4.19.2014

ඇට දාලා හොල්ලන පෙට්ටිය

"අර මොකක්ද අර ළමයා ගහන්නෙ?"

"ඒ වධක බෙරේනෙ."

"කරස් කරස් ගාල සද්දෙ යනවා නේද? මොනවයින්ද ඒක හදලා තියෙන්නෙ?"

"මෙන්න මෙහෙම පෙට්ටියක් හදලා ඒකට ඇට ජාතියක් මොනාහරි දාලා තියෙන්නෙ"

"ඇට? මොන ඇටද?"

මෙන්න මේ විදිහේ කථාබහක් පහුගිය මහ බ්‍රහස්පතින්දා හරි මහ සිකුරාදා හරි පල්ලියේ පූජාවට සහභාගි වෙච්ච දෙදෙනෙක් අතරේ ඇතිවෙලා තියෙන්නත් පුළුවන්. මේ වගේ කථාබහක් ඊළඟ අවුරුද්දෙ ඇති නොවෙන්න අද කියන්නම් වධක බෙරේ(wooden rattle) විස්තරේ.

ජුදයාව පුරා දේශනා පවත්වමින්, ලෙඩුන් සුවකරමින් ඇවිදපු ජේසුස් වහන්සේව ජුදා ආගමික නායකයින් විසින් අල්ලාගෙන දසවද දී කුරුසියේ මරණීය දණ්ඩනයට නියම කළ බව ඕගොල්ලො හැමෝම වගේ දන්නවනෙ. දන්නෙ නෑ කියලා නම් කියන්න බෑ මතකද මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව මුල ඉඳලම ලිව්වා.

ජේසුස් වහන්සේගේ උපත
ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය 1 කොටස
ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය 2 කොටස
ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය 3 කොටස
ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය
ජේසුස් වහන්සේගේ මරණය 1 කොටස
ජේසුස් වහන්සේගේ මරණය 2 කොටස
ජේසුස් වහන්සේගේ උත්ථානය

ජේසුස් වහන්සේගේ අවසානය හරිම ඛේදනීයයි. ජේසුස් වහන්සේ තම ගෝළයින් සමඟ පාස්කු භෝජනය වැළඳූ දවසෙ රාත්‍රියෙදි තමුන්ගෙම ගෝළයෙක්වූ ජුදාස් විසින් පාවාදෙනු ලබනවා. මෙලෙස ජේසුස් වහන්සේව අත්අඩංගුවට ගැනීමත් ජේසුස් වහන්සේගේ අවසන් පාස්කු භෝජනයත් කිතුනුවෝ සමරනු ලබන්නෙ මහ සිකුරාදාට පෙරදින රාත්‍රියේදීයි. එදින මහ බ්‍රහස්පතින්දා නමින් තමයි හඳුන්වන්නෙ.

අල්ලාගත් දිනට පසුදින හිමිදිරියේම ජේසුස් වහන්සේට මරණ දඬුවම නියම වෙනවා. එදිනම බරවූ කුරුසියකුත් උසුලාගෙන කපාල කඳු මුදුනට නඟින උන්වහන්සේට කුරුසයේ මරණය හිමි වෙනවා. මරණින් පසුව උන් වහන්සේව තැන්පත් කරනු ලබන්නේ නිකදේමුස් නම් උන් වහන්සේගේම අනුගාමිකයෙකු වෙනුවෙන් සැකසූ ගල්ලෙනක. මෙන්න මේ සිද්ධි දාමය තමයි මහ සිකුරාදා දින සැමරෙන්නෙ.

ඔයාලාට තේරෙනවා ඇති මහ බ්‍රහස්පතින්දාත් මහ සිකුරාදාත් සමරන සිද්ධීන් සතුටුදායක සිද්ධීන් නොවන බව. කොටින්ම කිව්වොත් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියත් මරණයත් තමයි එම දින දෙක තුළදී සිහිකරනු ලබන්නේ. එම නිසා මෙම දින දෙක තුළදී දෙව්මැඳුරු තුළ සංගීතයට ඉඩක් ලැබෙන්නේ නෑ. දුක් ගාවිනා සහිත ගීතිකා පමණක් ගැයෙන්නෙත් කිසිඳු සංගීත භාණ්ඩයක වාදනයකින් තොරවයි. ඒ වගේම වෙනදා පල්ලියේ මහ හඬින් නාදදුන් විශාල සීනු හෝ කුඩා සීනු කිසිවක් මේ දෙදින පුරාවට නාදවෙන්නේ නෑ. ඒ සීනුවල තැන ගන්නේ වධක බෙරය එහෙම නැත්නම් ටකය ලෙස හඳුන්වන කටුක රාවයක් නිකුත් කරන්න මෙවලමයි. ඉහළම පින්තූරයෙන්දකින්න ඇතිනෙ.

