ශර්මා එයි, සිංග් නැත – Sharma arrives, No sign of singh

CHOGM sym

[පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා ඊයේ (නොවැම්බර් 9)දිවයිනට ලඟාවීමෙන් පසු,මෙරට ප්‍රමුඛ පෙලේ ජනමාධ්‍යයක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගැනිනි.]

ප්‍රශ්නය-ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර-හිරු නොබසින අධිරාජ්‍යයේ සාඩම්බර යටත් වැසියන් වශයෙන් ඇත්ත වශයෙන් ම අපි කාටත් සතුටු වෙන්න පුලුවන් අවස්ථාවක් මේක.කවදත් මුල අමතක නොකරන ලංකාව ශතවර්ෂ කීපයක් තමන් ගේ ස්වාමියා වෙලා හිටපු බ්‍රිතාන්‍යය යට කෘතගුණ දැක්වීම උදෙසා සංවිධානය කරන මෙම සමුලුව ලෝක රාජ්‍ය නායක සමුලු ඉතිහාසය උඩු යටිකුරු කල විප්ලවීය මොහොතක් ලෙස බය නැතිව මට ප්‍රකාශ කරන්න පුලුවන්.

ප්‍රශ්නය-ඇයි ඔබ එසේ කියන්නේ

පිළිතුර-එසේ කියන්නේ හේතු ඇතුව.බලන්න මේ උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ එහි ජනතාව ගේ කැපවීම.බලන්න මෙහි බුද්ධිමත් පාලකයන් මේ සමුලුව ගැන අධ්‍යයනය කිරීමට ම සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට සතියක අධ්‍යයන නිවාඩු පවා ලබාදෙන හැටි.බලන්න අගනුවර නගරසභාව තමන් ගේ බැංකු ගිණුමේ අන්තිම සතයත් වියදම් කරල නගරය ලස්සන කරන අපූරුව.බලන්න මේ සතියක විතර කාලයේ පිටින් එන රාජ්‍ය නායකයන් ගේ ගමන්බිමන් වලට පමණක් රුපියල් ලක්ෂ 1,600ක වියදමින් ලංකා රජය යොදවන අධි සුඛෝපභෝගී බෙන්ස් රථ.ඒ විතරක් ද අධිවේගී මාර්ග,නවීකරණය කළ ගුවන්තොටුපල,දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා,රාජ්‍ය නායක බිරින්දෑ වරුන් ගේ ගෙල පලදින වටිණා ආභරණ.සමුලුව වෙනුවෙන් ඔබරටේ කැපවීම අති විශිෂ්ඨයි.ඒ ගැන කතා දෙකක් නෑ.

ප්‍රශ්නය-ඔබ හිතනවද මේ පුංචි රට ලොවටම ආදර්ශයක් සපයනවා කියා?

පිළිතුර-පැහැදිලිවම.මා යෝජනා කරනවා ලෝකය ඒ ආදර්ශය ලංකාවෙන් ලබාගත යුතුයි කියල.ඒ වගේ ම  මම විශ්වාස කරනවා මීලඟට නිව්යෝර්ක් නුවර යූඑන් සමිට් එක පැවැත්වෙන විට හාර්වඩ් ඇතුලු සියලු විශ්ව විද්‍යාල වලට රජයෙන් නිවාඩු දෙයි කියල.ඒ වාගේ ම මම හිතනවා ජීනීවා වල පැවැත්වෙන සෑම වැදගත් සමුලුවකදීම ඒගැන අධ්‍යයනය කරන්න සූරික් ඇතුලු සියලු විශ්වවිද්‍යාල වලටත් ස්විස්ටර්ලන්තයේ රජය නිවාඩු ලබා දෙයි කියා

ප්‍රශ්නය-සමුලුව පිලිබඳ මේ රටේ ජනතාව ගේ කැපවීම ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර-රජයට මනා සහයෝගයක් රටේ ජනතාව ගෙන් ලැබෙනවා,එය විශිෂ්ටයි.මට දැනගන්න ලැබුණා මේ උත්සවය වෙනුවෙන් රඟන,ගයන පාසැල් දරුදැරියන් ඒ වෙනුවෙන් යන සියලුම වියදම් ස්වේචාවෙන් ම දරනවා කියල.ඒ තමන් ගේ අධ්‍යයන කාලයෙන් කරන කැපකිරීමට අමතරව වසර අවසාන වාරවි භාගය කට උඩ තියෙද්දිත්.ඒ වගේ ම අගනුවර ජනතාව සමුලුව වෙනුවෙන් තම ගෙවල් දොරවල් පිලිසකර කරල තීන්ත ගාගන්නේ තමන්ගේ ම වියදමින්.තමන් ගේ එදිනෙදා කාර්යයන් මදකට නතර කරලයි මේ එන රාජ්‍ය නායකයන්ට පාරතොටේ ඉඩ වෙන්කරල දෙන්නේ.මේ රටේ ජනතාව ගේ කැප කිරීම් ගැන එක් සුලු උදාහරණ කීපයක් පමණයි.

ප්‍රශ්නය-සමුලුවේ සංවිධාන කටයුතු ගැන ඔබේ අදහස් කොහොමද?

පිළිතුර-අනභිබවනීයයි.සමුලුවට සහභාගී වෙලා දේශන කරල ඒවා අහල අතට අත දීල,ද්විපාර්ශවික සාකච්චා පවත්වනවාට අමතරව මෙරට විසින් ආගන්තුක රාජ්‍ය නායකයන් වෙනුවෙන් ලබාදෙන අත්දැකීම් සුවිශාලයි.දක්ෂිණ අධිවේගී මාර්ගය,මත්තල ගුවන් තොටුපල,හම්බන්තොට වරාය,නෙලුම්පොකුණ මේවාගේ දෙවල් ඒ රාජ්‍ය නායකයන්ට දැක බලාගන්න ලැබීම මොනතරම් දෙයක්ද?එත් ඔබේ රටේ ජනතාවට ලැබෙන සමහර අමිල වරප්‍රසාද මේ රාජ්‍ය නායකයන්ට ලබානොදීම ගැන නම් මගේ එච්චර සතුටක් නෑ.

ප්‍රශ්නය-මොනවද ඒ වරප්‍රසාද?

පිළිතුර-අධිවේගී මාර්ගයේ පයින් ගමන්කිරීම වගේ වරප්‍රසාද.කමක් නෑ අපි ඒවා අමතක කරමු.මම හිතනවා ආගන්තුක රාජ්‍ය නායකයින් මෙය ඉවසා දරාගනී කියල.

ප්‍රශ්නය-සමුලුව වෙනුවෙන් රජයෙන් සැපයෙන ආරක්ෂාව ගැන ඔබතුමා සෑහීමකට පත් වෙනවාද?

පිළිතුර-මම අතිශයින් ම තෘප්තිමත්.රාජ්‍ය නායකයන්ට මැස්සෙක්ගෙන් වත් හිරිහැරයක් නොවෙන විදියට ආරක්ෂාව තරකොට ඇති බවට මට හොදටම විස්වාශයි.රජු ගේ ඇඟේ වසන මැස්සා කඩුවෙන් කොටල විනාශ කරන ආරක්ෂකයින් ඔබේ රටේ ඉන්න බව ලෝකයේම ප්‍රසිද්ධයි නේ.

ප්‍රශ්නය-එතකොට සෞඛ්‍ය පහසුකම්

පිළිතුර-ඉතාමත් ම හොදයි.මම සොයා බලපු විදියට පැය 24 ම ක්‍රියාත්මක ගිලන්රථ බලකායක්,ජාතික රෝහලේ සුඛෝපභෝගී වාට්ටු කීපයක්,දැඩි සත්කාර ඒකකය,සුවිශාල වෛද්‍ය කාර්යමණ්ඩලයක් රාජ්‍ය නායකයන් වෙනුවෙන් සූදානම්.මම ආරාධනා කරනවා ඒ නායකයන්ට හා අනෙක් සම්භාවනීය විදේශ අමුත්තන්ටත් ඒ අයගේ පවුල් වල උදවියටත් තමන්ට තියෙන අට අනූවක් ව්‍යාධි මේ ලැබුණ අමිල අවස්ථාවෙන් පල ලබා සුවකරගෙන යන්න කියල.අපි අමතක කරන්න හොදනෑ සචින් තෙන්දුල්කාර්ට වෙදකම් කළ විස්මිත වයිට් වෙදැදුරා පවා ඉන්නේ මෙ රටේ කියල.

