Thursday, April 24, 2014

බොදු බල සේනාව විදෙස් කුළී සේනාංකයක් ද?

ජාතිකවාදීන් සහ ඒ හා සමාන අදහස් දරන්නන් පවසන පරිදි බොදුබල සේනාව විදෙස් කුලී සේනාංකයකි. බටහිර එකම අරමුණ මහින්ද බලයෙන් පහකිරීමය. ඒ සඳහා ඔවුන් මෙතෙක් පිටත සිට සිදු කළ සියලු කුමන්ත්‍රණ අසාර්ථක වී තිබේ. එහෙයින් මෙවර අලුත් උපක්‍රමයක් තෝරා ඇත. 

ඔවුන්ගේ නව උපක්‍රමය පිටතින් නොව ඇතුළතින් පිපිරීමක් ආරම්භ කිරීමය. සිංහල මුස්ලිම් කෝලාහලයක් නිර්මාණය කර ඒ ඔස්සේ බටහිර විරෝධි මුස්ලිම්වරු මහින්දගෙන් ඈත්කිරීමය. මුස්ලිම් රටවල සහාය නැති කොට මහින්ද ලෝකයේ හුදෙකලා කිරීමය. සිංහලයින් අතර ගැටුම් ඇති කර ඔවුන් ද මහින්දගෙන් ඈත් කරවීමය. ඔහු බලයෙන් පහකර නැවත මේ රටට ඇඟිලි ගැසිය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමය. නැවත ඊළම වෙත යෑමය. 

ඒ සඳහා මේ විදෙස් බලවේග රට තුළ කුළී සේනාංකයක් නිර්මාණය කර තිබේ. ඒ බොදුබලසේනා සංවිධානයයි. මේ සංවිධානය පිටුපස ඇත්තේ නෝර්වේ ඇතුළු බටහිර රටවල්ය. ඒ සඳහා අවශ්‍ය සියලු මුදල් බටහිර NGO හරහා ලැබේ. එක් අතකින් රට රටවල ඉස්ලාම් වහාබ්වාදය ස්ථාපිත කරන බටහිරයෝ අනිත් අතින් ඊට එරෙහිව ගැටුම් ඇති කර රටවල් අස්ථාවර කරන බව මේ තර්කයේ හරයයි. ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, සිරියාව වැනි රටවල මෙය සිදුවූ අතර දැනටත් සිදු කෙරෙමින් පවතී. 

මුස්ලිම් නොවන රටවල මේ කුමන්ත්‍රණය මගින් සාම්ප්‍රදායික මුස්ලිම්වරු වහාබ්වාදයේ ගොදුරු බවට පත් කර සෙසු ජාතීන් සමඟ ගැටුම් ඇති කරනු ලැබේ. බුරුමයේ 969 සහ ලංකාවේ බොදුබල සේනාව මේ ගැටුම් උග්‍ර කරනු පිණිස බටහිරයින් බිහි කළ කුළී සේනාංකය.   

මේ කතාව අපට එකවර බැහැර කරලිය නොහැකිය. ලෝකය පුරා තමන්ට රුචි නොවන මහජන ඡන්දයෙන් පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පෙරලීමට ගැටුම් නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් අනුගමනය කරන නිර්ලජ්ජී පහත් ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් ඇති අයෙකුට එය කිසිසේත් සුළුකොට තැකිය හැකි තර්කයක් නොවේ. 

අපේ විචාරකයින් නඟන මේ තර්කය සත්‍ය නම් දේශමාමක ජනතාව වහා බොදු බලසේනාවට එරෙහිව සන්නද්ධ විය යුතුය. එදා කොටි ත්‍රස්තවාදීන් පරාජය කරනු පිණිස එක්වූවා සේ ජාතිය නැවත සටනට අවතීර්ණ විය යුතුය. ඒ සඳහා ජනතාව අවදි කිරීමට අපි සුදානම්ය. මන්ද අපට අවසානයේ වැදගත් වන්නේ සංවිධාන හෝ පුද්ගලයින් නොව රට නිසාය. විවිධ සංවිධාන යනු එහි ආරක්ෂාව පිණිස විවිධ ක්‍රියාමාර්ග ගැනීම සඳහා භාවිත කරන පහුරු පමණි.

කෙසේ වුවද ඊට පෙර බොදුබල සේනාව බටහිර කුළී සේනාවක් බව සාධක සහිතව සනාථ කිරීම මේ විද්වතුන්ගේ යුතුකමය. ඔවුන් සිය මතය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන තර්ක දෙකකි. පළමුවැන්න බොදුබලසේනාවේ නායකහිමිවරු නෝර්වේ රටේ සංචාරයක නිරත වීමෙන් පසුව මෙලෙස සංවිධානයක් පිහිටුවා ගැනීමය. දෙවැන්න ඩිලන්ත විතානගේ නම් බලසේනාවේ නිලධාරියා හිටපු NGOකාරයෙකු වීමය.

එදා අනගාරික ධර්මපාලතුමා ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල සංචාරය කළේය. ඕල්කට්තුමා නම් සුද්දාගේ භාෂා පරිවර්තක ලෙස රටපුරා සංචාරය කළේය. මේ සාධක පදනම් කරගෙන කිසිවෙකු ධර්මපාලතුමා බටහිර කුමන්ත්‍රණකාරයෙකැයි එදා කීවේදැයි මම නොදනිමි. එසේ කීවා නම් පුදුම නොවෙමි. කොටි ත්‍රස්තයින් පරාජය යුද්ධය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ ගෝඨාභය රාජපක්ෂ දශකයක් පමණ ඇමරිකාවේ වාසය කර පැමිණියෙකි. එහෙත් ඔහු ඇමරිකානු සහ යුරෝපීය අවශ්‍යතා අනුව ඊළම දීමට කුමන්ත්‍රණය කළ බවක් මා අසා නැත. එසේ නම් බොදුබල සේනාවවේ හිමිවරු නෝර්වේ ගිය පමණින් ඔවුන්ට කුමන්ත්‍රණකාරයින් යැයි කිව හැකි ද?

