වෘත්තීය මාර්ගෝපදේශනය – ජීව සහ භෞතික විද්‍යා (Bio & Physical Sciences)


Posted on October 31, 2013  /  0 Comments

(මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් (comment) ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා http://www.educationforum.lk/higher-education/බලන්න.)

විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සීටීමෙන් අනතුරුව රජයේ විශ්ව විද්‍යාලයට වරම් නොලැබුනුහොත් විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමේ වෙනත් අවස්ථාවන් මෑතක් වනතුරුම ශ්‍රී ලංකාව තුල පැවතියේ නැත. මෑතකදී සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍යයන් ඇතුළු කර ගැනීමේ පටිපාටියට බාහිරව ක්‍රියාත්මක වන විකල්ප අවස්ථා ඇතිවෙමින් පවතී.

සුදුසුකම් ලබා ගැනීමේ විකල්ප මාර්ග මොනවාද?

රසායන විද්‍යාඥයින්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද ලංකා රසායන විද්‍යා ආයතනය (Ceylon Institute of Chemistry) විසින් ප්‍රධානය කෙරෙන රසායන විද්‍යා ග්‍රැජුවේට්ෂිප් (Graduateship in Chemistry) සුදුසුකම මේ තත්වය වෙනස් කළේය.  දැනට කොලේජ් ඔෆ් කෙමිකල් සයන්සස් (College of Chemical Sciences) නමින් නවීකරණය කෙරෙන ලද එම ආයතනය මැදිහත්ව පිරිනැමෙන මෙම ග්‍රැජුවේට්ෂිප් සුදුසු කම උපාධි-සම රසායන විද්‍යා වෘත්තීය සුදුසුකමක්  ලෙස පුළුල්ව පිළිගැනේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් තොරව ඇතුලත්වීම් සිදුකරන රාජ්‍ය ආයතන කිහිපයක්ද උසස් පෙළ විද්‍යා අංශ සමතුන් සඳහා දැන් අවස්ථාව සලසයි.  ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු, තාක්ෂණ මෙන්ම ප්‍රධාන ජීව විද්‍යා විෂයයන් සියල්ලම සඳහා පාහේ උපාධි වැඩසටහන් ක්‍රියාත්මකය.  සමුද්‍ර විශ්ව විද්‍යාලය (Ocean University) ද විද්‍යා විෂයයන් හැදෑරූ සිසුන් සඳහා විවෘතව ඇති තවත් රාජ්‍ය ආයතනයකි.  නාවුක ඉංජිනේරු ශිල්පය ඇතුළුව සමුදුරට අදාල තවත් විද්‍යාවන් කිහිපයක් සම්බන්ධ උපාධි සමුද්‍ර විශ්ව විද්‍යාලය මගින් මෙහෙයවනු ලබයි.  මේ ආයතන දෙකම පාඨමාලා සඳහා සුළු හෝ ගාස්තුවක් අයකරණු ලැබේ.  උසස් පෙළ ගණිත සිසුන් සඳහා තවත් අවස්ථාවක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේ පවතින Institute of Surveying and Mapping හෝ මිනින්දෝරු සහ සිතියම් ආයතනයේ පවතී.  දියතලාවේ පිහිටි මෙම ආයතනය මිනින්දෝරු විද්‍යාවන් සම්බන්ධ උපාධි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ මිනින්දෝරු දෙපාර්මේන්තුවට බඳවා ගත් අයට පමණි.

විදේශ විශ්ව විද්‍යාලවලින් උපාධි පිරිනමන පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන රාශියක් මෑතකදී බිහිවී ඇතත් ඒවා අතුරින් ජීව සහ භෞතික විද්‍යා අංශයන්හි උපාධි පිරිනමන ආයතනවල අඩුවක් දක්නට ලැබේ. විද්‍යා අංශයෙන් වුවත් පෞද්ගලික ආයතන වැඩි නැඹුරුතාවක් දක්වන්නේ ජීව විද්‍යා විෂයයන්ට අදාල උපාධි කෙරෙහිය.

විද්‍යා උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබාදෙන තවත් ආයතන 3 ක් මෑතකදී ක්ෂේත්‍රයට අවතීර්ණව ඇති හෙයින් විද්‍යා පාඨමාලා හැදෑරීමේ විකල්ප අවස්ථාවන් තරමක් පුළුල්වී තිබේ.  භෞතික විද්‍යා, ගණිත හෝ සංඛ්‍යානන උපාධි කෙරෙහි අවධානයක් දක්වා නොමැති බව පෙනෙතත් , මධ්‍ය මට්ටමේ සංඛ්‍යානනය පාඨමාලා කිහිපයක් පවතින බව පෙනෙන හෙයින් එම විෂයය පිළිබඳව සැලකිල්ලක් දක්වන සිසුන්ට එම ආයතනවලින් විමසුම් කළ හැකිය.

