Saturday, September 21, 2013

හොල්මන් දූවේ අභිරහස - The case of haunted mangrove island


ඒ 1891 වර්ෂයේ ජනවාරි මාසයේ දිනයක් බව මාගේ සටහන් පිරික්සා බැලුවිට මට පෙනීයයි.කවුළුවෙන් පිටත බලාගෙන සිටි මාහට බේකර් වීදියේ එහා මෙහා යන මිනිසුන් පෙනුනේ එක්වරම මීදුමෙන් මතුවී මීදුමේම සැගවී යන අවතාර මෙනි.මේ හෝම්ස් සහ මා ගතකල ඉතාමත්ම අවිවේකී කාලයක් බව මට සිහිකළ හැකිය.වසර කිහිපයක්ම එකදිගට පරීක්ෂණ කටයුතුවල නියුතුවීම හෝම්ස්ගේ ශරීර සුවතාවයටනම් කෙසේවත් සුබදායී ලෙස බලපෑවේ නැත.අවසානයට අපි යෙදුනු පරීක්ෂණ වුයේ රතු හිසකෙස් කල්ලියේ ගැටලුව,නිල දියමන්ති අභිරහස සහ කොපර් බීච්ස් සිද්ධියයි.

"ඔබ හරි වොට්සන් ,මේ මීදුමයි මගේ අසනීප තත්වෙනම් මොරියාටිලාට අපරාධවල යෙදෙන්න හොදම කාලයක්" තමන්ගේ කාමරයෙන් පිටතට පැමිණෙමින් හෝම්ස් කිව්වේය."දෙය්යෝ සාක්කි හෝම්ස්,කොච්චර අසනීප වුනත් ඔබේ නිරීක්ෂණ හැකියාවනම් පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ"නැත්නම් මේ වෙලාවේ මගේ හිතේ පතුලේ තිබුණු අදහස කොහොමද ඔබ එකපාරටම කිව්වේ....

ඒක හරි සරලයි වොට්සන්,මං දැක්කා ඔබ දැන් සෑහෙන වෙලාවක් තිස්සේ කවුළුවෙන් පිටත බලාගෙන හිටියා ඊට පස්සේ ඔබේ දෑස යොමුවුණේ ඊයේ අපි හාර්ලි වීදියේ සර්වාංග වෛද්‍ය ජෙනින්ග්ස් හමුවෙන්න වෙලාව වෙන්කරගත් කාඩ්පත වෙත,ඉන්පස්සේ ඔබේ දෑස යොමුවුණේ පොත් රාක්කයේ මං සකස්කරලා තියෙන අපරාධකරුවන්ගේ සුචියේ M අකුර තියෙන පොත දිහාවට.ඉතින් මේ ඔක්කොම දැකලත් ඔබේ හිතේ තිබෙන අදහස කියන්න බැරිනම් මම ඇත්තටම අදක්‍ෂයෙක්.

ඉතින් දැන් අපේ නිරීක්ෂණ නවත්තලා අපි යමු  දොස්තර ජෙනින්ග්ස් හමුවෙන්න.මං කතාකල අශ්ව කරත්තයත් දැන් ටිකකට කලින් ආවා.අනික මේ අධික ශීතල සහිත මීදුමේ පයින් ඇවිදගෙන යන්න පුළුවන් තත්වෙක ඔබ කොහොමටවත් නෑ.

මාගේ බලවත් පෙරැත්තය නිසාම වෛද්‍ය පරීක්ෂණයට යෑමට අවසානයේදී හෝම්ස් එකගවිය.වෛද්‍ය ජෙනින්ග්ස් විවිධ පරීක්ෂණ රැසකට පසු අප අමතා මෙසේ පැවසීය.හෝම්ස් මහතාට බරපතල රෝගාභාදයක් වැළදිලා නැතිබව මට කියන්න පුළුවන්.ඒත් පහුගිය කාලයේ දිගින් දිගටම අවිවේකීව සිටීම,නිදි මැරීම සහ ශරීරයට කොකේන් එන්නත් කරගැනීම නිසා ස්නායු පද්ධතියනම් දැඩි කම්පනෙකට පත්වෙලා තියෙන්නේ.ඒක නිසා මනසට අවශ්‍ය විවේකය ලබානොදුන්නොත් ඔබේ ජීවිතේට පවා අවධානමක් තියෙනවා.

