19 February 2014

අපි නොදන්න Charity // What do you think about පුණ්‍යා තන.

(හදිස්සියට ලියන්න ගිහින් හෙඩ් ලයින් එකේ වැඩිපුර ස්පේස් එකකුත් වැටිලා :) )

 මම පොඩි කාලේ දැන ගෙන හිටියේ පුණ්‍යාතන දෙකයි . ගමේ මරණාධාර සමිතියයි , සර්වොදයයි .


ගමේ මරණයක් වුනාම මරණාධාර සමිතියෙන් ගහනවා බැනර් එකක් ගෙදර ඉස්සරහ . සර්වෝදයෙන්  කොඩි විකුනනවා සතියක්  තිස්සේ. අපි සල්ලි දීලා කොඩියක් අරන් ගහ ගන්නවා ෂර්ට් එකේ ඔක්කොටම පෙනෙන්න . අර සර්වෝදයේ ලාංචනය ,ධර්ම චක්‍රය ,මැදින් හිලක් හදලා එල්ල ගන්නේ කමිසයේ දෙවෙනි බොත්තමේ .


පස්සේ කාලේ  මේ වගේ ආයතන ගොඩක් තියන බව දැන  ගත්තත් මේවයේ ක්‍රීයා  කාරිත්වය ටිකක්‌ ගැඹුරෙන් දැන ගන්න ලැබුනේ මෙවැනි ආයතනයක් එක්ක ටිකක් ලඟින් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ . ඒක  වෙන කතාවක් 


පුණ්‍යාතන  කිව්වට මේවට ඉංග්‍රීසියෙන්   කියන්නේ non profit organisations කියලා නේ . ඒ කියන්නේ ලාබ  නොලබන ආයතන . ඒත් ලාබ  ලබන  හැම ආයතනයක් වගේම , මේවයින් කරන්නෙත් ඉල්ලුමට සරිලන සැපයුමක්  නේ . එතකොට මොකක්ද ඉල්ලුම ?

 ..... මෙනෙහි කර කර ඉන්න,  පින් කියලයි මට හිතෙන්නේ . (ලෝකෙට පෙන්නන්න පරකාසේ ටිකක් එහෙමත් හම්බු වෙනවා තමයි... අර බොත්තමේ ගහ ගත්ත කොඩිය වගේ  )

ටිකක් වටේ ගියා දෝ මන්දා . ආයිත්  ට්‍රැක්  එකට එමු . ලඟදි අහන්න ලැබුන දෙයකින් මම මේ ආයතන ගැන අලුත් විදියට හිතන්න පටන් ගත්තා .


මගේ හිතේ ලියවිච්ච දේ කතා තුනක් හැටියට ලියන්නම්


1 වෙනි කතාව


ඔන්න හිතන්න විශ්ව විද්‍යාලයකින් උපාධියක් අරන් එලියට එන උගත් තරුණ මහත්තයෙකුට ආරාධනාවක් ලැබෙනවා ඔහුගේ අනාගතය හැටියට මේ වගේ ආයතනයක ප්‍රධානියා හැටියට කටයුතු කරන්න .


"පඩි නම් මාකට් එකත් එක්ක තරඟකාරී නෑ  . ඒත්  ලෝකෙට වෙනසක් කරන්න ඔබේ හැකියාව, ශ්‍රමය වියදම් කරන්න අවස්තාවක්"  කියලයි ඉන්ටවිව් එකේදී කියන්නේ   . 


ඔහු එය බාරගතොත් opportunity cost එක (මේකට සිංහල වචනය නම් දන්නේ නෑ . සමා වෙන්න ) සල්ලි වලින් ගත්තොත් සෑහෙන ගානක් වෙන්න පුළුවන් .

බොහෝ වෙලාවට ඔහු එය බාර නොගනීවි . නමුත්  පස්සේ කාලෙක කිසිම පැකිලීමක් නැතිව ටින් කැටයකට ආධාරයක් දමාවි . නැත්නම්  අර කලින් ගණන් හදපු ගානට  වඩා අඩු ගානක් , දන්  දේවි . 
වැඩ දෙකම කෙරෙනවා.

ඒත්  ඔහු එය බාර ගත්තා නම් ඊට වඩා වෙනසක් සමාජයට සිදුවිය හැකිව නොතිබුනාද ?


එසේනම් මම යෝජනා කලොත්  , මේ ආයතන එකතු කරන සම්මාදමෙන් මේ ආයතන වල සේවකයන්ටත් උපරිම වැටුපක් ගෙවන්න කියලා , ඔබ කුමක් කියයිද ?


ඔබේ නොමසුරු ආධාරය අපේ ආයතනයේ සේවකයන්ගේ පාරිතෝෂික දීමනා සඳහා  ලබා දෙන්න කිව්වොත් , ඔබ දමයිද කැටයට සල්ලි ?

(හැබැයි මෙහෙම නොකීවත් අපෙන් එකතු කරන සල්ලි , නොකියන දේට නොයනවා කියලා යෑ )



2 වෙනි කතාව


ඔන්න කෙනෙක් එනවා ටින්  කැටයක් අරන් ආධාරයක් බලාපොරොත්තුවෙන් . ( හරි අපි කියමු  ටිකක්  ඇහැට කනට පෙනෙන ගෑනු ළමයෙක් කියලා ) 


රුපියල් දහයේ කාසියක් අතට අරන් ඔබ අහනවා මෙහෙම 


"නංගි  මොකක්ද මේ ආධාරයෙන් කරන්න හදන්නේ?  "


" අපි මේ සල්ලි එකතු කරන්නේ අපේ සංගමයේ සේවය ගැන ඇඩ්  එකක් දාන්න '


"මොකක් කිව්වා ? "


" එතකොට වැඩියෙන් මිනිස්සු අපේ ආයතනය ගැන දැන  ගෙන  වැඩියෙන් ආධාර  දෙනවා  " (වැරදි නෑනේ )


" ඒවුනාට මේ ආධාරයෙන් මොකක් හරි සේවයක්ම කලා නම් තමයි හොඳ නේද , පවුලකට වැසිකිලියක් , වහලකට ශීට්  දෙකක් , උදැල්ලක් , පොඩි එකෙකුට පැන්සලක්  , අඩුම ගනනේ බල්ලෙකුට ආප්පයක් .." (එතකොටනේ අපේ හිතට හරි )


ලාබ  අරමුණු කරගත් ආයතන වෙළඳ ප්‍රචාරණයට සල්ලි වියදම් කරන්නේ , ඉන් වැඩියෙන් ගනු දෙනු කරුවන් අද්දවා ගත හැකි බව දත් නිසා .

මිලදී  ගන්නා සබන් කැටයේ මිලට වෙළඳ ප්‍රචාරණ වියදම්ද ඇතුලත් බව දතත්, කිසි පැකිලීමකින් තොරව එය ගෙවන අපට පුණ්‍යාතනයකට දෙන මුදල් වැඩි වැඩියෙන් දානපතියන් අද්දවා ගැනීමට , ප්‍රචාරණයට වියදම් වෙනවා කියලා දැන  ගන්න ලැබුනොත්  හිතට නිකන් මෙව්වා එකක් හිතෙන්නේ ඇයි   ?


3 වෙනි කතාව


සාමාන්‍යයෙන් ආයෝජනයක ප්‍රතිලාබය වැඩි වෙන තරමට අවදානම වැඩිවෙනවා නේ . (Greater the return , greater the risk)


අපි කියමු අපේ ගමේ මරණාධාර සමිතියේ අරමුදලින් කොටසක් සක්විති කාරයා  ළඟ ආයෝජනය කරන්න කවුරු හරි යෝජනා කළා කියලා ... ඔහුට වෙන දේ ගැන කියන්න ඕනේ නෑ නේද .


අරමුදල් වැඩි කර ගැනීමට ලාබ  ලබන ආයතනක එසේ අවදානමක් ගැනීම පිළිගත්තත් , මෙවැනි ආයතනයක එවන් අවදානමක් ගෙන ආයෝජනයක් කිරීම අපි පිලි නොගන්නේ ඇයි   (ඔබ කියයි මේවායේ තියෙන්නේ අනුන්ගේ සල්ලිනෙ කියලා . එහෙනම් හිතන්න බැංකුවක් ගැන ) .



පලි :මෙන්න අර මම කිව්ව වීඩියෝ එක සමහර විට ඔබ මේ විඩීයෝ එක බලලත් ඇති . නැත්නම් විනාඩි විස්සක් තියෙනවනම් බලන්න වටිනවා .




2 comments:

  1. මේ ගැන පෝස්ට් එකක් මටත් ලියන්න තියෙනවා. (non profit organizations)
    මේ දවස් වල මටත් අලුත් ප්‍රපෝසල් එකක් ආවා. හිතට එකඟව නැතිවුනත් එහෙම වැඩ කරන්න ගත්තම කොයි තරම් දේවල් වලින් එලියට එන්න පුළුවන්ද කියලා හිතුවම හැමදාම හරිම මාර්ගයෙන් වැඩ කරලා හිඟන්නා වෙනවට වඩා මේ ලයිසන් එකක් හරහා වැඩ කරන එක. කරන්නේ එකම දේ.

    ඒත් අපි වගේ (හිතට එකඟව වැඩ කරන) මෝඩයන්ට එකඟ වෙන්න බය හිතෙනවානේ...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත ..අර පෝස්ට් එකත් ලියන්න

      Delete

Have commented