RSS

150. E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!

14 මාර්තු
150. E01හි මාරක ගමන.  Nightmare on E01-the Southern Expressway!

ඇලුමිනියම් ගරාජ් දොරෙන් පරාවර්තනය වන  කහ පැහැති දුබල කණමැදිරි එලි යුගල දෙස මම බලාගෙන උන්නේ  විශ්මයෙන්. වහාම දොර ඇරගෙන එළියට බැසගත් මම වාහනය ඉදිරියට ගිහින්  බැලුවේ පළවෙනි වතාවට. මේක නම් අදහන්න බැරි දෙයක්.  හෙඩ් ලයිට් දෙක කළාමැදිරි දෙන්නෙක්ගේ එලිය වගේ තමයි!  එවිටම ගරාජයේ එලියේ විදුලි බුබුල දැල්වුනා. ආපහු ගිහින් රියැදුරු අසුනේ ඉඳගත් මම ගරාජ් දොර ලැසි ඉහලට එතෙන තෙක්  ඉවසීමෙන් බලා හිටියා.  ගරාජය තුලට වෑන් රථය පැදවූ මා යතුර කරකවා එන්ජිම නවත්වන්නට පෙර හොඳින් හිතා බැලුවා.

 

 “ඔන්න එහෙනම් එන්ජින් එක නවත්තනවා.” මම හඬ නගා නිවේදනය කලා.

 

“ඔව්, දෙයියනේ කියලා අපිව ගෙදෙට්ට ගෙනාවනේ පරිස්සමෙන්,” කී දීපා සැනසුම් සුසුමක් හෙලුවා.

“අද නම් මාරකයක් පැන්නා,” මට කියවුනේ ඉබේටම.

 

අපි තුන් දෙනා ඇල්කෙමියාගේ මවගේ අවමඟුලට යන්න අපි හිතාගෙන හිටියේ උදේම. නමුත් වෙනීත් අපි එක්ක යන්න කැමති වුනාම ඒ සැලසුම වෙනස් වුනා. අවුරුද්දේ අන්තිම නිසා නිවාඩු අවසන් කරගෙන සිටි වෙනීට වැඩ ඇරිලා එන්න ලැබෙන්නෙ රෑ බෝ වුනාම. ඒ අතරේ වෙනී විසින්ම බ්ලොග් ලියන රණාත්, ඕනයා සහ පවුලත් ගමනට එක් කරගැනීමට සැලසුම් සකස් කර තිබ්බ නිසා හංවැල්ල, පහත්ගම හරහා හයිලෙවල් පාර දිගේ කොට්ටාවට යාමට අදහස් කරගෙන සිටි මාර්ග සැලැස්මත් වෙනස් කරන්න සිද්ද වුනා.

 

මුලින්ම ඕනයා  සහ  පවුල පටවා ගැනීමට කඩුවෙල හරහා මුල්ලේරියාව පැත්තට ගිය අපි ඉන් පසුව පැළවත්ත හරහා ගමන් කර හයිලෙවල් පාරට ඇතුල් වීමට පෙරම වැස්ස පටන් අරන් තිබුනා. වෙනීත්, රණාට කොට්ටාවෙන් වෑන් එකට නැග්ගේ මහා වැස්සේ.

 

කොට්ටාවෙන් E01 දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේ ටෝල් බූත් එකට වාර්තාකරන විට වෙලාව හවස 7.49 යි. ඇද හැලෙන මහ වර්ෂාව නිසාත්, රාත්‍රිය නිසාත්, වාහනයේ අමුත්තන් සිටි නිසා වූ අමතර වගකීම නිසාත් මා රියැ පැදවූවේ වේග සීමාවට අඩුවෙන්. වැස්සත්, රාත්‍රියත්, වේගවත් රියධාවනයත් නරක සංයෝගයක්. ඒ වගේම අපි කෙතරම් ප්‍රවේශම් වුනත් අනිත් රියැදුරන්ගේ නොසැලකිලිමත් භාවය ගැන කලහැකි දෙයක් නැති තරම්.

  ?????????? 

 දීපාත් මමත් ඉදිරියේත්, පුතා සහ අනිකුත් අය වාහනයේ පසුපසත් අසුන් ගෙන සිටියා. මාර්ගයට සම්පූර්ණ අවධානය යොමාගෙන හිටි මම පසුපසින් නොනවත්වා ඇසුන ,  උස් හඬින් කෙරුණු උසුළු විසුළුවලට අවධානය යොමු කලේ අතරින් පතර. මුළු ගමනේම සියළුම විහිළු තහළුවල ගොදුර නොහොත් බයිට් එක වුනේ අසරණ වෙනියා බව මට පුතාත් පසුව කීවා.

 

අප කුරුඳුගහහැතැප්ම පිටවුමෙන් අධිවේගී මාර්ගයෙන් පිටවනවිට කි. මී. 67.6 පසු කිරීමට හරියටම විනාඩි පනස් හතක් ගතවී තිබුනා.

