Friday, September 20, 2013

බැංකු ණයක් ගමුද ????


අපේ බැංකුවයි ඔබයි පාඩම් එහෙම්මම නැවතුනානේ.ඔන්න ඒක නිසා අද මං අලුත් පාඩමක් ලියන්න හිතුවා.අද මං කියලා දෙන්න යන්නේ බැංකු ණය ගැන.ඉතින් වෙනදට වඩා වෙනස් විදිහකට ලියන්න හිතුනා.මගෙන් ගණුදෙනුකරුවන් නගපු ප්‍රශ්න සහ ඒවාට මං දුන්නු උත්තර විදිහට මේ පොස්ට් එක ලියනවා.බලන්න මේ ප්‍රශ්න ඔයාලටත් තියෙන ඒවාද කියලා....

බැංකු ණයක් ගන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද?

මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.ඔබ ස්ථිර රැකියාවක් කිරීම ණයක් ගැනීමේදී අත්‍යාවශ්‍ය කාරණයක් නෙමේ.ඒත් ඔබේ ආදායම බැංකුවට පිළිගතහැකි ආකාරයට තහවුරු කලහැකිවිය යුතුයි.ඔබ ස්වයං රැකියාවක නියුතුවෙනවානම් ඔ‍බට ලැබෙන ආදායම බැංකු ගිණුමක් හරහා පෙන්නන්න පුලුවන්නම් ගොඩක් හොදයි.නැත්නම් තමන්ගේ ආදායම ගමේ ග්‍රාම සේවක මහත්තයාට කියලා තහවුරුවක් ගන්න පුළුවන්.ස්ථිර රැකියාවක් කරන කෙනෙක්ට තමන්ගේ වැටුප්පත පෙන්වන්න පුළුවන්.ව්‍යාපාරයක් කරන කෙනෙකුට තමන්ගේ ලාබඅලාබ ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න පුළුවන්.වැටුප් ලබන අයට තමාගේ වැටුපින් අඩුකිරීම් නියමිත සීමාව නොයික්මවා තිබීම වැදගත් වෙනවා.

ඔබ දැනටත් වැටුප් ලබන කෙනෙක්නම් ඔබේ වැටුප බැංකු ගිණුමක් හරහා ලබාගන්න කටයුතුකරන්න.එවිට ඔබ ණය මුදලක් ලබාගන්නට යාමේදී බැංකුවට ඔබේ ආදායම් තත්වය පිලිබඳ පැහැදිලි චිත්‍රයක් ලැබෙනවා වගේම ණය මුදල ලබාගැනීමේදී වැටුප බැංකුවට හැරවීමට වෙන අමතර කාලයත් ගතවීම වලක්වා ගන්න පුළුවන්.

ඊට අමතරව බැංකු හෝ වෙනත් මුල්‍ය ආයතන වෙතින් ලබාගත ණය පැහැරහැර නොතිබීමත් වැදගත්.CRIB එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාවක් ලබාගැනීමෙන් මේක කරන්න පුළුවන්.මොකද ගොඩක් අය දන්නේ නැතුව තමන් ඇප වෙච්ච ණය හිගහිටීම නිසා CRIB එකේ රිපෝර්ට් වෙලා තියෙනවා.ඕන කෙනෙක්ට රුපියල් 250 ක වගේ මුදලක් ගෙවලා ඕනෑම වාණිජ බැංකුවක් හරහා තමන්ගේ CRIB Report එකක් ගන්න පුළුවන්.

ඒ වගේම ඔබට වයස 60 ට වැඩිනම් තමන්ගේ දරුවෙක් හරි වයස 60 ට අඩු කෙනෙක් බද්ධ කරලා තමයි ණය අයදුම්කරන්න වෙන්නේ.

ඔන්න ඔය කියන මුලික සුදුසුකම් සම්පුර්ණ කරලා තියෙනවනම් ඕනෑම කෙනෙකුට බැංකු ණයක් ගන්න අයදුම්කරන්න පුළුවන්.

ලක්ෂ 10ක් වටිනා ඉඩමක් [උදාහරණයක්] බැංකුවට තියලා කොච්චර ණයක් ගන්න පුලුවන්ද?