තවදුරටත් දොස්තර ජෙනින්ග්ස් පැවසුවේ බෙහෙත් ගන්නවාට වඩා දීර්ඝ මුහුදු ගමනක යෙදිය හැකිනම් එය හෝම්ස්ගේ ස්නායු කම්පනය යථා තත්වයට ගනු ඇති බවයි.බේකර් වීදිය දක්වා අපේ ආපසු ගමන තනිකරම වාදවිවාද වලින් පිරී තිබුණි.කෙසේනමුත් අවසානයේදී මුහුදු ගමනක යෙදීමට හෝම්ස් එකග කරවාගැනීමට මම සමත්වීමි.

වැඩි දවසක් නොගොසින්ම ලන්ඩන් වරායෙන් "Duke Argyll" නම් වාෂ්ප නැවෙන් ඈත පෙරදිග සිලෝන් දක්වා යෑමට අපි නැව් නැග්ගෙමු.ඉන්දියන් අර්ධද්වීපයට පහලින් පිහිටි කුඩා දූපතක් වුනු සිලෝන් එවකට කවුරුත් හදුනාගෙන සිටියේ "ලිප්ටන්ගේ තේ වත්ත" නම් අන්වර්ථ නාමයෙනි.කලකට පසුව වුවද ඝර්ම කලාපීය දේශගුණය අත්විදින්නට ලැබීම මා නම් ප්‍රමෝදයට පත් කළේය.ඒඩ්න් බොක්කේදී මුහුණ පෑ සුලිකුනාටු කිහිපයක් හැරෙන්නට අපේ ගමන විශේෂ සිද්ධිවලින් තොරවිය.හෝම්ස්නම් මේ වෙනස ගැන සතුටට පත්වී සිටියායි කිව නොහැක.ඔහුගේ ලන්ඩන් වලින් පිටවීම පවා රහසක් ලෙස තබාගත යුතු බව ඔහු පැවසුවේ මොරියාටිලාගේ වැඩ ගැන දන්නා නිසාය.විටින්විට මේ මැසිවිලි නැගුවත් හෝම්ස්ගේ ශරීර සුවතාවය යහපත් තත්වයකට පැමිණීම මා සතුටුකරවන්නක් විය.කෙසේවුවත් සති 3 ක පමණ මුහුදු ගමනකට පසු සිලෝන්හි ගෝල් නම් වරායෙන් අපි ගොඩබැස්සෙමු.

මා සමග ඇෆ්ගනිස්ථානයේ සේවය කල කපිතාන් වුඩ්ලන්ඩ් ඒ වනවිටත් ගෝල් වරායට අප පිළිගැනීමට පැමිණ සිටියේ කල්තබා මා විසින් එවනලද කේබල් පණිවිඩය අනුවය.අපට ඔහුගේ වාසස්ථානය කරා යෑමට සපයා තිබුනේ හරකෙකු විසින් ඇදගෙන යන්නාවූ බක්කි නම් කරත්තයකි.ලන්ඩනයේදී අශ්ව කරත්තවලින් පමණක් ගමන්ගොස් තිබු අපට මේ අත්දැකීම වෙනස්ම අත්දැකීමක් විය.කපිතාන් වුඩ්ලන්ඩ්ගේ නිල වාසස්ථානය පිහිටා තිබුනේ ගෝල් නැතිනම් ස්වදේශිකයින් පවසන ආකාරයට ගාලු කොටු පවුර තුලය.මේ කොටු පවුර පෘතුගීසි ජාතිකයින් විසින් ගොඩනගන ලදුව පසුව ලන්දේසීන් විසින් විශාල කොට තනනු ලැබුවකි.ඉන්පසු රැජිනගේ කිරීටයට නතුවූ මෙම කොටු පවුර මුහුදුබඩ පිහිටි මනරම් නිර්මාණයක් බව පැවසිය යුතුය.

