10.18.2013

අත්පුඩි නොගහා කොඩිගහක් ඔසවාගන්නා ආකාරය

මාතෘකාව දැකපු ගමන් සමහර අයට නම් කතාවක් මතක් වෙන්නැති. ඒත් ඉතින් මම ඒ කතාව කියන්න නෙමෙයි හදන්නෙ. ඒ කතාවට මූලික වෙච්ච කොඩිගහ ගැන කතාව තමයි අද කියන්නෙ. මොකක්ද කොඩිගහ කියන්නෙ? ඒක තමයි කියන්න යන්නෙ. එහෙනම් ලිපිය බලමු. ඊටකලින් කැමති කෙනෙකුට පුලුවන් මේ මාතෘකාවට හේතුවෙච්ච කතාවත් බලලා පොඩ්ඩක් හිනාවෙලා එන්න. තව ඔයවගේ කතා තියෙනවා එව්වා අන්තිමට. ඒක නිසා හොඳට මේ කතාව කියවන්ඩ.

කොඩිගහට කලින් මුලින්ම අපිට රෝමානු කතෝලික සභාවේ ව්‍යූහය පොඩ්ඩක් දැනගන්න වෙනවා. බයවෙන්ඩ එපා ඉතින්. කොඩිගහ ගැන දැනගන්න සභාවේ ව්‍යූහය මොකටද කියලා හිතෙන්න පුළුවනි. ඒත් කොඩිගහේ ඉතිහාසය ගැන පැහැදිලි දැක්මක් ඇතිකරගන්න නම් ව්‍යූහය පොඩ්ඩක් දැනගන්න වෙනවා. බයවෙන්න ඕනෙ නෑ හැමෝටම තේරුම්ගන්න සරලව කියන්නම්. 

ශ්‍රී ලංකාවේ වර්තමාන රදගුරු පදවි
මතකද පාප්තුමා ගැන ලියපු ලිපි මාලාව.  ඒ ලිපි මාලාව කියවපු අය නම් දන්නවා ඇති පාප්තුමා තමයි රෝමානු කතෝලික සභාවේ නායකයා වශයෙන් කටයුතු කරන්නෙ. පාප්තුමාගේ නායකත්වය යටතේ තිබෙන කතෝලික සභාව 'පදවිය' (Diocese) නමින් හැඳින්වෙන කුඩා කොටස් වලට බෙදිලා තිබෙනවා. මේ බෙදීම ආගමික වශයෙන් බෙදීමක් නෙවෙයි. පරිපාලනයේ පහසුව පිණිස සිදුවෙච්ච බෙදීමක්. මේ අවුරුද්දෙ මුලවෙනකොට මේ විදිහෙ පදවි 2,834 ක් ලෝකෙ පුරා තිබෙනවාලු. එයින් 11ක්ම අයත් වෙන්නේ ශ්‍රී ලංකාවෙ භූමි ප්‍රදේශයට. (දැන් පදවි 12ක්ලු) මම පැත්තකින් ඇති ලංකාවේ පදවි අනුව බෙදීම දැක්වෙන සිතියමක්. හැබැයි වරදවා වටහාගන්න එපා ඔය ලෝකෙ පුරා තිබෙන පදවි 2,834ම ඔය ප්‍රමාණයේ නෙමෙයි. ඔයිට වඩා කුඩා පදවි වගේම ලංකාව තරම් හෝ ඊටත් වඩා විශාල භූමි ප්‍රමාණයක් අයත්වන පදවි තියෙන්න පුලුවන්. ලංකාවම එක පදවියක් යටතේත් ඉතිහාසයේ තිබිලා තියෙනවා. මේ 'පදවිය' නම් ඒකකයේ පරිපාලනය සිදුවෙන්නෙ පදවිය භාර රදගුරුතුමාගෙ (Bishop) යටතේ. 

පදවිය ඉන්පස්සෙ 'දිසා' කීපයකට බෙදෙනවා.  ඊළඟට ඒ දිසාව 'මීසම්' කියන කොටස්වලට බෙදෙනවා. මීසමක් කියන්නෙ යම් දේවස්ථානයක් මූලික කරගෙන ඒවටා පවුල් රාශියක එකතුවීමක්. මීසමේ පරිපාලනය භාරව පවතින්නෙ මීසම භාර පියතුමාට. දේවස්ථානයක් මූලික කරගෙන එකතුවීමක් කිව්වට මීසමක තවත් අනු දේවස්ථාන කීපයක්ම තියෙන්න පුළුවනි. 

මම පදවිය, දිසාව, මීසම ගැන කිව්වට ඒ හැම එකක්ම මේ තරම් ලොකුයි කියලා ස්ථිර බිම් ප්‍රමාණයක් කියන්න බෑ. පළවෙනි හේතුව තමයි ඒ ඒ පරිපාලන කොටස්වල වර්ග ප්‍රමාණයේ තිබෙන විශාල වෙනස්කම්. තේරෙන විදිහට කිව්වොත් අපිට කියන්න බෑනෙ දිස්ත්‍රික්කයක් කියන්නෙ මේ තරම් ලොකු ප්‍රදේශයක් කියලා. මොකද අනුරාධපුරය වගේම කොළඹත් දිස්ත්‍රික්කයක්නෙ. සාමාන්‍යයෙන් වර්තමානයේදී ඇහැට දකින්න තියෙන වටපිටාව බලලා කිව්වොත් මීසමක් කියන්නෙ ගම් කීපෙක කතෝලිකයන්ගේ එකතුවක් කියලා නම් කිව්වෑකි.

දෙවෙනි හේතුව තමයි  කාලෙන් කාලෙට සිදුවෙන වෙනස්කම්. පොඩි ඉතිහාස විස්තරයකුත් කියන්නම්කො. ශ්‍රී ලංකාව මුලින්ම අයිතිවෙලා තිබිලා තියෙන්නෙ කොචීන් රදගුරු පදවියට ( Diocese of Cochin) ඊටපස්සෙ ඒ පදවියෙන් වෙන්වෙලා තමයි 'ලංකා රදගුරු පදවිය' බිහිවෙන්නෙ. (Diocese of Ceylon) ඒ 1834දි. ඊටපස්සෙ කාලයාගේ ඇවෑමෙන් තමයි ඔය වර්තමානයේ පෙන්වන ආකාරයේ පදවි 11ක් ඇතිවෙලා තියෙන්නෙ.

මේ විදිහට  කියපු විස්තරෙන් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනෙ කාරණාව තමයි අතීතයේදි පදවියක් කොච්චර විශාලද කියන එකත් එහෙම වුනාම මීසමක් කියන්නෙ කොච්චර විශාල භූමි ප්‍රමාණයක්ද කියන එකත්. මීසමක් සමහරවිට දිස්ත්‍රික්කයක් තරම් ලොකුවටත් තියෙන්න ඇති. 

මීසම ලොකු වුනත් පොඩි වුනත් මීසමේ වගකීම තියෙන්නෙ තනි පියතුමෙකුගේ අතේ.  (දැන් නම් සමහර විශාල මීසම් වල පියතුමන්ලා කීපදෙනෙක් ඉන්නවා). මීසමභාර පියතුමාට තමයි මුළු මීසමේ ජනතාවගේම වගකීම. මීසමේ ප්‍රධාන පල්ලියේ වගේම ගම්වල තියෙන පොඩි පල්ලිවලත් ආගමික කටයුතු මේ පියතුමාට භාරයි.

ඒ කතාව මතකයේ කොනකින් තියාගෙන අපි යමු වෙන පැත්තකට.  මේක කියවන අන්‍යාගමික කෙනෙක් වුනත් අහලා ඇතිනෙ අපි කටවහරට තලවිල පල්ලිය, කොච්චිකඩේ පල්ලිය, කඳානෙ පල්ලිය වගේ ගමේ නමින් දේවස්ථාන හඳුන්වනවා. ඒත් දේවස්ථාන ශු. ආනා මුනිශ්වරියගේ දේවස්ථානය, ශු. අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය, ශු. සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය විදිහට තමයි නිල වශයෙන් හැඳින්වෙන්නෙ. ඒ ඒ දේවස්ථාන කැපකරලා තියෙන ශුද්ධවන්තයාගේ/ශුද්ධවන්තියගේ හෝ නම. මරියතුමීගේ  ජේසුස් වහන්සේගේ වගේම දේවදූතයන්ගේ නම්වලටත් කැපකරපු දේවස්ථාන තිබෙනවා.  

ශුද්ධවන්තයෝ* ගැන කියපු ලිපියෙදි මම කිව්වානෙ ඒ ඒ ශුද්ධවන්තයාට උපහාර දක්වන විශේෂ දිනයක් එහෙමත් නැත්නම් මංගල්‍යය දිනයක් තිබෙන බව.  උදාහරණෙකට කිව්වොත් ශු. අන්තෝනි මුනිතුමාගේ මංගල දිනය තමයි ජුනි 13 වෙනිදා, ශු. සෙබස්තියන් මුනිතුමාගේ මංගල දිනය තමයි ජනවාරි 20 වෙනිදා. ඉතින් දේවස්ථාන කැපකරලා තියෙන ශුද්ධවන්තයාගේ මංගල දිනය තමයි බොහෝ දේවස්ථානවල මංගල දිනය වෙන්නෙ. මීට අමතරව දේවස්ථානය ගොඩනගපු දිනය හෝ වෙනත් යම් විශේෂ දිනයක් මංගල දිනයක් වෙන්නත් පුලුවන්. පහසුව පිණිස ඒ නියමිත දිනයට ආසන්නයෙන් යන ඉරිදා දිනයත් මංගල දිනය ලෙස යොදගන්නා අවස්ථාත් තිබෙනවා. මතක තබාගතයුතු අනිත් කාරණාව තමයි සමහරවිට දේවස්ථානයක වසරකට මංගල දින එකකට වඩා වැඩි ගණනක් තිබෙන්න පුලුවන්. උදාහරණයකට කිව්වොත් මරුද මඩු සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය දහයක් තිබෙනවා.
මංගල දිනය කියන්නෙ එක දිනයක් වුනාට ඒක ඇත්තටම මංගල සමයක්.  මංගල දිනයේ චාරිත්‍ර වාරිත්‍ර පටන්ගන්නෙ ඊට සතියකට විතර කලින්. කෙටියෙන් කිව්වොත් 

1. කොඩිගස එසවීම - අද කියන්නනෙ යන්නෙ
2. සතියක් පමණ පැවැත්වෙන නුවාන මෙහෙයන්
3. මංගල දිනයට පෙර දින සන්ධ්‍යා මෙහෙය
4. පෙරහැර
5. මංගල දිනය

 ඔය විදිහට දක්වන්න පුළුවන්. මේවා මොනවාද නොතේරෙන්න පුලුවන්. එක එකක් ගැන අනාගත ලිපි වලින්ම කියන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නෙ එතකන් ඉවසමු. 

ඉතින් මේ මංගල සමය කියන්නෙ දේවස්ථානයේ චාරිත්‍ර වාරිත්‍ර ගොඩාක් පැවැත්වෙන ඉතාමත් කාර්‍යයබහුල සමයක්. දේවස්ථානයේ සමීපතමයින්ට වගේම මීසමේ පියතුමාටත් බොහෝම මහන්සිවෙන්න වෙන කාලයක්.

දැන් මංගල්‍යය කියන්නෙ මොකක්ද දැනගත්තු අපි කලින් කතාවට යමුකො. ඒ කිව්වෙ අර විශාල පදවියක් තිබුන විශාල මීසම් තිබුන කාලෙට. මීසමේ ප්‍රධාන පල්ලියේ පදිංචි වෙලා හිටිය පියතුමාට ගම්වල පල්ලිවල මංගල්‍යය පැවැත්වීමේ වගකීමත් තිබුනා. ඒ තරම් ප්‍රවාහන පහසුකම් නොතිබ්බ කාලෙ ගමේ මංගල්‍යය වැඩකටයුතු ප්‍රධාන දේවස්ථානයේ ඉඳන් මෙහෙයවීම හරිම අමාරු වැඩක්නෙ. නුවාන මෙහෙයන් තියෙන්නෙත් රෑ නිසා රාත්‍රී ගමන් බිමන් කොහොමත් අමාරු වෙන්න ඇතිනෙ. ඒක නිසා මංගල්ලෙ කාලෙට මීසමභාර පියතුමා ගමේ පල්ලියේම නැවතුනා. නුවාන මෙහෙයන් වලින් පටන් අරගෙන මංගල දිනය ඉවරවෙනතුරු සතියක දෙකක කාලෙ පියතුමා ගෙව්වෙ ගමේ දේවස්ථානයේ.

මීසමේ පියතුමා මීසමේ පල්ලියෙන් පිට ඉන්න නිසා වෙන්නෙ හදිස්සියකට පියතුමාව හමුවෙන්න එන අය අතරමං වීම. හදිසියක් කිව්වෙ ළමයෙකුව ඉස්කෝලෙට දාගන්න ලියුමක් ගන්න වගේ. නෑ.. නෑ.. ඒවගේ අවශ්‍යතා ඒකාලෙ තිබුනෙ නෑනෙ. හදිසි අවශ්‍යතා කිව්වෙ මියගිය කෙනෙකුගෙ භූමදාන කටයුතු කරගැනීම, මරණාසන්න කෙනෙකුට අන්තිම ආලේපය දීම වගේ කටයුතු. අන්තිම ආලේපය කියන්නෙ මොකක්ද දැනගන්න ඒගැන ලියපු ලිපිය කියවන්නකො. පියතුමා මීසමේ නැතිවුනාම වෙන්නෙ මීසමේ පල්ලියක් පල්ලියක් පාසා ගිහින් පියතුමා ඉන්නවද නැද්ද හොයාබලන්න. 

මේ අපහසුතාවය ටිකක් හරි මඟහරින්න තමයි පියතුමා ගමේ දේවස්ථානයේ පදිංචිවෙලා ඉන්න මුලු කාලය පුරාවටම ගමේ දේවස්ථානය ඉදිරිපිට කොඩියක් එල්වා තබන්න  පුරුදු වුනේ. මේ කොඩිය දකින ජනතාව දන්නවා පියතුමාගේ තාවකාලික පදිංචිය එතැන බව. පියතුමාගේ තාවකාලික පදිංචිය සංකේතවත් කරමින් මේ කොඩිය එල්ලුවේ පියතුමා දේවස්ථානයට පැමිණි විගසමයි. ඒ කියන්නෙ පල්ලියේ මංගල සමය ආරම්භ වීමට පෙර දවස. ඉතින් මෙහෙම කොඩියක් එල්වීම මංගල්‍යය සංකේතවත් කිරීමක් බවට ඉබේම පත්වුනා. 

කාලයත් සමඟ තමයි මේ එක කොඩිය කොඩි ගහක් බවට පත්වෙන්නෙ.  ඊටපස්සෙ එක ගහ ගස් කීපයක් වුනා. තේරෙන විදිහට කිව්වොත් වර්තමානයේදී නම් මංගල සමය ආරම්භ කරමින් කොඩිගස එසවෙන්නේ දේවස්ථානය ඉදිරිපිට පමණක් නොවෙයි. ගමේ තැන තැන පිහිටි ප්‍රතිමා අසලත් මේ විදිහට කොඩිගස් එසවෙනවා.

කොඩි ගහකට ඉතින් කොඩි වගේම ගහකුත් ඕනනෙ.  රෙදි කොඩි තමයි සාමාන්‍යෙන් පාවිච්චි වෙන්නේ. ඒත් රෙදි හිඟකාලවලදී නම් සව් කොළත් පාවිච්චි කළාලු. මොන අමුද්‍රව්‍යය ගත්තත් අදාළ ශුද්ධවන්තයා සංකේතවත් වෙන වර්ණයක් තමයි තෝරාගන්නෙ. උදාහරණෙකට කිව්වොත් සාන්ත අන්තෝනි මුනිතුමාගේ මංගල්‍යකදී කහ සහ දුඹුරු කොඩිත් සාන්ත සෙබස්තියන් මුනිතුමාගේ මංගල්‍යකදී රතු කොඩිත් දකින්න පුලුවන්. කොඩිගහට කොඩි බොහෝ වෙලාවට ලැබෙන්නෙ භාරහාර වෙච්ච් අයගෙන්.

ගහ විදිහට අතීතයේදී පාවිච්චි කරලා තියෙන්නෙ හොඳ කෙලින් කඳක් තියෙන ගහක්. ගහ අරන් සුද්ද කරලා අදාළ පාටින් පාටකරලා තමයි පාවිච්චියට ගන්නෙ. වැඩියෙන්ම පාවිච්චි කරලා තියෙන්නෙ 'හොර' ගස්ලු. වර්තමානයෙදි නම් ස්වාභාවික ගහක් යොදාගැනීම අඩුවෙලා තියෙනවා. ඒ වෙනුවට යකඩ බටයක් යොදාගැනීම නම් බහුලව සිදුවෙනවා.ඒ වගේම කලින් මහා විසාලෙට තිබ්බ එව්වා දැන් දැන් කුඩායි.