ගොඩක් අය පටලවාගන්න තැනක් ඕක.ඔබ ණය මුදලක් අයදුම් කිරීමේදී ණය මුදලේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඔබේ ආදායම මත මිසක් ඔබ ඇපයට තබන සුරැකුම මත නොවේ.[රන් භාණ්ඩ ණයවලදී මෙම තත්වය වෙනස්වෙනවා,එහිදී සලකා බලන්නේ රන්භාන්ඩවල තක්සේරු වටිනාකම විතරයි ].ඔබ කොච්චර වටිනා සුරැකුමක්‌ බැංකුවට දුන්නත් ණය මුදලේ වාරිකය ගෙවන්න ඔබේ ආදායම ප්‍රමාණවත් නොවේනම් ඔ‍බට එම ණය ප්‍රමාණය ලබාගන්න බැහැ.ඒත් අපේ රටේ සමහර මුල්‍ය ආයතන මේ මුලික සංකල්පයෙන් බැහැරව ණය ප්‍රදානය කිරීම නිසා මේ වෙනකොට රටේ ජනතාව සෑහෙන පිරිසක් ණය බර නිසාම තමාගේ ආර්ථිකය විනාස කරගෙන තියෙනවා.විශේෂයෙන්ම වාහන ලීසිං/ෆිනෑන්ස් වලදී මේ තත්වය දකින්න තියෙනවා.

ණය වාරිකය ගෙවන්න ඔබේ ආදායම ප්‍රමානවත්නම් බැංකුව කරන ස්වාධීන තක්සේරුවකින් පසු ඔබට ණය මුදලේ ප්‍රමාණය තීරණය කල හැකියි.

ණය මුදලක් ගන්නකොට පොලිය කොහොමද ?

ඔබ ණය මුදලක් ගන්නවානම් හොදටම හොයා බැලිය යුතු කාරණේ තමයි මේක.ඔබ රැකියාවක් කරන කෙනෙක්නම් ඔබට ගන්න වෙන්නේ සමවාරික ණය මුදලක්.එතකොට ඔබේ වාරිකය එකම ගණනක් තමයි හැමදාම ගෙවන්න වෙන්නේ.මේ ණය මුදලක මුල් කාලයේ වැඩිපුර මුදලක් යන්නේ පොලියට.කාලයත් එක්කම ණය මුදලට ගෙවෙන ප්‍රමාණය වැඩිවෙනවා.ඔබත් රැකියාවක් කරමින් ණය මුදලක් ගන්න අදහස්කරනවානම් මෙතනින් ගිහින් ඔබ ගන්න අදහස්කරන ණය මුදලේ වාරිකය ගණනය කරගන්න පුළුවන්.

ඔබ ව්‍යාපාරිකයෙක්නම් ඔබට ලැබෙන ණය මුදලේ මුදලින් ගෙවෙන්නේ සැමදාම එකම මුදලක්.උදාහරණයක් විදිහට ලක්ෂ 30 ක ණයමුදලක් අවුරුදු 5 කින් ගෙවන්න ගත්තොත් හැම මාසෙම ණය මුදලින් රුපියල් 50,000/- ගානේ ගෙවන්න ඕන.ඊට අමතරව පොලිය ගෙවන්න ඕන.ණය මුදල ගෙවෙද්දී පොලිය අඩුවෙන නිසා මුල් වාරිකයේ ඉදලා හැම වාරිකයම අඩුවෙමින් තමයි යන්නේ.

ණය පොලිය ගැන කිව්වම අපේ රටේ සමහර මුල්‍ය ආයතන කොලේ වහලා ගැහිල්ලක් කරනවා.ඒකටනම් අහුවෙන්න එපා.ඔවුන් ගන්න ණය මුදලට පොලිය සම්පුර්ණ කාලයටම ගණනය කරලා මුදලත් සමග එකතු කරලා වාරික ගණනින් බෙදලා තමයි වාරිකය ගණනය කරන්නේ.පැහැදිලිවෙන්න උදාහරණයක් දෙන්නම්.
                   