එදින විවේකීව ගතකල අප පසුදින කොටු පවුර සහ මුහුදුබඩ ඇවිදීමට යොදාගත්තෙමු.මේ වෙනසින්නම් හෝම්ස් අතිශය ප්‍රමෝධයට පත්වී ඇති අයුරු මට දක්නට ලැබිණි.සමුද්‍ර ජීව විද්‍යාව සහ පුරාවිද්‍යාව යන විෂයන් දෙකම හෝම්ස්ගේ ප්‍රියතම අංශ දෙකක් බව මින් පෙර මා ඔබට සදහන් කර ඇත.දවස් කිහිපයක්ම මේ අන්දමින් ගතවී ගිය අතර එක් දිනක් සන්ධ්‍යාවේදී අපගේ සුපුරුදු ඉරණම පලදුන්නේය.මෙයින් මා නම් අතිශය කම්පනයට පත්වූ අතර හෝම්ස්නම් අළුත් සෙල්ලම් බඩුවක් ලද කුඩා දරුවෙකු මෙන් අතිශය සන්තෝෂයට පත්විය.

එම දිනයේ සන්ධ්‍යාවේදී කපිතාන් වුඩ්ලන්ඩ්ස්ගේ ඇරයුමක් අනුව ගාලු උසාවිය අසල පිහිටි අවන්හලක් වෙත පියනැගුවෙමු.මුළුමනින්ම වාගේ විදේශිකයින් පමණක් දක්නට සිටි අතර ඉදහිට ස්වදෙශිකයකුද දක්නට සිටියේය.ටික වේලාවකට පසු අපෙන් සමුගෙන මදක් ඉවතට ගිය වුඩ්ලන්ඩ් නැවත පැමිණියේ ස්වදේශික මහතෙකු කැටුවය.කළු පැහැති යුරෝපීය ඇදුමින් සැරසී සිටි ඔහු ඉහල පන්තියේ ස්වදේශික මහතෙකු බව මට පෙනී ගියේය.මේ ඉන්නේ මිස්ටර් පෙරේරා ,ගාලු උසාවියේ වැඩකරන පෙරකදෝරු මහත්තයෙක්,මගේ හොද මිත්‍රයෙක්.ඔහු හදුන්වා දෙමින් වුඩ්ලන්ඩ්ස් පැවසුවේය.

මිස්ටර් පෙරේරා ලග තියෙනවා ටිකක් අමුතු ආකාරයේ කතාවක්.සමහරවිට හෝම්ස් මහතා කැමතිවෙයි ඔහුගේ කතාවට සවන්දෙන්න.මෙය ඇසුවිට මෙතෙක් නිදාගෙන මෙන් සිටි හෝම්ස් එක්වරම ජීවය ලද්දකු මෙන් පුටුවේ හරි බරි ගැසී ඉඩගත්තේය.