බුදුන් දවස මිනී මරමින් විසූ අංගුලිමාල බුදු බණ අසා මහණ වී රහත් විය. අංගුලිමාල මහා රහතන් වහන්සේ නමින් ප්‍රසිද්ධ විය. එදා ඉංග්‍රීසි කුළී හමුදාවට නායකත්වය දෙමින් සිංහල විමුක්ති හමුදාව විනාශ කරනට පැමිණි කැප්පෙටිපොළ සිංහලයින් සමඟ එක්වී සිංහලයාට නායකත්වය දුන්නේය. කතෝලික සම්භවයක් සහිත පුරන් අප්පු සිංහල බෞද්ධයින් සමඟ එක්ව සුද්දාට එරෙහිව සටන් කළේය. ළමා සොල්දාදුවෙකු වූ කරුණා අම්මාන්, පසුව කොටි පරාජය කිරීමට සහාය වී විනයාගමූර්ති මුරලිදරන් නමින් ශ්‍රීලනීපයේ උපසභාපතිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු බවට පත්ව සිටී. 

එසේ නම් ඩිලන්ත විතානගේගේට NGOකාරයෙකු වී සිට බොදුබලසේනාවට පැමිණිය නොහැකි මන්ද? මගේ තර්කය ඔවුන් බටහිර කුමන්ත්‍රණකාරයින් නම් එය සංගතව පෙන්වා දිය යුතු බවය. මොවුන්ට බටහිර සමඟ ඇති සබඳතා හෙළි කිරීම මේ බුද්ධිමතුන්ගේ වගකීමයි. ඉහත දක්වා ඇති කාරණා නම් ඒ සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. පිළිගත හැකි කරුණු කාරණා ඉදිරිපත් කළහොත් ඒවා ඉතා නිහතමානීව පිළිගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට තරම් මම නිහතමානී වෙමි.

එසේ නොමැතිව ලෝකය පෙරළෙනවා යැයි කී විට නිදා සිට ඇහැරුණු හාවා මෙන් මොවුන් පෙන්වන බටහිර බිල්ලා දැක අපට නොහැකිය. බටහිර බලවේග පිළිබඳ කතාව විහිළුවක් බවට පත් නොකිරීම මේ විද්වතුන්ගේ වගකීමයි. බොරුවට බොරුවට කොටියා එනවා යැයි කෑ ගැසූ කොලුවට ඇත්තට ම කොටියා ආ දිනයේ සිදුවූ සන්තෑසිය සිහිපත් කර ගැනීම මැනවී.

ඔබලා බටහිර බිල්ලෙකු පෙන්වමින් වහාබ්වාදයට අනියමින් උදව් කරන ප්‍රවාද නිර්මාණය කරන්නේ මුස්ලිම් පල්ලියේ සල්ලිවලට යැයි කෙනෙකු තර්ක කළහොත් එය සාධාරණද? මට අනුව නම් එය සාධාරණ නැත. 

මේ විද්වතුන් බටහිර විසින් නිර්මාණය කළ පැවසෙන 969 සහ බොදුබල සේනා සංවිධාන දැන් බටහිර විසින් ත්‍රස්ත ලැයිස්තුවට එක්කර තිබීම උත්ප්‍රාසජනකය. අනිත් අතට රජය පෙරළීම සඳහා බටහිර විසින් නිර්මාණය කළ මේ සංවිධාවලට රාජ්‍ය අනුග්‍රහය ද ලැබේ. එය ද අපූරු දීගයකි.  

සැබවින් ම මේ සංවිධාන බිහිවූයේ වහාබ්වාදයට විරුද්ධවය. එහෙයින් වහාබ්වාදය සහ ඊට එරෙහි සංවිධාන ද බටහිර නම්, දිනෙන් දින මේ රටේ පිළිකාවක් සේ වහාබ්වාදය ව්‍යාප්ත වේ නම් අප කළ යුත්තේ කුමක් ද? වහාබ්වාදයට මේ රට ගිලගැනීමට ඉඩදිය යුතුද? ජාතික චින්කයින්ගේ පිළිතුර එයද?

සැබවින් ම මේ තර්කය ඔස්සේ බෞද්ධයින් ගෙදර ගියත් තෝ නසී, මග සිටියත් තෝ නසී තත්ත්වයට පත්කර තිබේ. ලොව ඕනෑම රටක ඇති වන දේශපාලන උපනතීන් ලෝක බලවතුන් සිය වාසියට භාවිත කිරීම විය හැක්කකි. එය සර්වකාලීන තත්ත්වයකි. එය බටහිරට පමණක් නොව ඉස්ලාම් ලෝකයට ද එක සේ අදාළය. 

එහෙත් ඊනියා බටහිර භීතිකාවක් මවා වහාබ්වාදයට එරෙහි බලවේග යටපත් කිරීමට දරන උත්සාහයට මම එරෙහි වෙමි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ දැනුමට විකල්පයක් ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ඊට අනුගත දැනුම පිහිටුවන මේ බුද්ධිමතුන්, සිංහල බෞද්ධ සංස්කෘතිය සුන්නත් කර තොප්පියක් පළන්දන තුරු වැදි බණ දෙසීම අවාසනාවකි.    

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !