Thursday, December 19, 2013

එන්ජිම බොයිල් කරනවද? මෙන්න හේතු

Is your vehicle overheating ?

එන්ජිම බොයිල් කරනවද? මෙන්න හේතු.....

වාහනයක ධාවනය සඳහා එන්ජිම අත්‍යවශ්‍ය වන අතර එය රැක ගැනීම සඳහා සිසිලන පද්ධතියක්ද අත්‍යවශ්‍ය වේ. වර්තමානයේදී අපගේ මාර්ග වල ධාවනය වන සියලුම මෝටර් රථ වාගේ අභ්‍යන්තර දහන එන්ජිම් අඩංගු ඒවා වේ. මෙහිදි වාහනයෙහි උපරිම කාර්යක්ෂම දහනයක්  වීමට 60C -85C අතරේ ධාවිත උෂ්ණත්වයක් රැඳී තිබිය යුතුය. අභ්‍යන්තර දහනයේදී එන්ජිම ඉහත කී උෂ්ණත්වයකට වඩා උණුසුම්  වන නිසා නියමිත උෂ්ණත්වයේ රඳවා ගැනීමට සිසිලන පද්ධතියක් එයට සම්බන්ධ කර ඇත. එහෙත් මෙම සිසිලන පද්ධතිය නියමිත පරිදි ක්‍රියාත්මක නොවුන හොත් එන්ජිමට මෙන්ම රියෙහි ගමන් ගන්නා ඔබටද හානියක් සිදුවීමට පුළුවන.

මෙවැනි වාහනය බොයිල් කරන විට හෝ උෂ්ණත්වය වැඩි වීමට පහත හේතු / හේතුවක් බලපෑ හැකි අතර ඒවාට විසඳුම් ද පහතින් දක්වා සිටිමි.

  • රේඩියේටරයෙහි වාතය හමා යෑමට ඇති ඉඩ ඇහිරී යාම.

    • ප්ලාස්ටික් බෑග් , පොලිතින් මලු , කොළ ආදිය රේඩියේටර කාමරයෙහි හෝ රේඩියේටරය මත රැඳීම. - විසඳුම - මේවා ඉවත් කරන්න.
    • මඩ සහිත පාරක හෝ වැසි දිනක වාහනයක් ඉදිරියෙන් හෝ ගමන් කිරීමෙන් රේඩියේටරයෙහි මඩ තැන්පත් වීම. විසඳුම - එන්ජිම සිසිල් වූ පසු රේඩියේටරයට හොඳින් වතුර අල්ලා සෝදා හරින්න.
  • රේඩියේටරයට සම්බන්ධ පංකාවෙහි දෝෂ.


    • මෙම පංකා වල පෙති කැඩී යාම හෝ විදුලි මෝටරයේ හෝ රිලේ පද්ධතියේ හෝ විලායකයේ දෝෂ. විසඳුම - එකිනෙක සොයා බලා , දෝෂ ඇති තැන් නිවැරදි කිරීම. දෝෂය සොයා ගැනීමට අපහසු නම් කාර්මිකයෙකු ලවා පරීක්ෂා කරවා ගන්න.
  • සිසිලන පද්ධතියේ දෝෂ.