                    හීනවන ශේෂය මත පොලිය              කොලේ වහලා ගැහිල්ල
ණය මුදල                         100,000/-                                      100,000/-

පොලී අනුපාතය [වාර්ෂික]            15 %                                            15%

කාලය                               අවුරුදු 3                                     අවුරුදු 3

මුළු කාලයට පොලිය              24795.08                                       45000.00

වාරිකය                             3466.53                                         4027.77

සඵල පොලී අනුපාතය [වාර්ෂික]   8.27%                                             15%


වැඩේ පැහැදිලියි නේ.ඒක නිසා තමන් ගන්න ණය මුදලේ පොලී ගණනය වෙන ආකාරය ණය මුදල ගැනීමේදීම විමසා බලන්න.

අනිත් එක තමයි ණය මුදලක් නියමිත කාලයට පෙර පියවීමේදී එම ණය මුදලට අදාළ මුළු කාලයටම පොලිය අයකිරීම වැනි සදාචාරාත්මක නොවන ක්‍රම සමහර මුල්‍ය ආයතන අනුගමනය කරනවා.ඒවා ගැන දැනුවත් වී සිටීම වැදගත්.මොකද අවුරුදු 10 කින් ගෙවන්න ණය මුදලක් අරගෙන සතියකින් ගෙවා අවසන් කලත් අවුරුදු 10 ම පොලී ගෙවන්න වෙනවනම් කොච්චර අපරාදයක්ද ....

පොලී ගැන කියනකොට දඩ පොලියත් වැදගත් කාරණයක්.වාරික නියමිත කාලයට ගෙවීම් නොකලාම දඩ පොලියක් අයකිරීම සිදුවෙනවා.ණය මුදල ගැනීමේදී මේ දඩ පොලී අනුපාතය,දඩ පොලිය අයකරන්නේ වාරිකය පැහරහැරියාට කොපමණ කාලෙකට පසුද යන්නත් ණය මුදල ගන්නා අවස්ථාවේදීම විමසා දැනගැනීම නුවනට හුරු කාරණයක්.

අනිත් එක තමයි සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවල නියුතු වුවන්ට අඩු පොලී යටතේ ණය මුදල් ගැනීමේ හැකියාව තියෙනවා.සොයා බැලීමයි වඩා වැදගත් වෙන්නේ.

ඇප අත්සන් කරන්න රජයේ සේවකයෝම ඕනද?

ගොඩක් බැංකු වලින් ඇපවලට රජයේ සේවකයෝ ඉල්ලනවනේ.ඒකට පොඩි හේතුවක් තියෙනවා ඒ තමයි බැරිවෙලාවත් ණයමුදල ගෙවීම පැහැරහැරියොත් උසාවි නියෝගයක් මගින් රුපියල් 500 ක් හැර ඉතිරි වැටුප තහනමට ලක්කරලා බැංකුවට ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා.ඒ වගේම ඇපකරුවන් ණයකරුට බලපෑමක් කල හැකි අයවලනුත් වියයුතුවීමත් මෙයට හේතුවක්.

එහෙම නැතුව ඇපකරුවන් රජයේ සේවකයන් වීම අත්‍යාවශ්‍ය කාරණයක් නෙවේ.බැංකුවට පිළිගත හැකි අය ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්.

ණය මුදල් ගත්තම Tax වලට අහුවෙනවද ?

කෙටිම උත්තරේ නැත.Tax වලට අහුවීම කෙසේවෙතත් ණය මුදලක ගෙවීම ආදායම් බදු සහන පවා ලබාගැනීමට හේතුවක් කරගන්න පුළුවන්.

මොන මොන අවශ්‍යතා වලටද ණය මුදල් ලබාගන්න පුළුවන්?

නීතිවිරෝධී නොවන ඕනෑම කටයුත්තක් සදහා ණය මුදල් ලබාගන්න පුළුවන්.තමන් ණය මුදලක් ලබාගැනීමේදී ඔබගේ නියම අවශ්‍යතාවය බැංකුවට දැන්වීම ඔබගේ යුතුකමක්.ඒක ඔබටත් උදව්වක් වේවි.බැරිවෙලාවත් නොහිතන කාරණයක් උඩ ණය මුදල ගෙවාගන්න බැරිවුනොත් ණය මුදල  නියමාකාරයට යොදවා නැත්නම් බැංකුව ඔබ ගැන ඇතිකරගන්නා ආකල්පය වැරදි එකක් වේවි.