මේ සිද්දිය වුනේ පහුගිය පාසල් නිවාඩු කාලයේදී.අප අසලින් අසුන් ගත් පෙරේරා මහතා තම කතාව පටන් ගත්තේය.පුරුද්දක් විදිහට හැම නිවාඩු කාලෙදිම වගේ මාත් මගේ බිරිඳත් දරුවෝ දෙන්නාත් විනෝද චාරිකාවක යෙදෙන්න අමතක කරන්නේ නෑ.ඉතින් ඒ විදිහට පහුගිය නිවාඩු කාලෙදී අපි ගියේ ගාල්ලෙන් සැතපුම් 8 ක්‌ විතර දකුණු පැත්තට වෙන්න තියෙන කොග්ගල කියන ගමට.ඒ ගමේ තියෙනවා ලස්සන ඔයක්.ඉතින් ඔන්න ඔය ඔයේ ඔරුවක්‌ පදින්නත් ගමවටා පොඩ්ඩක් ඇවිදින්නත් තමයි අපි සැලසුම් කරලා තිබුනේ.ඔය ගමේ කෙනෙක් නිතර ගාලු එන කෙනෙක් ඉන්නවා පොඩි ගමරාල කියලා.ඉතින් ඒ දැනහැදුනුම්කම මත තමයි අපි මේ ගමන යොදා ගත්තේ.අපි හිතපු විදිහටම අපි පොඩිගමරාලත් එක්ක ඔරුවෙන් යන අතරේ ඒ ඔයේ මැද තියෙන කඩොලාන වලින් හැදුනු දූපතකටත් ගොඩවුනා.

පොඩි ගමරාලගේ හිතවත් ළමයි දෙන්නෙක් මේ දූපතේ එක් පැත්තක වගා කටයුතු කරනවා.ඉතින් අපි මේ දෙන්නත් එක්ක කතාවට වැටුනා.හරිම හොද ළමයි දෙන්නෙක්,ඇත්තටම මේ කතාව කිව්වේ ඒ ළමයි දෙන්නා.ඒ දූපතේ අනිත් පැත්තෙන් හැම අමාවක පෝය දවසටම [සද නැති දිනවල] ඉහල පහල යන එළියක්‌ හොඳින් දිස්වෙනවනවලු.අනිත් දවස් වලටත් හඳ වලාකුළුවලින් වැහුනම ඔය එලිය දකින්න පුළුවන්ලු.කොහොමත් ඒ දූපත ඉස්සර ඉදලම හොල්මන්වලට ප්‍රසිද්ද දූපතක්.ඔය ළමයි දෙන්නා ඕකේ හිටියට මාළු මරන්න ඔරුවෙන් යන කෙනෙක්වත් ඒ දූපත පැත්ත පලාතෙන් ඔරුව පදින්නේ නෑ.පොඩි ගමරාලත් ඔය කතාව අපිට කිව්වා.ඉතින් ආයෙත් ඒ ගැන හොයන්න එනවා කියලා ඒ ළමයි දෙන්නට පොරොන්දුවෙලා තමයි මම ආවේ.

මෙතෙක්වෙලා සාවදානව කතාව අසාසිටි හෝම්ස් අතිශය ප්‍රමෝධයට පත්වී ඇති බව මට පෙනෙන්නට තිබුණි.එහෙත් අප මෙතෙක් කටයුතු කල සෑම පරීක්ෂනයකම ගැටී තිබුනේ ලෙයින් මසින් සැදුනු මිනිසුන් සමගය.හොල්මන් අවතාර සමග ඇයි හොදයියක් පැවැත්වීමට අපට මෙතෙක් අවස්තාවක් ලැබී නොතිබුණි.අනිත් අතට හෝම්ස් මතක තියා ගත යුත්තේ මේ අපේ සුපුරුදු ලන්ඩනයවත් ,අඩුම තරමේ එංගලන්තයවත් නොවන බවයි.මේ ආසියාතික රටවල මිනිසුන් අපට වඩා නොපෙනෙන බලවේග සමග සම්බන්දකම් පවත්වති.අනෙත් අතට සිලෝන්හි අනිත් පෙදෙස්වල ජනයා මේ දකුණු ප්‍රදේශයේ ජනතාව සැලකුයේ හදිහුනියම් කටයුතුවලට චිරප්‍රසිද්ද අයවලුන් හැටියටය.මේ කරුණු මම හෝම්ස්ට පෙන්වාදුන්නත් පලක්වුයේ නැත.පෙරේරා සමග ඒ දූපතට යාමට හෝම්ස් කැමැත්ත පළකළේය.