එක් කෙළවරක විශාල දැති රෝදයක් සහිත මිටකින් යුක්ත ටකය කරකැවීමේදී ඊට වද්දා ඇති ලී පටියක් හඬ නගමින් අර දැතිවල වදිනවා. එමඟින් තමයි ශබ්දයක් නිකුත් වෙන්නෙ. නැතුව ඒ පෙට්ටියට පුරවා ඇති ඇට වර්ගයකින් හෝ වෙන යමකින් නොවේ. පහත වීඩියෝවෙ කුඩා දරුවෙක් ටකයක් කරකවන ආකාරය ඔබට පෙනේවි.

පූජා උදව් කොල්ලෙක් විදිහට හිටපු කාලෙ මම අනන්තවත් ඔය ටකය ගහලා ඇති. හැබැයි මම අද වෙනකන් දැනගෙන හිටියේ නෑ සමහර පල්ලිවල මහ බ්‍රහස්පතින්දා හා මහ සිකුරාදා භාවිතයට ගැනීම පිණිස විශාල ප්‍රමාණයේ ටකයන් නිර්මාණය කර ඇති බව. මම දන්න විදිහට නම් ලංකාවෙ පල්ලිවල නම් පහළ වීඩියෝවෙ හා පින්තූරයේ පෙන්වන ආකාරයේ විශාල ටක නම් නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් තොරතුරක් දෙන්නකෝ.


විශාල සීනු
ඊට නොදෙවෙනි ටකය












ඉතින් අවුරුද්දක් තිස්සේ පල්ලිය මුල්ලක නිදාගෙන ඉඳලා මහ බ්‍රහස්පතින්දාට එළියට එන ටකයට මහ සිකුරාදා දවස අවසානයත් සමඟ ආයෙත් නින්දට යන්න සිද්ධවෙනවා. එයා ආයෙත් නැගිටින්නෙ ඊළඟ මහ බ්‍රහස්පතින්දාට.

37 comments:

  1. මීට කලින් අහල නැති දේවල් ටිකක්. ස්තුති යි අපිත් එක්ක බෙදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. කියවන්න එන ඕගොල්ලන්ටත් ස්තුති කරන්න ඕනා..

      Delete
  2. ඕක නම් මමත් දැනගෙන හිටියේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඕක තමයි මහ බ්‍රහස්පතින්දට මහ සිකුරාදට පල්ලි යන්න කියන්නෙ.. :)

      Delete
  3. උබ අද නං මට ඉස්සර උනා... මම ඕක ගැන ලියන්ඩ කියලා හිටියේ...දැං ඉතින් කාරි නෑ..
    හැපි ඊස්ටර්.... හරි ඇන්ඩ් අරී... !

    ReplyDelete
    Replies
    1. ආහ්.. එහෙමද?

      …සේම් ටු යූ ඕගොල්ලන්ටත්..

      Delete
  4. පල්ලියේ ටකය ගැන නම් ඇහුවේ අද.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක් මේ ගැන නොදන්න බව කමෙන්ට් වලින්ම පේනවා..

      Delete
  5. මමනම් දැකලා තියෙන්නේ විනෝදයට කරකවන මේ වර්ගයේ එව්වා විතරයි. පල්ලියේත් තියන බව දන්නේ අදයි

    ReplyDelete
    Replies
    1. මම දැනගෙන හිටියෙ පල්ලියෙ කරකවන එක විතරයි.. විනෝදයට කරකවන බව දැනන් හිටියෙ නෑනෙ..

      Delete
  6. පූජා උදව් කොලුවෙක් වෙලත් මම මෙහෙම එකක් දැනගෙන හිටියේ නෑනේ. එක්කෝ මට දැන් මතක නෑ..

    හැපි ඊස්ටර් හරී...!!

