Main Logo

Sunday 30 March 2014

සුද්දන්ගේ ඒකාධිකාරය පරදවමු


ජෙනීවාහි දී ලංකාව පැරදීම පිළිබඳ වඩාත් ම සතුටුවන්නේ එ ජා ප, ජ වි පෙ හා සරත් ෆොන්සේකාගේ පක්‍ෂය ය. දෙමළ ජාතික සන්ධානයේ ආනන්දී පාර්ශ්වයට ඇත්තේ ඇමරිකාව ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කළවිට ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකීම පිළිබඳ ප්‍රශ්නය ය. සම්බන්ධන් විග්නේෂ්වරන් පාර්ශවයට අවශ්‍ය යෝජනාවේ සඳහන් ආකාරයට හැම උප්පරවැට්ටියක් ම යොදා ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණය පැවැත්වීම ය. එ ජා පක්‍ෂයට හා ත්‍රිරෝද පක්‍ෂවලට ද අවශ්‍ය එකී පරීක්‍ෂණය පැවැත්වීම ද? ඒ පක්‍ෂවලට අනුව යෝජනාව ආණ්ඩුවට විරුද්ධව මිස රටට විරුද්ධව නො වේ. ඔවුන් සිතන්නේ තමන් බලයේ සිටියේ නම් බටහිරයන් කිසි දිනෙක යෝජනාව නොගෙනන බව ය. එය ඇත්ත ය. එ ජා ප බලයේ සිටියේ නම් මේ වන විට බටහිරයන්ට අවශ්‍ය අන්දමට ප්‍රභාකරන් ඊළමක් පිහිටුවා අවසාන ය. තමන්ට ව්‍යවස්ථාවෙන් බලතල නැතිව තිබියදීත් බටහිරයන්ගේ අවශ්‍යතාවට ප්‍රභාකරන් සමග ඊනියා සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ රනිල් ය. 1987 දී ඉන්දියාව සමග අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරමින් දෙමළ ජාතිවාදයට රට පාවාදීමට කටයුතු කළේ රනිල් රාජ්‍ය නොවන බැළයන්ගෙන් අළුතෙන් ම අහුලාගත් වචන යොදාගන්නේ නම් ඔහු ද ඇතුළත් වූ ජේ ආර් ජයවර්ධන රෙජීමය ය. ඒ රෙජීමයෙහි රනිල් ද සාමාජිකයකු වූ බව අමතක නොකළ යුතු ය. මානුෂික මෙහෙයුම පැවති දිනවල ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි ද අලිමංකඩ ඇත්තේ පාමඅකඩ යැයි ද තොප්පිගල කැලෑවක් පමණක් යැයි ද කියමින් හමුදාවේ චිත්ත ධෛර්යය නැතිකිරීමට තැත්කළෝ එ ජා ප නායකයෝ ය. අනුර දිසානායකගේ නායකත්වය යටතේ ජාතිකත්වය මුළුමනින් ම නැතිකරගත් ජ වි පෙ රවි කරුණානායකලාගේ පදයට නටන පක්‍ෂයක් බවට පත් වී ඇත. මාක්ස්වාදීන් අද ඇත්තේ බටහිර යටත්විජිතවාදීන් සමග ය. ජ වි පෙ පමණක් නොව සියළු ආකාරයේ මාක්ස්වාදී පක්‍ෂ දෙමළ ජාතිවාදයට සහාය දෙයි. ඔවුහු මූලික වශයෙන් බටහිර දැනුමේ දාසයෝ වෙති. මාක්ස්වාදයට ද අවශ්‍ය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ඉදිරියට ගෙනයෑම ය. සරත් ෆොන්සේකාට මූලික වශයෙන් ඇත්තේ ද්වේෂයකි. ඔහුට විරුද්ධ ව ඇමරිකාවේ ප්‍රාන්ත අධිකරණයක තිබූ යුද්ධාපරාධ චෝදනාවක් ඔහු ඇමරිකාවට ගොස් සිටිය දී හෝ ඒ ආසන්නයේ දී හෝ අස්කරගනු ලැබුයේ පසුගිය ජනාධිපතිවරණයට සුළු කලකට පෙර ය. ඉන්පසු ඔහු ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවා පමණක් නොව සුදුකොඩි කතාවක් ගැන කියමින් ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් චෝදනා ආරම්භ කළේ ය. මොහු අද තම අනන්‍යතාව නැතිකරගත් වාචාල කතා කියන්නකු පමණක් බවට පත් වී ඇත. 

