Saturday, March 29, 2014

සතුටෙන් දවස් සීයක්...

දින සීයක සතුට (හන්ඞ්රඞ් ඬේස් ඔෆ් හැපිනස්) කියන්නෙ මේ දවස් වල සමාජ ජාල වෙබ් අඩවි පුරා පැතිරෙන ප්‍රොජෙක්ට් එකක්. ඒ ව්‍යාපෘතියෙ අදහස හරි ලස්සනයි. ඒ වගේම ක‍්‍රියාත්මක කරන විදිහ හරිම දියුණුයි. අපි ජීවිතේ එන්න එන්නම බිසී වෙන එක ඇතුලෙ ඇත්තටම අපි කරමින්, විඳිමින් ඉන්නෙ මොනවද කියන එක පවා අපිට අමතක වෙනවා. අපිට අපිවම නොපෙනී යනවා. ඒක හරි සංකීර්ණ අත්දැකීමක්. අපි මැෂිමක් වෙන්නෙ කොහොමද කියල බලාගෙන ඉන්න එක. රස්සාවක් නැතුව ගෙදර ඉන්න කාලෙ මගේ ජීවිතේ දවස් ගොඩක් දිගයි. ඒත් මේ වෙද්දි මගේ දවසක් කියන්නෙ විනාඩි ගානක්. ඊළ`ගට හැරෙන තැපෑලෙන් අනිත් දවසට කාඞ් එක පන්ච් කරන්න  ඕන. දිග දවස් ගත කරන වාසනාවන්ත යාලූවො කීපදෙනෙක් මට හිටියත් එන්න එන්නම දවස් කොටවෙන ඊට වඩා ගොඩක් යාලූවො එක්ක මං සතුටෙන් ඉන්නවා.

කොහොම වුණත් මේ ව්‍යාපෘතියේ අදහස වෙන්නෙ දවසෙ එක මිනිත්තුවක් හරි අල්ල ගන්න එක. අපිට සතුටක් දැණුනු දවසෙ එක නිමේෂයක් දැනුවත් සටහනක් කරන එක. සරලව ඒ ගොල්ලො කියන්නෙ දවස් සීයක් එක දිගට අපිට සතුටක් දැණුනු මොනවා හරි දේක ෆොටෝ එකක් අප්ලෝඞ් කරන්න කියල. ඒක  ඕනම සෝෂල් නෙට්වර්ක් ප්ලැට්ෆෝම් එකක කරන්න පුළුවන්. ට්විටර්, ෆේස්බුක්, ඉන්ස්ටග‍්‍රෑම් මේ  ඕනම එකක ෆොටෝ එක අප්ලෝඞ් කරලා හෑෂ් ටැග් එකකින් 100 හැපි ඬේස් සම්බන්ධ කරන්න  ඕනි.

බැලූ බැල්මට ඉතින් මොකක්ද වගේ හිතුනත් මේක ලොකු අදහසක්. දවසෙ එක මොහොතක් ගැන සවිඥාණක වීම සහ ඒ සවිඥාණක සතුට තවත් අය අතරෙ බෙදා ගන්න එක. ඊළ`ගට ලෝකෙ ගොඩක් ජීවිත් වෙන මිනිස්සුන්ගෙ දවස් සීයක සතුටු මොහොතවල් සීයක් සයිබර් අවකාශයට මුදාහැරෙන එක. කොයිතරම් ජීවිත ගොඩක් ගැන සටහනක්ද ඒක. එක එක අයගෙ සතුටු මොහොතවල් බල බල මං පුදුම ත‍්‍රිලක් ගත්තා. මොකද දවස් සීයක් එකදිගට යනකොට මේ අපි අපි ගැන කරන නිර්මාණෙ ඉබේම අපේ ඇතුලට යනවා. අපේ හු`ගක් ඇත්ත දේවල් සටහන් වෙන්න පටන් ගන්නවා. මොනම නිර්මාණයකට වත් බැරි තරම් සුන්දර සහ ගැඹුරු ජීවිත පරාසයන් ලක්ෂ ගාණක් සයිබර් අවකාශයේ නිර්මාණය වෙනවා. මට ඒ වගේ අදහස් නොඑන එක ගැන ආවෙ දරන්න බැරි ඉරිසියාවක්.

