වෘත්තීය මාර්ගෝපදේශනය -වාස්තු විද්‍යාව (Architecture)


Posted on October 28, 2013  /  1 Comments

 (මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල  “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා http://www.educationforum.lk/higher-education/බලන්න. )

වාස්තු විද්‍යාවට අදාළ වෘත්තීන්

  • වාස්තු විද්‍යාඥ (Architect)
  • අභ්‍යන්තර සැලසුම්කරු (Interior Designer)
  • භූදර්ශන සැලසුම්කරු (Landscape Designer)
  • සැලසුම්කරු (Draughtsman)
  • ව්‍යාපාරික (Entrepreneur)
  • නගර සභා ප්‍රදේශ සැලසුම්කරු (Town Planner)
  • සේවාශ්‍ර කළමනාකරු (Facilities Manager)
  • අධ්‍යාපනඥ/පර්යේෂක (Teachers/Researcher)

වාස්තු විද්‍යාත්මක ව්‍යාපෘතීන් සාර්ථකව නිමකිරීම උදෙසා වාස්තු විද්‍යාඥයින් පමණක් ‍නොව තවත් විවිධ වෘත්තිකයන්ගේ සේවය ලබාගැනීම අවශ්‍යතාවකි.   මුල්  අවස්ථාවේදී සැලසුම් ශිල්පීන්  (draftsman), පරිමාණ තක්සේරුකරුවන් (quantity surveyor) වැනි වෘත්තිකයින්ගේ සේවය අවශ්‍යවන අතර පසු අවස්ථාවලදී අභ්‍යන්තර සැලසුම්කරුවන් (interior designer) සහ භූදර්ශන සැලසුම්කරුවන්  (landscape designer) වැනි වෘත්තිකයින් සම්බන්ධ කරගැනේ.  ඒ හැරුණු විට, සිවිල් ඉංජිනේරු, නගර හා ප්‍රදේශ සැලසුම්කරු සහ පහසුකම් කළමනාකරු යන වෘත්තීන් ද වාස්තු විද්‍යාත්මක ව්‍යාපෘතියකදී සම්බන්ධවන අනෙකුත් වෘත්තීන් අතර වේ.

 

මේ වෘත්තීන්ට අදාල සුදුසුකම් ලබාගන්නේ කෙසේද?

 වාස්තු විද්‍යාව

මෑතක් වනතුරුම වාස්තු විද්‍යාව සඳහා සුදුසුකම් ලබාගැනීමට තිබූ එකම මග වූයේ මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාස්තු විද්‍යා උපාධිය ලබාගැනීම පමණකි.  ‍උපාධියේ කාලය වසර 5 ක් වන අතර 9 මසක ප්‍රායෝගික පුහුණු කාලයක් ද මීට ඇතුලත්ය.  වාස්තු විද්‍යාව හැදෑරීම පිණිස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයදුම්  කල සිසුන්ගෙන් අයදුම්පත් කැඳවා යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුව මෙම උපාධිය සඳහා බඳවාගැනී‍ම් සිදුකෙරේ.  යෝග්‍යතා පරීක්ෂණය පවත්වනු ලබන්නේ මේ විෂයය සඳහා අවශ්‍ය විශේෂ දක්ෂතාවන් ඇතිදැයි පිරික්සනු පිණිසය. මේ සඳහා සමත්වීමට අවශ්‍ය විෂයයන් අනුව පෙනී යන්නේ කලා සහ අනෙකුත් විෂයධාරාවන්ගෙන් උසස්පෙල සමත්වූවනට ද වාස්තු විද්‍යා උපාධිය සඳහා අයදුම් කලහැකි බවයි  (මොරටුව විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය හරහා නම් කර ඇති විෂයයන් දැනගත හැක). වාර්ෂිකව මේ සඳහා 60 දෙනෙකු බඳවා ගැනේ.

 වර්තමානයේදී, වාස්තු විද්‍යාව හැදෑරීම පිණිස තවත් දොරටුවක් විවෘතව තිබේ.  කොළඹ පිහිටා ඇති City School of Architecture ආයතනය වෙතින් වාස්තු විද්‍යා ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා හැදෑරීමේ අවස්ථාව උදාකර දෙයි.  වසරකට ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 50 දෙනෙකු බඳවා ගැනේ.

CSA නමින් හැඳින්වෙන ‘සිටි ස්කූල් ඔෆ් ආකිටෙක්චර්’ ආයතනය ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනය විසින් පිහිටුවන ලද්දකි.  වාස්තු විද්‍යා ක්ෂේත්‍රයේ අධ්‍යාපන අවස්ථා හිඟකමට පිළියමක් වශයෙන් 1989 දී ආරම්භ කරන ලද මෙම ආයතනයේ පාඨමාලාවන් ප්‍රායෝගික අංශයට වඩාත් නැඹුරුතාවයක් දක්වයි.  පාඨමාලාව කොටස් දෙකකින් යුක්තය.  වසර 4 ක් ගතවන 1 වන කොටස අවසානයේ ඩිප්ලෝමාවක් ලබාදෙන අතර තෙවසරක කාලයක් පුරා දිවෙන 2 වන කොටස අවසානයේ උසස් ඩිප්ලෝමාව අවසන් කළහැක.

