Saturday, March 8, 2014

ෆේස් බුක් වහා තහනම් කරනු.

ෆේස් බුක් තහනං කරන්න යන එක ගැන පත්තු වෙන කතා බහට එකතු නොවී ඉන්නයි මං හිතන් හිටියෙ. එක පැත්තකින් පොදු ජන විනෝදය පිණිස ආණ්ඩුව සපයන මාතෘකා වල ඔංචිලි පදින එක තේරුමක් නැති හින්ද. අනිත් පැත්තෙන් ෆේස් බුක් එහෙම තහනං කරනවට මං කැමති හින්ද.

ෆේස් බුක් තහනං කරනවා කියන්නෙ මට හිතෙන විදිහට ලොකු කතා බහක් දැනුවත් වීමක් අවදි කරන සිද්දියක්. නිකං ඉබාගාතේ තියෙන්නං වාලේ ෆේස් බුක් වල ඇලෙනවට වඩා ඒක මේ වෙද්දි අපේ පැවැත්මෙ කොයි තරං කොටසක්ද කියන එක ගැන සවිඥාණක බවක් ඇති වෙන්නෙ එතකොට. හැම තහනමක්ම ප‍්‍රගතිශීලීයි. හේතුව ඒ තහනම ඉක්මවා යන්න අලූත් සිතීමක් ඉල්ලා සිටින හින්ද. විශේෂයෙන් තාක්‍ෂණය වගේ විෂයක තහනමක් හෝ බාධාවක් කියන්නෙ ඒකෙ පිමි පැනීම් ඇති වෙන තත්වයක්.

උදා විදිහට ෆේස් බුක් තහනං කරනවා කියන කතාව පැතිරෙද්දි ටෝර් වගේ බ‍්‍රවුසර් ගැන සිද්ද වුණු දැනුවත් කිරීම. ඒ තහනම ඉක්මවා ගිහින් යලිත් අපේ මිනිස් සම්බන්ධතා ගොඩනගා ගන්න කරන ආරාධනය සහ උනන්දුව.. නිකංම පවතිනවට වඩා මේ උණුසුම සුබවාදීයි.

අනිත් පැත්තෙන් ෆේස් බුක් ගැන මේ හින්ද අවදිවෙන කතා බහ. ෆේස් බුක් පාවිච්චි නොකරන මහා ප‍්‍රජාවක් දක්වා සම්බන්ද වෙන යෝජනා චෝදනා. මේ දේවල් කොයිතරං බාල වුණත් ෆේස් බුක් එක ගැන ලොකු කතා බහකට යන්න ඒකෙන් විවරයක් හැදෙනවා. ඒක ආණ්ඩුවෙ ප‍්‍රශ්නයක් වෙනවත් එක්කම ඒක වේදිකාවක් වෙනවා.

මේක නිතරම අපේ චිත‍්‍රපටි වලට සිද්ද වෙන දෙයක්. කිසි ගින්නක් නැතුව දැම්මොත් දහපාලොස් දෙනෙකුට වඩා නොබලන සම්භාව්‍ය සිනමා කෘති තහනම නිසා රටේ හැමෝම බලන චිත‍්‍රපටි වෙනවා. ඒ ගැන සංවාද මණ්ඩප හැදෙනවා. පත්තර වල පිටු වෙන් වෙනවා. තහනම තමයි උත්පේ‍්‍රරකය.

එහෙම නැත්තං ප‍්‍රායෝගික පැත්තෙන් ගත්තොත් ආණ්ඩුවට ෆේස් බුක් තහනම් කරන්න බෑ. ඒක ආණ්ඩුවට අවශ්‍ය නෑ කියනවා නෙමෙයි. මගේ අදහස ලංකාවේ බහුතරය කැමතියි ෆේස් බුක් තහනම් කරනවට. බහුතරයක් ඉන්නෙ ෆේස් බුක් වල නෙමෙයි, තාම මෙගා වල. ඒත් ආණ්ඩුවකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. තාක්‍ෂණයන් පොල්කටු වලින් වහලා නවත්තන්න බෑ.

අන්තර් ජාලය කියන්නෙම විප්ලවයක්. ඒක මහා බහුතරය විසින් ගොඩනගා ගත්ත සංස්කෘතික ජීවිතයට එරෙහිව ගහන කැරැුල්ලක්. ලොකු බල දේශපාලන වෙනසක යෝජනාවක්. ඒ අර්ථයෙන් මං හිතන්නෙ නෑ ගොඩක් අය ෆේස් බුක් එකට කැමති වෙයි කියල. මේ අන්තර් ජාලයේ සැරිසරන උන් කල්ලි ගැහෙන තිප්පොල ෆේස් බුක්.