ප්‍රශ්නය-කෙසේ නමුත් මේ සමුලුව සඳහා රැජිණ සහභාගී වන්නේ නෑ නේද?

පිළිතුර-ඇත්ත රැජිණ සහභාගී වන්නෙ නෑ තමයි.එත් රැජිණ දැන් යල්පැන ගිය චරිතයක්.ඒ වෙනුවට චාර්ල්ස් කුමාරයා එන්නේ.නමුත් මටත් පොඩි කණගාටුවක් තියෙනවා විලියම්,කේටී සහ චූටි බබා ජෝර්ජ් මෙරටට නොඑන එක ගැන තමන්ගේ අතීත උරුමයක් දැක බලා ගෙන ආශ්චර්ය විඳල යන්න.

ප්‍රශ්නය-පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුලුව හෙට(නොවැම්බර් 10) ඇරඹෙනවා.මේ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර-ඇත්තටම මේක ඉතා සුවිශේෂී අවස්ථාවක්.අනික් තරුණ සම්මේලන වගේ නෙවෙයි මේ “තරුණ සම්මේලනය”නියෝජනය කරන්නේ 60%ක් ම “තරුණයින්”.තරුණයින් තමයි ලොකයේ හෙට දිනය.මම හුගක් ම සතුටු වන්නේ ඒකයි ඒ ගැන.ඒ වාගේ ම සතුටු වෙන්න පුලුවන් කාරණයක් තමයි මේ “රාජ්‍ය නායක සමුලුව”ට ත් සහභාගී වන්නේ 60%ටත් වඩා “රාජ්‍ය නායකයින්”.මොන තරම් ශ්‍රේෂ්ඨද?

ප්‍රශ්නය-හොදයි තිස් වසරක යුද්ධයෙන් පසුව අද අපේ රට පිලිබද ඔබේ අදහස කුමක්ද?

පිළිතුර-මම හිතනවා ඔබේ රට දැන් නියම මාර්ගයේ ගමන් කරනවා කියලා.ජනගහණයෙන් ලක්ෂ 3කට එක් කැබිනට් ඇමතිවරයෙක් ගණනේ සිටින ඔබේ රට නොබෝ දිනකින් ම ලෝකයේ ම ආශ්චර්ය රාජ්‍යය බවට පත්වනවාට මට කිසිම සැකයක් නෑ.බොහෝ විට මේ සමුලුවෙන් පසු ඔබ රට ඒ ජයග්‍රහණය ලබා ගනීවි.

ප්‍රශ්නය-අවසාන වශයෙන් අපට කියන්න සමහර රටවල්,සමහර නායකයින් මේ සමුලුව වර්ජනය කිරීම ගැන ඔබතුමා ගේ අදහස කුමක්ද කියලා?

පිළිතුර-මම හිතන්නේ අපි ඒ ගැන එච්චරම සැලකිලිමත් විය යුතු නෑ කියලයි.හැමදාම කසිකබල් ඉන්දියන් කාර් එකක එහේ මෙහේ යන මන්මෝහන් මහත්තයට සතියකට වත් බෙන්ස් එකක යන්න පින නෑ කියල තමයි කියන්න තියෙන්නේ.

Compair car

(නම්-ගම්,සිදුවීම්,ස්ථාන සියල්ල කතුවරයා ගේ සිතේ මැවුණු හුදු කල්පිතයන් ම පමණක් බව කරුණාවෙන් සලකන්න.)

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 10/11/2013, in කාලීන, ප්‍රබන්ධ. Bookmark the permalink. 3 Comments.

  1. පට්ටෙ හොඳම එක…

  2. නියමයි ජයශ්‍රී!!

  3. @මාතලන්,අරූ ස්තුතියි!

ඔබේ අදහස් දහස් වටී ....................