    ReplyDelete
    Replies
    1. මේක බොහෝම ආදි කාලෙ ඉඳන් පවතින දෙයක්.. ඒක නිසා ඒ කාලෙත් තිබුනා.. සෙන්නට මතක නැතිව ඇති. අවුරුද්දටම දවස් දෙකයිනෙ ගහන්නෙත්..

      …සේම් ටු යූ..

      Delete
  7. විචාරක කියල තියෙනව වගේ මාත් දැකල තියෙන්නෙ මේව විනෝදෙට කරකවනව විතරයි. මේ ගැන විස්තර කරපු එකට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් මේවා විනෝදයට කරකවන බව දැනගෙන හිටියෙ නෑනෙ..

      Delete
  8. මමත් දැණගෙන හිටියේ විනෝදෙට කරකවන එක විතරයි. ඉස්සර අපි බිග් මැච් එකට අරන් යනවා.

    ReplyDelete
    Replies
    1. කරස් කරස් ගාලා ලොකු සද්දයක් එන හින්දා වෙන්න ඇති මේක පාවිච්චි කරන්න ඇත්තෙ..

      Delete
  9. මෙහෙම දෙයක් මමත් අදමයි දැනගත්තේ.

    ReplyDelete
    Replies
    1. මේ විස්තරය අලුත් දෙයක් උනා නම් ඒක මට සතුටක්..

      Delete
  10. කවදාවත් අහලා නොතිබුණු කතාවක්!!!

    හරී+අරී...හී හී......මරු ජෝඩුව...

    ReplyDelete
    Replies
    1. හරී මට අරී

      Delete
    2. @Podi Kumarihami,
      අවුරුද්දටම දවස් දෙකයිනෙ පාවිච්චි කරන්නේ.. ඉතින් දැනගන්න ලැබෙන ඉඩකට අඩුයි..

      …:)

      …@Anonymous,
      …පස්සෙ බලමු.

      Delete
  11. මරු ගැජට් එකක්නෙ බං...මෙහෙම ඒවා පල්ලි වල ගහනවා කියලා අද නොවැ දන්නෙ...අපි ඉතිං පල්ලි යන උන්යෑ....

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. පල්ලි යන කට්ටියත් මේ ගැන නොදන්න එකේ නොයන අය දැනගන්නෙ කොහොමද?

      Delete
  12. හ්ම්...මේකේ මාතෘකාව නම් මරු ඈ...මං ඇදිලා ආවේ මාතෘකාවට.මේ හැර වෙන විශේෂ භාණ්ඩ නැද්ද?

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා.. එකින් එක කියන්නම්කො..

      Delete
  13. පල්ලිවලත් මෙහෙම අයිටම් එකක් තියෙනවා කියලා දැන් නේ දන්නේ. මේක හුඟක් පරණ භාණ්ඩයක්ද ?

    ReplyDelete
    Replies
    1. අවුරුදු 1400ක විතර ඉතිහාසයක් තියෙනවලු. තාපසාරාම වල වේලාව දක්වන්නත් මේවා නාද කරලා තියෙනවලු..

      Delete
  14. මට ජුදාස් ගැන ගැටලුවක් තියෙනවා
    ජුදාස් ගේ පාවාදීම කියන්නේ රෝමන් හමුදාව ජේසුස්ව අත්අඩංගුවට ගන්න එනකොට ජේසුස් වහන්සේ පෙන්වා දීමනේ
    ඉතිං ඕකට ජුදාස්ම ඔනද ජේසු දැකපු වෙන කෙනෙක් හිටියෙම නැද්ද ජේසු කියන්නේ ඒ තරම්ම ජනප්‍රිය කෙනෙක් නෙමෙයිද