මේ අපි යතාර්ථය හරි සාමාන්‍ය ජීවිතය හරි කියල විශ්වාස කරන මාධ්‍ය විසින් ගොඩනගපු ලෝකය පාලනය කරන දේශපාලනයන් දැන් දැන් අර්බුදයට යමින් තියෙනවා. අපි විශ්වාස කරන දේශපාලනය, ආගම, අධිකරණය, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ හැම එකක්ම එකම මාධ්‍ය ගොඩනැංවීමක කොටස්. මේ හැම දෙයක්ම පාලනය වෙන්නෙ එකම මුදල් ප‍්‍රවාහයකින්. වෙන විදිහකින් සරලව කිව්වොත් පවතින අපි සාමාන්‍ය කියලා පිළිගන්න යතාර්ථය ඇතුලෙ මාධ්‍ය හසුරුවන්නේ මුදල් තියෙන කීප දෙනෙක්. සමාජය අහන්නෙ ඒ කීප දෙනාගේ අදහස් විතරයි. එතකොට සමාජ යතාර්ථය නිර්මාණය කරන්නෙ ඒ කීප දෙනා. ඇත්තටම ලංකාව වගේ රටක මේක වේදිකා නාට්‍යයක් කරනවා තරම් ලේසියි.

ඒත් ෆේස් බුක් වගේ සමාජ ජාල වෙබ් අඩවි වලින් මේ තත්වය වෙනස් කරනවා. ඇත්තටම මෙතනදි සල්ලි ගොඩක් තිබුණත්, සල්ලි නැති වුණත් තියෙන්නෙ එකම ඉඩක්. ඇත්තටම වඩා නිර්මාණශීලී අයට වඩා වැඩි ප‍්‍රදේශයක තමන්ගෙ අදහස් ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒ වගේම සමජාතීය, ඒකීය සමාජයකට වඩා විවිධ, විෂම සමාජ එකට පවතින්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නෙ මේ අදහස් හෝ සිතීම් පිටින් පාලනය කරන්න බැරි වෙන එක. තහනම හෝ වාරණය ක‍්‍රියාත්මක වෙන්නෙ ඒ සියල්ලන් අතින්. පත් කළ තනි නියෝජිතයන් අතින් නෙමෙයි.

වෙන විදිහකින් කිව්වොත් මෙච්චර කල් ‘කාගෙ හරි මාධ්‍ය’ වෙලා තිබුණු ලෝකය දැන් ‘හැමෝගෙම මාධ්‍ය’ කියන තැනට වෙනස් වෙනවා. එතකොට බලය හෝ මුදල මත තනි යතාර්ථයන් ගොඩනගමින්, සදාචාරයන්, සීමාවන් පණවමින් කරගෙන යන පාලනය අහෝසි වෙනවා. එතනදි අධ්‍යාපනය, දේශපාලනය, නීතිය, ආගම මේ සියල්ල ගැන අදහස වෙනස් වෙන්න ගන්නවා.

ඒකයි මෙතන තියෙන ලොකුම විහිළුව. තහනම අදාල නැති කලාපයකට තහනමෙන් ප‍්‍රතිචාර දක්වන්න යන එක. ඒත් මේක ආණ්ඩුවෙ විහිළුවක් විතරක් නෙමෙයි. තමන්ගෙ ළමයි කොටට අඳින එක නවත්තන්න නීති ගේන්න බැරිද කියල මාධ්‍ය වලින් කෝල් කරලා අහන අම්මලා අපේ රටේ ඉන්නෙ. කවුරුන් හෝ ඉහළින් තමන්ව පාලනය කරමින් හරි මග ගෙනියන්න  ඕන කියල හිතන ජනතාවක්. සදාකාලික ළමා වියක් ගෙවමින් අපි ඉන්නෙ. මෙතනදි නිදහස කියන්නෙ බය වෙන දෙයක්. ඒ නිදහස ඇතුලෙ අපි මොනවා කරයිද කියල අපිම දන්නෙ නෑ. අපිට හැංගෙන්නයි  ඕන.

ෆේස්බුක් තහනම ගැන කතාවක් කරගෙන යද්දි ඉස්තෙපාන් ලස්සන කතාවක් කිව්වා.