මෙරට විරුද්ධ පක්‍ෂ තරම් රටට ජාතියට විරුද්ධ ව කටයුතු කරන දේශපාලන පක්‍ෂ ඇතැම්විට ලෝකයේ වෙනත් කිසිම රටක නැති වන්නට පුළුවන. ඔවුන්ට අවශ්‍ය රට ජාතිය පාවා දී වුවත් බටහිරයන්ගේ ආධාරයෙන් ඊනියා රෙජිම වෙනස්කර බලයට පත් වී බටහිරයන්ට අවශ්‍ය අන්දමට රට “පාලනය කිරීම” ය. ජෙනීවා යනු නම කුමක් වුවත් මානව අයිතිවාසිකම් රකින මණ්ඩලයක් නොව ඇමරිකාවේ හා අනෙක් බටහිර රටවල දේශපාලන අවියක් පමණ ය. අප කටයුතු කළයුත්තේ ඒ බව තේරුම් ගනිමිනි. මේ මණ්ඩලයට මුදල් ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට වඩා බටහිර රටවලින් ය. එය මූලික වශයෙන් බටහිරයන්ගේ මුදලින් නඩත්තුවන බටහිරයන්ට නැටවිය හැකි දේශපාලනික ආයතනයකිි. එහි දී අද ලංකාවට එරෙහිව සියළු කටයුතු කෙරෙන්නේ එංගලන්තය විසින් පෝෂණය කෙරී, දැනටත් විසිරුණු දෙමළ ජනයා, දෙමළ ජාතික සංධානය, රාජ්‍ය නොවන බැළයන්, මාක්ස්වාදීන්, එ ජා ප හා මෙරට අනෙක් විරුද්ධ පක්‍ෂ මගින් නඩත්තු කෙරෙන දෙමළ ජාතිවාදයට රට පාවා දීමට ය. මේ සියල්ල පිටුපස ඇත්තේ එංගලන්තය ය. ඇමරිකාව එංගලන්තයට ආධාර කරන මැර රට ය. මේ රටවල් දෙක යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික හා අදාළ චින්තන ආධිපත්‍යය රැකගැනීම සඳහා ඇතැම් රටවලට මැර බලපෑම් යොදමින් ක්‍රියා කරන ප්‍රධාන යටත්විජිතවාදී රටවල් ය. ඇතැම් පඬියන් සිතන්නේ අප හරිහැටි තර්කානුකූල ව සාධක සහිත ව පිළිතුරු දුන්නේ නම් ජෙනීවා පරාජයෙන් ගැළවිය හැකි ව තිබූ බව ය. එහෙත් මෙය සාධක තර්ක හා ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. අප දෙමළ ජාතිවාදය පරාජය නොකළේ නම් හා ඇමරිකන් තානාපති බ්ලේක්ගේ ඉල්ලීමට එකඟ වී ප්‍රභාකරන්ට පිටවී යෑමට ජනාධිපතිතුමා ඉඩදුන්නේ නම් අපට කිසිම චෝදනාවක් නැත. 2009 දී අපට පක්‍ෂව ඡන්ද විසිගණනක් ලැබුණු බවත් අපට ඒ රැකගැනීමට නොහැකි වූ බවත් පඬියෝ කියති. එහෙත් එදා එසේ ඡන්ද ලබාගත්තේ දහතුන ක්‍රියාත්මක කරන බවට ඒ ඇතැම් පඬියන් පොරොන්දු වීමෙනි. අද අපට ඡන්ද නොලැබෙන්නේ අප දෙමළ ජාතිවාදයට යටනොවන බැවිනි. මෙවර සම්මත කරගත් යෝජනා අතර ද දහතුන ක්‍රියාත්මක කිරීම සඳහන් වෙයි. අද ද්‍රෝහී පඬියන්ට අවශ්‍ය මේ යෝජනාව අස්සේ දහතුනට එහා යන විසඳුම් දෙමළ ජාතිවාදයට ලබාදීම ය. එහෙත් කරුමය නම් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි අඟවන මේ දෙරණ මත පිහිටි නාළිකා මේ ද්‍රෝහී පඬියන්ට අනවශ්‍ය ආකාරයට වැඩි තැනක් ලබාදීම ය. මේ පඬියන්් එදා ද ජනතාව බියවැද්දුවේ ඊනියා සාම සාකච්ඡාවලට නොගියහොත් අපට පැවතිය නොහැකි බව කියමිනි. අද ඔවුහු එයට වෙනස් අදහසක් නො කියති. 

