Pages

Sunday, March 9, 2014

Widgets

යුරෝපයේ විසූ විශාලතම මාංශ භක්ෂක ඩයිනෝසරයා

ජීවත් වූ කාලයේ ආහාර දාමයේ ඉහලම පුරුක මොවුන් වන්නට ඇත


පෘතුගාල විද්‍යාඥයන් පිරිසක් පසුගියදා අති විශාල මාංශ භක්ෂක ඩයිනසෝරයෙකුගේ ෆොසිල සොයාගැනීමට සමත්ව තිබෙනවා. මේ දක්වා සොයාගෙන ඇති සත්වයන් අතරින් යුරෝපයේ විසූ විශාලතම මාංශ භක්ෂක සත්වයා ලෙසට මෙම ඩයිනෝසරයා අභිශේක ලබන බවට එම විද්‍යාඥයන් පිරිස පවසා සිටිනවා. මෙම ඩයිනසෝරයාගේ අස්ථි ෆොසිල සොයාගෙන තිබෙන්නේ ලිස්බන් නගරයට උතුරු දෙසින් ඇති 'ප්‍රේයා ඩා වර්මෙලා' නම් ප්‍රදේශයේ පිහිටි කඳු බෑවුමකිනුයි.

ටෝර්වොසෝරස් ගුවර්නේ ලෙසින් නම් කර ඇති මෙම රුදුරු මාංශ භක්ශිකයාගේ ශරීරයේ දිග මීටර් 10කුත් බර ටොන් 4ක් හෝ 5ක් පමණ වන්නට ඇති බවටත් සැලකෙනවා. මෙම සත්වයාගේ විස්තර ප්‍රකාශයට පත්කර තිබෙන්නේ "Plos One" නම් සඟරාවේ නවතම කලාපයේයි.

මෙම සතුන්ගේ විශාලත්වය පිළිබඳ දල අදහසක් මෙම රූපයෙන් ලබා ගන්නට පුලුවන්


මෙම ඩයිනෝසරයා පාද දෙකක් ඇති මාංශ භක්ෂිකයෙක්. මෙම කරුණ කියවෙන විටම සිහියට නැගෙන්නේ ට්‍රයිනෝසෝරස් රෙක්ස් නම් ඩයිනෝසරයන් වර්ගයයි. නමුත් ටොර්වෝසෝරස් ගුවර්නේ ජීවත් වූයේ ට්‍රයිනෝසෝරස් රෙක්ස්ට වඩා බොහෝ කාලයකට පෙර පශ්චාත් ජුරාසික යුගයේයි. එනම් මීට අවුරුදු මිලියන 150කට පමණ පෙරයි.

"අපි හැමෝම T. රෙක්ස් ගැන දන්නවා. T. රෙක්ස් ක්‍රිටේසීය සත්වයෙක්. මේ අලුතෙන් සොයාගත් ඩයිනෝසරයා ජුරාසික සත්වයෙක්. මොවුන් ජීවත් වූ කාල වකවානු අතර ඇති කාල පරතරය විශාලයි. අඩුම වශයෙන් එය අවුරුදු මිලියන 80ක් වත් වෙනවා. එම නිසා T. රෙක්ස් පෘථිවිය මත සැරිසරන කාලය වන විට ටෝර්වෝසෝරස් ෆොසිල බවටත් පත්ව අවසන්." ලිස්බන් නව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔක්ටේවියෝ මටේයස් පවසනවා.

විද්‍යාඥයන් මේ වනවිට ටෝර්වොසෝරස්ගේ ශරීර කොටස් ගණනාවක් සොයාගෙන ඇති අතර බිත්තර සහ කළලද මීට ඇතුලත්. නමුත් මොවුන්ගේ ඉහළ හකුපාඩා සොයාගැනීමත් සමග තමයි මොවුන්ගේ ශරීර ප්‍රමාණය හා හැඩය පිළිබඳ නිවැරදි තක්සේරුවකට පැමිණීමට විද්‍යාඥයන්ට හැකිව තිබෙන්නේ.

මීට පෙර උතුරු ඇමෙරිකාවෙන් සොයාගත් ටෝර්වොසෝරස් සත්වයාට වඩා මෙම සත්වයා වෙනස්කම් දක්වනවා. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේම මුතුන් මිත්තන් එකම වන්නට ඇති බවටයි සැලකෙන්නේ.

"මීට අවුරුදු මිලියන 150කට පෙර කාලය වනවිටත් පෘතුගාලය ඇමෙරිකාවෙන් වෙන්වී අවසානයි. එම නිසා පරිණාමනයේදී සුලු සුලු වෙනස්කම් ඇතිවූවා විය හැකියි. ටොර්වොසෝරස් වර්ග දෙකක් යුරෝපයෙන් සොයා ගැනීමට හේතුව මෙයයි." සඟරාවේ ප්‍රධාන කර්තෘ ක්‍රිස්ටෝෆ් හෙන්ඩ්‍රික්ස් පවසනවා.

T. ගුවර්නේ සතුන්ගේ වඩාත්ම සිත් ඇදගන්නාසුලු අංගය වන්නේ ඔවුන්ගේ දත්. පිහිතල ආකාරයේ මෙම දත් වලින් සමහරක් සෙන්ටි මීටර් 10කටත් වඩා දිගින් වැඩියි. මෙයින් පෙනී යන්නේ ඔවුන් ජීවත් වූ කාලයේ ආහාර දාමයේ ඉහලම පුරුක ඔවුන් වන්නට ඇති බවයි.



යුරෝපයේ විශාලතම ගොඩබිම් මාංශ භක්ෂක ඩයිනසෝරයා T. ගුවර්නේ ලෙස සැලකුනත් ලෝකයම සලකන කල මොවුන්ට වඩා විශාල සත්වයන් ජීවත් වී තිබෙනවා.





No comments:

Post a Comment

Related Posts with Thumbnails