Monday, December 16, 2013

උදුම්බරා

දස වසකට පෙර .... දෙසැම්බරයේ දවසක ...

සන්ධ්‍යාව ඉතා අඳුරුය. ගුප්තය. අස්ථි කූඩුව දක්වාම  සම් මස් ඇට නහර විනිවිද ගිය , දරාගත නොහැකි තරම් සීතලකි. ගතෙහි දාහයක් නැතුවාක් මෙන්ම සිතද අනාතුරය. මඳ පින්නෙන් තෙත්වූ අක්බාර් පාලම්  සිමෙන්ති බැම්මෙහි දෑත් ගසා ගෙන මම කණාමැදිරි සංදර්ශනයක් සිත යටින් පතමින් සිටිමි.

'අද කණාමැදිරිත් නැහැ'  
මා සිත කියවමින් , කලකට පෙර මා ලියූ අකුරු සිහිගන්වන්නටදෝ ඔහු පාලමෙන් පල්ලෙහි අඬා බහින ගං දියට කෙළ ගසයි.

කණාමැදිරිත් නිදන සීතල දෙසැම්බරයෙහි අක්බාර් පාලමට නින්දක් නැත්තේය . වසරකට පෙර, සුන්දර කුඩා යුවතියක , සිය සිරුරටත් වඩා බර වූ හදකින් අක්බාර් බැම්ම කෙළවර හෘද සටහනක් තබා සමුගෙන ගියා මතකය. වසරකින් වියපත් ඒ යුවතිය , වඩාත් අඳුරු හද සටහනක් අක්බාර් තාප්පයෙහි නිසංසලේ පින්සලයකින් සිතුවම් කරන්නීය. එහෙත් අනාතුර සැහැල්ලු සිතකින් අඳුරේම මඳ සිනහවක් දෙතොලතර රඳවා සිටින්නීය.

 නිල් පාටට හුරු අලුපාටක් හාත්පස පැතිරෙන්නේ , නිදන සරසවි බිම වැතිරෙන සිහින් සිනිඳු පොරෝනාවක් විලසිනි. සිත තිගැස්සෙයි. මම අක්බාර් බැම්මෙන් මෑත්ව අත බැඳි ඔරලෝසුවෙහි කටු අඳුරේම , අසීරුවෙන් සොයමි.

ඔහු සුරතින් ඔරලෝසු මුහුණත වසා අල්වා මදෙස බලයි . . මම වරක් බලා යලිත් ගඟ වෙත හැරෙමි. ගතවූ මොහොතට , සිතුවාට වඩා වේගයෙන් රෑ වී තිබෙයි.  ගඟ ගලනු නොපෙනෙන තරම්ය. ගඟට සහ රාත්‍රියට අයිතිවාසිකම් කියන්නාක් මෙන් , වවුලන් මුහුණ සමීපයෙන්ම පියාඹන්නේ 'ගෙදර පලයන්, දෑන් රෑ අයිති අපට!' කියා තරවටු කරන්නට මෙනි. මා මෙන් නොව , ඔහු මෙන් නොව , මහවැලි ඉවුරේ බට පඳුරු කොළ හැලී , උස ගොස් වියපත්ව තැන්පත්ව සිටිති. ඔහුත් මාත් හුවමාරු කොට ගන්නා ඇනුම් පද , කවි සහ කෙලි කවට කම් උපේක්ෂාවෙන් ඉවසා , නොදුටුවාක් මෙන් ගලන ගඟ සිය ගමන නොනවතයි.

දොලොස් මසකට පසුව දෑස් හමුවෙයි. මසිත දැඩි වෙයි. අනාරාධිතව එන යන දෙහිතකට නොමනාපවම මියෙන තුරු සිටිය නොහැකිද ?

 'නපුරු වෙලා මේකි' 

එක නෙත් හී බැල්මකින්  වෙඬරු මෙන් දියවී වැගිරුනු ඉපැරණි ගැහැණු සිතෙහි කෙටි කලෙකින් ඉදිව ඇති සවිමත් ප්‍රාකාරයට ඔහු ශාප කරනවා විය හැකිය.