මංගල සමය ආරම්භ කරමින් කොඩිගහ ඔසවන්නෙ මංගල දිනයට සතියකට විතර කලින් දවසක. නියමිත දවසෙ උදේම කොඩිගහත් කොඩිවැලුත් ඒ ස්ථානය අවට තබා තිබෙනු දකින්න පුලුවන්. ඉතින් කොඩි ගහට කොඩියක් දෙන්න භාරහාර වෙච්ච අය කරන්නෙ අර තියෙන වැලක තමන්ගෙ කොඩිය එල්වන එක.

හවස් වෙලා කොඩිගහ ඔසවන වෙලාව ළංවෙද්දී කොඩි වැල් කොඩි වලින් පිරිලා. ඒ වගේම ගමේ එක්කෙනා දෙන්නා එතනට එකතුවෙන්න පටන් අරන්. ඒ අයගෙන් සමහරු එන්නේ අතින් කටින් කඳමලු එල්ලගෙන වගේම තව සමහරු හිස් කවර අරගෙන. 

මුලින්ම වැඩේ පටන් ගන්නේ ආච්චිලා. වැඩේ තමයි රබන් ගැහීම. අතින් ගහනවා. වැලමිටෙන් ගහනවා. කකුලෙන් ගහනවා. නටනවා. තව කෙනෙක් රබාන අරන් රත්කරන්න දුවනවා. බලන්න එපැයි සෙල්ලම. ආච්චිලා පුදුම ආසාවකින් මේක කරන බව මම දැකලා තියෙනවා. ආච්චිලාම මේකට යන්නෙ අලුත් පරම්පරාව රබන් ගහන්න නොදන්නා හින්දා කියලා ඉතින් කණගාටුවෙන් උනත් කියන්ඩ වෙනවා. උන්දැලා මැරිච්චදාට රබනුත් ඉවරයි. 

රබන් සුරල් නාදෙන් පලාතම ලෙලෙදෙද්දි තමයි පියතුමා එතනට සැපත් වෙන්නෙ.  එතකොටම රබන් සුරල් නාදය නැවතිලා ආගමික වතාවත් වලට ජනතාව යොමුවෙනවා. කෙටි යාච්ඤාවකින් පසුව පියතුමා විසින් කොඩිගස ආශිර්වාද කරනවා. ඊටපස්සෙ තියෙන්නෙ උස්සන්න තමයි.

කොඩිගහේ ප්‍රධාන ලණුවක් තියෙනවා. බොලොක්කයක් හරහා තියෙන ඒ ලණුව ඇදීමෙන් තමයි ගහ ඔසවන්නෙ. ගහේ විශාලත්වය අනුව යොදාඇති පරිවාර ලණුවලින් තමයි ගහ නොවැටී තබාගන්නෙ. අර මුලින් පෙන්නපු කතාවෙදි කට්ටිය කොඩිගහ වට්ටගෙන තියෙන්නෙ මේ ලණු අතඇරලා අත්පුඩි ගහන්න ගිහින්ලු. 

වෙඩි හඬ මැද්දෙ කෙලින් වුණු කොඩිගහ  ලණු ටික ස්ථාවර ආධාරක වල (වටේ තියෙන ගස්වල)  ගැටගැහුවට පස්සෙ නෝ හෙල්ලුම්. ඊළඟට කොඩිවැල් ඔසවලා වටේට ගැටගැහුවට පස්සෙ ප්‍රධාන කාර්‍යය අවසානයි. 

කොඩිගහක් ඔසවන හැටි
 කලින් මම කිව්වනෙ ජනතාව කඳමලු බැඳගෙන එනවා කියලා. ඒවල තියෙන්න කිරිබත්, බනිස්, රෝස්පාන්, බත් ආදී කෑමවර්ග. මුලින්ම නම් ගමේ ඇත්තො එකතැනකට එකතුවෙලා කිරිබත් උයලා ඒවා බෙදා හදාගෙන කාලා සතුට සැමරීම තමයිවෙලා තියෙන්නෙ. දැන් නම් එක එක්කෙනා තම තමුන්ට කැමති කෑම වර්ග රැගෙන එනවා. බොහෝ අය ගේන්නෙ භාර ඔප්පු කරන්න. තවත් අය තමුන්ගෙ තරාතිරම පෙන්වන්න.

කොඩිගහ එසවූවාට පස්සෙ ඒ කෑම වර්ග පියතුමා ආශිර්වාද කිරීමෙන් පස්සෙ ගෙනාපු අයට අවස්ථාව ලැබෙනවා ඒ කෑම වර්ග බෙදන්න.  එකතුවෙලා බෙදාහදාගෙන කාලා සතුට බුක්ති විඳිනවා කියන සංකල්පෙ කාලයාගේ අවෑමෙන් වලපල්ලට ගිහින් කියලා ඔන්න පේන්න ගන්නවා. ;)

කෑම බෙදීම අවසානයත් සමඟ සෙනඟ විසිර යනවා වගේම පල්ලියේ මංගල සමයත් ආරම්හ වෙනවා. 

 * ශුද්ධවන්තයෝ කියන්නෙ කවුද දන්නේ නැත්නම් පහළ ලිපි කියවලා බලන්නකො.

 ප.ලි. : මේ අර කතා ටික

ප.ප.ලි.  කොඩිගස එසවීමේ චාරිත්‍රය පිළිබඳ කිසිම විස්තරයක් අන්තර්ජාලෙන් හොයාගන්න උනේ නෑ. පින්තූර හෙව්වම ලැබුනෙත් ලංකාවෙ හා දකුණු ඉන්දියාවෙ පින්තූර කීපයක් විතරයි. මට හිතෙන්නෙ මේ චාරිත්‍රය කෙරෙන්නෙ ලංකාවෙත් දකුණු ඉන්දියාවෙත් විතරයි වගේ. රට රාජ්ජවල ඉන්න කට්ටිය කියන්නකෝ ඒ රටවලත් මෙහෙම වෙනවද කියලා.

ප.ප.ප.ලි. මේක මීට අවුරුදු දෙකකට විතර කලින් ලියලා හරිහමන් පින්තූර ටිකක් ගන්න බැරිවෙච්ච නිසා කල් දදා තිබ්බ ලිපියක්. අන්තිමේදි නිකම්ම පින්තූරයක් අරන් දාලා දැම්මා. ලස්සන කොඩිගස් පාරෙ යනකොට බලාගන්න ඕගොල්ලන්ට පුළුවන් වේවි.


විශේෂ ස්තුතිය : පින්තූර හොයාදුන්න ගිහාන් සහෝදරතුමාට හා පින්තූර හොයාදෙන්න මහන්සි වෙච්ච සසිඳුට

50 comments:

  1. මේ දිනවල මමත් කතෝලික පල්ලියයක වැඩවලට උදව් වෙනවා. අපේ ගෙදරට කිලෝමීටරයකටත් අඩු දුරකින් පිහිටි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට අවුරුදු 125 ක් සපිරෙනවා, 2014 ජනවාරියේදී. ඒ දේවස්ථානය තියෙන්නේ, අංක 6 කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අයිනේ, මල්පිටිය ප්‍රදේශයේ. අලංකාර පැරණි පල්ලියක්. ඉතින් ඒ උත්සවයට අදාලව සැකසෙන විවිධ ලිපි කතෝලික ආගමේ විවිධ රූප සහිත ලිපි ශීර්ෂ සකසා ටයිප් සෙටිං කර වර්ණයෙන් මුද්‍රණය කරදීම, ටිකට්පත් සැලසුම් කරදීම, වැනි වැඩ ගොඩකට දායක වුනා. තවත් වැඩ තියනවා. පියතුමා මම නැති වෙලාවක ඇවිත් මුදල් ත්‍යාගයක් දීලා ගිහින් තිබුනා. මම වහාම ඒකත් අරගෙන පල්ලියට ගියත් පියතුමා තරහවෙනවා කිව්ව නිසා ඒ සල්ලි ගෙනත් අපේ සුබසාධක සමිතියට දුන්නා.

    නාවික හමුදාවේ කොඩිගස් කතෝලික ආගමේ උත්සව වලදී ඔසවන කොඩිගස් වලට හැඩයෙන් පොඩි සමානකමක් තියනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයා හොඳ සමාජ සේවකයෙක් වගේ... ලබන ජනවාරියේදි රතු පාටින් කොඩි ගහක් ඒ පල්ලියේ ඉස්සෙනකොට විචාරක මහත්මයාට මේ කතාව මතක් වේවි.. සෙබස්තියන් මුනිතුමාගේ මංගල්‍යය සමරන ඇත්තෝ අවුරුද්ද නත්තල සමරන්නෙත් මංගල්ලෙ දාට කියනවනෙ..

      නාවික හමුදාවේ කොඩිගස කිව්වෙ කුඹගහක් වගේ එකකද?

      Delete
    2. කාගේ වුනත් ආගමික වැඩකින් සල්ලි ගන්න හොඳ නැහැනේ.

      ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ රූපයත් රතු පසුබිමක නේද තියෙන්නේ.

      අර නිදහස් දිනේට ජනාධිපතිතුමා විසින් නිදහස් මන්දිරය ඉදිරිපිට ඔසවන කොඩිය නාවික හමුදා මෝස්තරයේ එකක්.

      Delete
    3. ඔව් විචාරක මහත්මයා සෙබස්තියන් මුනිතුමාගෙ වර්ණය රතු..

      නාවික හමුදා කොඩිගහේ පින්තූරයක් හොයාගන්න බැරිඋනා..

      Delete
    4. මල්පිටිය පල්ලිය ගොඩක් ප්‍රසිද්ද පල්ලියක්

      Delete
  2. මුලින්ම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනා. දැන් තිබෙන පදවි ගණන 12 යි, මොකද ත්‍රිකුණාමලය සහ මඩකළපුව දැන් පදවි දෙකක්.

    අපේ පල්ලියේ තියෙන කොඩි ගහ තනි ලී කඳක්. කොඩි ගහ උස්සන්නේ කොටස් තුනකට. මුලින්ම ප්‍රධාන කඳ කොටස උස්සනවා කොඩිවැල් 4ක් හරි 6ක් හරි එක්ක. ඊට පස්සේ ඒ කොටසේ මුදුනට දෙන්නෙක් නැගලා දෙවෙනි කොටසයි තුන්වන කොටසයි උඩට අරං සවි කරනවා. ඊට පස්සේ තමා අනිත් කොඩිවැල් ටික බඳින්නේ.

    වේලාසනින් කිව්වනම් ඡායාරූප ටිකක් හොයලා දෙන්න තිබ්බා. මෙතන බලන්න ඡායාරූප ටිකකට, හැබැයි ටිකයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. කොඩිගහ උස්සන හැටි පේන එකක් හොයාගත්තා. මේක මාතර පල්ලියක කොඩි ගහක්.

      Delete
    2. නිවැරදි කිරීමට ස්තුතියි සහෝදරතුමා පෝස්ට් එකට පින්තූර හොයාගෙන එනකොට පදවි ගානත් 12ක් වෙලානෙ. පින්තූරු වලට ස්තුතියි ඔන්න මම ඒ පින්තූරෙත් දාලා පෝස්ට් එක හැදුවා..

      පින්තූර වැඩේට උනේ නෑ කෙනෙක්ගෙ පින්තූර වගයක් ලැබෙනකම් බලන් හිටියා.. එව්වා ලැබුනෙත් නෑ. තව මමම ගිහින් ගත්තුවා හරියට වැදිලා තිබ්බෙත් නෑ.. අන්තිමේදී ඔහෙ ඕනෙ එකක් කියලා දැම්මා..