අප කිසි විටෙකත් පිල්ලේගේ ජාත්‍යන්තර පරීක්‍ෂාවට ඉඩ දිය යුතු නො වේ. ඔවුන් පරීක්‍ෂණය ඒකපාර්ශික ව කරනු ඇත. අප ඒ ගැන තැකි යුතු නො වේ. මේ ඊනියා පරී්ක්‍ෂණය 2002 - 2009 ට සීමා කෙරෙයි. එසේ කෙරෙන්නේ ඉන්දියාවේ සාම සාධක හමුදාවේ ක්‍රියාකාරකම් පරීක්‍ෂණයෙන් ඉවත් කිරීම ය. අප කළ යුත්තේ දහනවවැනි සියවසේ දෙවැනි දශකයේ සිට දෙමළ ජාතිවාදයට ආධාර දුන් සියල්ලන් ගැන සොයා අදාළ වැරදිකරුවන්ට දඬුවම් කිරීම ය. එසේ නැත්නම් අඩුම තරමෙන් පසුගිය තිස්අවුරුද්ද තුළ සිදූ වූ සියල්ල සොයා බැලීමට හා අදාළ වැරදිකරවෙන්ට දඬුවම් කළහැකි ජනාධිපති කොමිසමක් පත්කිරීම ය. අප කිසිවිටෙකත් ඊනියා යුද්ධයේ කොටස් සොයා බැලීමට පරීක්‍ෂක මණ්ඩල පත්නොකළ යුතු ය. අද සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට චෝදනා කිරීම සඳහා විවිධ සංවිධාන අටවාගෙන ඇත. රනිල් චන්ද්‍රිකා ආගමික සංහිඳියාවක් ගැන කටයුතු කරන්නේ සිංහල බෞද්ධයන් වැරදිකරුවන් කිරීමට ය. එහෙත් කතෝලික සභාව කතෝලිකයන්ට පමණක් ඡන්දය දෙන ලෙස කතෝලිකයන්ගෙන් ඉල්ලන විට රනිල් චන්ද්‍රිකා නිහඬ වෙති. යම් අයුරකින් මහානායක හිමිවරුන් බෞද්ධයනට පමණක් ඡන්දය දෙන ලෙස බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටියේ නම් මොවුන් මානව අයිතිවාසිකම් නඩුවක් කීමට ජෙනීවා යෑමට තිබිණි. අද සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට එරෙහිව බටහිරයන් ක්‍රියාත්මක වන්නේ තම බටහිර විද්‍යාව ඇතුළු දැනුම් ආධිපත්‍යය යොදාගනිමිනි. අපට සුද්දන්ගේ දැනුම් ආධිපත්‍යය පරාජය කර සුද්දන්ගේ ඒකාධිකාරය පරාජය කළ හැකි ය. 


නලින් ද සිල්වා

2014-03-30