ජීව, ජීව වෛද්‍ය, ජීව තාක්ෂණ සහ වෝහාරික (Forensic) වැනි විෂයයන් සම්බන්ධ විදේශීය ඩිප්ලෝමා පාඨමාලා ප්‍රකට ආයතන කිහිපයක් විසින් මෙහෙයවනු ලබයි. මීට අමතරව වෛද්‍ය රසායනාගාර තාක්ෂණය (Medical Laboratory Technology) හා සංඛ්‍යානනය සදහාද ඩිප්ලෝමා අවස්ථා පවතී.  රසායනාගාර තාක්ෂණිකයන් පුහුණු කරන ආයතනයන් අතුරින් ජාතික සෞඛ්‍යය ආයතනය ප්‍රධාන තැනක් ගනී. අනෙකුත් ආයතන පහක් මගින්ද මේ සුදුසුකම ප්‍රධානය කරතත් ඒවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (Sri Lanka Medical Council) අනුමැතිය ලබා ඇති බවට සහතික කර ගැනීම ඔබගේ වගකීමයි. මේ කවර ඩිප්ලෝමාවක් හෝ ආරම්භ කිරීමට පෙර එම ආයතනයෙන් සුදුසුකම් ලැබූ සිසුන් රැකියා ලබාගැනීමේදී අත්කරගෙන ඇති සාර්ථකත්වය සොයාබැලීම මෙන්ම ක්ෂේත්‍රයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා එම ඩිප්ලෝමාව යොදාගත හැකිදැයි එම ආයතනවලින් අසා දැනගැනීම අතිශයින් වැදගත්ය.

වෘත්තීය මාර්ග මොනවාද?

විද්‍යා අංශයෙන් උපාධියක් හැදෑරීමෙන් පසුව පවතින වෘත්තීය අවස්ථා සීමා සහිතයයි නොසිතිය යුතුය. තමන් හදාරන ඩිප්ලෝමාවේ හෝ උපාධියේ විෂයයට අනුව තෝරාගත හැකි අංශ විශාල සංඛ්යාිවක් තිබේ. තනතුරු සිංහලෙන් ලිවීමේදී ඇතිවිය හැකි වැරදි වලකාගැනීම උදෙසා මේ වෘත්තීන්ගේ නම් ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කළහොත් ඒ වෘත්තීන් නම් Biostatistician, Biotechnologist, Microbiologist, Biomedical Engineer, Genetic Engineer, Pharmacologist, Ecologist, Chemical Analyst, Researcher, Educator, Technical Writers හා Science Journalist ආදිය වේ.

විද්‍යාඥයන්

දියුණු වන රටක් හැටියට ලංකාවේ විද්‍යා හා තාක්ෂණ උසස් සුදුසුකම් අවශ්‍ය වන රැකියා දැනට යම් තරමකට සීමිත වුවත්  විශාල පරිමාණයෙන් අපනයන සිදුකරන කර්මාන්ත ඉදිරියේදී විද්‍යාව සහ තාක්ෂණය වැඩි වැඩියෙන් යොදාගැනීම විද්‍යාඥයන්ට රැකියා අවස්ථා වැඩි වීමට හේතු සාධක විය හැක. CIC Agri business ව්‍යාපාරය මෙහිදී දැක්විය හැකි හොඳම උදාහරණයකි. එහි කළමනාකාර අධ්‍යක්ෂ කීර්ති කොටගම මහතා පවසන අන්දමට දැනට එම  සමාගමේ සේවා නියුක්තිකයින්ගෙන් සියයට 80 ක් පමණ සංඛ්‍යාවක් විද්‍යා උපාධිධාරීන්ය. කොටගම මහතාද කෘෂිකර්ම උපාධියක් ඇතුව සමාගමට පුහුණු විද්‍යාඥයකු ලෙස බැදුණු කෙනෙකි. සමාගම ඇතුලේම තම හැකියාවන් දියුණු කරගෙන ඵලදායී ලෙස තම සේවය කිරීම තුලින් අද ඔහු එම සමාගමේ ඉහලම හිනි පෙත්තට නැග ඇත.