    ReplyDelete
    Replies
    1. ජේසුස් වහන්සේ ගලීලය පුරා දේශනා පවත්වමින් ප්‍රාතිහාර්‍යය සිදුකරමින් ගිය නිසා ජනතාව අතර බොහෝ ප්‍රසිද්ධියට පත්ව සිටියා කියලා හිතන්න පුළුවන්. ඒ ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය නිසාම තමයි ජේසුස් වහන්සේව ප්‍රසිද්ධියේ අත් අඩංගුවට ගැනීමට ජුදා නායකයෝ බිය වෙන්නෙ. ඔවුන් හිතුවා එහෙම සිදුවුනොත් ජනතාව ඒ වෙනුවෙන් මැදහත් වේවි කියලා. ජෙසුස් වහන්සේ දේව මාළිගාවෙ වෙළඳුන්ට පහරදුන්නු සිද්ධියෙදිවත් ආගමික නායකයෝ කිසිවක් සිදු කරන්නේ නෑ. ඔවුන්ගේ සැලසුම වී තිබුනෙ ජේසුස් වහන්සේව රහසේම අත් අඩංගුවට අරන් ජනතාවට යමක් හිතාගන්නටත් පෙර ඝාතනය කරන්න.
      …ඒ නිසා ජේසුස් වහන්සේ ප්‍රසිද්ධියේ නොගැවසෙන රාත්‍රී කාලය යොදාගැනීමට සිදුවුනා. රාත්‍රීයේදී ජේසුස් වහන්සේගේ වාසස්ථානය හරියටම දැන සිටියේ උන් වහන්සේගේම ගෝළයින් බැවින් එයින් කෙනෙක් තෝරාගන්නට ඇති.
      …අනිත් කාරණාව තමයි ඒ කාලය ජුදයින්ගේ පාස්කු මංගල්‍යය වීම. පාස්කු මංගල්‍යය සඳහා ජෙරුසලමට පැමිණි ජනතාවගෙන් නගරය පිරී තිබුනා. ඉතින් හිසත් ආවරණය කරගෙන සිටින ජුදයින් අතරින් ජේසුස් වහන්සේ හඳුනාගැනීම රාත්‍රියේදී අපහසු වන්නට ඇති.
      …බයිබලය තවත් කාරණාවක් මතුකරනවා. ජේසුස් වහන්සේගේ සමීපතම ගෝළයෙක් වෙච්ච (මට මතක හැටියට ඥාතියෙක් ) ජුවාම් ගෝළයත් ජේසුස් වහන්සේගේ රූපයට සමාන බව දක්වලා තියෙනවා.
      …මේ කාරණා නිසා ජේසුස් වහන්සේව පාවාදීමට ජුදාස්වම යොදාගත්තා කියා හිතන්න පුළුවන්.

      Delete
  15. මුලින්ම මේක දැක්කේ බිග් මැච් වල. පස්සේ ක්‍රිකට් මැච් බලන්න ගිය වෙලාවල් වල. මෙහෙම දේවල් දැක්කම ඒවගේ තාක්ෂණය ගැන හොයන එක මගේ සිරිතක්. ඒ වුණාට මට මේකක් හොයා ගන්න බැරි වුණා. අද තමයි හරියටම දැන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. බිග් මැච් වලත් මේක තියෙන බව මම දැනගත්තෙත් මේ පෝස්ට් එක ලිව්වට පස්සෙයි.. අපිට තින් බිග් මැච් තහනම්නෙ..

      Delete
  16. අදමයි දැක්කේ...

    ReplyDelete
    Replies
    1. සයුරි දැන් හැමදාම පරක්කු වෙනවා නේද?

      Delete
  17. මේක ඉතින් පොඩි කාලේ ඉදන්ම දැකලා තියනවා පාස්කු හින්දා. හැබැයි පල්ලි වල ලොකු ඒවා තියනවා කියලා දැනගත්තේ මෙතනින්. අපේ පල්ලියේ මේක වෙනුවට ලෑල්ලක දෙපැත්තට සරනේරු දෙකක් හයි කරපු එකකුත් පාවිච්චි කළා. ලෑල්ල දෙපැත්තට හොලවද්දී සරනේරු ලෑල්ලට වදිනවා.

    ReplyDelete
    Replies
    1. එකපාරක් මම මේක කරකව කරකවා පෙරහැරක යන්න ගිහින් ඒ ළඟ හිටපු ගෑණු කෙනෙක්ගෙ පිට මැද්දෙ වැදුනෙ නැතෑ.. :)
      …අපි නම් දන්න කියන කාලෙ ඉඳලම පල්ලියෙ තිබ්බෙ එකම ටකය.. ඉස්සර මහ බ්‍රහස්පතින්දා ශු. පැයවල් මාරුවෙද්දි ඕක ගහන්න අපි පොරකනවා..

      Delete
  18. කලින් නම් දැකලා තිබුනේ නෑ...

    ReplyDelete
    Replies
    1. එකක් හදන්නයි තියෙන්නෙ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...