නිවාස අවශ්‍යතාවකට ණය මුදල් ලබා ගන්නවනං ණය මුදල කොටස් කිහිපයකින් ඔබේ අතට ලැබෙන්න පුළුවන්.මුල් ණය කොටස්වල වැඩ නියමාකාරයට නිමනොකලොත් ණය මුදලේ ඉතිරි කොටස් ලබාගැනීම ප්‍රමාද විය හැකියි.එවිට ඔබට නිරපරාදේ පොලියක් ගෙවන්න වෙන්නත් පුළුවන්.

ණය මුදලක් රක්ෂණය කරනවා කියන්නේ මොකක්ද?

මේ රක්ෂණය දෙයාකාරයකින් තියෙනවා.ඔබට ණය මුදල වගේම ලබාදී ඇති සුරැකුමත් රක්ෂණය කල හැකියි.ඕන ණය මුදල රක්ෂණය කරනවානම් එය ඔබ විසින් කලයුත්තක්.එවිට ඔබට හදිසි අනතුරක් ආපදාවක් වුනොත් ණය මුදල ගෙවීම රක්ෂණය මගින් සිදුවෙනවා.

ඊට අමතරව ඔබ ඇපයට තබා ඇති දේපල [ඉඩම්,වාහන,යන්ත්‍රෝපකරණ] සදහා රක්ෂණ ලබාගතයුතුනම් අදාළ මුල්‍ය ආයතන මගින් ඒ ගැන ඔබ දැනුවත් කරනු ඇති.එවිට ඒ දේපලට හානියක් වුනොත් රක්ෂණය මගින් අදාල හානිය ප්‍රතිපුරනය කරනවා.මෙහිදී ණය මුදල ගෙවීමක් සිදුවෙන්නේ නෑ.ඔබ විසින් ණයමුදල ගෙවිය යුතු අතර ඔබේ දේපලට වන අලාබය රක්ෂණය මගින් ගෙවනවා ඇති.

ඒ වගේම දේපලක අයිතිය පිළිබද ගැටළු ඇති අවස්තාවකදී හිමිකම් රක්ෂණයක් ලබාගන්නත් ඔබට සිදුවෙන්න පුළුවන්.ඒ වගේම වගා ණයක්නම් කෘෂි රක්ෂණය ලබාගැනීමත් වැදගත්.රක්ෂණය ලබාගැනීමේදී කුමන ආයතයෙන් ලබාගන්නවද තීරණය කිරීමේ අයිතිය ගනුදෙනුකරුවා සතුවෙනවා.ඒක නිසා තමන්ට ගැලපෙන රක්ෂණයක් සොයාබලා අරගන්න.


ඔන්න මං සාමාන්යේන් වැඩිපුරම නැගෙන ප්‍රශ්න දැම්මා.මීට අමතරව ඔයාලට තියෙන ගැටළු comment කරන්න.හොද ප්‍රශ්න පොස්ට් එකට ඇතුලුකරන්නත් ඒවාට උත්තර දෙන්නත් කටයුතු කරනවා.ඒ වගේම ණයමුදලක් ගෙවීමේදී කටයුතු කලයුතු ආකාරයත් සාධාරණ හේතුවක් උඩ ණයමුදල ගෙවන්නට බාධා පැමිණුනොත් ඒකට ගතහැකි පියවර ගැනත් තවත් දවසක කියලා දෙන්නම්.බැංකුවයි ඔබයි කලින් ලිපි කියෙව්වේ නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒවා කියවන්න පුළුවන්.