විද්‍යාව හා තාක්ෂණය මත යැපෙන කුඩා සමාගම් ද රටතුල බිහිවෙමින් පවතී. අභාවප්‍රාප්ත දොස්තර මායා ගුණසේකර මහත්මිය විසින් අරඹන ලද Genetech ජීව තාක්ෂණික ආයතනය මෙහිදී උදාහරණ කොට දැක්විය හැක.  ශ්‍රී ලංකාවේ වෝහාරික කටයුතුවලදී සේම රෝග නිශ්චය කටයුතුවලදී හා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල කාර්ය වලදී  යෙදෙන  DNA පරීක්ෂණ සම්බන්ධයෙන් පුරෝගාමියා ලෙස එම ආයතනය දැනට කටයුතු කරයි.  ඔවුන්ගේ කාර්යමඩුල්ල තුල විද්‍යා උපාධිධාරීන් විසි දෙදෙනෙක් සේවය කරති.

දක්ෂ විද්‍යාඥයන්ට ගෝලීය රැකියා වෙළද පොළ සෑම විටම විවෘතය. ෆාතිමා මයිසූර් විශ්ව විද්‍යාලයෙන් පිරිනැමෙන උපාධියක් ලබා ගත්තේ ලංකාවේ පුද්ගලික ආයතනයක් හරහාය. එම ආයතනයේ අනුග්‍රහය ඇතිව එක්සත් රාජධානියේ පර්යේෂණ ආයතනයක  පර්යේෂක ධූරයක් ලබා ගත් ඇය තම වෘත්තීය ගැන මෙසේ කියයි:

“කුඩා කල සිටම ජීව විද්‍යාවට මම ආසා කලා. පෘථිවියේ දියුණුම සත්වයා මනුෂ්‍යයා කියා අපි සිතුවත් ඇසට නොපෙනන ශුද්‍ර ජීවීන්ගෙන් බෝවන ලෙඩ වලින් බැට කන මනුෂ්‍ය වර්ගයාට යම් සේවයක් කිරීම සදහා ශුද්‍ර ජීව විද්‍යාව හොදම මාර්ගයක් යයි මට සිතුනා. වෛද්‍ය පර්යේෂණ සදහා වූ නෝත්වික්  පාක් ආයතනයේ මා වැඩ කරන පර්යේෂණ කණ්ඩායමේ ඉලක්කය එක් විශේෂිත බැක්ටීරියාවක් ක්ෂණිකව හදුනාගැනීම තුලින් වෛද්‍යවරයකුගේ  ප්‍රතිකාර්යය ක්‍රියාව වඩාත් කඩිනමින් කිරීමට උදවු වන තාක්ෂණය සොයා ගැනීමයි. මම ඉතා ආසාවෙන් අපේ කණ්ඩායම සමග එම පර්යේෂණ කටයුතු වල නියැදෙනවා.”

විද්‍යා තාක්ෂණිකයන් (Technologists)

වෛද්‍ය රසායනාගාරය තාක්ෂණය (Medical laboratory technology)සෞඛ්‍ය අංශයේ ඉහළ ඉල්ලුමක් පවතින විද්‍යා තාක්ෂණික රැකියාවකි.  මේ සඳහා අවශ්‍ය සුදුසුකම ඩිප්ලෝමා පාඨමාලාවකින් සපයා ගතහැකිය. රජයේ රෝහල්වලට සහ වෙනත් රාජ්‍ය ආයතනවලට වෛද්‍ය රසායනාගාර තාක්ෂණිකයින් බඳවාගැනීමේ මූලික පුහුණු කටයුතු සිදුවනුයේ කළුතර පිහිටි ජාතික සෞඛ්‍ය ආයතනය සහ වෙනත් පුද්ගලික ආයතන කිහිපයක් මගිනි.

කළමනාකරුවන් (Managers)

උපාධිය ලබාගැනීමෙන් අනතුරුව විද්‍යා ක්ෂේත්‍රයේම නොවන ආධුනික කළමනාකරණ තනතුරු සදහා විද්‍යා උපාධිධාරීන්ට අවස්ථාව ලැබේ. සමහර විට විද්‍යාඥයන් ලෙස රැකියාව ආරම්භ කරත්, MBA, CIMA  වැනි කළමනාකරණ සුදුසු  කම් ලබා ඉහලට යන විද්‍යා උපාධිධාරීන්ද ඇත. උපාධිය පිරිනමන විශ්ව විද්‍යාලය පෞද්ගලික හෝ විදේශීය එකක් වුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද එකක් නම් රජයේ රැකියාවක් තුලින් ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයට හෝ Sri Lanka scientific Service සදහා  ඇතුලත්වීමේ හැකියාව ද පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*