      එහ්ම කොඩිගහක් උස්සනවා මම දැකලම නෑ.. ඇවිත් බලන්න වටිනවා.. ඉස්සර අපේ පල්ලියෙත් ඒ වගේ කළාලු ලොකු හොර කඳන් ගෙනත්.. ඒත් දැන් යකඩ බම්බු කොඩිගස්නෙ..

      ස්තුතියි

      Delete
    3. ජූනී මාසේ තුන්වන සතියේ සිකුරාදා මීගමුවේ දූව මීසමේ පිටිපනවීදියට ඇවිත් බලන්න කොඩි ගහ උස්සන හැටි. දූවේ කොඩිගහත් මීට ටිකක් සමානයි. හැබැයි උස අතින් පිටිපනවීදියේ එක තමා උස.

      Delete
    4. අපෙත් ඒ කාලෙමනෙ මංගල්ලෙ.. බලමුකො ඇවිත් යන්න..

      Delete
  3. අපේ චමියලගේ ගමේ කට්ටියට තමයි ලංකාවෙන්ම හොදම අත්දැකීම් තියෙන්නේ කොඩිගස් ඉස්සිම සම්බන්දව

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා කොඩිගහ උස්සලා අප්පුඩි ගැහුව කට්ටියනෙ.. තව කටානෙ පැත්තෙ තියෙන හල්පෙ කියන ගමේ අයටත් ඔය සිද්ධි ටිකම කියනවනෙ..

      Delete
  4. ඔය ගැන මට තරම් අත්දැකීම් නැහැ කාටවත්, අපේ මුතුම් මිත්තෝ කොඩි ගහ උස්සල අත්පුඩි ගහන්න කප් ගහපු උදවිය, ඒක ලංකාවේ ප්‍රසිද්ද සිද්දියක් ,අපට ආඩම්බරයක් ..රටට ආඩම්බරයක්..., ඇයි මේ ලිපිය දාන්න කලින් මාව දැනුවත් නොකලේ.. මේ ලිපියේ අපේ ගම ගැන සදහන් කොරලා නැහැ නෙවැ ..

    ReplyDelete
    Replies
    1. අපේ දේවස්ථානයේ නම් තවමත් පාවිච්චි කරන්නේ තනි කෙලින් කදක් තියෙන ගොඩක් උස ස්වාභාවික ගහක් , මම හිතන්නේ ඒ කොඩිගහටත් වසර ගණනාවක ඉතිහාසයක් තියෙනවා (ඇත හැරලා අත්පුඩි ගහපු එක නෙවේ )
      මේ පහත තියෙන ලින්ක් එකේ Gallery එකේ අපේ කොඩිගහේ පින්තූර තියෙනවා ,
      http://batagamasac.com/gallery.php

      Delete
    2. බටගම බටගම... :)

      සඳහන් නොකළාට ලින්ක් එක දැම්මා.. අවාසනාවට ඒක වැඩ නෑනෙ.. ඒත් බටගම එක්කෙනෙක්ගෙම බ්ලොග් එකකට දාපු පහළ ලින්ක් නම් වැඩ..

      අපේ නම් පල්ලියෙ ස්වාභාවික කඳක් තිබුනත් හන්දි වල ඔසවන්නෙ කොඩිගස් කෑලි දැක්කමත් දුකයි..

      //ඇත හැරලා අත්පුඩි ගහපු එක නෙවේ// :D පින්තූරවලට ස්තුතියි චමී..

      Delete
  5. අපි නම් උස්සන්නේ රතුයි සුදුයි කොඩි තියෙන කොඩි ගහක්. ඔබ තුමාලාගේ කොඩි ගහේ පාට මොකද්ද ?
    ඔබතුමාත් බටගම හරියේද :)

    ReplyDelete
    Replies
    1. අපි නිලුයි සුදුයි..

      අපෝ නෑ.. කොඩිගස් උස්සලා අප්පුඩි ගැහුවේ අපි නෙවෙයි.. :)

      Delete
  6. 'කොඩි ගස්' ගැන විස්තර දැනගත්තේ අද. අර 'මේ මාතෘකාවට හේතුවෙච්ච කතාවත් බලලා' එක වැඩ කරන්නේ නෑ හරී. ගමේ කෙනෙකුගේ විවාහ මංගලයකදීත් මේ වගේ සැරසිලි කරනවද? මම කීවේ කොඩි ගස් උස්සනවා වගේ. (බැලුවේ හරීගේ වෙඩිමට එකක් උස්සවන්ට )

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි මේ ටික කියෙව්වද?

      1. උණ කතාව....
      2. කකුළුවන්ගේ කතාව
      3. හඳට පොළු ගැසීමේ කතාව
      4. හොරු ඇල්ලීම හෙවත්......
      5. අල්ල කික්කි උඩ දඩයං

      ඒ කතාවලට අමතරව කියවෙන කොඩිගහ උස්සලා අප්පුඩි ගහපු කතාවට ලින්ක් එකක් තමයි මම දීලා තිබ්බෙ.. ඔය කතා සේරම වෙලා තියෙන්නෙ ඔය උඩ ඉන්න චමීලගෙ අත්ත මුත්තලාගෙ කාලෙ. ඒ ගමේ..

