වෘත්තීය මාර්ගෝපදේශනය – වාණිජ්‍ය හා ව්‍යාපාර කළමනාකරනය – (Commerce & Business Management)


Posted on November 2, 2013  /  0 Comments

(මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා http://www.educationforum.lk/higher-education/බලන්න.)

 

වාණිජ්‍යය හෙවත් Commerce  යනු පොදුවේ වාණිජ කටයුතු හෝ වෙළඳාම පිලිබඳව විෂයක් සේ හැදෑරීමයි. ගණකාධිකරණය (Accounting), මූල්‍ය කලයුතු (Finance), මානව සම්පත් කළමනාකරනය (Human Resource Management) සහ අලෙවිකරණය (Marketing) වශයෙන් වාණිජ්‍යය විෂය ප්‍රධාන අනු-විෂය ධාරා හතරකට බෙදේ. ව්‍යාපාර පරිපාලනය (Business Administration)  යනු පොදුවේ මේ අංශ සියල්ල පිලිබඳ යම් දැනුමක් ලබා දෙමින් ව්‍යාපාරයක් හැසිරවීම හෝ  ව්‍යාපාරයක් තුල යම් කාර්යභාරයක් ඉටු කිරීම සදහා නිපුණතා  ලබාදෙන ප්‍රධාන අනු-විෂයකි.  කාර්යෝපාය (Logistics), සැපයුම් සහ ප්‍රසම්පාදනය (Supplies and Procurement)  වාණිජ්‍යය ක්ෂේත්‍රයේ තවත් අනු-විෂයන් දෙකකි.

වාණිජ්‍යය  හෝ ව්‍යාපාර පරිපාලනය හැදෑරීම සදහා වෘත්තීය මාර්ගයක් හෝ  උපාධි මාර්ගයක් හෝ ඒ දෙකේ සංකලනයක් යොදා ගැනීම තුලින් පහල සිට ජ්‍යෙෂ්ඨ විධායක තනතුරු දක්වා ඉහලට යාමේ අවස්ථා තිබේ.

වෘත්තීමය මග  (Professional Path)

 කාලයක සිටම ලංකාවේ විධිමත් කළමනාකරන අධ්‍යාපනයක් වෘත්තීය මාර්ගයක් ලෙස සැපයුනේ බ්‍රිතාන්‍ය ආයතනයක් වන කළමනාකරන ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනය (CIMA) මගිනි. මෑතකදී   පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරන ගණකාධිකාරිවරුන්ගේ නමින් ආයතනයක්ද (CMA  හෝ ICMASL) කරලියට පැමිණ ඇත.

ඊට අමතරව ගණකාධිකරණය, මූල්‍ය කලයුතු, මානව සම්පත් කළමනාකරනය සහ අලෙවිකරණය යන අනු විෂයන් සදහා වෙන්වූ වෘත්තීමය ආයතනද ඇත. මෙම ලිපියේ අප විසින් අවධාරණය කරන්නේ ගණකාධිකරණය හා සම්බන්ධ    ICASL සහ  ACCA, UK  යන ආයතන පමණකි. මූල්‍ය කටයුතු පිලිබඳ වෘත්තික ආයතන  මීට පෙර පලවූ බැංකු හා මූල්‍ය කටයුතු ලිපියේ විස්තර කර ඇත.  මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණය පිළිබද  වෘත්තීමය ආයතන පිලිබඳ ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු.

වරලත් ආයතනයක  සාමාජිකත්වය ලබා ගැනීම වෘත්තීමය මාර්ගයේ සන්ධිස්ථානයකි. ඒ සදහා අදාළ විභාගයන් සමත්වීමට අමතරව වෘත්තියේ පළපුරුද්ද හා වෙනත්  අදාළ වෘත්තීමය ආයතනය විසින් අපේක්ෂිත සුදුසුකම් සපුරන ලද යුතුය. අවශ්‍ය විභාග සාර්ථකව සමත් වූ කෙනෙකු සාමාන්‍යයෙන් “Passed Finalist”  නමින් හඳුන්වනු ලබයි.

උපාධි  මග (Academic Path  or Degree Path)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුලත්වීමේ අවස්ථාව අහිමිවන සිසුවෙකුට උපාධි පාඨමාලාවක් හැදෑරීමට සඳහා විකල්ප අවස්ථා රැසක් දැන් ශ්‍රී ලංකාව තුල තිබේ.  ව්‍යාපාර කළමනාකරනය පිළිබඳ ජාතික ආයතනය (NIBM) හෝ විවෘත විශ්ව විද්‍යාලය වැනි රජයට අයත් ආයතනයක් මේ සඳහා තෝරාගත හැකිය.  එසේත් නොමැති නම් දිවයින තුල දැනට ක්‍රියාත්මක වන 20 අධික පෞද්ගලික ආයතන හරහා විදේශීය විශ්ව විද්‍යාලයකින් වාණිජ විද්‍යා උපාධියක් ලබාගැනීමේ අවස්ථාව  ද පවතී. සම්පූර්ණ පාඨමාලාවක් සඳහා සාමාන්‍යයෙන් ලක්ෂ 5 -10 අතර මුදලක් වැයවන බව පෙනේ.   ගතවන කාලය වසර 3-4 ත් අතරය.  ඔබට දැරිය හැකි මුදලකට පාඨමාලා ලබාදෙන ආයතන කිහිපයක් තෝරාගනිමින් සංසන්දනාත්මක ඇගයීමකින් පසු ඔබට සුදුසු ආයතනයක් තෝරා ගත හැක.

උපාධියද? වරලත් සහතිකයද?

පාසැල් අධ්‍යාපනය නිමකරන සිසුවෙකුට වාණිජ්‍යය පිලිබඳ සාමාන්‍ය අධ්‍යාපනයකින් පටන් ගෙන  තමන් විසින් විශේෂිත දැනුමක් ලබාගත යුතු‍වන්නේ කවර අනු-විෂයකින්ද යන්න පසුව තීරණය කිරීමේ අවස්ථාව උපාධි පාඨමාලාවකින් සලසා දෙනු ලබයි. තමන් ප්‍රිය කරන  අනු-විෂයය ගණකාධිකරණය, මුල්‍ය කටයුතු , මානව සම්පත් කළමනාකරනය හෝ  අලෙවිකරණයද යන්න  දෙවන වසරේදී හෝ ඉන්පසුව තීරණය කළහැකිය.

තමන් ප්‍රිය කරන  වාණිජ්‍ය විෂයය පිලිබඳ පැහැදිලි අවබොධයක් ඇති අයෙකුට අදාළ වෘත්තීමය ආයතනය හා ලියාපදිංචි වී  විභාග වලට සූදානම් විය හැක.  ගණකාධිකරණය සදහා CA, මුල්‍ය කටයුතු , මානව සම්පත් කළමනාකරනය හෝ  අලෙවිකරණයද ICASL, CMASL සහ SLIM වැනි වාණිජ විද්‍යා ධාරාවට සම්බන්ධ විෂයන්ට අදාල දේශීය වෘත්තීය ආයතන ඇත.  මේ සියල්ලකටම, ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුකූලව පාර්ළිමේන්තු පනතක් හරහා නීතිමය වලංගුභාවය ලබාදී තිබේ.  ACCA, CIMA සහ CIM වැනි බ්‍රිතාන්‍ය ආයතන බ්‍රිතාන්‍ය නීතියට අනුකූලව ස්ථාපනය කරනු ලැබ ඇත.  මේ කිසියම් වෘත්තීය ආයතනයක් සමග ඔබ ලියාපදිංචි වන්නේ නම් එම ආයතනයෙන් මෙහෙයවනු ලබන පාඨමාලාව පසුගිය වසර තුල සම්පූර්ණයෙන් නිමාකර passed finalist  තත්වය  අත්කරගත් ශිෂ්‍ය ප්‍රතිශතය විමසා දැනගැනීම ඔබේ තීරණය වඩාත් සාර්ථක කරගැනීම පිණිස උපකාරවනු ඇත.

ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවාද?

කිසියම් විෂයයක් දීර්ඝ වශයෙන් හැදෑරීමට පෙර තමන් තුල එයට පවතින කැමැත්ත සහ හැකියාව පිළබඳව තීරණයක් ගැනීමට ඩිප්ලෝමා පාඨමාලාවක් මහෝපකාරී වේ.  නමුත්, ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භකිරීමට පෙර, එය නිමකිරීමෙන් පසුව රැකියාවක් ලබාගැනීමේ හැකියාව මෙන්ම වැඩිදුර අධ්‍යාපනය සඳහා එම ඩිප්ලෝමාව සුදුසුකමක් ලෙස ගැනෙන්නේ ද යන්න ඒ ඒ ආයතනයෙන් විමසා දැනගැනීම වැදගත්ය.  නැතහොත් ඒ සඳහා වැයකරන ඔබේ කාලය සහ මුදල් අපතේ යාමට ඉඩ තිබේ.    