වරලත් වාස්තු විද්‍යාඥයකු නැතිනම්  chartered architect  කෙනෙකු  වන්නේ කෙසේද?

වාස්තු විද්‍යාඥයකු ලෙස ශ්‍රී ලංකාව තුල කටයුතු කිරීමේ අවසරය ලබාගනු පිණිස වාස්තු විද්‍යාඥයින් ලියාපදිංචි කිරීමේ මණ්ඩලයේ (ARB) ලියා පදිංචි වියයුතු අතර ලියාපදිංචිය වාර්ෂිකව අළුත් කළයුතුය.  ලියාපදිංචිය සඳහා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ වරලත් සාමාජිකයකු වීම මූලික අවශ්‍යතාවයකි.

ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ වරලත් සහතිකය ලබාගැනීම පිණිස විභාගයකින් සමත්වීම අවශ්‍යය.  නිසි අධ්‍යාපන සුදුසුකම් ලබාගැනීමෙන් අනතුරුව වරලත් වාස්තු විද්‍යාඥයකු යටතේ වසර 2 ක් සේවය කිරීම මේ සඳහා අනිවාර්යය.  මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා උපාධිය මෙන්ම සිටි ස්කූල් ඔෆ් ආකිටෙක්චර් ආයතනයේ උසස් ඩිප්ලෝමාව අවසන්කිරීම ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ 3 වන කොටසේ වෘත්තීය විභාගයට පෙනී සිටීම උදෙසා සුදුසුකම් ලබාදෙයි.  එමෙන්ම බ්‍රිතාන්‍යයේ රාජකීය වාස්තු විද්‍යා ආයතනයේ (RIBA) විභාගවලට පෙනී සිටීමට ඇතුලත්වීමේ සුදුසුකමක් ලෙස ද ඉහත දක්වන ලද සුදුසුකම් දෙකම එකසේ වලංගුය.

කොළඹ ජාත්‍යන්තර නාවුක සහ ඉංජිනේරු විද්‍යාලය (CINEC) විසින් වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් වාස්තු විද්‍යා තාක්ෂණ උපාධියක් පිරිනැමීම පිණිස පාඨමාලා අරඹා තිබේ.   SLIA  හෙවත් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ 3 වන කොටසේ විභාගයට පෙනීසිටීම සඳහා මෙම වාස්තු විද්‍යා තාක්ෂණ උපාධිය සුදුසුකමක් ලෙස  SLIA  ආයතනය විසින් පිළිගැනීමක් ලබාදී නැත.  නමුත් සිනෙක් ආයතනය පවසන්නේ සිය උපාධිධාරීන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා වෙනත් මාර්ග විවෘත බවයි.  උදාහරණයක් ලෙස ටැස්මේනියා විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ඔවුනට අවස්ථාව ලැබෙන  බව සිනෙක් ආයතනය පවසන අතර එම ශාස්ත්‍රපති උපාධිය   වරලත් සහතිකය සදහා මග පාදන බව සිනෙක් පවසයි

අභ්‍යන්තර සැලසුම්කරු ( Interior Designer)

සාමාන්‍යයෙන්, අභ්‍යන්තර සැලසුම්කරුවකු ඒ විෂයය සඳහා මූලික උපාධියක් ලබාගත්තකු වන නමුදු ඩිප්ලෝමාවක් හෝ උසස් ඩිප්ලෝමාවක් ලබාගැනීමෙන් පසුව අභ්‍යන්තර සැලසුම්කරු අංශයේ රැකියාවකට ඇතුළුවීමේ අවස්ථාව ලබාගත හැක. සිංගප්පූරුව මූලික කරගත් රැෆ්ල්ස් උසස් අධ්‍යාපන ආයතනය විසින් ජාත්‍යන්තරව පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් පිරිනමනු ලබයි.  ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ OCBT කැම්පස් විසින් ද ඩිප්ලෝමා පාඨමාලා මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාවට පළමුවෙන්ම අභ්‍යන්තර සැලසුම්කරු උපාධියක් හඳුන්වා දෙනු ලැබූයේ ‘ඇකැඩමි ඔෆ් ඩිසයින්’ ආයතනය විසිනි.  බ්‍රිතාන්‍යයේ නොදම්බ්‍රියා විශ්ව විද්‍යාලයෙන් මේ උපාධිය පිරිනමනු ලබයි.  ජාතික ව්‍යාපාර කළමනාකරන ආයතනය (NIBM ) විසින් මැලේසියාවේ ලිම්කොක්වින්ක් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාදීම මෑතකදී අරඹනු ලැබින.  එමෙන්ම CINEC ආයතනය විසින් බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් ලබාදෙනු ලබන ‘ඉන්ටීයර් ආකිටෙක්චර් ඇන්ඩ් ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට්’ උපාධිය ද මෑතකදී අරඹන ලද්දකි.

