර)

    දැන් හිතෙනවා ඇති මම මහ කුහක ආත්මාර්ථකාමියෙක් කියලා. ඒත් අපි උපදෙස් දෙන්න ගියොත් වෙන්නෙ 'ලොකු ඔළුව තියෙන එකෙක්' 'ඌ ෆන් ගන්නැතිව අනිත් උන් ෆන් ගන්නවට ඉරිසියා කාරයෙක්' ආදී ලෙස හංවඩු ගැසීමයි. මගේ හිතවතුන්ට කියන එකම දේ "බොනවා නම් උඹලට දරාගන්න පුළුවන් තරමට බීපන්."

    පුළුවන් නම්… ඔය බොන උන්ට නොබොන උන්ගෙන් ආදර්ශයක් ගත්තා නම් නොබී ඉන්න පුළුවන්. මොකද ඇඟිල්ලෙන් ඇන ඇන හොද නරක කියලා දෙන්න බොන්නෙ බබ්බු නෙමේනෙ (21+ නීතියට අනුව)

    ඒ වගේම තවත් එකක් මම මත්පැන් වේවා, මත්වැටි වේවා බොන උන් ඔක්කොම එක කුලකයකට දාන්නෙ නෑ.

    හැබැයි ඔය දෙවනි කරුණ සම්බන්ධයෙන් මීට අවුරුද්දකට කලින් මට තිබුනෙ මීට හාත් පසින් විරුද්ධ ප්‍රතිපත්තියක්.

    ReplyDelete
  14. මධූ අය්ය මේම කියන්න මං කැමති නෑ...ඒත් ඔයහ වගේදෙකට විරෝධතා දක්වන අය කරන්නෙ ටයිම් පාස් කරගැනිල්ලක්...
    ඕ වගේ දෙයක් කරන්න වාරණ දාල බෑ... මොකද එහෙමබ වුණාම ඕවටත් ගිංජ වලට වගේ බ්ලැක් මාකට් එකක් හැදෙනව....
    කරනව නං සහ කරන්න පුලුවං නං මට දැනෙන එකම වැඩේ මුං ඔක්කගෙම ඔළු හෝදන එක

    ReplyDelete
  15. //පාරවලුත් බ්ලොක් කරගෙන මෙහෙම පාගමනක් ගිහින් දුම්වැටි විරෝධය ඇති කරන්ඩ බෑ.. // දැන් හැම දෙයක් ම කරන්න හදන්නෙ මෙහෙමනේ!

    ReplyDelete
  16. සිගරට් බොන එක නම් තමුන්මයි නැතිකරගන්න ඕනෙ. නීති දැම්මට බොන එකා කොහොමත් හොරෙන් බොනවනෙ. සිගරට් බීම කියන්නෙ ලොකුදෙයක් නොවෙන බව සමාජගත කරන්නෝනා.. එතකොට යම් පිරිසක්වත් එතනින් හැලෙයි.. උදාහරණයකට කිව්වොත් කසිප්පු බීම පහත්කමක් වෙලානෙ තියෙන්නෙ.

    ReplyDelete
  17. //මෙහෙම එක දවසක් පාගමන් ගිහින් දුම්වැටි වලට තිත තියන්ඩ අමාරුයි.// කියන එකට මාත් එකඟයි..

    ReplyDelete
  18. පා ගමනින් ගිහින් දුම් වැටි නවත්තන්න හිතනවාට වඞා හොදයි අල්ලපු ගෙදර බල්ලාට සිංහල උගන්නනවා

    ReplyDelete
  19. දුම්වැටි විරෝධී පා ගමනේ ආර් දුමින්ද සිල්වා ගොයියත් හිටියා කියලා මම දැක්කා මාධ්‍ය වාර්තා වල...

    ReplyDelete
  20. අපෝ දැනට පවතින රජයද? කොරයි කියලා තමා බය

    ReplyDelete
  21. මමනම් එකගයි.මොකද දුම්වැටි නවත්තල එ වෙනුවට කුඩු ප්‍රමොට් කරන්නනේ හදන්නෙ

    ReplyDelete
  22. ඈස්චරිය කියන්නෙ ඔන්න ඕකට තමයි බං.

    ReplyDelete
  23. වැඩක් නෑ.. රජයෙ ඇමැට්ටන්ට බලය තියෙන්නෙ කොමිස් ගහන්නයි කුඩු ගෙන්නන්නයි මිනී මරන්නයි විතරයි..
    රටට වැඩක් ඇති දෙයක් කරන්න ගියාම බලේ නෑ, මරණ තර්ජන..
    දුම්වැටි විරෝධී පාගමන නිසා ඇතිවුනු තදබදය අස්සෙ නිකං නවත්තන් ඉන්න අතරෙ පිටවුනු වාහන වල දුම් තොගයෙන් මොන තරම් හානියක් වෙනව ඇද්ද..
    මේව ලෙඩා මළත් බඩසුද්දයි තාලයේ කෝලම් විතරයි..

    ReplyDelete
  24. බාණ්ඩාගාරයට වැඩියෙන්ම සල්ලි එන්නේ දුම්කොල හන්දා වෙච්ච එකේ ඕක වාරණය කරලා කොහොමද?

    ReplyDelete
  25. වැඩක් නෑ අනේ .... ඕනිම දෙයක් පටන් ගන්ට හරි නවත්තන්ට හරි පුලුවන් තමන්ටම විතරයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.