      ඒ කතාව මෙහෙමයි. කොඩිගහ ඔසවන්නෙ පහල කට්ටියක් ගහට තල්ලුව දෙනගමන් වටේට කඹ වලින් ඇදලා.. පස්සෙ කඹ වටේ ගස්වල ගැටගහනවා.. කොඩිගහ ඔසවද්දි අප්පුඩි ගහන එකත් වෙඩි පත්තු කරන එකත් සිරිතක්.. ඉතින් කොඩිගහ කෙලින් උනාම සෙනඟ අප්පුඩි ගහන්න පටන්ගත්තාලු.. ඉතින් කරන කියන දේ මතක නැති කොඩිගහ ඔසවමින් හිටපු මිනිස්සුත් කඹ අතඇරලා අප්පුඩි ගැහුවලු.. කොඩිගහ ඩෝං ගාලා බිමට පත බෑවුනාලු.. :)

      "ගමේ කෙනෙකුගේ විවාහ මංගලයකදීත් මේ වගේ සැරසිලි කරනවද?" කොඩිගස් උස්සනවා වගේ එව්වා නම් කෙරෙන්නෙ නැතෝ..


      Delete
    2. කටානේ හල්පෙ ගමටත් ඔහොම කතා තියනවා බන්,,කොස් ගෙඩි සයිස් බලලා,තේක්ක හිටෝපු එක ලොකු ගෙඩි ගන්න,,,එතකොට කොස් ගහ කරත්තෙට කපපු එක,,,

      Delete
    3. @ ඩිලාන්,

      අපේ ඉස්කෝලෙට අඩුම ගානේ හල්පෙට යන පාරෙවත් හිටපු එකෙක් ආවානම් අපි ඔය කතා කිව්වා.. කොස් ගෙඩි බලලා නෙමෙයි ඩිලාන්.. කොස් කොළේ බලලා.. මෙච්චර පුංචි කොස් කොළයක් තියෙන ගහේ මෙච්චර පත සයිස් ගෙඩි හැදෙනවනම් මෙච්චර ලොකු තේක්ක කොළේට කොච්චර ලොකු ගෙඩි හැදෙයිද කියලා කොස් ගස් ඔක්කොම කපලා තේක්ක ගස් හිටෙව්වලු.. :ඪ්

      කොස් ගහ කරත්තෙට කපපු එකත් මරුනෙ..

      Delete
  7. වාද්දුවේ උත්සවේකදි මාත් දවසක් කොඩි ගහක් උස්සන තැනක හිටියා.. හොද ඉස්සීමක් මං කිව්වේ කොඩි ගහ..

    ReplyDelete
    Replies
    1. :D එහෙනම් හොඳට දැකලා ඇතිනේ..

      Delete
  8. අපි බලංගොඩ ඉන්න කාලේ ඔය කොඩි ගහ උස්සන සීන් එක දැකලා තියෙනවා.

    උඹ කොහෙද බං ගිහින් හිටියේ?

    ReplyDelete
    Replies
    1. //උඹ කොහෙද බං ගිහින් හිටියේ?//

      මල් කඩන්ට තමා. :D:D

      Delete
    2. @ Henry Blogwalker,

      එහෙනම් ඉතින් හොඳයි..

      වැඩ රාජකාරී බහුලයි අප්පා..

      @ Podi Kumarihami,

      ඔව් මම් කෙක්කන් අරන් ගියානෙ මල් කඩන්ට.. :P

      Delete
  9. අද තමයි මේ කරුණු කාරණා ඉගෙනගත්තේ!

    ReplyDelete
    Replies
    1. සතුටුයි යමක් දෙන්න හැකිවීම ගැන..

      Delete
  10. කොඩි ගහ උස්සනව, කොඩි ගහ උස්සනවා කිව්වට ඒකෙ නියම තේරුම ඕන් අද තමා දැන ගත්තෙ.

    මෙච්චර වේගෙන් පෝස්ට් දාන්න එපා බන් කියව ගන්නත් අමාරුයි.. :D

    ReplyDelete
    Replies
    1. කොඩි ගහ උස්සද්දි කිරිබත්, කැවිලි ආදියෙන් සංග්‍රහ කරනවා නේද...පොඩි කාලෙ අපේ ගමට අල්ලපු ගමේ එවැනි අවස්ථාවක ඒ ආසන්නයේ ඉදලා ඔය කිව්ව ජාති අනුභව කරපු මතකයක් තියෙනවා...

      Delete
    2. දෙවන වර කියවද්දි තමයි ඒ ගැනත් පෝස්ටුවේ සදහන් බව දැක්කෙ...ඔය රබන් ගහන චාරිත්‍රය හැම පලාතකම වගේ කෙරෙනවද ?

      Delete
    3. රබන් ගහන බවක්නම් මට මතක නෑ බන්..සමහර විට වෙන පැතිවල ඇති..මම ඉස්සෙල්ලාම රබන් ගහනවා දැක්කෙ අවුරුද්දට ගමේ ගියාම තමා..

      Delete
    4. සෙන්නා මොකද හුග කාලෙකින් අපේ බොග පැත්තෙ නාවෙ ?

      Delete
    5. @ සෙන්නා,

      කොඩි ගහක් උස්සනවා දැකලා නෑ ? :O සෙන්නා දැකලා නොතිබෙන්න විදිහක් නෑ..

      හුදී ජන පහන් සංවේගය උදෙසා පෝස්ට් දැමීමේ වේගය අඩු කරන්නම්කෝ.. :D

      අපේ පැත්තේ නම් අනිවාර්යෙන් රබන් ගහනවාම තමයි.. ආච්චිලා කාරිය රබාන වටේ නටනවත් එක්ක..

      Delete
    6. @ සිරාගෙ කාමරේ,

      ඔව්. මුල්ම කාලෙ කිරිබත් තමයි දීලා තියෙන්නෙ.. ඒත් දැන් නම් පාන්, බනිස්, බත් තමයි.. ඒත් මිනිස්සු වැඩියෙන්ම කන්නෙ අර බල්ලො කන දේ :) සමහරුන්ට නම් ඒක ජොලිලු.. :)

      මටත් බැරි වුනා කාලෙකින් සිරාගෙ බ්ලොග පැත්තෙ එන්න ආවත් කම්නෙට් දැම්මේ නෑ.. සිංහල ටයිපිං එකට මොකක්ද වෙලානෙ තිබ්බෙ..