මේක කොතනදි හරි නැවත ආයතනයකට හෝ වෙළඳාමකට එකතු වෙලා මේ තියෙන හැම වටිනාකමක්ම වෙළඳ අගයක් වෙන්න පුළුවන්. ඒක අනාගතේට බාරයි. ඒත් මේ මොහොතෙ තාම ඒක සිද්ද වෙලා නැති හින්දම හරිම ලස්සන මනුස්ස බෙදාගැනීමක් විදිහට මේ ධාරාව වැඩකරගෙන යනවා. එතනදි ඒ ගොල්ලො කියනවා ලස්සන කතාවක්. ඔයා අප්ලෝඞ් කරන පිංතූරෙ අරමුණ අනිත් අයට බලන්න නම්, ඒ ගොල්ලොන්ට ඔයා ගැන ඉරිසියා හිතවන්න නම්, ඔයා දැනටමත් මේ ගමනෙ පරාදයි. ඔයාට කවදාවත් සතුටෙන් ඉන්න බැරි වේවි. ඔයා ඔයාගෙ සතුට ගැන ඔයා වෙනුවෙන් තබන සටහනක් නම් විතරක් මේ ගමනට එකතු කරන්න.

කිව්වට මේක වෙනවද, පළකිරීමේ අදහසම නැවත ප‍්‍රතිරූපය නෙමෙයිද වගේ තර්ක කොයිතරං මතු කරන්න පුළුවන් වුණත් මේ පිංතූර දිගේ ඇවිදපු කාට වුණත් වෙන මොකක්ද දෙයක් දැනෙන්න පටන් ගන්නවා. අපි කොයිතරං හුස්ම ගන්න ජීවිත ගොඩක් මැද්දෙ ජීවත් වෙනවද කියල හැෙ`ගනවා. ළ`ග ඉන්න මිනිහව ආයිමත් පේන්න ගන්නවා.

මේ ව්‍යාපෘතියෙන් තව ගොඩක් දැවැන්ත දේවල් සිද්ද වෙන්න පුළුවන්. එකක් මිනිස්සුන්ගෙ සතුට ගැන ගැඹුරු අධ්‍යනයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම චිත‍්‍රපටි හදනවා නම් කොයිතරං චිත‍්‍රපටි ගොඩක්ද... කතා ලියනවා නම් කොයිතරම් කතන්දර ගොඩක්ද.... ඒක ඇත්තටම ‘බිග්’ අයිඩියා එකක්.
සතුට යනු කියල මීට කලිනුත් එකපාරට ෆේස් බුක් එකේ රැුල්ලක් ඇවිළිලා ගියා. වරකා කන එකේ ඉඳන් පාරෙ චූ කරන එක දක්වා ඔක්කොම සතුට වල් ඒකෙ ෂෙයාර් වුණා. මේ තරම් තමන් පිළිබඳවම කරන අධ්‍යනයක් තරම් ගැඹුරට යන්න බැරි වුණත් ඒ සතුට යනු කියලා ලංකාවෙ පළවුණු ටික එකතු කර ගත්තත් අපි නොහිතන ලංකාවක් ගැන ගොඩක් දේවල් දැනගන්න තිබුණ. පුදුම සතුටවල් එතන තිබුණෙ. මේ සතුට කියන එකත් එක්ක මං තව ටිකක් සතුටු වෙන්න තීරනේ කළා. ඇත්තටම ඒකත් දින සීයෙ සතුටෙ ප‍්‍රතිඵලයක්.

මිනිස්සු සතුට කියන්නෙ මොකක්ද කියලා  හොයාගෙන ආපු ගමනට තමයි අපි මානව ඉතිහාසෙ කියන්නෙ. හැමදාම තමන්ට අහිමි මොකක් හෝ සතුටක් වෙනුවෙන් නැත්තං තමන් විඳින මොකක් හෝ දුකකින් ගැලවීමක් වෙනුවෙන් මිනිස්සු දුක් වින්ඳා. හැම දාර්ශනිකයෙකුගෙම ප‍්‍රධාන කාරණය වුනේ සතුට විග‍්‍රහ කරන එක. හැමදෙයක් ගැනම මොකක් හරි කියලා තියෙන ඇරිස්ටෝටල් සතුට ගැනත් විධිමත් විස්තරයක් කරනවා.