‘මචං, අපිට තියෙන්නෙ ෂේම් කල්චර් එකක්. හැම කෙනෙක්ම ලැජ්ජාවෙන්නෙ ජීවත් වෙන්නෙ. අපි හිනාවෙන්න ලැජ්ජයි, අ`ඩන්න ලැජ්ජයි. හිටගන්න ලැජ්ජයි. කතා කරන්න ලැජ්ජයි. අපි ජීවත් වෙන්නෙ ලැජ්ජාවෙන්. එතකොට මචං අපි දේවල් කරන්නෙ හොරෙන්. එළිපිට දේවල් කරන්න අපි සංස්කෘතියක් විදිහට කැමති නෑ. හොඳම උදාහරනේ සෙක්ස්. ලංකාවෙ ෆේස් බුක් ප‍්‍රශ්න කියලා කියන ගොඩක් සෙක්ස් ප‍්‍රශ්න. සෙක්ස් හොරෙන් කරන්න  ඕන දෙයක් කියලයි අපි පිළිගන්නෙ. වෙන විදිහකින් නම් සෙක්ස් කියන්නෙ නරක දෙයක්. ඒක කළොත් තමන්ගෙ ළමයි වුණත් නරකයි....’

ඌ කියාගෙන යනවා. කෙටියෙන් කිව්වොත් ඉස්තෙපාන්ගෙ අදහස වුනේ මේ ලැජ්ජා සංස්කෘතියට, ෆේස් බුක් එක විවෘත වැඩියි කියන එක. ඇත්තටම ලංකාවේ දේව ධර්මය කියල උගන්නන්නෙ පවා ලැජ්ජාව සහ බය. මං හිතන්නෙ කිසිම ජාතියකට දියුණු වෙන්න බැරි මූල ධර්ම දෙකක් තමයි අපි වැදගත්ම කියල අත්පොත් කරන්නෙ. ලැජ්ජාව සහ බය කියන්නෙ මනුස්සයෙක් ජීවිතය ඇතුලෙ ඉක්මවා යන්න  ඕන තත්වයන් දෙකක් වෙද්දි අපි ඒ දේවල් බාර ගන්නවා. දීපාල් සිල්වා කියනවා වගේ මේක අරුම පුදුම රටක්  ඕයි.

මේ ලැජ්ජා සංස්කෘතිය හින්ද අපි වික්ටෝරියානු බෞද්ධයො විදිහට පුරුදු වෙලා ඉන්නෙ හැංගිලා දේවල් කරන්න. ඒක හින්දම කලාවෙදි වුණත් අපි කියන්නෙ කෙලින් කිව්වොත් කලාත්මක නෑ, හැංගිලා කියද්දියි කලාත්මක වෙන්නෙ කියල. අපේ කලාව හැංගිලා කරන කලාව. ෆේස් බුක් එකේදි අපේ ජීවිතේ අපි නොදැනුවත්වම විවෘත වෙන්න පටන් ගන්නවා. අපේ පෞද්ගලික හා සමාජ ජීවිත යා වෙනවා. ඇත්තටම කිව්වොත් ෆේස් බුක් ජීවිතේ අපේ සාමාන්‍ය ජීවිතේ වෙනවා. ෆේස් බුක් සම්බන්ධතා අපේ ඇත්ත සම්බන්ධතා වෙනවා. එතකොට එලියෙ ප‍්‍රධාන ධාරාවෙ මාධ්‍ය විසින් ගොඩනගන සහ පවත්වාගෙන යන සංස්කෘතික පැවැත්ම වෙනස් වෙනවා
.
මේ විවෘත වීම දරා ගන්න පුළුවන් සමාජයක් නෙමෙයි අපිට තියෙන්නෙ. උදා විදිහට ඇමරිකාවෙ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලූවෙලා ඉඳිද්දි ගන්න පිංතූර වෙබ් එකේ දානවා කියලා ඒ කොල්ලා කෙල්ලට තර්ජනය කරනවා කියල හිතුවොත්,

‘අපේ තාත්තා උඹව මරයි’ වගේ කතාවක් ඒ කෙල්ල කියයි.

ඒත් අපේ රටේ මිනිස්සු වෙනස්. ‘අපේ තාත්තා මාව මරයි...’ ලංකාවෙ හැදිච්ච කෙල්ලෙක් කියන්නෙ එහෙමයි. ඇත්තටම මේ වුණා කියන දිවි නසා ගැනීම් ගොඩක් පිටිපස්සෙ තියෙන කාරණය මේ එළිදරව්වීම සහ ලිංගිකත්වය එක්ක ගැටගැහුණු තත්ව.