ඉන් දින දෙකකට පසු අමාවක පෝය දිනය යෙදී තිබුණු බැවින් එදින අපි බක්කි කරත්ත දෙකකින් කොග්ගල බලා පිටත්වීමු.මුලින් අපේ ගමනට එක්වීමට වුඩ්ලන්ඩ්ස්ද කැමැත්තෙන් සිටියද හදිසියේ යෙදුනු කටයුත්තක් නිසා ඔහුට මේ ගමනට එක්වීමට නොහැකිවිය.
පෙරේරා, හෝම්ස් සහ මා දහවල් වනවිට කොග්ගලට ලගාවුණු අතර අපට නුපුරුදු බක්කි කරත්තයේ ගමන් කිරීම අපට කිසිසේත්ම ලෙහෙසිපහසු වුයේ නැත.අනිත් අතට දුම්රිය මගද ගාල්ලෙන් නිමවී තිබු නිසා මේ ගමනට බක්කිය හැර වෙනත් විකල්පයක්ද නොතිබුණි.අප මුලින්ම පොඩි ගමරාලගේ නිවසට ගොස් පොඩි ගමරාල හමුවූයෙමු.මෙහිදී පොඩි ගමරාලගෙන් කරුණු කිහිපයක් විමසා සටහන් කරගැනීමට හෝම්ස්ට අවශ්‍යවිය.අපගේ භාෂා පරිවර්තක ලෙස පෙරේරා කටයුතු කළේය.

පොඩි ගමරාල මහත්තයා අපට කියන්නකෝ මේ එලිය කොච්චර කාලෙක ඉදලද පේන්නේ කියලා,හෝම්ස් කතාව පටන්ගත්තේය.

මහත්තයට කියන්න අපි පොඩිවුන් සන්දියේ ඉදලා ඔය දූව පැත්තට මෙලොව මනුසයෙක් යන්නේ නෑ.ගියත් යන්නේ වත්තේ පිටියේ ඉදලා අහුවෙන සතා සරුපයෙක් මල්ලක දාලා ගිහින් අතාරින්න විතරයි.ඒ තරම් ඔය දූව හොල්මන්වලින් පිරිලා තියෙන්නේ.හැබැයි ඔන්න ඔය කියන එළියනම් ඉහල පහල යන්න අරන් ඒ හැටි කාලයක් නෑ.මයේ හිතේ අවුරුද්දක් විතර ඉදලා තමයි.හැබැයි ඉතින් අමාවක දවසට තමයි ඔය එලිය හොදට පේන්නේ.මගේ ගාව වැඩකරපු කොලු ගැටව් දෙන්නෙක්නම් දැන් ඔය දූවේ මෙහාපැත්ත වගා කරනවා.ඇස්වහක් කටවහක් නෑ මහත්තයෝ උන් දෙන්නනම් යකෙක්ටවත් බයනැති කොල්ලෝ දෙන්නෙක්.උන්ගෙන් ඇහුවොත්නම් වැඩිවිස්තරයක් දැනගන්න පුළුවන්වෙයි.

වැඩිදුර විස්තර සෙවීමට දූපතට යාමට අවශ්‍යයයි හෝම්ස් පැවසු බැවින්,මම, හෝම්ස් ,පෙරේරා සහ පොඩි ගමරාල ඔහුගේ ඔරුවෙන් දූවට යාමට පිටත්වීමු.ඔය හරහා හමායන සුළං ප්‍රවාහය නිසා ඔරුව පැදීම කෙසේවත් ලෙහෙසිපහසු වුයේ නැත.පැයක පමණ ගමනකින් පසු අපි දූවට ලගාවීමු.එක් තැනක තොටුපලක් ලෙස සදා තිබුණු තැන ඔරුව නැවතූ අපි දූපතට ගොඩවුනෙමු.