ඇරිස්ටෝටල්ගේ සතුට කියන්නො මොහොතක් නෙමෙයි. අවස්ථාවක් නෙමෙයි. ඒක ජීවිත කාලයක්ම ගෙවෙන ගමනක්. ඒ ගමන කෙළවරේදි තමයි අපිට කියන්න පුළුවන් වෙන්නෙ අපි ඇත්තටම සතුටෙන්ද ජීවත් වුණේ කියල. මොහොතක දැනෙන සතුට ඇරිස්ටෝටල් දැක්කෙ බාල සතුටක් විදිහට. එයා කතා කළේ ප‍්‍රබුද්ධ සතුටක් ගැන. ඒක බුදුන්ගෙ මධ්‍යම ප‍්‍රතිපදාව වගේ ගමනක්. අන්තගාමී හෝ මන්දගාමී නොවී යහපත වෙනුවෙන් වැඩ කිරීම, පැවතීම තමයි ඇරිස්ටෝටලියානු සතුට වුණේ. ඒක කොන්ෆියුසියස් වගේ සමාජ කේන්ද්‍රීය සතුටක් නෙමෙයි ආත්මීය සතුටක් ගැන අදහසක් විදිහට විචාරකයො බාර ගත්තට මට ඇරිස්ටෝටල්ගෙ සතුට කොන්ෆියුසියස්ටත් වඩා සමාජ කේන්ද්‍රීයයි. යහපත, සදාචාරය වගේ සමාජ සංකල්ප වලින් පුද්ගල ආත්මය පාලනය කිරීමේ සතුටක් ඒක. වෙන විදිහකට කිව්වොත් හැමදාම සතුට නැති කළ කාරණයම ඇරිස්ටෝටල් නැවත සතුට කියලා අර්ථ ගන්වනවා. ඉන්දියානු සිතන්නන් තේරුම් ගත්ත ‘මේ මොහොත’ කියන එක බටහිර සතුටට මගහැරෙනවා. ගමන වෙනුවට ගමනාන්තය, වර්තමානය වෙනුවට අනාගතය ඉලක්ක කරගත් සදාකාලිකව සතුට සොයා දුක් විඳීමේ ජීවිතයක් බටහිරෙන් යෝජනා කරනවා. ඉන්දියානුවන් නිසොල්මනේ ගහක් යට ඉඳගෙන තමන්ව ජයගන්න යද්දි බටහිරයන් කඳු මුදුන් තරණය කරමින්, සඳ තරු තරණය කරමින් තමන් ජයගැනීමේ මහා සටනක් කරන්නෙත් මේ හින්ද.

ඒත් ඇරිස්ටෝටල් එක වැදගත් කාරණයක් මතක් කරනවා. එයා කියනවා අපි දැන් කරමින් ඉන්නෙ සතුට හොයන එක නෙමෙයි සතුටට යන මග කියලා අපි හිතාගත්ත තත්වයන් ලබා ගන්න වද විඳින එක කියල. ධනය, බලය, කීර්තිය වගේ තත්ව එයා දකින්නෙ ව්‍යාජ සතුටු මාවත් විදිහට. ඇරිස්ටෝ්ටලයානු සතුට පැවැත්ම විසින්ම එහිම කුසුමක් හැටියෙන් විකසිත වන්නක්. ඒකට යන පාරවල් සොයමින් අපි නොමග යනවා.

ජෝ රෝගන් මේ සතුට සහ අසහනය ගැන ඇරිස්ටෝටලියානු පැතලි අදහසට වඩා ගැඹුරක් ගේනවා. ඇමරිකානු ස්ටෑන්ඞ් අප් කොමඩියන් කෙනෙක්, මාර්ෂල් ආර්ටිස්ට් කෙනෙක් විදිහට ගොඩක් ප‍්‍රසිද්ද වුණු ජෝ රෝගන් සයිබර් දාර්ශනිකයෙක් විදිහට ගොඩක් පසු නූතනවාදී අදහස් මතු කරනවා.