දෑසෙහි දිලිසුම නොනවතියි. මමද එක එල්ලේ බලා සිටිමි. මඳක් සැලුනු හද යලිත් ප්‍රකෘති අන්ධකාරය වටහා ගන්නේය. . එහෙත් අන්ධකාර පෙම් තුර සෙවණෙහි , පරපුරක පෙම් සුසුම් විභවයක් ඇතුවාක් මෙන්ය. කල්ප ගණනාවක එක් තැන් වූ ආදර හැඟුම් ලියැවූ පෙම් වෘක්ෂයේ කුඩා සිදුරු අතරින් පෙරී එන ලා සඳ එලිය සම විනිවිද එන්නත් වෙයි.

'ශික්.. හරියට ඕලෙවල් පන්තිවල කොල්ලො කෙල්ලො වගේ' ඔහු මටත් ඔහුටත් සිනහසෙමින් දෑස් ඉවත හරවයි.

මගේ ලය මත නිසංසලේ මුහුණ හොවා සජීවී නිද්‍රාවකට පත්ව සිටින ඔහුගේ කෙටි හිසකෙස් පිරිමදිමින් මම ශාන්ත මනසින් නිහඬව සිටිමි. පෙම් තුරට මඳක් ඔබ්බෙන් ලා තැඹිලි එලියක් විහිදෙන ලාම්පු කණුව මගේ මතකයෙන් කිසිදා නොමැකෙයි. අක්බාර් පාලම දැන් නොපෙනෙයි. මම කල්පනාවෙන් තොර වෙමි.

එක්කෝ මග වැරදී අතරමංවූ , එක්කෝ සිය දීර්ඝශිශිර නිද්‍රාවෙන් පිබිදුනු කලාමැදිරියෙක්,  තනිව සරන්නට බියෙන්දෝ තණ ගොල්ලෙන් අඩියක් දෙකක් මෑත්ව , එලි නිවා ගෙන යලිත් තණ පඳුරු ගොන්නෙහි හිස ගසාගෙන සැඟව ගනියි. 

'මට බනින්න' ඔහු මගේ ගෙල වෙත ලංව  උණුසුම් දෙතොලින් කොඳුරයි.

කලකට ඉහත මේ පෙම් තුර යටදීම , ඔහුගේ උණුසුම් චුම්බනයකින් පවා අසීමිතව ස්නේහයෙන් මත් වූ මා නම් ගැහැණිය මෙහි හිඳී... එහෙත් මෙදා රැයෙහි සුපුරුදු අතු බඳෙහි හිඳගෙන ඈ , අම්මා කෙනෙකුගේ දයාවෙන් ඒ මඳ කෙඳිරියක් නගන සීතල මුහුණ පිරිමදිමින් , ලය මත නිදන නලලත සිප ගනියි.

කලක් අහිමිව තිබූ මනහර බෝනික්කෙකු අහුමුල්ලකින් යලිත් සොයා ගත් කුඩාවෙකුගේ ප්‍රහර්ශය , ජයග්‍රාහී සිනහව ඔහුගේ දෙතොලේ ඇඳී මැකී යද්දී  , අදිසි ලෝභයක් හදිසියේ පහළ වූ අයුරෙන් යලි යලිත් , තවමත් යලි යලිත් ගැහැණු  ගෙලත් නලලතත් දෙකොපුලත් අතොරක් නොමැතිව සිප ගනී. 

' කී පාරක් බැණුම් ඇහුවා කියලද? නේහ් ? ' 
අනේක වතාවක් ලිහිල් අත් මිටින් මිදී ගිය දඟකාර කිරිල්ලක යලිත් මිටින් ගුලි කොට ගෙන ලයට තද කොටගත් කුරුල්ලා උජාරුව මුසු ඔලොක්කුවකින් කොඳුරයි. 

සීතලෙන් ආතුර මා , සිය සුරතින් බඳට තුරුල් කොට ගෙන,  පොළොව බදා වැතිරුන රුක් මුල් මගහරිමින් , ඔහු නිහඬව පියමනියි. පෙම් තුරු හෙවනැල්ලෙහි අඳුර අවසන් වෙහි. ඉන් ඔබ්බෙහි , තැඹිලි පාට ලා එලි පිටවෙන පහන් කණුව හමුවන සීමාවෙහි,  අපි දෑත් පැටලුම් හැර එකිනෙකාට අයිති සීතලෙහි ගල් ගැසෙන්නෙමු .


රිය තුල උණුසුමින් නොසැලී ගල් වන මා සිත නොතකා , ඔහු අවසන් සිප ගැන්ම ඉල්ලා සිටී.

උදුම්බරා ... හිනැහෙනවා... 