    • රේඩියේටරයේ හෝ සම්බන්ධිත බට වලින් හෝ රේඩියේටරයෙහි ඇති සිසිලන ද්‍රව හෝ ජලය කාන්දු වීම. විසඳුම - මෙය සොයා ගැනීමට ඉතාමත් පහසු දෙයකි.සිසිලන ද්‍රව ඇත්නම් කොළ පාටින් කාන්දු වීම් දැකිය හැකිය. රේඩියේටරයේ කාන්දුවක් නම් කාර්මිකයකු ලවා නැවත සවි කරගත යුතු අතර බට වල කාන්දුවක් නම් එන්ජිම සිසිල් වූ පසු අලුත් බටයක් සවි කර ගත හැකිය.
    • රේඩියේටරයෙහි අභ්‍යන්තරයේ අවහිර වීමක් සිදුවීම.විසඳුම - මෙය සොයා ගැනීමට මඳක් අපහසු දෙයකි.එන්ජිම සිසිල් වූ පසු රේඩියේටරයේ සියලුම වතුර යට ඇති ඇණය ගලවා කාන්දු කොට නැවත පුරවා බලන්න. සාර්ථක නොවේ නම් කාර්මිකයකුගේ සහය ලබා ගන්න. මෙය දැන ගැනීමට තවත් එක් ක්‍රමයක් ඇත. එනම් රේඩියේටරයට සම්බන්ධ ඉහළ බටය අධික උණුසුමකින් තිබීමටත් පහළින් සම්බන්ධිත බටය අසාමාන්‍ය ලෙස සිසිලකින් තිබීමත් අවහිර වීමක ලක්ෂණ පෙන්වයි.
    • උෂ්ණත්ව යාමකයේ දෝෂයක් නිසා එය සම්පුර්ණයෙන් වැසී තිබීම. උෂ්ණත්ව යාමකය යාන්ත්‍රික කොටසක් බැවින් කාලානුරූපීව ගෙවී යාම් හෝ දෝෂ ඇති වීමට පුළුවන. බොහෝ උෂ්ණත්ව යාමන 88C හිදී විවෘත වුවද දෝෂ සහිත ඒවා විවෘත නොවීම මගින් රේඩියේටරයට සිසිලන ද්‍රව ගලානොගොස් සිසිලනය වීම වලකියි. - විසඳුම -  රේඩියේටරයට සම්බන්ධ බට දෙකෙන් එකක් අධික උණුසුමකින් තිබීමටත් අනික් බටය අසාමාන්‍ය ලෙස සිසිලකින් තිබීමත් මෙම උෂ්ණත්ව යාමනයේ දෝෂයක ලක්ෂණයක් විය හැක. තවද මෙහිදී වාහනය සිසිල් කොට , නැවත පණ ගන්වා Idle තත්වයේ විනාඩි 15 පමණ තිබියදී උෂ්ණත්වය අධිකව පෙන්වයි.කාර්මිකයෙකු ලවා මෙය ගලවා පරීක්ෂාකර බලා අවැසි නම් අලුත් උෂ්ණත්ව යාමනයක් සවිකරගන්න. ලංකාව වගේ රටකට ඇත්තෙන්ම මෙම උෂ්ණත්වයාමන අත්‍යවශ්‍යම නොවේ. මන්ද අපගේ රටට ආනයනය කරන  බොහෝ වාහන වල පදිකයින්ගේ කාමරය (Passenger Cabin) උණුසුම් කිරීමේ උපාංග නොමැති නිසාවෙනි.
    • සිසිලන පද්ධතියේ යම් තැනක වායු බුබුළක් රැඳී තිබීම මගින් අවශ්‍ය පීඩනය නැති වීම සහ පද්ධතියේ සම්බන්ධතාව ගිලිහී යාම.  - විසඳුම -  වාහනය ආනතියක් ඇති තැනක නවතා එන්ජිම සිසිල් වූ පසු රේඩියර් මූඩිය ගලවා පණ ගන්වා මඳක් එන්ජිම ධාවිත වේගය වැඩි කළ විට සිසිලන ද්‍රව සංසරණය වීම පටන් ගන්නා අතර  වායු බුබුළක් තිබේ නම් එය ඉවතට පැමිණෙනු ඇත.
    • රේඩියේටර මූඩියෙහි දෝෂ. රේඩියේටර මූඩියෙහි නිතරම නියමිත පීඩනයක් තිබිය යුතුය. ඇත්තෙන්ම එය එලෙස තිබෙනුයේ සිසිලන ද්‍රව වල තාපාංකය ඉහළ දැමීමටය. එහෙත් මෙම මූඩි නියමිත ආකාරයට ක්‍රියා නොකරන විට ද්‍රව හුමාලය බවට පත් වී එන්ජිම ඉහළ උෂ්ණත්වයකට පත්විය හැකිය.විසඳුම - එන්ජිම සිසිල් වූ පසු රේඩියර් මූඩිය ගලවා අළුත් රේඩියේටර මූඩියක් සවි කරන්න.
    • ජල පොම්පයේ දෝෂ හෝ කාන්දු වීම්. ජල පොම්පය සිසිලන පද්ධතියේ ද්‍රව සංසරණය කරවයි. මෙය අක්‍රිය වූ විට නියමිත පරිදි සිසිලනය නොවේ. මෙහි කාන්දු වීම් ඇතිනම් බාහිරට පෙනෙන අතර එන්ජිම ක්‍රියා කිරීමේදී වැඩියෙන් කාන්දු වේ. විසඳුම - කාර්මිකයෙකු ලවා මෙය ප්‍රතිස්ථාපනය කරගන්න. මන්ද මෙය ප්‍රතිස්ථෘපනයේදී එන්ජිමේ කාලයන් (Timing)  වෙනස් විය හැකි බැවිනි.

  • හෙඩ් ගෑස්කට් කාන්දුවීම් හෝ එන්ජිම් කුටීරයේ කාන්දුවීම්.