දූවට ගොඩවුණු අප පිලිගනු ලැබුයේ උපාලි සහ ජිනපාල විසිනි.කල්වේලා ගතනොකර ඔවුන්ගෙන් මේ පිළිබඳව විමසීමටද හෝම්ස් අමතක නොකළේය.අනේ මන්දා මහත්තයෝ අපිනම් හිතන්නේ නෑ ඒ හොල්මනක් කියලා,ඒත් ඒ මොකක්ද කියලා කියන්න අපිත් දන්නේ නෑ.අපිත් සැරින් සැරේ ඔය එලිය ඉහල පහල යනවා දැක්කා.අපි වගාවටම කාලය යොදවලා හිටපු නිසා ඒ ගැන හොයා බලන්න වුනේ නෑ
.උපාලි පැවසීය.

එදා රෑ අපි දූවේ සිටියයුතුයි කියා හෝම්ස් යෝජනා කළේය.හොල්මන් සමග ඇයිහොදැයි පැවැත්වීමට ප්‍රතික්ෂේපකල පොඩිගමරාල ඔරුවෙන් තම නිවස බලා ගමන්කළේය.රාත්‍රිය උදාවීමත් සමගම අප එලිය දකින බලාපොරොත්තුවෙන් ගල්පොත්ත උඩට වී කල්ගතකලෙමු.රාත්‍රිය උදාවීමත් සමගම දූපතේ අනිත් පසින් එම එලිය දකින්න ලැබුණි.එම එලිය දකින්න තිබුනේ දූපතේ අනිත් පසින් ගස්වලට උඩිනි.කෙසේනමුත් එය දුටු හෝම්ස්ගේ මුහුණේ ඇතිවුණු හැගීමනම් මට වටහාගත නොහැකිවිය.එදා රැය ගෙවී පසුදින උදාවිය.ළමුන්ගෙන් සමුගත් අපි නැවත ගොඩබිමට පැමිණ ගාල්ලට යනතුරුත් හෝම්ස් වචනයක්වත් අප සමග කතාකලේ නැත.

කම්මුලේ අත තබාගෙන අතිශය කනස්සල්ලෙන් පසුවුණු ස්වරූපයක් හෝම්ස් වෙතින් දිස්විය.හෝම්ස් මෙසේ කතාබහ කිරීමෙන් වළකින්නේ ඔහුට නිගමනයකට එලබීමට නොහැකිව පරීක්ෂණය අසාර්ථක වනවිටය.අපි යෙදුනු පරීක්ෂණ අසාර්ථක පරීක්ෂණ කිහිපය අතරට මෙයත් එකතුවන බවට දැන් මට සැකයක් නොමැත.ගාල්ලට පැමිණි පසු පෙරේරා මහතාද අපෙන් සමුගත්තේය.පෙරේරා සමුගත්පසු මම හෝම්ස් අමතා "එහෙනම් හෝම්ස් ඔබ අන්තිමේදී පිළිගත්තා හොල්මන් කියලා දේකුත් තියෙනවා කියලා,ඇත්තටම ඔය ඉහල පහල යන එලිය මොකක්වෙන්න පුලුවන්ද හෝම්ස්"

පිස්සුද වොට්සන්,ඔය ගිය අවුරුද්දේ open කරපු දෙවිනුවර lighthouse එකේ එලියනේ.....

------------------------------------------------------------------------------------
සටහන-මම ඉතා අසාකරන මඩොල් දූවේ චරිත සහ ශර්ලොක් හෝම්ස් චරිත ඇසුරින් මා කල නිර්මාණයකි.ඇත්ත වශයෙන්ම මඩොල්දූව වැනි විශිෂ්ට ගනයේ ග්‍රන්ථ කියවීම අද පරපුරේ ළමුන අතරින් ඈත්වීමනම් අතිශය කනගාටුදායක කරුණකි.මඩොල් දූව වැනි නිර්මාන බිහිකළ මාටින් වික්‍රමසිංහ ශූරීන්ට අපි සියල්ලන්ම ස්තුතිවන්ත විය යුතුය.ඔබත් ඔබේ දරුවන්ට මඩොල්දූව වැනි විශිෂ්ට නිර්මාණ කියවීමට ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි,

34 comments:

  1. අඩු ගානේ එතුමා හිටිය තැනවත් බලන්න ගියා නං නරකද.. කතාව නරකම නෑ..