එයාගෙ පොඞ්කාස්ට් එකේ සතුට සහ අසහනය ගැන කරන සංවාදයකදී ඒ ගොල්ලො කතා කරනවා ශිෂ්ටාචාරය පුරා මිනිස්සු ආශාව තෘප්තිමත් කිරීමේ (සතුට ලැබීමේ) යෙදුණු අරගලය ගැන. හැම සන්නිවේදන දියුණුවක්ම, වර්ධනයක්ම සිද්ද වුනේ සෙක්ස් මූලික උවමනාවකට. සෙක්ස් කිව්වට පිරිමි ආශාව මූලික ‘ස්ත‍්‍රී නිරුවත’ දැකීමේ උවමනාවට. ඒත් මේ ආශාව තෘප්තිමත් කරන්නට හොයාගන්න හැම අලූත් තාක්‍ෂණයකින්ම ආශාව සහ අපි අතර දුර වැඩි කරනවා. ආශාව අපිට වඩා කිට්ටු වෙනවා කියලා හිතුවට වඩ වඩාත් ආශාව අපෙන් ඈතට අරගෙන යනවා. අසහනය වැඩි වෙනවා.

මේ කියන්නෙ සොයා යාම නරක දෙයක් වගේ අදහසක් නෙමෙයි. අපි කවුද, අපි වඩා හොඳ මිනිස් ගණුදෙනු නිර්මාණය කරන්නෙ කොහොමද, අපි වඩා හොඳින් එකිනෙකා මුහුවෙන්නෙ කොහොමද වගේ දේවල් ගැන නිර්මාණශීලී සොයායාමකින් විතරයි සමාජයක් ඉස්සරහට යන්නෙ.

ඒත් අපි එකිනෙකා වඩා සම්බන්ද කරනවා කියලා හිතන, වැඩි පිරිසක් එක්ක අපි ගණුදෙනු කරනවා කියලා හිතන නව තාක්‍ෂණික ප‍්‍රවේශයන් නිසා අපේ භෞතික මිනිස් ඇසුර අවසන් වෙමින් යන අවදානම ජෝ රෝගන් මතු කරනවා. කිසිම තේරුමක් නැති වේගය විසින් සියල්ල බොඳ කරන පරිසරයක අපි මිනිස්සු විදිහට එකිනෙකා හඳුනාගැනීම වෙනුවට තාක්‍ෂණික දේහයක අංශු හැටියෙන් හුදකලා වෙන තත්වයක් ඇතිවෙන්න පුළුවන්.

තාක්‍ෂණය කියන එකත් හුදු උපකරණයකට වඩා සජීවී දේහයක් විදිහට තේරුම් ගන්න  ඕන කියලයි ජෝ රෝගන් කියන්නෙ. මේකෙන් ආසාදනය වෙන මිනිස් ජීවිත ප‍්‍රමාණය අනන්තයි. මේ වේගය ඇතුලෙ නොදැනීම අපි ඇතුල් වෙන අවදානම් කලාප අප‍්‍රමාණයි. ඒ නිසා වඩා සවිඥාණක වීමක් සහ වඩා භෞතික මිනිස් ඇසුරු කිරීම් පුළුල් කරන අවකාශයක් එයා යෝජනා කරනවා.

ආයතන සහ අපි, තනි පුද්ගලයන් කියන දෙවර්ගයක් හැටියෙන් සමාජය තේරුම් ගත්තොත් මේ වෙද්දි ආයතන විසින් අපිට සතුට අර්ථ ගැන්වීමේ සහ විකිණීමේ ව්‍යාපෘතියක් තමයි ක‍්‍රියාත්මක වෙන්නෙ. ආයතනයකට කොහොමවත් අවශ්‍ය වෙන්නෙ නෑ සතුට නිර්මාණය කරන්න. ඔවුන්ට අවශ්‍ය ලාභය තියෙන්නෙම සතුට සහ අපි අතරෙ තියෙන දුර වැඩි වෙන තරමට. මේක වික්ටෝරියා සීක‍්‍රට් යට ඇඳුමක ඉඳලා පන්සලේ බණ පදයක් දක්වාම එක විදිහක ඇත්තක්.