      Delete
    7. කොඩි ගස් උස්සනවා දැකලා තියනවා විතරක් නෙමේ හරී කොඩි ගස් උස්සන්ඩ කඹ ඇදලත් තියනවා.. මම කිව්වෙ කරන්නන් වාලේ කළාට තේරුම දැනගෙන හිටියෙ නෑ කියලා. හරීගෙ ලිපිය කියෙව්වට පස්සෙ තමා ඒක දැන ගත්තෙ..

      Delete
    8. :D ඒක මිසක්.. මම පුදුම උනා..

      Delete
  11. ඔය කොඩිගහ උස්සනකොට අත්පුඩි ගැහැව්ව කතාව මම අහල තියෙනවා.ඒත් ඒක ඇත්තද කියල බලන්න හරී දිල තියෙන ලිංක් එක වැඩකරන්නෙ නෑ.

    මම දැන් වසර ගණනාවක ඉඳල මිනුවන්ගොඩ බුරුල්ලපිටිය පල්ලයේ කොඩිගහ ඔසවන හැටි දැකල තියෙනවා. ඒනිසා මේ සටහන ඒකට හොඳ ඌන පුර්ණයක්

    ReplyDelete
    Replies
    1. ඒ ලින්ක් එක පරන එකක්.. අන්න මම් පොඩ්ඩිට විස්තරේ කිව්වා..

      ඔන්න දැන් දයා අයියා කොඩිගහ උස්සනවා වගේම ඒක ඇතිවෙච්ච හැටිත් දන්නවා..

      Delete
  12. ඇයි දැං රබන් ගහන්න දන්න කට්ටිය නෑ කියන්නෙ. ඔය සිංහල අවුරුදු උත්සව වල ඕනතරං ඉන්නෙ.

    'සමහරු එන්නේ අතින් කටින් කඳමලු එල්ලගෙන වගේම තව සමහරු හිස් කවර අරගෙන.' හිස් කවර අරගෙන එන්නෙ ගේන ඒව දා‍‍ගෙන යන්නද?

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ ඉතින් ආච්චිලාම තමයි.. ඊළඟ පරම්පරාවෙ ඇල්මක් නෑ.. ආච්චිලා තාම පැත්තකට වෙන්නේ නැද්ද දන්නෙත් නෑ.. :)

      හිස් කවර අරන් එන්නේ දාගෙන යන්ට දෙන එව්වා..

      Delete
  13. අවුරුදු දෙක තුනකට ඉස්සල්ල මංගල්ලෙට ලංකාවේ උන්නේ,,,අපි ඉතින් අන්තෝනි පල්ලි කරයො නේ බන්,,දාන කෑම නම් හැම අගහරුවාදම වෙනවා..කොඩි ගහ උස්සනකොට මගින් දිරලා තිබිලා බර බර ගාගෙන ආවේ,,බොහොම අමාරුවෙන් කඩන් වැටෙන්න නොදී පත්තු බැදලා හෙන ගේමක් දීලා උස්ස ගත්තා....රෑ වෙනකන්ම කොඩි ගහත් එක්ක ඔට්ටු උනා ගමේ පිරිමි සේරම...
    මේ විදේශ වල නම් කොඩි ගස් දැකලා නෑ බන්

    ReplyDelete
    Replies
    1. අන්තෝනි පල්ලිකාරයන්ට නම් හැම අඟහරුවාදම කෑමෙන් බීමෙන් අඩුවක් නෑ.. :)

      ඒකත් නියම අත්දැකීමක් තමයි.. බැරිවෙලාවත් කඩන් වැටුනානම් අප්පුඩි ගහපු සීන් එකේ අනික වෙනවා..

      පිටරටවල නෑ වගේ තමා..

      Delete
    2. ඉතාලියෙ කොඩි ගස් උස්සන්නෙ නෑ..හැබැය් මංගල්ල වලට කඩ දානවා..... රස කැවිලි, අරුමෝසම්බඩු ......සතියක් විතර මේ කඩ තියෙනවා ..ඉස්සර අපේ පල්ලියෙ කොඩි ගහ උස්සන්න අයිතිකාරයෙක් හිටියා" ලාවුස් මාමා " කියලා

      Delete
    3. @ ශශී,
      ජාලයේ ඒ ගැන විස්තර මොකුත් නැති හින්දා මටත් හිතුනා නැතුව ඇති කියලා. කොඩි ගහ උස්සන්න අයිතිකාරයෙක් හිටියා කියන එක නම් පැහැදිලි මදි. ඒ කියන්නෙ ඒ මනුස්සයලාගෙ ගෙදර කොඩි ගහයි කොඩියි තියලා තිබුනා කියන එකද? නැත්නම් ඒ මනුස්සයා ප්‍රධාන ලණුව ඇද්දා කියන එකද?

      Delete
  14. මෙන්න මේක හැම අවුරුද්දෙම මම යන මංගල්ලයක්

    http://www.youtube.com/watch?v=Bc02vlKrVSc

    ReplyDelete
    Replies
    1. වීඩියෝවට ස්තුතියි ශශී

      Delete
  15. mata mathak une ara ahasin giya ibbai kokku dennai :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ කොඩි ගහ උස්සලා අතඇරපු නිසාද?

      Delete
  16. මට බයිබලය ගැන ප්‍රශ්නයක් තියෙනවා
    මම දන්න හැටියට දේව දූතයන් කියන්නේ අලිංගික සත්ව වර්ගයක්
    නමුත් බයිබලයේ තියෙනවා ඔවුන් නෝවාගේ කාලයේ මනුශ්‍ය ස්ත්‍රීන් සමඟ විවාහ වුනා කියලා මේක වෙන්නේ කොහොමද

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...