භූදසුන් වාස්තු විද්‍යාඥ/සැලසුම්කරු  (Landscape Architect/Designer)

 මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨය විසින් භූදසුන් විද්‍යාඥ යනුවෙන් නවතම උපාධියක් අරඹා ඇත.  එමෙන්ම උසස් ඉදිකිරීම් පුහුණු ආයතනය විසින් ද භූදසුන්  සැලසුම් ඩිප්ලෝමා   පාඨමාලාවක්  මෙහෙයවනු ලබයි.   

 සැලසුම් ශිල්පීන් (Draftsman)

සැලසුම් ශිල්පීන්  සඳහා සුදුසුකම් ලබාදෙනු ලබන්නේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පද්ධතිය ඔස්සේය.  ‘ඉන්ජිනියරින් ඉන් ඩ්‍රාෆට්මන්ෂිප්’ පිළිබඳ සහතික පත්‍රය මින් එක් සුදුසුකමකි.  www.tvec.gov.lk. වෙබ් අඩවිය ඔස්සේ මේ පිළිබව වැඩිදුර විස්තර සපයා ගතහැකිය.

යම් යම් සීමාවන්ට යටත්ව ගොඩනැගිලි සැලසුම් අනුමතකිරීමේ බලය සැලසුම්කරුවන්‍ වෙත තිබේ.  උදාහරණයක් ලෙස, කොළඹ මහ නගර සභා සීමාව තුල වර්ග මීටර 280 (වර්ග අඩි 3014) ට අඩු ගොඩනැගිලි සඳහා සැලසුමක් අනුමතකිරීමේ බලය සැලසුම්කරුවකුට තිබේ.  මෙසේ කළහැකි වන්නේ ඉඩම මායිමේ තාප්ප හෝ කණු නොමැතිනම් පමණකි.

රැකියාවේ ඉහලට යාමේ මග කුමක්ද?

 

ඔබ රැකියාවක් භාරගැනීමට හෝ කිසියම් අධ්‍යාපන වැඩසටහනක් සඳහා ලියාපදිංචිවීමට පෙර එහි ඊළඟ පියවර සම්බන්ධයෙන් අසා දැනගැනීම වැදගත්ය.  පෞද්ගලික අංශයේ රැකියාවක් නම් සුදුසුකම් වැදගත් වනුයේ රැකියාව ලබාගැනීම සඳහා පමණකි.  ඉන් අනතුරුව ඉහල යාමේ අවස්ථාව රඳා පවතින්නේ ඔබගේ කාර්යසාධනය මතය.  කෙතරම් අමතර සුදුසුකම් ලබාගත්ත ද රැකියාව කිරීමේදී ආයතනය බලාපොරොත්තු වන පරිද්දෙන් දක්ෂතා නොපෙන්වන්නේ නම් ඒවායෙන් පලක් නොලැබෙනු ඇත.  සිය කාර්යසාධනය වැඩිකරගැනීම පිණිස තව තවත් සුදුසුකම් ලබාගැනීමට සමහර පුද්ගලයින් බලාපොරොත්තු වන නමුදු එම  අධ්‍යාපනය කටයුතුවල පිරිවැය දැරීම හෝ ඒ සඳහා නිවාඩු ලබාදීම සිය සේව්‍යයාගෙන් බලාපොරොත්තුවීම අසාධාරණය.

වාස්තුවිද්‍යාව  :  ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ සහකාර සාමාජිකත්වය, රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධියක් සඳහා සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලැබේ.  එ‍බැවින් සිටි ස්කූල් ඔෆ් ආකිටෙක්චර් වෙතින් උසස් ඩිප්ලෝමාව ලබන කෙනෙකුට පශ්චාත් උපාධි හැදෑරීමේදී ගැටළුවක් පැන නොනගී.

අභ්‍යන්තර සැලසුම්කරු  භූ-දසුන්  විද්‍යාඥ/සැලසුම්කරු  : අප දන්නා තරමට මේ විෂය සඳහා පිරිනැමෙන කිසිම ඩිප්ලෝමාවක් උසස් වෘත්තීය සුදුසුකමකට සම්බන්ධ කොට නැත.

සැලසුම්කරු: වසර 10 -15 අත්දැකීම් සහිත සැලසුම්කරුවනට ආවසරික සාමාජිකත්වය හෝ  Licentiate  පිරිනැමීමට ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනය කටයුතු කරයි.  මේ සඳහා හය මසක දේශන මාලාවකට සහභාගිවීමෙන් පසුව පැවැත්වෙන වෘත්තීය ප්‍රායෝගික විභාගයකින් සමත්වීම අවශ්‍යය.

1 Comment


  1. ඉතා වැදගත් ලිපියක්. මෙම ලිපිය අපගේ නිපුණතා පුවත්පතේ පළකිරීමට කැමැත්ත ඉල්ලා සිටිමි.
    විචිත්‍රා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*