HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

යෝධ බූවල්ලකු සමග දිය යට කළ බිහිසුණු සටනක්!

අටපාවා හෙවත් යෝධ බූවල්ලා (octopus) උගේ පාද අටම යොදා කිමිදුම් කැමරාකරුවාත් කැමරාවත් බදා ගත්තා. ඉන් බේරෙන්න ඒ පාද අටත් සමග අත් දෙකක් යොදා ගෙන ප‍්‍රධාන කැමරාකරුවා කළ ඒ සටන ඔහුගේ සහයක කැමරාකරුවා වීඩියෝවට නැඟුවා. ඒ දර්ශන මෙන්න!



‘අත් අටක්’ ඇති යෝධ බූවල්ලකු සමග මිනිසකු ’අත් දෙකකින්’ කළ සටන අතිශයින් විස්මිත එකක්.

 
බූවල්ලා සමග කැමරාශිල්පී ඬේවිඞ් මැල්වෙස්ටුටෝ ඔහුගේ කැමරාව බේරා ගන්නට සටන් කළ හැටි. කිමිදුම් කරුවන් දෙදෙනකුට මෙසේ බූවල්ලකුට මුහුණ දීමට සිදුවූයේ කැලිෆෝනියාවේ කාමෙල්වලට ඔබ්බෙන් පිහිටි බ්ලූ ෆිෂ් කොව් නම් වෙරළාශි‍්‍රත මුහුදේදීයි.

යෝධ අෂ්ටපාදිකයන් (octopus) හෙවත් බූවල්ලන් අපට හමුවන්නේ උතුරු පැසිපික් වෙරළාශි‍්‍රත මුහුදේදියි.

මොවුන් යෝධ බූවල්ලන් අතර විශාලතම සතුන් ලෙස හැඳින්වෙන්නේ මෙතෙක් හමු වී ඇති මේ ගණයේ හොඳින් වැඩුණු විශාලතම සතා බරින් කිලෝග්රෑම් 71ක් (රාත්තල් 156ක්) යනුවෙන් විද්‍යාත්මක නිරීක්ෂණවලින් තහවුරු වී ඇති නිසයි.

ඒ සතා එහෙම වුනත් මේ ගණයේ වැඩුණු සතකු සාමාන්‍යයෙන් බරින් කිලෝග්රෑම් 15ක් (රාත්තල් 33ක්) විතර වෙනවා. උගේ අඬු විදාහල විට මීටර 4.3ක් (අඩි 14ක්) පමණ දික් වෙනව.

එවැනි සතකුගේ ආයු කාලය වසර 3ත් 5ත් අතර කාලයකට සීමා වුනත් ඒ කාලය තුළ පැටවුන් රැසක් බිහි කරනවා.

මේ සතුන් ආහාරයට ගන්නේ ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන්, රැළි බෙල්ලන්, මුතුබෙල්ලන් ආදිබෙල්ලන් වර්ග විතරක් නෙවෙයි, විවිධ මාළුන් වර්ග ආදී උණුසුම් ජලයේ හමුවන ජීවීන්.

ආහාරයට ගන්නා සතුන් උගේ අඬුවලින් අල්ලා ඒ අඬු මැද පිහිටා ඇති මුවෙහි කයිටින්වලින් සෑදුණු තද අස්ථියක් බඳු අවයවයෙන් පොඩි කර ගිලීම උගේ සිරිතයි.

ඌ අපෘෂ්ඨවංශී සතුන් අතර බොහෝ සේ බුද්ධිමත් සතකු ලෙස සැලකෙනවා. ඒ සතුන් අල්ලා ගෙන කළ පරීක්ෂණවලදී අනෙක් සතුන් අතරින් මිනිසා වෙන් කර හඳුන ගන්නට හැකි බුද්ධියක් ඌට ඇති බව ඔප්පු කර තියෙනවා.

මෙවැනි යෝධ බූවල්ලකු සමග තමයි කැලිෆෝනියාවේ කාමෙල් වෙරළෙන් ඔබ්බෙහි බ්ලූ ෆිෂ් කෝව්හිදි ඬේවිඞ් හා ඔහුගේ සගයා වූ වොරන්ට හමු වූයේ. යෝධ බූවල්ලාට ඬේවිඞ් මුහුණ දුන් ඒ බිහිසුණු අවස්ථාවට දැන් ඔබටත් එක්වෙන්න පුළුවන්.

 
මේ ඒ යෝධ බූවල්ලකුගේ පුස්තකාල ඡායාරූපයක්. මෙතෙක් හමු වී අතර විශාලතම සතා ලෙස හැඳින්වෙන්නේ කිලෝග්රෑම් 71ක් (රාත්තල් 156ක්) බර එකෙක්. දැනට විද්‍යාත්මක පණ පිටින් කිරා බලා ඇති අවස්ථාව එයයි.

ලා යෝලාහි ඬේවිඞ් මැල්වෙස්ටුටෝ (David Malvestuto) වෘත්තීය වශයෙන් මුහුදු පත්ලේ කිමිදුම් ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ අයෙක්. ඔහු සමහ ඔහුගේ සගයා වූ වොරන් මුරේ මේ කිමිදුම් චාරිකාවට එක් වුණා. ඔහුත් ඬේවිඞ් වගේම දක්ෂ කැමරාකරුවෙක්. ඒ නිසා තමයි, ඒ විස්මිත දර්ශනය අද ඔබට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා.

ඬේවිඞ්ගේ සගයා වොරන් මරේ (Warren Murray) ඒ ත‍්‍රාසජනක අවස්ථාව සීබීඑස් ප‍්‍රවෘත්ති සේවයට විස්තර කළේ මෙහෙමයි:

”මම මුලින් ම මේ දැවැන්ත සත්වයා දුටු මොහොතේ විස්මයට පත් වුණා. මුහුදු රළ මතුපිට සිට අඩි අසූවක් විතර යටදි මෙවැනි සතකු ඉන් පෙර අපට හමුවී නැහැ. ඒ නිසයි, අප තුළ විශේෂ තැති ගැනීමක් ඇති වුණේ. ඊළඟ මොහොතේ ඒ තැති ගැනීම මහා බියකට පෙරළුණා. නොසිතූ විධියට ඌ එක අඬුවක් දික් කරලා මැල්වෙස්ටුටෝ මහතාගේ කැමරාව අල්ලා ගත්තා.”

”ඒ මොහොතෙදි මා වඩාත් වද වුණේ ඌ කැමරාව උදුරා ගනීවි කියලා නොවෙයි. ඌ ඒ කරපු දේ මට වීඩියෝ කරගන්න බැරිවෙයි කියලයි. එහෙම වුනොත් මොකද මේ කතාව ගොඩබිම ඉන්න අය විශ්වාස කරන එකක් නෑ කියලා ඒ හින්දා මා ඒ ගැන උනන්දු වුණා.” වොරන් කියනවා.

මෙහිදී මැල්වෙස්ටුටෝ මහතා කැමරාව අත ඇරියේ නැහැ. ඒක තදින් ම අල්ලා ගෙන එය බූවල්ලාගෙන් බේරා ගන්න ලොකු සටනක් කළා. ඒ සිද්ධිය කැමරාවට නැඟීමේ දී නිකුත් වූ ආලෝක ධාරා නිසා බියට පත් බූවල්ලා එය අත හැර එක්වරම පැනලා ගියා. ඒත් ඊට කලින් වොරන් ඒ සියල්ල වීඩියෝ කැමරාවට නැඟුවා. ඒ වීඩියෝ පටය අද ඔබට නරඹන්න පුළුවන්.

මෙසේ බූවල්ලන් කිමිදුම්කරුවන්ගේ කැමරා උදුරා ගත් අවස්ථා ගණනාවක් ම වාර්තා වී තිබෙනවා. 2010 දී වික්ටර් හුවා නම් කිමිදුම් කැමරාකරුවකුගේ කැමරාව උදුරා ගන්නට තැත් කළා. මිනිත්තු පහක් පමණ කාලයක් ඌ පසුපස හඹා ගොස් ඔහු අත වූ තෝමරයෙන් පහරදී ඒ කැමරාව උදුරා ගන්න ඔහු සමත් වූ බව ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබ් අඩවිය වාර්තා කරනවා.

 
ඒ සිද්ධිය කැමරාවට නැඟීමේ දී නිකුත් වූ ආලෝක ධාරා නිසා බියට පත් බූවල්ලා එය අත හැර එක්වරම පැනලා ගියා. ඒත් ඊට කලින් වොරන් ඒ සියල්ල කැමරාවට නැඟුවා.


Post a Comment

0 Comments