Tuesday, January 14, 2014

අඟහරු මතට යළි නොඑනා ගමන යෑමට ලක්ෂ ගණනක් පොරකති.

මේ ලෝකය හැර පියා වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යාමට කිසිවකු හෝ කැමතිවේදැයි සිතීමට වත් නොහැකි වූව ද දැන් ඒ සඳහා කැමැත්ත පළ කළ පුද්ගල සංඛ්‍යාව දෙලක්ෂය ද ඉක්මවා සිටිති. නෙදර්ලන්තයේ ලාභ නොලබන ආයතනයක් මඟින් අඟහරු හෙවත් රතු ග්‍රහයා ජනාවාස කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පසුගිය දා ඉල්ලුම් පත් කැඳවූ අවස්ථාවේ ඒ සඳහා අයදුම් කළ සංඛ්‍යාව දෙලක්ෂය ද ඉක්මවූ බව වාර්තා විය.
ඉන් වැඩි දෙනෙකු ඇමෙරිකානු ජාතිකයන් වන අතර සංඛ්‍යාත්මකව ගත් කළ 30,000 ක් වෙති. ඉන්දියාව, චීනය, බ්‍රසීලය, එංගලන්තය, ස්පාඤ්ඤය හා ප්‍රංශය ඇතුළු රටවල් 140 ක ජනතාව මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබුණි.
2023 වසරේ දී අඟහරු ග්‍රහයා ජනාවාස කිරීමේ ව්‍යාපෘතිය හඳුවන්නේ The Mars One Mission ලෙස ය. ඒ යටතේ පෘතුවිය හැර දමා අඟහරු ලොවට යන අයට යළි කිසි දා ආපසු ඒමක් නොවනු ඇත. පසු ගිය අප්‍රේල් මාසයේ අයදුම් පත් කැඳවා ඒ අතරින් තෝරාගත් 1058 දෙනකු මේ වන විට මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා තිබේ. ඒ අතරිනුත් අඟහරු මතට යන ගමන සඳහා පුහුණුවට තෝරා ගැනෙනුයේ 40 දෙනෙකි. ඉනුත් පළමු ගමන් වටය සඳහා තෝරා ගන්නේ සිවු දෙනෙකි. රතු ගුහයා කරා යන ගමන 2022 සැප්තැම්බර් මස පිටත් වීමට සැලසුම් කර ඇති අතර ඔවුන් රතු ග්‍රහයා මත ගොඩබැසීමට නියමිතව ඇත්තේ මාස 7ක් ගත වී එනම් 2023 වසරේ අප්‍රේල් මාසයේ ය. යළි මහපොළවට ඒමක් නොමැතිව මුළු ජීවිත කාලය පුරාම අඟහරු ලොවේ තනිවෙන්නට යන මේ ගමන සඳහා පුහුණුවීම් හත් වසරක් පුරා සිදු කරනු ඇතැයි වාර්තා වේ. ඒ සඳහා පුහුණුවීම් 2018 වසරේ දී ඇරැඹෙනු ඇත.
පො‍ළොවට සැතපුම් මිලියන 40 ක් ඈතින් පිහිටි අඟහරු කරා යන මේ ගමන සඳහා වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක් වෙතැයි පැවසේ. නාසා ආයතනයේ රෝවර් ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල ඩොලර් බිලියන 1.8 කි. මේ සියලු කටයුතු සංවිධානය කරනුයේ නාසා හෝ වෙනත් අභ්‍යවකාශ ආයතනයක් නොව Mars One යන ලාභ නොලබන සංවිධානයකි. මෙහි නිර්මාතෘවරයා බාස් ලෑන්ස්ඩොප් නමැති ඉංජිනේරුවෙකි.
අඟහරු ග්‍රහයා වෙත යන කණ්ඩායමේ පුහුණු කිරීම් වල දී අඟහරු මත පදිංචි කෙරෙන ආකෘති අලුත්වැඩියාව ඒවායේ විද්‍යුත් උපකරණ හැසිරවීම, විශේෂිත වූ ඉඩ කඩ තුළ බෝග වගාව සහ ශරීර සෞඛ්‍ය රැක ගැනීම පිළිබඳව ද පුහුණුවක් ලබා දීමට නියමිත ය.
මාස හතක් තිස්සේ අඟහරු කරා යන දීර්ඝ ගමන ද ලෙහෙසි පහසු ගමනක් නොවනු ඇත. ඉතාම වෙහෙසකාරී දිගු ගමනක් වන එහි දී කිසිවකුට ස්නානය කිරීමට හෝ අවකාශ නොලැබෙනු ඇත. ආහාරයට ලැබෙනුයේ ද ටින් කළ ආහාර පමණි.
අඟහරු මතුපිට වාතාවරණය ඉතා තුනී වන බැවින් මුල් පදිංචිකරුවන් සිවු දෙනාට අභ්‍යවකාශ ඇඳුම් වලින් තොරව එළිපහලියට යෑමට ද අවකාශ නොලැබේ. ඔවුන් අඟහරු මත දී වාසය කෙරෙන කුටීර නිරන්තරයෙන් පීඩනයට ලක් තැබීම ද අවශ්‍ය වේ. රතු ග්‍රහයා මතුපිට වගා කළ හැක්කේ විශේෂයෙන් සැලසුම් කළ බෝග වගා ඒකක ඇතුළත පමණි. කිසිදා මහපොළොවට නොඑනා මේ ගමන යෑමට මෙතරම් පිරිසක් පොරකද්දී රතු ග්‍රහයා මතුපිට දෙවැනි ජනාවාසය ඇරැඹීමට ද දැන් අවධානය යොමු කෙරෙමින් පවතී. එහෙත් එය පළමු පදිංචි කිරීමෙන් දෙවසරකට පසුව ය.

2014 ජනවාරි 12 සිළුමිණ පුවත්පතින් උපුටා ගන්නා ලද්දකි.

2 comments:

  1. Use Google Input Tools for Sinhala Typing. It's easy. And We can view posts clearly.
    http://www.google.com/intl/si/inputtools/

    ReplyDelete

Welcome Comments..!!!