Monday, October 28, 2013

පොදු රාජ්‍ය මණ්ඩලය, සිංහල ජාතිය හා පරගැතිබවේ අභිමානය


   2013 පොදු රාජ්‍ය මණ්ඩල සැසි වාරය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙය රටවල් කිහිපයක නායකයින්ගේ රැස්වීමකි.  දින කිහිපයක රැස්වීමක් වුවද මාස කිහිපයක් පුරාවට  සැනකෙළි ආශ්වාදයක් ලබා දීම පිළිබඳව පළමුව  වගකිව යුතු පුද්ගලයන්ට ස්තූතිය පුද කරන්නෙමු. අපට මෙම උත්කර්ෂවත් අවස්ථාව හිමිවන්නේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති නිසාය. කිසියම් හේතුවක් නිසා 1796දී සුද්දා ලංකාවට නොපැමිණියේනම්, 1818 කැරල්ල සුද්දා පැරදුණානම්, 1848 සටනින් ගොංගාලේගොඩ බණ්ඩා දිනුව නම්  අද අපට මේ අභිමානවත් අවස්ථාව අහිමි වන්නට ඉඩ තිබිණ. භාග වෙලාවට සුද්දා අපිව යටත් කරගත්තු එකේ වාසියක් නැත්තෙම නැහැ කියන්නත් අවස්ථාවක් මේ නිසාම සිංහලයාට අද ලැබෙනවා.

    බ්‍රිත්‍රාන්‍ය කිරීටය අමරණීය කිරීමට සුද්දා හදාගත්තු ජාත්‍යන්තර සංවිධානය තමයි මේ පොදු රාජ්‍ය මණ්ඩලය. නමේ මුලට පොදු කියල දාගත්තට මේක සුදු ජාතිකයන් වෙනුවෙන්ම බිහිවූ සංවිධානයක්. බ්‍රිතාන්‍ය ලෝකය ආක්‍රමණය කරන්න පටන්ගත්තෙ පෘතුග්‍රීසි කාරයට පස්සේ වුනාට ඔව්න් ඉතා ඉක්මනින් යටත් විජිත හදාගත්තා. ඒ අතරින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව කියන රටවල් ඉතා පහසුවෙන් යටත් වුනා. ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළද සමාගම හරහා අධික ලාභ ලබන අතරම තම නියෝජිතයන් විසින් සිදුකරන පාලන ක්‍රමයක්ද මෙම රටවල් තුල ගොඩ නැගුනා. එංගලන්ත ජාතිකයන් මේ රටවල් වල පැල පදියම් වී ඔව්න්ගේ පරපුර ව්‍යාප්ත කලා. එංගලන්තය නිජ භූමිය කරගත් ඉංග්‍රීසි ජාතිකයන්ට අයත් රටවල් එකට ඈදා තබාගන්න ඔව්න් 1867දී පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භකරනවා. (අදටත් මේ රටවල් ඔව්න්ගේ නායකයා විදියට සලකන්නේ එංගලන්තයේ රැජිනයි.) දෙවන ලෝක යුද්ධයෙන් පසුව තව දුරටත් යටත්විජිත තබාගැනීමට නොහැකි තත්වයකට ඔව්න් පත් වෙනවා. එම රටවලින් ඉවත් වීමට ඔව්න්ට බල කෙරෙනවා. මේ තත්වය තුල තම අධිරාජ්‍ය තව දුරටත් පවත්වාගැනීම සඳහා යොදාගත් එක් උපක්‍රමයක් වන්නේ නිදහස ලබා දෙන රාජ්‍යයන් පොදු රාජ්‍ය මණ්ඩලයට එකතු කර ගැනිමයි. ඒ හරහා බ්‍රිත්‍රාන්‍ය කිරීටයට එම රාජ්‍යයන්ගේ අවනත භාවය වක්‍රාකාරයෙන් ලබාගත හැකි බැවිනි. ඉහත කාරණය සත්‍ය බව පෙන්වීමට උදාහරණ අනවශ්‍ය වනුයේ ලංකා රජය විසින් විශාල වෙහෙසක් දරා සිදු කරන 2013 පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේ පූර්ව ප්‍රචාරක කටයුතු දෙස බැලූ විට එම තත්වය සරළව වටහා ගත හැකි බැවිනි.

