Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දකුණේ ඡන්ද දායකයන් වෙතයි උතුර බලා ඡන්දය දෙනු මැනවි

 නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

බොහෝ සන්ධාන අපේක්ෂකයන්ම කියන පරිදි මේ පවත්වන්නේ හාල් ටිකට ‍පොල් ටිකට ඡන්දය දෙන මැතිවරණයකි. මේ ප්‍රකාශ රටම දන්නා පරිදි සුද්දා මට ගැහුවා මට සුද්දා ගැහුවා ජාතියේ ප්‍රකාශ වෙති. අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මෙන්ම 
රෙජිනෝල්ඩ් කුරේද කියන්නේ කුඩ්ඩන්ට ඡන්දය දෙන්න එපා කියාය. අපට අහන්න තියෙන්නේ සන්ධාන ලැයිස්තුවෙන් කුඩ්ඩන්ට තක්කඩින්ට නාම යෝජනා දෙන්නේ නව නීදන් පිල්‍ලේ කියාය.
මේ තත්ත්වය ගැන සමහරුන්ට ඡන්ද නීති කැඩීමකි. සමහරුන්ට තක්කඩි දේශපාලනයකි. එහෙත් මැතිවරණය හෝ සර්වජන ඡන්ද බලය අරමුණ සමග මේ තත්ත්වය විග්‍රහ කරන විට දැනෙන්නේ කුමක්ද? ජනතාව සිය අයිතිය හාල් ‍පොල් මල්ලකට තක්කඩින්ට විකුණන බව පමණකි. මේ දවස්වල ඡන්ද උණුසුම ගජරාමෙට නැගලා යනවාය. එහෙත් සියලු මැතිවරණ කතා තක්සේරු කළ විට ලංකාවේ ඉපදුණ එක ගැන ඇති වන්නේ වස ලජ්ජාවකි. ඒ වෙන කිසිවක් නිසා නොවේ. බඩු බෙදුවාට තෑගි දුන්නාට ඡන්දෙ දෙන්න එපා කියා කියන්නේ බඩු  බෙදන එවුන්ම නිසාය. එහෙම කිය කියා හැම පැත්තේම සුද්දවන්තයන් යටත් පිරිසෙයින් ගිනි පෙට්ටියක් හෝ අතේ තියා මනාප ඉල්ලති. ඡන්දය යනු කැමැත්තය. කැමැත්තට යම් මිලක් නියම වේ නම් එහි ඇත්තේ අලෙවි කිරීමක් මිස කැමැත්ත පළවීමක් නොවේ. ආණ්ඩුව කියන්නේ ඩොලර්වලට එන්ජීඕ කාරයන් කඩේ යති කියාය. මේ කෙරෙන්නේ රටේ ජනතාවගේ නිවෙසට හාල් ‍පොල් ගෙනැවිත් දීමකි.
නවසිය හතළිස් ගණන්වල  ගාල්ලට විජයානන්ද දහනායක සමග තරග කළේ අමරසූරිය කෙනෙකි. සමහර විට ඔහු එච්.ඩබ්ලිව්. අමරසූරිය විය හැකිය. ඒ දවස අමරසූරියලා හඳුන්වන ලද්දේ ලක්ෂයට කොඩිය දාපු ඈයෝ හැටියටය. ඔවුන් ඒ කාලෙත් ගජ ‍පෝසතුන්ය. එහෙත් ඒ සල්ලි කුඩු විකුණා උපයාගත් ඒවා නොවෙති. එක් යුගයක අරක්කු බෝතලයයි රුපියල් දහයයි ගණනේ ගමෙන් ගමට බෙදාගෙන ගිය බව පැරණි අය දනිති. එහෙව් කාලෙක අමරසූරියට මුහුණ දුන් දහනායක ගාල්ලට ඇහෙන්නට කීවේ සල්ලි ගහක් සෙලවිලා කොල විසිවෙයි ගැලවිලා කියලාය. එහෙත්  ඒ මැතිවරණය අවසානයේ ගාල්ල ජය ගත්තේ දහනායක මිස අමරසූරිය නොවේ. ඒ ගාල්ලේ මිනිසුන් තම ආත්මය වටිනා ඡන්දය රුපියල් සතවලට විකුණුවේ නැති නිසාය. එහෙත් අද තත්ත්වය කුමක්ද? හාල් ‍පොල් දුරු මිරිස් රෙදි සාරි ටෙලි‍පෝන් ආදී කී නොකී දේ බෙදමින් සමහර අපේක්ෂක කුඩ්ඩන් මනාප ප්‍රසිද්ධියේ මිලට ගනිමින් සිටීමය. ඒ තත්ත්වය තුළ ජනතා දුක දකින නායකයන් දේශපාලකයන් රුපියල් අළුක්කාල් ගානට වැටී හාමරය. මේ උදා වී ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය කුඩ්ඩන්ට සල්ලාලයන්ට විකුණන මොහොතක් නොවේ. එක් පසෙකින් ජාත්‍යන්තරය ජගත් මානව හිමිකම් රීති එල්ල කොට රටේ ස්වෛරීභාවය අවතක්සේරු කරමින් සිටිති. එහෙම කරන්නේ විපක්ෂයේ දුර්වලකම නිසා නොවේ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසාය. ජිනීවා හරහා රටට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනාවල සාරාංශය කුමක්ද? විවිධ අංශවලින් නැගෙන අතුරුදන් කිරීම් පහරදීම් ඝාතන ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙසය. එහෙත් ආණ්ඩුව කියන්නේ එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැති බවය. පුද්ගලිකව තමන්ට චෝදනාවක් නැගුන විට ඒ ගැන තීරණාත්මක මත ප්‍රකාශ කිරීමට ලෝකයේ කිසිදු පුද්ගලයකුට අයිතියක් නැත. නැගෙන චෝදනාවලට මුහුණ දෙමින් එයින් නිදහස් වීම හැර වෙන කිසිදු පිළියමක් නැත. එසේම එකී චෝදනා සිද්ධ වුණේ යම් භූමියකදී නම් එකී භූමියේ පාලකයන් උක්ත චෝදනා ගැන වහා පරීක්ෂණ කළ යුතුවේ. එසේ නැතහොත් සැකකරුවන් අදාළ පරීක්ෂණ පිණිස යොමු කළ යුතුවේ. රටේ අහිංසක දියණියන් දූෂණය කළ එවුන් රකින පාලනයක් රටේ පවතී. එය නෑ කියන්න කාටවත් බැරිය. ඒ පාලකයන්ගේ දෑත ශක්තිමත් කිරීමට මන්ත්‍රීන් කෝටි ගණනට විකිණෙති. ඒ පාලනය රකින්නට ජනතාව හාල් ‍පොල් ටිකට ඡන්දය දෙති.
මේ කියන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ වර්තමාන කතාවය. මහින්ද රාජපක්ෂ සංවර්ධනයේ මුවාවෙන් ප්‍රකෝටි ගණන් ණය ගනිමින් සිටිති. රටේ පරම්පරා 7ක් ඒ ණය ගෙවන්නට බැඳී සිටිති. ඒ ණය බර දිවා රාත්‍රී්‍ර නොවෙනස්ව බඩු මිල ඉහළ යමින් අපේ හිස් මත කඩා වැටෙමින් ඇත.
අප මේ උදාවන පළාත් සභා ඡන්දයත් බත් පතට බඩු මල්ලට විකුණා අවසන් කළ යුතුද? එහෙම අසන්නේ මේ ඡන්දය හරහා රට හෝ ආණ්ඩුව පෙරළන්නට සැරසෙන්නයි කියන්න නොවේ. රටත් ආණ්ඩුවත් එසේම තිබියේවා. එහෙත් අපට අපේ ආත්ම ගෞරවය ජීවිතාරක්ෂාව පිණිස මේ ඡන්දය පාවිච්චි කළ හැකිය. විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ජල සම්පත් දූෂණය ශිෂ්‍ය අසහනය සිවිල් සමාජ පැවැත්ම ආදී නිදහස් ලංකා ඉතිහාසය පුරා රැකුණ ජනතා හිමිකම් ගැන කතා කිරීමේ අයිතිය ආණ්ඩුව උදුරා ගෙන ඇත. ඒවා ගැන කතා කරන මිනිස්සු පාරට බැස්සාම ‍පොලීසිය ලවා පහර දෙති. වෙඩි තබති. අත්අඩංගුවට ගනිති. මේවා වැරදි බව ආණ්ඩුවට කියා දෙන්ට මේ ඡන්දය සමත්ය. මේ කතිරය සමත්ය. 17 අවුරුදු එජාප ආණ්ඩුව පෙරළුවේ දකුණු පළාත් සභා ඡන්දය විසිනි. ජිනීවා වෙත ආණ්ඩුවට එරෙහි යෝජනාවක් සම්මත කළ පළාත් සභාවක් නිර්මාණය කළේ උතුරේ ජනතාවගේ කතිරය ඡන්දය විසිනි. උතුරේ ජනතාව කතා කරන භාෂාව දෙමළ බව සැබෑය. එහෙත් ඔවුන් මේ රටෙන් කොටසකි. ඔවුන් හැමදාම හැසිරුණේ මේ රටේ පෑගෙන ජනතාව සමගය. ඒ නිසා මේ මැතිවරණයේදී දකුණේ බස්නාහිර ජනතාව උතුරු පළාතේ ජනතාව මෙන් කල්පනා කළොත් බොහෝ දේ දිනාගත හැකිවේ.
ගිය සතියේ කොළඹදී වෘත්තිකයන් අමතා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්  අපූරු කතාවක් කීය. ඔහුට අනුව මේ රටේ පාලනයට ජාත්‍යන්තර බලපෑම් අනවශ්‍යය. මේ රටේ ජනතාව සිය ඉරණම ඔවුන් පත්කර ගත් ආණ්ඩුවට භාරදී ඇත. ජනතාව සිය ඉරණම ආණ්ඩුවට භාර දී ඇත්තේ ඡන්දයක් හරහාය. එය ජනතාව සහ පාලකයන් අතර සම්මුතියකි. නීති මහාචාර්ය ජී.එල්. පීරිස් කල්පනා කරන්නේ එහෙම පත්වුන ආණ්ඩුවකට නොකළ හැකි දෙයක් නැති බවය. හෙවත් දැන් ඉතින් විඳපල්ලා කියාය. ලංකාවේ ජනතාව තමන් සහ ආණ්ඩුව අතර පවත්නා ගිවිසුම මේ ඡන්දයේදී කඩා දමනවාද? තවදුරටත් පවත්වාගෙන යනවාද? රටක පාලනයේ ප්‍රතිඵලය ජනතාවගේ ඉරණම ලෙස නීති මහාචාර්ය ජී.එල්. පීරිස් කල්පනා කරයි. නීති මහාචාර්ය ජී.එල්. පීරිස්  මෙහෙම කල්පනා කිරීම නම් ඉරණම නොවේ. ජනතවගේ කරුමයකි.
දකුණේ වර්ගවාදී ස්වෝත්ම වාදී ආකල්පය නිසා අපේ දේශපාලනඥයන් උතුරේ දේශපාලනය ඩැහැ ගැනීමට විවිධ උපක්‍රම කළහ. 1981 දිස්ත්‍රික් සභා ඡන්දය ඊට උදාහරණයකි. එදා ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එජාප දේශපාලනඥයන්ගේ මුග්ධ හැසිරීම ඊට හොඳම නිදර්ශනයකි. එහි ප්‍රතිඵලය කුමක්ද? වැල්ලවැටිතුරේ හොරබඩු ජාවාරම්කාර තක්කඩියන් තුවක්කු අතට ගැනීමය. එහි පරිසරය එසේ තිබියදීත් උතුරේ යාපනේ මිනිස්සු ඡන්ද ‍පොළේදී ලංකාවේ දකුණේ පුරවැසියන් මෙන් කල්පනා කළ බව අප අමතක කළ යුතු නැත. උතුරේ මිනිස්සු 1982 ජනපති මැතිවරණයේදී ජේ.ආර්. ට විරුද්ධව ඡන්දය දුන්නේ ඊළමක් අපේක්ෂාවෙන් නොවේ. ජේ.ආර්. එන‍පොට කල්තබා තේරුම් ගැනීමෙනි. 1982දී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොබ්බෑකඩුවට උතුරෙන් ඡන්ද 100521ක් ගන්නා විට, එජාපයේ ජේ.ආර්. ජයවර්ධනට උතුරෙන් ලැබුණේ ඡන්ද 77614කි. එහිදී ඔවුන් වටිනාකමක් දුන්නේ වර්ගවාදයට හෝ ඊළම් අරමුණ වෙනුවෙන් නොවේ. සර්ව ජන ඡන්දයේ ශුද්ධ අරමුණ ජයග්‍රහණය කරවීම පිණිසය. 1999දීත් උතුරේ ජනතාව දකුණේ මිනිසුන් ගෙන් කොටසක් ලෙස කල්පනා කරමින් අලියාටත් බුලත්
කොළයටත් ආදී ලෙස බෙදී ගියහ. 1988දී උතුරේත් දකුණේ සිද්ධ වුණේ එකම දෙයයි.
2005 ජනාධිපති මැතිවරණයේදී ප්‍රභාකරන් තුවක්කුව මානාගෙන ඡන්ද පෙට්ටිය මත වාඩි වී සිටි නිසා උතුරේ ජනතා කැමැත්ත ප්‍රකාශ නොවීය. 2005දී රනිල්ට ඡන්දය දුන් කිළිනොච්චි ආසනයේ පාවිච්චි වී තිබුණේ එකම ඡන්දයකි. එය අලියාට ගැසූ කතිරයකි. ඒ ඡන්දය දුන් පුරවැසියකුගේ අත එදිනම ප්‍රභාකරන් කපා දැමූ බව වාර්තා විය. ඒ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත් කළේ ප්‍රභාකරන් මිස රටේ දකුණේ ජනතාව නම් නොවේ. එහෙම කියන්නේ මහින්දට උතුරෙන් ඡන්ද 19166ක් වැටෙන විට, රනිල්ට ඡන්ද 71321ක් වැටුණ නිසාය. ප්‍රභාකරන් නැති උතුරේ
පළමුවන ජනාධිපති මැතිවරණය 2010 උදාවිය. එහිදී උතුරේ මිනිස්සු යුද්ධය මෙහෙය වූ රටේ සේනාධිනායක මහින්ද රාජපක්ෂට ඡන්ද 72892ක් ද, යුද්ධය කොට ප්‍රභාකරන් මරා දැමූ හමුදාපති සරත් ෆොන්සේකාට ඡන්ද 184244ක්ද දුන්හ. අර සුවිශේෂී කිළිනොච්චි ආසනයේ මිනිසුන්ගෙන් මහින්ද රාජපක්ෂට 991 ඡන්ද දෙන විට සරත් ෆොන්සේකා ඡන්ද 4717ක් ලබා තිබිණ. යුද්ධය පැවැති මුලතිව්හී ෆොන්සේකාට ඡන්ද 31796ක් ලැබෙන විට මහින්දට වැටී තිබුණේ ඡන්ද 13742කි. ඒ වන විට උතුරෙන් අඩක් ජීවත් වුණේ සරණාගත කඳවුරුවලය. ඔවුන් මහින්දට වඩා වැඩිපුර ඡන්ද 111352ක් සරත් ෆොන්සේකාට දෙමින් කියා සිටියේ කුමක්ද? ඔවුන් යුද්ධය අමතක කළ බවය. නව නායකයකු සමග රටේ කොටසක් වෙමින් ලාංකිකයන් ලෙස සහජීවනයෙන් ජීවත් වෙන්ට කැමැති බවය. එහෙත් ඒ සාමකාමී තීන්දුව දකුණේ බහුතර ජනතාව හෝ මහින්ද රාජපක්ෂ අදටත් තේරුම් ගෙන නැත.
මේ ඉතිහාසය මෙසේ ලියැවෙන අතර 2013 උතුරු පළාත් සභා මැතිවරණය එළැඹිණ. මහින්දගේ ආණ්ඩුව ඒ ඡන්ද අයිතිය උතුරට දුන්නා නොවේ. දෙන්ට සිදුවුණා පමණකි. දිගු කලකින් උතුරේ මිනිසුන්ට තමන් උපන් උතුර ගැන පමණක් කල්පනා කොට ඡන්දය දෙන අවස්ථාවක් උදාවිය. මෙම ඡන්දය පැවැතුණේ 2013 සැප්තැම්බර් මස 21 වෙනිදාය. එදා වන විට මාර්ග සංවර්ධනය උතුරේත් දකුණෙත් එක සමාන නොවන්නට ඇත. එහෙත් ආණ්ඩුවේ ඇමැතිවරු කීවේ උතුර දකුණටත් වඩා සෞභාග්‍යයෙන් සපීරි ඇති බවය. කාපට් පාරවල්, දුම්රිය පහසුකම්, ජලය, විදුලිය, පාසල් ක්‍රීඩා ආදී සංවර්ධිත රටක මිනිසුන් භුක්ති විඳි සියල්ල උතුරු වසන්තය හරහා ලබාදී අවසන් බවය. ආණ්ඩුවේ සර්ව සුබවාදීන් කල්පනා කළ පරිදි, දකුණට සමගාමීව කරන්ට තිබුණේ ඡන්ද පෙට්ටි ගිහින් තියන පමාව පමණකි. මිනිසුන් බුලත් කොළයට ගහගෙන ගහගෙන යා යුතුව තිබිණ. එහෙත් එහෙම වුණේ නැත. භාෂා භේද ආගම් භේද අමතක කළ විට උතුරෙත් දකුණෙත් ජීවත් වෙන්නේ මිනිසුන්ය. කන්නේ අඩුවැඩි වශයෙන් බවත්ය. එහෙත් රටේ දකුණේ සත්‍ය වශයෙන්ම කතාබහට ලක්ව ඇති යහපාලනය බිඳ වැටීමේ අයහපත් ප්‍රතිඵල මුළු රටම එක ලෙස භුක්ති විඳියි. එහෙත් එකම දවසක ලංකාවේ පැවැති ඡන්ද තුනක් විග්‍රහ කර බලන විට පැහැදිලි වෙන්නේ කුමක්ද?
ජේ. ආර්.ට එරෙහිව කොබ්බෑකඩුව වෙනුවෙන්, මහින්ද රාජපක්ෂට විරුද්ධව ෆොන්සේකා වෙනුවෙන් දකුණේ ජනතාව සමග එක්ව පෙනී සිටි උතුරේ මිනිස්සු 2013 සැප්තැම්බර් මස 21 වෙනිදා පළාත් ඡන්දයේදී නිවැරදි තීරණයක් ගත් බවය. රාජපක්ෂ පාලනයට දැන් පගා ගන්නා විදුහල්පතිවරු උතුරේ ගම්වලට පත් කරන්න බැරිය. එයම මදිද? උතුරු පළාත් සභාව ගෙනෙන හැම යෝජනාවම ඒකච්ඡන්දයෙන් සම්මත වේ. එහි විපක්ෂයක් නැතිවා නොවේ. එහෙත් ජනමතය සමග සෙල්ලම් කිරීම බරපතළ වරදක් බව උතුරේ මිනිස්සු ඩග්ලස් දේවානන්දලාට උගන්වා හමාරය. දකුණේ මිනිස්සු අනලස්ව අත නොහැර උතුරේ ජනතාව කල්පනා කළ ආකාරය අනුගමනය කළ යුතුව ඇත.
මෙහිදී බස්නාහිර දකුණේ මිනිස්සු සැමදා කල්පනා කළ යුතුව ඇත. එම පළාත් සභා මැතිවරණයේදී වයඹට මධ්‍යම පළාතට වඩා වෙනස් තීන්දුව ගැනීමෙන් උතුරේ ජනතාව කීවේ කුමක්ද? අපි බෙදුණා කියා නොවේ. එය මතක තබාගත යුතුව ඇත. දකුණේ කිතුල් ගසත් උතුරේ තල් ගසත් එක වාගේය. එහෙත් මේ ගස් දෙකෙන් අප ගන්නා ප්‍රයෝජනයේ ප්‍රමාණයම උතුරු දකුණු චින්තනයේ වෙනස කියා පෑමට ඇති හොඳම නිදර්ශනය විය හැකිය. කිතුල් ගස සජීවීව ඇතිතාක් දකුණේ මිනිස්සු එයින් කරන්නේ රා ලබා ගැනීම පමණකි. තෙලිජ්ජ පැණි  හකුරු යනු තෙලිජ්ජයේ අතුරු නිෂ්පාදන වෙති. එහෙත් යාපන ජනතාව තල් ගසෙන් ලබා ගන්නේ රා සහ තල් හකුරු පමණක් නොවේ. ඔවුන් තල් හකුරු සඳහා වියන කුඩා පැස පවා සාදයි. එය උතුරේ ජන විඥානය කියා පායි. මේ විස්තර කරන උතුරු මැතිවරණ ප්‍රතිඵලත් එවැන්නකි.
පාන් ගෙඩියට, හාල් සේරුවට, අරක්කු බෝතලයට, සමෘද්ධි බඩු මල්ලට, සාරියට චීත්ත කෑල්ලට, ලාබ සෙල් ‍පෝනයට දකුණේ මිනිස්සු බහුතරය කතිර ගසති. ඒ නැතිකමට කෑදර කමට විය හැකිය. කමක් නැත. ඔවුන්ගේ කතිරය එතනින් නතර වෙන්නේ නැත. කතිරයට පසුව එන මනාප ලැයිස්තුවෙන් තෝරා පත්කර යවන්නේ අරක්කුකාරයන්ය. කුඩු මුදලාලිලාය. පල් හොරුන්ය. චණ්ඩියන්ය. මිනී මරුවන්ය. ඉස්සර නම් පවු‍ලේ එකෙක් වරදක් කළොත් පරම්පරාවටම ආණ්ඩුවේ රස්සා නොලැබෙයි. දැන් දකුණේ මිනී මරාපු තරමට, ස්ත්‍රීන් දූෂණය කළ තරමට නාම යෝජනා ලැබිමේ ධනාත්මක ලකුණු ලැබෙයි. ඒ නිසා මේ තක්කඩි දේශපාලනයට තිතක් නොව කොමාවක් තබන්නට මේ ඡන්දය අපට යොදාගත හැකිය.
Source: Lakbima online