Tuesday, February 18, 2014

පාරිභෝගිකයන්ගෙන් සත්‍ය වසන් කරන මහා පරිමාණ ආහාර නිශ්පාදකයන්

ආයුබෝවන්! කාලෙකින් පෝස්ටුවක් දාන්න බැරිවුනේ අධික කාර්යබහුලත්වය හින්දා. ඒත් කාලෙක පටන්ම ලිවීමට අදහස් කළ ලාංකේය වෙළෙඳ පොළෙහි ඇති එහෙත් මිනිසුන්ගෙන් කරුණු වසන් කරමින් මිනිසාට අලෙවි කරන ඇතැම් ආහාර ද්‍රව්‍ය පිළිබඳ යම් අදහසක් ඔබ වෙත පිරිනමමි.

ඇත්තෙන්ම පසුගිය දිනවල මහත් ආන්දෝලනයට පත්වූ ඇතැම් රසකාරක , පාට ගන්වනයන් (කලරින්), ඇතැම් අම්ල (ඇසිඩ්) පිළිබඳව ඔබ හොඳින්ම මතක ඇති. එහෙත් ඔබ වෙළෙඳ සැල් වලින් ලබාගන්නා පෙරසැකසූ ආහාර වල මෙම ද්‍රව්‍ය ඇති හෝ නැති බව ඔබ දන්නේද ? කාලයකදි වහ දේ කාලයකදී රස වේ ලු! යන කියමන සැබෑ කරමින් , ආහාර නිශ්පාදකයන් මෙම එකම ද්‍රව්‍යය විවිධ නම් වලින් කරලියට ගෙන එති. ඇත්තෙන්ම මෙම සමහර රසායනික ද්‍රව්‍යයන් ස්වල්ප වශයෙන් ශරීරයට දරාගත හැකි වුවද , නිතර නිතර ශරීරගත වීමෙන් දිගුකාලීන බලපෑම් ඇති කළ හැකිය. 

මෙම ශරීරයට දරාගැනීමේ ශක්තිය පිළිබඳව පුළුල්ව සලකා බැලූ විට , රජරට වකුගඩු රෝගය හොඳම උදාහරණයක් යැයි කිව හැකිය. ඇත්තෙන්ම ස්වභාවික ජලයේ ආසනික් , කැඩ්මියම් වැනි මූලද්‍රව ඉතාමත් ස්වල්ප ලෙස පවතියි. මිනිසාගේ වැරදි භාවිතයන් නිසා ( උදාහරණ ලෙස නියමිත මාත්‍රාවට වඩා පොහොර , කෘමිනාශක  යෙදවීම ) ජලයේ කොටස් මිලියනයකට තිබිය යුතු මෙම මූලද්‍රව්‍යයන් ප්‍රමාණය (ppm - parts per million) ක්ෂණික සර්ජනයකට ලක්වී මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමට පත්වී ඇත. මෙය ඇත්තෙන්ම නූගත් කම සහ අදාළ ආයතන වලින් නිසි පරිදි  දැනුවත් නොකිරීම නිසා සිදුවූ විනාශයකි. 

 කෙසේ වෙතත් අප පරිභෝජනය කරන සියලුම ආහාර වල සුරක්ෂිතතාව පිළිබඳව මනා කොට දැනුවත්ව සිටීම අප සියලු දෙනා සතු වගකීමකි.පහත දැක්වෙනුයේ වෙළෙඳ පොළෙහි බහුලව ඇති එහෙත් පැරණි වෙළෙඳ නාමයන් වෙනුවට නවතම අංකනයන් සහිත හෝ නැවත නැවතත් කරලියට පැමිණෙන සෞඛ්‍යයට අහිතකර රසායනිකයන් වේ.

මොනො සොඩියම් ග්ලුටමේට්/ එම්.එස්.ජී

මෙය  බොහෝ විට රසකාරකයක් ලෙස යොදා ගනියි. නිසි මාත්‍රාවෙන් යෙදූ විට ව්‍යංජන හා ආහාර මනා රසයකින් යුක්ත වේ. එහෙත් නිතර නිතර භාවිතයෙන් ස්නායු ආබාධ , හෘදය වස්තුවේ අකර්මන්‍යතා ආදී රෝගයන්ට ලක් විය හැකිය.  පෙරදී මොනො සොඩියම් ග්ලුටමේට්/ එම්.එස්.ජී නාමයෙන් වෙළෙඳ පොළට නිකුත් වූ සමහර ආහාර දැන් E620, E621, E622, E623, E624, E625 යන සංකේත නාමයන්ගෙන් නිකුත් වේ. ඇතැම් දුර පළාත් වල ආහාර වලට මේවා අහුරු පිටින් එකතු කරන‘යුරු මම දැක ඇත්තෙමි. 

වර්ණකාරක (E100 - E199)හා කල්තබාගැනීමේ රසායනික  (E200 - E299)

එන්ගලන්තයේ හා කැනඩාවේ තහනම් කර ඇති සෞඛ්‍යයට තර්ජනයක් වන ඇතැම් වර්ණ කාරක ලංකාවේ භාවිත කරයි. විශේෂයෙන් ඊ102 යන ටාට්‍රික් අම්ලය , ආහාර කහ පාට ගැන්වීමට භාවිත කලත් ඒවායෙන් සෞඛ්‍යයට වන තර්ජනය කෙසේද යත් යුරෝපීය රටවල් වල කුඩා ළමුන් හට මෙම රසායනික අඩංගු ද්‍රව්‍ය භාවිතයට පවා අවසර දී නොමැත. තවද E249 , E252 ආදී වූ නයිට්‍රේට හෝ නයිට්‍රයිට අඩංගු ආහාර පරිභෝජනය මිනිසාට පිළිකා වැළඳීමේ අවධානමක් ඇති බවද විද්‍යාඥයන් පෙන්වා දී ඇත.


මා මෙහිදී සඳහන් කළේ ඉතාමත් සුළු කරුණු ප්‍රමාණයක් පමණි. එසේම ඔබ පානය කරන බොහෝ ජනප්‍රිය පැණි බීම වල ඇත් අධි සාන්ද්‍ර සීනි සහ ඇතැම් අම්ල මගින් ඔබගේ අස්ථි ඝනත්වය සිඝ්‍රයේන පහත හෙළන බව ඔබ දැන සිටියාද? මින් පසු ආහාර මිලට ගැනීමේදී මේ පිළිබඳ දැනුවත් වන්න. අපගේ අනාගත පරපුර මෙන්ම ඔබගේ ජීවිතයද රැකගන්න. ඔබ මිලට ගන්නා ආහාර වල සුරක්ෂිතතාව පිළිබඳව ප්‍රශ්න කිරීම ඔබ සතු අයිතිවාසිකමකි.

No comments:

Post a Comment