29 comments:

  1. කලින් පෝස්ටුවත් කියෙව්වා. පට්ට වැදගත්. මට නම් ඉතින් ගේ හදන්න ලෝන් එකක් ගන්න අවශ්‍යතාවය මත ඉදිරි කටයුතු කරගෙන යනවා මේ දවස්වල. ගොඩක් හොඳයි මේ ලිපිය. මට ණය ගැනීමේදි සලකා බලන්න පුලුවන් කරුණු රැසක්ම අඩංගු වෙලා තියෙනවා. අනික තමයි ඉතින් ණය ගත්ත වගේ නෙමෙයි ගෙවන්න ගියාම. කලට වේලාවට ගෙව්වෙ නැත්නම් වෙන්න පුලුවන් දේවල් ගැනත් සඳහන් කරලා ලිපියක් පලවුනොත් හොඳා වගේ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මේ ලිපි පෙලේ ඊලග ලිපිය වෙන්වෙන්නේ ණය ගෙවීමේදී ඇතිවන ගැටළු ගැන

      Delete
  2. මේ වගේ ලිපි හැකි හැම විටම ලියන්න.
    නොදැන අමාරුවෙ වැටෙන අයට හරි ප්‍රයෝජනවත් වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත කෙන්ජි,මං මේ ලිපි පෙළ ලියන්නෙත් ඒ අරමුණ ඇතිව...

      Delete
  3. ඉතාමත්ම වටිනා ලිපියක්..මමත් මේ ඔය ගැන විපරම් කරමින් හිටියෙ...ගෙයක් හදන්න පටන් ගන්න..ඉතාමත් අගය කරනවා මේ ලිපිය..

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි සිරා,පිටරට ඉන්න අයට ණය ගන්නහැටි ඔන්න මං පල්ලෙහා comment එකක දානවා..

      Delete
  4. Please publish the excel calculation formula for both systems
    Second problem is the Institute never give you a printed payment schedule

    ReplyDelete
    Replies
    1. පලවෙනි ක්‍රමයේ ණය වාරිකය හැදෙනහැටි මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.ඒකෙ ණය මුදල සහ පොලිය ගණනයවන ආකාරය පැහැදිලිව බලාගන්න පුළුවන්.

      http://www.loanwala.com/calculators/amortization.html

      දෙවෙනි ක්‍රමේනම් ඉතින් ඒ හැටි දෙයක් නෑ.උදාහරණෙට අරන් තියෙන 100,000/- ණය මුදල ගමුකො.15% ගනනේ අවුරුද්දට පොලිය රුපියල් 15000/- යි.අවුරුදු 3 ට 45000 /- යි.ඉතින් මේ ණය මුදලෙයි පොලියෙයි එකතුව වන 145000/- වාරික 36 කින් ගෙවීම තමයි එතෙන්දි සිද්ද වෙන්නේ.

      ඕනෑම ආයතනයකින් තමන්ගේ නයමුදලේ ප්‍රකාශනයක් එහෙමත් නැත්නම් statement එකක් හෝ payment shedule එකක් ඉල්ලා සිටීමේ අයිතිය ගනුදෙනුකරු සතුයි.එසේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරනවානම් ඔබට ශ්‍රී ලංකා මහා බැංකුවට හෝ පාර්ලිමේන්තුවේ සිටින මුල්‍ය ඕම්බුඩ්ස්ට්මන් වරයාට පැමිණිලි කල හැකියි.

      Delete
  5. වටිනා ලිපියක්. සමහර දේවල් ගැන දැනගත්ත අද.

    ReplyDelete
  6. ගොඩක්ම වටින ලිපියක්...හිතේ තිබුන ගොඩක් ප්‍රශ්නවලට උත්තර හම්බ උනා...ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මගේ අරමුණ එහෙනම් සාර්ථකයි.

      Delete
  7. මේ වගේ ඒවා තමා බං ලියන්න ඕන.. මට නං ඔය කිසිම දෙයක් ගැන ඇත්තටම ගැටළුවක් නැහැ. අර සිආර්අයිබී කියල එකක් තියෙනකං.. මම ණය ගන්නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් බොට කවදාවත් ණයක් ගන්න වෙන්නේ නෑ

      Delete
  8. Thank you very much for the valuable article. Let me know wht are the banks that gives loan on "හීනවන ශේෂය මත පොලිය " . nkw200warawita@gmail.com

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඕනෑම වාණිජ බැංකුවකින් මෙම ක්‍රමයේ ණය ලබාගන්න පුළුවන්.

      Delete
  9. මම බය ම වැඩක්!