    ReplyDelete
    Replies
    1. අපි දෙතුන් වතාවක් ගිහින් තියෙනෝ...

      Delete
  2. මේක එළනේ හසරැල් ..නියමයි..තව එකක් ලියන්න... හැබැයි ලංකාවෙන් පිට සීන් එකක්...

    ReplyDelete
    Replies
    1. බලමු..බලමු..එකවගේ දෙකක් ලියන්නනම් අදහසක් නෑ මචෝ..

      Delete
  3. නිර්මාණය අගේ කල හැකියි.

    ReplyDelete
  4. කොහොම හරි පෙරදිග සාහිත්‍යයයි අපරදිග සාහිත්‍යයයි එකට මුණ ගැහෙන දවසක් ආවා එහෙනම්! ඔහේටත් හිතෙන දේවල්!

    ReplyDelete
    Replies
    1. මේවා ඉතින් මේ සෙම් කෝප වෙච්චි වෙලාවට හිතෙන ඒවා නොවැ...

      Delete
  5. මේ කියවපු දෙවනි පාර , මොකක්ද බං මේ

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹ හින්දා ඇතැම් අය්යේ මේකේ උප්පත්ති කතාවත් කියන්න මං තීරණේ කළා...

      අපේ ගෙදර ගාව තියෙනවා නිල්වලා ව්‍යාපාරයේ බන්ට් එකක්.ඕකට ගියාම දෙවුන්දර ලයිට්හවුස් එකේ එලිය පේනවා.ඒක හරියට පේන්නේ අපේ ගෙවල් පිටිපස්සේ ඉදන් කවුරුහරි ටෝච් එකක් ගහන විදිහට.එලිය ඉහල පහල යනවා.අපි මේක දැකලම දන්නවා.ඒත් පිටින් ආපු කෙනෙකුට එකපාර හිතාගන්න අමාරුයි.අනිත් එක මේ ලයිතවුස් එක අනිත් ඒවාට වඩා ගොඩක් උස නිසා එලිය ගොඩක් දුරට විහිදෙනවා.ඒක නිසා මං හිතුවා මේක හදපු මුල් කාලේ මිනිස්සු මේ එලිය මොකක් කියලා හිතන්න ඇත්ද කියලා.එතකොට මට මතක්වුනේ මඩොල් දූව පොතේ ඉහල පහල යන එලිය [ගිනි හට්ටිය].ඉතින් මං ගූගල් කරලා බැලුවා ලයිට් හවුස් එක හදලා තියෙන්නේ කොයි කාලේද කියලා.ඒක හදලා තියෙන්නේ 1890.ඉතින් ඊට පස්සේ මං බැලුවා මඩොල් දූවේ කතාව කොයි කාලේ එකක්ද කියලා.බලනකොට ඒකත් 1890 කාලේ කතාවක්.ඔන්න බලන්න පතාගෙන එනහැටි.

      මේ අපූරු ගැලපීම උඩ කතාව ගොඩ නගන්න මං තීරණේ කළා.ඊට පස්සේ මට හිතුනා මේ අභිරහස විසදන්න ෂර්ලොක් හෝම්ස් මහත්තයා ගෙන්නුවොත් මොකද කියලා.ඉතින් උන්නැහේගෙන් වෙලාවක් වෙන්කරගන්න පුලුවන්ද කියලා බලනකොට.1891 දී හෝම්ස් මහත්තයාට එච්චර වැඩ තිබිලා නෑ.අනිත් ඒවා නම ඉතින් මගේ අතින් දාපුවා.නැවේ නමනම් ඇත්ත එකක්.ඒක ඒ කාලේ ලංකාවට ආපු වාෂ්ප නැවක්.

      මඩොල් දූව පොත ගැන විස්තර මෙතනින් බලන්න

      දෙවිනුවර ප්‍රදීපාගාරය ගැන විස්තර මෙතනින් බලන්න.

      එක එක ශේර්ලොච්ක් හෝම්ස් පරීක්ෂණ කරපු අවුරු මෙතනින් බලන්න.

      දැන් බොට පැහැදිලිය.ෂර්ලොක් හෝම්ස් කියන්නා වගේ තමා 'වැඩේ පැහැදිලි කලාම අගේ යනවා'.

      Delete
  6. එහෙනම් හෝම්ස් ත්‍රිකුණාමලයට අමතරව ගාල්ලටත් ඇවිල්ලා, පෙරදිග බටහිර ගැලපීමේ අපුරු උත්සාහයක් නේ හසරැල් ..... එළකිරි

    ReplyDelete
  7. ලස්සනට දෙපැත්ත ගලපල තියෙනව.
    මඩොල් දූව කියන්නෙ මගෙත් ආසම කතාවක්. ඒ වගේ පොත් දැං ළමයි කියවන්නෙ නැති එකනං අපරාදයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රසන්න අය්යේ..

      Delete
  8. එල එල - දෙකම හොද කතා දෙකක් නෙ
    උත්සයයත් සර්ථකයි

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි මචං

      Delete
  9. මෙන්න ඔබ පුල බලා සිටි "හසරැල් ගේ වික්‍රම..'

    කොහොම හරි මට ආපහු මුල ඉඳන් මඩොල් දුව කියවන්නත් වුනා..මේක හන්දා...

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකෝ හොද පොතක් ආයෙත් කියෙව්වම...

      මඩොල් දූවේ මට අවශ්‍ය තොරතුරු වගයක් සොයාදී දුරකතනයෙන් දැක්වූ සහායට මාගේ ශීර්ෂ ප්‍රණාමය...

      Delete
  10. නියමයි හසරැල් අලුත් දෙයක්

    ReplyDelete
    Replies
    1. හැමදාම අලුත් දෙයක් දෙන එක තමයි මගේ බලාපොරොත්තුව...

      Delete
  11. මඩොල්දූවයි ෂර්ලොක් හෝමයි එක පෙළට තැබූ කතාවක් නියමයි.අලුත් ඇසකින් අලුත් දෙයක් හසරැල්.

    ReplyDelete
  12. අමුතු වෙනසක්...අමුතු සටහනක්...

    ReplyDelete
  13. ලියමු ලියමු දිගට ම.

    ReplyDelete
  14. මේ මොඩ්ල් එකේ එකක් කියෙව්වාමයි. ජෙම්ස් බොන්ඩ්වයි නාවල නිහාල්වයි මුනගස්සවන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ආ..එහෙමත් පුළුවන්නේ...

      Delete
  15. හ්ම්ම්ම් හොඳ නිර්මාණයක් නමුත් අර අපිට හුරු පුරුදු ෂර්ලොක් හොල්ම්ස් චරිතයෙන් ඒ කතා විලාසයෙන් බැහැර වෙලා වගේ ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඒක අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනනේ.මොකද මේ කතාව ලියලා තියෙන්නේ මම මිසක් කොනන් ඩොයිල් මහත්තයාවත් චන්දන මෙන්ඩිස මහත්තයාවත් නෙවෙයිනේ..

      Delete
  16. මේක නියම බ්ලොග් එකක්. මම හදවතින්ම සුභ පතනවා ..

    ReplyDelete
  17. ඒත් හසරැල් 1891 වර්ෂයේ ජනවාරි මාසයේ දිනක සිට වැඩි දවසක් නොගොසින්ම සති 3 ක පමණ මුහුදු ගමනකට පසු ගාල්ලට ආවත් 1894 මැයි 07 වෙනකම් දුම්රිය මග ගාල්ලෙන් නිමවී තිබුණේ නැහැ....

    ReplyDelete
    Replies
    1. ආ..එතනනම් පොඩ්ඩක් අවුල් නේද ????

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...