    • මෙයද එන්ජිම බොයිල් කිරීමට ප්‍රධාන හේතුවක් වන අතරම සොයා ගැනීමට ඉතාමත් පහසු එහෙත් අලුත්වැඩියා කිරීමට වියදම් අධිකව යන දෝෂයකි. මෙවැනි දෝෂ සහිත වාහන වල දුම් බටයෙන් අසාමාන්‍ය ලෙස හුමාලය හෝ සුදු දුමක් පිටවේ. එසේම එන්ජින් ඔයිල් සමග සිසලන ද්‍රව මිශ්‍ර වීම නිසා එන්ජින් ඔයිල් ක්‍රීම් පැහැති හැඩයට හැරීමද සිදුවේ.තවද රේඩියටර් මූඩිය ගලවා තැබුවහොත් දිගින් දිගටම වායු බුබුළු මතු වනු දැකිය හැකි අතරම , Block Tester Kit එකක් මගින් සිසිලන පද්ධතියේ කාබන් ඩයොක්සයිඩ් තිබෙන බව තහවුරු කරීමෙන් ඉහත දෝෂය හඳුනාගත හැකිය. විසඳුම - හෙඩ් ගෑස්කට් හෝ එන්ජිම ප්‍රතිස්ථාපනය කිරීම.

  • සිසිලන ද්‍රව අඩු වීම

    • සිසිලන ද්‍රව අඩුවීම නොයෙකුත් හේතු නිසා විය හැකිය. විශේෂයෙන්ම රේඩියේටර් මූඩියේ නැවත පැමිණෙන වැල්වයේ දෝෂයක් නිසා අමතර ටැංකියේ සිසිලන ද්‍රව වැඩිවී රේඩියේරයේ සිසිලන ද්‍රව අඩු වීමටද පුළුවන.  විසඳුම -අවැසි තරමට සිසිලන ද්‍රව එකතු කරන්න. දිගින් දිගටම අඩු වේ නම් හෝ අමතර ටැංකියේ සිසිලන ද්‍රව වැඩි වේ නම් රේඩියේටර් මූඩිය මාරු කරන්න.
ඉහත මා දැක්වූයේ එන්ජිම් බොයිල් කිරීමට සිදුවිය හැකි හේතු සහ ඒවායේ සරල විසඳුම් වේ. එසේම දිනපතා වාහනය ධාවනය කිරීමට මත්තෙන් එන්ජිමේ තෙල් , වතුර බලන්නේ නම් එය වඩාත් යහපත් වේ. මා එවැනි පුරුද්දක් තිබෙන බැවින් මාගේ අවුරුදු 25 පරණ වාහනයෙහි බොහෝ දෝෂ හඳුනාගෙන ඇති අතරම ඒවා සුළු වියදම් මගින් නැවත සකසාගෙන ඇත්තෙමි.

එන්ජිම බොයිල් වූ විට කළ/ නොකළ යුතු දෑ...

  • කළ යුතු දේ..

    • වාහනයේ උෂ්ණත්ව මානය අන්තරාය පෙදෙසෙහි ඇත්නම් හෝ නවීන වාහන වල නම් රතු සංඥාව දැල්වේ නම් හැකි පමණ ඉක්මනින් ආරක්ෂිත ලෙස වාහනය පාරෙන් අයිනට කර නවත්වන්න.
    • එන්ජිමට හොඳින් වාතය ලැබෙන පරිදි බොනට්ටුව හැර තබන්න.
    • සිසිලන ද්‍රව කාන්දු වේ දැයි සොයා බලන්න.
    • කාර්මිකයෙකු ගෙන්වා ගත නොහැකි නම් වාහනය සිසිල් වූ පසු සිසිලන ද්‍රව පරීක්ෂා කර බලා සෑහීමකට පත් වේ නම් පමණක් ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්න. උෂ්ණත්ව මානය හෝ රතු සංඥා පිළිබඳව සැලකිල්ලෙන් ධාවනය කරන්න.

  • නොකළ යුතු දේ ...

    • වාහනය රත් වී තිබියදී රේඩියේටර් මූඩිය ඇරීමෙන් වළකින්න. මෙසේ රේඩියේටර් මූඩිය ඇරීමෙන් ඔබ හට අන්තරාදායක ලෙස පිළිස්සීම් ඇති වීමට පුළුවන.
    • අන්තරාය සංඥා නොතකා ධාවනය නොකරන්න.
    • අධික ලෙස රත් වූ එන්ජිමකට හෝ රේඩියේටරයට වතුර දැමීමෙන් වළකින්න.

3 comments:

  1. වටිනවා සහෝදරයා

    ReplyDelete
  2. ඉතාම වටිනා ලිපියක්

    ReplyDelete