ආදරයේ මතක විදිහට ගත්ත නිරුවත් හෝ ඒ වගේ පිංතූර අනෙකාට හිංසනයක් වෙන විදිහට පාවිච්චි කරන්න යන විපරීතයා වෙනුවට අපි වැරදිකාරයා කරන්නෙ හිංසනයට ලක්වෙන කෙනාවම. ඒ අපේ සංස්කෘතිය. ඒ සංස්කෘතියට ෆේස් බුක් කියන්නෙ තර්ජනයක් විතරක් නෙමෙයි ඇත්තටම ඒ සංස්කෘතියෙ අවසානයක්.

හදිස්සියෙවත් දිවි නසා ගැනීම් වළක්වන්න කියල ෆේස් බුක් තහනම් කළොත් අනිවාර්යෙන්ම හිතාගන්න බැරි තරම් දිවි නසා ගැනීම් ප‍්‍රමාණයක් එක දිගට සිද්ද වෙන්න ගන්නවා. ලංකාවෙ ජීවිත වල ආතතිය, හිස්කම, කාංසිය, තනිකම ගොඩක් පාලනය වෙමින් තියෙන්නෙ ෆේස් බුක් හුවමාරුව හරහා. ඒක හුස්ම ගන්නවා වගේ දෙයක් බවට පත්වෙමින් එන්නෙ. ෆේස් බුක් නැති ජීවිතයක් හිතාගන්නවත් බැරි වෙනවා.
ඒකයි මං ෆේස් බුක් තහනං වෙනවට කැමති. එතකොට අපේ වෙනස අපිටම මුණගැහෙන හින්ද.
වඩා හිනායන කාරනේ වෙන්නෙ ෆේස් බුක් තහනම් කරන්න කැමති ෆේස් බුක් එක ගැන මෙලෝ දානයක් නොදන්නා පරණ මිනිස්සු ටිකක් වෙන එක. ඒ වැඩිහිටි පරපුර තමයි බහුතරය. ඒ අය පත්තර සහ ටීවී වල මිනීමරුම් සහ මෙගා අතර පාලනය වෙන දුක්ඛිත පරපුරක්. මේ මාතෘකා සැපයෙන්නෙ ඒ හුදී ජන වින්දනයට විතරයි.

පැය කීපයක් තිස්සෙ දැන් මට පැයෙන් පැයට ප‍්‍රවෘත්ති ඇහෙනවා, අහම්බෙන්. ඒ ප‍්‍රවෘත්ති වල ලොකු සමානකමක් තියෙනවා. එක පැයක අට මස් බිළිදා පාර දාලා ගිය කාන්තාවක් ගැන. ඊළ`ග පැයේ සොළොස් හැවිරිදි දැරිය දූෂණය කළ පියා අත්අඩංගුවට. මේ දැන්, සැමියා කොටා මරා දැමූ තුන්දරු මව හිරගෙට.
මේ තමයි අපේ රටේ වැඩිහිටි කියන පරපුර. මේ තමයි මහා සමාජය. මේ සමාජයේ දරුවෙක් සියදිවි නහගන්න ෆේස්බුක් වගේ හේතුවක්  ඕන කියල කවුරුවත් හිතන එකක් නෑ. ඇත්තටම මේ ළමයි දිවි නසා ගන්න එක ප‍්‍රශ්නයක් විදිහට ගත්තොත් ඒකට මූලික හේතුව වෙන්නෙ දෙමව්පියන්. සහ ගුරුවරුන්.

මං හිතන්නෙ ලංකාව වගේ රටක ඉපදුණු අපි කිසි කෙනෙකුට හරි අම්මලා තාත්තලා නෑ. අපි අම්මා කිව්වොත් දන්නෙ දස මසක් කුස දැරූ, මා වැදූ වගේ භාවාතිෂය කාරණා ටිකක්. තාත්තා කිව්වොත් දන්නෙ ගෙදර බර ඇද්දා වගේ දේවල්. ලංකාවෙ අම්මා තාත්තා කියන්නෙ රොමාන්තික මතකයකට වැඩි දෙයක් නෙමෙයි.
දෙමව්පියන් අතින් ඇත්තට දරුවන්ට වෙමින් තියෙන්නෙ මොකක්ද? තමන්ගෙ හීන වෙනුවෙන් දරුවන් දක්කන, අනුන්ගේ සදාචාරයෙන් දරුවන් පෙළන, දරුවන්ගේ වෙනස් උවමනා සහ වෙනස් අනන්‍යතා වලට කිසි ඉඩක් නොදෙන, තමන්ගේ දරුවන් පාලනයට ආණ්ඩුවෙන් නීති ඉල්ලන, ඒත් හරක් මරනවට විරුද්ද සිංහල බෞද්ධ මවකගෙන් හෝ පියෙකුගෙන් දරුවෙකුට ඉගෙන ගන්න තියෙන්නෙ මොනවද?