  තවමත් ජාතියක් වශයෙන් සිංහලයන් ලංකාව තුල සංවිධානාත්මකව සිටිනවා යැයි මා විස්වාස කරමි. තමන් සිංහල යැයි කියාගන්නා මිනිසුන් පොදු රාජ්‍ය මණ්ඩලයේ අභිමානය ගැන උදම් අනන්නේ මහත් උජාරුවෙනි. පසුගිය දිනෙක ගුවන් විදුලි නිවේදිකාවක් පැවසුවේ බ්‍රිත්‍රාන්‍ය යේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ලංකාවට පැමිණෙන බැවින් එතුමාට මුළු රටේම ප්‍රණාමය හිමිවිය යුතු බවයි. සිංහල ශිෂ්ඨාචාරය ම්ලේච්ඡ ලෙස වනසා දැමූ අධිරාජ්‍යවාදීන් ඉදිරියේ මෙයාකරයෙන් නිරුවත් වන්නේ අප සතු පරගැති බව නිසාම විය යුතුය. බ්‍රිත්‍රාන්‍ය අධිරාජ්‍යයයෙන් ලංකාව නිදහස් කර ගැනීමට සිංහලයන් ලක්ෂ ගණනක් ජීවිත පුජා කල බව මෙතරම් ඉකිමනින් අමතක කර දැමුවේ ඇයි. එය ජාතියක් වශයෙන් සිදු කල යුත්තක් විය නොහැක.බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවෙන් එළවා දැමීමට එදා සිංහල මිනිසුන් යුධ කළ ආකරය ග්‍රන්ථයන්හි මෙසේ සඳහන් වේ.

1818 පෙබරවාරි 21 වෙනිදා මුළු උඩ රට පෙදෙසේ ම මාර්ෂල් ලෝ නැමැති යුද්ධ නීතිය පනවන ලදී. ඉංගිරිසි භටයෝ මුළු උඩ රටම රාජද්‍රෝහීන්  ලෙස සලකා ගිය ගිය තැන ගෙවල් දොරවල් ගිනිතැබීම් ආදී සාහසික ක්‍රියා කළහ.

අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානිය මෙ පමණ යැ යි නිශ්චය කළ නොහැකිය. සිංහලයෝ 10000කට වැඩි ගණනක් මිය ගියහ. මිය ගිය ඉංගිරිසි භටයන්ගේ නියමිත ගණනක් සඳහන්ව ඇති  බවක් නොපෙනෙන නමුත් ලෙඩ වී මඩකලපුවට ගෙන යනු ලැබූ 173දෙනෙකුගෙන් 114දෙනෙකුම මිය ගිය බව සඳහන් වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000ක් පමණ භටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.

ඉංගිරිසි භටයෝ සිංහල ගම් වැසියන් ගේ ගෙවල් වල වටිනා දේ පැහැර ගෙන ගෙවල් වලට ගිනි තැබූහ. පැසී නැමී තිබුණු කුඹුරු වලට ගිනි තැබූහ. ගම් වැසි ස්ත්‍රීහු ද ළමයි ද ඈත කඳු මුදුන් වලට වී ගිනිගෙන දැවෙන තමන්ගේ ගෙවල් හා කුඹුරු දෙස බලමින් දුක් කඳුළු හෙලූහ. මුළු රටම පාළු වීම නිසා කාලයක් යන තෙක් ආහාර හිගය තදින් පැවැත්තේ ය.

  සැබෑ අතීතයක් ආයාසයෙන්ම අමතක කර අළුත් ඉතිහාසයක් ගෙඩනැගීමෙන් අපට ලැබෙන්නේ මොනවාද? කැප්පෙටිපොල, ගොංගාලේගොඩ බණ්ඩා පුරන් අප්පුලා ජාතික වීරයන් සේ උපහාර දැක්වූ යුගය අවසන් කරන අප , එදා යුද්ධ නීතිය පනවා සිංහලයන් තිරිසන් අයුරින් සමූල ඝාතනය කළ රොබට් බ්‍රව්න්රිග් ලා වීරයන් බවට පත්කරවන දිනය පැමිණෙන තෙක් ප්‍රීතියෙන් ඔද වඩමින් රූපවාහිණිය දෙස වශීකෘතව බලා සිටිමු. කරුණු දැන හෝ නොදැන පොදු රාජ්‍ය මණ්ඩලයට අනවශ්‍ය අභිමානයක් දීමෙන් අප සිදුකරන්නේ එදා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වැද සුද්දා අතින් මරණයට පත්වූ සියදහස් ගණනක් මිනිසුන්ගේ ආත්මය මරා දැමීමකි. 

No comments:

Post a Comment