    ReplyDelete
  10. හොඳ ලිපියක්. අර හීනවන‍ ශේෂය මත පොළිය හදන හැටි තව ටිකක් පැහැදිලි කළොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. උඩ තියෙන comment එකේ link එකෙන් ගිහින් බලන්නකෝ ප්‍රසන්න අය්යා..

      Delete
  11. ගොඩක් හොද ලිපියක්.වෙලාවෙ හැටියට ගොඩක් වැදගත්.
    විදේශගතවෙලා ඉන්න කෙනෙක් වෙනුවෙන් ලංකාවෙ ඉන්න කෙනෙක්ට
    ණයක් ගන්න පුලුවන් ක්‍රම මොනාද කියල ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? එහෙම ගන්න පුලුවන් කාටද?(බිරිද/සැමියා/දරුවන්ට විතරද? )

    ReplyDelete
    Replies
    1. විදෙස් ගතවෙලා ඉන්න ඕනෑම කෙනෙකුට තමන්ගේ ආදායම පෙන්වලා ණය මුදලක් ලබාගන්න පුළුවන්.අවශ්‍ය වෙන්නේ ස්ථිර ආදායම් මාර්ගයක් තිබීම විතරයි,කොන්ත්‍රාත් පදනමින් සේවය කරනවානම් ණය මුදලේ කාලසීමාව ඇතුලත එම කොන්ත්‍රාත් ගිවිසුම අවසන් නොවිය යුතුයි.

      පිටරට ඉන්නා කෙනෙක් වෙනුවෙන් ලංකාවේ කෙනකුට ණය ගිවිසුමට අත්සන් කිරීමට බලය පැවරීම ඇටෝර්නි බලපත්‍රයක් මගින් පුළුවන්.ඔබ ණය මුදල ඉල්ලුම්කරන බැංකුවෙන් ඔබට අවශ්‍යකරන ඇටෝර්නි බලපත්‍රයේ ආකෘතිපත්‍රයක් ලබාගන්න පුළුවන්.ඉන්පසු අවශ්‍ය වෙන්නේ lawyer කෙනෙක් මාර්ගයෙන් එම ආකෘතියට අනුව ඇටෝර්නි බලපත්‍රය සකසා ඔබ ඉන්නා රටේ තානාපති කාර්යාලය මගින් ගෙන්වාගෙන එම කාර්යාලයේ නිලධාරීන් ඉදිරිපිට ඔබේ අත්සන් තබා තානාපති කාර්යාලයේ නිලමුද්‍රාව මගින් සහතික කොට බැංකුවට එවීම පමණයි.ඉන්පසු ඔබ වෙනුවෙන් සියලු කටයුතු මෙහෙයවන්න ඇටෝර්නි බලකරුට හැකියාව ලැබෙනවා.මීට අමතරව ඇටෝර්නි බලපත්‍රය ලියාපදින්චි කිරීමත් කලයුතුයි.

      ඔබේ ඇටෝර්නි බලකරු වශයෙන් ඕනෑම කෙනෙකු නම් කිරීමේ හැකියාව ඔබට තිබෙනවා.එහෙත් මේ අටෝරනි බලය ඕනෑම අවස්තාවක අවලංගු කළහැකි එකක් වනනිසා සාමාන්යෙන් බැංකු අටෝරනි බලකරු ලෙස ලබාගන්නේ සමීපතම නෑදෑයන් පමණයි.

      Delete
  12. මන් ආසම නැති වැඩේ ණය ගන්න එක.....එත් ගොඩාක් වැදගත් ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් කට්ටිය ආසා නැති වැඩක,ඒත් හදිසියට අපි කාටත් ඕනා වෙනවනේ...

      Delete
  13. ////බැංකු ණයක් ගමුද ????////

    උඹට ඕන්නම් ගනින් හසරැල්. ගත්ත එව්වා තාම ගෙවනවා.

    ReplyDelete
    Replies
    1. ණය අරගෙනනම් තියෙන්නේ ,ගෙවන හැටි ඊලග ලිපියෙන් බලාගන්න

      Delete
    2. ණය ගෙවීම පැහැර හැරියොත් වෙන සන්තෑසියත් ඔහේටම ලියල දාන්න ඇහැකි නේ..

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...