අපිට තියෙන්නෙ ‘දරුවන් හදා වඩා ගැනීම’ (පේරන්ටින්) ගැන ප‍්‍රශ්නයක්. දරුවන්ගේ හැකියාවන්ට අවශ්‍යතාවයන්ට ඉඩ හදන, දරුවන්ගේ නිදහස සහ සතුට තමන්ගේ වගකීම විදිහට අඳුනන, අලූත් තාක්‍ෂණයන්ට, අලූත් සමාජ තත්වයන්ට මුහුණ දෙන්න දරුවන් හුරු කරන ඒ දියුණු මව්පියන් මේ රටේ නෑ.
ඒ වෙනුවට එලියෙන් තමන්ව පාලනය කරන්නැයි ඉල්ලා සිටින, ටීවී එකෙන් ජීවිතේ ඉගෙන ගන්න, ගෙදරට කූඩු වුණු ජීවිතය කුඩු වෙන තරමටම බෝරිං මාධ්‍ය විසින් පවත්වාගෙන යන බ්‍රොයිලර් වර්ගයේ දෙමව්පියන් අපිට ඉන්නෙ.

ඒ ගොල්ලො තමයි කියන්නෙ ළමයි දිවි නහගන්නෙ ෆේස් බුක් හින්ද කියල. ඒත් වැඩිහිටියො කියලත් ආයිමත් තමන්ටත් වඩා ළමා පරපුරක් දකින, තමන්ගේ ඉරණමත් කවදා හෝ මේ පරපුරේම කෙනෙක් විදිහට විඳවමින් ගත කිරීම කියල ඇස් ඉස්සරහ දකින කොසොල් රජුගේ හීන දාසයට වඩා විපරීත මේ හීනෙන් කෙනෙකුට ඉක්මනට ඇහැරෙන්න  ඕන වෙන එක අතිශය ස්වභාවිකයි.

මං හිතන්නෙ මේ වැඩිහිටියන්ගෙ රෝගී සිතීමෙන් සහ රෝගී හැසිරීමෙන් දරුවන් බේරා ගැනීම සඳහා ඒ අයව වැඩි වැඩියෙන් ෆේස් බුක් එකට යොමු කරන එකයි වෙන්න  ඕන. ඒ විශාල සමාජ අවකාශයේ වැඩෙන්න,  දූපතක ගෙම්බෙක් වගේ නොවී එක විට ලෝකයක් සමග සම්බන්ධතා පවත්වන පුරවැසියෙක් වෙන්න, හැම තත්පරයකම අවදියෙන් ඉන්න, ප‍්‍රීතිමත් සහ බෙදා හදා ගන්න අලූත් පුරවැසි සමාජයේ ඔවුන්ව කොටස්කරුවන් කරන එකයි දරුවන් වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ.

ෆේස් බුක් වල හොඳ සහ නරක ගැන දරුවන් දැනුවත් කිරීම, අවබෝධයක් ලබා දීම වගේ පාලනයක් වත් වැඩිහිටියන්ට නොදිය යුතුයි කියන එකයි මගේ අදහස. ඒ තරම් බියෙන් ජීවත් වෙන, සදාචාරයෙන් විඳවන ඒ පරපුරට මේ ගැන දෙන්න ගුරුහරුකම් නෑ.

ඒත් තාමත් මම ෆේස් බුක් තහනම් කරනවා නං කැමතියි.

-චින්තන ධර්මදාස


3 comments:

  1. නියම අදහස් පැහැදිමක්..............................

    ReplyDelete
  2. නියම අදහස් පැහැදිමක්..............................

    ReplyDelete
  3. ///දූපතක ගෙම්බෙක් වගේ නොවී එක විට ලෝකයක් සමග සම්බන්ධතා පවත්වන පුරවැසියෙක් වෙන්න, හැම තත්පරයකම අවදියෙන් ඉන්න, ප‍්‍රීතිමත් සහ බෙදා හදා ගන්න අලූත් පුරවැසි සමාජයේ ඔවුන්ව කොටස්කරුවන් කරන එකයි දරුවන් වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ.//////

    සීයට සීයක් එකඟයි.

    ReplyDelete