සීතල රාත්‍රිය විනිවිදින තියුණු හී පහරක් වැනි ගී තනුවක් රිය තුල දෝංකාර වෙයි. අල්විස් පොකුණ වටරවුම පසු වෙයි. ඔහු වසරකට ඉහත මතක ආස්වාදනය කරමින් මා සුරත ගෙන ඔහුගේ ලයෙහි හොවා ගනියි.

'කලින් වාහනෙ වගෙ නෙවි , මේකෙ සීට් දෙක අතර දුරයි බට්ටි ' ඔහු කොඳුරයි .
 මම සිනහ වෙමි . දුර ! අතේ දුර !

 උඩපේරාදෙණිය හංදිය පසු වීමට ආසන්නය.

ජීවිතයේ ප්‍රථම වතාවට මම ඔහුගෙන් යමක් ඉල්වීමි. අතීත මතකයක ගැලෙන්නට මට හදිසි දරුණු උවමනාවක් මතුවෙයි. 
' උඩපේරාදෙණිය පැත්තෙ ගිහින් එමුද? '

ඔහු මුවෙහි ලොකු සිනහවක් නැගෙයි. වාහනය අතුරු පාරෙහි වන රජදහනට ඇදෙයි. ඒ අමරණීය හරිත වංගුව පසුවෙයි. රිය ඇදෙයි. මම නිහඬව අඳුර සහ තුරු හිස් අතර මතක ආවර්ජනය කරමි. රූස්ස තුරු පතර පමණක් පෙනෙන පාරාදීසය තුල ටී එම් ජයරත්න දෝංකාර හඬින් 'උදුම්බරා' ගයයි. ආලාපයක් විලසින් හද ඇතිල්ලී යන වයලීන තත් අතීත සීරුම් යලි පාරවයි. ආසන පරතරය නොතකා ඔහු රිය පදවමින්ම පපු තුරුලට මා ඇද ගනියි.

උදුම්බරා හිනැහෙනවා....  
ඉර අඳුරට හැංගෙනවා......
දස දහසක් සම් මස් ඇට .....
 ගිනි ගෙන රත් වුනු දවසක් , 
සැනසෙන එක හැන්දෑවක.. 

මම මහකන්දේ සීතල කපාගෙන 'උදුම්බරා' අසමින් මාරුතිය සරසවි සීමාවට වේගයෙන් පදවමින් සිටිමි. මේ වන්ම සීතල දෙසැම්බරයක දශකයකට පෙර ඇදී ගිය රියක සටහන් දැන් නොසෙවිය හැක්කේය. ඒ රියෙහි හිඳ සිටි රූබර තරුණියද දඟකාර කොලු ගැටයාද නාඳුනන්නන් වී කලක් ගෙවී ගොසිනි.  සිත්වින්දීත් නාරදත් සුව නිදි ලබන සීතල හවස් යාමයෙහි , සිත්වින්දීගේ අම්මා තැඹිලි පාට එලි විහිදන ලාම්පු කණුවක් අසල රිය නවතාගෙන , අමරණීය ප්‍රේම වෘක්ෂයෙන් සෙවණ වූ තණගොල්ලෙන් මතුව එන අහඹු කණාමැදිරි එලියක් සොයන්නීය...

2 comments:

  1. බොහොම ලස්සනයි...අවංකවම මම ඉතාමත්ම රසවින්දා....ඔබේ රචනාව තුල බොහොම හොද සංයමයක් වගේම...ඔබේම කියලා යම් අනන්‍යතාවක ලකුණුත් පේනවා...පේරාදෙණි සරසවි බිමේ ලස්සන චිත්ත රූපයක් මවා ගන්න...මේ කොටසම ප්‍රමාණවත්...

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් අපිට කමෙන්ට් කරන්න ලේසියි...පහසුයි...ඒ ගැනත් සිත යොමු වෙත්වා...ජය !

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් සටහන මම වගේම අනෙකුන්ගේ කියැවීමෙන් විනිර්මුක්ත යුගයක ඔබේ පැමිණීම බොහෝ සතුටට හේතු වුනා.

      පින් ! රසවින්දාට සතුටු වෙනවා.

      ප ලි : ඔන්න වර්ඩ් වෙරිෆිකේශන් හොයාගෙන අයින් කළා. මම හිතන්නේ දැන් අනෙක් අයත් අදහසක් ලියා තියා යාවි නේද?

      ආයිත් හමුවෙමු

      Delete