උසස් පෙළ සුදුසුකම් අත්‍යවශ්‍යද?

උසස් පෙළ සුදුසුකම් නොමැතිව සාමාන්‍ය පෙළ පමණක් සමත්වීමෙන් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන් සූදානම් කරන ‘පදනම් පාඨමාලා’ සියළුම පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලින්ම පාහේ ක්‍රියාත්මක කරනු ලබයි.  එවැනි මාර්ගයක් තෝරා  ගැනීමට පෙර  දෙමාපියන් විසින් තම දරුවාට ස්වාධීනව ඉගෙන ගැනීමට අවශ්‍ය පරිණත බව තිබේද මෙන්ම තෝරාගත් අධ්‍යාපන  ආයතනවලින් එවැනි සිසුවකුට අවශ්‍යය වටපිටාව ලබා දේද   විමසා  තීරණයක් ගැනීම නුවණට හුරුය.

ඔබ තෝරාගන්නා පාඨමාලාව කුමක් වුවත් ඔබේ ජයග්‍රහණය රඳා පවතින ප්‍රධානතම කරුණ නම් ඔබ ලබාගන්නා සුදුසුකම් යොදාගනිමින් තමන් සඳහා වෘත්තියක් ගොඩනගා ගැනීමට ඔබ විසින්ම දරන ප්‍රයත්නයයි.

සැපයුමට ඉල්ලුමක් තිබේද?

උදාහරණයක් වශයෙන් 2010/2011 වර්ෂය ගෙන බලමු.  මේ කාලය තුල රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුලින් වාණිජ විද්‍යා උපාධිධාරීන් 2679 ක් බිහිකොට තිබේ. එමෙන්ම NIBM වැනි රජයේ වෙනත් ආයතනවලින් බිහිකොට ඇති උපාධි ඇතියවුන් සංඛ්‍යාව 143 කි.  පෞද්ගලික ආයතන හරහා උපාධිලත් 867 ක්ම වාණිජ විද්‍යාවට සම්බන්ධ විෂයයන් ඇතුලත් උපාධි ලැබූහ. ඒ අනුව මෑතකදී මෙරට වර්ෂයකට වානිජ්‍ය උපාධිධාරීන් 3689 ක් පිට වී ඇත. (විදේශ රටවලදී වාණිජ්‍යය උපාධි ලබා මෙරටට පැමිණෙන උපාධිධාරීන් සංඛ්‍යාව පිළබඳව දත්ත අපට ලබා ගැනීමට නොහැකි විය.) උපාධි සම වෘත්තීමය සුදුසුකම් සේ සැලකෙන  passed finalist  තත්වය ලැබූ අයවලුන්ද සැලකීමට ගත් කල වර්ෂයට ලංකාවේ වාණිජ විද්‍යාවට සම්බන්ධ උපාධි හෝ උපාධි-සම සුදුසුකම් ඇතියවුන් 5000 කට ආසන්න සංඛ්‍යාවක් බිහි වේ.

මෙරට ප්‍රධාන පුවත්පත්වල පළවූ දැන්වීම් යොදාගනිමින් ලර්න්ඒෂියා ආයතනය විසින් කරන ලද පර්යේෂණයකදී පෙනී ගියේ 2012 වර්ෂය තුලදී පමණක් වාණිජ විද්‍යා උපාධියක් හෝ වෘත්තීය සුදුසුකමක් අවශ්‍යවන රැකියා ඇබෑර්තු 5000 ක් පමණ පළකර තිබූ බවයි. සුදුසකම් ඇති අයගේ සැපයුමට සරිලන ඉල්ලුමක් ඇති බව මෙම සංඛ්‍යා වලින් පෙනුනත් රැකියා ඇබෑර්තු  වලින්  සියයට 75% කට පමණ කිසියම් ආකාරයක පළපුරුද්දක් ඉල්ලා තිබෙන බව මතක තබා ගත යුතුය.

මෙහිදී, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ පෞද්ගලික  ආයතනයක මානව සම්පත් කළමනාකරුවකු විසින් වරක් පවසන ලද දෙයක්ද මතක් තබා ගැනීම වැදගත්ය.  “ ඔබේ සුදුසුකම් ඔබව සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමට ප්‍රමාණවත් වුවත් ඔබ දක්ෂයකු බව ඔප්පු බවන්නේ ඔබේ කාර්යසාධනයෙනි.”

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*