ජෝ රෝගන් කියන්නෙ කොහොමවත් මේ විදිහෙ මැක්‍රො තැනකින් මයික්‍රො ප‍්‍රශ්නෙකට විසඳුමක් එන්නෙ නෑ කියල. ඒ කියන්නෙ අපේ තනි තනි සතුට පිළිබඳ උවමනාවට පොදු ජනතා හෝ පොදු අදහසක් නිපදවෙන්න බෑ. අපේ එක එක්කෙනාගේ ස්වර්ගය වෙනස්. තනි පල්ලියකින් ඒක නිර්මාණය වෙන්න බෑ.

මේ සතුට පිළිබඳ ආයතනික රාමුව ඇතුලෙ සමාජයක තනි තනි ජීවිත අසහනකාරී වෙනවා. ඒ අසහනය ඇතුලෙ ඔවුන් නන්නත්තාර වෙනවා. කැඩුණු බිඳුණු සමාජ කොටස් නිර්මාණය වෙනවා. මේ ව්‍යසනකාරී සමාජය අපි ඇත්තට අත්දකිමින් ඉන්නවා. වර්චුවල් යහපත් සමාජයක අපි සිහින දකිමින් මැරෙනවා.
ජෝ රෝගන් මතු කරන්නෙ ඒ විදිහෙ අදහසක්. සමහර කරුණු ගැන මට වෙනස් අදහස් තිබුණත් මේ අදහස සතුට ගැන වඩා හොඳ තේරුම් ගැනීමක් කියල මං හිතනවා. ඒත් මං ඇල්බෙයා කැමූ සතුට ගැන කියන කතාවට ඊට වඩා කැමතියි.

එයා ඔස්කා වයිල්ඞ්ගෙ කෘති ගැන කල්පනා කරලා මෙහෙම කතාවක් කියනවා. ‘වයිල්ඞ්ට  ඕන වුනේ ආර්ට් අනිත් හැමදේකටම වඩා ඉහළින් තියන්න. ඒත් ආර්ට් වල ආකර්ශනීය බව හැමදේටම ඉහළින් පැවතීම නෙමෙයි. ඊට ප‍්‍රතිපක්ෂව එය හැමදේම සමග මුහුවිය යුතුයි. වයිල්ඞ්ට අන්තිමට මේක තේරුණේ වේදනාවට පින්සිද්ද වෙන්න. ඒත් සතුට ගැන ඇත්තෙන් බිඳක් දැනගන්න මේ තරම් වේදනාවන් සහ කම්කටොළු පහුකරන්නම වීම ඇත්තටම මේ යුගයේ ඛේදවාචකයක්’..

කැමූට සතුට සහ වේදනාව (දුක) ප‍්‍රතිපක්ෂයන් වුනේ නෑ. එයා ජීවතේ වේදනාව හා සතුට අතරෙ සම්බන්ධය වඩා ගැඹුරෙන් දැක්කා. පැවැත්ම දෙකට බෙදන සිතීමක් වෙනුවට ඒකත්වයකින් පැවැත්ම විස්තර කරන්න කැමූට පුළුවන් වුණා.

‘අපි කියලා කියන්නෙ අපේ ආත්මය සහ දුක්විඳින ශරීරය අතරෙ බැඳීම. වෙන මොකුත් නෙමෙයි. මේක අයින්ස්ටයින් ඉඳන් පුංචි ළමයෙක් දක්වාම වලංගු ඇත්තක්.

නොසතුටුවෙන එක කොහෙත්ම පසුතැවිලි වෙන්න කාරණයක් නෙමෙයි. ශාරීරික වේදනාව සමහර විට. ඒත් පැවැත්මෙන් දැනෙන වේදනාව කොහෙත්ම එහෙම වෙන්න බෑ. මොකද ඒක තමයි ජිවිතේ කියන්නෙ. ඔයා කරන්න  ඕන එකම දේ අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන එක. කීපදෙනෙක් විතරක් ජිවිතේ අත්දකින සතුට කියන එක ඔයාට මුණගැහෙයි ඔයා ඒක ලබන්න සුදුසු නම් විතරක්....’

කැමූ කියන්නෙ ජීවිතේ අනිත් හැමදේටම වඩා ප‍්‍රතිපත්ති ඉස්සරහට දාගත්ත අයට ජීවත් වීමේ සතුට මගඇරෙන්න නියමිතයි කියල. ඒ ගොල්ලො කලින් හිතාගත්ත තත්වයන් ඇතුලෙ මිසක් වෙන විදිහක සතුටක් බාර ගන්න ඒ අය ලෑස්ති නෑ. ඒ ගොල්ලො අහම්බෙන් එකපාරට සතුටු වුණත් ඒ ඉක්මණටම ආපහු දොම්නස් වෙනවා තමන්ගේ හුරුපුරුදු දුක්මුසු බව නැති වීම ගැන.