 

ඇල්කෙමියාගේ බ්ලොග් අඩවියෙන් බලාගෙන කඩිමුඩියේම කොල කෑල්ලක ලියාගත්  ඇල්කෙමියාගේ ගෙදරට යන මාර්ග විස්තරය රියැදුරු අසුන අසල කොන්සෝලයේ රඳවා තිබුනත්, වෙනියාත් එම අඩවියෙන්ම බලාගෙන A4 කොලයක සටහන් කරගෙන සිටි විස්තරයට එය සැසඳුන නිසා අපි ඒ කෙරෙහිත්, වෙනියාගේ දුරකථනයේ තිබූ SatNav වැඩසටහනත් පමණක් පාවිච්චි කලා.

E01 මාර්ගයෙන් පිටවූ වහාම, වමට තිබූ විශාල මාර්ගය නිවැරදි එක වුවත්, එහි විශාලත්වය නිසා එය නැවත අධිවේගී මාර්ගයටම යන පිවිසුමක් විය හැකියයි වරදවා තේරුම් ගත් අපි, මුල්ම වරද කරගෙන තිබුනා. කෙසේ හෝ නොනවත්වා වෙනියාටත් navigation වැඩ සටහනටත්,  පසුව  වෙනියාගේ A4 Navigation නමින්  Facebook හරහා චණ්ඩ මාරුතයක් සේ හමා ගිය වැඩසටහනටත් කෙරුනු විහිළු-තහලු, අපහාස මැද්දෙන් අපි විකල්ප මාවතක් ඔස්සේ ගමනාන්තය කරා ලඟාවෙමින් තිබුනා.

 

මුත්‍රාශ හිස් කරගෙන යාමට සුදුසු තැනක් සොයමින් සිටි අපට පසු කරමින් අඳුරු රබර් වත්ත කෙම් බිමක් වුනා. මාර්ගය අයිනේ පේලියට සිටගෙන කාර්යය නිමාකල අප ආපසු වාහනයට නැඟුනා.

 

එන්ජිම පණගැන්වීමට යතුර කරකැව්වත්, ස්ටාටර් මෝටරය කෙඳිරිළි හඬක් නගමින් නිහඬවුනේ මා පුදුමයට පත් කරමින්. අලුත්ම එකක්වූ මේ බැටරිය, අධිවේගී මාර්ගයේ කල ධාවනය නිසා හොඳින්ම ආරෝපණය වී තිබිය යුතුයි.  මේ වාහනය කිසිම දිනෙක, (මීයෙක් ඩීසල් පොම්පයට යන වයරය කා දමා තිබූ දිනයේ ඇර) එන්ජිම පණ නොගැන්වී සිටීමේ රෝගයයට ගොදුරු වී නැහැ.  මම හෙඩ් ලයිට් දල්වා බැලුවා. දුබල ආලෝකයක් නිකුත් කල ඒවා සැනෙකින් අඳුරු වී ගියා.

 

වාහනය තල්ලු කර පණගන්වා ගැනීම සභා සම්මත වීමත් සමගම, පිරිමි වාහනයෙන් බැස තල්ලු කරන්න පටන් ගත්තා. නමුත් එයත් හිතූ තරම් පහසු නොවුනේ තල්ලු කිරීමට සිදුව තිබුනේ මඳ බෑවුමක ඉහලට නිසයි. ඒ වගේම පාර පෙනෙන්නට තිබුණෙත් තරු එලිය පමණයි. දෙවන හෝ තුන්වන උත්සාහයේදී අවශ්‍ය වේගය ලැබූ එන්ජිම පණ ගැන්වුනා. වහාම වාහනයට නැග ගත් අප ගමන පිටත් වුනා. මා සන්ත්‍රාසයට පත් කරමින් වාහනය ධාවනය කරද්දීත් සාමාන්‍යයෙන් එන්ජිම පණගැන්වුනු වහාම නිවී යායුතු රතු බැටරි ලාංඡනය දැල්වී තිබුනා. ඒ කියන්නේ බැටරිය ආරෝපණය වෙන්නේ නෑ.

 

“මේ වාහනය මාස දහයහමාරක් නිකම්ම තිබිලත්, බැටරිය හයි කරලා යතුර කරකවපු ගමන්ම ස්ටාට් වෙන වාහනේ, මේක වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි.” මම කිව්වේ හිතේ අමාරුවෙන්.

 

ඇත්තෙන්ම ටික වෙලාවකින් ඩෑෂ්බෝඩ් චාජිං ලෑම්ප් එක නිවී ගියත් ය වරින් වර ධාවනය කරද්දී දැල්වෙන බව දු‍ටු මගේ හිත තවත් බර වුනා. එක්වතාවක් පාර නැවත වැරදී එක් අයෙක් පාර අසාගෙන ඒමට ගිය අතරේ මම එන්ජිම නැවැත්වුනේ පුරුද්දට. අධික බෑවුමක නවතා තිබූ වාහනය,  එවර මට පණගන්වන්නට සිදුවුනේ පසුපසට නිදහසේ යන්නට ඉඩහැර  රිවර්ස් ගියරය යෙදීමෙන්. මේ නම්, අඳුරු ‍රැයක,  නොදන්නා පාරක,  රිය පිරෙන්නට මඟීන් පටවාගෙන ඇති විටෙක, අධික බෑවුමක කිසිසේත් නොකලයුතු දෙයක් වුවත් මට වෙනත් විකල්පයක් තිබුනේ නෑ.

 

මළ ගෙදරට ලඟාවුන පසු තල්ලු කරන්නට ඉඩකඩ ඇති තැනක වාහනය නැවැත්වූ මම, අනික් අය වාහනයෙන් බහින අතරේ, බැටරි කවරය ඇ,ර පසුපස සබ්වූෆරයට බැටරියෙන් දී තිබූ සම්බන්ධය විසන්ධි කලේ, බැටරියට ඇති බර අඩු කරන්නට හිතාගෙන.

 

මුල් වතාවට ඇල් මුණ ගැසී කතාබහ කලත්, කට්ටියම වටවී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියත් මගේ හිතේ  තිබුනේ වාහනයේ රෝගය ගැනයි. දවල් කාලයකදී නම් එතරම්ම ගැටළුවක් නොවුනත් මේ වාහනයෙන් එකක් පිරිස පටවාගෙන ආපසු කිලෝමීටර් සියයක්ට වැඩිය මහ ‍රැයක වැස්සේ  බැටරිය බසිමින් පවතින වාහනයක් ධාවනය කරන අවදානම මගේ හිත බර කලා. අනිත් වුන් කියන දේට මම නිසි පිළිතුරු දුන්නත්, මම අහන් හිටියේ ඇත්තෙන්ම බාගෙට.

 

“අපි මොකද කරන්නේ දැන්?”

 

“මාත් මේ කල්පනා කරන්නේ  ඒකම තමයි.අපි එක්ස්ප්‍රස්වේ එකේ යන එක අවදානම්. මොකද මගදි නවත්තන්න බෑ. අනික නැවැත්තුවත්  වැස්සෙ කළුවරේ අනිත් ඩ්‍රයිවර්ස්ලට අපිව නොපෙනෙන්නෙ ඉඩ තියෙනවා හැපෙනකල්ම. හැසඩ් ලයිට්, සිග්නල් මොකුත් නෑ බැටරිය චාජ් නොවෙන කේස් එක නිසා”

 

“ඔයා හොඳ දෙයක් කරන්න.”

 

“ඒ එක්කම, ගාලු පාරේ ගියොත් සෑහෙන වෙලාවක් යනවා ගෙදර යන්න. අනික මේ කට්ටිය ගෙනිහින් දාන්න තවත් ඈත යන්න වෙනවා. වෙලාව ගතවෙන්න වෙන්න, වැඩේ තවත් උග්‍ර වෙනවා.”

 

“ඒකට මොකද කරන්නේ?”

 

“කරන්න ඕනේ හරිම දේ නම් එලිවෙනකල් ඉඳලා උදේම යන එක. නමුත් ඒක අපිට කරන්න බැරි වෙනීට වැඩට යන්න තියෙන නිසා. අනික අර ඕනයගේ පොඩි එකී. ඒ වැඩේ කරන්න බෑ. හරි නෑනේ.”

 

“ඉතින්?”

 

“ඉතින් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ප්ලෑන් බී තමයි.  කරන්න ඕනේ නම් හැකි ඉක්මනින් ගෙදරට යන එක. ඒ කියන්නේ මොකුත් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්තනා කරලා එක්ස්ප්‍රස්වේ එකේ යන එක. එක පොයින්ට් එකක් එනවා ලයිට් නැතුවම යන්න පුලුවන්. ඒ නිසා හොඳම ඔප්ෂන් එක ඕක තමයි.  මොකද ගතවෙන කාලය අඩු නිසා.”

 

“රිස්ක් එක අඩු දෙයක් කරන්න.”

 

රෑ කෑමත් කාලා, ඇල්කෙමියාගේ ගහෙන් ඒප්‍රිකොට් ගෙඩිත් කඩාගෙන අපි එළියට බැස්සා. මම හිතුවා වගේම බින්දුවටම බැස තිබූ බැටරියේ ස්ටාර්ටර් මෝටරය කරකවන්නට ජවයක් ඉතිරිවී තිබුණේ නෑ. තල්ලුකර එන්ජිම පණගන්වාගෙන, කට්ටිය පටවාගත් වහාම අපි පිටත් වුනා, මෙවර නියමිත මාර්ගයේ. 

 

අධිවේගී මාර්ගයේම ආපසු යාමට හිත හදාගෙන සිටි නිසා මම කුරුඳුගහහැතැප්ම පිවිසුම දෙසට රිය ධාවනය කලා. නමුත් මම ගත් තීරණය හරිදැයි සිතේ දෙගිඩියාවක් මතුකරමින් මෙවර බැටරිය බහින බව හඟවන රතු එළිය දිගටම දැල්වී තිබුනා.

 

කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් ටිකට් පත ලබාගන්නා විට වේලාව හරියටම රාත්‍රී 12.07යි. ‘මේකෙ නම් ලයිට් නැතුව හරි  යන්න පුලුවන්,’ විදුලි පහන් එලියෙන් ඒකාලෝක වූ අධිවේගී මාර්ගය දැක මම මටම කියාගත්තා . නමුත් ඒ සතුට තිබුනේ විනාඩි කීපයයි. අධිවේගී මාර්ගය ආලෝකවත් කර තියෙන්නේ පිවිසුම්, පිටවීම්, සේවා ප්‍රදේශ සහ පාලම් උඩ විතරක් බව තේරුම් ගන්න මට ගියේ ටික වෙලාවයි. 

 20140314012107

දැන් මොකද කරන්නේ. හරියටම එකපාරටම බිම්ගේකට ඇතුල් වුනා වගේ  හැමදේම කලුවර වෙනවත් එක්කම මම ඇක්සලරේටරයෙක් කකුල ගත්තෙ නිකම්ම.

 

ටිකකින් ඇස් අඳුරට හුරුවෙද්දී අපේ දියාරු, කණාමැදිරි එළිය ද්විත්වමාර්ගය බෙදන යකඩ වැටේත්, මංතීරු දෙක බෙදන කඩ ඉරෙත්, පාරේ සීමාව පෙන්නන ෆොග්ලයින් නම් රේඛාවේත් ලුමිනස් තීන්ත වලින් ඉතාම දුර්වලව පරාවර්තනය වෙන හැටි දැක ගන්න හැකිවුනා. අනිත් හැම දෙයක්ම ඝනඳුරේ ගිලී තිබුනා.

 

පාර මැද්දේ අලියෙක් හිටියත් හැපෙනකල් නොපෙනෙන බව අපි දෙන්නම දැනගත්තා. ඒ වගේම අපි වගේම ලයිට් නැති කවුරුහරි පාර මැද්දේ නැවතිලා හිටියොත්, නැතිනම් හෙමින් ගමක් කරමින් හිටියොත් හැපෙනකල්ම නොපෙනෙන බවත් සිහිවෙද්දි මගේ ඇඟ හිටිවැටිලා ගියා. 

 

මට කල හැකි එකම දෙය වුනේ, වාහනය මලානිකව යන්තමින් පෙනෙන ලුමිනස් “ෆොග්ලයින්” රේඛාවත්, ද්විත්ව මාර්ගය දෙකට බෙදන යකඩ වැටේ ලුමිනස් පරාවර්තක පෙලත් අතරින් රඳවාගෙන ධාවනය කිරීම පමණයි. ඇත්තෙන්ම එක මහා මාර්ගයක මෝටර් රථයක් ධාවනය කරනවාට වඩා, අහසේ පියාසර කිරීමක් ලෙසයි දැනුනේ. හරියටම කිව්වොත්, ඉතා අයහපත් කාළගුණ තත්වයක් යටතේ, කැලෑබද පෙදෙසක කුඩා ගුවන්තො‍ටුපොලක නිසිලෙස ආලෝකමත් නොකල  ධාවන තීරුවක්  එල්ලකරගෙන ගුවන්යානයක් ගොඩබෑමට තැත් කරන්නාක් වැනි අත්දැකීමක්.

 

අනතුර අවබෝධකරගත්ත දීපා ආසන පටිය ගලවා වීදුරුවට මුහුණ ඔබාගෙන යාන්තමින් පෙනෙන සුදු ඉරි දෙක අතරේ වාහනය රඳවාගන්න උදව් කලා.

 

“පොඩ්ඩක් වමට වැඩි වගේ. වැට පැත්තට වැඩි නැද්ද?”

 

අතරින් පතර අලුත් වන වර්ෂාව වින්ඩ්ස්ක්‍රීනය මත ඇදහැලෙද්දී වයිපරය ක්‍රියාත්මක කලත් එකම එක වතාවක් වීදුරුව හරහා අමාරුවෙන් ඇදීගිහින් නතර වුනා. වීදුරුව පැහැදිලි වූඋ වහාම මම වයිපර් ස්විචය ක්‍රියා විරහිත කලේ ලයිට් එලියත්, ඒ සමගම ඝනදුර අතරින් මග පෙන්වූ ලුමිනස් පරාවර්තනයත් නැත්තටම නැතිව යනබව දු‍ටු විටයි.  බොහෝ විට මම වයිපර වරක් ක්‍රියා කිරීමේදී වේගය තවත් අඩු කිරීමට වග බලාගත්තා.

 

සාමාන්‍යයෙන් එන්ජිම වේගයෙන් දුවද්දී දුර්වල බැටරියක වුවත් එළිය මඳක් වැඩිවියයුතු වුවත් දැන් සිදුවෙන්නේ එහි අනිත් පැත්ත බව  මට වැටහුනා. ඉදිරියෙන්  වැටේ අනිත් පැත්තෙන් පැමිණින වාහනවල එළිය නිසා යන්තමින් පෙනෙන ලුමිනස් ඉරි අතර ධාවනය කිරීමට හුරුවී සිටි ඇස් වල පෙනීමට භාදා වුනා. උදව්වකට වඩා භාදාවක් වූ, ඉඳහිට අප පි‍ටුපසින් පැමිණ අප පසුකර දිවයන වාහන පසුපස එම වේගයෙන් හඹා යාමට ඇතිවූ පෙළඹවීම මම අමාරුවෙන් යටපත් කරගත්තේ එහි භයානක කම නිසා.

 

පාලමක් මතදී, පිවිසුම් සහ සේවා ප්‍රදේශවල  ඒකාලෝකවී තිබුණු මාර්ග කොටස්වලට ලඟාවෙද්දී වේගය වැඩි කිරීමටත්, අවසන් පහන් කණු කීපයට පෙර වේගය අඩු කිරීමට මම මඳ වෙලාවකින් හුරුවුනා. නැතිනම් එක්වරම අඳුරු ප්‍රදේශයට ඇස හුරුවන්නට යන කාලය තුලදී වාහනය වැටේ හැපීමට  පුළුවන්. 

 

හෙඩ්ලයිට් , ටේල් ලයිට්, බ්‍රේක් ලයිට්, වයිපර් , සිග්නල් නැතිව  අධිවේගී මාර්ගයක වැස්සේ, රාත්‍රියේ යන මේ ගමන කෙතරම් මාරාන්තිකද යන බව පසුපස සිටි මඟීන්ට අවබෝධයක් තිබුණු බවක් පෙනෙන්නට තිබුනේ නෑ.  ඕනයාත් පවුලත් පසුපසම ආසනවල හොඳටම නිදාගෙන සිටි අතර, වෙනියාත් අපේ පුතාත් ස්මාට්ෆෝන් සසඳමින් ලොකු කතාවක යෙදී සිටියා. අඩ නින්දේ සිටි රනා ඉඳ හිට ස්මාට්ෆෝන් කතාවට සහභාගී වෙනවා ඇහුණා. දීපා ඉදිරියට එබී වාහනය සුදු ඉරි දෙක අතර රඳවාගෙන ධාවනය කෙරෙනවාදැයි බලමින් විටින් විට මට අනතුරු හඟවමින් ගියා. මම උකුසු ඇස් දල්වාගෙන යන්තමින් අඳුර අතරින් පෙනෙන ලුමිනස් රේඛා අතර රිය ධාවනය කිරීමේ අරගලයේ යෙදුනා

 20140314012416

පසුවෙන හැම කිලෝමීටරයක්ම වෙන වෙනම ලැබූ සුවිශේෂී  ජයග්‍රහණයක් ලෙස මට දැණුනා. තව කිලෝමීටර් පනහයි…    තිහයි…    විස්සයි…

 

අන්තිමේදී කොට්ටාව ට තව කිලෝමීටර් එකක් බව දකිද්දී  මට දැණුනේ දිණුම් කණුව පසුකරන්න යන ඔලිම්පික් ධාවකයෙකුට දැනෙන සතුටට වඩා වැඩි සතුටක්.  කොට්ටාවේදී ටිකට්පත දී රුපියල් තුන්සීය ගෙවද්දී මේ කිලෝමීටර් 67.6 පසුකිරීමට පැයකුත් විනාඩි 13 ගතවී ඇතිබව ටිකට් පතෙන් මා දු‍ටුවා. අනතුරක් නොවී ඒකෙන් එලියට ආපු එක ඇති නේ දීපා කිව්වා. වෙලාව පාන්දර 01.20 නිසාදෝ එහි සිටි කිසිවෙක් කණාමැදිරි ලයිට් එළියගැන කිසිවක් කීවේ නෑ.

 

කෙසේ හෝ, බියකරු සිහිනයේ නරකම කොටස අප පසුකොට අවසන් කර තිබුනා.

 

දැක් කලයුතු හොඳම දේ කෙටිම මාර්ගයවන හයිලෙවල් පාරේ දකුණට හරවා හංවැල්ල පැත්තට ධාවනය කර ගෙදර යාම වුනත්, මේ කට්ටිය මගින් බස්සා ත්‍රීවීල් වල යන්නට කියන්න හිතහදාගන්න බැරිවුන නිසා මම නැවතත්  කොළඹ පැත්තට හැරෙව්වා.

 

මුලින්ම බැස ගියේ වෙනී.

 

උඹලෑ පාරේ ලයිට් තියෙනවද ඕනේ? මම ඇහුවා. ඔව් ඔව් ඕනයා කිව්වා. ඕනයාගේ ගෙදරට හැරෙන පාර පෙන්නන්න ඕනයා මොහොතක් පමාවූ නිසා හන්දිය පසු වුනා. ආපසු හැරවීමට හෝ පසුපසට ධාවනය කිරීමටනොහැකිවුනේ ඒ මොහොතේ පාරේ ගමන් කරමින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා නිසා. ඔවුන් ලයිට් ගැන විමසුවොත්, ඒ වගේම සිග්නල් පාවිච්ච්චි නොකලේ මන්දැයි ප්‍රශ්ණ කලහොත්, දීමට පිළිතුරක් නැති නිසා, මම ඉදිරියටම ධාවනය කර ඕනයාම පෙන්නූ වෙනත් මාර්ගයකින් හැරුනා. පසුව ඕනයා සමගම රණාත් වාහනෙන් බැස්සා.  දැන් වාහනයේ එන්ජිම මොනම හේතුවකටවත් නතරවෙන්න නොදී ගෙදරටම යන්න වෙනවා. ඇයි තල්ලු කරන්නත් කෙනෙක් නෑනේ.

 

හරි. ඒ වගකීම ඉවරනේ දැන් අපි දෙයියනේ කියලා ගෙදරට යාගන්න බලමු.

 

අඳුරු තැන්වල ඉතා සෙමින් ධාවනය කරමින් අපි කඩුවෙල හරහා ගෙදරට ලඟා වුනා. ඒ වනවිට වැස්ස නැවතී තිබීමත් ලොකු පහසුවක් වුනා. පොලිසිය ඉදිරිපිටත් කිසිව්ක් නොහිටි බව දු‍ටු මට අවසන් කඩුල්ලත් පැන්න බව දැනුනා.

 

වාහනය පාරෙන් ගෙදරට හරවනකොටම මට මතක් වුනේ පාරේ වාහන නතර කරන අසල්වැසියෝ.

 

“අදනම් මුන් පාරේ පාක් කරලා තිබ්බොත් හැපෙනකල් පේන්නේ නෑ” මම කිව්වා.

 

හොඳ වෙලාවට පාර නිදහස්ව තිබුනා.

 

වාහනයේ එන්ජිම නවතා පු‍ටුවක් මතට ඇද වැ‍ටුණු මම පුදුමාකාර සැහැල්ලුවක් අත් වින්දා.

 

“කෝ දීපා මුන් එකෙක්වත් නිකමටවත් කතාකරලා ඇහුවේවත් නෑනේ උඹලා කරදරයක් නැතුව ගෙදර ගියාද කියලා.”

 

“ඇත්තෙන්ම ඒ කාටවත් මේ  වැඩේ බරපතලකම තේරුනේ නෑ මම හිතන්නේ. ඇත්තෙන්ම මාරාන්තික ගමනක්නේ ආවේ.”

 

“ඔව්, මම ඒකට ප්‍රොපගැන්ඩා එකක් දුන්නෙත් නැත්තේ උන් කළබල කරන්නේ මොකටද කියලා.”

 

 

මතු සම්බන්ධයි.

 

මීලඟ කොටසින්: මෙහෙම වුනේ ඇයි?

 Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers. 

 Originally published @ HeyDude in English Language.

 

ටැග: , , , , ,

23 responses to “150. E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!

  1. Dulip Sikurajapathy

    මාර්තු 14, 2014 at 7:36 පෙ.ව.

    අඩේ උඹ කියනකං දැනං හිටියෙ නෑ බං අයියෙ ලයිට් අවුලක් තිබ්බ කියල. කොහෙද ඉතිං නින්නද ගියා නෙව මැරුන වගේ

     
    • henryblogwalker

      මාර්තු 18, 2014 at 10:04 පෙ.ව.

      ඒක පුදුමයක්යැ බං? වෙලාව කීයද? කාලා බඩ පිරිලා ඉන්නකොටයි වාහනයකට නැග්ගාමයි මටත් නිකං නිදිපෙති ගැහුවා වගේ.

       
  2. Miyuru

    මාර්තු 14, 2014 at 7:56 පෙ.ව.

    අම්මෝ… ඇති යන්තම් කට්ටියම කරදරයක් නැතුව ආවා… මොනතරම් භයානක වැඩක්ද ඒක… මං මේක කියෙව්වෙත් පුටුවෙ අග හිඳගෙන…
    අපරාදෙ… මං හිටියා නම් කොට්ටාවෙන් ඔයලගෙ වාහනේට නැගලා රෑ ඉන්න එක්කන් යනවා අපේ මහ ගෙදර… 😀

     
    • henryblogwalker

      මාර්තු 18, 2014 at 10:06 පෙ.ව.

      ඒ වුනාට කාටවත් වාතයක් වෙන්න හිතෙන්නෙ නෑ මියුරු. ඔය ඉතුරු ටිකත් ඔහොමම යනවා කියලා යන්න යාවි. නමුත් ආරාධනාවට ස්තුතියි.

       
  3. R.p. Susantha

    මාර්තු 14, 2014 at 8:52 පෙ.ව.

    මේ ගැන මමත් ඇලුත් කතා කළා. අපි දෙන්නම පුදුම වුනා ඔබලා එදා ගිය ගමන ගැන. මම ඔබ ආදිනයට පසු දින තමයි ඇල්ව මුන ගැහුනේ. එදා අපි එනකම්ම කතාව මේ ගැන තමයි. අධිවේගයේ බොහෝ අත්දැකීම් ඇති මම නම් ගන්නේ ගාලු පාරෙන් යන විකල්පය. කොච්චර වෙලාව ගියත් පාර එලිය නිසා. අනික හදිසියකට මිනිස්සු කොහොම හරි හොයා ගන්න ලැබෙන නිසා. වාහනේ හිටි අයට ඒ ගැන නොදැන්වීම නම් ඉතාම හොද දෙයක්. නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න බොහො එනවා. රියදුරාගේ මානසික ඒකාග්‍රතාවයට එය හොද නැහැ.
    කොහොම හරි ඔඅබ ඇතුලු සියල්ලන් කරදරයක් නොවී ආව එක වටිනා දෙයක්.

     
    • henryblogwalker

      මාර්තු 18, 2014 at 10:10 පෙ.ව.

      ස්තුතියි සුසන්ත. ඇත්තෙන්ම අපි පැය ගානකින් මිස් වෙලා තියෙන්නේ. මේ පාරත් අපි මුන ගැහුනේ නෑ කොහොම හරි නේද?

       
  4. SUNIL PERERA

    මාර්තු 14, 2014 at 10:32 පෙ.ව.

    මමනම් කිසි සෙත් මේ කල දෙය අනුමත නොකරමි. ඔබ අනික් අයගේ ජිවිතත් ඔබේ ජීවිතයත් පරදුවට තබා ආ ගමනක් !!! අනාගත වාහනවල අමතර බැටරියක් සහ සුරිය බලෙන් දිවෙන අමතර විදුලි ලාම්පු ඉදිවෙනු ඇති .
    කෙසේ වෙතත් ඔබ සැම දළදා සමිදු පිහිටෙන් ගෙදර යාම සුන්දරයි ..?

     
    • henryblogwalker

      මාර්තු 18, 2014 at 10:13 පෙ.ව.

      ස්තුතියි සුනිල්. ජීවිතේ ගැන බැලුවාම රිස්ක් එක කියන එකේ අර්ථ දැවීම තැනින් තැනට යුගයෙන් යුගයට වෙනස්. දැන් අනිත් අය මෝටර් සයිකල් වල මුලු පවුල් පිටින් බඩු බෑග් එල්ලගෙන යනවා දැක්කාම මටත් ඇඟ හිරිවැ‍ටුනට ඉස්සර අපිත් වංගු දහ අට හරහා කිලෝමීටර් සියගනනක් පවුලම පටවගෙන බෑග් එල්ලගෙන ගෙදර එනවා නිවාඩුවට. එතකොට ඒකෙ ගානක් නෑ. එහෙමයි අපි ඒ කාලෙ සර්වයිව් වුනේ.

       
  5. marayagehorawa

    මාර්තු 14, 2014 at 11:25 පෙ.ව.

    මේ කතාව එළියට එනකල් මං බලං හිටියේ.. වාහනේ තල්ලු කල කතාවයි.. රබර්වතු කේසුයි.. වෙනියා වලවල්වල වැටුන ඒවයි… සුප්‍රසිද්ධ A4 කතාව වගේ දේවල් මිස සම්පූර්ණ කතාවම කවුරුවත් හරියට කිව්වේ නැහැනේ…

    මොනවා උනත් උඹටම හරියන ජාතියේ ගෑණු පරාණයක් ලැබිච්ච එකනං ලොකු දෙයක් අයියේ.. නැත්තං මේ ආඩි ටික එක්ක ගමන් ගිහින් උඹ බේරිලා එන්නේ නැහැ ඔහොම ලේසියකට.. 😀
    ඔය තරං අවුලක් තිබිලත් පිටිපස්සේ උන් දැනගත්තේ නැති එක තමා මටනං තියෙන අවුල… වාහනේ තල්ලු කරන්න වෙලා තියෙද්දිත් පුත්තරයටවත් කල්පනා උනේ නැහැ කියන එක තමා පුදුමේ.. වෙනියනං ඉතිං ස්මාර්ට් ෆෝන් වලින් එහාටයි.. රනා ලිනක්ස් වලින් එහාටයි.. (හම්මා මුං රැලකටම එක පාර නෙලා ගන්න මෙහෙම චෑන්ස් එකක් ආයේ කවදානං වදීවිද… 😀 ) ඕනයා අර අරවා වලින් එහාටයි දෙයක් දන්නේ නැහැ කියමුකෝ.. ඒත් මං දන්න තරමින් බොලාගේ පුත්තරයත් බොලා වගේම කල්පනා කාරයා කියලයි හිතං හිටියේ…

    ඕල්ටනේටර් බෙල්ට් බුරුල් වෙලාද..? නැත්තං ඕල්ටනේටරේටම කෙලවෙලාද.. උඹ කලින් වතාවකුත් ඒල්ටනේටරයක් ගැන මොනවා හරි ලිව්වද කියලත් මතකයක් තියේ… අඩුම ගානේ ඇලාලයි ගෙදරදී බැටරි වයර් බුරුලක්ද කියලවත් බැළුවේ නැද්ද..?

    හැබැයි පුතෝ උඹට මේක වෙන්නේ නැහැ අර අටමා කොහොම හරි දමං ගියානං.. අරුන් ටික හලලා ගියේ එක්ක යන්නම ඕන එකාව නෙව..
    (හරි ඊ ලඟ වලියටත් ඔන්න පාර කැපුවා.. 😀 )

     
    • henryblogwalker

      මාර්තු 18, 2014 at 10:18 පෙ.ව.

      ඇත්තෙන්ම වෑන් එකේදි කාර් එකකදි වගේ නෙවෙයි බං පිටිපස්සේ ඉන්න වුන්ට යමක් කියන්න බෙරිහන්දෙන්න ඕනේ. පහත් හඬින් කියන ඒවා කොහොමත් ඇහෙන්නේ නෑ පැහැදිළිව.

      පුතා කතන්දරේ දන්නවා. එයා හුඟක් මා ගැන විශ්වාසය තියනවා වගේම මම කරන දේ බලාගෙන කල්පනාවෙනුයි ඉන්නේ.

      වෙලා තියෙන්නෙ මොකක්ද කියලා දැන් කියන්න ඕනේ නෑනේ. උඹ දෙවෙනි කොටස කියවලා ඇත්තේ මේ වෙනකොට.

       
  6. Anonymous

    මාර්තු 14, 2014 at 1:52 ප.ව.

    හෙන්රි මෙච්චර කල් ලියපු ඔක්කොමත් හරි, මේකත් හරි. ඇඟේ මයිල් කෙලින් වෙනවා.

    “එක පොයින්ට් එකක් එනවා ලයිට් නැතුවම යන්න පුලුවන්.” කියන කොට “යකෝ මේ මොකක්ද වෙන්න යන්නෙ” කියලා ඇඟ හීතල වුනා! ඔය පාරෙ රෑ වැස්සෙ ගිහින් තියන කෙනෙක් හැටියට මම දන්නවා ලයිට් තිබුනත් කොච්චර ඩේන්ජරස් නැවිගේෂන් එකක් ද කියලා. කලුවරේ 20ට ගියත් වැඩක් නෑ පිටිපස්සෙ ආපු එකා පරෙස්සමක් නැත්නම්.

    ගාලු පාරෙන් ගියත්, ලොරි කාරයො එහෙම යන්නෙ එහෙමට පරෙස්සමින් නෙවෙයි. ඒකෙත් ලයිට් නැති තැන් තියෙනවා මතක හැටියට. අනික හයිවේ එකට සාපේක්ෂව රෑටත් බර වාහන වැඩී මම හිතන්නෙ, බස්, ලොරි, බවුසර් නිසා.

    කට්ටිය කරදරයක් නැතුව ගෙදර ගියපු එක ගැන සතුටුයි. හෙන්රි හිටපු මානසිකත්වය හිතා ගන්න පුලුවන්. මේක පරක්කු කරල දාපු එකත් හොඳයි a4 ආතල් නොකඩා 😉

     
    • henryblogwalker

      මාර්තු 18, 2014 at 10:21 පෙ.ව.

      ඇත්තෙන්ම ඇනෝ ඔය පාරේ ඉස්සරහට වාහන එන්නේ නැති නිසායි. ගෙවල් වල ඉඳලා සහ හරස් පාරවල් වල ඉඳලා පාරට දාන උන් නැති නිසායි, ත්‍රී වීලර්, මෝටර් බයික් නැති නිසායි ගාලු පාරට වඩා හුඟක්ෂුවර්.
      බොහොම ස්තුතියි.

       
  7. weniwel

    මාර්තු 14, 2014 at 3:47 ප.ව.

    සමාවෙයන් හෙන්රි .. මම නිසයි ඔය ගොල්ලො මේ සේරම අවදානම ගත්තෙ..

     
    • Pravin Indranama

      මාර්තු 14, 2014 at 6:37 ප.ව.

      ඉහි ඉහි ඉහි. . . .මට ඇඬෙනවා මේ කමෙන්ට් එක දැකලා…. 😥

       
    • henryblogwalker

      මාර්තු 18, 2014 at 10:23 පෙ.ව.

      පිස්සු හැදෙනවා. මෙහෙම දෙයක් වෙන බව දැනගෙන හිටියානම් උඹ එනකල් ඉන්නේ නෑ බං. දවාලියෙන්ම යනවා. 😀 හැබැයි මේක කොයිවෙලේ හරි වෙන්න තිබ්බ දෙයක් නිසා, ඔය වෙච්ච විදීය හොඳයි බං.

       
  8. hasithag

    මාර්තු 14, 2014 at 7:10 ප.ව.

    රියදුරු දෑතට බුදු සරණයි දෙවි පිහිටයි 😀

     
  9. ඩිලාන්

    මාර්තු 15, 2014 at 3:35 පෙ.ව.

    වාහනේ වරදක් නෙමේ ඔය ඕකෙ දාගෙන ගිය එකාලගෙ වරදක්..

     
  10. hiruni

    මාර්තු 15, 2014 at 1:10 ප.ව.

    Read this in such suspense! :O Thank God you are ok! You two are the best, I remember how amma and you manage to work under stress without panicking everyone else even before……you to are a match made in heaven….. remember the times our car used to stop and you two manage to make it work……

    still no singreesi font so typing in english…… tell soon what happened to the battery ok 😀

    awesomely written dude! (Y)

     
  11. Beetle

    මාර්තු 15, 2014 at 11:28 ප.ව.

    මරු බන්… හරියට නිකං එන්ජින් දෙකම හිට්ට ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කලා වගේ… වයිෆ් තමයි co-pilot… 🙂

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න