සතුට වෙළඳාමක් කර ගත්ත ආගම් වලට පිටින් තමන්ගේ සතුට හොයාගෙන ගවේෂණය කළ පෙරදිග සිතන්නො මේ සොම්නස සහ දොම්නස අතර ඊට වඩා ගැඹුරු සම්බන්ධයක් නිර්මාණය කළා. පෙරදිග බොහෝ අවිදිමත් ආධ්‍යාත්මික ගවේෂකයන් මේ තමන් තුල සිද්ද වෙන පරාරෝපණය බාහිරට ප‍්‍රකාශමාන වෙන දොම්නස විදිහට දැක්කා. ඉස්ලාමික සිතන්නෙක් වුණු අල්-ගසාලි විස්තර කරන විදිහට හැම ජීවිතයක්ම බිහිවෙන්නෙ ආත්මයේ වේදනාවත් එක්ක. ඒ විශ්වීය යතාර්ථයෙන් වෙන්වීමට සිදුවීමේ වේදනාව. අපේ ඇස් භෞතික දෙයින් පැහැර ගන්නා නිසාම අපිට ඇස් වලට නොපෙනෙන දේ දකින්න බැරි වෙනවා. ඒ හින්දමයි මිනිස්සු ගොඩක් නොසතුටු. ගැඹුරු ආත්මයේ වේදනාව මගඅරින්න ඔවුන් මතුපිට නොයෙක් බොරු සතුටුවීම් කරනවා. නමුත් මේ දුක ආධ්‍යාත්මික එකක්. අපේ මේ නොසතුට මැකිය හැකි එකම විදිහ වෙන්නෙ සතුට ශරීරයෙන් නොව ගැඹුරු ආත්මයෙන් ලැබිය යුතු එකක් වග පසක් කර ගැනීමයි...

තමන් තුල ගොඩනැගෙන ‘මම’ නිසා තමන්ගේ සැබෑ නිදහස, පැවැත්ම සාක්ෂාත් කර ගැනීමට නොහැකි වීමේ අසහනය විසින් අපිව ව්‍යාජ සතුටු සාගරයක ගිල්වමින් වේදනා සසරක් පුරා අරගෙන යන කතාව ගොඩක් ආධ්‍යාත්මික සොයන්නන් විසින් විවිධ රූපක පාවිච්චි කරලා කියන්න හදනවා. ඒ වගේම සාංදෘෂ්ටිකවාදී මනෝවිද්‍යාවේ ප‍්‍රවේශයක් විදිහටත් මේ ආත්මීය පරාරෝපණය ගැන අදහස් පාවිච්චි වෙනවා.

සතුට කියන්නෙ ඇත්තටම වර්චුවල් දෙයක් නෙමෙයිද... සාපේක්‍ෂ තත්වයක් විදිහෙන් නැතුව පොදු හඳුනාගැනීමක් ඇති වචනයක් විදිහට සතුට තේරුම් ගැනීමේ ඉඳන්ම අපි ඒක වර්චුවල් අදහසක් විදිහට රස විඳිනවා විතරයි කියල මං හිතන්නෙ. එහෙම නැත්තං සතුට කියල දෙයක් නෑ. සතුට නැත්තං දුකට අදහසකුත් නෑ. දවස් සීයෙ වර්චුවල් සතුටු ව්‍යාපෘතිය ඇතුලෙ සතුට ආයිමත් තමන්ගේ හුදකලා තැන් වලට අරන් යන්න පුළුවන්. තනි ඇරිස්ටෝටලියානු අදහසක් වෙනුවට සතුට අනන්තාපරිමාණ කලාප වල මුදා හරින්න පුළුවන්. අර්ථ කතනය වෙනුවට අත්දැකීමක් විදිහට සතුට තේරුම් ගන්න පුළුවන්.
මාත් දවස් සීයෙ සතුට බෙදා ගන්න තීරණය කළේ ඒ හින්ද.

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment